සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

11.3.4. අච්චය සුත්තං

11.3.4. වරද ගැන වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ද්‌වේ භික්‌ඛූ සම්‌පයෝජේසුං. තත්‍රේකෝ භික්‌ඛු අච්‌චසරා. අථ ඛෝ සෝ භික්‌ඛු තස්‌ස භික්‌ඛුනෝ සන්තිකේ අච්‌චයං අච්‌චයතෝ දේසේති. සෝ භික්‌ඛු න පටිගණ්‌හාති.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භික්‍ෂූන් වහන්සේලා දෙනමක් රණ්ඩු දබර කරගත්තා. එතකොට එක් භික්‍ෂුවක් මහ හඩින් බැණ වැදුනා. අන්තිමේදී ඒ භික්‍ෂුව අනිත් භික්‍ෂුව ළඟ තමන්ගේ වරද වරදක් හැටියට පිළිගන්න කිව්වා. ඒත් ඒ භික්‍ෂුව (සමාව දීම පිණිස) ඒක පිළිගන්නෙ නෑ.

අථ ඛෝ සම්‌බහුලා භික්‌ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ භගවන්‌තං ඒතදවෝචුං. ඉධ භන්තේ ද්‌වේ භික්‌ඛූ සම්‌පයෝජේසුං. තත්‍රේකෝ භික්‌ඛු අච්‌චසරා. අථ ඛෝ සෝ භන්තේ භික්‌ඛු තස්‌ස භික්‌ඛුනෝ සන්තිකේ අච්‌චයං අච්‌චයතෝ දේසේති. සෝ භික්‌ඛු න ‌පටිගණ්‌හාතීති.

ඉතින් බොහෝ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළා. “ස්වාමීනි, මෙහි භික්‍ෂූන් දෙනමක් රණ්ඩු දබර කරගත්තා. එතකොට එක් භික්‍ෂුවක් මහ හඩින් බැණ වැදුනා. අන්තිමේදී ඒ භික්‍ෂුව අනිත් භික්‍ෂුව ළඟ තමන්ගේ වරද වරදක් හැටියට පිළිගන්න කිව්වා. ඒත් ඒ භික්‍ෂුව (සමාව දීම පිණිස) ඒක පිළිගන්නෙ නෑ.”

ද්‌වේ මේ භික්ඛවේ බාලා. යෝ ච අච්‌චයං අච්‌චයතෝ න පස්‌සති, යෝ ච අච්‌චයං දේසෙන්‌තස්‌ස යථාධම්‌මං න පටිගණ්‌හාති. ඉමේ ඛෝ භික්ඛවේ ද්‌වේ බාලා. ද්‌වේමේ භික්ඛවේ පණ්‌ඩිතා. යෝ ච අච්‌චයං අච්‌චයතෝ පස්‌සති, යෝ ච අච්‌චයං දේසෙන්‌තස්‌ස යථාධම්‌මං පටිගණ්‌හාති. ඉමේ ඛෝ භික්ඛවේ ද්‌වේ පණ්‌ඩිතා.

“පින්වත් මහණෙනි, මෝඩයෝ දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් තමන්ගේ වරද වරදක් හැටියට දකින්නෙ නෑ. අනිත් එක් කෙනා අනුන්ගේ වරද ගැන තමන්ට කියද්දි (සමාව දීම පිණිස) ඒක පිළිගන්නෙ නෑ. පින්වත් මහණෙනි, මේ දෙන්නම මෝඩයෝ.

පින්වත් මහණෙනි, ඤාණවන්තයොත් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමන්ගේ වරද වරදක් හැටියට දකිනවා. අනිත් කෙනා අනුන්ගේ වරද ගැන තමන්ට කියද්දි (සමාව දීම පිණිස) ඒක පිළිගන්නවා. පින්වත් මහණෙනි, මේ දෙන්නම ඤාණවන්තයෝ.

භූතපුබ්‌බං භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ සුධම්‌මායං සභායං දේවේ තාවතිංසේ අනුනයමානෝ තායං වේලායං ඉමං ගාථං අභාසි.

පින්වත් මහණෙනි, මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. ශක්‍ර දේවේන්ද්‍රයා සුධර්මා නම් වූ දිව්‍ය සභාව් ඉඳගෙන තව්තිසාවැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවේ මේ ගාථාව පැවසුවා.

කෝධෝ වෝ වසමායාතු මා ච මිත්‌තේහි වෝ ජරා;
අගරහියං මා ගරහිත්‌ථ මා ච භාසිත්‌ථ පේසුණං;
අථ පාපජනං කෝධෝ පබ්බතෝ වාභිමද්‌දතීති.

“ක්‍රෝධය විසින් ඔබව වසඟ නොකෙරේවා! ඔබගේ මිතුරු දම නොබිඳේවා! ගර්හා නොකළ යුතු උතුමන්ට ගර්හා කරන්න එපා! කේළාම් කියන්න එපා! පාපී මිනිසුන්ව ක්‍රෝධය විසින් යටපත් කරන්නෙ පර්වතයකින් යට කරනවා වගේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M