මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂූන් වහන්සේලා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. ශක්‍ර දෙවියා මාතලී රථාචාර්යා ඇමතුවා. ‘ඒයි මිත්‍රයා මාතලී, දහසක් රෝද ඇති, ආජානීය අසුන් යෙදූ රථය සූදානම් කරන්න. යහපත් උයන් බිම දකින්න යමු.’”
එතකොට පින්වත් මහණෙනි, මාතලී රථාචාර්යා “එසේය, ඔබට යහපතක් වේවා!” කියල ශක්‍ර දෙවියන්ට උත්තර දුන්නා. ඊට පස්සෙ ආජානීය අසුන් යෙදූ, රෝද දාහකින් යුතු රථය සූදානම් කරලා, ශක්‍ර දේවේන්‍ද්‍රයාට දැනුම් දුන්නා. නිදුකාණනි, ආජානීය අසුන් යෙදූ රෝද දාහකින් යුතු රථය පිළියෙළ කළා. ගමනට කල් දැනගත මැනව.”
ඉතින් පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා වෛජයන්ත නම් දිව්‍ය ප්‍රාසාදයෙන් බහිද්දි, දෙඅත් එක්කොට හැම දිශාවකටම නමස්කාර කළා. එතකොට පින්වත් මහණෙනි, මාතලී රථාචාර්යා සක් දෙවිඳුට ගාථාවකින් පැවසුවා.
“මේ කුණු ශරීර ඇති මිනිස්සු ඔබවහන්සේට වඳිනවා. මොවුන් ගැලී සිටින්නේ කුණු ශරීරයේම යි. සා පිපාසා දෙකෙන් ඔවුන් පීඩා විඳිනවා.
සක් දෙවිඳුනි, ඔවුන්ට ගෙවල් නෑ. ඔවුන් තවුසෝ. ඒ ඉසිවරුන්ගේ මොන වගේ හැසිරීමකටද ඔබවහන්සේ කැමති. ඒ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි.”
(ශක්‍ර දෙවි) :
“පින්වත් මාතලී, ඒ අනගාරික ඉසිවරුන්න මං කැමති මේ නිසයි. ඔවුන් ගමක් අත්හැරලා යන කොට කිසිම අපේක්‍ෂාවක් නැතුවයි යන්නෙ.
ඔවුන් අටුකොටුවල වස්තුව රැස් කරන්නෙ නෑ. මුට්ටිවල හංගන්නෙ නෑ. භාජනවල හංගන්නෙ නෑ. අනුන් දෙන බත් ටිකකින් යැපෙනවා. ඔවුන් සිල්වත්. යහපත් දේ කතාබස් කරනවා. ප්‍රඥාවන්තයි. නිශ්ශබ්දයි. යහපත් ලෙස ජීවත් වෙනවා.
පින්වත් මාතලී දෙවියෝ අසුරයන් එක්ක විරුද්ධයි. බොහෝ මිනිස්සුත් ඒ වගේම යි. එකිනෙකා විරුද්ධයි. නමුත් මේ ඉසිවරු විරුද්ධවාදීන් අතර විරුද්ධකමක් නැතුව ඉන්නව. දඬුමුගුරු ගත්තු අය අතර නිවිලා ඉන්නවා. ලෝකෙට බැඳිලා ගිය උදවිය අතර නොබැඳී ඉන්නවා. අන්න ඒ උදවියටයි මං වඳින්නෙ.”
(මාතලී) :
“සක් දෙවිඳුනි, ඔබ යම් කෙනෙකුට වඳිනවා නම්, ඇත්තෙන්ම ඔවුන් ලෝකයේ ශ්‍රේෂ්ඨයි. සක් දෙවිඳුනි, ඔබ යමෙකුට වඳිනවා නම්, මමත් ඔවුන්ට වඳිනවා.”
(සංගායනා කළ රහතුන් වදාළ ගාථාවකි) :
“දෙවියන්ගේ රජු වූ, සුජාවගේ ස්වාමියා වූ, මඝ නම් වූ සක්දෙව් රජ මේ ගාථාව කිව්වට භික්‍ෂුසංඝයාට වන්දනා කරලා, රථයට නැග්ගා.”
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි සත්තපද වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M