මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.2.5. බහුධාතුක සුත්තං

3.2.5. බොහෝ ධාතු ස්වභාවයන් ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් ද “පින්වතුන් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

යානි කානිචි භික්ඛවේ, භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. සෙය්‍යථාපි භික්ඛවේ, නාළාගාරෝ වා තිණාගාරෝ වා අග්ගිමුක්කෝ කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුසිතග්ගළානි පිහිතවාතපානානි. ඒවමේව ඛෝ භික්ඛවේ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. ඉති ඛෝ භික්ඛවේ, සප්පටිභයෝ බාලෝ, අප්පටිභයෝ පණ්ඩිතෝ. සඋපද්දවෝ බාලෝ අනුපද්දවෝ පණ්ඩිතෝ. සඋපසග්ගෝ බාලෝ අනුපසග්ගෝ පණ්ඩිතෝ. නත්ථි භික්ඛවේ, පණ්ඩිතතෝ භයං. නත්ථි පණ්ඩිතතෝ උපද්දවෝ. නත්ථි පණ්ඩිතතෝ උපසග්ගෝ. තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං: පණ්ඩිතා භවිස්සාම වීමංසකාති, ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

“පින්වත් මහණෙනි, යම්කිසි භයක් උපදිනවා නම්, ඒ සෑම භයක්ම උපදින්නේ බාලයාගෙන්ම යි, පණ්ඩිතයාගෙන් නොවේ. ඒ වගේම යම්කිසි උවදුරක් උපදිනවා නම්, ඒ සෑම උවදුරක්ම උපදින්නේ බාලයාගෙන්ම යි, පණ්ඩිතයාගෙන් නොවේ. ඒ වගේම යම් කිසි විපතක් උපදිනවා නම්, ඒ සෑම විපතක්ම උපදින්නේ බාලයාගෙන්ම යි, පණ්ඩිතයාගෙන් නොවේ. පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයක්. බටවලින් කළ ගෙයක් වේවා, ඉලුක් වැනි තණවලින් කළ ගෙයක් වේවා, ගිනි ඇවිලගත්තොත්, හොඳින් ඇතුළත පිටත සුණු පිරියම් කළ, ජනෙල් දොරවල් ඇති, සුළං කවුළු ඇති, හොඳින් ආවරණය කළ කූටාගාර පවා ඒ ගින්නට අහුවෙනවා.

පින්වත් මහණෙනි, ඔය විදිහම තමයි යම් කිසි භයක් උපදිනවා නම්, ඒ සෑම භයක්ම උපදින්නේ බාලයාගෙන්ම යි, පණ්ඩිතයාගෙන් නොවේ. ඒ වගේම යම්කිසි උවදුරක් උපදිනවා නම්, ඒ සෑම උවදුරක්ම උපදින්නේ බාලයාගෙන්ම යි, පණ්ඩිතයාගෙන් නොවේ. ඒ වගේම යම්කිසි විපතක් උපදිනවා නම්, ඒ සෑම විපතක්ම උපදින්නේ බාලයාගෙන්ම යි, පණ්ඩිතයාගෙන් නොවේ.

පින්වත් මහණෙනි, ඔය විදිහට බාලයා භය සහිතයි; පණ්ඩිතයා භය රහිතයි. බාලයා උවදුරු සහිතයි; පණ්ඩිතයා උවදුරු රහිතයි. බාලයා විපත්ති සහිතයි; පණ්ඩිතයා විපත්ති රහිතයි. ඒ නිසා මහණෙනි, හික්මිය යුත්තේ මෙන්න මේ ආකාරයටයි. ඒ කියන්නේ ‘අපි නුවණැති පණ්ඩිත උදවිය වෙනවා. නුවණින් විමසා කටයුතු කරන උදවිය වෙනවා’ කියලයි. පින්වත් මහණෙනි, ඔබ විසින් ඔය විදිහටම යි හික්මිය යුත්තේ.”

ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: කිත්තාවතා නු ඛෝ භන්තේ, පණ්ඩිතෝ භික්ඛු වීමංසකෝති අලං වචනායාති.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා. “ස්වාමීනී, භික්ෂුවක් ‘නුවණැති පණ්ඩිතයෙක්ය. නුවණින් විමසන කෙනෙක්ය’ කියා පවසන්නට සුදුසු වන්නේ කවර කරුණු මතද?”

යතෝ ඛෝ ආනන්ද, භික්ඛු ධාතුකුසලෝ ච හෝති, ආයතනකුසලෝ ච හෝති, පටිච්චසමුප්පාදකුසලෝ ච හෝති, ඨානාඨානකුසලෝ ච හෝති. එත්තාවතා ඛෝ ආනන්ද, පණ්ඩිතෝ භික්ඛු වීමංසකෝති අලං වචනායාති.

“පින්වත් ආනන්ද, යම් විටෙක, භික්ෂුව ධාතු පිළිබඳව අවබෝධයෙහි දක්ෂ වෙයිද, ආයතන පිළිබඳව අවබෝධයෙහි දක්ෂ වෙයිද, හේතු ඵල ධර්මයන් ගේ හටගැනීම හා නිරෝධය හෙවත් පටිච්චසමුප්පාදය පිළිබඳව අවබෝධයෙහි දක්ෂ වෙයිද, සිදුවිය හැකි, සිදු නොවිය හැකි දේ පිළිබඳව අවබෝධයෙහි දක්ෂ වෙයිද, පින්වත් ආනන්දය, මෙපමණකින්ම භික්ෂුවට ‘නුවණැති පණ්ඩිතයෙක්ය, නුවණින් විමසන කෙනෙක්ය කියා’ පවසන්නට සුදුසුයි.”

කිත්තාවතා පන භන්තේ, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“ස්වාමීනී, ‘භික්ෂුව ධාතු පිළිබඳව අවබෝධයෙහි දක්ෂ වෙයි’ කියා පවසන්නට සුදුසු වන්නේ කවර කරුණු මතද?”

අට්ඨාරස ඛෝ ඉමා ආනන්ද, ධාතුයෝ: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු සද්දධාතු සෝතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු ති. ඉමා ඛෝ ආනන්ද, අට්ඨාරස ධාතුයෝ යතෝ ජානාති පස්සති, එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“පින්වත් ආනන්ද, මේ ධාතු ස්වභාවයන් දහ අටක් තිබෙනවා නෙව. ඒ කියන්නේ; ඇස නම් වූ ධාතු ස්වභාවය, රූප නම් වූ ධාතු ස්වභාවය, ඇසේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, කන නම් වූ ධාතු ස්වභාවය, ශබ්ද නම් වූ ධාතු ස්වභාවය, කනේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, නාසය නම් වූ ධාතු ස්වභාවය, ගඳ සුවඳ නම් වූ ධාතු ස්වභාවය, නාසයේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, දිව නම් වූ ධාතු ස්වභාවය, රස නම් වූ ධාතු ස්වභාවය, දිවේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, කය නම් වූ ධාතු ස්වභාවය, පහස නම් වූ ධාතු ස්වභාවය, කයේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, මනස නම් වූ ධාතු ස්වභාවය, අරමුණු නම් වූ ධාතු ස්වභාවය, මනසේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය යන මෙයයි. ඉතින් පින්වත් ආනන්ද, යම් දවසක මෙම දහ අටක් වූ ධාතු ස්වභාවයන් අවබෝධයෙන්ම දන්නවාද, දකිනවාද, පින්වත් ආනන්ද, එපමණකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂ යි’ කියා පවසන්නට සුදුසුයි.”

සියා පන භන්තේ, අඤ්ඤෝපි පරියායෝ, යථා ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“ස්වාමීනී, යම්හෙයකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂ යි’ කියා පවසන්නට සුදුසු වූ එබඳු වෙනත් කරුණකුත් තියෙනවාද?”

සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ: පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු. ඉමා ඛෝ ආනන්ද, ඡ ධාතුයෝ යතෝ ජානාති පස්සති. එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“තියෙනවා පින්වත් ආනන්ද. පින්වත් ආනන්ද, මේ ධාතු ස්වභාවයන් හයක් තියෙනවා නෙව. ඒ කියන්නේ; පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුව යන හයයි. ඉතින් පින්වත් ආනන්ද, යම් දවසක මෙම හයක් වූ ධාතු ස්වභාවයන් අවබෝධයෙන්ම දන්නවාද, දකිනවාද, පින්වත් ආනන්ද, එපමණකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසුයි.”

සියා පන භන්තේ, අඤ්ඤෝපි පරියායෝ, යථා ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“ස්වාමීනී, යම්හෙයකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසු වූ එබඳු වෙනත් කරුණකුත් තියෙනවාද?”

සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ: සුඛධාතු දුක්ඛධාතු සෝමනස්සධාතු දෝමනස්සධාතු උපෙක්ඛාධාතු අවිජ්ජාධාතු. ඉමා ඛෝ, ආනන්ද, ඡ ධාතුයෝ යතෝ ජානාති පස්සති. එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“තියෙනවා පින්වත් ආනන්ද. පින්වත් ආනන්ද, මේ ධාතු ස්වභාවයන් හයක් තියෙනවා නෙව. ඒ කියන්නේ; සැප නම් වූ ධාතු ස්වභාවය, දුක නම් වූ ධාතු ස්වභාවය, මානසික සැප නම් වූ ධාතු ස්වභාවය, මානසික දුක නම් වූ ධාතු ස්වභාවය, උපේක්ෂාව නම් වූ ධාතු ස්වභාවය, අවිද්‍යාව නම් වූ ධාතු ස්වභාවය. ඉතින් පින්වත් ආනන්ද, යම් දවසක මෙම හයක් වූ ධාතු ස්වභාවයන් අවබෝධයෙන්ම දන්නවාද, දකිනවාද, පින්වත් ආනන්ද, එපමණකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසුයි.”

සියා පන භන්තේ, අඤ්ඤෝපි පරියායෝ, යථා ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“ස්වාමීනී, යම්හෙයකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසු වූ එබඳු වෙනත් කරුණකුත් තියෙනවාද?”

සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ: කාමධාතු නෙක්ඛම්මධාතු ව්‍යාපාදධාතු අව්‍යාපාදධාතු විහිංසාධාතු අවිහිංසාධාතු. ඉමා ඛෝ ආනන්ද, ඡ ධාතුයෝ යතෝ ජානාති පස්සති. එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“තියෙනවා පින්වත් ආනන්ද. පින්වත් ආනන්ද, මේ ධාතු ස්වභාවයන් හයක් තියෙනවා නෙව. ඒ කියන්නේ, කාමය නම් වූ ධාතු ස්වභාවය, කාමයෙන් නික්මීම නම් වූ ධාතු ස්වභාවය, ද්වේෂය නම් වූ ධාතු ස්වභාවය, ද්වේෂ නැති බව නම් වූ ධාතු ස්වභාවය, හිංසාව නම් වූ ධාතු ස්වභාවය, හිංසා නැතිබව නම් වූ ධාතු ස්වභාවය. ඉතින් පින්වත් ආනන්ද, යම් දවසක මෙම හයක් වූ ධාතු ස්වභාවයන් අවබෝධයෙන්ම දන්නවාද, දකිනවාද, පින්වත් ආනන්ද, එපමණකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසුයි.”

සියා පන භන්තේ, අඤ්ඤෝපි පරියායෝ, යථා ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“ස්වාමීනී, යම්හෙයකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසු වූ එබඳු වෙනත් කරුණකුත් තියෙනවාද?”

සියා ආනන්ද, තිස්සෝ ඉමා ආනන්ද, ධාතුයෝ: කාමධාතු රූපධාතු අරූපධාතු. ඉමා ඛෝ ආනන්ද, තිස්සෝ ධාතුයෝ යතෝ ජානාති පස්සති. එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“තියෙනවා පින්වත් ආනන්ද. පින්වත් ආනන්ද, මේ ධාතු ස්වභාවයන් තුනක් තියෙනවා නෙව. ඒ කියන්නේ; කාම නම් වූ ධාතු ස්වභාවය, රූප නම් වූ ධාතු ස්වභාවය, අරූප නම් වූ ධාතු ස්වභාවයයි. ඉතින් පින්වත් ආනන්ද, යම් දවසක මෙම තුනක් වූ ධාතු ස්වභාවයන් අවබෝධයෙන්ම දන්නවාද, දකිනවාද, පින්වත් ආනන්ද, එපමණකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසුයි.”

සියා පන භන්තේ, අඤ්ඤෝපි පරියායෝ, යථා ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“ස්වාමීනී, යම්හෙයකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසු වූ එබඳු වෙනත් කරුණකුත් තියෙනවාද?”

සියා ආනන්ද. ද්වේ ඉම, ආනන්ද, ධාතුයෝ: සංඛතා ච ධාතු අසංඛතා ච ධාතු. ඉමා ඛෝ ආනන්ද, ද්වේ ධාතුයෝ යතෝ ජානාති පස්සති. එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“තියෙනවා, පින්වත් ආනන්ද. පින්වත් ආනන්ද, මේ ධාතු ස්වභාවයන් දෙකක් තියෙනවා නෙව. ඒ කියන්නේ; සංඛත නම් වූ ධාතු ස්වභාවයත්, අසංඛත නම් වූ ධාතු ස්වභාවයත්ය. ඉතින් පින්වත් ආනන්ද, යම් දවසක මෙම දෙකක් වූ ධාතු ස්වභාවයන් අවබෝධයෙන්ම දන්නවාද, දකිනවාද, පින්වත් ආනන්ද, මෙපමණකින් භික්ෂුවට ‘ධාතු ස්වභාවය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසුයි.”

කිත්තාවතා පන භන්තේ, ආයතනකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“ස්වාමීනී, ‘භික්ෂුව ආයතන පිළිබඳව අවබෝධයෙහි දක්ෂ වෙයි’ කියා පවසන්නට සුදුසු වන්නේ කවර කරුණු මතද?”

ඡ ඛෝ පනිමානි ආනන්ද, අජ්ඣත්තිකබාහිරානි ආයතනානි: චක්ඛුංචේව රූපා ච, සෝතඤ්ච සද්දා ච, ඝානඤ්ච ගන්ධා ච, ජිව්හා ච රසා ච, කායෝ ච ඵොට්ඨබ්බා ච, මනෝ ච ධම්මා ච. ඉමානි ඛෝ ආනන්ද, ඡ අජ්ඣත්තිකබාහිරානි ආයතනානි යතෝ ජානාති පස්සති. එත්තාවතා ඛෝ, ආනන්ද, ආයතනකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“පින්වත් ආනන්ද, ආධ්‍යාත්ම වූත්, බාහිර වූත් ආයතන හයක් තියෙනවා. ඒ කියන්නේ; ඇසත්, රූපත්ය. කනත්, ශබ්දත්ය. නාසයත්, ගඳ සුවඳත්ය. දිවත්, රසත් ය. කයත්, පහසත් ය. මනසත්, අරමුණුත්ය. ඉතින් පින්වත් ආනන්ද, යම් දවසක මෙම හයක් වූ ආධ්‍යාත්මික, බාහිර ආයතන පිළිබඳව අවබෝධයෙන්ම දන්නවාද, දකිනවාද, පින්වත් ආනන්ද, මෙපමණකින් භික්ෂුවට ‘ආයතන පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසුයි.”

කිත්තාවතා පන භන්තේ, පටිච්චසමුප්පාදකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“ස්වාමීනී, ‘භික්ෂුව හේතු ඵල ධර්මතාවයේ හටගැනීම හා නැසීම හෙවත් පටිච්චසමුප්පාදය පිළිබඳව අවබෝධයෙහි දක්ෂ වෙයි’ කියා පවසන්නට සුදුසු වන්නේ කවර කරුණු මතද?”

ඉධානන්ද, භික්ඛු ඒවං පජානාති: ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සෝ, ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ , භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති. අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ, සංඛාරනිරෝධා විඤ්ඤාණනිරෝධෝ, විඤ්ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ, නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ, සළායතනනිරෝධා ඵස්සනිරෝධෝ, ඵස්සනිරෝධා වේදනානිරෝධෝ, වේදනානිරෝධා තණ්හානිරෝධෝ, තණ්හානිරෝධා උපාදානනිරෝධෝ, උපාදානනිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාතිනිරෝධෝ, ජාතිනිරෝධා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා නිරුජ්ඣන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති. එත්තාවතා ඛෝ ආනන්ද, පටිච්චසමුප්පාදකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව අවබෝධ කරන්නේ මෙහෙමයි. ‘මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදෙන විට මෙය උපදී. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වේ’ කියලා. ඒ කියන්නේ; අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතුවෙන් නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතුවෙන් ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතුවෙන් ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතුවෙන් විඳීම් ඇතිවෙනවා. විඳීම් හේතුවෙන් ආශාව ඇතිවෙනවා. ආශාව හේතුවෙන් උපාදානය හෙවත් ග්‍රහණය වෙනවා. උපාදාන හේතුවෙන් කාම ධාතුවේ හෝ රූප ධාතුවේ හෝ අරූප ධාතුවේ හෝ විපාක විඳින්නට කර්ම සකස් වීම හෙවත් භවය ඇතිවෙනවා. භවය හේතුවෙන් උපදිනවා. ඉපදීම හේතුවෙන් ජරා, මරණ, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය හටගන්නවා. ඔය ආකාරයට තමයි මුළු මහත් දුක් රාශියේම හටගැනීම සිදුවන්නේ.

ඒ අවිද්‍යාවම ඉතුරු නැතුව, නොඇල්මෙන්, නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම් නිරුද්ධ වෙනවා. විඳීම් නිරුද්ධ වීමෙන් ආශාව නිරුද්ධ වෙනවා. ආශාව නිරුද්ධ වීමෙන් උපාදානය හෙවත් ග්‍රහණය වීම නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් කාම ධාතුවේ හෝ රූප ධාතුවේ හෝ අරූප ධාතුවේ හෝ විපාක විඳින්නට කර්ම සකස් වීම හෙවත් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා, මරණ, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට තමයි මුළු මහත් දුක් රාශියේම නිරුද්ධ වීම සිදුවන්නේ. පින්වත් ආනන්ද, මෙපමණකින් භික්ෂුවට ‘හේතු ඵල ධර්මතාවයේ හටගැනීම සහ නිරුද්ධ වීම හෙවත් පටිච්චසමුප්පාදය පිළිබඳව අවබෝධයෙහි දක්ෂයි’ කියා පවසන්නට සුදුසුයි.”

කිත්තාවතා පන භන්තේ, ඨානාඨානකුසලෝ භික්ඛූති අලං වචනායාති.

“ස්වාමීනී, ‘භික්ෂුව සිදුවිය හැකි, සිදු නොවිය හැකි දේ පිළිබඳව අවබෝධයෙහි දක්ෂ වෙයි’ කියා පවසන්නට සුදුසු වන්නේ කවර කරුණු මතද?”

ඉධානන්ද, භික්ඛු: ‘අට්ඨානමේතං අනවකාසෝ: යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ කඤ්චි සංඛාරං නිච්චතෝ උපගච්ඡෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුථුජ්ජනෝ කඤ්චි සංඛාරං නිච්චතෝ උපගච්ඡෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

“පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව, ‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගෙන, එයට පැමිණෙයි නම්, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ ‘යම් පෘථග්ජන පුද්ගලයෙක් කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගෙන, එයට පැමිණෙයි නම්, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ කඤ්චි සංඛාරං සුඛතෝ උපගච්ඡෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුථුජ්ජනෝ කඤ්චි සංඛාරං සුඛතෝ උපගච්ඡෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් කිසියම් සංස්කාරයක් සැප වශයෙන් ගෙන එයට පැමිණෙයි නම්, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පෘතග්ජන පුද්ගලයෙක් කිසියම් සංස්කාරයක් සැප වශයෙන් ගෙන එයට පැමිණෙයි නම්, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ කඤ්චි ධම්මං අත්තතෝ උපගච්ඡෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති, ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුථුජ්ජනෝ කඤ්චි ධම්මං අත්තතෝ උපගච්ඡෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් කිසියම් සංස්කාරයක් ආත්ම වශයෙන් ගෙන එයට පැමිණෙයි නම්, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ ‘යම් පෘථග්ජන පුද්ගලයෙක් කිසියම් සංස්කාරයක් ආත්ම වශයෙන් ගෙන එයට පැමිණෙයි නම්, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ මාතරං ජීවිතා වෝරෝපෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුථුජ්ජනෝ මාතරං ජීවිතා වෝරෝපෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් තම මෑණියන්ව ජීවිතයෙන් තොර කරන්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පෘථග්ජන පුද්ගලයෙක් තම මෑණියන්ව ජීවිතයෙන් තොර කරන්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ පිතරං ජීවිතා වෝරෝපෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුථුජ්ජනෝ පිතරං ජීවිතා වෝරෝපෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් තම පියාණන්ව ජීවිතයෙන් තොර කරන්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පෘථග්ජන පුද්ගලයෙක් තම පියාණන්ව ජීවිතයෙන් තොර කරන්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ අරහන්තං ජීවිතා වෝරෝපෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුථුජ්ජනෝ අරහන්තං ජීවිතා වෝරෝපෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොර කරන්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පෘථග්ජන පුද්ගලයෙක් රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොර කරන්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ දුට්ඨචිත්තෝ තථාගතස්ස ලෝහිතං උප්පාදෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුථුජ්ජනෝ දුට්ඨචිත්තෝ තථාගතස්ස ලෝහිතං උප්පාදෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් දුෂ්ට සිතින් යුතුව තථාගතයන් වහන්සේගේ ලේ සොලවන්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පෘථග්ජන පුද්ගලයෙක් දුෂ්ට සිතින් යුතුව තථාගතයන් වහන්සේගේ ලේ සොලවන්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ සංඝං භින්දෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුථුජ්ජනෝ සංඝං භින්දෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් සංඝභේදය කරන්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පෘථග්ජන පුද්ගලයෙක් සංඝභේදය කරන්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුථුජ්ජනෝ අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් මාර්ගඵලලාභී පුද්ගලයෙක් වෙනත් ශාස්තෘවරයෙකුව සමාදන් වන්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පෘථග්ජන පුද්ගලයෙක් වෙනත් ශාස්තෘවරයෙකුව සමාදන් වන්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං ඒකිස්සා ලෝකධාතුයා ද්වේ අරහන්තෝ සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්‍යුං, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං ඒකිස්සා ලෝකධාතුයා ඒකෝ අරහං සම්මාසම්බුද්ධෝ උප්පජ්ජෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ එකම ලෝක ධාතුවක පෙර පසු නොවී, එක්වරම අරහත් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ එකම ලෝක ධාතුවක එක අරහත් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවාය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං ඒකිස්සා ලෝකධාතුයා ද්වේ රාජානෝ චක්කවත්තිනෝ අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්‍යුං, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං ඒකිස්සා ලෝකධාතුයා ඒකෝ රාජා චක්කවත්තී උප්පජ්ජෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ එකම ලෝක ධාතුවක පෙර පසු නොවී, එක්වරම චක්‍රවර්තී රජවරු දෙදෙනෙක් පහළ වෙනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ එකම ලෝක ධාතුවක එක චක්‍රවර්තී රජකෙනෙක් පහළ වෙනවාය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධෝ, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුරිසෝ අරහං අස්ස සම්මාසම්බුද්ධෝ, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් ස්ත්‍රියක් අරහත් වූ, සම්මා සම්බුදු බවට පත්වෙනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පුරුෂයෙක් අරහත් වූ, සම්මා සම්බුදු බවට පත්වෙනවා යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තී, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුරිසෝ රාජා අස්ස චක්කවත්තී, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් ස්ත්‍රියක් චක්‍රවර්තී රජකෙනෙක් බවට පත්වෙනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පුරුෂයෙක් චක්‍රවර්තී රජකෙනෙක් බවට පත්වෙනවා’ය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං ඉත්ථී සක්කත්තං කරෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුරිසෝ සක්කත්තං කරෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් ස්ත්‍රියක් ශක්‍ර දේවේන්ද්‍රයා බවට පත්වෙනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පුරුෂයෙක් ශක්‍ර දේවේන්ද්‍රයා බවට පත්වෙනවා’ය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං ඉත්ථී මාරත්තං කරෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුරිසෝ මාරත්තං කරෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් ස්ත්‍රියක් මාරයා බවට පත්වෙනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පුරුෂයෙක් මාරයා බවට පත්වෙනවා යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං ඉත්ථී බ්‍රහ්මත්තං කරෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං පුරිසෝ බ්‍රහ්මත්තං කරෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ යම් ස්ත්‍රියක් බ්‍රහ්ම තත්වයට පත්වෙනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ යම් පුරුෂයෙක් බ්‍රහ්ම තත්වයට පත්වෙනවා යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං කායදුච්චරිතස්ස ඉට්ඨෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං කායදුච්චරිතස්ස අනිට්ඨෝ අකන්තෝ අමනාපෝ විපාකෝ නිබ්බත්තෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ කයින් යම් දුෂ්චරිතයක් කොට එයින් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාකයක් උපදවනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ කයින් යම් දුෂ්චරිතයක් කොට එයින් අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ විපාකයක් උපදවනවාය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ යං වචීදුච්චරිතස්ස ….පෙ…. යං මනෝදුච්චරිතස්ස ඉට්ඨෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං මනෝදුච්චරිතස්ස අනිට්ඨෝ අකන්තෝ අමනාපෝ විපාකෝ නිබ්බත්තෙය්‍ය, ඨානමේතං විජ්ජතීති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ වචනයෙන් යම් දුෂ්චරිතයක් කොට, ….(පෙ)…. මනසින් යම් දුෂ්චරිතයක් කොට, එයින් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාකයක් උපදවනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ මනසින් යම් දුෂ්චරිතයක් කොට එයින් අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ විපාකයක් උපදවනවාය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ: යං කායසුචරිතස්ස අනිට්ඨෝ අකන්තෝ අමනාපෝ විපාකෝ නිබ්බත්තෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං කායසුචරිතස්ස ඉට්ඨෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ කයින් යම් සුචරිතයක් කොට, එයින් අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ විපාකයක් උපදවනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ කයින් යම් සුචරිතයක් කොට, එයින් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාකයක් උපදවනවාය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ යං වචීසුචරිතස්ස ….පෙ…. යං මනෝසුචරිතස්ස අනිට්ඨෝ අකන්තෝ අමනාපෝ විපාකෝ නිබ්බත්තෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං මනෝසුචරිතස්ස ඉට්ඨෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ වචනයෙන් යම් සුචරිතයක් කොට, ….(පෙ)…. මනසින් යම් සුචරිතයක් කොට, එයින් අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ විපාකයක් උපදවනවාය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ මනසින් යම් සුචරිතයක් කොට, එයින් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාකයක් උපදවනවාය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ යං කායදුච්චරිතසමංගී තංනිදානා තප්පච්චයා කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං කායදුච්චරිතසමංගී තංනිදානා තප්පච්චයා කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ කාය දුෂ්චරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එය මුල් කොට ගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ කාය දුෂ්චරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එය මුල් කොට ගෙන කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයෙහි උපදින්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ යං වචීදුච්චරිතසමංගී ….පෙ…. යං මනෝදුච්චරිතසමංගී තංනිදානා තප්පච්චයා කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං මනෝදුච්චරිතසමංගී තංනිදානා තප්පච්චයා කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ වචී දුෂ්චරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ….(පෙ)…. මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එය මුල් කොට ගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එය මුල් කොට ගෙන කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයෙහි උපදින්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ යං කායසුචරිතසමංගී තංනිදානා තප්පච්චයා කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං කායසුචරිතසමංගී තංනිදානා තප්පච්චයා කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ කාය සුචරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එය මුල් කොට ගෙන කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයෙහි උපදින්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ කාය සුචරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එය මුල් කොට ගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

‘අට්ඨානමේතං අනවකාසෝ යං වචීසුචරිතසමංගී ….පෙ…. යං මනෝසුචරිතසමංගී තංනිදානා තප්පච්චයා කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං මනෝසුචරිතසමංගී තංනිදානා තප්පච්චයා කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජෙය්‍ය, ඨානමේතං විජ්ජතී’ති පජානාති. එත්තාවතා ඛෝ, ආනන්ද, ‘ඨානාඨානකුසලෝ භික්ඛූ’ති අලං වචනායාති.

‘මෙය සිදුවන්නට බැරි දෙයක්. එවැනි දෙයකට ඉඩකඩක් නැහැ. ඒ කියන්නේ වචී සුචරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ….(පෙ)…. මනෝ සුචරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එය මුල් කොට ගෙන කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයෙහි උපදින්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නොවේය’ කියා අවබෝධ කරගනියි. ‘නමුත් මෙවැනි දෙයක් නම් සිදුවිය හැකියි. ඒ කියන්නේ මනෝ සුචරිතයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එය මුල් කොට ගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේය යන යමක් ඇද්ද, එය නම් සිදුවිය හැකියි’ කියා අවබෝධ කරගනියි.

පින්වත් ආනන්ද, මෙපමණකින් ම භික්ෂුවට, ‘සිදුවිය හැකි, සිදු නොවිය හැකි දේ පිළිබඳව අවබෝධයෙහි දක්ෂ වෙයි’ කියා පවසන්නට සුදුසුයි.

ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ! කෝ නාමෝ අයං භන්තේ, ධම්මපරියායෝති.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ආශ්චර්යයයි! ස්වාමීනී, අද්භූතයි! ස්වාමීනී, මෙම ධර්ම දේශනාව කිනම් නාමයකින් යුක්තයිද?”

තස්මාතිහ ත්වං ආනන්ද, ඉමං ධම්මපරියායං බහුධාතුකෝතිපි නං ධාරේහි, චතුපරිවට්ටෝතිපි නං ධාරේහි, ධම්මාදාසෝතිපි නං ධාරේහි, අමතදුන්දුභීතිපි නං ධාරේහි, අනුත්තරෝ සංගාමවිජයෝතිපි නං ධාරේහීති.

“එසේ වී නම් පින්වත් ආනන්දයෙනි, ඔබ මෙම ධර්ම ක්‍රමය ‘බහුධාතුක’ යන නමින් ධාරණය කරගන්න. එසේත් නැත්නම් ‘සතර පරිවර්තය’ හෙවත් ‘චතුපරිවට්ට’ නමින් ධාරණය කරගන්න. එසේත් නැත්නම් ‘දහම් කැඩපත’ හෙවත් ‘ධම්මාදාස’ නමින් ධාරණය කරගන්න. එසේත් නැත්නම් ‘අමා බෙරය’ හෙවත් ‘අමතදුන්දුභී’ නමින් ධාරණය කරගන්න. එසේත් නැත්නම් ‘සංග්‍රාමයෙන් ලද අනුත්තර වූ විජයග්‍රහණය’ හෙවත් ‘අනුත්තරසංගාමවිජය’ නමින් ධාරණය කරගන්න.”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

බහුධාතුකසුත්තං පඤ්චමං.

බොහෝ ධාතු ස්වභාවයන් ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M