සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………………..
පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. ශක්‍ර දේවේන්‍ද්‍රයා මාතලී රථාචාර්යා ඇමතුවා. “ඒයි මිත්‍රයා දහසක් රෝද ඇති, ආජානීය අසුන් යෙදූ රථය සූදානම් කරන්න. යහපත් උයන් බිම දකින්න යමු.”
“එතකොට පින්වත් මහණෙනි, මාතලී රථාචාර්යා ‘එසේය, ඔබට යහපතක් වේවා!’ කියල ශක්‍ර දෙවියන්ට උත්තර දුන්නා. ඊට පස්සෙ රෝද දාහකින් යුතු ආජානීය අසුන් යෙදූ රථය පිළියෙළ කරලා, ශක්‍ර දේවේන්‍ද්‍රයාට දැනුම් දුන්නා. ‘නිදුකාණෙනි, රෝද දාහකින් යුතු ආජානීය අසුන් යෙදූ රථය පිළියෙළ කළා. ගමනට කල් දැනගත මැනව.’
ඉතින් පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා වෛජයන්ත නම් දිව්‍ය ප්‍රාසාදයෙන් බහිද්දි, දෙඅත් එකතු කොට හැම දිශාවකටම නමස්කාර කළා. එතකොට පින්වත් මහණෙනි, මාතලී රථාචාර්යා සක් දෙවිඳුට ගාථාවකින් පැවසුවා.
“වේදය හදාරන පෘථුවිවාසී සියලු දෙනාත්, රජවරුත්, සතරවරම් දෙවියොත්, සැපසම්පත් ඇති තව්තිසා දෙවියොත් ඔබට වඳිනවා. නමුත් සක් දෙවිඳුනි, ඔබ යම් කෙනෙකුට වඳිනවා නම්, ඒ දෙවියා කවුද?”
(ශක්‍ර දෙවි) :
“ත්‍රිවේදය හදාරන පෘථුවිවාසී සියලු දෙනාත්, රජවරුත්, සතරවරම් දෙවිවරුත්, යසස් ඇති තව්තිසා දෙවියොත් මට වඳිනවා තමයි.
මම වඳින්නෙ සිල්වත් වූ බොහෝ කලක් සමාධිමත් සිත් ඇති උතුම් බ්‍රහ්මචාරී ජීවිත ගෙවන, මනාකොට පැවිදි ජීවිත ගෙවන උතුමන්ටයි.
මාතලී, ඒ වගේම තිසරණයේ පිහිටලා, උපාසක බවට පත්වුන, ගිහිගෙයි වසන, සිල්වත්, පින්-දහම් කරන, ධාර්මිකව අඹුදරුවන් පෝෂණය කරන ගිහි ශ්‍රාවකයින් ඉන්නවා. අන්න ඒ උදවියටත් මම වඳිනවා.”
(මාතලී) :
“පින්වත් සක් දෙවිඳුනි, ඔබ ඒ යම් කෙනෙකුන්ට වන්දනා කරනවා නම්, ඇත්තෙන්ම ඔවුන් ලෝකෙ ශ්‍රේෂ්ඨ තමයි. සක් දෙවිඳුනි, ඔබ වඳින උතුමන්ට මමත් වන්දනා කරන්නම්.”
(සංගායනා කළ රහතුන් වදාළ ගාථාවකි.)
“දෙවියන්ගේ රජු වූ, සුජාවගේ ස්වාමියා වූ, මඝ නම් වූ, සක්දෙව් රජ මේ ගාථාව කිව්වට පස්සෙ හැම දිශාවන්ටම වන්දනා කරලා රථයට නැග්ගා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M