මා හට අසන්ට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර තපෝදාරාමයේ. එදා ආයුෂ්මත් සමිද්ධි තෙරුන් රෑ පාන්දර නැඟිටලා, ඇඟපත සෝදගන්න තපෝදා නදියට ගියා. තපෝදා නදියෙන් ඇඟපත සෝදගෙන, අඳන සිවුර විතරක් ඇතිව, ඇඟේ තෙත සිඳවමින් හිටියා.
ඒ වෙලාවේ ඒ රෑ පහන් වන වෙලාවෙ එක්තරා දෙව්දුවක් මුළු තපෝදාවම ඒකාලෝක කරගෙන, සමිද්ධි තෙරුන් ළඟට ආවා. ඇවිදින් අහසේ සිටගෙනම, ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මේ ගාථාව කිව්වා.
“පින්වත් භික්‍ෂුව, (කම් සැප) නොවළඳා, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා නේද? (කම් සැපත්) වළඳලා, පිණ්ඩපාතෙත් වළඳන එක නරක නැද්ද? පින්වත් භික්‍ෂුව (එහෙම නෙවෙයි, කම් සැපත්) වළඳගෙනම පිණ්ඩපාතෙත් වළඳන්න. ඔබට මේ වටිනා අවස්ථාව මඟ හැරෙන්න එපා!”
(සමිද්ධි තෙරුන්) :
“අවස්ථාව? මට ඒක තේරෙන්නෙ නෑ. කාලය ආශාවෙන් වැහුනාම, ඇත්ත පේන්නෙ නෑ. ඒ නිසා මං (කම් සැප) වළඳන්නෙ නැතුව, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා. මට මේ උතුම් අවස්ථාව ඉක්මයන්න එපා!”
එතකොට ඒ දෙව්දුව පොළොවට බැහැලා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙහෙම කිව්වා.
“නෑ පින්වත් භික්‍ෂුව, ඔයා තාම තරුණයි. ලස්සන කළු කෙස් තියෙන සොඳුරු යොවුන් වයසේ නේද ඉන්නෙ? ජීවිතේ පළමු වයසේ කාම ක්‍රීඩා නොකර නේද ඉන්නෙ? පින්වත් භික්‍ෂුව, මේ මනුෂ්‍ය කාම සම්පත් වළඳන්න. මේ ජීවිතේදී ලබන්න තියෙන සැප අත්හැරලා, පරලොවදී ලැබෙන කාලයට අයිති සැප පස්සෙ දුවන්න එපා!”
(සමිද්ධි තෙරුන්) :
“නෑ, ආයුෂ්මත, මං මේ ජීවිතේදී ලබන්න තියෙන සැප අත්හැරලා, කාලයට අයිති දෙයක් හොයාගෙන දුවනව නොවෙයි. ඇත්තෙන්ම, මම කාලයට අයිති දේ තමයි අත්හැරියේ. මේ ජීවිතේදී ලැබෙන සැපයක්මයි මේ හොයාගෙන දුවන්නෙ. ආයුෂ්මත, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් කාලයට අයිතියි කියලා. බොහෝ දුක් සහිතයි කියලා. බොහෝ පීඩා සහිතයි කියලා. ඒ කාමය තුළ කරදර ගොඩාක් තියෙනවා කියලා. නමුත් මේ ශ්‍රී සද්ධර්මය මෙලොවදීම දකින්න පුළුවනි. හැම කාලයකම දකින්න පුළුවනි. ඇවිත් අවබෝධ කරගන්න කියල පෙන්වා දෙන්න පුළුවනි. තමන් තුළ ඇති කරගන්න පුළුවනි. බුද්ධිමත් උදවියට තම තමන් තුළින්ම ප්‍රත්‍යක්‍ෂ කරගන්න පුළුවනි.”
(දෙව්දුව) :
“පින්වත් භික්‍ෂුව, මේ කාමයන් කාලයට අයිතියි කියලා, බොහෝ දුක් සහිතයි කියලා, බොහෝ පීඩා සහිතයි කියලා, මේ කාමයන් තුළ බොහෝ කරදර තියෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මය මෙලොවදීම දකින්න පුළුවන් කියලා, ඕනම කාලෙක දකින්න පුළුවන් කියලා, ඇවිත් අවබෝධ කරගන්න කියලා පෙන්නල දෙන්න පුළුවන් කියලා, තමා තුළට පමුණුවාගන්න ඕන කියලා, බුද්ධිමත් උදවියට තම තමන් තුළින් අවබෝධ කරගන්න පුළුවන් කියලා දේශනා කළේ කොහොමද?
(සමිද්ධි තෙරුන්) :
“ආයුෂ්මත, ඇත්තෙන්ම මං ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්. මේ ශාසනේට අලුතින් පැමිණිච්ච අලුත් පැවිද්දෙක්. මට ඔය කාරණේ විස්තර වශයෙන් කියන්න පුළුවන්කමක් නෑ. ඒ භාග්‍යවත් අරහත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රජගහ නුවර තපෝදාරාමයේ වැඩඉන්නවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේව බැහැදැකල, ඔය ප්‍රශ්නය අහන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ යම් ආකාරයකින්ද, අන්න ඒ විදිහට මතක තබාගන්න.”
(දෙව්දුව):
“නෑ, පින්වත් භික්‍ෂුව, අපි වගේ උදවියට ඒ භාග්‍යවතුන් වහන්සේ කරා යන එක ලේසි වැඩක් නොවෙයි. අනිත් මහේශාක්‍ය දෙවිවරුන් විසින් පිරිවරාගෙන ඉන්නවා නෙව. එහෙම නෙවෙයි පින්වත් භික්‍ෂුව, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ඔබවහන්සේම වඩින්න. ගිහින් ඒ කාරණේ විමසන්න. අපිත් බණ අහන්න එන්නම්.”
“හොඳයි ආයුෂ්මත” කියල ආයුෂ්මත් සමිද්ධි තෙරුන් ඒ දෙව් දුවට පිළිතුරු දුන්නා. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ කරා ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් සමිද්ධි තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, මං රෑ පාන්දරින්ම නැගිටලා ඇඟ පත හෝදගන්න තපෝදා නදියට ගියා. තපෝදා නදියෙන් ඇඟ පත සෝදාගෙන, ගොඩට ඇවිත්, අඳන සිවුර විතරක් ඇඳගෙන, ඇඟේ තෙත සිඳවමින් හිටියා. ස්වාමීනි, ඒ වෙලාවෙ එක්තරා දෙව්දුවක්, ඒ රෑ පහන් වෙද්දි, මුළු තපෝදාවම ඒකාලෝක කරගෙන, මං ළඟට ආවා. ඇවිදින් අහසේ හිටගෙනම මට මේ ගාථාව කිව්වා.
‘පින්වත් භික්‍ෂුව, නොවළඳා, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා නේද? වළඳලා, පිණ්ඩපාතෙත් වළඳන එක නරක නැද්ද? වළඳගෙනම, පිණ්ඩපාතෙත් වළඳන්න. ඔබට මේ වටිනා අවස්ථාව මඟහැරෙන්න එපා!’
එතකොට ස්වාමීනි, මං ඒ දෙව්දුවට ගාථාවකින් උත්තර දුන්නා.
‘අවස්ථාව? මට ඒක තේරෙන්නෙ නෑ. කාලය ආශාවෙන් වැහුනාම ඇත්ත පේන්නෙ නෑ. ඒ නිසා මං වළඳන්නෙ නැතුව, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා. මට මේ උතුම් අවස්ථාව ඉක්මයන්න එපා!’
එතකොට ස්වාමීනි, ඒ දෙව්දුව පොළොවට බැහැල, මට මෙහෙම කිව්වා.
‘නෑ පින්වත් භික්‍ෂුව, ඔයා තාම තරුණයි. ලස්සන කළු කෙස් තියෙන, සොඳුරු යොවුන් වයසේ නේද ඉන්නෙ? ජීවිතේ පළමු වයසේ කාම ක්‍රීඩා නොකර නේද ඉන්නෙ? පින්වත් භික්‍ෂුව, මේ මනුෂ්‍ය කාම සම්පත් වළඳන්න. මේ ජීවිතේදී ලබන්න තියෙන සැප අත්හැරලා, පරලොවදී ලැබෙන කාලයට අයිති සැප පස්සෙ දුවන්න එපා!’
එතකොට ස්වාමීනි, මං ඒ දෙව්දුවට මෙහෙම කිව්වා.
‘නෑ ආයුෂ්මත. මං මේ ජීවිතේදී ලබන්න තියෙන සැප අත්හැරලා කාලයට අයිති දෙයක් සොයාගෙන දුවනවා නොවෙයි. ඇත්තෙන්ම මම කාලයට අයිති දේ තමයි අත්හැරියේ. මේ ජීවිතේදී ලැබෙන සැපයක්මයි මේ හොයාගෙන දුවන්නෙ. ආයුෂ්මත, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් කාලයට අයිතියි කියලා. බොහෝ දුක් සහිතයි කියලා. බොහෝ පීඩා සහිතයි කියලා. ඒ කාමය තුළ කරදර ගොඩාක් තියෙනවා කියලා. නමුත් මේ ශ්‍රී සද්ධර්මය මෙලොවදීම දකින්න පුළුවනි. හැම කාලයකදීම දකින්න පුළුවනි. ඇවිත් අවබෝධ කරන්න කියල පෙන්නා දෙන්න පුළුවනි. තමන් තුළ ඇති කරගන්න පුළුවනි. බුද්ධිමත් උදවියට තම තමන් තුළින්ම ප්‍රත්‍යක්‍ෂ කරගන්න පුළුවනි.’
එතකොට ස්වාමීනි, ඒ දෙව්දුව මට මෙහෙම කිව්වා.
‘පින්වත් භික්‍ෂුව, මේ කාමයන් කාලයට අයිතියි කියලා, බොහෝ දුක් සහිතයි කියලා, බොහෝ පීඩා සහිතයි කියලා, මේ කාමයන් තුළ බොහෝ කරදර තියෙනවයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? ඒ වගේම, මේ ශ්‍රී සද්ධර්මය මෙලොවදීම දකින්න පුළුවන් කියලා, ඕනම කාලෙක දකින්න පුළුවන් කියලා, ඇවිත් අවබෝධ කරගන්න කියලා පෙන්වා දෙන්න පුළුවන් කියලා, තමා තුළම පමුණුවාගන්න ඕන කියලා, බුද්ධිමත් උදවියට තම තමන් තුළින් අවබෝධ කරගන්න කියලා දේශනා කළේ කොහොමද?’
ස්වාමීනි, මං එතකොට ඒ දෙව්දුවට මෙහෙම කිව්වා.
‘ආයුෂ්මත, ඇත්තෙන්ම මං ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්. මේ ශාසනයට අලුතෙන් ආපු, අලුත් පැවිද්දෙක්. මට ඔය කාරණේ විස්තර වශයෙන් කියන්න පුළුවන්කමක් නෑ. ඒ භාග්‍යවත්, අරහත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රජගහ නුවර තපෝදාරාමයේ වැඩඉන්නවා. ඉතින්, ඒ භාග්‍යවතුන් වහන්සේව බැහැදැකලා ඔය ප්‍රශ්නය අහන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ ඔබට පිළිතුරු දේවි. අන්න ඒ විදිහට මතක තබාගන්න.
එතකොට ස්වාමීනි, ඒ දෙව්දුව මෙහෙම කිව්වා.‘නෑ, පින්වත් භික්‍ෂුව. අපි වගේ උදවියට ඒ භාග්‍යවතුන් වහන්සේ කරා යන එක ලේසි වැඩක් නොවෙයි. අනිත් මහේශාක්‍ය දෙවිවරුන් විසින් පිරිවරාගෙන ඉන්නවා නෙව. එහෙම නෙවෙයි පින්වත් භික්‍ෂුව, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ඔබවහන්සේම වඩින්න. ගිහින් ඔය කාරණේ විමසන්න. අපිත් බණ අහන්න එන්නම්’ කියලා. ඉතින් ස්වාමීනි, ඒ දෙව්දුව ඇත්තක් නම් කිව්වෙ, දැන් ඒ දෙව්දුව මේ ළඟම ඇති.
එතකොටම ඒ දෙව්දුව ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙහෙම කිව්වා.
“පින්වත් භික්‍ෂුව අහන්න. පින්වත් භික්‍ෂුව අහන්න. මේ මම ඇවිල්ලයි ඉන්නේ.”
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්දුවට මේ ගාථාවන් වදාළා.
“මේ සත්වයන් හඳුනාගන්නේ පංච උපාදානස්කන්ධයයි. පිහිටල ඉන්නෙත් ඒ පංච උපාදානස්කන්ධයේමයි. මේ පංච උපාදානස්කන්ධයමයි අවබෝධ නොකළෙත්. ඒ නිසා මේ සත්වයා මාරයාට වසඟ වෙලා ඉන්නෙ.
ඒ පංච උපාදානස්කන්ධයේම යථාර්ථය අවබෝධ කළාට පස්සෙ, ඒ පංච උපාදානස්කන්ධය ගැන ‘මමත්වයෙන් යුක්ත’ හැඟීමක් ඇති කරගන්නෙ නෑ. ඔහුට ඒ හැඟීම් ඇති වෙන්නෙත් නෑ. යම් කරුණක් නිසා ඔහුට රාග, ද්වේෂ, ආදිය ඇතිවෙනවා කියනවා නම් එබඳු දෙයක් ඔහු තුළ නෑ. ඉතින් පින්වත් දෙව්දුව, ඔබ එබඳු කෙනෙක් දකිනවා නම් කියන්න.”
(දෙව්දුව) :
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සාරාංශ වශයෙන් වදාළ ධර්මය මට විස්තර වශයෙන් තේරෙන්නෙ නෑ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විස්තර වශයෙන් මේ ධර්මය මට පවසන සේක්වා! එතකොට මට භාග්‍යවතුන් වහන්සේ විසින් සාරාංශ කොට වදාළ ධර්මය විස්තර වශයෙන් අවබෝධ කරන්න පුළුවනි!”
(භාග්‍යවතුන් වහන්සේ) :
“යම් කෙනෙක් හිතනවා නම්, අනිත් අයයි, මමයි ඔක්කොම එකයි කියලා, නැත්නම් අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියල හිතනවා නම්, අන්න ඒ නිසයි ඒ තැනැත්තා අනුන් හා වාද කරන්නේ. නමුත් යම් කෙනෙක් ඔය මාන තුන තුළ කම්පා වෙන්නෙ නැත්නම්, ඔහුට ‘මම සමානයි, මම ශ්‍රේෂ්ඨයි, මම හීනයි’ කියල හිතෙන්නෙ නෑ. ඉතින් පින්වත් දෙව්දුව, එබඳු කෙනෙක් ගැන දන්නවා නම් කියන්න.”
(දෙව්දුව):
“අනේ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ සාරාංශ කොට වදාළ ඔය කරුණේ අර්ථයත් විස්තර වශයෙන් මට තේරෙන්නෙ නෑ. ඉතින් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මට විස්තර වශයෙන් කියා දෙන සේක්වා! එතකොට මට භාග්‍යවතුන් වහන්සේ සාරාංශ කොට වදාළ මේ ධර්මය විස්තර වශයෙන් මට දැනගන්න ලැබේවි.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“සම්මුතියත් අත්හැරියා. විවිධාකාර වූ මාන්නයට පැමිණුනෙත් නෑ. මේ නාමරූපය කෙරෙහි තියෙන තණ්හාවත් නැති කළා. කෙලෙස් ගැටත් සිඳිල දැම්මා. දුක් රහිත වුනා. ආශා රහිත වුනා. දෙවියොත්, මනුෂ්‍යයොත්, මෙලොව හරි, පරලොව හරි, ස්වර්ගයෙ හරි, ඕනෑම සත්ව සන්නිවාසයක කොච්චර හෙව්වත් එබඳු කෙනෙකුගේ උපතක් සොයන්න බෑ. පින්වත් දෙව්දුව, ඔබට ඒ ගැන තේරුනා නම් කියන්න.”
(දෙව්දුව) :
“ස්වාමීනි, දැන් එය සාරාංශ කොට වදාළ කරුණු නම් මට විස්තර වශයෙන් මේ විදිහට තේරුනා.”
“කයින්, වචනයෙන්, මනසින් පව් කරන්නෙ නෑ. මේ ලෝකයේ සියලු කාමයන් අත්හරිනවා. සිහි ඇතිව ඉන්නවා. නුවණින් යුතුව ඉන්නවා. අයහපත ඇතිකරන කිසි දෙයක් කරන්නෙ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි නන්දන වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M