මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ. එදා ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කථාව කොට නිමවා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“භවත් ගෞතමයන් වහන්ස, මේ මිගාරමාතු ප්‍රාසාදයෙහි පඩිපෙළෙහි අන්තිම කෙළවර දක්වාම අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් කරන ක්‍රියාවක්, අනුපිළිවෙලින් සිදුවන වැඩපිළිවෙලක් දකින්නට ලැබෙනවා. ඒ වගේම භවත් ගෞතමයන් වහන්ස, මේ බ්‍රාහ්මණයන්ගේ ඉගෙනීම් වැඩපිළිවෙලෙහි අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් කිරීමක්, අනුපිළිවෙලින් ප්‍රතිපදාවක් දකින්නට ලැබෙනවා. ඒ වගේම භවත් ගෞතමයන් වහන්ස, මේ ධනුර්ධරයන්ගේ ආයුධ ශිල්පයෙහි පවා අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් කිරීමක්, අනුපිළිවෙලින් ප්‍රතිපදාවක් දකින්නට ලැබෙනවා. ඒ වගේම භවත් ගෞතමයන් වහන්ස, ගණකාධිකාරී කටයුතුවලින් ජීවත් වන අප තුළ පවා මේ ගණකාධිකාරී වැඩවලදී අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් කිරීමක්, අනුපිළිවෙලින් ප්‍රතිපදාවක් දකින්නට ලැබෙනවා.
භවත් ගෞතමයන් වහන්ස, අපි පුහුණුවට පිරිස අරගෙන ඒ උදවිය මේ විදිහටයි පළමුවෙන්ම හික්මවන්නේ. ‘එක්කෙනා යනු එකයි. දෙන්නා යනු දෙකයි. තුන්දෙනා යනු තුනයි. සිව්දෙනා යනු හතරයි. පස්දෙනා යනු පහයි. සය දෙනා යනු හයයි. හත් දෙනා යනු හතයි. අට දෙනා යනු අටයි. නව දෙනා යනු නවයයි. දහ දෙනා යනු දහයයි’ කියලයි. භවත් ගෞතමයන් වහන්ස, අපි සියයටත් ගණන් කරවනවා. ඊට වැඩියත් ගණන් කරවනවා.
භවත් ගෞතමයන් වහන්ස, ඔය අයුරින්ම මේ ධර්ම විනය තුළත් අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් කිරීමක්, අනුපිළිවෙලින් ප්‍රතිපදාවක් පෙන්වා දෙන්නට පුළුවන්ද?”
“පින්වත් බ්‍රාහ්මණය, මේ ධර්ම විනය තුළත් අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් කිරීමක්, අනුපිළිවෙලින් ප්‍රතිපදාවක් පෙන්වා දෙන්නට පුළුවනි. පින්වත් බ්‍රාහ්මණය, ඒක මේ වගේ දෙයක්. දක්ෂ වූ අශ්වයන් පුහුණු කරවන්නෙක් ඉන්නවා. ඔහුට ඉතාම හොඳ වර්ගයේ ශ්‍රේෂ්ඨ අශ්වයෙක් ලැබෙනවා. එතකොට මුලින්ම කරන්නේ කටකලියාවෙහි පුහුණු කිරීමයි. ඊට පස්සේ වැඩිදුරටත් පුහුණු කරවනවා.
පින්වත් බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ ද හික්මවාලිය යුතු පුරුෂයෙකු ලැබුන විට ඔහුව මුලින්ම හික්මන්නේ මෙහෙමයි. ‘පින්වත් භික්ෂුව, එන්න. සිල්වත් වෙන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරව වසන්න. යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වෙන්න. ඉතා කුඩා වරදේ පවා භය දකින්න. ශික්ෂා පදවල සමාදන්ව හොඳින් හික්මෙන්න.’
ඉතින් පින්වත් බ්‍රාහ්මණය, යම් දවසක භික්ෂුව සිල්වත් වෙයිද, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන්ද සංවර වී වසයිද, යහපත් ඇවතුම් පැවතුම්වලින් යුතු වෙයිද, ඉතා කුඩා වරදක් කරන්නටත් බිය වෙයිද, ශික්ෂා පදවල සමාදන් වී හික්මෙයිද එතකොට තථාගතයන් වහන්සේ ඒ භික්ෂුව වැඩිදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, එන්න. ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් හොඳින් සංවර කරගෙන ඉන්න. ඒ කියන්නේ ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවරව ඉන්න කොට ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල ධර්මයන් තමාගේ පස්සෙන් පන්නනවා නම්, ඇසින් රූප දැක එබඳු වූ නිමිති නොගෙන ඉන්න. ඒ නිමිතිවල කොටසක් වත් නොගෙන ඉන්න. ඇස සංවර කරගැනීමට පිළිපදින්න. ඇස නම් වූ ඉන්ද්‍රිය රකින්න. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවර බවට පැමිණෙන්න. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳසුවඳ ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයින් පහස ලබා ….(පෙ)…. මනස නම් වූ ඉන්ද්‍රිය අසංවරව ඉන්න කොට ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල ධර්මයන් තමාගේ පස්සෙන් පන්නනවා නම්, මනසින් අරමුණු දැන එබඳු වූ නිමිති නොගෙන ඉන්න. ඒ නිමිතිවල කොටසක්වත් නොගෙන ඉන්න. මනස සංවර කරගැනීමට පිළිපදින්න. මනස නම් වූ ඉන්ද්‍රිය රකින්න. මනස නම් වූ ඉන්ද්‍රියේ සංවර බවට පැමිණෙන්න.’
එතකොට පින්වත් බ්‍රාහ්මණය, යම් දවසක භික්ෂුව සංවර කරගත් ඉඳුරන් ගෙන් යුතුව ඉන්නවාද, තථාගතයන් වහන්සේ ඔහුව වැඩිදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, මෙහි එන්න. අවබෝධයෙන් යුක්තව දන් වළඳන්න. ඒ කියන්නේ නුවණින් විමසමින් ම ආහාර ගන්න. මේ ආහාර ගන්නේ ජවය පිණිස නොවෙයි; මත් වීම පිණිස නොවෙයි; ඇඟපත සැරසීමට නොවෙයි; අඩු තැන් පුරවා ගැනීමට නොවෙයි; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. වෙහෙස සංසිඳවා ගන්න විතරයි. බඹසර ජීවිතයට රුකුල් දීම පිණිස විතරයි. මේ අයුරින් පැරණි බඩගිනි වේදනා මං බැහැර කරනවා. අලුතින් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිතය නිවැරදි ලෙස පහසුවෙන් පවත්වාගෙන යනවා’ කියල.
පින්වත් බ්‍රාහ්මණය, යම් දවසක භික්ෂුව වළඳන දානය පිළිබඳව අවබෝධ යෙන් යුක්ත නම්, තථාගතයන් වහන්සේ ඔහුව වැඩිදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, එන්න. නිදිවරාගෙන භාවනා කරන්න පුරුදු වෙන්න. ඒ මෙහෙමයි. දවල් කාලෙදී සක්මන් කරමින්, වාඩි වී භාවනා කරමින් නීවරණ ධර්මයන් ගෙන් සිත පිරිසිදු කරන්න. රාත්‍රියේ මුල් යාමයේදී සක්මනින්ද, වාඩි වී භාවනා කිරීමෙන්ද නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්න. රෑ මැදියම් යමේදී දකුණු පැත්තට ඇලවෙලා දකුණු පාදය උඩින් වම් පාදය මදක් මෑත් කොට තබාගෙන මං පාන්දරින් නැගිටිනවා යන අදහස දැඩි කොට ගෙන හොඳ සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන්න. රාත්‍රියේ පාන්දර ජාමෙට නැගිට සක්මන් කරමිනුත්, වාඩි වී භාවනා කරමිනුත් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්න.’
පින්වත් බ්‍රාහ්මණය, යම් දවසක භික්ෂුව නිදිවරාගෙන භාවනා කිරීමෙහි යෙදෙනවාද, එතකොට තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, එන්න. ඉතා සිහි නුවණින් යුතුව ඉන්න. ඒ කියන්නේ, ඉදිරියට යන කොටත්, ආපසු හැරී එන කොටත් එය සිහි නුවණින්ම කරන්න. ඉදිරිය බලන විටත්, වටපිට බලන විටත් සිහි නුවණින්ම කරන්න. අත් පා හකුලන විටත්, දිගහරින විටත්, සිහි නුවණින්ම කරන්න. දෙපට සිවුරු, තනිපොට සිවුරු, පාත්‍ර ආදිය පාවිච්චි කරන විටත් සිහි නුවණින්ම කරන්න. දන් වළඳන විට, යමක් පානය කරන විට, යමක් රස විඳින විට සිහි නුවණින්ම කරන්න. වැසිකිලි කැසිකිලි යන විට පවා සිහි නුවණින්ම කරන්න. ගමන් කරන විටත්, නැවතී සිටින විටත්, වාඩි වී ඉන්න විටත්, නිදන විටත්, නිදිවරන විටත්, කතා බස් කරන විටත්, නිහඬව සිටින විටත් සිහි නුවණින්ම කරන්න.’
පින්වත් බ්‍රාහ්මණය, යම් දවසක භික්ෂුව සිහි නුවණින් යුක්තව වාසය කරයිද, එතකොට තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, එන්න. හුදෙකලා සේනාසන තියෙනවා නෙව. ඒ කියන්නේ අරණ්‍යය, රුක් සෙවන, කඳු, දියඇලි, ගිරිගුහා, සොහොන්, වන ගැබ, එළිමහන, පිදුරුගෙවල් ආදිය තියෙනවා නෙව. අන්න ඒවා ඇසුරේ ඉන්න.’ එතකොට ඔහු අරණ්‍යය, රුක් සෙවන, කඳු, දියඇලි, ගිරිගුහා, සොහොන්, වන ගැබ, එළිමහන, පිදුරුගෙවල් ආදිය ඇසුරු කරගෙන ඉන්නවා.
ඉතින් ඒ භික්ෂුව සවස් වරුවේ පිණ්ඩපාතයෙන් වැළකිලා පළඟක් බැඳගෙන වාඩිවෙනවා. කය ඍජු කරගෙන භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ඔහු තමාගේ ලෝකයේ ඇති ලෝභය ප්‍රහාණය කොට, ලෝභය බැහැර වූ සිතින් වාසය කරනවා. ලෝභයෙන් සිත පිරිසිදු කරනවා. ද්වේෂය බැහැර කොට ද්වේෂ රහිත සිතින් වාසය කරනවා. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. නිදිමත, අලසබව ප්‍රහාණය කොට, එය බැහැර වූ සිතින් වාසය කරනවා. ආලෝක සඤ්ඤාවෙන් යුතුව, සිහි නුවණින් යුතුව, නිදිමත අලස බවින් සිත පිරිසිදු කරනවා. සිතේ විසිරීමත්, පසුතැවිල්ලත් ප්‍රහාණය කොට, සිතේ විසිරීමෙන් තොරව තමා තුළ සංසිඳුණු සිතින් වාසය කරනවා. සිතේ විසිරීමෙන් පසුතැවීමෙන් සිත පිරිසිදු කරනවා. සැකය ප්‍රහාණය කොට, සැකයෙන් එතෙර වී වාසය කරනවා. කුසල ධර්මයන් පිළිබඳව ‘අරක කොහොමද? මේක කොහොමද?’ යන සැකයෙන් තොරව වාසය කරනවා. සැකයෙන් සිත පිරිසිදු කරනවා.
ඉතින් ඔහු සිත කිලුටු කරන, ප්‍රඥාව දුර්වල කරන, ඔය පංච නීවරණ ප්‍රහාණය කොට කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. ඊළඟට ප්‍රීතියට ඇලෙන්නෙත් නැතිව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව සැපසේ වාසය කරනවා’ කියන ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. සැප ද දුක ද නැති කිරීමෙන්, කලින්ම මානසික සැප දුක් දෙකින්ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවත්, සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා.
ඉතින් පින්වත් බ්‍රාහ්මණය, මේ ධර්ම මාර්ගයෙහි හික්මෙන තවම අරහත්වයට නොපැමිණි, අනුත්තර වූ නිවන පතමින් වාසය කරන යම් භික්ෂූන් වෙත්ද, ඒ භික්ෂූන් වහන්සේලාට මා විසින් කරන්නේ ඔය විදිහේ අනුශාසනාවන් තමයි. ඒ වගේම අරහත් වූ, ආශ්‍රවයන් ක්ෂය කළා වූ, නිවන් මග සම්පූර්ණ කළා වූ, කළ යුත්ත කළා වූ, කෙලෙස් බර බැහැර කළා වූ, පිළිවෙලින් පැමිණි උතුම් අර්ථය ඇති, භව සංයෝජන ගෙවා දමා අවබෝධයෙන්ම ලත් විමුක්තියෙන් යුතු වූ යම් භික්ෂූන් සිටිත්ද, ඒ රහතුන්ට පවා ඔය ධර්මයන් මෙලොවදීම සැප විහරණය පිණිසත්, සිහි නුවණ පිණිසත් පවතිනවා.”
මෙසේ වදාළ විට ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ඇත්තෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන්, භවත් ගෞතමයන් වහන්සේ විසින් ඔය විදිහට අවවාද කරද්දී, ඔය විදිහට අනුශාසනා කරද්දී ඔවුන් හැමදෙනාම මේ ධර්ම මාර්ගයේ නිෂ්ඨාව වන අමා නිවන සාක්ෂාත් කරනවාද? එහෙම නැත්නම්, ඇතැම් කෙනෙක් සාක්ෂාත් කරන්නේ නැද්ද?”
“පින්වත් බ්‍රාහ්මණය, මා විසින් ඔය විදිහට අවවාද කරද්දීත්, ඔය විදිහට අනුශාසනා කරද්දීත් මගේ ඇතැම් ශ්‍රාවකයන් මේ මාර්ගයේ නිෂ්ඨාව වන අමා නිවන සාක්ෂාත් කරනවා. හැබැයි ඇතැම් උදවිය සාක්ෂාත් කරන්නේ නෑ.”
“භවත් ගෞතමයන් වහන්ස, එතකොට නිවනකුත් ඇත්තෙන්ම තියෙද්දී, ඒ නිවන සාක්ෂාත් කරන මාර්ගයකුත් තියෙද්දී, ඒ මාර්ගයේ සමාදන් කරවන භවත් ගෞතමයන් වහන්සේ වැඩසිටිද්දී, ඒ නමුත් භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයින්ට භවත් ගෞතමයන් වහන්සේ විසින් ඔය විදිහට අවවාද කරද්දී, ඔය විදිහට අනුශාසනා කරද්දී ඇතැම් කෙනෙක් මේ මාර්ගයෙහි නිෂ්ඨාව වූ අමා නිවන සාක්ෂාත් කරන්නටත්, ඇතැම් කෙනෙක් සාක්ෂාත් නොකරන්නටත් හේතුව කුමක්ද? කාරණය කුමක්ද?”
“එහෙම නම් පින්වත් බ්‍රාහ්මණය, ඔබෙන්ම ඔය කාරණය මම විමසන්නම්. ඔබ කැමැති අයුරින් එයට පිළිතුරු දෙන්න. පින්වත් බ්‍රාහ්මණය, මේ ගැන කුමක්ද සිතන්නේ? ඔබ රජගහ නුවරට යන මාර්ගය කියාදීමට දක්ෂ කෙනෙක් නේද?”
“එසේය, භවත. මං රජගහ නුවරට යන මාර්ගය කියාදීමට දක්ෂ කෙනෙක්.”
“පින්වත් බ්‍රාහ්මණය, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඒ කියන්නේ රජගහ නුවරට යන්නට කැමති කෙනෙක් එනවා. ඔහු ඔබ කරා ඇවිත් මෙහෙම කියනවා. ‘හිමියනි, මං රජගහ නුවරට යන්නට ආසයි. ඉතින් ඒ මට රජගහ නුවරට යන මාර්ගය කියා දෙන්න’ කියලා. එතකොට ඔබ ඔහුට මෙහෙම කියනවා නේද? ‘එම්බා පුරුෂය, එන්න. රජගහ නුවරට යන මාර්ගය මෙයයි. ඒ මාර්ගයෙහි මොහොතක් යන්න. එයින් මොහොතක් යන විට, මේ නම ඇති ගම දකින්නට ලැබේවි. එතකොට එතනින් තව මොහොතක් යන්න. එතනින් මොහොතක් ගිය විට, අසවල් නම් ඇති නියම්ගම දකින්නට ලැබේවි. එතනිනුත් මොහොතක් යන්න. එතනින් මොහොතක් ගිය විට, රමණීය ආරාම ඇති, රමණීය වන ඇති, රමණීය බිම ඇති, රමණීය පොකුණු ඇති රජගහ නුවර දකින්නට ලැබේවි’ කියලා.
ඉතින් ඔබ විසින් ඔය විදිහට අවවාද කරද්දී, අනුශාසනා කරද්දී ඔහු වැරදි මාර්ගයක් ගෙන අනිත් පැත්තට යනවා.
ඒ වගේම රජගහ නුවරට යන්නට ආශා කරන තව කෙනෙක් එනවා. ඔහු ඔබ වෙත පැමිණ මෙහෙම අහනවා, ‘හිමියනි, මං රජගහ නුවරට යන්නට ආසයි. ඉතින් ඒ මට රජගහ නුවරට යන මාර්ගය කියා දෙන්න’ කියලා. එතකොට ඔබ ඔහුටත් මෙහෙම කියනවා නේද? ‘එම්බා පුරුෂය, එන්න. රජගහ නුවරට යන මාර්ගය මෙයයි. ඒ මාර්ගයෙහි මොහොතක් යන්න. එයින් මොහොතක් යන විට, මේ නම ඇති ගම දකින්නට ලැබේවි. එතකොට එතනින් තව මොහොතක් යන්න. එතනින් මොහොතක් ගිය විට, අසවල් නම් ඇති නියම්ගම දකින්නට ලැබේවි. එතනිනුත් මොහොතක් යන්න. එතනින් මොහොතක් ගිය විට, රමණීය ආරාම ඇති, රමණීය වන ඇති, රමණීය බිම ඇති, රමණීය පොකුණු ඇති රජගහ නුවර දකින්නට ලැබේවි’ කියලා.
ඉතින් ඔබ විසින් ඔය විදිහට අවවාද කරද්දී, අනුශාසනා කරද්දී, ඒ අනුව ඔහු සුවසේ රජගහ නුවරට යනවා.
ඉතින් බ්‍රාහ්මණය, රජගහ නුවර තියෙද්දී ම, රජගහ නුවරට යන මාර්ගයත් තියෙද්දී ම, ඒ සඳහා මග පෙන්වන ඔබ සිටිද්දී ම, ඒ නමුත් ඔබ විසින් ඔය අයුරින් අවවාද කරද්දී, අනුශාසනා කරද්දී එක් පුරුෂයෙක් වැරදි මාර්ගයක් ගෙන අනිත් පැත්තට මුහුණලා යනවා. තව එක්කෙනෙක් සුවසේ ම රජගහ නුවරට යනවා. එයට හේතුව කුමක්ද? කාරණය කුමක්ද?”
“අනේ භවත් ගෞතමයන් වහන්ස, ඒ ගැන මං කුමක් කරන්නටද? භවත් ගෞතමයන් වහන්ස, මං කළේ මාර්ගය කියා දෙන එක විතරයි.”
“පින්වත් බ්‍රාහ්මණය, මෙයත් එවැනි දෙයක් තමයි. ඒ අමා නිවන තියෙනවා, ඒ නිවන අවබෝධ වන මාර්ගයත් තියෙනවා, ඒ මාර්ගය පෙන්වා දෙන මමත් ඉන්නවා. ඉතින් මාගේ ශ්‍රාවකයන්ට මා විසින් මේ විදිහට අවවාද කරද්දී, අනුශාසනා කරද්දී ඇතැම් කෙනෙක් මේ මාර්ගයෙහි නිෂ්ඨාව වූ අමා නිවන සාක්ෂාත් කරනවා. ඇතැම් කෙනෙක් සාක්ෂාත් කරන්නේ නෑ. ඉතින් බ්‍රාහ්මණය, ඒ ගැන මං කුමක් කරන්නටද? පින්වත් බ්‍රාහ්මණය, තථාගත වූ මං කරන්නේ මාර්ගය කියා දෙන එක විතරයි.”
මෙසේ වදාළ විට ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, යම් මේ පුද්ගලයින් ශ්‍රද්ධාවක් නැතුව, ජීවිකාව පිණිස ගිහි ගෙය අත්හැර, බුද්ධ ශාසනයේ පැවිදි වෙලා කපටිකමින්, මායාවෙන්, වංචාවෙන්, උඬඟුකමින්, උස්ව නැගුණු මානයෙන්, දොඩව දොඩවා, හිතට එන දේ කියව කියවා, ඉන්ද්‍රිය අසංවරව, වළඳන දානයේ අර්ථය නොදැන, නිදිවරමින් බණ භාවනා නොකර, මාර්ග ඵල අවබෝධයක් පිණිස කිසි අපේක්ෂාවක් නැතුව, ශික්ෂාව කෙරෙහි තියුණු ගෞරවයක් නැතුව, ප්‍රත්‍ය බහුලව, ශාසනය ලිහිල්ව ගෙන, පංච නීවරණ ම ඉදිරියට ගෙන, විවේකය අත්හැර, කුසීතව, හීන වීරිය ඇතුව, සිහි මුලාව, අසමාහිතව, බිරාන්ත සිත් ඇතුව, දුෂ්ප්‍රාඥව, කෙළතොළුව වාසය කරනවා නම්, භවත් ගෞතමයන් වහන්සේ ඔවුන් සමඟ එකට වාසය කිරීමක් නෑ.
ඒ වගේම යම් මේ කුලපුත්‍රයින් ශ්‍රද්ධාවෙන් යුතුව, ගිහි ගෙය අත්හැර, බුද්ධ ශාසනයේ පැවිදි වෙලා කපටිකමින් තොරව, මායාවෙන් තොරව, වංචාවෙන් තොරව, උඬඟුකමින් තොරව, උස්ව නැගුණු මානයෙන් තොරව, දොඩව දොඩවා සිටීමෙන් තොරව, හිතට එන දේ කියව කියවා සිටීමෙන් තොරව, ඉන්ද්‍රිය සංවරව, වළඳන දානයේ අර්ථය දැන, නිදිවරමින් බණ භාවනා කරමින්, මාර්ග ඵල අවබෝධයක් පිණිස අපේක්ෂා සහිතව, ශික්ෂාව කෙරෙහි තියුණු ගෞරවයක් ඇතුව, ප්‍රත්‍ය බහුල නොවී, ශාසනය ලිහිල්ව නොගෙන, පංච නීවරණම ඉදිරියට නොගෙන, විවේකයෙන් යුතුව, බලවත් කැපවීමෙන් යුතුව, පටන්ගත් වීරිය ඇතුව, සිහි නුවණින් යුතුව, සමාහිතව, එකඟ වූ සිත් ඇතුව, ප්‍රඥාවන්තව, කෙළතොළු නොවී වාසය කරනවා නම්, භවත් ගෞතමයන් වහන්සේ ඔවුන් සමඟ තමයි එකට වාසය කරන්නේ.
භවත් ගෞතමයන් වහන්ස, එය මේ වගේ දෙයක්. මුල්වලින් හමන යම්කිසි සුවඳක් ඇද්ද, ඒ සියලු සුවඳ අතරින් අග්‍ර වන්නේ කළු අගිල් මුල් සුවඳයි. අරටුවෙන් හමන යම්කිසි සුවඳක් ඇද්ද, ඒ සියලු සුවඳ අතරින් අග්‍ර වන්නේ රත් සඳුන් අරටුවේ සුවඳයි. මල්වලින් හමන යම්කිසි සුවඳක් ඇද්ද, ඒ සියලු සුවඳ අතරින් අග්‍ර වන්නේ දෑසමන් මල් සුවඳයි. ඒ වගේම භවත් ගෞතමයන් වහන්ස, ලෝකයෙහි ඇති විවිධ ධර්මයන් අතර අග්‍ර වන්නේ ගෞතමයන් වහන්සේගේ අවවාදයයි.
පින්වත් ගෞතමයන් වහන්ස, හරිම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, හරිම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙයි. අඳුරේ සිටින උදවියට රූප දකින්න තෙල් පහන් දැල්වූවා වගෙයි. ඔන්න ඔය විදිහටයි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මාත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවනත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M