ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා හුදෙකලාවේ විවේකයෙන් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට මේ ආකාරයේ අදහසක් ඇතිවුනා. “පින්වත් රාහුලයන්ගේ අරහත්ඵල විමුක්තිය උදෙසා මේරිය යුතු දහම් මෝරලා තියෙනවා. එනිසා මං රාහුලයන් තවදුරටත් ආශ්‍රවයන් ක්ෂය වී යන පරිදි හික්මවන එකයි හොඳ” කියලා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරොවා පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩම කළා. සැවැත් නුවර පිඬු පිණිස හැසිර දන් වළඳා අවසන් කොට ආයුෂ්මත් රාහුලයන් අමතා වදාළා. “පින්වත් රාහුලයෙනි, නිසීදනය (වාඩිවීමට එලන ඇතිරිල්ල) ගන්න. දිවා විහරණය පිණිස අන්ධවනය පැත්තට අපි යමු.”
“එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා නිසීදනයත් රැගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ගමන් කළා.
ඒ වෙලාවේ දී නොයෙක් දහස් ගණන් දෙවිවරු “අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුලයන්ව තවදුරටත් ආශ්‍රවයන් ක්ෂයවීම පිණිස හික්මවා වදාරණ සේක” කියලා භාග්‍යවතුන් වහන්සේ අනුව පසුපසින් ගමන් කළා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ අන්ධවනය ඇතුළටම වැඩම කරලා එක්තරා රුක් සෙවනක පණවන ලද අසුනෙහි වැඩසිටියා. ආයුෂ්මත් රාහුලයන් ද භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් රාහුලයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය අසා වදාළා.
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රූප නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇසේ විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇසේ ස්පර්ශය නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ විඳීමට අයත් වූ, හඳුනා ගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇද්ද එයත් නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? කන නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.” ….(පෙ)….
“නාසය නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.” ….(පෙ)….
“දිව නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.” ….(පෙ)….
“කය නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.” ….(පෙ)….
“මනස නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? අරමුණු නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මනසේ විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මනසේ ස්පර්ශය නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ විඳීමට අයත් වූ, හඳුනා ගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇද්ද එයත් නිත්‍යයිද? අනිත්‍යයිද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයිද? සැපයිද?”
“ස්වාමීනී, එය දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මේක තමයි මම, මේක මගේ, මේ තමයි මගේ ආත්මය’ වශයෙන් දකින එක සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැත.”
“පින්වත් රාහුලයෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. රූප ගැන ත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. ඇසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. ඇසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ විඳීමට අයත් වූ, හඳුනා ගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇද්ද ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. කන ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා ….(පෙ)…. නාසය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා ….(පෙ)…. දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. ….(පෙ)…. කය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. ….(පෙ)…. මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. අරමුණු ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. මනෝ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. මනසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. මනසේ ස්පර්ශයෙන් උපන්නා වූ විඳීමට අයත් වූ, හඳුනා ගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇද්ද ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. කළකිරුණු විට ඒ කෙරෙහි තිබුන ඇල්ම නැතිව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඥානය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. නිවන් පිණිස කළයුතු වෙන දෙයක් නැතැ’යි අවබෝධයෙන්ම දැනගන්නවා.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුම සතුටින් පිළිගත්තා.
මෙම දෙසුම වදාරණ කල්හි ආයුෂ්මත් රාහුලයන්ගේ සිත උපදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වුනා. නොයෙක් දහස් ගණන් දෙවිවරුන්ටද ‘හේතූන්ගෙන් හටගන්නා වූ යම් දෙයක් ඇද්ද, ඒ සියල්ලම හේතූන් නැති වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි’ කියලා කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ වුනා.
සාදු! සාදු!! සාදු!!!
රාහුල තෙරුන්ට අවවාද වශයෙන් වදාළ කුඩා දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M