මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පුන් පොහෝ දවසක, පුන් සඳ ඇති රාත්‍රියෙහි භික්ෂුසංඝයා පිරිවරාගෙන එළිමහනේ වැඩසිටියා.
එවිට එක්තරා භික්ෂුවක් හුනස්නෙන් නැගිට සිවුරු ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දිශාවට වන්දනා කරගෙන භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙය ඇසුවා.
“ස්වාමීනී, ඉදින් මට ප්‍රශ්නයක් අසන්නට භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේක් නම්, මං භාග්‍යවතුන් වහන්සේගෙන් යම්කිසි ප්‍රශ්නයක් අසන්නම්.”
“එසේ වී නම් පින්වත් භික්ෂුව, තමන්ගේ ආසනයේම වාඩිවී යම් ප්‍රශ්නයක් අසන්නට කැමති නම් අසන්න.”
එවිට ඒ භික්ෂුව තම අසුනෙහි වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම ප්‍රශ්නය ඇසුවා.
“ස්වාමීනී, පංච උපාදානස්කන්ධය කියන්නේ මේවා නේද? ඒ කියන්නේ; රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය නේද?”
“පින්වත් භික්ෂුව, පංච උපාදානස්කන්ධය කියන්නේ මේවා තමයි. ඒ කියන්නේ; රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය තමයි.”
“ඉතා යහපති ස්වාමීනී” කියා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටින් පිළිගෙන අනුමෝදන් වී භාග්‍යවතුන් වහන්සේගෙන් වැඩිදුරටත් ප්‍රශ්නයක් ඇසුවා.
“ස්වාමීනී, මේ පංච උපාදානස්කන්ධය තිබෙන්නේ කුමක් මුල්කොට ගෙනද?”
“පින්වත් භික්ෂුව, මේ පංච උපාදානස්කන්ධය තිබෙන්නේ තෘෂ්ණාව මුල්කොට ගෙනයි.”
“ස්වාමීනී, ඒ උපාදානය ම ද ඒ පංච උපාදානස්කන්ධය වන්නේ? එහෙම නැත්නම් උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් බැහැර වූ දෙයක්ද?”
“පින්වත් භික්ෂුව, ඒ උපාදානය ම ඒ පංච උපාදානස්කන්ධය නොවෙයි. ඒ වගේම උපාදානය පංච උපාදානස්කන්ධයෙන් බැහැරව තියෙන දෙයකුත් නොවෙයි. පින්වත් භික්ෂුව පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්දරාගයක් තිබෙනවාද, එහි උපාදානය ඒකමයි.”
“ඉතින් ස්වාමීනී, පංච උපාදානස්කන්ධය පිළිබඳව තිබෙන ඡන්දරාගයේ වෙනස්කමුත් තියෙනවාද?”
“පින්වත් භික්ෂුව, තියෙනවාමයි” කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “පින්වත් භික්ෂුව, මෙහිලා කෙනෙකුට මෙහෙම සිතෙනවා. ඒ කියන්නේ ‘මං අනාගතයෙහි මෙබඳු රූප ඇති කෙනෙක් වෙනවා. අනාගතයෙහි මෙබඳු විඳීම් ඇති කෙනෙක් වෙනවා. අනාගතයෙහි මෙබඳු සඤ්ඤා ඇති කෙනෙක් වෙනවා. අනාගතයෙහි මෙබඳු සංස්කාර ඇති කෙනෙක් වෙනවා. අනාගතයෙහි මෙබඳු විඤ්ඤාණ ඇති කෙනෙක් වෙනවා’ කියලා. පින්වත් භික්ෂුව, ඔය විදිහට තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති ඡන්දරාගයෙහි වෙනස්කම් තිබෙන්නේ.”
“ස්වාමීනී, ස්කන්ධයන්ට ස්කන්ධය යන නම ඇතිවුනේ කොහොමද?”
“පින්වත් භික්ෂුව, අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමා යැයි සලකන හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම් රූපයක් ඇද්ද, රූප ස්කන්ධය යනු මෙයයි.
අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමා යැයි සලකන හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම් විඳීමක් ඇද්ද, වේදනා ස්කන්ධය යනු මෙයයි.
අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමා යැයි සලකන හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම් සඤ්ඤාවක් ඇද්ද, සඤ්ඤා ස්කන්ධය යනු මෙයයි.
අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමා යැයි සලකන හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම් සංස්කාර ඇද්ද, සංස්කාර ස්කන්ධය යනු මෙයයි.
අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමා යැයි සලකන හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම් විඤ්ඤාණයක් ඇද්ද, විඤ්ඤාණ ස්කන්ධය යනු මෙයයි.
පින්වත් භික්ෂුව ස්කන්ධයන්ට ස්කන්ධ යන නාමය ඇතිවෙන්නේ මෙපමණකින්මයි.”
“ස්වාමීනී රූප ස්කන්ධය පණවන්නට හේතු වූ කරුණ කුමක්ද? උපකාරී වූ දෙය කුමක්ද? වේදනා ස්කන්ධය පණවන්නට හේතු වූ කරුණ කුමක්ද? උපකාරී වූ දෙය කුමක්ද? සඤ්ඤා ස්කන්ධය පණවන්නට හේතු වූ කරුණ කුමක්ද? උපකාරී වූ දෙය කුමක්ද? සංස්කාර ස්කන්ධය පණවන්නට හේතු වූ කරුණ කුමක්ද? උපකාරී වූ දෙය කුමක්ද? විඤ්ඤාණ ස්කන්ධය පණවන්නට හේතු වූ කරුණ කුමක්ද? උපකාරී වූ දෙය කුමක්ද?”
“පින්වත් භික්ෂුව, රූපස්කන්ධය පණවන්නට සතර මහාභූතයනුයි හේතු වුනේ. සතර මහාභූත තමයි උපකාර වුනේ. වේදනා ස්කන්ධය පණවන්නට ස්පර්ශයයි හේතු වුනේ. ස්පර්ශයයි උපකාර වුනේ. සඤ්ඤා ස්කන්ධය පණවන්නට ස්පර්ශයයි හේතු වුනේ. ස්පර්ශයයි උපකාර වුනේ. සංස්කාර ස්කන්ධය පණවන්නට ස්පර්ශයයි හේතු වුනේ. ස්පර්ශයයි උපකාර වුනේ. විඤ්ඤාණ ස්කන්ධය පණවන්නට නාමරූපයි හේතු වුනේ. නාමරූපයි උපකාර වුනේ.”
“ස්වාමීනී, සක්කාය දිට්ඨිය ඇතිවෙන්නේ කොහොමද?”
“පින්වත් භික්ෂුව, මෙහිලා අශ්‍රැතවත් පෘතග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂත් නැහැ. ආර්ය ධර්මයෙහි හික්මිලත් නෑ. සත්පුරුෂයන් හඳුනන්නේ නෑ. සත්පුරුෂ ධර්මයට දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලත් නෑ. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. විඳීම ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. විඳීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඳීම තියෙනවා කියල හෝ විඳීම තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. හඳුනාගැනීම ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. හඳුනාගැනීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ හඳුනාගැනීම තියෙනවා කියලා හෝ හඳුනාගැනීම තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. සංස්කාර ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. සංස්කාරවලින් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ සංස්කාර තියෙනවා කියලා හෝ සංස්කාර තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියල හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. පින්වත් භික්ෂුව, සක්කාය දිට්ඨිය ඇතිවෙන්නේ ඔය විදිහටයි.”
“ස්වාමීනී, සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ කොහොමද?”
“පින්වත් භික්ෂුව, මෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනනවා. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයෙහි හික්මෙනවා. සත්පුරුෂයන් හඳුනනවා. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයෙහි හික්මෙනවා. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකින්නෙ නෑ. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නෙ නෑ. විඳීම ආත්මය හැටියට මුලාවෙන් දකින්නෙ නෑ. විඳීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඳීම තියෙනවා කියල හෝ විඳීම තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නෙ නෑ. හඳුනාගැනීම ආත්මය හැටියට මුලාවෙන් දකින්නෙ නෑ. හඳුනාගැනීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ හඳුනාගැනීම තියෙනවා කියල හෝ හඳුනාගැනීම තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නෙ නෑ. සංස්කාර ආත්මය හැටියට මුලාවෙන් දකින්නෙ නෑ. සංස්කාරවලින් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ සංස්කාර තියෙනවා කියල හෝ සංස්කාර තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නෙ නෑ. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකින්නෙ නෑ. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියල හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නෙ නෑ. පින්වත් භික්ෂුව, සක්කාය දිට්ඨිය ඇති නොවෙන්නේ ඔය විදිහටයි.”
“ස්වාමීනී, රූපයෙහි තිබෙන්නේ කවර ආශ්වාදයක්ද? කවර ආදීනවයක්ද? කවර නිස්සරණයක්ද? වේදනාවෙහි තිබෙන්නේ කවර ආශ්වාදයක්ද? කවර ආදීනවයක්ද? කවර නිස්සරණයක්ද? සඤ්ඤාවෙහි තිබෙන්නේ කවර ආශ්වාදයක්ද? කවර ආදීනවයක්ද? කවර නිස්සරණයක්ද? සංස්කාරවල තිබෙන්නේ කවර ආශ්වාදයක්ද? කවර ආදීනවයක්ද? කවර නිස්සරණයක්ද? විඤ්ඤාණයෙහි තිබෙන්නේ කවර ආශ්වාදයක්ද? කවර ආදීනවයක්ද? කවර නිස්සරණයක්ද?”
“පින්වත් භික්ෂුව, රූපය හේතු කොට ගෙන යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් මෙය තමයි රූපයෙහි ආශ්වාදය. යම් රූපයක් අනිත්‍යයි ද, දුකයි ද, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි ද මෙය තමයි රූපයේ ආදීනවය. රූපය පිළිබඳව ඇති ඡන්දරාගයේ යම් දුරුකිරීමක්, ඡන්දරාග ප්‍රහාණයක් ඇද්ද මෙය තමයි රූපයේ නිස්සරණය නම් වූ නිදහස් වීම. පින්වත් භික්ෂුව විඳීම හේතු කොට ගෙන යම් සැපයක් ….(පෙ)…. සඤ්ඤාව හේතු කොට ගෙන ….(පෙ)…. සංස්කාර හේතු කොට ගෙන ….(පෙ)…. විඤ්ඤාණය හේතු කොට ගෙන යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් මෙය තමයි විඤ්ඤාණයෙහි ආශ්වාදය. යම් විඤ්ඤාණයක් අනිත්‍යයි ද, දුකයි ද, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි ද මෙය තමයි විඤ්ඤාණයේ ආදීනවය. විඤ්ඤාණය පිළිබඳව ඇති ඡන්දරාගයේ යම් දුරුකිරීමක්, ඡන්දරාග ප්‍රහාණයක් ඇද්ද මෙය තමයි විඤ්ඤාණයේ නිස්සරණය නම් වූ නිදහස් වීම.”
“ස්වාමීනී, කොහොම දන්නා විටද, කොහොම දකිනා විටද, විඤ්ඤාණය සහිත මේ කයෙත්, බාහිර සියලු නිමිතිවලත්, ‘මමය, මාගේය’ යන හැඟීමෙන් යුතුව මුල් බැස ගත් මාන්නය සම්පූර්ණයෙන්ම නැතුව යන්නේ?”
“පින්වත් භික්ෂුව, අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමා යැයි සලකන හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම් රූපයක් ඇද්ද, ඒ රූප සියල්ලම ‘මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ’ කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකිනවා. ඒ වගේම යම්කිසි විඳීමක් ඇද්ද, ….(පෙ)…. යම් සඤ්ඤාවක් ඇද්ද, ….(පෙ)…. යම් සංස්කාර ඇද්ද, ….(පෙ)…. අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමා යැයි සලකන හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සියලු විඤ්ඤාණය ‘මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ’ කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකිනවා.
පින්වත් භික්ෂුව, ඔය විදිහට දන්නා විට තමයි, ඔය විදිහට දකින විට තමයි විඤ්ඤාණය සහිත මේ කයෙත්, බාහිර සියලු නිමිතිවලත්, ‘මමය, මාගේය’ යන හැඟීමෙන් යුතුව මුල් බැසගත් මාන්නය සම්පූර්ණයෙන්ම නැතුව යන්නේ.”
එතකොට එක්තරා භික්ෂුවකගේ සිතේ මෙවැනි අදහසක් ඇතිවුනා.
“එතකොට භවත්නි, රූපය අනාත්ම නම්, විඳීමත් අනාත්ම නම්, සඤ්ඤාවත් අනාත්ම නම්, සංස්කාරත් අනාත්ම නම්, විඤ්ඤාණයත් අනාත්ම නම්, අනාත්මව සිට කරපු කර්ම විපාක දෙන්නේ කවර ආත්මක් තුළද?” කියලා.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගේ සිතුවිල්ල තම සිතින් දැන භික්ෂූන් අමතා වදාළා.
“පින්වත් මහණෙනි, මෙහිලා මෙවැනි දේකුත් දකින්නට ලැබෙනවා නෙව. අවිද්‍යා සහගත වූ, අවිද්‍යාව තුළට පැමිණි, තෘෂ්ණාවෙහි අධිපතිභාවයෙන් යටකොට ගත් සිතින් සිටින හිස් පුරුෂයෙකුට මෙහිලා ශාස්තෘ ශාසනය ඉක්මවා යන්නටත් සිතෙනවා නෙව. ඒ කියන්නේ ‘එතකොට භවත්නි, රූපය අනාත්ම නම්, විඳීමත් අනාත්ම නම්, සඤ්ඤාවත් අනාත්ම නම්, සංස්කාරත් අනාත්ම නම්, විඤ්ඤාණයත් අනාත්ම නම්, අනාත්මව සිට කරපු කර්ම විපාක දෙන්නේ කවර ආත්මක් තුළද?’ කියල සිතනවා නෙව.
පින්වත් මහණෙනි, මා විසින් ඔබව හික්මවා තියෙන්නේ ඒ ඒ ධර්මයන් පිළිබඳව දහම් අවබෝධය පිණිසයි. පින්වත් මහණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය නිත්‍යද? අනිත්‍යද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”
“ස්වාමීනී, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මෙය මගේය, මෙය මමය, මෙය මාගේ ආත්මයය’ කියා මුලාවෙන් දැකීම සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැහැ.”
“පින්වත් මහණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”
“ස්වාමීනී, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය ‘මෙය මගේය, මෙය මමය, මෙය මාගේ ආත්මයය’ කියා මුලාවෙන් දැකීම සුදුසුද?”
“ස්වාමීනී, එය සුදුසු නැහැ.”
“එහෙම නම් පින්වත් මහණෙනි, මෙහිලා අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමා යැයි සලකන හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම් රූපයක් ඇද්ද, ඒ රූප සියල්ලම ‘මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ’ කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි. ඒ වගේම යම්කිසි විඳීමක් ඇද්ද, ….(පෙ)…. යම් සඤ්ඤාවක් ඇද්ද, ….(පෙ)…. යම් සංස්කාර ඇද්ද, ….(පෙ)…. අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමා යැයි සලකන හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සියලු විඤ්ඤාණ ‘මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ’ කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් යථාර්ථය දකිද්දී රූපය කෙරෙහි අවබෝධයෙන්ම කළකිරෙයි. වේදනාව කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙයි. සඤ්ඤාව කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙයි. සංස්කාර කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙයි. විඤ්ඤාණය කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙයි. අවබෝධයෙන්ම කළකිරුණු විට නොඇලෙයි. නොඇලුණු විට නිදහස් වෙයි. නිදහස් වූ විට නිදහස් වූ බවට ඤාණය ඇතිවෙයි. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. ඒ වෙනුවෙන් කළ යුතු වෙනත් දෙයක් නැතැ’යි අවබෝධ කරගන්නවා.”
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම දේශනය වදාරණ කල්හි සැටක් පමණ වූ භික්ෂූන් වහන්සේලාගේ සිත් කිසිවකට ග්‍රහණය නොවී ආශ්‍රවයන්ගෙන් නිදහස් වුනා.
සාදු! සාදු!! සාදු!!!
පුන් පොහෝ දා වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M