සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………………..
“පින්වත් මහණෙනි, මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. ඉතා අවලස්සන කුදු ගැහිච්ච එක්තරා යක්‍ෂයෙක් ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ආසනේ වාඩිවෙලා හිටියා. එතකොට පින්වත් මහණෙනි, තව්තිසාවැසි දෙවියෝ ඒ ගැන නින්දා කරන්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා. අවමන් කරන්න පටන් ගත්තා. ‘භවත්නි, මේක හරි ආශ්චර්යවත් වැඩක් නෙව. භවත්නි, මේක හරි අද්භූත වැඩක් නෙව. මේ අවලස්සන, කුදු ගැහිච්ච යකෙක් ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ආසනේ වාඩිවෙලා ඉන්නවා නෙව’ කියලා.
පින්වත් මහණෙනි, ඒ තව්තිසාවැසි දෙවිවරු ඒ යක්‍ෂයාට නින්දා කරන්නෙ, දොස් කියන්නෙ, අවමන් කරන්නෙ යම් විදිහකින්ද, ඒ යක්‍ෂයාත් එන්න එන්නම ඉතාමත් ලස්සන වෙන්න පටන් ගත්තා. දැකුම්කලු වෙන්න පටන් ගත්තා. වඩාත් පැහැපත් වෙන්න පටන් ගත්තා.
එතකොට පින්වත් මහණෙනි, තව්තිසාවැසි දෙවිවරු ශක්‍ර දේවේන්‍ද්‍රයා ළඟට ගියා. ගිහින් ශක්‍ර දෙවියන්ට මෙහෙම කිව්වා.
‘නිදුකාණනි, ඉතා අවලස්සන, කුදු ගැහිච්ච එක්තරා යක්‍ෂයෙක් ඔබවහන්සේගේ ආසනේ වාඩිවෙලා ඉන්නවා. ඉතින් නිදුකාණෙනි, තව්තිසාවැසි දෙවිවරු ඒ ගැන නින්දා කරන්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා. අවමන් කරන්න පටන් ගත්තා.’
‘භවත්නි, මේක හරි ආශ්චර්යවත් වැඩක් නෙව. භවත්නි, මේක හරි අද්භූත වැඩක් නෙව. මේ අවලස්සන, කුදු ගැහිච්ච යකෙක් ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ආසනේ වාඩිවෙලා ඉන්නවා නෙව’ කියලා.
ඉතින් නිදුකාණෙනි, තව්තිසාවැසි දෙවිවරු ඒ යක්‍ෂයාට නින්දා කරන්නෙ, දොස් කියන්නෙ, අවමන් කරන්නෙ යම් විදිහකින්ද, ඒ යක්‍ෂයාත් එන්න එන්නම ඉතාමත් ලස්සන වෙන්න පටන් ගත්තා. දැකුම්කලු වෙන්න පටන් ගත්තා. වඩාත් පැහැපත් වෙන්න පටන් ගත්තා.
“හා! පින්වත්නි, එහෙම නම් ඔය යක්‍ෂයා ඒකාන්තයෙන්ම ක්‍රෝධය අනුභව කරන කෙනෙක් වෙන්න ඕන.”
එතකොට පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා ඒ ක්‍රෝධය අනුභව කරන යක්‍ෂයා ළඟට ගියා. ගිහින් උතුරු සළුව ඒකාංශ කරගෙන පොරෝල, දකුණු දණමඬල බිම තබා ගෙන, ඒ ක්‍රෝධය අනුභව කරන යක්‍ෂයාට වැඳ ගෙන තුන්වරක් තමන්ගේ නම කිව්වා. ‘නිදුකාණෙනි, මම ශක්‍ර දේවේන්‍ද්‍රයා වෙමි. නිදුකාණෙනි, මම ශක්‍ර දේවේන්‍ද්‍රයා වෙමි’ කියලා.
පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා තමන්ගේ නම ඒ යක්‍ෂයාට කියන්නේ යම් ආකරයකින්ද, ඒ ආකාරයෙන්ම ඒ යක්‍ෂයාත් ඉතාම අවලස්සන වෙලා ගියා. තවත් කුදු ගැහිල ගියා. තව තවත් අවලස්සන වෙලා, තව තවත් කුදු ගැහිල ගිහින් අන්තිමේදි එතනම නොපෙනී ගියා.
එතකොට පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා තමන්ගේ ආසනේ වාඩිවෙලා තව්තිසාවැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවේ මේ ගාථාවන් පැවසුවා.”
“මම් ගැටුණු සිත් ඇති කෙනෙක් නොවේ. මාව ලේසියෙන් කෝප ගන්වන්න බැහැ. මම් බොහෝ කලක් තිස්සෙ කේන්ති ගන්නෙ නැතිව ඉන්න කෙනෙක්. ඒ නිසා මං තුළ ක්‍රෝධය පිහිටන්නෙ නෑ.
මට කේන්ති ගියත් දරුණු වචන කියන්නෙ නෑ. ධාර්මික වචන විතරයි මං කියන්නෙ. තමන්ට එයින් වන යහපත දැකල, මං තමන්ටමයි නිග්‍රහ කරගන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M