මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා සතුල්ලපකායික නම් වූ බොහෝ දෙවිවරු, රැය පහන් වන වෙලාවේ මුළු ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“සත්පුරුෂයින් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයින් සමඟයි යාළුවෙන්න ඕන. සත්පුරුෂයින්ගේ ධර්මය දැනගත්තු කෙනාට දියුණුවක්මයි සිද්ධ වන්නේ. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ.”
එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“සත්පුරුෂයින් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමඟයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනාට ප්‍රඥාව ලැබෙනවා. වෙන දේකින් ප්‍රඥාව ලැබෙන්නේ නෑ.”
එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව පැවසුවා.
“සත්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමඟයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනාට ශෝක වෙන ජනයා මැද, ශෝක නොවී ඉන්න පුළුවනි.”
එතකොට වෙන දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“සත්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමඟමයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනා ඥාතීන් මැද බබලනවා.”
එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“සත්පුරුෂයින් සමඟයි ඉන්න ඕන. සත්පුරුෂයින් සමඟයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගන්න උදවිය සුගතියේ උපදිනවා.”
එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“සත්පුරුෂයන් සමඟයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමඟයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගන්න උදවිය, බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා.”
එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“භාග්‍යවතුන් වහන්ස, කවුරු විසින්ද ඉතාම හොඳට කිව්වේ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
ඔය හැමදෙනෙක්ම බොහෝම හොඳට කරුණු කිව්වා. එහෙනම් මගේ අදහසත් දැන් අහන්න.
“සත්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමඟයි යාළුවෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගැනීම නිසා, සියලු දුකින් නිදහස් වෙනවා.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ඒ දෙවිවරු මේ ගැන ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේව පැදකුණු කළා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M