මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයෙහි ඉතාමත් ප්‍රසිද්ධ වූ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් වහන්සේලා සමඟයි වැඩවාසය කළේ. ඒ කියන්නේ ආයුෂ්මත් සාරිපුත්ත මහරහතන් වහන්සේ, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආයුෂ්මත් මහාකස්සප මහරහතන් වහන්සේ, ආයුෂ්මත් මහාකච්චායන මහරහතන් වහන්සේ, ආයුෂ්මත් මහාකොට්ඨිත මහරහතන් වහන්සේ, ආයුෂ්මත් මහාකප්පින මහරහතන් වහන්සේ, ආයුෂ්මත් මහාචුන්ද මහරහතන් වහන්සේ, ආයුෂ්මත් අනුරුද්ධ මහරහතන් වහන්සේ, ආයුෂ්මත් රේවත මහරහතන් වහන්සේ, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආදී කොට ඇති අතිශයින්ම කීර්තිමත් වූ, ස්ථවිර ශ්‍රාවකයන් වහන්සේලා සමඟයි භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කළේ.
ඒ දිනවල ස්ථවිර භික්ෂූන් වහන්සේලා නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂූන් වහන්සේලා නවක පැවිද්දන් දහනමකටත් අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂූන් වහන්සේලා නවක පැවිද්දන් විසිනමකටත් අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂූන් වහන්සේලා නවක පැවිද්දන් තිස්නමකටත් අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂූන් වහන්සේලා නවක පැවිද්දන් හතළිස් නමකටත් අවවාද අනුශාසනා කරනවා. ඉතින් ස්ථවිර භික්ෂූන් වහන්සේලා ගෙන් අවවාද ලබන, අනුශාසනා ලබන ඒ නවක භික්ෂූන් වහන්සේලා තමන් ආරම්භ කළ මූලික ගුණධර්මවලට වඩා උදාර වූ විශේෂ ගුණාංගයන් අවබෝධ කරගන්නවා.
එසමයෙහි එදා උපෝසථ දවසේ, පසළොස්වක පොහොය දවසේ, පොහොය පවාරණ දවසෙහි, පුන් සඳ ඇති රාත්‍රියෙහි භික්ෂුසංඝයා පිරිවරා ගත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එළිමහනෙහි වැඩසිටියා. එවේලෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම නිශ්ශබ්දව භාවනාවෙන් වැඩසිටින භික්ෂුසංඝයා දෙස හාත්පස නෙත් විදහා බලා ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා.
“පින්වත් මහණෙනි, මේ ප්‍රතිපදාව තුළ මං සතුටට පත්වෙලා ඉන්නේ. පින්වත් මහණෙනි, මේ ප්‍රතිපදාව තුළින් මං සතුටු සිතින් ඉන්නේ. එනිසා පින්වත් මහණෙනි, නොපැමිණි අරහත් ඵලයට පත්වීම පිණිස, අත් නොදුටු අරහත් ඵලය අත්දැකීම පිණිස, සාක්ෂාත් නොකළ අරහත් ඵලය සාක්ෂාත් කිරීම පිණිස ඉතා බලවත් ලෙස වීරිය යොදන්න. පින්වත් මහණෙනි, මම මේ සැවැත් නුවරෙහිම කුමුදු මල් පිපෙන ඉල් පොහොය දක්වා ගතකරන්නටයි සිතන් ඉන්නේ.
ජනපදවාසී භික්ෂුසංඝයා හට ‘භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සැවැතෙහිම කුමුදු මල් පිපෙන ඉල් පොහොය දක්වා වැඩසිටිනා සේක’යි අසන්නට ලැබුනා. ඉතින් ඒ ඒ ජනපදවල වස් විසූ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට සැවැත් නුවරට පැමිණුනා. ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඉතා බලවත් ඕනෑකමින් යුතුව නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂූන් වහන්සේලා නවක පැවිද්දන් දහනමකටත් අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂූන් වහන්සේලා නවක පැවිද්දන් විසිනමකටත් අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂූන් වහන්සේලා නවක පැවිද්දන් තිස්නමකටත් අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂූන් වහන්සේලා නවක පැවිද්දන් හතළිස් නමකටත් අවවාද අනුශාසනා කරනවා. ඉතින් ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් අවවාද ලබන, අනුශාසනා ලබන ඒ නවක භික්ෂූන් වහන්සේලා තමන් ආරම්භ කළ මූලික ගුණධර්මවලට වඩා උදාර වූ විශේෂ ගුණාංගයන් අවබෝධ කරගන්නවා.
එසමයෙහි එදා උපෝසථ දවසේ, පසළොස්වක පොහොය දවසේ, කුමුදු මල් පිපෙන ඉල් පුන් සඳ ඇති රාත්‍රියෙහි භික්ෂුසංඝයා පිරිවරා ගත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එළිමහනෙහි වැඩසිටියා. එවේලෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම නිශ්ශබ්දව භාවනාවෙන් වැඩසිටින භික්ෂුසංඝයා දෙස හාත්පස නෙත් විදහා බලා ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා.
“පින්වත් මහණෙනි, මේ සඟපිරිස බොරුවෙන් තොරයි. පින්වත් මහණෙනි, මේ සඟපිරිස බොරු රහිතයි. පාරිශුද්ධයි. සාරවත් ගුණ තුළ පිහිටලයි ඉන්නේ. පින්වත් මහණෙනි, යම් බඳු වූත් සඟපිරිසක් ආහුනෙය්‍ය වේද, පාහුනෙය්‍ය වේද, දක්ඛිණෙය්‍ය වේද, අඤ්ජලිකරණීය වේද, ලොවට උතුම් පින් කෙත වේද, පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා එබඳු ගුණයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේ සඟ පිරිස එබඳු ගුණයෙන් යුක්තයි.
යම් බඳු සඟපිරිසකට ස්වල්ප වූ දානයක් දුන් විට බොහෝ පින් ලැබෙයිද, බොහෝ දන් දුන් විට ඉතාමත් බොහෝ පින් ලැබෙයිද, පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා එබඳු ගුණයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේ සඟ පිරිස එබඳු ගුණයෙන් යුක්තයි.
යම් බඳු සඟ පිරිසක් ලෝකයාට දකින්නට ඉතාමත් දුර්ලභ වෙයිද, පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා එබඳු ගුණයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේ සඟ පිරිස එබඳු ගුණයෙන් යුක්තයි.
යම් බඳු සඟ පිරිසක් බැහැදකින්නට බත් බුලත් ආදී මාර්ගෝපකරණ බැඳගෙන යොදුන් දහස් ගණනක් වුවත් ගෙවාගෙන බැහැදැකුමට යන්නට සුදුසුයි නම්, පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා එබඳු ගුණයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේ සඟ පිරිස එබඳු ගුණයෙන් යුක්තයි.
පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර ඛීණාශ්‍රව වූ, බඹසර වාසය සම්පූර්ණ කළා වූ, කළ යුතු හැම කළා වූ, කෙලෙස් බර බැහැර තැබුවා වූ, අනුපිළිවෙලින් පත් වූ අවබෝධයෙන් යුතු වූ, භව සංයෝජන ක්ෂය කළා වූ, මනා කොට ලත් අවබෝධයෙන්ම දුකෙන් නිදහස් වූ රහතන් වහන්සේලා ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලා මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කොට, ඕපපාතිකව සුද්ධාවාස ලෝකයෙහි ඉපිද, එහිදීම පිරිනිවන් පාන සුළු වූ, නැවත එලොවින් පෙරලා නො එන ස්වභාවයෙන් යුතු වූ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ අනාගාමී භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර සංයෝජන තුනක් ක්ෂය කොට, රාග ද්වේෂ මෝහ තුනී කරගත්, මෙලොවට එක් වරක් පමණක් පැමිණ දුක් නිමා කරන සකදාගාමී භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ සකදාගාමී භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර සංයෝජන තුනක් ක්ෂය කොට, සතර අපායේ නොවැටෙන, නියත වශයෙන්ම නිවන් අවබෝධ කිරීම පිහිට කොටගත් සෝතාපන්න භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ සෝතාපන්න භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර සතර සතිපට්ඨාන භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර සතර සම්‍යක්ප්‍රධාන වීරියෙන් යුතුව භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේ ම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර සතර ඉර්ධිපාදයෙන් යුතුව භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර පංච ඉන්ද්‍රියන්ගෙන් යුතුව භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර පංච බලයන් ගෙන් යුතුව භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේ ම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර සප්ත බොජ්ඣංග ධර්මයන්ගෙන් යුතුව භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුතුව භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර මෛත්‍රී භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර කරුණා භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර මුදිතා භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර උපේක්ෂා භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර අසුභ භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර අනිත්‍ය සඤ්ඤා භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලාත් මේ සඟ පිරිස අතර ඉන්නවා.
ඒ වගේම පින්වත් මහණෙනි, මේ භික්ෂුසංඝයා අතර ආනාපානසති භාවනාවෙහි නිරතුරුවම යෙදෙමින් වාසය කරන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා.
පින්වත් මහණෙනි, මැනැවින් ප්‍රගුණ කළ, බහුල වශයෙන් ප්‍රගුණ කළ ආනාපානසති භාවනාව මහත්ඵලයි මහානිශංසයි. පින්වත් මහණෙනි, මැනැවින් ප්‍රගුණ කළ, බහුල වශයෙන් ප්‍රගුණ කළ ආනාපානසති භාවනාව සතර සතිපට්ඨානය පරිපූර්ණ කරනවා. මැනැවින් ප්‍රගුණ කළ, බහුල වශයෙන් ප්‍රගුණ කළ සතර සතිපට්ඨානය, සප්ත බොජ්ඣංග ධර්මයන් පරිපූර්ණ කරනවා. මැනැවින් ප්‍රගුණ කළ, බහුල වශයෙන් ප්‍රගුණ කළ සප්ත බොජ්ඣංග ධර්මයන් විද්‍යාවත්, විමුක්තියත් පරිපූර්ණ කරනවා.
පින්වත් මහණෙනි, ආනාපානසති භාවනාව කවර ආකාරයෙන් ප්‍රගුණ කළොත්ද, කවර ආකාරයෙන් බහුල වශයෙන් ප්‍රගුණ කළොත්ද, මහත්ඵල මහානිශංස වන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයකට ගිහින් හෝ රුක්සෙවණකට ගිහින් හෝ නිදහස් තැනකට ගිහින් කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන, පළඟක් බැඳගෙන වාඩිවෙනවා. ඉතින් ඒ භික්ෂුව සිහියෙන්ම හුස්ම ගන්නවා. සිහියෙන්ම හුස්ම හෙලනවා.
දීර්ඝව ආශ්වාස කරද්දි, දීර්ඝව ආශ්වාස කරන බව දැනගන්නවා. දීර්ඝව ප්‍රශ්වාස කරද්දි, දීර්ඝව ප්‍රශ්වාස කරන බව දැනගන්නවා. කෙටියෙන් ආශ්වාස කරද්දි, කෙටියෙන් ආශ්වාස කරන බව දැනගන්නවා. කෙටියෙන් ප්‍රශ්වාස කරද්දි, කෙටියෙන් ප්‍රශ්වාස කරන බව දැනගන්නවා. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය කෙරෙහි සංවේදී වෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය කෙරෙහි සංවේදී වෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා.
ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සැපය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සැපය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සඤ්ඤා වේදනා නම් වූ චිත්ත සංස්කාර ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සඤ්ඤා වේදනා නම් වූ චිත්ත සංස්කාර ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සඤ්ඤා වේදනා නම් වූ චිත්ත සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සඤ්ඤා වේදනා නම් වූ චිත්ත සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා.
සිත ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත විශේෂයෙන් ප්‍රමුදිත කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත විශේෂයෙන් ප්‍රමුදිත කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත තැන්පත් කරගනිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත තැන්පත් කරගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත අකුසල්වලින් මුදවා ගනිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත අකුසල්වලින් මුදවා ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා.
අනිත්‍යය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. අනිත්‍යය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. නොඇලෙන ස්වභාවය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. නොඇලෙන ස්වභාවය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ඇල්ම නිරුද්ධ වී යන අයුරු බලමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ඇල්ම නිරුද්ධ වී යන අයුරු බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ඇල්ම මුලුමනින්ම බැහැර වී යන අයුරු බලමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ඇල්ම මුලුමනින්ම බැහැර වී යන අයුරු බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා.
පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් ප්‍රගුණ කළ, ඔය ආකාරයෙන් බහුල වශයෙන් ප්‍රගුණ කළ ආනාපානසති භාවනාව තමයි මහත්ඵල, මහානිශංස වන්නේ.
පින්වත් මහණෙනි, ආනාපානසති භාවනාව කවර ආකාරයෙන් ප්‍රගුණ කළොත්ද, කවර ආකාරයෙන් බහුල වශයෙන් ප්‍රගුණ කළොත්ද, සතර සතිපට්ඨාන ධර්මයන් පරිපූර්ණ වන්නේ?
පින්වත් මහණෙනි, යම් වෙලාවක භික්ෂුව දීර්ඝව ආශ්වාස කරද්දී, දීර්ඝව ආශ්වාස කරන බව දන්නවාද, දීර්ඝව ප්‍රශ්වාස කරද්දී දීර්ඝව ප්‍රශ්වාස කරන බව දන්නවාද, කෙටියෙන් ආශ්වාස කරද්දී, කෙටියෙන් ආශ්වාස කරන බව දන්නවාද, කෙටියෙන් ප්‍රශ්වාස කරද්දී, කෙටියෙන් ප්‍රශ්වාස කරන බව දන්නවාද, සියලු කයට සංවේදී වෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, සියලු කයට සංවේදී වෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, කායසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් අත්හැර, සිහියෙන් යුක්තව කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙනුයි වාසය කරන්නේ. පින්වත් මහණෙනි, ශරීරයන් පිළිබඳව ඇති එක්තරා කයක් කියල මම මෙසේ කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසයටයි. එනිසා පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවෙහි දී භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් අත්හැර, සිහියෙන් යුක්තව කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙනුයි වාසය කරන්නේ.
පින්වත් මහණෙනි, යම් වෙලාවක භික්ෂුව ප්‍රීතියට සංවේදී වෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, ප්‍රීතියට සංවේදී වෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, සැපයට සංවේදී වෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, සැපයට සංවේදී වෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, චිත්ත සංස්කාරවලට සංවේදී වෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, චිත්ත සංස්කාරවලට සංවේදී වෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, චිත්ත සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, චිත්ත සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද,
පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් අත්හැර, සිහියෙන් යුක්තව වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනා භාවනාවෙනුයි වාසය කරන්නේ. පින්වත් මහණෙනි, වේදනාවන් පිළිබඳව ඇති එක්තරා වේදනාවක් කියල මම මෙසේ කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ යහපත් වූ මනසිකාරයටයි. එනිසා පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවෙහිදී භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් අත්හැර, සිහියෙන් යුක්තව වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනා භාවනාවෙනුයි වාසය කරන්නේ.
පින්වත් මහණෙනි, යම් වෙලාවක භික්ෂුව සිතට සංවේදී වෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, සිතට සංවේදී වෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, සිත ප්‍රමුදිත කරවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, සිත ප්‍රමුදිත කරවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, සිත මනාව තැන්පත් කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, සිත මනාව තැන්පත් කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, පංච නීවරණයන්ගෙන් සිත මුදවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, පංච නීවරණයන්ගෙන් සිත මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද,
පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් අත්හැර, සිහියෙන් යුක්තව සිත පිළිබඳව චිත්තානුපස්සනා භාවනාවෙනුයි වාසය කරන්නේ.
පින්වත් මහණෙනි, සිහිය මුලාවුන ස්වභාවයෙන් යුතු කෙනාට, නුවණ පිහිටුවා ගැනීමට අසීරු කෙනාට මං ආනාපානසති භාවනාව කියන්නේ නෑ.
එනිසා පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවෙහිදී භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් අත්හැර, සිහියෙන් යුක්තව සිත පිළිබඳව චිත්තානුපස්සනා භාවනාවෙනුයි වාසය කරන්නේ.
පින්වත් මහණෙනි, යම් වෙලාවක භික්ෂුව අනිත්‍ය අනුව දකිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, අනිත්‍ය අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, නොඇලී යන ස්වභාවය දකිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, නොඇලී යන ස්වභාවය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, ඇල්ම නිරුද්ධ වී යාම දකිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, ඇල්ම නිරුද්ධ වී යාම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, ඇල්ම සම්පූර්ණයෙන්ම දුරුවීම දකිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද, ඇල්ම සම්පූර්ණයෙන්ම දුරුවීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවාද,
පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් අත්හැර, සිහියෙන් යුක්තව ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙනුයි වාසය කරන්නේ.
එතකොට ඒ භික්ෂුව ඇලීම් ගැටීම් පිළිබඳව යම් ප්‍රහාණයක් ඇද්ද, එය ප්‍රඥාවෙන් දැක ඉතා යහපත් ලෙස සිත මධ්‍යස්ථ කරගන්නවා. එනිසා පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවෙහි දී භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් අත්හැර, සිහියෙන් යුක්තව ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙනුයි වාසය කරන්නේ.
පින්වත් මහණෙනි, ඔය අයුරින් ප්‍රගුණ කරන ලද, බහුල කරන ලද ආනාපානසති භාවනාවයි සතර සතිපට්ඨාන ධර්මයන් පරිපූර්ණත්වයට පත් කරන්නේ.
පින්වත් මහණෙනි, කොයි අයුරින් ප්‍රගුණ කරන ලද, කොයි අයුරින් බහුල කරන ලද සතර සතිපට්ඨානය ද සප්ත බොජ්ඣංග ධර්මයන් පරිපූර්ණත්වයට පත්කරන්නේ?
පින්වත් මහණෙනි, යම් විටෙක භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, සිහියෙන් යුතුව, කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරයිද, ඒ වෙලාව තුළ ඔහුගේ සිහිය මැනැවින් පිහිටලයි තියෙන්නේ. මුලා නොවී තියෙන්නේ. පින්වත් මහණෙනි, යම් වෙලාවක භික්ෂුවගේ සිහිය මුලා නොවී, මැනැවින් පිහිටා තියෙනවාද, ඒ වෙලාවේදී ඒ භික්ෂුව හට සති සම්බොජ්ඣංගයයි හොඳින් වැඩෙන්නේ. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ සති සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ සති සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
ඒ භික්ෂුව ඒ අයුරින් සිහියෙන් වාසය කරද්දී, ඒ ධර්මය ප්‍රඥාවෙන් විනිවිද දකිනවා. නුවණින් විමසනවා. හේතුඵල වශයෙන් විමසනවා. යම් විටෙක පින්වත් මහණෙනි, භික්ෂුව එසේ සිහියෙන් වසමින් ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසයිද, නුවණින් විග්‍රහ කොට තේරුම් ගනියිද, හේතුඵල වශයෙන් අවබෝධ කරයිද, ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ ධම්මවිචය සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ ධම්මවිචය සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
ඒ ධර්මය නුවණින් විමසන, නුවණින් විග්‍රහ කොට තේරුම් ගන්නා, හේතුඵල වශයෙන් අවබෝධ කරගන්නා, ඒ භික්ෂුව තුළ නොහැකිලී ගිය මෙන්ම හොඳින් පිහිටි වීරියක් තියෙනවා. යම් විටෙක පින්වත් මහණෙනි, භික්ෂුව එසේ සිහියෙන් වසමින් ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසද්දී, නුවණින් විග්‍රහ කොට තේරුම් ගනිද්දී, හේතුඵල වශයෙන් අවබෝධ කරද්දී, ඔහු තුළ නොහැකිලී ගිය, හොඳින් පිහිටි වීරියක් ඇද්ද, ඒ වෙලාවෙහි දී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ විරිය සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ විරිය සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ විරිය සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
හොඳින් වැඩෙන වීරිය ඇති කෙනා තුළ නිරාමිස ප්‍රීතිය උපදිනවා. පින්වත් මහණෙනි, යම්විටෙක මැනැවින් වැඩෙන වීරියෙන් යුතු භික්ෂුව තුළ නිරාමිස ප්‍රීතිය උපදියිද, ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ ප්‍රීති සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ ප්‍රීති සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ ප්‍රීති සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
ප්‍රීති සහගත සිත ඇති කෙනාගේ කයත් සංසිඳී යනවා. සිතත් සංසිඳී යනවා. පින්වත් මහණෙනි, යම් විටෙක ප්‍රීති සහගත සිතින් යුතු භික්ෂුවගේ කයත් සංසිඳී යයිද, සිතත් සංසිඳී යයිද, ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ පස්සද්ධි සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ පස්සද්ධි සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
කය සංසිඳී ගිය විට සැපයට පත්වෙන කෙනාගේ සිත සමාධිමත් වෙනවා. යම් විටෙක පින්වත් මහණෙනි, සංසිඳුණු කය ඇතිව, සැපවත් වූ භික්ෂුවගේ සිත සමාධිමත් වෙයිද, ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ සමාධි සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ සමාධි සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ සමාධි සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
ඉතින් ඒ භික්ෂුව එසේ සමාහිත වූ සිත ඉතා යහපත් ලෙස අරමුණු කෙරෙහි අවබෝධයෙන් යුක්තව මධ්‍යස්ථභාවයට පත් කරවනවා. පින්වත් මහණෙනි, යම් විටෙක සමාහිත සිත් ඇති භික්ෂුව ඉතා යහපත් ලෙස ආධ්‍යාත්මික බාහිර අරමුණු පිළිබඳව අවබෝධයෙන් මධ්‍යස්ථභාවයට පත්වෙයිද, ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ උපේක්ෂා සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ උපේක්ෂා සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ උපේක්ෂා සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
පින්වත් මහණෙනි, යම් විටෙක භික්ෂුව වේදනාවන් පිළිබඳව ….(පෙ)…. සිත පිළිබඳව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, සිහියෙන් යුතුව, ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරයිද, ඒ වෙලාව තුළ ඔහුගේ සිහිය මැනැවින් පිහිටලයි තියෙන්නේ. මුලා නොවී තියෙන්නේ. පින්වත් මහණෙනි, යම් වෙලාවක භික්ෂුවගේ සිහිය මුලා නොවී, මැනැවින් පිහිටා තියෙනවාද, ඒ වෙලාවේදී ඒ භික්ෂුව හට සති සම්බොජ්ඣංගයයි හොඳින් වැඩෙන්නේ. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ සති සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ සති සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
ඒ භික්ෂුව ඒ අයුරින් සිහියෙන් වාසය කරද්දී, ඒ ධර්මය ප්‍රඥාවෙන් විනිවිද දකිනවා. නුවණින් විමසනවා. හේතුඵල වශයෙන් විමසනවා. යම් විටෙක පින්වත් මහණෙනි, භික්ෂුව එසේ නුවණින් වසමින් ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසයිද, නුවණින් විග්‍රහ කොට තේරුම් ගනියිද, හේතුඵල වශයෙන් අවබෝධ කරයිද, ඒ වෙලාවෙහි දී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ ධම්මවිචය සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ ධම්මවිචය සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහි දී ඒ භික්ෂුව තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
ඒ ධර්මය නුවණින් විමසන, නුවණින් විග්‍රහ කොට තේරුම් ගන්නා, හේතුඵල වශයෙන් අවබෝධ කරගන්නා, ඒ භික්ෂුව තුළ නොහැකිලී ගිය මෙන්ම හොඳින් පිහිටි වීරියක් තියෙනවා. යම් විටෙක පින්වත් මහණෙනි, භික්ෂුව එසේ නුවණින් වසමින් ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසද්දී, නුවණින් විග්‍රහ කොට තේරුම් ගනිද්දී, හේතුඵල වශයෙන් අවබෝධ කරද්දී, ඔහු තුළ නොහැකිලී ගිය, හොඳින් පිහිටි වීරියක් ඇද්ද, ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ විරිය සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ විරිය සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ විරිය සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
හොඳින් වැඩෙන වීරිය ඇති කෙනා තුළ නිරාමිස ප්‍රීතිය උපදිනවා. පින්වත් මහණෙනි, යම්විටෙක මැනැවින් වැඩෙන වීරියෙන් යුතු භික්ෂුව තුළ නිරාමිස ප්‍රීතිය උපදියිද, ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ ප්‍රීති සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ ප්‍රීති සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ ප්‍රීති සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
ප්‍රීති සහගත සිත ඇති කෙනාගේ කයත් සංසිඳී යනවා. සිතත් සංසිඳී යනවා. පින්වත් මහණෙනි, යම් විටෙක ප්‍රීති සහගත සිතින් යුතු භික්ෂුවගේ කයත් සංසිඳී යයිද, සිතත් සංසිඳී යයිද, ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ පස්සද්ධි සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ පස්සද්ධි සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහි දී ඒ භික්ෂුව තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
කය සංසිඳී ගිය විට සැපයට පත්වෙන කෙනාගේ සිත සමාධිමත් වෙනවා. යම් විටෙක පින්වත් මහණෙනි, සංසිඳුණු කය ඇතිව, සැපවත් වූ භික්ෂුවගේ සිත සමාධිමත් වෙයිද, ඒ වෙලාවෙහි දී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ සමාධි සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ සමාධි සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ සමාධි සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
ඉතින් ඒ භික්ෂුව එසේ සමාහිත වූ සිත ඉතා යහපත් ලෙස අරමුණු කෙරෙහි අවබෝධයෙන් යුක්තව මධ්‍යස්ථභාවයට පත් කරවනවා. පින්වත් මහණෙනි, යම් විටෙක සමාහිත සිත් ඇති භික්ෂුව ඉතා යහපත් ලෙස ආධ්‍යාත්මික බාහිර අරමුණු පිළිබඳව අවබෝධයෙන් මධ්‍යස්ථභාවයට පත්වෙයිද, ඒ වෙලාවෙහි දී ඒ භික්ෂුව තුළ වැඩෙන්නේ උපේක්ෂා සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවට ඒ භික්ෂුව වඩන්නේ උපේක්ෂා සම්බොජ්ඣංගයයි. ඒ වෙලාවෙහිදී ඒ භික්ෂුව තුළ උපේක්ෂා සම්බොජ්ඣංගය ප්‍රගුණ වීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා.
පින්වත් මහණෙනි, ඔය අයුරින් ප්‍රගුණ කළ, ඔය අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ සතර සතිපට්ඨානයන් සප්ත බොජ්ඣංග ධර්මයන් පරිපූර්ණත්වයට පත්කරනවා.
පින්වත් මහණෙනි, කොයි අයුරින් ප්‍රගුණ කළොත්ද, කොයි අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළොත්ද සප්ත බොජ්ඣංග ධර්මයන් විද්‍යා විමුක්ති පරිපූර්ණත්වයට පත් කරන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව පංච නීවරණයන්ගෙන් නිදහස් වීමෙන් ලත් විවේකය ඇසුරු කළ, විදර්ශනාවෙන් ලත් අවබෝධය නිසා ඇති වූ විරාගය ඇසුරු කළ, ඒ අවබෝධයම දියුණු කිරීමෙන් ලත් නොඇල්ම නිසා තෘෂ්ණා නිරෝධය ඇසුරු කළ, නිවන කරාම සකස් වී යන අයුරින් සති සම්බොජ්ඣංගය වඩයි.
මෙහිලා භික්ෂුව පංච නීවරණයන්ගෙන් නිදහස් වීමෙන් ලත් විවේකය ඇසුරු කළ, ….(පෙ)…. ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. ප්‍රීති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය වඩයි. මෙහිලා භික්ෂුව පංච නීවරණයන්ගෙන් නිදහස් වීමෙන් ලත් විවේකය ඇසුරු කළ, විදර්ශනාවෙන් ලත් අවබෝධය නිසා ඇති වූ විරාගය ඇසුරු කළ, ඒ අවබෝධයම දියුණු කිරීමෙන් ලත් නොඇල්ම නිසා තෘෂ්ණා නිරෝධය ඇසුරු කළ, නිවන කරාම සකස් වී යන අයුරින් උපේක්ඛා සම්බොජ්ඣංගය වඩයි.
පින්වත් මහණෙනි, මෙසේ ප්‍රගුණ කළ, මෙසේ බහුල වශයෙන් ප්‍රගුණ කළ සප්ත බොජ්ඣංග ධර්මයන් විද්‍යාවත්, විමුක්තියත් පරිපූර්ණත්වයට පත් කරනවා.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ආනාපානසති භාවනාව ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M