මා හට අසන්නට ලැබුනේ මෙහෙමයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා බොහෝ උජ්ඣාන සඤ්ඤික දෙවිවරු රැය පහන් වෙන වෙලාවේ, මුළු ජේතවන ආරාමයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිදින් අහසෙහි හිටියා. අහසෙහි හිටිය එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“යම් පැවිද්දෙක්, තමන් වෙන අයුරකින් ජීවත් වෙමින්, ඊට හාත්පසින්ම වෙනස් විදිහට කතාබස් කරනවා නම්, ඒක ලිහිණි වැද්දාගේ, ලිහිණි මස් කෑම වගේ දෙයක්. එයා සිව්පසය පාවිච්චි කරද්දී හොරකමට අහුවෙනවා.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“යමක් කරනවා නම්, ඒ දේ තමයි කිවයුත්තෙ. යමක් කරන්නෙ නැත්නම්, ඒ නොකරන දේ කියන්න ඕන නෑ. කියන අය අතරින්, නොකරන අය ගැන නුවණැත්තෝ දන්නවා.
යම් ප්‍රතිපදාවකින් ප්‍රඥාවන්ත උදවිය ධ්‍යාන වඩමින්, මාර බන්ධනයෙන් නිදහස් වෙනවාද, ක්‍රමානුකූලව දැඩි වූ ප්‍රතිපදාවකිනුයි ඒක කළ යුත්තෙ. එහෙම නැතුව මේ ප්‍රතිපදාව හුදෙක් කතාබස් කළ පමණකින් හෝ, ශ්‍රවණය කළ පමණින් හෝ පිළිපදින්න බෑ.
ලෝක ස්වභාවය දන්න, ආර්ය සත්‍ය අවබෝධ කළ, ලෝකයේ ඇති තණ්හාවෙන් එතෙර වුන, නිවනට පත් වූ නුවණැත්තෝ කවදාවත් ඔය විදිහට නම් කරන්නෙ නෑ.”
එතකොට ඒ දෙවිවරු පොළොවට බැහැල භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා, භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, අපටයි වරද සිද්ධ වුනේ. අඥානයෙක් වගේ, මෝඩයෙක් වගේ, පව්කාරයෙක් වගේ, අපිත් භාග්‍යවතුන් වහන්සේ සමඟ හැප්පෙන්න කල්පනා කළා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපට ආයෙමත් සංවරවීම පිණිස, මේ සිද්ධ වෙච්ච වරද, වරදක් ලෙස පිළිගන්නා සේක්වා!”
ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ සිනහවක් පහළ කළා.
එතකොට ඒ දෙවිවරු බොහෝ දොස් කියමින් අහසට පැන නැග්ගා. එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව පැවසුවා.
“තමන්ගේ වරද ගැන කියද්දිත්, යමෙක් ඉතින් ඒක පිළිගන්නෙ නැත්නම්, ඔහුගෙ සිත ඇතුළෙ කේන්තිය තියෙනවා. ඔහු ද්වේෂයට ගරු කරන කෙනෙක්. ඔහු වෛර බඳින කෙනෙක්.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ඇත්තෙන්ම මෙතන වරදක් සිදුවෙලා නෑ. වෙන අපරාධයක් සිද්ධ වෙලත් නෑ. වෛර ඔක්කොම සංසිඳිල තියෙන්නෙ. ඒ කාරණයෙන් මෙතනදී දක්‍ෂ වෙන්නයි ඕන.”
(දෙවියා) :
“වැරදි නැත්තෙ කාගෙද? අපරාධ නැත්තෙ කාගෙද? මුළාවට පත්වෙන්නෙ නැත්තෙ කවුද? හැමවෙලාවෙම සිහියෙන් සිටින ඥානවන්තයා කියන්නෙ කවුද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරන, සම්බුදු වූ, තථාගතයන් වහන්සේ තුළ වැරදි නෑ. උන්වහන්සේ තුළ අපරාධ නෑ. උන්වහන්සේ මුළා වෙලා නෑ. හැමවෙලාවෙම සිහියෙන්ම ජීවත් වෙන, උන්වහන්සේ ඤාණවන්තයි.
කෙනෙකුගේ වරද පවසද්දිත්, ඒක පිළිගන්නෙ නැත්නම්, ඔහුගේ සිතේ කෝපය තියෙනවා. ඔහු ද්වේෂයට ගරු කරනවා. ඔහු වෛර බඳින කෙනෙක්. නමුත් මම වෛරය පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා මං ඔබේ වරද පිළිගන්නවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M