සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පස්ව සිටිය ඝටීකාර දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“විමුක්ති සිත් ඇති භික්‍ෂුන් වහන්සේලා හත් නමක් අවිහ බ්‍රහ්මලෝකයේ ඉපදුනා. රාගයත්, ද්වේෂයත් නැති කරපු උන්වහන්සේලා ලෝකය ගැන තිබුණු තණ්හාවෙන් නිදහස් වුනා.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“එතෙර වෙන්න ඉතාමත් ම අමාරු, මේ මාර රාජධානියෙන් මේ කෙලෙස්වලින්, කවුරු කවුරුද එතෙර වුනේ? මේ මිනිස් සිරුර අත්හැරියට පස්සෙ දිව්‍ය බන්ධනත් ඉක්මවා ගියේ කවුද?”
(දිව්‍යපුත්‍රයා) :
“උපක, පලගණ්ඩ, පුක්කුසාති කියන තුන් දෙනාත්, භද්දිය, භද්දදේව, බාහුදන්ති, පිංගිය යන හතර දෙනාත් තමයි මනුෂ්‍ය දේහය අත්හැරලා, දිව්‍ය බන්ධනත් ඉක්මවා ගියේ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මාරයාගේ උගුල සිඳබිඳගෙන ගිය ඔවුන් ගැන ඔබ ප්‍රශංසා කරනවා වගේ. මේ භව බන්ධන සිඳගෙන ගියේ ඔවුන් කාගෙ ධර්මයක් දැනගෙනද?”
(දිව්‍යපුත්‍රයා) :
“භාග්‍යවතුන් වහන්සේගෙන් බැහැරව නොවෙයි. ඔබවහන්සේගේ ශාසනයෙන් බැහැරව නම් නොවෙයි. ඔවුන් භව බන්ධන සිඳලා දැම්මෙ ඔබවහන්සේගේ ධර්මය දැනගෙන ම යි.
යම් තැනක නාමයත් රූපයත් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා නම්, අන්න ඒ අමා නිවන නම් වූ ධර්මය දැනගෙන, භව බන්ධන සිඳලා දැම්මේ මේ බුද්ධ ශාසනයෙන්මයි.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“අවබෝධයට දුෂ්කර වූ, දැනගැනීමට දුෂ්කර වූ, ගාම්භීර වචන නේද ඔබ ඔය කියන්නෙ? ඔය වගේ වචන පවසන්න ඔබ ඉගෙනගත්තේ කාගේ ධර්මයක් දැනගෙනද?”
(දිව්‍යපුත්‍රයා) :
“ඉස්සර වේහලිංග කියල ගමක් තිබුනා. මං හිටියේ එහේ. ඒ කාලෙ මම ඝටීකාර කියල කුඹල්කරුවෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙක්. මං දෙමව්පියන්ව පෝෂණය කළා.
මං මෛථුනයෙන් වෙන් වුනා. පංච කාමයෙන් තොර ජීවිතයක් ගෙව්වා. ඒ කාලෙ ඔබවහන්සේයි මමයි එක ගමේ හිටියෙ. ඔබවහන්සේ මගේ යාළුවෙක් වෙලා හිටියා.
ඉතින් දැන් මම විමුක්ති සිත් තියෙන භික්‍ෂුන් වහන්සේලා හත් නම ගැන දන්නවා. උන්වහන්සේලා රාග, ද්වේෂ නැති කරලයි ඉන්නෙ. ලෝකයේ තෘෂ්ණාව තරණය කරලයි ඉන්නේ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් භාර්ගව, ඔබ ඔය කියපු කරුණු ඔය විදිහටමයි වුනේ. ඉස්සර වේහලිංග කියල ගමක් තිබුනා තමයි. ඝටීකාර කියල කුඹල්කරුවෙකුත් හිටියා. ඔහු කාශ්‍යප බුදුසමිඳුන්ගේ ගිහි ශ්‍රාවකයෙක්. ඔහු මව්පියන්ට උපස්ථාන කළා.
ඔහු මෛථුනයෙන් වැළකිලා හිටියේ. පංච කාමයෙන් වෙන් වෙලා බ්‍රහ්මචාරීව හිටියේ. මමයි ඔහුයි එක ගමේ තමයි හිටියේ. ඔහු මගේ යාළුවෙක් තමයි.”
(ධර්ම සංගායනා කළ තෙරුන් වහන්සේලා) :
“ඔන්න ඔහොමයි පැරණි යාළුවෝ දෙන්නා ආයෙ මුණගැහුනේ. ඒ දෙන්නම දියුණු කරපු සිත් ඇතිව, අන්තිම සිරුරු දරාගෙනයි හිටියේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M