සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.3.3. සේරී සුත්තං

2.3.3. සේරී දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

ඒකමන්තං ඨිතෝ ඛෝ සේරී දේවපුත්තෝ භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

එකත්පසක සිටි සේරී දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

අන්‌නමේවාභිනන්‌දන්‌ති උභයේ දේවමානුසා
අථ ඛෝ නාම සෝ යක්‌ඛෝ යං අන්‌නං නාභිනන්‌දතීති

“දෙවියොත්, මනුෂ්‍යයොත් කියන දෙපිරිසම ආහාරය ම යි පතන්නෙ. යමෙක් ඒ ආහාර සතුටින් පිළිගන්නෙ නැත්නම්, එයා කොයි විදිහේ කෙනෙක්ද?”

(භගවා)

(භාග්‍යවතුන් වහන්සේ) :

යේ නං දදන්‌ති සද්‌ධාය විප්‌පසන්‌නේන චේතසා
තමේව අන්‌නං භජති අස්‌මිං ලෝකේ පරම්‌හි ච

“යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන්, පහන් සිතින් ආහාරපාන දන් දුන්නොත් මෙලොව පරලොව දෙකේම ඒ පුද්ගලයාට ආහාරපාන ලැබෙනවා.

තස්‌මා විනෙය්‍ය මච්‌ඡේරං දජ්‌ජා දානං මලාභිභූ
පුඤ්‌ඤානි පරලෝකස්‌මිං පතිට්‌ඨා හොන්‌ති පාණිනන්‌ති

ඒ නිසා මසුරුමළ යටපත් කරගෙන, මසුරුකම දුරු කරගෙන, දන් දෙන්න ඕන. මේ සත්වයන්ට පරලොව පිහිට පිණිස පවතින්නෙ පින විතරයි.”

අච්‌ඡරියං භන්තේ අබ්භුතං භන්තේ යාවසුභාසිතමිදං භන්තේ භගවතා

“ස්වාමීනී, ආශ්චර්යයයි! ස්වාමීනී පුදුම සහගතයි! භාග්‍යවතුන් වහන්සේ වදාළෙ කොයිතරම් සත්‍ය වූ දෙයක්ද?”

යේ නං දදන්‌ති සද්‌ධාය විප්‌පසන්‌නේන චේතසා
තමේව අන්‌නං භජති අස්‌මිං ලෝකේ පරම්‌හි ච

“යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන්, පහන් සිතින් ආහාරපාන දන් දුන්නොත්, මෙලොව පරලොව, දෙකේම ඒ පුද්ගලයාට ආහාරපාන ලැබෙනවා.

තස්‌මා විනෙය්‍ය මච්‌ඡේරං දජ්‌ජා දානං මලාභිභූ
පුඤ්‌ඤානි පරලෝකස්‌මිං පතිට්‌ඨා හොන්‌ති පාණිනන්‌ති

ඒ නිසා මසුරුමල යටපත් කරගෙන, මසුරුකම දුරු කරගෙන දන් දෙන්න ඕන. මේ සත්වයන්ට පරලොව පිහිට පිණිස පවතින්නෙ පින විතරයි” කියලා.

භූතපුබ්‌බාහං භන්තේ සේරි නාම රාජා අහෝසිං දායකෝ දානපති දානස්‌ස වණ්‌ණවාදී. තස්‌ස මය්‌හං භන්තේ චතූසු ද්‌වාරේසු දානං දීයිත්‌ථ සමණබ්‍රාහ්‌මණකපණද්‌ධිකවණිබ්‌බකයාචකානං. අථ ඛෝ මං භන්තේ ඉත්‌ථාගාරං උපසංකමිත්‌වා ඒතදවෝච දේවස්‌සේව ඛෝ දානං දීයති. අම්‌හාකං දානං න දීයති. සාධු මයම්‌පි දේවං නිස්‌සාය දානානි දදෙය්‍යාම පුඤ්‌ඤානි කරෙය්‍යාමාති.

ස්වාමීනී, මේක ඉස්සර වෙච්ච දෙයක්. සේරී කියල රජෙක් හිටියා. එයා දන් දෙන කෙනෙක්. දානපති කෙනෙක්. දන් දීම වර්ණනා කරන කෙනෙක්. ඉතින් ස්වාමීනී, ඒ මගේ නුවර දොරටු හතරෙම ශ්‍රමණබ්‍රාහ්මණයින්ටත්, දුගී මගී යාචකාදීන්ටත් දන් දුන්නා. ස්වාමීනී, එතකොට අන්තඃපුරවාසීන් මං ළඟට ඇවිදින් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්සේ විතරමයි දන් දෙන්නෙ. අපි දන් දෙන්නෙ නෑ නෙව. ඒ නිසා අපිත් දේවයන් වහන්සේ නිසා දන් දෙනවා නම් පින් කරගන්නවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා.

තස්‌ස මය්‌හං භන්තේ ඒතදහෝසි. අහං ඛොස්‌මි දායකෝ දානපති දානස්‌ස වණ්‌ණවාදී. දානං දස්‌සාමාති වදන්‌තානං කින්‌ති වදෙය්‍යන්‌ති. සෝ ඛ්‌වාහං භන්තේ පඨමං ද්‌වාරං ඉත්‌ථාගාරස්‌ස අදාසිං. තත්‌ථ ඉත්‌ථාගාරස්‌ස දානං දීයිත්‌ථ, මම දානං පටික්‌කමි.

ස්වාමීනි, මට එතකොට මෙහෙම හිතුනා. ‘මම දන් දෙන කෙනෙක්. දානපති කෙනෙක්. දන් දීම ගැන වර්ණනා කරන කෙනෙක්. ඉතින් අනිත් උදවියත් දන් දෙන්න ඕන කියල කියනවා නම්, මං ඒ ගැන මොනවා කියන්නද?’ ඉතින් ස්වාමීනි, මං පළවෙනි දොරටුව අන්තඃපුරයට භාර දුන්නා. ඊට පස්සෙ අන්තඃපුරයේ උදවිය තමයි දන් දුන්නෙ. මගේ දානෙ වැළකුනා.

අථ ඛෝ මං, භන්තේ ඛත්‌තියා අනුයුත්තා උපසංකමිත්‌වා මං ඒතදවෝචුං දේවස්‌ස ඛෝ දානං දීයති, ඉත්‌ථාගාරස්‌ස දානං දීයති, අම්‌හාකං දානං න දීයති. සාධු මයම්‌පි දේවං නිස්‌සාය දානානි දදෙය්‍යාම, පුඤ්‌ඤානි කරෙය්‍යාමාති.

එතකොට ස්වාමීනී, මට උදව් කරන රාජකීය පිරිස මං ළඟට ආවා. ඇවිල්ලා මට මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්සේගේ දානය නම් දෙනවා. අන්තඃපුරවාසීනුත් දන් දෙනවා. අපිට තමයි දන් ටිකක් දෙන්න නැත්තෙ. අපිත් දේවයන් වහන්සේ නිසා දන් දෙනවා නම්, පින් කරනවා නම්, කොයිතරම් දෙයක්ද?’ කියලා.

තස්‌ස මය්‌හං භන්තේ ඒතදහෝසි. අහං ඛොස්‌මි දායකෝ දානපති දානස්‌ස වණ්‌ණවාදී. දානං දස්‌සාමේති වදන්‌තානං කින්‌ති වදෙය්‍යන්‌ති. සෝ ඛ්‌වාහං භන්තේ දුතියං ද්‌වාරං ඛත්‌තියානං අනුයුත්තානං අදාසිං. තත්‌ථ ඛත්‌තියානං අනුයුත්තානං දානං දීයිත්‌ථ. මම දානං පටික්‌කමි.

ඉතින් ස්වාමීනී, මට මෙහෙම හිතුනා. ‘මං දන් දෙන කෙනෙක්. දානපති කෙනෙක්. දන් දීම ගැන වර්ණනා කරන කෙනෙක්. අනිත් උදවියත් දන් දෙන්න ඕන කියනවා නම්, මං ඒ ගැන මොනවා කියන්නද?’ ඉතින් ස්වාමීනි, මං දෙවෙනි දොරටුව මට උදව් කරන රාජකීය පිරිස වෙනුවෙන් වෙන් කළා. ඊට පස්සෙ ඒ පැත්තෙ දන් දෙන්නෙ ඒ රාජකීය පිරිස තමයි. මගේ දානෙ වැළකුනා.

අථ ඛෝ මං භන්තේ බලකායෝ උපසංකමිත්‌වා ඒතදවෝච. දේවස්‌ස ඛෝ දානං දීයති. ඉත්‌ථාගාරස්‌ස දානං දීයති. ඛත්‌තියානං අනුයුත්තානං දානං දීයති. අම්‌හාකං දානං න දීයති. සාධු මයම්‌පි දේවං නිස්‌සාය දානානි දදෙය්‍යාම පුඤ්‌ඤානි කරෙය්‍යාමාති.

එතකොට ස්වාමීනී, පාබල හමුදාව මං ළඟට ඇවිදින් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්සේත් දන් දෙනවා. අන්තඃපුරවාසීනුත් දන් දෙනවා. රාජකීය පිරිසේ දානයත් දෙනවා. අපට තමයි දන් ටිකක් දීගන්න නැත්තෙ. අපිත් දේවයන් වහන්සේ නිසා දන් දෙනවා නම්, පින් කරගන්නවා නම්, කොයිතරම් දෙයක්ද’ කියලා.

තස්‌ස මය්‌හං භන්තේ ඒතදහෝසි. අහං ඛොස්‌මි දායකෝ දානපති දානස්‌ස වණ්‌ණවාදී. දානං දස්‌සාමීති වදන්‌තානං කින්‌ති වදෙය්‍යන්‌ති. සෝ ඛ්‌වාහං භන්තේ තතියං ද්‌වාරං බලකායස්‌ස අදාසිං. තත්‌ථ බලකායස්‌ස දානං දීයිත්‌ථ. මම දානං පටික්‌කමි.

ඉතින් ස්වාමීනී, මට මෙහෙම හිතුනා. ‘මම දන් දෙන කෙනෙක්. දානපති කෙනෙක්. දන් දීම ගැන වර්ණනා කරන කෙනෙක්. අනිත් උදවියත් දන් දෙන්න ඕන කියනවා නම්, මං ඒ ගැන මොනවා කියන්නද?’ ඉතින් ස්වාමීනි, මං පාබල හමුදාවට තුන් වෙනි දොරටුව වෙන් කළා. එතන තමයි හමුදාව දන් දෙන්නෙ. මගේ දානෙ වැළකුනා.

අථ ඛෝ මං භන්තේ බ්‍රාහ්‌මණගහපතිකා උපසංකමිත්‌වා ඒතදවෝචුං. දේවස්‌ස ඛෝ දානං දීයති. ඉත්‌ථාගාරස්‌ස දානං දීයති. ඛත්‌තියානං අනුයුත්තානං දානං දීයති. බලකායස්‌ස දානං දීයති. අම්‌හාකං දානං න දීයති. සාධු මයම්‌පි දේවං නිස්‌සාය දානානි දදෙය්‍යාම පුඤ්‌ඤානි කරෙය්‍යාමාති.

එතකොට ස්වාමීනී, බ්‍රාහ්මණ ගෘහපතිවරු මං ළඟට ඇවිදින් මෙහෙම කිව්වා. ‘දේවයන් වහන්සේගේ දානයත් දෙනවා. අන්තඃපුරවාසීන්ගේ දානයත් දෙනවා. රාජකීය පිරිසගේ දානයත් දෙනවා. රාජකීය හමුදාවේ දානයත් දෙනවා. අපට තමයි දානෙ ටිකක් දෙන්න නැත්තෙ. අපිත් දේවයන් වහන්සේ නිසා දන් දෙනවා නම්, පිං කරගන්නවා නම්, කොයිතරම් දෙයක්ද’ කියලා.

තස්‌ස මය්‌හං භන්තේ ඒතදහෝසි. අහං ඛොස්‌මි දායකෝ දානපති දානස්‌ස වණ්‌ණවාදී. දානං දස්‌සාමාති වදන්තානං කින්‌ති වදෙය්‍යන්‌ති. සෝ ඛ්‌වාහං භන්තේ චතුත්‌ථං ද්‌වාරං බ්‍රාහ්‌මණගහපතිකානං අදාසිං. තත්‌ථ බ්‍රාහ්‌මණගහපතිකානං දානං දීයිත්‌ථ. මම දානං පටික්‌කමි.

එතකොට ස්වාමීනී, මට මෙහෙම හිතුනා. ‘මම දන් දෙන කෙනෙක්. දානපති කෙනෙක්. දන් දීම ගැන වර්ණනා කරන කෙනෙක්. අනෙත් උදවියත් දන් දෙන්න ඕන කියල කියනවා නම්, මට ඒ ගැන මොනවා කියන්නද?’ ඉතින් ස්වාමීනි, මං හතරවෙනි දොරටුව බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට වෙන් කළා. දැන් බ්‍රාහ්මණ ගෘහපතිවරු තමයි ඒ දොරටුවෙ දන් දෙන්නෙ. මගේ දානෙ වැළකුනා.

අථ ඛෝ මං භන්තේ පුරිසා උපසංකමිත්‌වා ඒතදවෝචුං. න ඛෝ දානි දේවස්‌ස කෝචි දානං දීයතීති. ඒවං වුත්තෝහං භන්තේ තේ පුරිසේ ඒතදවෝචං. තේන හි භණේ යෝ බාහිරේසු ජනපදේසු ආයෝ සඤ්‌ජායති තතෝ උපඩ්‌ඪං අන්‌තේපුරේ පවේසේථ. උපඩ්‌ඪං තත්‌ථේව දානං දේථ සමණබ්‍රාහ්‌මණකපණද්‌ධිකවනිබ්‌බකයාචකානන්‌ති.

එතකොට ස්වාමීනි, රාජ පුරුෂයෝ මං ළඟට ඇවිදින් මෙහෙම කිව්වා. ‘දැන් දේවයන් වහන්සේගේ දානයක් කොහේවත් දෙන්නෙ නෑ’ කියලා. එතකොට ස්වාමීනී, මං ඔවුන්ට මෙහෙම කිව්වා. ‘මිත්‍රවරුනි, එහෙම නම් පිට පළාත්වල යම් ආදායමක් තියෙනවා නම්, ඒකෙන් බාගයක් අන්තඃපුරයට දෙන්න ඕන. ඉතුරු බාගෙ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට, දුගී මගී යාචකයන්ට දානයට දෙන්න ඕන’ කියලා.

සෝ ඛ්‌වාහං භන්තේ ඒවං දීඝරත්‌තං කතානං පුඤ්‌ඤානං ඒවං දීඝරත්‌තං කතානං කුසලානං පරියන්‌තං නාධිගච්‌ඡාමි, එත්‌තකං පුඤ්‌ඤන්‌ති වා එත්‌තකෝ පුඤ්‌ඤවිපාකෝති වා එත්‌තකං සග්‌ගේ ඨාතබ්‌බන්‌ති වාති. අච්‌ඡරියං භන්තේ අබ්භුතං භන්තේ, යාවසුභාසිතමිදං භන්තේ භගවතා.

ඉතින් ස්වාමීනී, ඔය විදිහට මං බොහෝ කාලයක් මුළුල්ලේ පින්දහම් කළා. මං ඔය විදිහට බොහෝ කාලයක් මුළුල්ලේ කුසල්දහම් කළා. ඒ පුණ්‍ය විපාකය මෙච්චරයි කියල හරි, මෙච්චර විපාක තියෙනවා කියල හරි, මෙපමණ කලක් ස්වර්ගයේ ඉන්න ඕන කියල හරි, කෙළවරක් ගැන මං දන්නෙ නෑ.

ස්වාමීනී, ආශ්චර්යයයි! ස්වාමීනී පුදුම සහගතයි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළේ සම්පූර්ණ ඇත්තක්මයි.

යේ නං දදන්‌ති සද්‌ධාය විප්‌පසන්‌නේන චේතසා
තමේව අන්‌නං භජති අස්‌මිං ලෝකේ පරම්‌හි ච
තස්‌මා විනෙය්‍ය මච්‌ඡේරං දජ්‌ජා දානං මලාභිභූ
පුඤ්‌ඤානි පරලෝකස්‌මිං පතිට්‌ඨා හොන්‌ති පාණිනන්‌ති.

‘යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන්, පහන් සිතින් ආහාරපාන දන් දුන්නොත්, මෙලොව පරලොව දෙකේම ඒ පුද්ගලයට ආහාරපාන ලැබෙනවා. ඒ නිසා මසුරුමල යටපත් කරගෙන, මසුරුකම දුරු කරගෙන, දන් දෙන්න ඕන. මේ සත්වයන්ට පරලොව පිහිට පිණිස පවතින්නෙ පින විතරයි’ කියලා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M