මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් ද “පින්වතුන් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, හේතු සම්පත් සහිත වූ, උපකාරක ධර්ම සහිත වූ ආර්ය වූ සම්මා සමාධිය ඔබට දේශනා කරන්නම්. හොඳින් සවන් යොමා අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මං කියා දෙන්නම්.”
“එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, හේතු සම්පත් සහිත වූ, උපකාරක ධර්ම සහිත වූ, ආර්ය වූ සම්මා සමාධිය යනු කුමක්ද? එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියා දෙයක් තිබෙනවා. පින්වත් මහණෙනි, ඒ මේ අංග හතෙන් යුතු වූ යම් සිතක එකඟබවක් ඇද්ද, ඔය අංගයන්ගේ ඒකාරාශී වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, ආර්ය වූ සම්මා සමාධිය කියල කියන්නේ එයටයි. හේතු සම්පත් සහිතයි කියන්නෙත් එයටම යි. උපකාරක ධර්ම සහිතයි කියන්නෙත් එයටම යි.
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය වශයෙන් අවබෝධ කරනවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් අවබෝධ කරනවා. ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? ඒ කියන්නේ ‘දුන් දෙයක විපාක නැත. පුද පූජාවක විපාක නැත. සේවාවක විපාක නැත. පින් පව් කර්මවල පල විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයන් නැත. ඒ වගේම ලෝකයෙහි යහපත් මග ගමන් කළ, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත්ද, එවැනි උදවියද නැත’ යන දෘෂ්ටියයි. පින්වත් මහණෙනි මෙය තමයි මිත්‍යා දෘෂ්ටිය.
පින්වත් මහණෙනි, කුමක්ද සම්මා දිට්ඨිය කියන්නේ? පින්වත් මහණෙනි, මං සම්මා දිට්ඨිය දෙආකාරයකින් කියා දෙනවා. ඒ කියන්නේ පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ වගේම ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියකුත් තියෙනවා.
පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨිය කුමක්ද? ඒ කියන්නේ ‘දුන් දෙයක විපාක ඇත. පුද පූජාවක විපාක ඇත. සේවාවක විපාක ඇත. පින් පව් කර්මවල පල විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවක් ඇත. පියෙක් ඇත. ඕපපාතික සත්වයන් ඇත. ඒ වගේම ලෝකයෙහි යහපත් මග ගමන් කළ, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත්ද, එවැනි උදවිය ද ඇත’ යන දෘෂ්ටියයි. පින්වත් මහණෙනි, මෙය තමයි ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨිය.
පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද, ප්‍රඥා ඉන්ද්‍රියයක් ඇද්ද, ප්‍රඥා බලයක් ඇද්ද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් ඇද්ද, සම්මා දිට්ඨි මාර්ගාංගයක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කියලයි.
එතකොට ඔහු මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටිය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා දිට්ඨියට අනුව වේගවත්ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද? මිත්‍යා සංකල්පය, මිත්‍යා සංකල්පය වශයෙන් අවබෝධ කරනවා. සම්මා සංකල්පය සම්මා සංකල්පය වශයෙන් අවබෝධ කරනවා. ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා සංකල්පය කියන්නේ? කාම අරමුණු පිළිබඳව කල්පනා කරමින් සිටීම, ද්වේෂය ඇතිවෙන අයුරින් කල්පනා කරමින් සිටීම, හිංසාකාරී සිතුවිලි කල්පනා කරමින් සිටීම. පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා සංකල්පය.
පින්වත් මහණෙනි, කුමක්ද සම්මා සංකල්පය කියන්නේ? පින්වත් මහණෙනි, මං සම්මා සංකල්පය දෙආකාරයකින් කියා දෙනවා. ඒ කියන්නේ පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා සංකල්පයක් තියෙනවා. ඒ වගේම ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකල්පයකුත් තියෙනවා.
පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා සංකල්පය කුමක්ද? ඒ කියන්නේ කාමයන්ගෙන් නික්මීම පිණිස කරන කල්පනාව, තරහකින් තොරව කරන කල්පනාව, හිංසා රහිත වූ කල්පනාව. පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබාදෙන සම්මා සංකල්පය නම් මෙයයි.
පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකල්පය කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් නුවණින් විමසීමක් ඇද්ද, විතර්කයක් ඇද්ද, සංකල්පයක් ඇද්ද, සිත තිලකුණු අරමුණට නගා ගැනීමක් ඇද්ද, සිත විදර්ශනා අරමුණෙහි පිහිටුවීමක් ඇද්ද, සිත විදර්ශනා අරමුණට නැංවීමක් ඇද්ද, ඒ සඳහා කරන විතර්ක විචාරයන් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකල්පය කියලයි.
එතකොට ඔහු මිත්‍යා සංකල්පය ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා සංකල්පය උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා සංකල්පය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා සංකල්පය උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා සංකල්පයට අනුව වේගවත්ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද? මිත්‍යා වාචා, මිත්‍යා වාචා වශයෙන් අවබෝධ කරනවා. සම්මා වාචා සම්මා වාචා වශයෙන් අවබෝධ කරනවා. ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා වාචා කියන්නේ? බොරු කීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම. පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා වාචා.
පින්වත් මහණෙනි, කුමක්ද සම්මා වාචා කියන්නේ? පින්වත් මහණෙනි, මං සම්මා වාචා දෙආකාරයකින් කියා දෙනවා. ඒ කියන්නේ පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වාචා තියෙනවා. ඒ වගේම ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වාචා තියෙනවා.
පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වාචා කුමක්ද? ඒ කියන්නේ බොරුවෙන් වැළකුණු වචන කතා කිරීම, කේළමෙන් වැළකුණු වචන කතා කිරීම, ඵරුෂ වචනයෙන් වැළකුණු වචන කතා කිරීම, හිස් වචනයෙන් වැළකුණු වචන කතා කිරීම. පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වාචා නම් මෙයයි.
පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වාචා කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකු තුළ සතර ආකාර වූ වචී දුෂ්චරිතයට නොඇලී වෙන් වීමක් ඇද්ද, දුරු කිරීමක් ඇද්ද, නැවැත්වීමක් ඇද්ද, වැළකී සිටීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වාචා කියලයි.
එතකොට ඔහු මිත්‍යා වාචා ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා වාචා උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා වාචා අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා වාචා උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා වාචාවලට අනුව වේගවත්ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද? මිත්‍යා ක්‍රියාපටිපාටිය, මිත්‍යා ක්‍රියාපටිපාටිය වශයෙන් අවබෝධ කරනවා. සම්මා ක්‍රියාපටිපාටිය සම්මා ක්‍රියාපටිපාටිය වශයෙන් අවබෝධ කරනවා. ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා කටයුතු කියන්නේ? අනුන්ගේ ජීවිත විනාශ කිරීම, නුදුන් දේ සොර සිතින් ගැනීම, කාම මිත්‍යාචාරයේ යෙදීම, පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා ක්‍රියාපටිපාටිය.
පින්වත් මහණෙනි, කුමක්ද සම්මා කටයුතු කියන්නේ? පින්වත් මහණෙනි, මං සම්මා කම්මන්ත දෙආකාරයකින් කියා දෙනවා. ඒ කියන්නේ පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබාදෙන සම්මා වැඩකටයුතු තියෙනවා. ඒ වගේම ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වැඩකටයුතු තියෙනවා.
පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වැඩකටයුතු කුමක්ද? ඒ කියන්නේ අනුන්ගේ ජීවිත විනාශ කිරීමෙන් වැළකී සිටීම, නුදුන් දේ සොර සිතින් ගැනීමෙන් වැළකී සිටීම, කාම මිත්‍යාචාරයේ යෙදීමෙන් වැළකී සිටීම. පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වැඩකටයුතු නම් මෙයයි.
පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වැඩකටයුතු කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකු තුළ තුන් ආකාර වූ කායික දුෂ්චරිතයට නොඇලී වෙන් වීමක් ඇද්ද, දුරු කිරීමක් ඇද්ද, නැවැත්වීමක් ඇද්ද, වැළකී සිටීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වැඩකටයුතු කියලයි.
එතකොට ඔහු මිත්‍යා ක්‍රියාවන් ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා කම්මන්තය උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා ක්‍රියාපටිපාටිය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා වැඩකටයුතු උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහු ගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා වැඩකටයුතුවලට අනුව වේගවත් ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද? මිත්‍යා ආජීවය, මිත්‍යා ආජීවය වශයෙන් අවබෝධ කරනවා. සම්මා ආජීවය සම්මා ආජීවය වශයෙන් අවබෝධ කරනවා. ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා ආජීවය කියන්නේ? දෙපිටකාට්ටු වංචාවෙන් ජීවත් වීම, ලාභ සත්කාර ලබා ගැනීමේ ආශාවෙන් වර්ණනා කොට කතා කිරීම, ලාභ ලබා ගැනීම පිණිස, විශේෂ ලකුණු ඉස්මතු කරමින් කටයුතු කිරීම, සත්‍යය සඟවා කටයුතු කිරීම, ලාභයෙන් ලාභ සෙවීම. පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා ආජීවය.
පින්වත් මහණෙනි, කුමක්ද සම්මා ආජීවය කියන්නේ? පින්වත් මහණෙනි, මං සම්මා ආජීවය දෙආකාරයකින් කියා දෙනවා. ඒ කියන්නේ පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබාදෙන සම්මා ආජීවය තියෙනවා. ඒ වගේම ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා ආජීවය තියෙනවා.
පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා ආජීවය කුමක්ද? ඒ කියන්නේ මිත්‍යාවෙන් ජීවත් වීම අත්හැර, තමාටත් අනුන්ටත් හිත සුව පිණිස පවතින සම්මා ආජීවයෙන් ජීවිතය ගතකිරීම. පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබාදෙන සම්මා ආජීවය නම් මෙයයි.
පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා ආජීවය කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකු තුළ මිත්‍යා ආජීවයට නොඇලී වෙන්වීමක් ඇද්ද, දුරු කිරීමක් ඇද්ද, නැවැත්වීමක් ඇද්ද, වැළකී සිටීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා ආජීවය කියලයි.
එතකොට ඔහු මිත්‍යා ආජීවය ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා ආජීවය උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා ආජීවය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා ආජීවය උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා ආජීවයට අනුව වේගවත්ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහි දී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, සම්මා දිට්ඨියෙහි පිහිටි කෙනා තුළයි සම්මා සංකල්පය ඇතිවන්නේ. සම්මා කල්පයේ පිහිටි කෙනා තුළයි සම්මා වාචා ඇතිවන්නේ. සම්මා වාචාවෙහි පිහිටි කෙනා තුළයි සම්මා වැඩකටයුතු ඇතිවන්නේ. සම්මා වැඩකටයුතුවල පිහිටි කෙනා තුළයි සම්මා ආජීවය ඇතිවන්නේ. සම්මා ආජීවයේ පිහිටි කෙනා තුළයි සම්මා වායාම ඇතිවන්නේ. සම්මා වායාමයෙහි පිහිටි කෙනා තුළයි සම්මා සතිය ඇතිවන්නේ. සම්මා සතියෙහි පිහිටි කෙනා තුළයි සම්මා සමාධිය ඇතිවන්නේ. සම්මා සමාධියෙහි පිහිටි කෙනා තුළයි සම්මා ඤාණය ඇතිවන්නේ. සම්මා ඤාණයෙන් යුක්ත වූ කෙනා තුළයි සම්මා විමුක්තිය ඇතිවන්නේ. පින්වත් මහණෙනි, ඔය ආකාරයට ධර්ම මාර්ගයෙහි හික්මෙන සේඛ පුද්ගලයා මාර්ග අංග අටකින් සමන්විත වෙනවා. රහතන් වහන්සේ මාර්ග අංග දහයකින් සමන්විත වෙනවා.
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහි දී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා දෘෂ්ටිය විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා දෘෂ්ටිය නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා දිට්ඨිය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, සම්මා සංකල්පයෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා සංකල්පය විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා සංකල්පය නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා සංකල්පය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, සම්මා වාචාවෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා වාචා විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා වාචා නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා වාචා හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, සම්මා කම්මන්තයෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා ක්‍රියාපටිපාටිය විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා ක්‍රියාපටිපාටිය නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා කම්මන්තය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, සම්මා ආජීවයෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා ආජීවය විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා ආජීවය නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා ආජීවය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, සම්මා වායාමයෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා වායාමය විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා වායාමය නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා වායාමය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, සම්මා සතියෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා සතිය විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා සතිය නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා සතිය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, සම්මා සමාධියෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා සමාධිය විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා සමාධිය නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා සමාධිය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, සම්මා ඤාණයෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා ඤාණය විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා ඤාණය නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා ඤාණය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, සම්මා විමුක්තියෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා විමුක්තිය විනාශ වෙලා යනවා. එතකොට මිත්‍යා විමුක්තිය නිසා හටගන්නා වූ යම් අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇද්ද, ඔහු තුළ ඒවා විනාශ වෙලා යනවා. සම්මා විමුක්තිය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත්වෙනවා.
මේ ආකාරයට පින්වත් මහණෙනි, කුසල පක්ෂයෙහි කොටස් විස්සයි. අකුසල පක්ෂයෙහි කොටස් විස්සයි. සතළිස් ආකාර වූ විස්තරාර්ථ ධර්ම ක්‍රමයයි මේ ප්‍රවර්තනය කරන ලද්දේ. ලෝකයෙහි කිසි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා, වෙන කිසිවෙකු විසින් වේවා, ප්‍රවර්තනය කළ නොහැක්කේම යි.
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මේ සතළිස් ආකාර වූ විස්තරාර්ථ ධර්ම ක්‍රමය හෙවත් ‘මහා චත්තාරීසක ධර්ම පරියාය’ට ගැරහිය යුතුයි කියලා, ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා හිතනවා නම්, ඒ තැනැත්තා මෙලොවදී ම කරුණු දහයක් තුළින් නුවණැත්තන්ගේ ගැරහීමට ලක්වෙනවා. ඒ මෙහෙමයි. ‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා දිට්ඨියට නම්, මිත්‍යා දෘෂ්ටික වූ යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා සංකල්පයට නම්, මිත්‍යා සංකල්පයෙන් යුතු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා වාචාවලට නම්, මිත්‍යා වාචා වලින් යුතු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා කම්මන්තයට නම්, මිත්‍යා ක්‍රියාපටිපාටියෙන් යුතු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා ආජීවයට නම්, මිත්‍යා ආජීවයෙන් යුතු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා වායාමයට නම්, මිත්‍යා වායාමයෙන් යුතු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා සතියට නම්, මිත්‍යා සතියෙන් යුතු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා සමාධියට නම්, මිත්‍යා සමාධියෙන් යුතු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා ඤාණයට නම්, මිත්‍යා ඤාණයෙන් යුතු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
‘ඉදින් භවතාණන් ගරහන්නේ සම්මා විමුක්තියට නම්, මිත්‍යා විමුක්තියෙන් යුතු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, භවතුන් විසින් පුදන්නේ ඔවුන්ව යි. භවතුන් විසින් පසසන්නේද ඔවුන්ව යි.’
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මේ සතළිස් ආකාර වූ විස්තරාර්ථ ධර්ම ක්‍රමය හෙවත් ‘මහා චත්තාරීසක ධර්ම පරියාය’ට ගැරහිය යුතුයි කියලා ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා හිතනවා නම්, ඒ තැනැත්තා මෙලොවදී ම මේ කරුණු දහය තුළින් නුවණැත්තන්ගේ ගැරහීමට ලක්වෙනවා.
පින්වත් මහණෙනි, උක්කලා ජනපදයෙහි අහේතුවාදී, අක්‍රීයවාදී, නාස්තිකවාදී වස්ස, භඤ්ඤ කියලා වාද කළ පිරිසක් සිටියාද, ඔවුන් පවා මහාචත්තාරීසක ධර්ම පරියායට ගැරහිය යුතුයි කියල සිතුවේ නෑ. ප්‍රතික්ෂේප කළ යුතුයි කියල සිතුවේ නෑ. මක්නිසාද යත්, සමාජයෙන් ලැබෙන නින්දා, අපහාස, ගැරහුම්වලට ඇති බිය නිසයි.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
කරුණු හතළිහකින් සමන්විත විස්තරාර්ථ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M