මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර තපෝදාරාමයෙහිය. එදා ආයුෂ්මත් සමිද්ධි තෙරුන් රෑ පාන්දරින් නැගිට ඇඟපත සේදීම පිණිස තපෝදා නදියට වැඩියා. තපෝදා නදියෙන් ඇඟපත සෝදාගෙන ශරීරයෙහි තෙත සිඳවමින් තනි සිවුරෙන් සිටියා. එතකොට එක්තරා දෙව්දුවක් ඒ ඉක්මගිය රාත්‍රියෙහි ඉතා මනස්කාන්ත වර්ණයක් ඇතිව මුළුමහත් තපෝදාවම බබුළුවාගෙන ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වෙත පැමිණුනා. පැමිණ එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි ඒ දෙව්දුව ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙය පැවසුවා.
“පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක තබාගෙනද ඉන්නේ?” “ආයුෂ්මත, මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක නැහැ නෙව.
ආයුෂ්මත, එතකොට ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක තබාගෙනද ඉන්නේ?”
“පින්වත් භික්ෂුව, මටත් සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක නැහැ නෙව.
පින්වත් භික්ෂුව, එහෙම නම් ඔබට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකද?”
“ආයුෂ්මත, මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකත් නැහැ.
ආයුෂ්මත, ඔබට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකද?”
“පින්වත් භික්ෂුව, මටත් සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකත් නැහැ නෙව.
පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් ඉගෙන ගන්න. පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් හොඳින් පාඩම් කරගන්න. පින්වත් භික්ෂුව, සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාගයත් නිවන් මඟට මුල් වෙනවාම යි. අර්ථවත්ම යි.”
ඒ දෙව්දුව මෙය පැවසුවා. මෙය පැවසූ ඇය එහිම නොපෙනී ගියා. එතකොට ආයුෂ්මත් සමිද්ධි තෙරුන් ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාගවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“ස්වාමීනී, මං රෑ පාන්දරින් නැගිට ඇඟපත සේදීම පිණිස තපෝදා නදියට වැඩියා. තපෝදා නදියෙන් ඇඟපත සෝදාගෙන ශරීරයෙහි තෙත සිඳවමින් තනි සිවුරෙන් සිටියා. ඉතින් එතකොට එක්තරා දෙව්දුවක් ඒ ඉක්මගිය රාත්‍රියෙහි ඉතා මනස්කාන්ත වර්ණයක් ඇතිව මුළුමහත් තපෝදාවම බබුළුවාගෙන මා වෙත පැමිණුනා. පැමිණ එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි ඒ දෙව්දුව මට මෙය පැවසුවා.
“පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක තබාගෙනද ඉන්නේ?”
එතකොට ස්වාමීනී, මං ඒ දෙව්දුවට මෙහෙම කිව්වා. “ආයුෂ්මත, මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක නැහැ නෙව” කියලා.
“ආයුෂ්මත, එතකොට ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක තබාගෙනද ඉන්නේ?”
“පින්වත් භික්ෂුව, මටත් සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක නැහැ නෙව.
පින්වත් භික්ෂුව, එහෙම නම් ඔබට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකද?”
“ආයුෂ්මත, මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකත් නැහැ.
ආයුෂ්මත, ඔබට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකද?”
“පින්වත් භික්ෂුව, මටත් සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකත් නැහැ නෙව.
පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් ඉගෙන ගන්න. පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් හොඳින් පාඩම් කරගන්න. පින්වත් භික්ෂුව, සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාගයත් නිවන් මඟට මුල් වෙනවාම යි. අර්ථවත්ම යි.”
ස්වාමීනී, ඒ දෙව්දුව මෙය පැවසුවා. මෙය පැවසූ ඇය එහිම නොපෙනී ගියා.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාගයත් දේශනා කරන සේක් නම් ඉතා මැනැවි.”
“එසේ වී නම් පින්වත් භික්ෂුව එය අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියාදෙන්නම්.”
“එසේය, ස්වාමීනී” කියා ආයුෂ්මත් සමිද්ධි තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. යමක් අතීතයට ගියාද, එය නැතිවෙලා ඉවරයි. අනාගත වූ යමක් ඇද්ද, එය තවම පැමිණිලා නෑ.
යම් දෙයක් වර්තමානයෙහි තිබෙනවාද, ඒ ඒ අවස්ථාවේදී නුවණින් විමසා බලනවා. කෙලෙස්වලට ඇදිලා යන්නෙ නෑ. කෙලෙස් සමඟ එකතු වී ඇවිස්සෙන්නේ නෑ. නුවණැති කෙනා ඔය විදිහටයි විදසුන් වඩන්නේ.
අදම යි කෙලෙස් තවන වීරියෙන් මෙය කළ යුත්තේ. හෙට මරණයට පත්වේදැයි කවුද දන්නේ. මහත් වූ සේනා ඇති මාරයා සමඟ කිසි ගිවිසුමක් ගසා නැහැ නෙව.
ඔය අයුරින් ධර්මයෙහි හැසිරෙන කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා රෑ දහවල් දෙකෙහිම කම්මැලි නොවී වාසය කරනවාද, ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩම කළා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කර නොබෝ වේලාවකින් ඒ භික්ෂූන් වහන්සේලාට මෙහෙම සිතුනා. “ප්‍රිය ආයුෂ්මත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය පිළිබඳව මූලික විග්‍රහය වදාරා, විස්තරාර්ථ නොදෙසා, විස්තර විභාග නොකොට හුනස්නෙන් නැගී වෙහෙරට වැඩිසේක.
‘අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ’ කියලා.
එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් වදාළ, අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා වදාළ, මෙම ධර්මයෙහි විස්තරාර්ථ විග්‍රහයක් කරන්නට පුළුවන් කාටද?
එතකොට ඒ භික්ෂූන් වහන්සේලාට මෙහෙම සිතුනා. මේ ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුත් වර්ණනා කරල තියෙනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් වදාළ, අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා වදාළ මෙම ධර්මයේ විස්තරාර්ථ විග්‍රහයක් කරන්නට දක්ෂයි. එනිසා අපි ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වෙත යමු. ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේගෙන් මෙම ධර්මයේ අර්ථ විමසා සිටිමු.
ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වෙත වැඩියා. වැඩම කොට ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩිවුනා. එක්ත්පස් ව හුන් ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේට මෙය පැවසුවා.
“ප්‍රිය ආයුෂ්මත් කච්චානයන් වහන්ස, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය මූලික විග්‍රහයක් හැටියටයි වදාළේ. අර්ථ වශයෙන් විස්තර ඇතුව විග්‍රහ නොකොට හුනස්නෙන් නැගී විහාරයට වැඩම කළා. ඒ ධර්මය මෙයයි.
‘අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ’ කියලා.
ඉතින් ප්‍රිය ආයුෂ්මත් කච්චානයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් අපට මෙහෙම සිතුනා. ‘ප්‍රිය ආයුෂ්මත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය පිළිබඳව මූලික විග්‍රහය වදාරා, විස්තරාර්ථ නොදෙසා, විස්තර විභාග නොකොට හුනස්නෙන් නැගී වෙහෙරට වැඩිසේක.
‘අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ’ කියලා.
එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් වදාළ, අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා වදාළ, මෙම ධර්මයෙහි විස්තරාර්ථ විග්‍රහයක් කරන්නට පුළුවන් කාටද?
එතකොට අපට මෙහෙම සිතුනා. මේ ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුත් වර්ණනා කරල තියෙනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් වදාළ, අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා වදාළ, මෙම ධර්මයේ විස්තරාර්ථ විග්‍රහයක් කරන්නට දක්ෂයි. එනිසා අපි ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වෙත යමු. ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ගෙන් මෙම ධර්මයේ අර්ථ විමසමු’ කියලා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ විස්තරාර්ථ වශයෙන් විග්‍රහ කරන සේක්වා!”
“ප්‍රිය ආයුෂ්තුනි, ඕක මෙන්න මේ වගේ දෙයක්, අරටුවකින් ප්‍රයෝජන ඇති, අරටුවක් හොයන, අරටුවක් හොයමින් ඇවිදින මිනිහෙක් ඉන්නවා. ඉතින් ඒ මනුස්සයා හොඳට අරටුව තියෙන ගහක් ළඟට ගිහින් ඒ අරටුව අත්හැරලා, මුල් අත්හැරලා, කඳ අත්ඇරලා, කොළ අතුවල අරටුවක් හොයනවා වගේ වැඩක් කියලයි මට මේ ගැන හිතෙන්නෙ. ආයුෂ්මතුන් වහන්සේලාට ශාස්තෘන් වහන්සේව මුණ ගැහිලත්, ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා දැනගන්නෙ නැතිව අපෙන් මේ උතුම් ධර්මයේ අර්ථ විමසා දැනගන්න හිතුව නෙවද? මේකත් ඒ වගේම දෙයක් නෙවද?
ඒකාන්තයෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි දැන ගත යුතු දේ දන්නෙ. උන්වහන්සේ තමයි දැක ගත යුතු දේ දකින්නෙ. උන්වහන්සේ දහම් ඇසින් උපන් කෙනෙක්. නැණ මඬලින් උපන් කෙනෙක්. දහම තුළින් උපන් කෙනෙක්. පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් කෙනෙක්. කිව යුතු දේ මැනවින් කියන කෙනෙක්. දම්සක් පවත්වන සේක. අර්ථ මතු කර දීමේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. උන්වහන්සේ තමයි අමා නිවන දන් දෙන්නෙ. ධර්මයට ස්වාමී වූ තථාගත වූ භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ උතුම් ධර්මයේ අර්ථ විමසා දැනගන්න කල් තිබුනා නොවේ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නෙ යම් අයුරකින්ද ඒ විදිහටම මතක තබාගන්න ඕන.”
“ඒක ඇත්ත, ප්‍රිය ආයුෂ්මත් කච්චානයන් වහන්ස, ඒකාන්තයෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි දැනගත යුතු දේ දන්නෙ. උන්වහන්සේ තමයි දැකගත යුතු දේ දකින්නෙ. උන්වහන්සේ දහම් ඇසින් උපන් කෙනෙක්. නැණ මඬලින් උපන් කෙනෙක්. දහම තුළින් උපන් කෙනෙක්. පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් කෙනෙක්. කිව යුතු දේ මැනවින් කියන කෙනෙක්. දම්සක් පවත්වන සේක. අර්ථ මතු කර දීමේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. උන්වහන්සේ තමයි අමා නිවන දන් දෙන්නෙ. ධර්මයට ස්වාමී වූ තථාගත වූ භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ උතුම් ධර්මයේ අර්ථ විමසා දැනගන්ට කල් තිබුනා. භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ධර්මයේ අර්ථ ඇසුවා නම් භාග්‍යවතුන් වහන්සේ අපට පිළිතුරු දෙනවාම යි. අපත් ඒ විදිහට මතක තබාගන්නවාම යි.
නමුත් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ගැන ශාස්තෘන් වහන්සේ පවා වර්ණනා කරලා තියනවා. බුද්ධිමත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් කරුණු එකට ගොනු කොට මාතෘකාවක් වශයෙන් වදාළ, අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා වදාළ මේ උතුම් ධර්මය අර්ථ වශයෙන් විස්තර කරල දෙන්න සමර්ථයි. ඉතින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේට අපහසුවක් නැත්නම් මේ කරුණු බෙදා විස්තර කොට දෙනු මැනවි.”
“එසේ නම් ප්‍රිය ආයුෂ්මතුනි, මනාකොට අසන්න. නුවණින් තේරුම් ගන්න. මම කියා දෙන්නම්.”
“එහෙමයි ආයුෂ්මතුනි” කියලා ඒ භික්ෂූන් වහන්සේලාත් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ මෙය වදාළා.
“ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් විග්‍රහ කොට, විස්තරාර්ථ වශයෙන් විග්‍රහ නොකොට යම් ධර්මයක් වදාරලා වෙහෙරට වැඩියාද, ඒ කියන්නේ;
‘අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ’ කියලා.
ප්‍රිය ආයුෂ්මතුනි, සංක්ෂේපයෙන් විග්‍රහ කොට, විස්තරාර්ථ වශයෙන් විග්‍රහ නොකොට යම් ධර්මයක් වදාළාද, එය විස්තර වශයෙන් අර්ථය මං මේ විදිහටයි දන්නේ.
ප්‍රිය ආයුෂ්මතුනි, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ කොහොමද? ‘ඉස්සරත් මේ විදිහට මගේ ඇස තිබුනා. මේ විදිහට රූපත් තිබුනා’ කියල, ඒ අතීතයට ගිය කරුණු ගැන ඡන්දරාගයෙන් බැඳුණු විඤ්ඤාණය ඇතිවෙනවා. ඉතින් විඤ්ඤාණයට ඡන්දරාගයෙන් බැඳුණු නිසා එයම යි සතුටින් පිළිගන්නේ. එය සතුටින් පිළිගනිද්දී, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙනවා. ‘ඉස්සරත් මේ විදිහට මගේ කන තිබුනා. මේ විදිහට ශබ්දත් තිබුනා’ කියල ඒ අතීතයට ගිය කරුණු ගැන ඡන්දරාගයෙන් බැඳුණු විඤ්ඤාණය ඇතිවෙනවා. ….(පෙ)…. ‘ඉස්සරත් මේ විදිහට මගේ නාසය තිබුනා. මේ විදිහට ගඳ සුවඳත් තිබුනා’ ….(පෙ)…. ‘ඉස්සරත් මේ විදිහට මගේ දිව තිබුනා. මේ විදිහට රසත් තිබුනා’ ….(පෙ)…. ‘ඉස්සරත් මේ විදිහට මගේ කය තිබුනා. මේ විදිහට පහසත් තිබුනා’ ….(පෙ)…. ‘ඉස්සරත් මේ විදිහට මගේ මනස තිබුනා. මේ විදිහට අරමුණුත් තිබුනා’ කියල ඒ අතීතයට ගිය කරුණු ගැන ඡන්දරාගයෙන් බැඳුණු විඤ්ඤාණය ඇතිවෙනවා. ඉතින් විඤ්ඤාණයට ඡන්දරාගයෙන් බැඳුණු නිසා එයම යි සතුටින් පිළිගන්නේ. එය සතුටින් පිළිගනිද්දී, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහටයි අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ.
ප්‍රිය ආයුෂ්මතුනි, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙන්නේ කොහොමද? ‘ඉස්සරත් මේ විදිහට මගේ ඇස තිබුනා. මේ විදිහට රූපත් තිබුනා’ කියල ඒ අතීතයට ගිය කරුණු ගැන ඡන්දරාගයෙන් බැඳුණු විඤ්ඤාණය ඇතිකරගන්නේ නෑ. ඉතින් විඤ්ඤාණයට ඡන්දරාගයෙන් නොබැඳුණු නිසා එය සතුටින් පිළිගන්නේ නෑ. එය සතුටින් නොපිළිගන්නා නිසා අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ‘ඉස්සරත් මේ විදිහට මගේ කන තිබුනා. මේ විදිහට ශබ්දත් තිබුනා’ කියල ඒ අතීතයට ගිය කරුණු ගැන ඡන්දරාගයෙන් බැඳුණු විඤ්ඤාණය ඇතිකරගන්නේ නෑ. ….(පෙ)…. ‘ඉස්සරත් මේ විදිහට මගේ නාසය තිබුනා. මේ විදිහට ගඳ සුවඳත් තිබුනා’ ….(පෙ)…. ‘ඉස්සරත් මේ විදිහට මගේ දිව තිබුනා. මේ විදිහට රසත් තිබුනා’ ….(පෙ)…. ‘ඉස්සරත් මේ විදිහට මගේ කය තිබුනා. මේ විදිහට පහසත් තිබුනා’ ….(පෙ)…. ‘ඉස්සරත් මේ විදිහට මගේ මනස තිබුනා. මේ විදිහට අරමුණුත් තිබුනා’ කියල ඒ අතීතයට ගිය කරුණු ගැන ඡන්දරාගයෙන් බැඳුණු විඤ්ඤාණය ඇති කරගන්නේ නෑ. ඉතින් විඤ්ඤාණයට ඡන්දරාගයෙන් නොබැඳුණු නිසා එය සතුටින් පිළිගන්නේ නෑ. එය සතුටින් නොපිළිගනිද්දී, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙන්නේ ඔය විදිහටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ කොහොමද? ‘අනාගතයෙහි මේ විදිහට මගේ ඇස මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ රූපත් ලැබෙනවා නම්’ කියල නොලත් ආධ්‍යාත්මික බාහිර ආයතන ලැබීමේ පැතුමෙන් යුතු සිතක් පිහිටුවා ගන්නවා. ඒ සිතේ පැතුම හේතුවෙන් එය සතුටෙන් පිළිගන්නවා. එය සතුටින් පිළිගනිද්දී තමයි ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ. ‘අනාගතයෙහි මේ විදිහට මගේ කන මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ ශබ්දත් ලැබෙනවා නම්’ ….(පෙ)…. ‘අනාගතයෙහි මේ විදිහට මගේ නාසය මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ ගඳ සුවඳත් ලැබෙනවා නම්’ ….(පෙ)…. ‘අනාගතයෙහි මේ විදිහට මගේ දිව මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ රසත් ලැබෙනවා නම්’ ….(පෙ)…. ‘අනාගතයෙහි මේ විදිහට මගේ කය මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ පහසත් ලැබෙනවා නම්’ ….(පෙ)…. ‘අනාගතයෙහි මේ විදිහට මගේ මනස මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ අරමුණුත් ලැබෙනවා නම්’ කියල නොලත් ආධ්‍යාත්මික බාහිර ආයතන ලැබීමේ පැතුමෙන් යුතු සිතක් පිහිටුවා ගන්නවා. ඒ සිතේ පැතුම හේතුවෙන් එය සතුටෙන් පිළිගන්නවා. එය සතුටින් පිළිගනිද්දී තමයි ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ ඔය විදිහටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතන්නේ කොහොමද? ‘අනාගතයෙහි මේ විදිහට මගේ ඇස මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ රූපත් ලැබෙනවා නම්’ කියල නොලත් ආධ්‍යාත්මික බාහිර ආයතන ලැබීමේ පැතුමෙන් යුතු සිත පිහිටුවන්නේ නෑ. සිත අනාගතයේ නොපිහිටුවා ගන්නා නිසා එය සතුටෙන් පිළිගන්නේ නෑ. එය සතුටින්
නොපිළිගනිද්දී ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ නෑ. ‘අනාගතයෙහි මේ විදිහට මගේ කන මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ ශබ්දත් ලැබෙනවා නම්’ ….(පෙ)…. ‘අනාගතයෙහි මේ විදිහට මගේ නාසය මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ ගඳ සුවඳත් ලැබෙනවා නම්’ ….(පෙ)…. ‘අනාගතයෙහි මේ විදිහට මගේ දිව මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ රසත් ලැබෙනවා නම්’ ….(පෙ)…. ‘අනාගතයෙහි මේ විදිහට මගේ කය මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ පහසත් ලැබෙනවා නම්’ ….(පෙ)…. ‘අනාගතයෙහි මේ විදිහට මගේ මනස මට ලැබෙනවා නම්, ඒ වගේම මේ විදිහේ අරමුණුත් ලැබෙනවා නම්’ කියල නොලත් ආධ්‍යාත්මික බාහිර ආයතන ලැබීමේ පැතුමෙන් යුතු සිත පිහිටුවන්නේ නෑ. සිත අනාගතයේ නොපිහිටුවා ගන්නා නිසා එය සතුටෙන් පිළිගන්නේ නෑ. එය සතුටින් නොපිළිගනිද්දී ආශ්වාදය තුළ දිවිගෙවීමට අනාගතය පතන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතන්නේ ඔය විදිහටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ කොහොමද? ‘යම් ඇසක් ඇද්ද, යම් රූපයක් ඇද්ද, මේ දෙකම වර්තමානයේ තියෙනවා. ඉදින් ඒ වර්තමානය තුළ ඡන්දරාගය හා බැඳුණු විඤ්ඤාණයක් තියෙනවා නම්, විඤ්ඤාණයට ඡන්දරාගයේ බැඳීම ඇති නිසා එය සතුටින් පිළිගන්නවා. එය සතුටින් පිළිගනිද්දී තමයි වර්තමානයේ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ‘යම් කනක් ඇද්ද, යම් ශබ්දයක් ඇද්ද, ….(පෙ)…. ‘යම් නාසයක් ඇද්ද, යම් ගඳ සුවඳක් ඇද්ද, ….(පෙ)…. ‘යම් දිවක් ඇද්ද, යම් රසයක් ඇද්ද, ….(පෙ)…. ‘යම් කයක් ඇද්ද, යම් පහසක් ඇද්ද, ….(පෙ)…. ‘යම් මනසක් ඇද්ද, යම් අරමුණු ඇද්ද, මේ දෙකම වර්තමානයේ තියෙනවා. ඉදින් ඒ වර්තමානය තුළ ඡන්දරාගය හා බැඳුණු විඤ්ඤාණයක් තියෙනවා නම්, විඤ්ඤාණයට ඡන්දරාගයේ බැඳීම ඇති නිසා එය සතුටින් පිළිගන්නවා. එය සතුටින් පිළිගනිද්දී තමයි වර්තමානයේ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ ඔය විදිහටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ කොහොමද? ‘යම් ඇසක් ඇද්ද, යම් රූපයක් ඇද්ද, මේ දෙකම වර්තමානයේ තියෙනවා. ඉදින් ඒ වර්තමානය තුළ ඡන්දරාගය හා බැඳුණු විඤ්ඤාණයක් පවත්වන්නේ නැත්නම්, විඤ්ඤාණයට ඡන්දරාගයේ බැඳීම නැති නිසා එය සතුටින් පිළිගන්නේ නෑ. එය සතුටින් නොපිළිගනිද්දී තමයි වර්තමානයේ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ‘යම් කනක් ඇද්ද, යම් ශබ්දයක් ඇද්ද, ….(පෙ)…. ‘යම් නාසයක් ඇද්ද, යම් ගඳ සුවඳක් ඇද්ද, ….(පෙ)…. ‘යම් දිවක් ඇද්ද, යම් රසයක් ඇද්ද, ….(පෙ)…. ‘යම් කයක් ඇද්ද, යම් පහසක් ඇද්ද, ….(පෙ)…. ‘යම් මනසක් ඇද්ද, යම් අරමුණු ඇද්ද, මේ දෙක ම වර්තමානයේ තියෙනවා. ඉදින් ඒ වර්තමානය තුළ ඡන්දරාගය හා බැඳුණු විඤ්ඤාණයක් පවත්වන්නේ නැත්නම්, විඤ්ඤාණයට ඡන්දරාගයේ බැඳීම නැති නිසා එය සතුටින් පිළිගන්නේ නෑ. එය සතුටින් නොපිළිගනිද්දී තමයි වර්තමානයේ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ ඔය විදිහටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් විග්‍රහ කොට, විස්තර වශයෙන් විග්‍රහ නොකොට යම් ධර්මයක් වදාරා විහාරයට වැඩි සේක්ද, ඒ කියන්නේ
‘අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ’ කියලා.
ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් විග්‍රහ කොට, විස්තරාර්ථ වශයෙන් විග්‍රහ නොකොට යම් ධර්මයක් වදාළාද, එය විස්තර වශයෙන් අර්ථය මං මේ විදිහටයි දන්නේ.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉතින් ඔබවහන්සේලා කැමති නම්, භාග්‍යවතුන් වහන්සේ බැහැදැක ඔය කාරණය අසන්න. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් වදාරණ සේක් නම්, ඒ අයුරින්ම ධාරණය කරගන්න.
එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ පැවසූ ධර්මය සතුටෙන් පිළිගෙන අනුමෝදන් වී හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් කෙටියෙන් වදාරා, විස්තර විභාග වශයෙන් නොවදාරා, හුනස්නෙන් නැගී වෙහෙරට වැඩි සේක්ද, ඒ කියන්නේ
‘අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ’ කියලා.
ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ වේලාවකින් අපට මෙහෙම සිතුනා.
‘ප්‍රිය ආයුෂ්මත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය පිළිබඳව මූලික විග්‍රහය වදාරා, විස්තරාර්ථ නොදෙසා, විස්තර විභාග නොකොට හුනස්නෙන් නැගී වෙහෙරට වැඩිසේක.
‘අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ’ කියල.
එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් වදාළ අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා වදාළ මෙම ධර්මයෙහි විස්තරාර්ථ විග්‍රහයත් කරන්නට පුළුවන් වෙන කාටද?
එතකොට ස්වාමීනී, අපට මෙහෙම සිතුනා. මේ ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුත් වර්ණනා කරල තියෙනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් වදාළ අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා වදාළ මෙම ධර්මයේ විස්තරාර්ථ විග්‍රහයක් කරන්නට දක්ෂයි. එනිසා අපි ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වෙත යමු. ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ගෙන් මෙම ධර්මයේ අර්ථ විමසා සිටිමු’ කියලා.
ඉතින් ස්වාමීනී, අපි ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වෙත වැඩියා. වැඩලා ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේගෙන් ඔය ධර්මය පිළිබඳව විමසුවා. එතකොට ස්වාමීනී, ඒ අපට ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ මේ මේ ආකාරයෙන්, මේ මේ පදවලින්, මේ මේ ප්‍රකාශනයන්ගෙන් අර්ථය විස්තර කළා.
පින්වත් මහණෙනි, මහාකච්චානයන් ඉතා නුවණැති කෙනෙක්. පින්වත් මහණෙනි, මහාකච්චානයන් මහා ප්‍රඥාවන්තයි. පින්වත් මහණෙනි, ඔබ මගෙන් ඔය කාරණය පිළිබඳව විමසුවා නම්, මම විස්තර කරලා දෙන්නෙත් ඔය විදිහටම යි. එනිසා මහාකච්චානයන් විසින් යම් ආකාරයකින් කියාදුන්නාද, ඒක තමයි ඔය ධර්මයෙහි අර්ථය. එය ඒ විදිහටම දරාගන්න.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
සොඳුරු හුදෙකලාවේ ඇලී සිටීම ගැන මහා කච්චාන තෙරුන් වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M