මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
පින්වත් මහණෙනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් පටන් ගත්තා. එතකොට පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රයා ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙහෙම කිව්වා.
“දේවේන්‍ද්‍රය, යහත් වචනයෙන් ජයවේවා!” කියලා. “වේපචිත්ති, ඔව්! යහපත් වචනයෙන් ජය වේවා!”
එතකොට පින්වත් මහණෙනි, “මේ උදවිය අපගේ යහපත් වචනත්, නරක වචනත් ගැන තීරණයක් ගනීවි” කියල විනිශ්චයකාරයන්ව තැබුවා.
ඉතින් පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රයා ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙහෙම කිව්වා.
“දේවේන්‍ද්‍රය, ගාථාවක් කියන්න.”
පින්වත් මහණෙනි, මෙහෙම කිව්වම ශක්‍ර දේවේන්‍ද්‍රයා වේපචිත්ති අසුරේන්‍ද්‍රයාට මේ විදිහට කිව්වා.
“මෙතනදි වේපචිත්ති, ඔබ තමයි කලින්ම දෙවි වුනේ. එහෙම එකේ වේපචිත්ති, ගාථාව කියන්න.”
මෙහෙම කිව්වම, පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රයා මේ ගාථාව කිව්වා.
“ඉතින් වළක්වන්න කෙනෙක් නැත්නම්, අඥාන උදවිය බොහෝ සෙයින් යුද්ධවලට පැටලෙනවා. ඒක තමයි නුවණැත්තා දැඩි දඬුවම් දීලා හරි, බාලයාව මේච්චල් කරන්නෙ.”
පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රයා ඔය ගාථාව කියන කොට, අසුරයො අනුමෝදන් වුනා. දෙවියෝ නිශ්ශබ්ද වුනා. එතකොට පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රයා ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙහෙම කිව්වා.
“දේවේන්‍ද්‍රය, දැන් ගාථාව කියන්න.” එහෙම කිව්වම ශක්‍ර දේවේන්‍ද්‍රයා මේ ගාථාව කිව්වා.
“අනුන්ට කේන්ති ගිය බව දැනගෙන, තමන් සිහි නුවණින් යුතුව සංසිඳෙනවා නම්, මං හිතන්නෙ බාලයාව පාලනය කරන්න ඒක තමයි හොඳ කියලා.”
පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා ඔය ගාථාව කියන කොට දෙවියො අනුමෝදන් වුනා. අසුරයො නිශ්ශබ්ද වුනා. එතකොට පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා වේපචිත්ති අසුරේන්‍ද්‍රයට මෙහෙම කිව්වා.
“වේපචිත්ති, ගාථාවක් කියන්න.”
එහෙම කිව්වම පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රයා මේ ගාථාව කිව්වා.
“සක් දෙවිඳුනි, ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා. යම් විටෙක ඉවසන කොට, මෝඩයා හිතන්නෙ මෙයා මේ මට භයෙන් ඉවසනවා කියල. පැනල දුවන ගවයෙක්ව යටකරගෙන, ගව රංචුවක් දුවනව වගේ අඥාන කෙනා ඉවසන කෙනාවමයි යටකරගෙන යන්නෙ.”
පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රයා ඔය ගාථාව කියන කොට අසුරයො අනුමෝදන් වුනා. දෙවියො නිශ්ශබ්ද වුනා.
ඉතින් පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රයා ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙහෙම කිව්වා.
“දේවේන්‍ද්‍රය, ගාථාවක් කියන්න.” එහෙම කිව්වම පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා මේ ගාථාවන් කිව්වා.
“මෙයා මේ ඉවසන්නෙ මට භයෙන්ය කියල, කෙනෙක් හිතුවත් කමක් නෑ. නැතත් කමක් නෑ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇති කරගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ.
යම් කෙනෙක් අතිශයින්ම බලවත්ව ඉඳගෙන, දුර්වල කෙනෙකුගේ නින්දා අපහාස ඉවසනවා නම්, ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා හැම තිස්සෙම ඉවසනවා නෙව.
යම් අඥානයෙකුගේ බලයක් වේද, ඒකට බලය කියල කිව්වට, එතන බලයක් නෑ. ධර්මය තුළ සුරැකී ඉන්න කෙනාගේ ඉවසීම අභිභවා කියන්න දෙයක් නෑ.
යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරළා කිපුනොත්, ඒකෙන්පාඩු සිදුවෙන්නෙ තමාටමයි. කේන්ති ගිය කෙනාව හඳුනගෙන, පෙරළා කිපෙන්නෙ නැත්නම්, එයා තමයි ජයගන්න දුෂ්කර වූ යුද්ධය ජයගන්නෙ.
අනුන් කිපුන බව දැනගෙන, තමන් සිහිනුවණින් සංසිඳෙනවා නම්, තමාටත්, අනුන්ටත් දෙපැත්තටම යහපත සළසා ගන්නවා.
තමාටත්, අනුන්ටත් දෙපැත්තටම සෙත සළසන කෙනා ගැන, ධර්මයේ අදක්‍ෂ කෙනා හිතන්නෙ ඔහු මෝඩයෙක්ය කියලා.”
පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා ඔය ගාථාවන් කියනකොට, දෙවියො අනුමෝදන් වුනා. අසුරයො නිශ්ශබ්ද වුනා.
එතකොට පින්වත් මහණෙනි, දෙවියන්ගේත්, අසුරයන්ගේත් විනිශ්චයකාරයො මෙහෙම කිව්වා.
“වේපචිත්ති අසුරේන්‍ද්‍රයා ගාථාවන් කිව්වා තමයි. නමුත් ඒ ගාථාවලින් දඬුවම් කිරීමක් ගැන කියවෙනවා. ආයුධ ගැනීමක් ගැන කියවෙනවා. ‘මෙහෙමයි දඬුවම්, මෙහෙමයි රණ්ඩුව, මෙහෙමයි කෝළාහලේ’ කියල කියවෙනවා.
ශක්‍ර දේවේන්‍ද්‍රයාත් ගාථා කිව්වා තමයි. නමුත් ඒ ගාථාවන්වල දඬුවම් කියවෙන්නෙ නෑ. ආයුධ ගැනීම ගැන කියවෙන්නෙ නෑ. ‘දඬුවම් නොකිරීම මෙහෙමයි, රණ්ඩු නොවීම මෙහෙමයි, කෝළාහල නොවීම මෙහෙමයි’ කියල කියවෙන්නෙ.
ඒ නිසා, මේ යහපත් වචනයෙන් ජය අත්වෙන්නේ ශක්‍ර දේවේන්‍ද්‍රයාටයි!”
පින්වත් මහණෙනි, ඉතින්, සුභාෂිත වචනය නිසා ශක්‍ර දේවේන්‍ද්‍රයාට ජය ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M