සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

10.1.7. පුනබ්බසු සුත්තං

10.1.7. පුනබ්බසු මාතාව පැවසූ දෙසුම

ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තේන ඛෝ පන සමයේන භගවා භික්‌ඛූ නිබ්‌බානපටිසංයුත්‌තාය ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. තේ ච භික්‌ඛූ අට්‌ඨිකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසා සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඒ අමා නිවන ගැන දහම් දෙසමින් හිටියා. දහම් කරුණුවල සමාදන් කළා. උත්සාහය ඇතිකොට වදාළා. සතුටු කරවා වදාළා. ඒ භික්‍ෂුන් වහන්සේලාත් ප්‍රයෝජනය සළකා ගෙන, මෙනෙහි කරගෙන, මුළු සිතම එයට යොමු කරගෙන, කන් යොමා ගෙන ඒ ධර්මයට සවන් දීගෙන හිටියා.

අථ ඛෝ පුනබ්‌බසුමාතා යක්‌ඛිනී පුත්‌තකේ ඒවං තෝසේසි.

ඒ මොහොතේ පුනබ්බසු මාතා යක්‍ෂණිය පොඩි දරුවන්ව මේ විදිහට නැලෙව්වා.

තුණ්‌හී උත්‌තරිකේ හෝහි තුණ්‌හී හෝහි පුනබ්‌බසු
යාවාහං බුද්‌ධසෙට්‌ඨස්‌ස ධම්‌මං සොස්‌සාමි සත්‌ථුනෝ

නිබ්‌බානං භගවා ආහ සබ්‌බගන්‌ථප්‌පමෝචනං
අතිවේලා ච මේ හෝති අස්‌මිං ධම්මේ පියායනා

“උත්තරා, නිහඬ වෙන්න. පුනබ්බසු, නිහඬ වෙන්න. බුද්ධ ශ්‍රේෂ්ඨ වූ ශාස්තෘන් වහන්සේගේ බණ ටිකක් මමත් අහගන්න ඕන. සියලු කෙලෙස් ගැට වලින් නිදහස් වන ඒ අමා නිවන ගැනයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නෙ. ඒ ධර්මය අවබෝධ කරන්න මගේ හිතේ තියෙන ඕනකම කියල නිම කරන්න බෑ.

පියෝ ලෝකේ සකෝ පුත්‌තෝ පියෝ ලෝකේ සකෝ පති
තතෝ පියතරා මය්‌හං අස්‌ස ධම්‌මස්‌ස මග්‌ගනා.

මේ ලෝකෙ තමන්ගේ පුතා ප්‍රියමනාප තමයි. මේ ලෝකෙ තමන්ගෙ‘ ස්වාමියා ප්‍රිය මනාප තමයි. මට නම් ඒ නිවන් මග හැමදේටම වඩා ප්‍රියයි.

න හි පුත්‌තෝ පති වාපි පියෝ දුක්‌ඛා පමෝචයේ
යථා සද්‌ධම්‌මසවණං දුක්‌ඛා මෝචේති පාණිනං.

ප්‍රියමනාප පුතා හෝ ප්‍රියමනාප ස්වාමියා හෝ අපිව දුකින් නිදහස් කරවන්නෙ නෑ. සත්වයන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ ශ්‍රී සද්ධර්මයට සවන් දීමෙනුයි.

ලෝකේ දුක්‌ඛපරේතස්‌මිං ජරාමරණසංයුතේ
ජරාමරණමොක්‌ඛාය යං ධම්‌මං අභිසම්‌බුද්ධං
තං ධම්‌මං සෝතුමිච්‌ඡාමි තුණ්‌හී හෝහි පුනබ්‌බසූති.

දුකින් පෙළෙන ලෝකයේ, ජරාමරණ එකතු වුන ලෝකයේ ඒ ජරාමරණ වලින් නිදහස් වෙන්ට අවබෝධ කළ යුතු ධර්මයක් තියෙනවා. පුතේ පුනබ්බසු, මං ඒ ධර්මය අසන්න කැමතියි, ඔයා නිශ්ශබ්ද වෙලා ඉන්න.”

(පුනබ්බසු);

(පුනබ්බසු) :

අම්‌ම න බ්‍යාහරිස්‌සාමි තුණ්‌හීභූතායමුත්‌තරා
ධම්‌මමේව නිසාමේහි සද්‌ධම්‌මසවණං සුඛං

“අම්මේ, මං කෑගහන්නෙ නෑ. මේ උත්තරාත් නිශ්ශබ්දයි. බණ ටික අහගෙන ඉන්න. ශ්‍රී සද්ධර්මයට සවන් දෙන එක සැපයක් තමයි.

සද්‌ධම්‌මස්‌ස අනඤ්‌ඤාය අම්‌ම දුක්‌ඛං චරාමසේ
ඒස දේවමනුස්‌සානං සම්‌මූළ්‌හානං පභංකරෝ
බුද්ධෝ අන්‌තිමසාරීරෝ ධම්‌මං දේසේති චක්‌ඛුමාති.

අම්මේ, සද්ධර්මය අවබෝධ නොවීම නිසානෙ මේ දුකසේ ජීවත් වෙන්න සිද්ධ වුනේ. ප්‍රඥා ආලෝකය ලබා දෙන, අන්තිම සිරුරක් දරාගෙන සිටින, සදහම් ඇස් ඇති මේ බුදු සමිඳුන් හොඳටම මුළා වෙච්ච දෙව්මිනිසුන්ටයි දහම් දෙසන්නෙ.”

(පුනබ්බසු මාතා);

(පුනබ්බසු මාතා) :

සාධු ඛෝ පණ්ඩිතෝ නාම පුත්‌තෝ ජාතෝ උරේසයෝ
පුත්‌තෝ මේ බුද්‌ධසෙට්‌ඨස්‌ස ධම්‌මං සුද්‌ධං පියායති.

“ඉපදිලා, උරයෙන් වැඩෙන පුතේ, නුවණැති කෙනෙක් වීම කොයිතරම් හොඳයිද? මගේ පුතත් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පිරිසිදු සද්ධර්මයට ආසයි නේද?

පුනබ්‌බසු සුඛී හෝහි අජ්‌ජාහම්‌හි සමුග්‌ගතා
දිට්‌ඨානි අරියසච්‌චානි උත්‌තරාපි සුණාතු මේති.

පුතේ පුනබ්බසු, ඔයා සුවපත් වෙන්න ඕන. යාන්තං මං අද ගැලවුනා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මගේ උත්තරා දරුවත් මේ ධර්මයමයි අහන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M