මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. ඒ කාලයෙහි තෝදෙය්යපුත්‍ර වූ සුභ මාණවකයා කිසියම් කරුණක් පිණිස සැවැත් නුවරට අවුත් එක්තරා ගෘහපතියෙකු ගේ නිවසෙහි නැවතී සිටියා. ඉතින් තෝදෙය්යපුත්‍ර සුභ මාණවකයා යම්කිසි ගෘහපතියෙකු ගේ නිවසෙහි වසයි ද, ඒ ගෘහපතියාට මෙය පැවසුවා.
“ගෘහපතිය, මා මෙය අසා තියෙනවා. ‘සැවැත් නුවර රහතන් වහන්සේලා ගෙන් හිස් වෙන්නෙ නැතෙයි’ කියලා. ඉතින් ඒ නිසා අද අපි ඇසුරු කරන්නට යන්නේ කවර ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ළඟට ද?”
“ස්වාමීනී, මේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින්නේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටාණන් ගේ ආරාමයෙහි නෙව. ඉතින් ස්වාමීනී, ඒ භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කළ මැනැව.”
එවිට තෝදෙය්යපුත්‍ර සුභ මාණවකයා “එසේය ගෘහපතිය” කියා ඒ ගෘහපතියාට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස්ව හිඳගත්තා. එකත්පස්ව හුන් තෝදෙය්යපුත්‍ර සුභ මාණවකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණවරුන් මෙහෙම කියනවා. ‘ගිහි කෙනෙකුට තමයි ඤාණාවබෝධයෙන් යුතු කුසල් දහම් වැටහෙන්නේ. නමුත් පැවිද්දෙකුට නම් ඤාණාවබෝධයෙන් යුතු කුසල් දහම් වැටහෙන්නේ නැහැ’ මේ පිළිබඳව භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?”
“පින්වත් තරුණය, මං මේ පිළිබඳව කරුණු බෙදා විග්‍රහ කරන කෙනෙක්. මේ පිළිබඳව මා ඒකපාක්ෂිකව කියන්නට යන්නේ නැහැ. පින්වත් තරුණය, ගිහියෙකු ගේ වුනත්, පැවිද්දෙකු ගේ වුනත් වැරදි වැඩපිළිවෙල මා වර්ණනා කරන්නේ නැහැ. පින්වත් මාණවකය, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා වැරදි වැඩපිළිවෙලක යෙදී ඒ මිත්‍යා ප්‍රතිපදාව හේතුවෙන් ඔහු ඤාණාවබෝධයෙන් යුතු කුසල් දහම් ඇතිකරගන්නේ නැහැ.
පින්වත් තරුණය, ගිහියෙකු ගේ වුනත්, පැවිද්දෙකු ගේ වුනත් නිවැරදි වැඩපිළිවෙල පමණයි මා වර්ණනා කරන්නේ. පින්වත් මාණවකය, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා නිවැරදි වැඩපිළිවෙලක යෙදී ඒ සම්‍යක් ප්‍රතිපදාව හේතුවෙන් තමයි ඔහු ඤාණාවබෝධයෙන් යුතු කුසල් දහම් ඇතිකරගන්නේ.”
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණවරු මෙහෙමත් කියනවා. ‘ගිහි ගෙදර වැඩ කටයුතු වල කළ යුතු බොහෝ දේවල් තියෙනවා; බොහෝ වැඩ තියෙනවා; බොහෝ කරදරත් තියෙනවා; බොහෝ වෙහෙස මහන්සියත් තියෙනවා වගේ ම එය මහත්ඵල සහිතයි. නමුත් පැවිදි ජීවිතයක ඇති වැඩ කටයුතු දෙස බැලුවා ම ටිකයි තියෙන්නේ; වැඩත් අඩුයි; කරදරත් අඩුයි; වෙහෙස මහන්සියත් අඩුයි; ඒ වගේ ම ප්‍රතිඵලත් අඩුයි.’ මේ පිළිබඳව භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?”
“පින්වත් මාණවකය, මේ පිළිබඳවත් මා කරුණු විග්‍රහ කරමිනුයි කතා කරන්නේ. එනිසා මේ පිළිබඳව ඒකපාක්ෂික වන්නේ නැහැ. පින්වත් මාණවකය, සමහර කටයුතු තියෙනවා ඒ සඳහා බොහෝ දේවල් තියෙනවා; හරීයට වැඩ කළ යුතුයි; මහා කරදර සහිතයි; හරීයට මහන්සි වෙන්න ඕන; නමුත් කඩාකප්පල්වෙලා යනවා. ප්‍රතිඵල අඩුයි.
පින්වත් මාණවකය, තවත් සමහර කටයුතු තියෙනවා ඒ සඳහා බොහෝ දේවල් තියෙනවා; හරීයට වැඩ කළ යුතුයි; මහා කරදර සහිතයි; හරීයට මහන්සි වෙන්න ඕන; හැබැයි ඒ වගේ ම ඉතා හොඳ ප්‍රතිඵල තියෙනවා. සාර්ථකයි.
පින්වත් මාණවකය, සමහර කටයුතු තියෙනවා ඒ සඳහා බොහෝ දේවල් නැහැ; ගොඩාක් වැඩත් නැහැ; ලොකු කරදරයකුත් නැහැ; ලොකු මහන්සියකුත් නැහැ; නමුත් කඩාකප්පල්වෙලා යනවා. ප්‍රතිඵල අඩුයි.
පින්වත් මාණවකය, තවත් සමහර කටයුතු තියෙනවා ඒ සඳහා බොහෝ දේවල් නැහැ; ගොඩාක් වැඩත් නැහැ; ලොකු කරදරයකුත් නැහැ; ලොකු මහන්සියකුත් නැහැ; හැබැයි ඒ වගේ ම ඉතා හොඳ ප්‍රතිඵල තියෙනවා. සාර්ථකයි.
පින්වත් මාණවකය, යම් කටයුත්තක් සඳහා බොහෝ දේවල් තියෙනවා නම්, හරීයට වැඩ කළ යුතු නම්, මහා කරදර සහිත නම්, හරීයට මහන්සි වෙන්නට ඕන නම්, එසේ නමුත් ඒ කටයුතු කඩාකප්පල්වෙලා යනවා නම්, ප්‍රතිඵල අඩු නම්, ඒ කුමක්ද? පින්වත් මාණවකය, ගොවිතැන් කිරීමට ම යි බොහෝ දේවල් තියෙන්නෙ; හරියට වැඩ කළ යුතු වන්නේ; මහා කරදර සහිත වන්නේ; හරියට මහන්සි වෙන්න ඕනෙ වෙන්නෙ; එසේ කරද්දිත් පාළු වෙලා යන, අසාර්ථක වෙලා යන අවස්ථා තියෙනවා.
පින්වත් මාණවකය, යම් කටයුත්තක් සඳහා බොහෝ දේවල් තියෙනවා නම්, හරීයට වැඩ කළ යුතු නම්, මහා කරදර සහිත නම්, හරීයට මහන්සි වෙන්නට ඕන නම්, හැබැයි ඒ වගේ ම ඉතා හොඳ ප්‍රතිඵල තියෙනවා නම්, සාර්ථක වෙනවා නම්, ඒ කුමක්ද? පින්වත් මාණවකය, ඒත් ගොවිතැන් කිරීමට ම යි බොහෝ දේවල් තියෙන්නෙ; හරියට වැඩ කළ යුතු වන්නේ; මහා කරදර සහිත වන්නේ; හරියට මහන්සි වෙන්න ඕනෙ වෙන්නෙ; එසේ කරද්දිත් ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙන අවස්ථා තියෙනවා. සාර්ථක වෙන අවස්ථා තියෙනවා.
පින්වත් මාණවකය, යම් කටයුත්තක් සඳහා වැඩිය දේවල් නැත්නම්, වැඩ කටයුතු ටිකයි නම්, කරදර ත් ටිකයි නම්, මහන්සියත් ටිකයි නම්, එසේ නමුත් ඒ කටයුතු කඩාකප්පල්වෙලා යනවා නම්, ප්‍රතිඵල අඩු නම්, ඒ කුමක්ද? පින්වත් මාණවකය, වෙළඳාම් කිරීමට ම යි දේවල් අඩුවෙන් තියෙන්නෙ; අඩුවෙන් වැඩ කළ යුතු වන්නේ; අඩු කරදර සහිත වන්නේ; අඩුවෙන් මහන්සි වෙන්න ඕනෙ වෙන්නෙ; එසේ කරද්දිත් කඩකප්පල් වෙලා යන, අසාර්ථක වෙලා යන අවස්ථා තියෙනවා.
පින්වත් මාණවකය, යම් කටයුත්තක් සඳහා වැඩිය දේවල් නැත්නම්, වැඩ කටයුතු ටිකයි නම්, කරදර ත් ටිකයි නම්, මහන්සියත් ටිකයි නම්, එසේ නමුත් ඒ කටයුතු ඉතා හොඳ ප්‍රතිඵල තියෙනවා නම්, සාර්ථක නම්, ඒ කුමක්ද? පින්වත් මාණවකය, වෙළඳාම් කිරීමට ම යි දේවල් අඩුවෙන් තියෙන්නෙ; අඩුවෙන් වැඩ කළ යුතු වන්නේ; අඩු කරදර සහිත වන්නේ; අඩුවෙන් මහන්සි වෙන්න ඕනෙ වෙන්නෙ; එසේ කරද්දිත් ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙන අවස්ථා තියෙනවා. සාර්ථක වෙන අවස්ථා තියෙනවා.
පින්වත් මාණවකය, බොහෝ දේවල් තියෙන, හරියට වැඩ කටයුතු තියෙන, මහා කරදර තියෙන, හරියට මහන්සි වෙන්නට තියෙන, ගොවිතැනේ දී එසේ කරද්දිත් පාළු වෙලා, අසාර්ථක වෙලා යනවා වගේ පින්වත් මාණවකය, ගිහි ගෙවල් වල වැඩකටයුතු වලදී බොහෝ දේවල් තිබුණත්, හරියට වැඩ තිබුනත් මහා කරදර තිබුනත්, ගොඩාක් මහන්සි වුනත් එහෙම කරද්දිත් කඩාකප්පල් වෙලා අසාර්ථක වෙලා යන අවස්ථා තියෙනවා.
ඒ වගේ ම පින්වත් මාණවකය, බොහෝ දේවල් තියෙන, හරියට වැඩ කටයුතු තියෙන, මහා කරදර තියෙන, හරියට මහන්සි වෙන්නට තියෙන, ගොවිතැනේ දී එසේ කරද්දිත් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබිලා, සාර්ථක වෙලා යනවා වගේ පින්වත් මාණවකය, ගිහි ගෙවල් වල වැඩකටයුතු වලදී බොහෝ දේවල් තිබුනත්, හරියට වැඩ තිබුනත් මහා කරදර තිබුනත්, ගොඩාක් මහන්සි වුනත් එහෙම කරද්දිත් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබිලා සාර්ථක වෙන අවස්ථා තියෙනවා.
ඒ වගේ ම පින්වත් මාණවකය, ටිකක් දේවල් තියෙන, ටිකක් වැඩකටයුතු තියෙන, ටිකක් කරදර ඇති, ටිකක් මහන්සි වෙන්නට තියෙන, වෙළඳාම් වලදී එසේ කරද්දී ත්, කඩාකප්පල් වෙලා අසාර්ථක වෙලා යනවා වගේ; පින්වත් මාණවකය, ඒ අයුරින් ම පැවිදි ජීවිතය වුනත් ටිකක් දේවල් තිබෙන නමුත්, වැඩ කටයුතු අඩු නමුත්, කරදර අඩු නමුත්, මහන්සිය අඩු නමුත් එය විනාශ වෙලා අසාර්ථක වෙලා යනවා.
ඒ වගේ ම පින්වත් මාණවකය, ටිකක් දේවල් තියෙන, ටිකක් වැඩකටයුතු තියෙන, ටිකක් කරදර ඇති, ටිකක් මහන්සි වෙන්නට තියෙන, වෙළඳාම් වලදී එසේ කරද්දී ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබී, සාර්ථක වෙලා යනවා වගේ; පින්වත් මාණවකය, ඒ අයුරින් ම පැවිදි ජීවිතය වුනත් ටිකක් දේවල් තිබෙන නමුත්, වැඩ කටයුතු අඩු නමුත්, කරදර අඩු නමුත්, මහන්සිය අඩු නමුත් එය ඉතා හොඳ ප්‍රතිඵල ලබා සාර්ථක වෙනවා.”
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණවරු පින්කිරීම පිණිස, කුසල් උපදවා ගැනීම පිණිස කරුණු පහක් පෙන්වා දෙනවා.”
“පින්වත් මාණවකය, ඒ බ්‍රාහ්මණවරුන් පින්කිරීම පිණිස, කුසල් උපදවා ගැනීම පිණිස කරුණු පහක් පෙන්වා දෙනවා නම්, ඒ පිළිබඳව ඉදින් ඔබට කරදරයක් නැත්නම් මේ පිරිස මැද ඒ කරුණු පහ කියන්න.”
“භවත් ගෞතමයන් වහන්ස, යම් තැනක භවතාණන් වැඩසිටිනවා නම්, භවතාණන් බඳු පින්වතුන් වැඩසිටිනවා නම්, එය මට කියන්නට බැරිකමක් නැහැ.”
“එසේ නම් මාණවකය, එය කියන්න.”
“භවත් ගෞතමයන් වහන්ස, පින් කිරීම පිණිස, කුසල් ඉපිදවීම පිණිස, බ්‍රාහ්මණයන් පෙන්වා දෙන පළමුවෙනි කරුණ නම් සත්‍යය යි. භවත් ගෞතමයන් වහන්ස, පින් කිරීම පිණිස, කුසල් ඉපිදවීම පිණිස, බ්‍රාහ්මණයන් පෙන්වා දෙන දෙවෙනි කරුණ නම් තපස යි. භවත් ගෞතමයන් වහන්ස, පින් කිරීම පිණිස, කුසල් ඉපිදවීම පිණිස, බ්‍රාහ්මණයන් පෙන්වා දෙන තුන්වෙනි කරුණ නම් බ්‍රහ්මචරිය යි. භවත් ගෞතමයන් වහන්ස, පින් කිරීම පිණිස, කුසල් ඉපිදවීම පිණිස, බ්‍රාහ්මණයන් පෙන්වා දෙන සිව්වෙනි කරුණ නම් මන්ත්‍ර අධ්‍යයනය යි. භවත් ගෞතමයන් වහන්ස, පින් කිරීම පිණිස, කුසල් ඉපිදවීම පිණිස, බ්‍රාහ්මණයන් පෙන්වා දෙන පස්වෙනි කරුණ නම් ත්‍යාගය යි. භවත් ගෞතමයන් වහන්ස, මෙන්න මේ කරුණු පහ තමයි බ්‍රාහ්මණවරු පින් කිරීම පිණිස, කුසල් ඉපිදවීම පිණිස පෙන්වා දෙන්නේ. මේ පිළිබඳව භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?”
“පින්වත් මාණවකය, බ්‍රාහ්මණයන් අතර, එක බ්‍රාහ්මණයෙක් වත් මෙහෙම කියනවා ද? ඒ කියන්නේ ‘මං මේ ධර්ම පහ තමන් තුළින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව සාක්ෂාත් කරල යි එහි විපාක කියාදෙන්නෙ’ කියල.”
“භවත් ගෞතමයන් වහන්ස, එය නොවේ ම යි.”
“පින්වත් මාණවකය, බ්‍රාහ්මණයන් අතර, සත්වෙනි ආචාරය පරම්පරාව දක්වා සිටිය එක ආචාර්ය ප්‍රාචාර්ය වූ බ්‍රාහ්මණයෙක් වත් මෙහෙම කියනවා ද? ඒ කියන්නේ ‘මං මේ ධර්ම පහ තමන් තුළින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව සාක්ෂාත් කරල යි එහි විපාක කියාදෙන්නෙ’ කියල.”
“භවත් ගෞතමයන් වහන්ස, එය නොවේ ම යි.”
“පින්වත් මාණවකය, ඒ බ්‍රාහ්මණයන් අතුරින් පූර්ව කාලයෙහි මන්ත්‍ර හදපු, මන්ත්‍ර එක්රැස් කළ යම් ඍෂිවරු ඉන්නවා නම්, ඔවුන් කියූ දේ අනුව වර්තමාන බමුණන් ඒ මන්ත්‍ර පද ඔවුන් පැවසූ අයුරින් පවසත් ද, ඔවුන් ගැයූ අයුරින් ගයත් ද, ඔවුන් කියූ අයුරින් කියත් ද, ඔවුන් පාඩම් කළ අයුරින් පාඩම් කරත් ද, ඒ ඔවුන් කවුරුන් ද යත්; අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගූ යන මේ උදවිය යි. ඔවුන් මෙහෙම කිව්වා ද? ඒ කියන්නේ ‘මං මේ ධර්ම පහ තමන් තුළින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව සාක්ෂාත් කරල යි එහි විපාක කියාදෙන්නෙ’ කියල.”
“භවත් ගෞතමයන් වහන්ස, එය නොවේ ම යි.”
“එහෙම නම් පින්වත් මාණවකය, බ්‍රාහ්මණයන් අතර සිටින්නා වූ එක් බ්‍රාහ්මණයෙක් වත් මෙහෙම කියලා නෑ. ‘මං මේ ධර්ම පහ තමන් තුළින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව සාක්ෂාත් කරල යි එහි විපාක කියාදෙන්නෙ’ කියල. ඒ වගේ ම ඒ බ්‍රාහ්මණයන් අතුරින් එක බ්‍රාහ්මණ ආචාර්යවරයෙක් වේවා ප්‍රාචාර්යවරයකේ වේවා, සත්වෙනි ආචාර්ය පරම්පරාව දක්වා කවුරුවත් මෙහෙම කියලා නෑ. ‘මං මේ ධර්ම පහ තමන් තුළින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව සාක්ෂාත් කරල යි එහි විපාක කියාදෙන්නෙ’ කියල.
ඒ වගේ ම ඒ බ්‍රාහ්මණයන් අතුරින් පූර්ව කාලයෙහි මන්ත්‍ර හදපු, මන්ත්‍ර එක්රැස් කළ යම් ඍෂිවරු ඉන්නවා නම්, ඔවුන් කියූ දේ අනුව වර්තමාන බමුණන් ඒ මන්ත්‍ර පද ඔවුන් පැවසූ අයුරින් පවසත් ද, ඔවුන් ගැයූ අයුරින් ගයත් ද, ඔවුන් කියූ අයුරින් කියත් ද, ඔවුන් පාඩම් කළ අයුරින් පාඩම් කරත් ද, ඒ ඔවුන් කවුරුන් ද යත්; අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගූ යන මේ උදවිය යි. ඔවුනුත් මෙහෙම කියලා නෑ. ‘මං මේ ධර්ම පහ තමන් තුළින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව සාක්ෂාත් කරල යි. එහි විපාක කියාදෙන්නෙ’ කියල.
එතකොට පින්වත් මාණවකය, මෙය පරම්පරාවට බැඳිලා ගිය හැරමිටි ගත් අන්ධ පිරිසක් වගෙයි නෙව. ඉදිරියේ සිටින කෙනාට පෙනෙන්නෙත් නෑ. මැදින් යන කෙනාට පෙනෙන්නෙත් නෑ. අන්තිමයට යන කෙනාට පෙනෙන්නෙත් නෑ. පින්වත් මාණවකය, බ්‍රාහ්මණයන් ගේ ප්‍රකාශය හැරමිටි ගත් අන්ධයන් ගේ උපමාව වගේ කියලයි හිතෙන්නේ. මුලින් යන එක්කෙනා දකින්නෙත් නෑ. මැදින් යන එක්කෙනා දකින්නෙත් නෑ. අන්තිමට යන කෙනා දකින්නෙත් නෑ.
මෙසේ වදාළ විට තෝදෙය්යපුත්‍ර සුභ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද හැරමිටි අල්ලාගත් අන්ධ මිනිසුන් ගේ උපමාව ගැන කිපුනා. නො සතුටට පත් වුනා. භාග්‍යවතුන් වහන්සේට ම අපහාස කරන්නට පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේට ම ගරහන්නට පටන් ගත්තා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නෙව නො දන්නාකමට පත්වෙලා ඉන්නෙ’ කියල භාග්‍යවතුන් වහන්සේට ම කිය කියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“භවත් ගෞතමයන් වහන්ස, උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුභග වනේ හි සිටින පොක්ඛරසාති බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘මෙහිලා ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් උත්තර මනුෂ්‍යධර්ම සංඛ්‍යාත විශේෂ ඤාණදර්ශනයන් ගැන ප්‍රතිඥා දෙනවලු. නමුත් ඒ ඔවුන් ගේ කතාව සිනහවට කරුණක් ම යි. ලාමක බව ම යි ප්‍රකට කරන්නේ. නිසරු බව ම යි ප්‍රකට කරන්නේ. හිස් බව ම යි උපදවන්නේ. මනුෂ්‍යයෙක් වුන කෙනෙකුට ඒ මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය ආර්ය වූ ඤාණදර්ශන විශේෂයක් දන්නේ ය, දකින්නේ ය, ප්‍රත්‍යක්ෂ කරන්නේ ය යන යමක් ඇද්ද මෙය වෙන්නට බැරි දෙයක් නෙව’ කියල.”
“පින්වත් මාණවකය, එතකොට ඔය උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුභග වනාධිපති පොක්ඛරසාතී බ්‍රාහ්මණයා සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ සිත තමන් ගේ සිතින් පිරිසිඳ දකින කෙනෙක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුභග වනාධිපති පොක්ඛරසාතී බ්‍රාහ්මණයා තමන් ගේ නිවසට දිය අදින පුණ්ණකා දාසිය ගේ සිත වත් සිය සිතින් පිරිසිඳ දකින්නට බැහැ නෙව. ඉතින් එහෙම එකේ ඔහු සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ සිත් කෙසේ නම් තම සිතින් පිරිසිඳ දකින්නට ද?”
“පින්වත් මාණවකය, ජාත්‍යන්ධ පුරුෂයෙක් ඉන්නවා. ඔහු කලු සුදු රූප දකින්නේ නෑ. නිල් රූප දකින්නේ නැහැ. කහ රූප දකින්නේ නෑ. රතු රූප දකින්නේ නෑ. මදටිය වන් රූප දකින්නේ නැහැ. වළගොඩැලි දකින්නේ නෑ. අහසේ තරු දකින්නේ නෑ. හිරු සඳු දකින්නේ නෑ. ඒ නිසා ඔහු මෙහෙම කියනවා. ‘කලු සුදු රූප කියා දෙයක් නැත. ඒ වගේ ම කළු සුදු රූප දකින කෙනෙක් ද නැත. නීල වර්ණ රූප කියා දෙයක් නැත. නිල්වන් රූප දකින කෙනෙක් ද නැත. කහ වර්ණ රූප කියා දෙයක් නැත. කහවන් රූප දකින කෙනෙක් ද නැත. රතු වර්ණ රූප කියා දෙයක් නැත. රතුවන් රූප දකින කෙනෙක් ද නැත. මදිටිය වර්ණ රූප කියා දෙයක් නැත. මදටියවන් රූප දකින කෙනෙක් ද නැත. වළගොඩැලි කියා දෙයක් නැත. වළගොඩැලි දකින කෙනෙක් ද නැත. අහසේ තරු කියා දෙයක් නැත. තරු දකින කෙනෙක් ද නැත. හිරු සඳු ද නැත. හිරු සඳු දකින කෙනෙක් ද නැත. මං මේවා දන්නෙ නැහැ. මං මේවා දකින්නෙත් නැහැ. එනිසා මේවා නැත. පින්වත් මාණවකය, ඔය විදිහට කිව්වොත් එයා නිවැරදිව කතා කරන කෙනෙක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, එය නොවේ ම යි. ‘කලු සුදු රූප කියා දෙයක් තියෙනවා. ඒ වගේ ම කළු සුදු රූප දකින උදවිය ඉන්නවා. නීල වර්ණ රූප කියා දෙයක් තියෙනවා. නිල්වන් රූප දකින උදවිය ඉන්නවා. කහ වර්ණ රූප කියා දෙයක් තියෙනවා. කහවන් රූප දකින උදවිය ඉන්නවා. රතු වර්ණ රූප කියා දෙයක් තියෙනවා. රතුවන් රූප දකින උදවිය ඉන්නවා. මදිටිය වර්ණ රූප කියා දෙයක් තියෙනවා. මදටියවන් රූප දකින උදවිය ඉන්නවා. වළ ගොඩැලි කියා දෙයක් තියෙනවා. වළගොඩැලි දකින උදවිය ඉන්නවා අහසේ තරු කියා දෙයක් තියෙනවා. තරු දකින උදවිය ඉන්නවා හිරු සඳු ද තියෙනවා. හිරු සඳු දකින උදවිය ඉන්නවා. ඒ නිසා භවත් ගෞතමයන් වහන්ස, නිවැරදිව කතා කරන කෙනෙක් ‘මං මේවා දන්නෙ නැහැ. මං මේවා දකින්නෙත් නැහැ. එනිසා මේවා නැත’ කියා කියන්නෙ නැහැ.”
“පින්වත් මාණවකය, ඒ වගේ තමයි උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුභගවනාධිපති වූ පොක්ඛරසාතී බ්‍රාහ්මණයා අන්ධයි. ඇස් නෑ. ඔහු සැබැවින් ම මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ වූ ආර්ය ඤාණදර්ශනයක් දන්නේ ය, දකින්නේ ය, සාක්ෂාත් කරන්නේ ය යන කාරණය නම් විය නො හැකි දෙයක් තමයි.
පින්වත් මාණවකය, ඒ ගැන කුමක් ද සිතන්නේ? යම් මේ කොසොල් රටවාසී සම්භාවනීය බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් කවරහුද යත්; චංකී බ්‍රාහ්මණයා, තාරුක්ඛ බ්‍රාහ්මණයා, පොක්ඛරසාතී බ්‍රාහ්මණයා, ජාණුස්සෝණි බ්‍රාහ්මණයා, ඒ වගේ ම ඔබ ගේ පියා වන තෝදෙය්ය බ්‍රාහ්මණයා. ඒ උදවිය යම් දෙයක් ලෝකයා ගේ පොදු පිළිගැනීමෙන් යුක්තව කියයි ද, ලෝකයා නො පිළිගන්නා යම් දෙයක් කියයි ද, මේ දෙකෙන් ශ්‍රේෂ්ඨ වන්නේ කවර දෙයක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙයින් ශ්‍රේෂ්ඨ වන්නේ ලෝකයා පොදුවේ පිළිගන්නා දෙයයි.”
“ඒ වගේ ම ඔවුන් කියන්නා වූ යමක් මැනැවින් කරුණු සළකා කියයි ද, යමක් මැනැවින් කරුණු නො සළකා කියයි ද, මේ දෙකින් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙයින් ශ්‍රේෂ්ඨ වන්නේ කරුණු සළකා කියන දෙයයි.”
“ඒ වගේ ම ඔවුන් කියන්නා වූ යමක් මැනැවින් නුවණින් විමසා කියයි ද, යමක් මැනැවින් නුවණින් නො විමසා කියයි ද, මේ දෙකින් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙයින් ශ්‍රේෂ්ඨ වන්නේ නුවණින් විමසා කියන දෙයයි.”
“ඒ වගේ ම ඔවුන් කියන්නා වූ යමක් යහපත පිණිස පවතීවි ද, යමක් අයහපත පිණිස පවතීවි ද, මේ දෙකින් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙයින් ශ්‍රේෂ්ඨ වන්නේ යහපත පිණිස පවතින දෙයයි.”
“පින්වත් මාණවකය, ඒ ගැන කුමක් ද සිතන්නේ? මෙසේ ඇති කල්හි ඒ උපමඤ්ඤ ගොත්‍ර වූ සුභගවනාධිපති පොක්ඛරසාතී බ්‍රාහ්මණයා විසින් කියන ලද්දේ ලොව පොදුවේ පිළිගත් වචනයක් ද? ලොව පොදුවේ නො පිළිගත් වචනයක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, එය ලෝකයා පොදුවේ නො පිළිගත් දෙයක්.”
“මැනැවින් කරුණු සලකා කියූ දෙයක් ද, කරුණු නො සලකා කියූ දෙයක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, මැනැවින් නො සලකා කියූ දෙයක්.”
“නුවණින් විමසා බලා කියූ දෙයක් ද, නුවණින් නො විමසා කියූ දෙයක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, නුවණින් නො විමසා කියූ දෙයක්.”
“යහපත පිණිස පවතින්නට කියූ දෙයක් ද, අයහපත පිණිස පවතින්නට කියූ දෙයක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, අයහපත පිණිස පවතින්නට කියූ දෙයක්.”
“පින්වත් මාණවකය, සිතේ දියුණුව වසා තිබෙන කරුණු පහක් තියෙනවා. කවර පහක් ද යත්; කාමාශාව යනු සිතේ දියුණුව වසා ඇති දෙයක්. ව්‍යාපාදය යනු සිතේ දියුණුව වසා ඇති දෙයක්. නිදිමත හා අලසබව යනු සිතේ දියුණුව වසා ඇති දෙයක්. සිතේ විසිරීමත්, පසුතැවීමත් යනු සිතේ දියුණුව වසා ඇති දෙයක්. සැකය යනු සිතේ දියුණුව වසා ඇති දෙයක්. පින්වත් මාණවකය, මේ තමයි ඒ නීවරණ පහ.
පින්වත් මාණවකය, ඕපමඤ්ඤ සුභගවනාධිපති පොක්ඛරසාති බ්‍රාහ්මණයා සිතේ දියුණුව වසා ඇති ඔය කරුණු පහෙන් වැහිලයි ඉන්නේ. අහුරගෙන ඉන්නෙ. වට කරගෙන යි ඉන්නෙ. හාත්පස වෙලිල යි ඉන්නෙ. ඉතින් එහෙම එකේ ඔහු උතුරු මිනිස් දහමක් වන ආර්ය ඤාණදර්ශන විශේෂයක් දන්නේ ය, දක්නේ ය, සාක්ෂාත් කරන්නේ ය යන්න සිදුවෙන දෙයක් නම් නොවේ.
පින්වත් මාණවකය, මේ පංචකාම ගුණ පහක් තියෙනවා. කවර පහක් ද යත්; ඇසින් දැක්ක යුතු ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කෙලෙස් ඇතිවෙන රූප තියෙනවා. කනින් ඇසිය යුතු ….(පෙ)…. ශබ්ද තියෙනවා. නාසයෙන් දත යුතු ….(පෙ)…. ගඳ සුවඳ තියෙනවා. දිවෙන් දත යුතු ….(පෙ)…. රස තියෙනවා. කයින් දත යුතු ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය ස්වරූප ඇති,, කෙලෙස් ඇතිවෙන පහස තියෙනවා. පින්වත් මාණවකය, මේවා තමයි පංචකාම ගුණ.
පින්වත් මාණවකය, ඕපමඤ්ඤ සුභගවනාධිපති පොක්ඛරසාති බ්‍රාහ්මණයා ඔය පංචකාම ගුණයන්ගෙන් මත්වෙලයි ඉන්නේ. මූර්ඡා වෙලා ඉන්නේ. එහි බැසගෙනයි ඉන්නේ. ආදීනව නො දැකයි ඉන්නෙ. එයින් මිදෙන අයුරක් නො දැනයි ඒවා අනුභව කරන්නෙ. ඉතින් එහෙම එකේ ඔහු උතුරු මිනිස් දහමක් වන ආර්ය ඤාණදර්ශන විශේෂයක් දන්නේ ය, දක්නේ ය, සාක්ෂාත් කරන්නේ ය යන්න සිදුවෙන දෙයක් නම් නොවේ.
පින්වත් මාණවකය, යම්කිසි තෘණ, දර ආදී දෙයින් දැල්වෙන්නා යම් ගින්නක් ඇද්ද, ඒ වගේ ම තෘණ, දර ආදියෙන් තොරව දැල්වෙන්නා වූ යම් ගින්නක් ඇද්ද, මේ දෙවැදෑරුම් ගින්නෙන් කවර ගින්නක දැල්ල ද ප්‍රභාශ්වර වන්නේ? කවර ගින්නක වර්ණය ද ප්‍රභාෂ්වර වන්නේ?”
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් තෘණ, දර ආදියෙන් තොරව දැල්වෙන්නා වූ යම් ගින්නක් ඇද්ද, ඒ ගින්නේ දැල්ල තමයි, එහි වර්ණය තමයි ප්‍රභාෂ්වර වන්නේ”
“පින්වත් මාණවකය, තෘණ, දර ආදියෙන් තොරව යම් ගින්නක් දල්වන්නේ ය යන යමක් ඇද්ද, එය ඍද්ධිමතුන්ට හැර වෙන කෙනෙකුට කරන්නට අවකාශ නැත. නො විය හැකි දෙයකි. පින්වත් මාණවකය, පංචකාම ගුණයන් හේතුකොට ගෙන ඇතිවන යම් ප්‍රීතියක් ඇද්ද, මා එම ප්‍රීතිය ගැන කියන්නේ තෘණ, දර ආදියෙන් යුක්තව දැල්වෙන්නා වූ ගින්නට උපමා කරයි. ඒ වගේ ම පින්වත් මාණවකය කාමයන් ගෙන් වෙන්ව අකුසල ධර්මයන් ගෙන් වෙන්ව හටගන්නා වූ යම් ප්‍රීතියක් (ධ්‍යාන සැපයක්) ඇද්ද, මා එම ප්‍රීතිය ගැන කියන්නේ තෘණ, දර ආදියෙන් තොරව දැල්වෙන්නා වූ ගින්නට උපමා කරලයි.
පින්වත් මාණවකය, කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ඇතිවන ප්‍රීතිය කුමක්ද? පින්වත් මාණවකය, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. පින්වත් මාණවකය, මෙයත් කාමයන්ගෙන් වෙන් වූ, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ ප්‍රීතියකි.
පින්වත් මාණවකය, නැවත අනිකක් කියමි. භික්ෂුව, විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. පින්වත් මාණවකය, මෙයත් කාමයන්ගෙන් වෙන් වූ, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ ප්‍රීතියකි.
පින්වත් මාණවකය, ඒ බ්‍රාහ්මණවරු පින් කිරීම පිණිස, කුසල් උපදවා ගැනීම පිණිස පෙන්වා දෙන යම් කරුණු පහක් ඇද්ද, එහිලා බ්‍රාහ්මණවරු පින් කිරීම පිණිස හා කුසල් ඉපිදවීම පිණිස වඩාත් මහත්ඵල වෙනවා කියන්නේ කවර දෙයක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඒ බ්‍රාහ්මණවරු පින් කිරීම පිණිස, කුසල් උපදවා ගැනීම පිණිස පෙන්වා දෙන යම් කරුණු පහක් ඇද්ද, එහිලා බ්‍රාහ්මණවරු පින් කිරීම පිණිස හා කුසල් ඉපිදවීම පිණිස වඩාත් මහත්ඵල වෙනවා කියන්නේ දන් දීමයි.”
“පින්වත් මාණවකය, ඒ ගැන කුමක් ද සිතන්නේ? මෙහිලා එක්තරා බ්‍රාහ්මණයෙකුට මහායාගයක් කරන්නට අවස්ථාවක් ලැබෙනවා. එතකොට එතනට ‘අසවල් නම් ඇති බ්‍රාහ්මණයා ගේ මහා යාගය අනුභව කරන්නට ඕන’ කියල බ්‍රාහ්මණවරු දෙන්නෙක් එනවා. එහිදී එක බ්‍රාහ්මණයෙකුට මෙහෙම හිතෙනවා. ‘අහෝ! මෙම දානයෙහි දී මට ම යි මූලාසනය ලැබෙන්නට ඕන. මට ම යි ප්‍රථම පැන් වීදුරුව ලැබෙන්නට ඕන. මට ම යි ප්‍රථම දන් වේල ලැබෙන්නට ඕන’ වෙනත් බ්‍රාහ්මණයෙකුට මූලාසනය නො ලැබේවා! ප්‍රථම පැන් වීදුරුව නො ලැබේවා! ප්‍රථම දන් වේල නො ලැබේවා! කියල.
එහිදී පින්වත් මාණවකය, වෙන බ්‍රාහ්මණයෙක් අග්‍ර ආසනය ලබයි ද, අග්‍ර ජලය ලබයි ද, අග්‍ර පිඬු ලබයි ද, නමුත් අර බ්‍රාහ්මණයා ඒ දානයෙහි දී අග්‍රාසනය නො ලබයි ද, අග්‍ර ජලය නො ලබයි ද, අග්‍ර පිඬු නො ලබයි ද, එය වෙන්න පුළුවන් දෙයක්. එතකොට අර බ්‍රාහ්මණයා ‘මට මේ දානයෙහි දී ප්‍රධානත්වය ලැබුනෙත් නැහැ. පළමු පැන් බඳුන ලැබුනෙත් නැහැ. පළමු බත් බඳුන ලැබුනෙත් නැහැ’ කියල කිපෙනවා, නො සතුටු වෙනවා. පින්වත් මාණවකය, මේ තැනැත්තාට බ්‍රාහ්මණවරු පෙන්වා දෙන්නේ කවර විපාකයක්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණවරු ඔය විදිහට සිතා දන්දෙන්නේ නැහැ. ඒ කියන්නේ ‘මේ දානයෙන් අන්‍යයෝ කිපෙත්වා! සතුටු සිත් ඇත්තෝ වෙත්වා!’ කියල. මෙහි දී බ්‍රාහ්මණයෝ දන් දෙන්නේ අනුකම්පාවෙන් ම යි.”
“පින්වත් මාණවකය, මෙසේ ඇති කල්හි බ්‍රාහ්මණයන් ගේ පින් කිරීමට අදාළ කරුණු ගැන කියද්දී සය වෙනි කරුණ හැටියට යම් මේ අනුකම්පාව උපදවා ගැනීම දැමිය යුතු නො වේද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි පින් කිරීමට අදාළ කරුණු ගැන කියන්නා වූ බ්‍රාහ්මණයන් ගේ සය වෙනි කරුණ හැටියට මේ අනුකම්පාව උපදවා ගැනීම දැමිය යුතු තමයි.”
“පින්වත් මාණවකය, පින් කිරීම පිණිස, කුසල් උපදවීම පිණිස බ්‍රාහ්මණවරු මේ කරුණු පහ පෙන්වා දෙනවා නෙව. ඉතින් මේ කරුණු පහ බහුලව දකින්නට ලැබෙන්නේ ගිහි උදවිය තුළ ද? පැවිද්දන් තුළ ද?”
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන් විසින් පින් කිරීම පිණිස, කුසල් උපදවීම පිණිස පෙන්වා දී ඇති යම් මේ කරුණු පහක් ඇද්ද, මේ කරුණු පහ මං බහුලව දැක තිබෙන්නේ පැවිද්දන් අතරයි. ස්වල්ප ගිහි පිරිසක් අතරයි දැක තිබෙන්නේ.
භවත් ගෞතමයන් වහන්ස, බොහෝ දේවල් ඇති, බොහෝ කෘත්‍ය ඇති, බොහෝ කරදර ඇති, බොහෝ වෙහෙස මහන්සි ඇති, ගිහියා නිරතුරුව ම, හැම තිස්සේ ම සත්‍යවාදී නො වෙයි. නමුත් භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප දෙයක් ඇති, ස්වල්ප කෘත්‍ය ඇති, ස්වල්ප කරදර ඇති, ස්වල්ප මහන්සි ඇති, පැවිද්දා නම් නිරතුරුව ම, හැම තිස්සේ ම සත්‍යවාදී වෙනවා.
භවත් ගෞතමයන් වහන්ස, බොහෝ දේවල් ඇති, බොහෝ කෘත්‍ය ඇති, බොහෝ කරදර ඇති, බොහෝ වෙහෙස මහන්සි ඇති, ගිහියා නිරතුරුව ම, හැම තිස්සේ ම තපස් රකින්නේ නෑ. නමුත් භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප දෙයක් ඇති, ස්වල්ප කෘත්‍ය ඇති, ස්වල්ප කරදර ඇති, ස්වල්ප මහන්සි ඇති, පැවිද්දා නම් නිරතුරුව ම, හැම තිස්සේ ම තපස් රකිනවා.
භවත් ගෞතමයන් වහන්ස, බොහෝ දේවල් ඇති, බොහෝ කෘත්‍ය ඇති, බොහෝ කරදර ඇති, බොහෝ වෙහෙස මහන්සි ඇති, ගිහියා නිරතුරුව ම, හැම තිස්සේ ම බ්‍රහ්මචාරී නො වෙයි. නමුත් භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප දෙයක් ඇති, ස්වල්ප කෘත්‍ය ඇති, ස්වල්ප කරදර ඇති, ස්වල්ප මහන්සි ඇති, පැවිද්දා නම් නිරතුරුව ම, හැම තිස්සේ ම බ්‍රහ්මචාරී වෙනවා.
භවත් ගෞතමයන් වහන්ස, බොහෝ දේවල් ඇති, බොහෝ කෘත්‍ය ඇති, බොහෝ කරදර ඇති, බොහෝ වෙහෙස මහන්සි ඇති, ගිහියා නිරතුරුව ම, හැම තිස්සේ ම ධර්ම අධ්‍යයනය බහුල කරගෙන නෑ. නමුත් භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප දෙයක් ඇති, ස්වල්ප කෘත්‍ය ඇති, ස්වල්ප කරදර ඇති, ස්වල්ප මහන්සි ඇති, පැවිද්දා නම් නිරතුරුව ම, හැම තිස්සේ ම බහුල වශයෙන් ධර්ම අධ්‍යයනයෙහි යෙදෙනවා.
භවත් ගෞතමයන් වහන්ස, බොහෝ දේවල් ඇති, බොහෝ කෘත්‍ය ඇති, බොහෝ කරදර ඇති, බොහෝ වෙහෙස මහන්සි ඇති, ගිහියා නිරතුරුව ම, හැම තිස්සේ ම දන් දෙන්නේ නෑ. නමුත් භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප දෙයක් ඇති, ස්වල්ප කෘත්‍ය ඇති, ස්වල්ප කරදර ඇති, ස්වල්ප මහන්සි ඇති, පැවිද්දා නම් නිරතුරුව ම, හැම තිස්සේ ම දන් දෙනවා.
ඒ නිසා භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන් විසින් පින් කිරීම පිණිස, කුසල් උපදවීම පිණිස පෙන්වා දී ඇති යම් මේ කරුණු පහක් ඇද්ද, මේ කරුණු පහ මං බහුලව දැක තිබෙන්නේ පැවිද්දන් අතරයි. ස්වල්ප ගිහි පිරිසක් අතරයි දැක තිබෙන්නේ.”
“පින්වත් මාණවකය, බ්‍රාහ්මණයන් විසින් පින් කිරීම පිණිස, කුසල් ඉපිදවීම පිණිස පෙන්වා දෙන ලද, යම් මේ ධර්ම පහක් ඇද්ද, මේවා සිතකට දියුණු වන්නට උපකාරක ධර්ම වශයෙන් පවතිනවා කියලයි මං කියන්නේ. එනම් වෛර රහිත වූ, දුක් පීඩා රහිත වූ, මෛත්‍රී චිත්තය වැඩීම පිණිසයි.
පින්වත් මාණවකය, මෙහිලා භික්ෂුව සත්‍යවාදී වෙනවා. ඉතින් ඔහු ‘මම සත්‍යය පවසන කෙනෙක්මි’ කියා එයින් සතුටක් ලබයි. යම් අවබෝධයක් ලබයි. ධර්මය තුළින් ලබා ගන්නා ප්‍රමුදිත බවක් ලබයි. කුසල් තුළින් ලබා ගන්නා ප්‍රමුදිත බවක් ලබයි. ඒ නිසයි මා එම සත්‍ය වචනය සිතට උපකාරක ධර්මයක් කියා කියන්නේ. එනම් වෛර රහිත වූ, දුක් පීඩා රහිත වූ, මෛත්‍රී චිත්තය වැඩීම පිණිසයි.
පින්වත් මාණවකය, මෙහිලා භික්ෂුව තපස් රකින කෙනෙක් වෙනවා. ….(පෙ)…. බ්‍රහ්මචාරී කෙනෙක් වෙනවා. ….(පෙ)…. ධර්ම අධ්‍යයනය බහුල කෙනෙක් වෙනවා ….(පෙ)…. ත්‍යාග බහුල කෙනෙක් වෙනවා. ඉතින් ඔහු ‘මම ත්‍යාග බහුල කෙනෙක්මි’ කියා එයින් සතුටක් ලබයි. යම් අවබෝධයක් ලබයි. ධර්මය තුළින් ලබාගන්නා ප්‍රමුදිත බවක් ලබයි. කුසල් තුළින් ලබා ගන්නා ප්‍රමුදිත බවක් ලබයි. ඒ නිසයි මා එම ත්‍යාග බහුල බව සිතට උපකාරක ධර්මයක් කියා කියන්නේ. එනම් වෛර රහිත වූ, දුක් පීඩා රහිත වූ, මෛත්‍රී චිත්තය වැඩීම පිණිසයි.
ඒ නිසා පින්වත් මාණවකය, බ්‍රාහ්මණයන් විසින් පින් කිරීම පිණිස, කුසල් ඉපිදවීම පිණිස පෙන්වා දෙන ලද, යම් මේ ධර්ම පහක් ඇද්ද, මේවා සිතකට දියුණු වන්නට උපකාරක ධර්ම වශයෙන් පවතිනවා කියලයි මං කියන්නේ. එනම් වෛර රහිත වූ, දුක් පීඩා රහිත වූ, මෛත්‍රී චිත්තය වැඩීම පිණිසයි.”
මෙසේ වදාළ විට තෝදෙය්යපුත්‍ර සුභ මාණවකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. භවත් ගෞතමයන් වහන්ස, මට මෙය අසන්නට ලැබිලා තියෙනවා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහා බ්‍රහ්මයා හා එක්වීම පිණිස හේතු වන වැඩ පිළිවෙලක් දන්නවා ය’ කියලා.”
“පින්වත් මාණවකය ඒ ගැන කුමක්ද සිතන්නේ? නළකාර ග්‍රාමය තිබෙන්නේ මේ ළඟ ම ද? නළකාර ග්‍රාමය තියෙන්නේ දුරින් නො වෙයි නේද?”
“එසේය භවත. නළකාර ග්‍රාමය තියෙන්නේ මේ ආසන්නයේ ම නෙව. නළකාර ග්‍රාමය තියෙන්නේ දුරින් නො වෙයි.”
“පින්වත් මාණවකය, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි පුරුෂයෙක් ඉන්නවා. ්‍රඔහු නළකාර ග්‍රාමයෙහි ඉපිද එහිම වැඩුණු කෙනෙක්. ඉතින් ඔහු ගෙන් නළකාර ගමට අළුතින් පැමිණි කෙනෙක් ඒ නළකාර ග්‍රාමය පිළිබඳව මඟතොට විමසනවා. එතකොට පින්වත් මාණවකය, නළකාර ගමෙහි ඉපදුන, එහිම හැදුණු වැඩුණු අර පුරුෂයාගෙන් නළකාර ගමට යන මාර්ගය ඇසූ විට පටළැවිලා යාවි ද? උත්තර දීගන්නට බැරිව හිරවේවි ද?”
“භවත් ගෞතමයන් වහන්ස, එය නොවේ ම යි. මක්නිසාද යත්; භවත් ගෞතමයන් වහන්ස, ඒ පුද්ගලයා නළකාර ගමේ ම ඉපිද, හැදුණු වැඩුණු කෙනෙක් නෙව. ඔහු නළකාර ගමේ හැම මගතොටක් ගැන ම හොඳින් දන්නවා.”
“පින්වත් මාණවකය, නළකාර ගමෙහි ඉපදිලා, එහි ම හැදිලා වැඩිලා හිටිය ඒ පුද්ගලයාට මග අසද්දී යම්කිසි පටලැවිල්ලක් වන්නට පුළුවන් වුනත්, උත්තර දීගන්නට බැරිව සිරවෙන්නට පුළුවන් වුනත්, තථාගතයන් වහන්සේ ගෙන් බ්‍රහ්මලෝකය පිළිබඳව හෝ බ්‍රහ්ම ලෝකයට යන වැඩපිළිවෙල පිළිබඳව හෝ ප්‍රශ්න අසද්දී කිසි පටලැවිල්ලක් ඇතිවෙන්නෙ නැහැ. උත්තර දීගන්ට බැරි සිරවීමක් ඇතිවෙන්නෙ නැහැ.
පින්වත් මාණවකය, මං බ්‍රහ්මයන් පිළිබඳව වූ බඹලොවත් දන්නවා. බ්‍රහ්ම ලෝකයට යන මාර්ගයත් දන්නවා. යම් වැඩපිළිවෙලකට පැමිණි කෙනෙක් බ්‍රහ්මලෝකයෙහි උපදින්නේ ද, එයත් දන්නවා.”
“භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන් හා එක්වීමට මාර්ගය දෙසන්නේ ය යන කරුණ මා අසා තිබෙනවා. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන් හා එක්වීම පිණිස මා හට ද මාර්ගය දේශනා කරන සේක්වා!”
“එසේ වී නම් පින්වත් මාණවකය, සවන් යොමා අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”
“එසේය භවත” කියා තෝදෙය්යපුත්‍ර සුභ මාණවකයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මාණවකය, බ්‍රහ්මයන් හා එක්වීමට ඇති මාර්ගය කුමක් ද? පින්වත් මාණවකය, මෙහිලා භික්ෂුව මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ අයුරින් දෙවැනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, සතරවෙනි දිශාවටත් පතුරුවා වාසය කරනවා. ඒ අයුරින් ම උඩු අතට ත්, යටි අතට ත්, හරස් අතට ත් සෑම දිශාවකට ම සියලු දෙනාට ම සම වන පරිදි සකල ලෝකයා හට ම වෛර රහිත වූ, දුක් පීඩා රහිත වූ, විපුල වූ, මහග්ගත වූ, අප්‍රමාණ වූ, මෛත්‍රී චිත්තය පතුරුවා වාසය කරනවා. පින්වත් මාණවකය, මේ විදිහට මෛත්‍රී චිත්ත විමුක්තිය වඩන විට යම් සීමා සහිතව කරන ලද කර්මයක් ඇද්ද, ඒ කර්මය එහි ඉතිරි වන්නේ නැහැ. ඒ කර්මය එහි බැසගෙන සිටින්නේ නැහැ.
පින්වත් මාණවකය, සක් පිඹිනා බලවත් පුරුෂයෙක් ඉතා පහසුවෙන් ම සතර දිශාවට සක් පිඹිනවා වගෙයි ඔය ආකාරයෙන් ම පින්වත් මාණවකය, ඔය විදිහට වඩන ලද මෛත්‍රී චිත්ත විමුක්තිය නිසා යම් සීමා සහිතව කරන ලද කර්මයක් ඇද්ද, ඒ කර්මය එහි ඉතිරි වන්නේ නැහැ. ඒ කර්මය එහි බැසගෙන සිටින්නේ නැහැ. පින්වත් මාණවකය, බ්‍රහ්මයන් හා එක්වීමට ඇති මාර්ගය නම් මෙය යි.
පින්වත් මාණවකය, මෙහිලා භික්ෂුව කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ අයුරින් දෙවැනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, සතරවෙනි දිශාවටත් පතුරුවා වාසය කරනවා. ඒ අයුරින් ම උඩු අතට ත්, යටි අතට ත්, හරස් අතට ත් සෑම දිශාවකට ම සියලු දෙනාට ම සම වන පරිදි සකල ලෝකයා හට ම වෛර රහිත වූ, දුක් පීඩා රහිත වූ, විපුල වූ, මහග්ගත වූ, අප්‍රමාණ වූ, උපේක්ෂා චිත්තය පතුරුවා වාසය කරනවා. පින්වත් මාණවකය, මේ විදිහට උපේක්ෂා චිත්ත විමුක්තිය වඩන විට යම් සීමා සහිතව කරන ලද කර්මයක් ඇද්ද, ඒ කර්මය එහි ඉතිරි වන්නේ නැහැ. ඒ කර්මය එහි බැසගෙන සිටින්නේ නැහැ.
පින්වත් මාණවකය, සක් පිඹිනා බලවත් පුරුෂයෙක් ඉතා පහසුවෙන් ම සතර දිශාවට සක් පිඹිනවා වගෙයි ඔය ආකාරයෙන් ම පින්වත් මාණවකය, ඔය විදිහට වඩන ලද උපේක්ෂා චිත්ත විමුක්තිය නිසා යම් සීමා සහිතව කරන ලද කර්මයක් ඇද්ද, ඒ කර්මය එහි ඉතිරි වන්නේ නැහැ. ඒ කර්මය එහි බැසගෙන සිටින්නේ නැහැ. පින්වත් මාණවකය, බ්‍රහ්මයන් හා එක්වීමට ඇති මාර්ගය නම් මෙය යි.
මෙසේ වදාළ විට තෝදෙය්යපුත්‍ර සුභ මාණවකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙ යි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වවූවා වගෙයි. ඔන්න ඔය විදිහට යි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මා ත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා! භවත් ගෞතමයන් වහන්ස, එහෙම නම් දැන් අපි යන්නම්. අපට ඉතින් බොහෝ වැඩ තියෙනවා නෙව. බොහෝ කටයුතු තියෙනවා නෙව.”
“පින්වත් මාණවකය, දැන් යමකට කාලය නම්, එය දැනගත මැනැව.”
එවිට තෝදෙය්යපුත්‍ර සුභ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත් වුනා.
ඒ වෙලාව වන විට ජාණුස්සෝණි බ්‍රාහ්මණයා මුළුමනින් ම සුදු වර්ණයෙන් සරසන ලද වෙළඹුන් යෙදූ රථයෙන් දවල් කාලයෙහි සැවැත් නුවරින් නික්මී යනවා. එවිට ජාණුස්සෝණි බ්‍රාහ්මණයා සුභ මාණවක තෝදෙය්ය පුත්‍රයාව දැක්කා. දැක මෙහෙම කිව්වා. “භවත් භාරද්වාජ, මේ දැන් මද්දහනේ කොහේ සිට එන ගමන් ද?”
“භවත, මං මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමීපයේ සිට එන ගමන්.”
“භවත් භාරද්වාජය, ඒ ගැන කුමක් ද සිතන්නේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ප්‍රඥා කෞශල්‍යය කෙබඳු ද? මහා ඤාණවන්තයෙක් කියල ද සිතන්නේ?”
“භවත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ප්‍රඥා කෞශල්‍යය ගැන කියන්නට මං කවුද? යමෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ප්‍රඥා කෞශල්‍යය තේරුම් ගන්නවා ද, එය කියන්නට පුළුවන් වන්නේ උන්වහන්සේ වගේ කෙනෙකුට පමණයි.”
“භවත් භාරද්වාජයෙනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මහත් උදාර වූ ප්‍රශංසාවකින් ප්‍රශංසා කරනවා නෙව.”
“භවත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්නට මං කවුද? ඒ භවත් ගෞතමයන් වහන්සේ ප්‍රශංසා වූවන් අතර අග්‍ර ප්‍රශංසාර්හයි. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ යි. භවත, බ්‍රාහ්මණවරු පින්කිරීමට, කුසල් කිරීමට යම් මේ පංච ධර්මයක් පෙන්වා දී තිබෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේවා පිළිබඳව වදාළේ සිතකට උපකාරී වන ධර්මයන් හැටියට යි. ඒ කියන්නේ වෛර රහිත, දුක් පීඩා රහිත, මෛත්‍රී චිත්තය වැඩීම පිණිස යි.”
මෙසේ පැවසූ විට ජාණුස්සෝණි බ්‍රාහ්මණයා මුළුමනින් ම සුදු වර්ණයෙන් සැරසූ වෙළඹුන් යෙදූ ඒ රථයෙන් බැස උතුරු සළුව ඒකාංශ කොට පොරවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි දිශාවට ඇඳිලි බැඳ වන්දනා කරගෙන මෙම උදානය ප්‍රකාශ කළා. “යම් රජෙකු ගේ විජිතයෙහි තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩසිටින සේක් ද, ඒ පසේනදී කොසොල් මහ රජාණන් හට ලාභයක් ම යි! ඒ පසේනදී කොසොල් මහ රජාණන් හට මනා වූ ලාභයක් ම යි!”
සාදු! සාදු!! සාදු!!!
තෝදෙය්යපුත්‍ර සුභ මාණවකයාට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M