සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………………..
“පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. ශක්‍ර දෙවියා මාතලී රථාචාර්යා ඇමතුවා. ‘ඒයි මිත්‍රයා මාතලී, දහසක් රෝද ඇති, ආජානීය අසුන් යෙදූ රථය සූදානම් කරන්න. යහපත් උයන් බිම දකින්න යමු.”
එතකොට පින්වත් මහණෙනි, මාතලී රථාචාර්යා “එසේය, ඔබට යහපතක් වේවා!” කියල ශක්‍ර දෙවියන්ට උත්තර දුන්නා. ඊට පස්සෙ රෝද දාහකින් යුතු, ආජානීය අසුන් යෙදූ රථය පිළියෙළ කරලා, ශක්‍ර දේවේන්‍ද්‍රයාට දැනුම් දුන්නා. ‘නිදුකාණෙනි, රෝද දාහකින් යුතු ආජානීය අසුන් යෙදූ රථය පිළියෙළ කළා. ගමනට කල් දැනගත මැනව.’
ඉතින් පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා වෛජයන්ත නම් දිව්‍ය ප්‍රාසාදයෙන් බහිද්දි, දෙඅත් එකතු කොට, හැම දිශාවකටම නමස්කාර කළා. එතකොට පින්වත් මහණෙනි, මාතලී රථාචාර්යා සක් දෙවිඳුට ගාථාවකින් පැවසුවා.”
“සක් දෙවිඳුනි, දෙවියොත්, මිනිස්සුත් ඔබට වඳිනවා. ඉතින් සක් දෙවිඳුනි, ඔබ මේ වඳින්නේ කවර නම් දෙවි කෙනෙකුටද?”
(ශක්‍ර දෙවි) :
“පින්වත් මාතලී, මේ දෙවියන් සහිත, ලෝකයේ යම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් වැඩසිටීද, අලාමක නම් ඇති ඒ ශාස්තෘන් වහන්සේටයි මං මේ වඳින්නේ.
පින්වත් මාතලී, යම් කෙනෙක් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරුකළා නම්, ඒ ක්ෂීණාශ්‍රව වූ රහතන් වහන්සේලාටයි මං මේ වඳින්නේ.
පින්වත් මාතලී, රාග, ද්වේෂ දුරු කරගෙන, අවිද්‍යාව ඉක්මවා ගිහින්, වත්පිළිවෙතේ යෙදෙමින්, අප්‍රමාදව ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන් වහන්සේලා වෙත් නම්, උන්වහන්සේලාටයි මං මේ වඳින්නේ.”
(මාතලී) :
“සක් දෙවිඳුනි, ඔබ වඳින්නේ යම් කෙනෙකුටද, ඇත්තෙන්ම උන්වහන්සේලා ශ්‍රේෂ්ඨ තමයි. සක් දෙවිඳුනි, ඔබ වන්දනා කරන උන්වහන්සේලාට මමත් වන්දනා කරන්නම්.
(සංගායනා කළ රහතුන් වදාළ ගාථාවකි.)
“දෙවියන්ගේ රජු වූ, සුජාව ගේ ස්වාමියා වූ, මඝ නම් වූ සක්දෙව් රජ මේ ගාථාව කිව්වට පස්සෙ, භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරලා රථයට නැග්ගා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M