සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

11.3.1. ඣත්වා සුත්තං

11.3.1. පුළුස්සා දැමීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ සක්කෝ දේවානමින්‌දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ සක්කෝ දේවානමින්‌දෝ භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ශක්‍ර දේවේන්‍ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් ශක්‍ර දේවේන්‍ද්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් ගාථාවකින් මෙකරුණ විමසුවා.

කිංසු ඣත්‌වා සුඛං සේති කිංසු ඣත්‌වා න සෝචති
කිස්‌සස්‌ස ඒකධම්‌මස්‌ස වධං රෝචේසි ගෝතමාති.

“පින්වත් ගෞතමයන් වහන්ස, කුමක් පුළුස්සා දැම්මොත්ද සුවසේ නිදන්නෙ? කුමක් පුළුස්සා දැමුවොත්ද ශෝක නොකරන්නෙ? වනසා දමන්න කැමති එකම එක දේ කුමක්ද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

කෝධං ඣත්‌වා සුඛං සේති කෝධං ඣත්‌වා න සෝචති
කෝධස්‌ස විසමූලස්‌ස මධුරග්‌ගස්‌ස වාසව
වධං අරියා පසංසන්‌ති තං හි ඣත්‌වා න සෝචතීති.

සක් දෙවිඳුනි, ක්‍රෝධය පුළුස්සා දැමුවොත් සුවසේ නිදන්න පුළුවනි. ක්‍රෝධය පුළුස්සා දමලයි ශෝක නොකරන්නෙ. විෂ මුල් තියෙන (පළිගැනීම නමැති) මිහිරි අග තියෙන ක්‍රෝධය නැසීම ගැන ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ඇත්තෙන්ම ක්‍රෝධය පිළිස්සීමෙන්මයි ශෝක නොකරන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M