මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් වැඩි කලක් ගත නොවූ ඒ දිනවල ආයුෂ්මත් ආනන්ද මහ රහතන් වහන්සේ වැඩසිටියේ කලන්දක නිවාප නම් වූ වේළුවනයේ. ඒ කාලයේම වේදේහි පුත්‍ර අජාසත් මගධ රජතුමා පජ්ජෝත රජුගේ ආක්‍රමණයක් සිදු වේය යන සැකයෙන් යුතුව රජගහ නුවර ප්‍රතිසංස්කරණය කරවයි. එදා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රයද ගෙන රජගහ නුවරට පිණ්ඩපාතයේ වැඩියා.
එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙහෙම සිතුනා. “තවම රජගහ නුවරට පිණ්ඩපාතයේ වඩින්නට වේලාසන වැඩියි. එනිසා මං ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ වැඩපොල තියෙන තැනට, ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා ඉන්න තැනට යන්නට ඕන” කියලා. ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ වැඩපොල තියෙන, ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා ඉන්න තැනට වැඩම කළා. ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා දුරින්ම වඩින්නා වූ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේව දැක්කා. දැක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙහෙම කිව්වා.
“භවත් ආනන්දයන් වහන්ස, වඩින සේක්වා! භවත් ආනන්දයන් වහන්සේට සුභාගමනයක්මයි. භවත් ආනන්දයන් වහන්සේ බොහෝ කාලෙකින් නෙව මේ පැත්තෙ වැඩියේ. භවත් ආනන්දයන් වහන්ස, වැඩසිටින සේක්වා! මේ ආසන පණවලා තියෙන්නේ.”
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාද, එක්තරා මිටි අසුනක් ගෙන එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුණු ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවා.
“භවත් ආනන්දයන් වහන්ස, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තව වැඩසිටි සේක්ද, ඒ ධර්මයන් ගෙන් මුළුමනින්ම සර්ව සම්පූර්ණව, ඒ සමානව සිටින එක භික්ෂුවක්වත් ඉන්නවාද?”
“පින්වත් බ්‍රාහ්මණය, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තව වැඩසිටි සේක්ද, ඒ ධර්මයන්ගෙන් මුළුමනින්ම සර්ව සම්පූර්ණව, ඒ සමානව සිටින එක භික්ෂුවක්වත් නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ම නූපන් මාර්ගය උපදවන සේක. හට නොගත් මාර්ගය හටගන්වන සේක. දෙව් මිනිස් කිසිවෙකු විසින් හෝ නොපවසන ලද මාර්ගය පවසන සේක. මාර්ගය මැනවින් දන්නා සේක. මාර්ගය මැනවින් දක්නා සේක. මාර්ගයෙහි අතිශයින්ම දක්ෂ වන සේක. ඒ බුදුරජාණන් වහන්සේ විසින් හෙළිදරව් කොට වදාළ මාර්ගය අනුව තමයි මෙකල ශ්‍රාවකයෝ පසුපස්සෙන් ගමන් කරමින් වසන්නේ.”
එතකොට ගෝපක මොග්ගල්ලානයන් සමඟ වූ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ මේ කතාව අවසන්ව තිබුනේ නෑ. එවිට මගධ මහාමාත්‍ය වූ වස්සකාර බ්‍රාහ්මණයා රජගහ නුවර වැඩකටයුතු විමසමින් ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ වැඩපොළ වෙත, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ආනන්දයන් වහන්ස, දැන් කුමක් ගැනද කතා කරමින් සිටියේ? ඔබවහන්සේගේ කවර කථාවක්ද අඩාල වුනේ?”
“පින්වත් බ්‍රාහ්මණය, මෙහිදී ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා මගෙන් මෙහෙම ඇහුවා. ‘භවත් ආනන්දයන් වහන්ස, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තව වැඩසිටි සේක්ද, ඒ ධර්මයන්ගෙන් මුළුමනින්ම සර්ව සම්පූර්ණව, ඒ සමානව සිටින එක භික්ෂුවක්වත් ඉන්නවාද?’ කියලා. එතකොට පින්වත් බ්‍රාහ්මණය, ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට මං මෙහෙම කිව්වා. ‘පින්වත් බ්‍රාහ්මණය, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තව වැඩසිටි සේක්ද, ඒ ධර්මයන්ගෙන් මුළුමනින්ම සර්ව සම්පූර්ණව, ඒ සමානව සිටින එක භික්ෂුවක්වත් නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම නූපන් මාර්ගය උපදවන සේක. හට නොගත් මාර්ගය හටගන්වන සේක. දෙව් මිනිස් කිසිවෙකු විසින් හෝ නොපවසන ලද මාර්ගය පවසන සේක. මාර්ගය මැනවින් දන්නා සේක. මාර්ගය මැනවින් දක්නා සේක. මාර්ගයෙහි අතිශයින්ම දක්ෂ වන සේක. ඒ බුදුරජාණන් වහන්සේ විසින් හෙළිදරව් කොට වදාළ මාර්ගය අනුව තමයි මෙකල ශ්‍රාවකයෝ පසුපස්සෙන් ගමන් කරමින් වසන්නේ’ කියලා.
පින්වත් බ්‍රාහ්මණය, ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා සමඟ සිදුවුන අපගේ මේ කථාව තමයි අඩාල වුනේ. එතකොටමයි ඔබ ආවේ.”
“භවත් ආනන්දයන් වහන්ස, මෙකල ඔබවහන්සේලා යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, එබඳු වූ භික්ෂුවක් ‘මාගේ ඇවෑමෙන් ඔබට මෙන්න මේ භික්ෂුව පිළිසරණ වන්නේය’ කියා භවත් ගෞතමයන් වහන්සේ විසින් පත්කරලා තියෙනවාද?”
“නැත, පින්වත් බ්‍රාහ්මණය. මෙකල අප විසින් යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, ඒ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘මාගේ ඇවෑමෙන් ඔබට මෙන්න මේ භික්ෂුව පිළිසරණ වන්නේය’ කියා පත් කරන ලද එබඳු වූ එක භික්ෂුවක්වත් නැහැ.”
“එතකොට භවත් ආනන්දයන් වහන්ස, මෙකල ඔබ විසින් යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, සංඝයා විසින් සම්මත කරන ලද බොහෝ වැඩිමහල් තෙරුන් වහන්සේලා විසින් ‘භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් පසු මේ භික්ෂුව අපට පිළිසරණ වන්නේය’ කියා පත්කරන ලද එබඳු එක් භික්ෂුවක්වත් ඉන්නවාද?”
“නැත, පින්වත් බ්‍රාහ්මණය. මෙකල අප විසින් යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, සංඝයා විසින් සම්මත කරන ලද බොහෝ වැඩිමහල් තෙරුන් වහන්සේලා විසින් ‘භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් පසු මේ භික්ෂුව අපට පිළිසරණ වන්නේය’ කියා පත්කරන ලද එබඳු එක් භික්ෂුවක්වත් නැහැ.”
“එහෙම නම් භවත් ආනන්දයන් වහන්ස, ඔය විදිහට පිළිසරණ රහිත වූ ශාසනයෙහි සමඟි සම්පන්නව සිටින්නට හේතුව කුමක්ද?”
“පින්වත් බ්‍රාහ්මණය, අපි ඉන්නේ පිළිසරණ රහිතව නොවෙයි. පින්වත් බ්‍රාහ්මණය, අපි ඉන්නේ පිළිසරණ සහිතවමයි. ධර්මය පිළිසරණ කරගෙනයි.”
“භවත් ආනන්දයන් වහන්ස, එතකොට අපි මෙහෙම ඇසූ විට, ‘භවත් ආනන්දයන් වහන්ස, මෙකල ඔබවහන්සේලා යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, එබඳු වූ භික්ෂුවක් ‘මාගේ ඇවෑමෙන් ඔබට මෙන්න මේ භික්ෂුව පිළිසරණ වන්නේය’ කියා භවත් ගෞතමයන් වහන්සේ විසින් පත්කරලා තියෙනවාද?’ කියලා. එතකොට පිළිතුරු ලැබුනේ මෙහෙමයි. ‘නැත, පින්වත් බ්‍රාහ්මණය. මෙකල අප විසින් යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, ඒ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘මාගේ ඇවෑමෙන් ඔබට මෙන්න මේ භික්ෂුව පිළිසරණ වන්නේය’ කියා පත්කරන ලද එබඳු වූ එක භික්ෂුවක්වත් නැහැ’ කියලා.
ඊළඟට ‘භවත් ආනන්දයන් වහන්ස, මෙකල ඔබ විසින් යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, සංඝයා විසින් සම්මත කරන ලද බොහෝ වැඩිමහල් තෙරුන් වහන්සේලා විසින් ‘භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පසු මේ භික්ෂුව අපට පිළිසරණ වන්නේය’ කියා පත්කරන ලද එබඳු එක් භික්ෂුවක්වත් ඉන්නවාද?’ කියල අහපු වෙලාවෙ පිළිතුරු ලැබුනේ මෙහෙමයි. ‘නැත, පින්වත් බ්‍රාහ්මණය. මෙකල අප විසින් යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, සංඝයා විසින් සම්මත කරන ලද බොහෝ වැඩිමහල් තෙරුන් වහන්සේලා විසින් ‘භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පසු මේ භික්ෂුව අපට පිළිසරණ වන්නේය’ කියා පත්කරන ලද එබඳු එක් භික්ෂුවක්වත් නැහැ’ කියලයි.
ඊළඟට ‘එහෙම නම් භවත් ආනන්දයන් වහන්ස, ඔය විදිහට පිළිසරණ රහිත වූ ශාසනයෙහි සමඟි සම්පන්නව සිටින්නට හේතුව කුමක්ද?’ කියල අහපු වෙලාවෙ පිළිතුරු ලැබුනේ මෙහෙමයි. ‘පින්වත් බ්‍රාහ්මණය, අපි ඉන්නේ පිළිසරණ රහිතව නොවෙයි. පින්වත් බ්‍රාහ්මණය, අපි ඉන්නේ පිළිසරණ සහිතවමයි. ධර්මය පිළිසරණ කරගෙනයි’ කියලයි. එහෙම නම් භවත් ආනන්දයන් වහන්ස, ඔබවහන්සේ පැවසූ මේ ප්‍රකාශයේ අර්ථ වටහා ගත යුත්තේ කොහොමද?”
“පින්වත් බ්‍රාහ්මණය, සියල්ල දන්නා වූ, දක්නා වූ, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන්ට ශික්ෂාපද පණවා තිබෙනවා. ප්‍රාතිමෝක්ෂය පණවා වදාළා. ඉතින් ඒ අපි පොහොය දවස්වලට එක් ගම් ප්‍රදේශයක් ඇසුරු කොට යම්තාක් සඟ පිරිස සිටිනවා නම්, හැම දෙනාම එක් තැනකට රැස්වෙනවා. රැස්වෙලා යමෙකුට ප්‍රාතිමෝක්ෂය හොඳට පාඩම් තිබෙනවා නම්, ඔහුට ඒ ප්‍රාතිමෝක්ෂය උදෙසන්නට පවරනවා. ඉතින් ඒ ප්‍රාතිමෝක්ෂය පවසන වෙලාවේ යම් භික්ෂුවකට ඇවැතක් සිදුවෙලා නම්, ශික්ෂාපදයක් ඉක්ම ගිහින් නම්, අප ධර්මානුකූලව බුද්ධානුශාසනාව පරිදි පිළියම් කරනවා.”
“ඒ කියන්නේ භවත් භික්ෂූන් වහන්සේලා කරනවා කියලා නෙවෙයි, ධර්මය විසින් කරනවා කියලා නේද?
එතකොට භවත් ආනන්දයන් වහන්ස, මෙකල ඔබවහන්සේලා යම් භික්ෂුවකට සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, බුහුමන් දක්වනවා නම්, පූජා පවත්වනවා නම්, සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වසනවා නම්, එබඳු වූ එක් භික්ෂුවක්වත් ඉන්නවාද?”
“පින්වත් බ්‍රාහ්මණය, මෙකල අපි යම් භික්ෂුවකට සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, බුහුමන් දක්වනවා නම්, පූජා පවත්වනවා නම්, සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වසනවා නම්, එබඳු වූ එක් භික්ෂුවක් වත් නෑ.”
“භවත් ආනන්දයන් වහන්ස, එතකොට අපි මෙහෙම ඇසූ විට, ‘භවත් ආනන්දයන් වහන්ස, මෙකල ඔබවහන්සේලා යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, එබඳු වූ භික්ෂුවක් ‘මාගේ ඇවෑමෙන් ඔබට මෙන්න මේ භික්ෂුව පිළිසරණ වන්නේය’ කියා භවත් ගෞතමයන් වහන්සේ විසින් පත්කරලා තියෙනවාද?’ කියලා. එතකොට පිළිතුරු ලැබුනේ මෙහෙමයි. ‘නැත, පින්වත් බ්‍රාහ්මණය. මෙකල අප විසින් යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, ඒ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘මාගේ ඇවෑමෙන් ඔබට මෙන්න මේ භික්ෂුව පිළිසරණ වන්නේය’ කියා පත්කරන ලද එබඳු වූ එක භික්ෂුවක්වත් නැහැ’ කියලා.
ඊළඟට ‘භවත් ආනන්දයන් වහන්ස, මෙකල ඔබ විසින් යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, සංඝයා විසින් සම්මත කරන ලද බොහෝ වැඩිමහල් තෙරුන් වහන්සේලා විසින් ‘භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් පසු මේ භික්ෂුව අපට පිළිසරණ වන්නේය’ කියා පත්කරන ලද එබඳු එක් භික්ෂුවක්වත් ඉන්නවාද?’ කියල අහපු වෙලාවෙ පිළිතුරු ලැබුනේ මෙහෙමයි. ‘නැත, පින්වත් බ්‍රාහ්මණය. මෙකල අප විසින් යම් භික්ෂුවක් අනුගමනය කරනවා නම්, සංඝයා විසින් සම්මත කරන ලද බොහෝ වැඩිමහල් තෙරුන් වහන්සේලා විසින් ‘භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් පසු මේ භික්ෂුව අපට පිළිසරණ වන්නේය’ කියා පත්කරන ලද එබඳු එක් භික්ෂුවක්වත් නැහැ’ කියලයි.
ඊළඟට භවත් ආනන්දයන් වහන්ස, මෙකල ඔබවහන්සේලා යම් භික්ෂුවකට සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, බුහුමන් දක්වනවා නම්, පූජා පවත්වනවා නම්, සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වසනවා නම්, එබඳු වූ එක් භික්ෂුවක්වත් ඉන්නවාද?’ කියල ඇසූ විට, පිළිතුරු ලැබුනේ මේ විදිහටයි. ‘පින්වත් බ්‍රාහ්මණය, මෙකල අපි යම් භික්ෂුවකට සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, බුහුමන් දක්වනවා නම්, පූජා පවත්වනවා නම්, සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වසනවා නම්, එබඳු වූ එක් භික්ෂුවක්වත් නෑ’ කියලා.
එතකොට භවත් ආනන්දයන් වහන්ස, ඔය ප්‍රකාශයේ අර්ථය අවබෝධ කරගත යුත්තේ කෙසේද?”
“පින්වත් බ්‍රාහ්මණය, සියල්ල දන්නා වූ, දක්නා වූ, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රසාදය ඇතිවෙන ධර්ම දහයක් වදාරලා තියෙනවා. යම් භික්ෂුවක් තුළ ඒ ධර්මයන් දකින්නට ලැබෙනවා නම්, මෙකල අපි අන්න ඒ භික්ෂුවට සත්කාර කරනවා, ගෞරව කරනවා, බුහුමන් දක්වනවා, පුදනවා, සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරනවා. ඒ කරුණු දහය මොනවාද?
පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව වාසය කරනවා. යහපත් ඇවතුම් පැවතුම්වලින් යුතු වෙනවා. අනුමාත්‍ර වූ වරදෙහිත් බිය දකිනවා. සමාදන් වූ සිල්පදවල හික්මෙනවා.
භික්ෂුව ඇසූ දේ දරා ගත්, ඇසූ දේ රැස්කරගත් බහුශ්‍රැත කෙනෙක් වෙනවා. යම් ඒ ධර්මයක මුල කල්‍යාණ වෙයිද, මැද කල්‍යාණ වෙයිද, අවසානය කල්‍යාණ වෙයිද, අර්ථ සහිත වෙයිද, පැහැදිලි වචනවලින් යුතු වෙයිද, මුළුමනින්ම පිරිපුන්, පිරිසිදු බඹසර ප්‍රකාශ වෙයිද, අන්න එබඳු වූ ධර්මය පිළිබඳවයි බහුශ්‍රැත වෙන්නේ. ඒ ධර්මය හොඳින් මතක තබා ගෙන, වචනයෙන් ප්‍රගුණ කරලා, සිතින් විමසලා, ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඉන්නවා.
ඒ වගේම භික්ෂුව සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදී ලද දෙයින් සතුටු වෙන කෙනෙක් වෙනවා.
ඒ වගේම භික්ෂුව උසස් සිත ඇසුරු කළ, මෙලොවදීම සැප විහරණ ඇති ධ්‍යාන සතර ඉතාම පහසුවෙන්, ඉක්මනින්, බොහෝ සේ ලබන කෙනෙක් වෙනවා.
ඒ වගේම භික්ෂුව නොයෙක් ආකාරයේ ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන කෙනෙක් වෙනවා. ඒ කියන්නෙ, භික්ෂුව තනි කෙනෙක් වගේ සිට බොහෝ ආකාර ඇතිකරගන්නවා. බොහෝ ආකාර ඇතිව සිට තනි කෙනෙක් වෙනවා. ඒ වගේම බිත්ති, පවුරු, පදනම්වල නොගැටී ඉන් එහාට අහසින් යන්නා සේ යනවා. ඒ වගේම ජලයෙහි කිමිදෙන්නා සේ පොළොවෙහි කිමිදෙනවා. ඒ වගේම පොළොවෙහි සක්මන් කරන්නා සේ ජලයෙහිත් ඇවිදිනවා. ඒ වගේම කුරුල්ලෙක් අහසෙහි පියාඹන්නා සේ භාවනා ඉරියව්වෙන් අහසින් යනවා. ඒ වගේම මේසා මහා ඉර්ධිමත් මේසා මහානුභාව සම්පන්න සඳ හිරු පවා අතින් පිරිමදිනවා. ඒ වගේම බඹලොව දක්වා මේ ඉර්ධි ප්‍රාතිහාර්යයෙන් යුතු කයින් වසඟයෙහි පවත්වනවා.
ඒ වගේම භික්ෂුව, සාමාන්‍ය මිනිස් ඇසීම ඉක්මවා ගිය, ඉතා පිරිසිදු වූ දිව්‍යමය ශ්‍රවණයෙන් යුතුව දිව්‍ය වූත්, මානුෂික වූත්, දුර වූත්, ළඟ වූත් යම් දෙවැදෑරුම් ශබ්දයන් ඇද්ද, ඒවාත් අසනවා.
ඒ වගේම භික්ෂුව, බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ සිතේ ස්වභාවයන් තමාගේ සිතින් පිරිසිඳ දැනගන්නවා. ඒ කියන්නෙ, සරාගී සිත, සරාගී සිතක් වශයෙන් දැනගන්නවා. වීතරාගී සිත, වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. සදෝෂී සිත, සදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. වීතදෝෂී සිත, වීතදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. සමෝහී සිත, සමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. වීතමෝහී සිත, වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකිළුණු සිත, හැකිළුණු සිතක් වශයෙන් දැනගන්නවා. විසිරුණු සිත, විසුරුණු සිතක් වශයෙන් දැනගන්නවා. මහග්ගත සිත, මහග්ගත සිතක් වශයෙන් දැනගන්නවා. අමහග්ගත සිත, අමහග්ගත සිතක් වශයෙන් දැනගන්නවා. සඋත්තර සිත, සඋත්තර සිතක් වශයෙන් දැනගන්නවා. අනුත්තර සිත, අනුත්තර සිතක් වශයෙන් දැනගන්නවා. සමාහිත සිත, සමාහිත සිතක් වශයෙන් දැනගන්නවා. අසමාහිත සිත, අසමාහිත සිතක් වශයෙන් දැනගන්නවා. විමුත්ත සිත, විමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා. අවිමුත්ත සිත, අවිමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා.
ඒ වගේම භික්ෂුව, නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහිකරනවා. ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක්, ජාති තුනක්, ජාති හතරක්, ජාති පහක්, ජාති දහයක්, ජාති විස්සක්, ජාති තිහක්, ජාති හතළිහක්, ජාති පනහක්, ජාති සීයක්, ජාති දහසක්, ජාති ලක්ෂයක්, ඒ වගේම නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවිට්ට කල්ප සිහි කරනවා. මං අසවල් තැන හිටියා, මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුනා. අසවල් තැන ඉපදුනා. අසවල් තැන හිටියා. මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුනා. මෙතන ඉපදුනා ආදී වශයෙන්. මෙසේ කරුණු සහිත ප්‍රධාන සිදුවීම් සහිතව නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහිකරනවා.
ඒ වගේම භික්ෂුව, සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන් දකිනවා. ඒ කියන්නෙ; උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ, මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරල, වචනින් දුසිරිත් කරල, මනසින් දුසිරිත් කරල, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරමින් ඉඳල, කය බිඳී මැරුණට පස්සේ අපායෙ ඉපදිලා ඉන්නවා. දුගතියෙ ඉපදිලා ඉන්නවා. විනිපාත කියන නිරයෙ ඉපදිලා ඉන්නවා’ කියලා. ඒ වගේම ‘මේ භවත් සත්වයන් කයින් සුචරිතයේ යෙදිලා, වචනයෙන් සුචරිතයේ යෙදිලා, මනසින් සුචරිතයේ යෙදිලා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්මා දිට්ඨිය ඇතුව ඉඳලා, සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියාවල යෙදිලා, කය බිඳී මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියලා. මේ විදිහට සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා.
ඒ වගේම භික්ෂුව, ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙහිදීම තමන්ගේ විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා.
පින්වත් බ්‍රාහ්මණය, සියල්ල දන්නා වූ, දක්නා වූ, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ඔය දස ප්‍රසාදනීය ධර්මයි. ඉතින් යම් භික්ෂුවක් තුළ මේ ධර්මයන් දක්නට ලැබෙනවා නම්, අපි ඒ භික්ෂුවට සත්කාර කරනවා, ගෞරව කරනවා, බුහුමන් දක්වනවා, පුදනවා. සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වාසය කරනවා.”
මෙසේ වදාළ විට මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා උපනන්ද සේනාපතියා ඇමතුවා. “භවත් සේනාපතිය, මේ ගැන කුමක්ද සිතන්නේ? මේ භවතාණන් වහන්සේලා ඔය අයුරින් සත්කාර කළ යුතු කෙනාට සත්කාර කරනවා නම්, ගෞරව කළ යුතු කෙනාට ගෞරව කරනවා නම්, බුහුමන් කළ යුතු කෙනාට බුහුමන් කරනවා නම්, පිදිය යුතු කෙනා පුදනවා නම් ඒකාන්තයෙන්ම මේ භවතාණන් වහන්සේලා සත්කාර කළ යුත්තාට සත්කාර කරනවාමයි. ගරු කළ යුත්තාට ගරු කරනවාමයි. බුහුමන් කළ යුත්තාට බුහුමන් කරනවාමයි. පිදිය යුත්තා පුදනවාමයි.
ඒ වගේම යම් හෙයකින් ඒ භවතාණන් වහන්සේලා මෙවැනි භික්ෂුවකට සත්කාර කරන්නේ නැත්නම්, ගෞරව කරන්නේ නැත්නම්, බුහුමන් දක්වන්නේ නැත්නම්, පුදන්නේ නැත්නම්, එහෙම නම් ඒ භවතාණන් වහන්සේලා කවරෙකුට සත්කාර කරන්නද? ගෞරව කරන්නද? බුහුමන් දක්වන්නද? පුදන්නද? කවරෙකුව නම් සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වසන්නද?”
ඉතින් මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගෙන් මෙය ඇසුවා. “මේ දිනවල භවත් ආනන්දයන් වහන්සේ වැඩඉන්නේ කොහේද?”
“පින්වත් බ්‍රාහ්මණය, මං මේ දිනවල ඉන්නේ වේළුවනයේ.”
“භවත් ආනන්දයන් වහන්ස, කිම? වේළුවනය රමණීයයිද? ශබ්ද අඩුයිද? ඝෝෂාවන් අඩුයිද? ජනයාගේ ගැවසීමෙන් තොරයිද? මිනිසුන්ගේ හුදෙකලා කටයුතුවලට ගැලපෙනවාද? භාවනාවට සුදුසුද?”
“ඇත්තෙන්ම පින්වත් බ්‍රාහ්මණය, වේළුවනය නම් රමණීයයි. ශබ්ද අඩුයි. ඝෝෂාවන් අඩුයි. ජනයාගේ ගැවසීමෙන් තොරයි. මිනිසුන්ගේ හුදෙකලා කටයුතු වලට ගැලපෙනවා. භාවනාවට බොහොම අගෙයි. ඔබ වැනි ස්ථාන රැක බලා ගන්නා, දියුණු කරන්නා වූ උදවිය විසින් රකින තැන් එහෙමනෙ.”
“ඒකාන්තයෙන්ම භවත් ආනන්දයෙනි, වේළුවනය රමණීය තමයි. ශබ්දත් අඩු තමයි. ඝෝෂාවනුත් අඩු තමයි. මිනිසුන්ගේ ගැවසීමත් අඩු තමයි. මිනිසුන්ගේ හුදෙකලා කටයුතුවලට සුදුසු තමයි. භාවනාවට නම් අගේ ඇති තැනක් තමයි. ධ්‍යාන භාවනා කරන භවතාණන් වහන්සේලා විසින් සිටිය යුතු තැන් නෙව. අනික භවතාණන් වහන්සේලා ධ්‍යාන වඩන, ධ්‍යානවලට කැමති උතුමන් නෙව.
භවත් ආනන්දයන් වහන්ස, එක් කාලයක ඒ භවත් ගෞතමයන් වහන්සේ වැඩසිටියේ විශාලා මහාවනයේ කූටාගාර ශාලාවේ. ඉතින් භවත් ආනන්දයන් වහන්ස, මං මහාවනයේ කූටාගාර ශාලාවේ වැඩසිටි ඒ භවත් ගෞතමයන් වහන්සේව බැහැදකින්නට ගියා. එහිදී ඒ භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධ්‍යාන පිළිබඳ කථාවක් තමයි වදාළේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ ධ්‍යාන ඇති, ධ්‍යානවලට කැමති කෙනෙක් නෙව. ඒ භවත් ගෞතමයන් වහන්සේ සෑම ධ්‍යානයක්ම වර්ණනා කළා නෙව.”
“නැත, පින්වත් බ්‍රාහ්මණය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෑම ධ්‍යානයක්ම වර්ණනා කොට වදාළේ නැහැ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෑම ධ්‍යානයක්ම වර්ණනා නොකර සිටියේත් නෑ.
පින්වත් බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳු ආකාර වූ ධ්‍යානයක් ද වර්ණනා නොකළේ? පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා කෙනෙක් කාම රාගයෙන් මුසපත්ව, කාමරාගයෙන් යටවුණු සිතින් වාසය කරනවා. ඔහු උපන්නා වූ කාමරාගය ප්‍රහාණය වීම ගැන ඇති සැබෑ තත්වය දන්නේ නෑ. ඉතින් ඔහු කාම රාගය ම සිත ඇතුළේ තබාගෙන සිත සිතා ඉන්නවා. බලවත්ව සිතනවා. එක එක විදිහට සිතනවා. බැහැර අරමුණුවලත් සිතනවා.
ඒ වගේම ද්වේෂයෙන් මුසපත්ව, ද්වේෂයෙන් යටවුණු සිතින් වාසය කරනවා. ඔහු උපන්නා වූ ද්වේෂය ප්‍රහාණය වීම ගැන ඇති සැබෑ තත්වය දන්නේ නෑ. ඉතින් ඔහු ද්වේෂය ම සිත ඇතුළේ තබාගෙන සිත සිතා ඉන්නවා. බලවත්ව සිතනවා. එක එක විදිහට සිතනවා. බැහැර අරමුණුවලත් සිතනවා.
ඒ වගේම නිදිමත අලස බවෙන් මුසපත්ව, නිදිමත අලස බවෙන් යටවුණු සිතින් වාසය කරනවා. ඔහු උපන්නා වූ නිදිමත අලස බව ප්‍රහාණය වීම ගැන ඇති සැබෑ තත්වය දන්නේ නෑ. ඉතින් ඔහු නිදිමත අලස බවම සිත ඇතුළේ තබාගෙන සිත සිතා ඉන්නවා. බලවත්ව සිතනවා. එක එක විදිහට සිතනවා. බැහැර අරමුණුවලත් සිතනවා.
ඒ වගේම පසුතැවිල්ලෙන් හා කුකුසෙන් මුසපත්ව, පසුතැවිල්ලට හා කුකුසට යටවුණු සිතින් වාසය කරනවා. ඔහු උපන්නා වූ පසුතැවිල්ල හා කුකුස ප්‍රහාණය වීම ගැන ඇති සැබෑ තත්වය දන්නේ නෑ. ඉතින් ඔහු පසුතැවිල්ල හා කුකුස ම හිත ඇතුළේ තබාගෙන සිත සිතා ඉන්නවා. බලවත්ව සිතනවා. එක එක විදිහට සිතනවා. බැහැර අරමුණුවලත් සිතනවා.
ඒ වගේම සැකයෙන් මුසපත්ව, සැකයෙන් යටවුණු සිතින් වාසය කරනවා. ඔහු උපන්නා වූ සැකය ප්‍රහාණය වීම ගැන ඇති සැබෑ තත්වය දන්නේ නෑ. ඉතින් ඔහු සැකය ම හිත ඇතුළේ තබාගෙන සිත සිතා ඉන්නවා. බලවත්ව සිතනවා. එක එක විදිහට සිතනවා. බැහැර අරමුණුවලත් සිතනවා.
පින්වත් බ්‍රාහ්මණය, ඔය විදිහේ සිත සිතා සිටීමේ ධ්‍යානය නම් භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කොට වදාළේ නෑ.
පින්වත් බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කොට වදාළේ කෙබඳු වූ ධ්‍යානයක් ද?
පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. ඊළඟට ප්‍රීතියට ඇලෙන්නෙත් නැතිව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව සැපසේ වාසය කරනවා’ කියන ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. සැප ද දුක ද නැති කිරීමෙන්, කලින්ම මානසික සැප දුක් දෙකින්ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවත්, සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා.
පින්වත් බ්‍රාහ්මණය, මෙබඳු වූ ධ්‍යානය තමයි භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කොට වදාළේ.”
“සැබැවින්ම භවත් ආනන්දයන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ ගරහා තිබෙන්නේ ගැරහිය යුතු ධ්‍යානයටමයි. ප්‍රශංසා කොට තිබෙන්නේ පැසසිය යුතු ධ්‍යානයටමයි. භවත් ආනන්දයන් වහන්ස, එහෙම නම් දැන් අපි යන්නම්. අපට බොහෝ කටයුතු තියෙනවා නෙව. වැඩ තියෙනවා නෙව.”
“පින්වත් බ්‍රාහ්මණය, දැන් යමකට කාලය නම්, එය ඔබ දැනගන්න.”
එවිට මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගෙන අනුමෝදන් වී හුනස්නෙන් නැගිට නික්ම ගියා.
එතකොට ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා පිටත්ව ගොස් නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය වදාළා. “අපි භවත් ආනන්දයන් වහන්සේගෙන් යම් කරුණක් ඇසුවා. නමුත් භවත් ආනන්දයන් වහන්සේ එයට පිළිතුරු දුන්නේ නැහැ නෙව.”
“පින්වත් බ්‍රාහ්මණය, ඔබට මෙහෙම කිව්වා නේද? ‘පින්වත් බ්‍රාහ්මණය, අරහත් වූ සම්මාසම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයන් ගෙන් යුක්තව වැඩසිටි සේක්ද, ඒ ධර්මයන්ගෙන් මුළුමනින්ම සර්ව සම්පූර්ණව, ඒ සමානව සිටින එක භික්ෂුවක්වත් නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම නූපන් මාර්ගය උපදවන සේක. හට නොගත් මාර්ගය හටගන්වන සේක. දෙව් මිනිස් කිසිවෙකු විසින් හෝ නොපවසන ලද මාර්ගය පවසන සේක. මාර්ගය මැනවින් දන්නා සේක. මාර්ගය මැනවින් දක්නා සේක. මාර්ගයෙහි අතිශයින්ම දක්ෂ වන සේක. ඒ බුදුරජාණන් වහන්සේ විසින් හෙළිදරව් කොට වදාළ මාර්ගය අනුව තමයි මෙකල ශ්‍රාවකයෝ පසුපස්සෙන් ගමන් කරමින් වසන්නේ” කියලා.
සාදු! සාදු!! සාදු!!!
ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M