සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.1.5. දාමලී සුත්තං

2.1.5. දාමලී දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

සාවත්‌ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

අථ ඛෝ දාමලි දේවපුත්‌තෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණෝ කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ දාමලි දේවපුත්‌තෝ භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එදා දාමලී දිව්‍යපුත්‍රයා රැය පහන් වන වෙලාවේ මුලු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් දාමලී දිව්‍යපුත්‍රයා භගා්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව ප්‍රකාශ කළා.

කරණීයමේතං බ්‍රාහ්‌මණේන පධානමකිලාසුනා
කාමානං විප්‌පහානේන න තේනාසිංසතේ භවන්‌ති

“කම්මැලි නැති, වීරියවන්ත වූ, රහතන් වහන්සේ විසින් කළ යුත්තේ මේකයි. කාමයන් ප්‍රහාණය කිරීම නිසා කිසි භවයක් නොපතන එකයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.

නත්‌ථි කිච්‌චං බ්‍රාහ්‌මණස්‌ස (දාමලීති භගවා) කතකිච්‌චෝ හි බ්‍රාහ්‌මණෝ
යාව න ගාධං ලභති නදීසු ආයූහති සබ්‌බගත්‌තේහි ජන්‌තු
ගාධඤ්‌ච ලද්‌ධාන ථලේ ඨිතෝ සෝ නායූහති පාරගතෝ හි සෝති

“දාමලී, කළ යුතු දේ කරලා අවසන් වුන රහතන් වහන්සේට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ගොඩබිමක පිහිටක් නොලබනතාක් ගංගාවේ පිහිනද්දී තමන්ගේ සියලු අත් පාවලින් ඒ පුද්ගලයා වෑයම් කරනවා. ගොඩබිමේ පිහිට ලබාගෙන, පරතෙරට ගියාට පස්සෙ එයා කලින් වගේ වෑයම් කරන්නෙ නෑ.

ඒසූපමා දාමලි බ්‍රාහ්‌මණස්‌ස ඛීණාසවස්‌ස නිපකස්‌ස ඣායිනෝ
පප්‌පුය්‍ය ජාතිමරණස්‌ස අන්‌තං නායූහති පාරගතෝ හි සෝති

දාමලී, ධ්‍යාන වඩන, ප්‍රඥාවන්ත, නිකෙලෙස් රහතන් වහන්සේ ගැනයි ඔය උපමාව. ඒ රහත් භික්‍ෂුව ඉපදෙන මැරෙන සසරෙ කෙළවරට ගිහින්, පරතෙරට ගියාට පස්සෙ වෑයම් කරන්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M