සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.1.9. චන්දිම සුත්තං

2.1.9. චන්දිම දිව්‍යපුත්‍රයා නිසා වදාළ

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

තේන ඛෝ පන සමයේන චන්‌දිමා දේවපුත්‌තෝ රාහුනා අසුරින්‌දේන ගහිතෝ හෝති. අථ ඛෝ චන්‌දිමා දේවපුත්‌තෝ භගවන්‌තං අනුස්‌සරමානෝ තායං වේලායං ඉමං ගාථං අභාසි.

ඒ දිනවල චන්දිම දිව්‍යපුත්‍රයාව රාහු අසුරිඳු විසින් අල්ලගෙනයි සිටියේ. ඉතින් එදා චන්දිම දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරගෙන, ඒ වෙලාවේ මේ ගාථාවල් පැවසුවා.

නමෝ තේ බුද්‌ධ වීරත්‌ථු විප්‌පමුත්‌තෝසි සබ්‌බධි
සම්‌බාධපටිපන්‌නොස්‌මි තස්‌ස මේ සරණං භවාති

“බුද්ධ වීරයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා! ඔබවහන්සේ හැමදෙයින්ම නිදහස් වුනු සේක. මං දැන් කරදරේක වැටිලයි ඉන්නෙ. මට පිහිට වන සේක්වා!”

අථ ඛෝ භගවා චන්‌දිමං දේවපුත්‌තං ආරබ්‌භ රාහුං අසුරින්‌දං ගාථාය අජ්‌ඣභාසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ චන්දිම දිව්‍යපුත්‍රයා වෙනුවෙන් රාහු අසුරිඳුට ගාථාවලින් මෙහෙම වදාළා.

තථාගතං අරහන්‌තං චන්‌දිමා සරණං ගතෝ
රාහු චන්‌දං පමුඤ්‌චස්‌සු බුද්‌ධා ලෝකානුකම්‌පකාති

“ඒයි රාහු, චන්දිම දිව්‍යපුත්‍රයා අරහත් වූ තථාගතයන් වහන්සේව සරණ ගියා. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අනුකම්පා කරනවා. ඔය චන්දිම දිව්‍යපුත්‍රයාව නිදහස් කරන්න.”

අථ ඛෝ රාහු අසුරින්‌දෝ චන්‌දිමං දේවපුත්‌තං මුඤ්‌චිත්‌වා තරමානරූපෝ යේන වේපචිත්‌ති අසුරින්‌දෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා සංවිග්‌ගෝ ලෝමහට්‌ඨජාතෝ ඒකමන්තං අට්‌ඨාසි. ඒකමන්තං ඨිතං ඛෝ රාහුං අසුරින්‌දං වේපචිත්‌ති අසුරින්‌දෝ ගාථාය අජ්‌ඣභාසි.

එතකොට රාහු අසුරිඳු චන්දිම දිව්‍යපුත්‍රයාව නිදහස් කළා. තැති අරගෙන වේපචිත්ති අසුරිඳු ළඟට ගියා. එතනට ගිහින් සංවේගයෙන් යුක්තව, ඇඟේ මවිල් කෙළින් කරගෙන එකත්පසක සිටියා. එකත්පසක සිටිය රාහු අසුරිඳුට, වේපචිත්ති අසුරිඳු මෙහෙම කිව්වා.

කින්නු සන්‌තරමානෝව රාහු චන්‌දං පමුඤ්‌චසි
සංවිග්‌ගරූපෝ ආගම්‌ම කින්නු භීතෝව තිට්‌ඨසීති

“ඒයි රාහු, මොකද භයවෙලා වගේ? සඳ නිදහස් කළා නේද? ඉතින් දැන් මේ තැති අරගෙන, භයවෙලා වගේ ඉන්නෙ මොකද?”

(රාහු) :

සත්‌තධා මේ ඵලේ මුද්‌ධා ජීවන්‌තෝ න සුඛං ලභේ
බුද්‌ධගාථාභිගීතොම්‌හි නෝ චේ මුඤ්‌චෙය්‍ය චන්‌දිමන්‌ති

“බුදු සමිඳුන් මට ගාථාවක් වදාළා. යම් විදිහකින් මං සඳ නිදහස් නොකළා නම්, මගේ හිස හත්කඩකට පැලෙන්න තිබුනා. ජීවිතයට සැපයක් නම් ලැබෙන්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M