මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා සිව දිව්‍යපුත්‍රයා රැය පහන් වන වෙලාවේ සුන්දර පැහැයකින් යුතුව, මුළු ජේතවනයම බබුළුවාගෙන, භාග්‍යවතුන් වහන්සේ හමුවට ආවා. ඇවිදින් වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් ඒ සිව දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.
“සත්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමඟමයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ සද්ධර්මය ගැන දැනගත්තු කෙනෙකුට දියුණුවක්මයි ඇතිවෙන්නෙ. පිරිහෙන්නේ නෑ.
සත්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් එක්කමයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ සද්ධර්මය ගැන දැනගත්තු කෙනෙකුට ප්‍රඥාව ලැබෙනවා. ඒක වෙන දේකින් ලබන්න බෑ.
සත්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමඟමයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂයින්ගේ ධර්මය දැනගත්තු කෙනා, ශෝක කරන ජනයා මැද ශෝක නොකර ඉන්නවා.
සත්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් එක්කමයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂයින්ගේ සද්ධර්මය දැනගත්තු කෙනා නැදෑයින් මැද බබලනවා.
සත්පුරුෂයින් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් එක්කමයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂයින්ගේ ධර්මය දැනගත්තු කෙනා තමයි සුගතියේ උපදින්නේ.
සත්පුරුෂයින් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් එක්කමයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂයින්ගේ සද්ධර්මය දැනගත්තු කෙනා, බොහෝ කල් සුවසේ ජීවත් වෙනවා.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ සිව දිව්‍යපුත්‍රයාට ගාථාවකින් පිළිතුරු දුන්නා.
“සත්පුරුෂයන් එක්කමයි ඉන්න ඕන. සත්පුරුෂයන් එක්කමයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂයින්ගේ ධර්මය දැනගත්තු කෙනා සියලු දුකින් නිදහස් වෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M