මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, මරණින් මතු අනාගතයෙහි උපදින ආකාර පිළිබඳව කතා කරන, මරණින් මතු අනාගතයෙහි උපදින ආකාර පිළිබඳව දෘෂ්ටි ගත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්, ඒ පිළිබඳව නොයෙක් ආකාරයෙන් මතවාද ප්‍රකාශ කරනවා.
සමහරු මෙහෙම කියනවා. ‘ආත්මය සඤ්ඤාවෙන් යුක්තයි. එය මරණින් මතු රෝගී නොවන ස්වභාවයෙන් පවතිනවා’ කියල.
තවත් සමහරු මෙහෙම කියනවා. ‘ආත්මය සඤ්ඤා රහිතයි. එය මරණින් මතු රෝගී නොවන ස්වභාවයෙන් පවතිනවා’ කියල.
තවත් සමහරු මෙහෙම කියනවා. ‘ආත්මයට සඤ්ඤාවක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ. එය මරණින් මතු රෝගී නොවන ස්වභාවයෙන් පවතිනවා’ කියල.
තවත් සමහරු මෙහෙම කියනවා. ‘දැන් දකින්නට ලැබෙන සත්වයා මරණින් මතු විනාශයට, උච්ඡේදයට, නොපැවැත්මට පත්වෙනවා’ කියල.
තවත් සමහරු මෙහෙම කියනවා. ‘මෙලොවදීම නිවන අවබෝධ කරන්නට පුළුවන්’ කියල.
මේ ආකාරයෙන් තිබෙන්නා වූ ආත්මයක් මරණින් මතු රෝග රහිත බවට පත්වෙනවා කියා මතවාද පෙන්වා දෙනවා. ඒ වගේම සිටින්නා වූ සත්වයා මරණින් මතු උච්ඡේදයට, විනාශයට, නොපැවැත්මට පත්වෙනවා කියා පෙන්වා දෙනවා. ඒ වගේම මේ ජීවිතයේදීම නිවන අවබෝධ කරගන්නට පුළුවන් කියාත් පෙන්වා දෙනවා.
මේ ආකාරයට මතවාද පහක් වශයෙන් මුලින්ම ගන්නට පුළුවන්කම තියෙනවා. එයම කොටස් තුනකට විග්‍රහ කරන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තුනකට විග්‍රහ කරන ලද දෙය දැන් පහකට විග්‍රහ කරගන්නටත් පුළුවන්කම තියෙනවා. මතවාද පහක් තුනකට විග්‍රහ කිරීම පිළිබඳව මූලික හැඳින්වීම මෙයයි.
පින්වත් මහණෙනි, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මෙවැනි දෙයක් පෙන්වා දෙනවා. ඒ කියන්නේ; ‘ආත්මය සඤ්ඤාවෙන් යුක්තයි. එය මරණින් මතු රෝගී නොවන ස්වභාවයෙන් පවතිනවා’ කියල. එතකොට ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් පෙන්වා දෙන්නේ, රූපවත් වූ හෝ සඤ්ඤා සහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූප රහිත වූ හෝ සඤ්ඤා සහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූපවත් වූත්, අරූපවත් වූත් සඤ්ඤා සහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ රූපීත් නොවූ, අරූපීත් නොවූ සඤ්ඤා සහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ සඤ්ඤා සහිත වූ ආත්මය එකම ආත්ම සඤ්ඤාවකින් යුතුව මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ සඤ්ඤා සහිත වූ ආත්මය නා නා ආත්ම සඤ්ඤාවලින් යුතුව මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ සඤ්ඤා සහිත වූ ආත්මය ස්වල්ප වූ සඤ්ඤාවකින් යුතුව මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ සඤ්ඤා සහිත වූ ආත්මය අප්‍රමාණ සඤ්ඤාවකින් යුතුව මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. මේ සියලු මතවාද ඉක්මවා යන සමහර උදවිය කියන්නේ අප්‍රමාණ වූ නොවෙනස් ස්වභාවයෙන් පවතින්නා වූ විඤ්ඤාණ කසිණයක් තිබෙන බවයි. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ පිළිබඳව ද අවබෝධයකින් යුක්තයි.
පින්වත් මහණෙනි, යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ‘ආත්මය සඤ්ඤාවෙන් යුක්තයි. එය මරණින් මතු රෝගී නොවන ස්වභාවයෙන් පවතිනවා’ කියල පෙන්වා දෙනවා නම්, ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් පෙන්වා දෙන්නේ රූපවත් වූ හෝ සඤ්ඤා සහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූප රහිත වූ හෝ සඤ්ඤා සහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූපවත් වූත්, අරූපවත් වූත් සඤ්ඤා සහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ රූපීත් නොවූ, අරූපීත් නොවූ සඤ්ඤා සහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ සඤ්ඤා සහිත වූ ආත්මය එකම ආත්ම සඤ්ඤාවකින් යුතුව මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ සඤ්ඤා සහිත වූ ආත්මය නා නා ආත්ම සඤ්ඤාවලින් යුතුව මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ සඤ්ඤා සහිත වූ ආත්මය ස්වල්ප වූ සඤ්ඤාවකින් යුතුව මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ සඤ්ඤා සහිත වූ ආත්මය අප්‍රමාණ සඤ්ඤාවකින් යුතුව මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එතකොට මෙසේ කියන ඒ සඤ්ඤාවන් අතුරෙන් යම් සඤ්ඤාවක් පිරිසිදුය, උතුම්ය, අග්‍රය, අනුත්තරය කියල කියනවාද, එය රූප සඤ්ඤාවන් අතර වෙන්නට පුළුවනි, එය අරූප සඤ්ඤාවන් අතර වෙන්නට පුළුවනි, එය ඒකාත්ම සඤ්ඤාවන් අතර වෙන්නට පුළුවනි, එය නානාත්ම සඤ්ඤාවන් අතර වෙන්නට පුළුවනි, එයින් ‘කිසිවක් නැතැ’යි කියා ඇතැම් උදවිය ආකිඤ්චඤ්ඤායතනයයි, අප්‍රමාණ වූ නොසෙල්වෙන දෙය කියා කියන්නේ. නමුත් එයද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමත් තියෙනවාමයි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නේ.
එහිලා පින්වත් මහණෙනි, යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ‘ආත්මය සඤ්ඤා රහිතයි, එය මරණින් මතු රෝගී නොවන ස්වභාවයෙන් පවතිනවා’ කියල මතවාදයක් පණවනවාද, ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් පණවන්නේ රූපවත් වූ හෝ සඤ්ඤා රහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූප රහිත වූ හෝ සඤ්ඤා රහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූපවත් වූත්, අරූපවත් වූත් සඤ්ඤා රහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ රූපීත් නොවූ, අරූපීත් නොවූ සඤ්ඤා රහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි.
පින්වත් මහණෙනි, ඒ පිළිබඳව යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු රෝග රහිත සඤ්ඤාවකින් යුතු ආත්මයක් පණවනවාද, ඇතැමෙක් ඔවුන්ගේ ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. එයට හේතුව කිම? සඤ්ඤාව රෝගයකි; සඤ්ඤාව ගඩුවකි; සඤ්ඤාව හුලකි; එනිසා යම් මේ සඤ්ඤා රහිත ස්වභාවයක් ඇද්ද, එයයි ශාන්ත, එයයි ප්‍රණීත කියා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ඔය කාරණය පිළිබඳවත් අවබෝධයකින් යුක්තයි.
එහිලා පින්වත් මහණෙනි, යම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ‘ආත්මය සඤ්ඤා රහිතයි, එය මරණින් මතු රෝගී නොවන ස්වභාවයෙන් පවතිනවා’ කියල මතවාදයක් පණවනවාද, ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් පණවන්නේ රූපවත් වූ හෝ සඤ්ඤා රහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූප රහිත වූ හෝ සඤ්ඤා රහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූපවත් වූත්, අරූපවත් වූත් සඤ්ඤා රහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ රූපීත් නොවූ, අරූපීත් නොවූ සඤ්ඤා රහිත ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි.
පින්වත් මහණෙනි, ඒ පිළිබඳව යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මෙසේ කියන්නට පුළුවනි. එනම්, ‘මම රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සඤ්ඤාවෙන් තොරව, සංස්කාරයන්ගෙන් තොරව, විඤ්ඤාණයක පැමිණීමක් හෝ යෑමක් හෝ චුතියක් හෝ උපතක් හෝ වැඩීමක් හෝ විශේෂ වැඩීමක් හෝ විපුලබවට පත්වීමක් හෝ පෙන්වා දෙමි’ කියනවා නම්, එය සිදුවිය හැකි දෙයක් නම් නොවේ. නමුත් එයද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවාමයි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නෙ.
පින්වත් මහණෙනි, යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් එහිලා සඤ්ඤාව ඇත්තෙත් නැති, සඤ්ඤාව නැත්තෙත් නැති ආත්මයක් මරණින් මතු ආරෝග්‍ය බවට පත්වෙනවා කියා පණවනවා. ඉතින් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් පණවන්නේ රූපවත් වූ හෝ සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූප රහිත වූ හෝ සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූපවත් වූත්, අරූපවත් වූත් සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ රූපීත් නොවූ, අරූපීත් නොවූ සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි.
පින්වත් මහණෙනි, ඒ පිළිබඳව යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු රෝග රහිත සඤ්ඤාවකින් යුතු ආත්මයක් පණවනවාද, ඒ වගේම මරණින් මතු රෝග රහිත වූත්, සඤ්ඤා රහිත වූත් ආත්මයක් පණවනවාද, ඇතැමෙක් ඔවුන්ගේ ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. එයට හේතුව කිම? සඤ්ඤාව රෝගයකි; සඤ්ඤාව ගඩුවකි; සඤ්ඤාව හුලකි; සඤ්ඤාව මුලාවට පත්වීමකි. එනිසා යම් මේ සඤ්ඤාව ඇත්තෙත් නැති, නැත්තෙත් නැති ස්වභාවයක් ඇද්ද, එයයි ශාන්ත, එයයි ප්‍රණීත කියා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ඔය කාරණය පිළිබඳවත් අවබෝධයකින් යුක්තයි.
පින්වත් මහණෙනි, යම් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් එහිලා සඤ්ඤාව ඇත්තෙත් නැති, සඤ්ඤාව නැත්තෙත් නැති ආත්මයක් මරණින් මතු ආරෝග්‍ය බවට පත්වෙනවා කියා පණවනවා. ඉතින් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් පණවන්නේ රූපවත් වූ හෝ සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූප රහිත වූ හෝ සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම්, පෙන්වා දෙන්නේ රූපවත් වූත්, අරූපවත් වූත් සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි. එහෙමත් නැත්නම් පෙන්වා දෙන්නේ රූපීත් නොවූ, අරූපීත් නොවූ සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආත්මය මරණින් මතු ආරෝග්‍ය ස්වභාවයෙන් පවතින බවයි.
පින්වත් මහණෙනි, ඒ වගේම යම් ශ්‍රමණයින් හෝ බ්‍රාහ්මණයින් හෝ මෙම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කිරීම ගැන පෙන්වා දෙන්නේ දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, විඳින ලද සංස්කාරයන්ගේ මාත්‍රයකින් යුක්ත බවයි. එනිසා පින්වත් මහණෙනි, නේවසඤ්ඤානාසඤ්ඤායාතනයට පැමිණ වාසය කිරීම ගැන ඔවුන් පවසන්නේ ‘මෙය වනාහී ව්‍යසනයකි’ කියලයි.
පින්වත් මහණෙනි, මෙම නේවසඤ්ඤානාසඤ්ඤායතනය සංස්කාර සහිත වූ සමාපත්තියකින් පැමිණිය යුතු යැයි කියා කියනු ලබන්නේ නෑ. පින්වත් මහණෙනි, මෙම නේවසඤ්ඤානාසඤ්ඤායතනය සංස්කාර අවශේෂ සමාපත්තියකින් පැමිණිය යුතුයි කියලයි කියනු ලබන්නේ. නමුත් එයද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවාම යි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නෙ.
පින්වත් මහණෙනි, යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින්, සිටින්නා වූ ම සත්වයාගේ උච්ඡේදය, විනාශය සහ නොපැවැත්ම පණවනවාද, පින්වත් මහණෙනි, එහිලා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු නිරෝගී වූ සඤ්ඤා සහිත වූ ආත්මයක් පණවනවාද, ඇතැමෙක් ඔවුන්ගේ ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු ආරෝග්‍ය වූ සඤ්ඤා රහිත ආත්මයක් පණවනවාද, ඇතැමෙක් ඔවුන්ගේ ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු ආරෝග්‍ය වූ නේවසඤ්ඤානාසඤ්ඤාවෙන් යුතු ආත්මයක් පණවනවාද, ඇතැමෙක් ඔවුන්ගේ ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. එයට හේතුව කුමක්ද? මේ සියලුම භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ‘පරලොවදී මෙසේ වන්නෙමු, පරලොවදී මෙසේ වන්නෙමු’යි කියා සසරෙහි මතු සැරිසැරීමෙන් පිරිසිදු බව ලැබේය යන මතය පැවසීමයි.
එය මෙවැනි දෙයක්. වෙළඳාමේ යන වෙළෙන්ඳෙකුට මේ හැඟීම ඇතිවෙනවා. ‘මෙයින් මට මේ ලාභය ඇතිවේවි. මෙයින් මම ලාභය ලබමි’ කියලා. මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුත් ඒ වගේමයි. ඔවුන් සිතන්නෙත් ‘පරලොවදී මෙවැනි ජීවිත ලබමු. පරලොවදී මේ අයුරු ජීවිත ලබමු’ කියලා. ඔවුන් ද වෙළෙන්ඳන් වගේ කියලයි මට සිතෙන්නෙ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ඔය කාරණය පිළිබඳවත් අවබෝධයකින් යුක්තයි.
ජීවත් වන්නා වූ සත්වයන්ගේ උච්ඡේදය, විනාශය, අභාවයට පත්වීම පණවන යම් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් සක්කාය (පංච උපාදානස්කන්ධය)ට භය නමුත්, සක්කාය පිළිකුල් කරන නමුත්, සක්කාය පසුපස්සේමයි දුවන්නේ. සක්කාය වටේමයි කරකැවෙන්නේ. ඒක මේ වගේ දෙයක්. බල්ලන් ගැටගසන දම්වැලට බැඳුනු සුනඛයෙක් දැඩි ස්ථම්භයක හෝ කණුවක හෝ බැඳලා ඉන්නවා. ඉතින් ඒ සුනඛයා ඇවිදිනතාක්, කරකැවෙන තාක් යන්නේ ඒ ස්ථම්භය හෝ කණුව වටා පමණයි. මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයනුත් ඒ විදිහටම සක්කායට භය වන නමුත්, සක්කාය පිළිකුල් කරන නමුත් සක්කාය පසු පස්සේමයි දුවන්නේ. සක්කාය වටේමයි කරකැවෙන්නේ.
නමුත් එයද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවාමයි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නෙ.
පින්වත් මහණෙනි, මරණින් මතු ජීවිතයක් ගැන කතා කරන, මරණින් මතු ජීවිතයක් පිළිබඳව දෘෂ්ටි ඇති කරගත් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් මරණින් මතු ජීවිතය අරභයා අනේකප්‍රකාර වූ විවිධ මතවාද, දෘෂ්ටීන් ප්‍රකාශ කරනවා. හැබැයි ඔවුන්ට මතවාද ප්‍රකාශ කරන්නට තිබෙන්නේ මේ කරුණු පහ හෝ මෙම පහෙන් එකක් හෝ සම්බන්ධයෙන් විතරයි.
පින්වත් මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා, ඔවුන් අතීත ජීවිත ගැන, අතීත ජීවිත පිළිබඳව දෘෂ්ටි ගැන කතා කරනවා. ඔවුන් අතීත ජීවිත අරභයා අනේකප්‍රකාර වූ විවිධ මතවාද, දෘෂ්ටීන් ප්‍රකාශ කරනවා. ඔවුන් කියන්නේ ‘ආත්මය ද ලෝකය ද සදාකාලිකයි. මෙයමයි සත්‍යය. අන් සියලු මත අසත්‍යයයි’ කියලා. සමහරු මෙහෙමයි කියන්නේ. ‘ආත්මයත්, ලෝකයත් සදාකාලික නැත. මෙයමයි සත්‍යය. අන්‍ය මතයන් බොරු’ කියලා. සමහරු මෙහෙමත් කියනවා. ‘ආත්මයත්, ලෝකයත් සදාකාලික වගේම සදාකාලික නැත. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. තව සමහරු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සදාකාලිකත් නෑ. සදාකාලික නැත්තෙත් නෑ. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා.
තවත් සමහරු මෙහෙම කියනවා. ‘ආත්මයටත් ලෝකයටත් කෙළවරක් තියෙනවා. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. තවත් සමහරු මෙහෙම කියනවා. ‘ආත්මයටත් ලෝකයටත් කෙළවරක් නැත. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. ඇතැම් අය කියන්නේ ‘ආත්මයටත් ලෝකයටත් කෙළවරක් තිබෙනවා. ඒ වගේම කෙළවරක් නෑ. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. ඇතැම් අය මෙහෙමත් කියනවා. ‘ආත්මයටත් ලෝකයටත් කෙළවරක් ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා.
ඇතැම් අය මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් ඒකාත්ම සඤ්ඤාවෙන් යුක්තයි. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. තව සමහරු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් නානාත්ම සඤ්ඤාවෙන් යුක්තයි. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. ඇතැම් උදවිය මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් ස්වල්ප සඤ්ඤාවෙන් යුක්තයි. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. තව සමහරු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් අප්‍රමාණ සඤ්ඤාවෙන් යුක්තයි. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා.
තව සමහරු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත සැපයෙන් යුක්තයි. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. සමහරු කියනවා. ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුකින් යුක්තයි. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. තවත් සමහරු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සැප දුක් දෙකෙන්ම යුක්තයි. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. තවත් සමහරු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සැප දුක් දෙකෙන්ම තොරයි. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා.
පින්වත් මහණෙනි, ඒ උදවියගෙන් යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මෙවැනි මතවාද ඇතිව, මෙවැනි දෘෂ්ටි ඇතිව සිටියා නෙව. ඒ කියන්නේ; ‘ආත්මය ද ලෝකය ද සදාකාලිකයි. මෙයමයි සත්‍යය. අන් සියලු මත අසත්‍යයයි’ කියලා. ඔවුන්ට ඒ පිළිබඳව ශ්‍රද්ධාවෙන් තොරව, රුචියකින් තොරව, අනුශ්‍රවයකින් තොරව, ආකාර පරිවිතර්කයකින් තොරව, දිට්ඨි නිජ්ඣානක්ඛන්තියකින් තොරව තමා තුළම හටගත් පිරිසිදු වූ ප්‍රභාෂ්වර වූ අවබෝධයක් තිබෙනවාය යන්න කිසිසේත්ම සිදුවිය නොහැකි දෙයක්.
පින්වත් මහණෙනි, ඔවුන් තමා තුළ ඇති කරගත් පිරිසිදු, ප්‍රභාෂ්වර ඤාණයක් නැති කල්හි, ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමන්ගේ අවබෝධය පිරිසිදු කරගන්නට හදන්නේ අර මතය තුළ ඉඳගෙනමයි. එයත් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ මතවාද ග්‍රහණයටමයි එකතු වෙන්නෙ. නමුත් එය ද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවාමයි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නෙ.
පින්වත් මහණෙනි, ඒ උදවියගෙන් යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මෙවැනි මතවාද ඇතිව, මෙවැනි දෘෂ්ටි ඇතිව සිටියා නෙව. ඒ කියන්නේ; ‘ආත්මය ද ලෝකය ද සදාකාලික නෑ. මෙයමයි සත්‍යය. අන් සියලු මත අසත්‍යයයි’ කියලා. ….(පෙ)…. ආත්මය ද ලෝකය ද සදාකාලිකයි; සදාකාලික නෑ. ….(පෙ)…. ආත්මයයි, ලෝකයයි සදාකාලිකත් නෑ; සදාකාලික නැත්තෙත් නෑ ….(පෙ)…. ආත්මයටත්, ලෝකයටත් කෙළවරක් තියෙනවා ….(පෙ)…. ආත්මයටත්, ලෝකයටත් කෙළවරක් නැහැ ….(පෙ)…. ආත්මයටත් ලෝකයටත් කෙළවරක් තියෙනවා; නැහැ. ….(පෙ)…. ආත්මයටත් ලෝකයටත් කෙළවරක් ඇත්තෙත් නැහැ; නැත්තෙත් නැහැ ….(පෙ)…. ආත්මයත් ලෝකයත් ඒකාත්ම සඤ්ඤාවෙන් යුක්තයි ….(පෙ)…. ආත්මයත් ලෝකයත් නානාත්ම සඤ්ඤාවෙන් යුක්තයි ….(පෙ)…. ආත්මයත් ලෝකයත් ස්වල්ප සඤ්ඤාවෙන් යුක්තයි ….(පෙ)…. ආත්මයත් ලෝකයත් අප්‍රමාණ සඤ්ඤාවෙන් යුක්තයි ….(පෙ)…. ආත්මයත් ලෝකයත් ඒකාන්ත සැපයෙන් යුක්තයි ….(පෙ)…. ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුකෙන් යුක්තයි ….(පෙ)…. ආත්මයත් ලෝකයත් සැප දුක් දෙකෙන්ම යුක්තයි ….(පෙ)…. ආත්මයත් ලෝකයත් සැප දුක් දෙකෙන් තොරයි. මෙයමයි සත්‍යය. අන් සියල්ල බොරු’ කියලා. ඔවුන්ට ඒ පිළිබඳව ශ්‍රද්ධාවෙන් තොරව, රුචියකින් තොරව, අනුශ්‍රවයකින් තොරව, ආකාර පරිවිතර්කයකින් තොරව, දිට්ඨි නිජ්ඣානක්ඛන්තියකින් තොරව තමා තුළම හටගත් පිරිසිදු වූ ප්‍රභාෂ්වර වූ අවබෝධයක් තිබෙනවාය, යන්න කිසිසේත්ම සිදුවිය නොහැකි දෙයක්.
පින්වත් මහණෙනි, ඔවුන් තමා තුළ ඇති කරගත් පිරිසිදු, ප්‍රභාෂ්වර ඤාණයක් නැති කල්හි, ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමන්ගේ අවබෝධය පිරිසිදු කරගන්නට හදන්නේ අර මතය තුළ ඉඳගෙනමයි. එයත් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ මතවාද ග්‍රහණයටමයි එකතු වෙන්නෙ. නමුත් එය ද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවාමයි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නෙ.
පින්වත් මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. අතීත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් ද බැහැර කරනවා. අනාගත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් ද බැහැර කරනවා. සියලු ආකාරයෙන් ම කාමයන්ට ඇති බැඳීම බැහැර කරනවා. හුදෙකලා විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කරනවා. ‘මෙයයි ශාන්ත; මෙයයි ප්‍රණීත; එනම්, යම් මේ හුදෙකලා විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කිරීමක් ඇද්ද, එයයි’ කියලා. නමුත් ඔහුගේ ඒ හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය නිරුද්ධ වෙනවා. හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදිනවා. දොම්නස නිරුද්ධ වීමෙන් හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය උපදිනවා. පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයක්. යම් සෙවනක් අත්හරිනවාද, එතන අව්ව පැතිරෙනවා. යම් අව්වක් අත්හරිනවාද, එතන සෙවන පැතිරෙනවා. පින්වත් මහණෙනි, මෙයත් ඒ වගේමයි. හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදිනවා. දොම්නස නිරුද්ධ වීමෙන් හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය උපදිනවා.
පින්වත් මහණෙනි, ඔය කාරණය ගැනත් තථාගතයන් වහන්සේ අවබෝධයෙන් යුක්තයි. ඒ කියන්නේ, මේ භවත් ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා හෝ අතීත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් බැහැර කොට, අනාගත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් බැහැර කොට, සියලු කාම බන්ධනයන් බැහැර කොට, හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතියට පැමිණ වාසය කරනවා. ‘මෙයයි ශාන්ත; මෙයයි ප්‍රණීත; එනම්, යම් මේ හුදෙකලා විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කිරීමක් ඇද්ද, එයයි’ කියලා. නමුත් ඔහුගේ ඒ හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය නිරුද්ධ වෙනවා. හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදිනවා. දොම්නස නිරුද්ධ වීමෙන් හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය උපදිනවා. නමුත් එය ද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවාමයි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නෙ.
පින්වත් මහණෙනි, තවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුනුත් අතීත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන්ද බැහැර කරනවා. අනාගත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන්ද බැහැර කරනවා. සියලු ආකාරයෙන්ම කාමයන්ට ඇති බැඳීම බැහැර කරනවා. හුදෙකලා විවේකය ඇති ප්‍රීතිය ඉක්මවා ගොස් නිරාමිස සැපයට පැමිණ වාසය කරනවා. ‘මෙයයි ශාන්ත; මෙයයි ප්‍රණීත; එනම්, යම් මේ හුදෙකලා විවේකය ඇති ප්‍රීතිය ඉක්මවා ගොස් නිරාමිස සැපයට පැමිණ වාසය කිරීමක් ඇද්ද, එයයි’ කියලා. නමුත් ඔහුගේ ඒ නිරාමිස සැපය නිරුද්ධ වෙනවා. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් හුදෙකලාවෙන් යුතු ප්‍රීතිය උපදිනවා. හුදෙකලාවෙන් යුතු ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිස සැපය උපදිනවා. පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයක්. යම් සෙවනක් අත්හරිනවාද, එතන අව්ව පැතිරෙනවා. යම් අව්වක් අත්හරිනවාද, එතන සෙවන පැතිරෙනවා. පින්වත් මහණෙනි, මෙයත් ඒ වගේමයි. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් හුදෙකලාවෙන් යුතු ප්‍රීතිය උපදිනවා. හුදෙකලාවෙන් යුතු ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිස සැපය උපදිනවා.
පින්වත් මහණෙනි, ඔය කාරණය ගැනත් තථාගතයන් වහන්සේ අවබෝධයෙන් යුක්තයි. ඒ කියන්නේ, මේ භවත් ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා හෝ අතීත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් බැහැර කොට, අනාගත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් බැහැර කොට, සියලු කාම බන්ධනයන් බැහැර කොට හුදෙකලා විවේකය ඇති ප්‍රීතිය ඉක්මවා ගොස් නිරාමිස සැපයට පැමිණ වාසය කරනවා. ‘මෙයයි ශාන්ත; මෙයයි ප්‍රණීත; එනම්, යම් මේ නිරාමිස සැපයට පැමිණ වාසය කිරීමක් ඇද්ද, එයයි’ කියලා. නමුත් ඔහුගේ ඒ නිරාමිස සැපය නිරුද්ධ වෙනවා. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය උපදිනවා. හුදෙකලා විවේකයෙන් යුතු ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිස සැපය උපදිනවා. නමුත් එයද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවාමයි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නෙ.
පින්වත් මහණෙනි, තවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුනුත් අතීත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන්ද බැහැර කරනවා. අනාගත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන්ද බැහැර කරනවා. සියලු ආකාරයෙන්ම කාමයන්ට ඇති බැඳීම බැහැර කරනවා. හුදෙකලා විවේකය ඇති ප්‍රීතිය ඉක්මවා ගොස් නිරාමිස සැපයද ඉක්මවා ගොස්, සැප දුක් රහිත විඳීමකට පැමිණ වාසය කරනවා. ‘මෙයයි ශාන්ත; මෙයයි ප්‍රණීත; එනම්, යම් මේ සැප දුක් රහිත විඳීමකට පැමිණ වාසය කිරීමක් ඇද්ද, එයයි’ කියලා. නමුත් ඔහුගේ ඒ සැප දුක් රහිත විඳීම නිරුද්ධ වෙනවා. සැප දුක් රහිත විඳීම නිරුද්ධ වීමෙන් නිරාමිස සුඛය උපදිනවා. නිරාමිස සුඛය නිරුද්ධ වීමෙන් සැප දුක් රහිත විඳීම උපදිනවා. පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයක්. යම් සෙවනක් අත්හරිනවාද, එතන අව්ව පැතිරෙනවා. යම් අව්වක් අත්හරිනවාද, එතන සෙවන පැතිරෙනවා. පින්වත් මහණෙනි, මෙයත් ඒ වගේම යි. සැප දුක් රහිත විඳීම නිරුද්ධ වීමෙන් නිරාමිස සැපය උපදිනවා. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් සැප දුක් රහිත විඳීම උපදිනවා.
පින්වත් මහණෙනි, ඔය කාරණය ගැනත් තථාගතයන් වහන්සේ අවබෝධයෙන් යුක්තයි. ඒ කියන්නේ, මේ භවත් ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා හෝ අතීත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් බැහැර කොට, අනාගත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් බැහැර කොට, සියලු කාම බන්ධනයන් බැහැර කොට, හුදෙකලා විවේකය ඇති ප්‍රීතිය ඉක්මවා ගොස්, නිරාමිස සැපය ද ඉක්මවා ගොස්, සැප දුක් රහිත විඳීමට පැමිණ වාසය කරනවා. ‘මෙයයි ශාන්ත; මෙයයි ප්‍රණීත; එනම්, යම් මේ සැප දුක් රහිත විඳීමකට පැමිණ වාසය කිරීමක් ඇද්ද, එයයි’ කියල. නමුත් ඔහුගේ ඒ සැප දුක් රහිත විඳීම නිරුද්ධ වෙනවා. සැප දුක් රහිත විඳීම නිරුද්ධ වීමෙන් නිරාමිස සැපය උපදිනවා. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් සැප දුක් රහිත විඳීම උපදිනවා. නමුත් එයද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවාමයි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නෙ.
පින්වත් මහණෙනි, තවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුනුත් අතීත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් ද බැහැර කරනවා. අනාගත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් ද බැහැර කරනවා. සියලු ආකාරයෙන්ම කාමයන්ට ඇති බැඳීම බැහැර කරනවා. හුදෙකලා විවේකය ඇති ප්‍රීතිය ඉක්මවා ගොස්, නිරාමිස සැපයද ඉක්මවා ගොස්, සැප දුක් රහිත විඳීමද ඉක්මවා ගොස් ‘මං ශාන්ත බවට පත්වුනා. නිවුන කෙනෙක් වුනා. උපාදාන රහිත බවට පත්වුනා’ කියා නුවණින් දකිනවා.
පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ඔය කාරණය පිළිබඳවත් අවබෝධයෙන් යුක්තයි. ඒ කියන්නේ, මේ භවත් ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා හෝ අතීත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් බැහැර කොට, අනාගත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටීන් බැහැර කොට, සියලු කාම බන්ධනයන් බැහැර කොට, හුදෙකලා විවේකය ඇති ප්‍රීතිය ඉක්මවා ගොස්, නිරාමිස සැපයද ඉක්මවා ගොස්, සැප දුක් රහිත විඳීමද ඉක්මවා ගොස් ‘මං ශාන්ත බවට පත්වුනා. නිවුන කෙනෙක් වුනා. උපාදාන රහිත බවට පත්වුනා’ කියා නුවණින් දකිනවා. සැබැවින්ම මේ ආයුෂ්මතුන් නිවනට ම උපකාර වන්නා වූ ප්‍රතිපදාවක් ගැනයි මේ කියන්නේ. නමුත් මේ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා අතීත ආත්මභාවය පිළිබඳ දෘෂ්ටියකට තමයි ග්‍රහණය වුනොත් ග්‍රහණය වන්නේ. එහෙම නැත්නම්, අනාගත ආත්මභාවයන් පිළිබඳ දෘෂ්ටියකට තමයි ග්‍රහණය වුනොත් ග්‍රහණය වන්නේ. එහෙමත් නැත්නම් කාම සංයෝජනයකටයි ග්‍රහණය වුනොත් ග්‍රහණය වන්නේ. එහෙමත් නැත්නම් හුදෙකලා විවේකය ඇති ප්‍රීතියකටයි ග්‍රහණය වුනොත් ග්‍රහණය වන්නේ. එහෙමත් නැත්නම් නිරාමිස සැපයටයි ග්‍රහණය වුනොත් ග්‍රහණය වන්නේ. එහෙමත් නැත්නම් දුක් සැප රහිත විඳීමකටයි ග්‍රහණය වුනොත් ග්‍රහණය වන්නේ. ඉතින් මේ ආයුෂ්මතුන් ‘මං ශාන්ත බවට පත්වුනා. නිවුන කෙනෙක් වුනා. උපාදාන රහිත බවට පත්වුනා’ කියා යමක් නුවණින් දකිනවාද, එයත් මේ භවත් ශ්‍රමණයාට හෝ බ්‍රාහ්මණයාට හෝ ග්‍රහණය වීමක්මයි. නමුත් එය ද හේතු ඵල දහමින් සකස් වූ දෙයක්. ගොරෝසු දෙයක්. සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවාමයි. එම සංස්කාර නිරෝධය තියෙන බව මැනැවින් අවබෝධ කළ තථාගතයන් වහන්සේ සංඛත දෙය තුළ ඇති නිස්සරණය දකිමින් එය ඉක්මවා ගිහින් ඉන්නෙ.
පින්වත් මහණෙනි, යම් මේ ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැතිවී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, එයින් නිදහස් වීමත් ඒ අයුරින්ම අවබෝධ කොට ගෙන කිසිවකට ග්‍රහණය නොවී විමුක්තියට පත්වීමක් ඇද්ද, තථාගතයන් වහන්සේ විසින් ඒ මේ අනුත්තර වූ ශාන්ත වූ නිර්වාණය අවබෝධ කරලයි තියෙන්නෙ.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
මතවාද පහක් තුන් අයුරකින් විග්‍රහ කරමින් වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M