සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ස්වාමීනි, ලෝකයේ කෙළවර වූ එතනට පයින් යන්න පුළුවන්ද?”
“ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දැනගන්න, දැකගන්න පුළුවන් කියලා මං කියන්නෙ නෑ.”
“ස්වාමීනි, ආශ්චර්යයයි! ස්වාමීනි, අද්භූතයි! ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වදාළේ කොයිතරම් ඇත්තක්ද, ‘ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දකින්න පුළුවන් කියලා, දැනගන්න පුළුවන් කියලා, පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නෙ නැහැ’ කියලා වදාළේ.
ස්වාමීනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. මං භෝජ පුත්‍ර වූ රෝහිතස්ස කියන නමිනුත්, ඉර්ධිමත්, අහසින් යන්න පුළුවන් ඉසිවරයෙක් වෙලා හිටියා. ස්වාමීනි, ඒ කාලෙ මට මෙන්න මේ විදිහේ ශක්තියක් තිබුනා. හොඳට පුහුණු වුන, හොඳට පුරුදු වුන, තරඟ කරල ජයගත්තු, ශිල්ප දැක්වූ, අතිශයින්ම දක්ෂ දුනුවායෙක් සැහැල්ලු ඊතලයකින් වේලිච්ච තල් කොළයක් පලාගෙන යන විදිහට විදිනවා වගේ, මටත් අන්න ඒ වගේම ශක්තියක් තිබුනා.
එතකොට ස්වාමීනි, මට පුළුවන්කම තිබුනා නැගෙනහිර මුහුදට එක පයක් තියලා, අනිත් පය බටහිර මුහුදට තියන තරමේ දුරට පා තබා යන්න. ඉතින් ස්වාමීනි, ඒ මට මෙන්න මේ විදිහේ ආශාවක් ඇතිවුනා, ‘ඇත්තටම මම පා ගමනින්ම ලෝකයේ කෙළවරකට එන්න ඕන’ කියලා.
ස්වාමීනි, මේ තරම් වේගයක් තිබුණු, මේ තරම් වේගයෙන් ගමන් කරන්න පුළුවන්කමක් තිබුණු මම, අවුරුදු සියයක් ජීවත් වෙමින්, කනබොන වෙලාව හැර, වැසිකිළි කැසිකිළි කරන වෙලාව හැර, නිදියන, මහන්සි අරින වෙලාව හැර, අවුරුදු සීයක්ම ඇවිදලත්, ලෝකයේ කෙළවරකට එන්න බැරුව අතරමගදීම මිය පරලොව ගියා.
ස්වාමීනි, ආශ්චර්යයයි! ස්වාමීනි, අද්භූතයි! ස්වාමීනි, ඔබවහන්සේ විසින් යමක් පවසා වදාළ නම්, ‘ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, මැරන්නෙ නැත්නම්, මිය යන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි ඉපදීමක් නැත්නම්, අන්න ඒ ලෝකයෙ කෙළවර පා ගමනින් ගිහිල්ල දැනගන්න පුළුවන් බව, දැකගන්න පුළුවන් බව, පැමිණෙන්න පුළුවන් බව මම කියන්නෙ නැහැ’ කියලා. ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ එක කොයිතරම් ඇත්තක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ආයුෂ්මතුනි, එසේ වුනත් ලෝකයේ කෙළවරකට එන්නෙ නැතුව, මේ දුක කෙළවර කරන්න පුළුවන් කියල මම කියන්නෙ නෑ. එහෙම වුනත් ආයුෂ්මතුනි, මේ සඤ්ඤා සහිත සිත සහිත වූ බඹයක් විතර ප්‍රමාණයේ වූ මේ ශරීරයේම තමයි ලෝකයත්, ලෝකයේ හටගැනීමත්, ලෝකයේ නිරුද්ධ වීමත්, ලෝකය නිරුද්ධ වීමේ ප්‍රතිපදාවත් තියෙන්නෙ කියලයි මම කියන්නෙ.
කවදාවත් පයින් ගිහිල්ලා නම් මේ ලෝකයේ කෙළවරකට යන්න බෑ. (හැබැයි) ලෝකෙ කෙළවරකට එන්නෙ නැතුව, දුකින් නිදහස් වීමකුත් නෑ.
ඒ නිසා, ලෝකය දන්න, ප්‍රඥාවන්ත වූ, ලෝකයේ කෙළවරට ගිය, බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළ, පාපය සිඳබිඳ දැම්ම ඒ උතුම් පුද්ගලයා, ලෝකයේ කෙළවර දැනගෙන, මෙලොවත්, පරලොවත් පතන්නෙ නෑ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M