මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ඉච්ඡානංගල ගමෙහි ඉච්ඡානංගල නම් වන පියසේ. ඒ දිනවල ඉතාමත් ප්‍රසිද්ධ වූ සම්භාවනීය බ්‍රාහ්මණයන් ඉච්ඡානංගල ගමෙහි වාසය කළා. ඔවුන් කවරහු ද යත්; චංකී බ්‍රාහ්මණයා, තාරුක්ඛ බ්‍රාහ්මණයා, පොක්ඛරසාති බ්‍රාහ්මණයා, ජානුස්සෝණි බ්‍රාහ්මණයා, තෝදෙය්ය බ්‍රාහ්මණයා ආදී ඉතාමත් ප්‍රසිද්ධ වූ සම්භාවනීය වූ නොයෙක් බ්‍රාහ්මණවරුන් සිටියා.
එදා වාසෙට්ඨ, භාරද්වාජ යන තරුණයන් දෙදෙනා ව්‍යායාම පිණිස ඇවිදයද්දී, ඔබමොබ සක්මන් කරද්දී ඔවුන් අතර මේ කාථාව ඇතිවුනා.
“භවත, බ්‍රාහ්මණයෙක් වෙන්නේ කොහොමද?” භාරද්වාජ මාණවකයා මෙහෙම පිළිතුරු දුන්නා. “භවත, මව්පිය දෙපාර්ශවයෙන් ම පිරිසිදු වූ සුජාත උපතක් තියෙන්නට ඕන. මුතුන් මිත්තන් ගේ පරම්පරාවේ යුග සතක් දක්වා පිරිසිදු ග්‍රහණියකින් යුක්ත වෙන්නට ඕන. ජාතිවාදයෙන් බැහැර නො කරන්නට ඕන. ජාතිවාදයෙන් නො ගරහන්නට ඕන. භවත, මෙපමණකින් බ්‍රාහ්මණයෙක් වෙනවා.”
එතකොට වාසෙට්ඨ මාණවකයා මෙය පැවසුවා. “භවත, යම් කලෙක සිල්වත් වෙයි ද, යහපත් ගති පැවතුම් වලින් යුතු වෙයි ද, මෙපමණකිනුයි බ්‍රාහ්මණයෙක් වන්නේ.”
ඉතින් භාරද්වාජ මාණවකයා හට තම මතය වාසෙට්ඨ මාණවකයාට ඒත්තු ගන්නවන්නට පුළුවන් වුනේ නෑ. ඒ වගේ ම වාසෙට්ඨ මාණවකයා හට තම මතය ඒත්තු ගන්නවන්නට පුළුවන් වුණේ නෑ. එතකොට වාසෙට්ඨ මාණවකයා භාරද්වාජ තරුණයාට මෙය පැවසුවා.
“භවත් භාරද්වාජ, මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉච්ඡානංගලයෙහි ඉච්ඡානංගල වනපියසෙහි වැඩසිටිනවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ඝෝෂාවක් දසත පැන නැගී තිබෙනවා. ඒ කියන්නේ;
‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල.
භවත් භාරද්වාජ, අපි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැහැදකින්නට යමු. ගිහින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ඔය කරුණ අසමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් අයුරකින් පිළිතුරු දෙත් නම්, ඒ අයුරින් දරා ගනිමු.” “එසේය භවත” කියා භාරද්වාජ බ්‍රාහ්මණයා වාසෙට්ඨ මාණවකයාට පිළිතුරු දුන්නා.
ඉතින් වාසෙට්ඨ, භාරද්වාජ තරුණයන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව හුන් වාසෙට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“භවත් ගෞතමයන් වහන්ස, අපි ආචාර්යවරුන් ගේ පූර්ණ පරීක්ෂණයන් ගෙන් සමර්ථ වූ, අප ගේ දැනුම ප්‍රතිඥා දෙන ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ වෙමු. ඉතින් මං පොක්ඛරසාතී බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයෙක්. ඒ වගේ ම මේ තරුණයා තාරුක්ඛ බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයෙක්.
ත්‍රිවේද පාරප්‍රාප්ත බ්‍රාහ්මණයන් විසින් යමක් කියා ඇද්ද, ඒ සියල්ල ගැන ම අපි නිපුණ දැනුමකින් යුක්තයි. පදක, ව්‍යාකරණ, මන්ත්‍රජප ආදියෙහිලා අපි ගුරුවරුන් හා සම සමව ඉන්නවා.
භවත් ගෞතමයන් වහන්ස, ඒ අප අතර ජාතිවාදය පිළිබඳව කිසියම් විවාදයක් ඇතිවුනා. භාරද්වාජ මාණවකයා කියන්නේ ‘බ්‍රාහ්මණයෙක් වන්නේ උපතින්’ කියල යි. එහෙත් මම කියන්නේ ‘බ්‍රාහ්මණයෙක් වන්නේ තමා කරන ක්‍රියාවට අනුවයි’ කියල. දහම් ඇස් ඇති ශ්‍රමණයන් වහන්ස, අප අතර මෙවැනි විවාදයක් ඇති වූ බව දැනගත මැනැව.
ඉතින් ඒ අපි දෙදෙනාට මේ මතය එකිනෙකාට ඒත්තු ගන්වන්නට බැරිවුනා. එනිසා ලොව පුරා සම්මා සම්බුද්ධ ලෙස සුපතල වූ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීම පිණිසයි අපි ආවේ.
ලෝවැසි සත්වයා පූර්ණ චන්ද්‍රමණ්ඩලය දුටු කල්හි දෑත් එක්කොට එයට වන්දනා කරයි. එලෙසින් ම අපි ලෝකයට ඇති එකම ඇස බඳු ගෞතමයන් වහන්සේ වෙත පැමිණ ආදරයෙන් වන්දනා කොට ගෞතමයන් වහන්සේ ගෙන් මෙය අසමු.
බ්‍රාහ්මණයෙක් වන්නේ උපතින් ද? එසේත් නැත්නම් තමා විසින් කරන්නා වූ ක්‍රියාවට අනුව ද? මේ ගැන නො දන්නා අපි යම් අයුරකින් දැනගන්නෙමු නම් එලෙසින් සැබෑ බ්‍රාහ්මණයා පිළිබඳව අපට වදාරණ සේක්වා!”
එවිට භාග්‍යවතුන් වහන්සේ “පින්වත් වාසෙට්ඨයෙනි” කියා අමතා වදාළ සේක. “මම ඔබට ඒ ඒ ජාතීන් පිළිබඳව අනුපිළිවෙලින් කියා දෙන්නම්. ජාතීන් ගේ විස්තර විභාග පවසන්නම්. ඒ ඒ ජාතීන් අතර වෙනස්කම් පවසන්නම්.
තෘණ වර්ග, වෘක්ෂ වර්ග තියෙනවා. ඒවා තම තමන් ගේ ජාතීන් පිළිබඳව වෙනසක් දන්නෙ නෑ. නමුත් ඒ තෘණ, වෘක්ෂ අතර සටහන් වශයෙන්, උත්පත්තියෙන් ම ලැබූ එකිනෙකාට වෙනස් වූ විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා.
ඒ වගේ ම කුරාකුහුඹුවන් තෙක් නොයෙක් කීට පණුවන්, පළඟැටියන් ආදීන් ගැන බලන්න. ඔවුන් ගේ වෙනස් සටහන් තියෙනවා. උත්පත්තියෙන් ම ලැබූ එකිනෙකාට වෙනස් වූ විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා.
සිවුපාවන් ගැන බලන්න. ඔවුන් අතර කුඩා සතුන් ඉන්නවා. අතිවිශාල සතුන් ඉන්නවා. ඔවුන් සටහන් වශයෙනුත් වෙනස්. උත්පත්තියෙන් ම ලැබූ එකිනෙකාට වෙනස් වූ විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා.
උදරය පාද කරගත් සතුන් බලන්න. ඔවුන් තමයි දීර්ඝ පිටකින් යුක්ත උරගයෝ. ඔවුන් ගේ සටහන් වශයෙන් වෙනස්කම් තියෙනවා. උත්පත්තියෙන් ම ලැබූ එකිනෙකාට වෙනස් වූ විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා.
ජලයෙහි බැසගෙන සිටින එහි උපන් මත්ස්‍යයින් දෙස බලන්න. ඔවුන් ගේ සටහන් වශයෙන් වෙනස්කම් තියෙනවා. උත්පත්තියෙන් ම ලැබූ එකිනෙකාට වෙනස් වූ විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා.
පියාපත් යානා කොට අහසෙහි ඇවිදයන පක්ෂින් දෙස බලන්න. ඔවුන් ගේ සටහන් වශයෙන් වෙනස්කම් තියෙනවා. උත්පත්තියෙන් ම ලැබූ එකිනෙකාට වෙනස් වූ විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා.
එතකොට ඔය ජාතීන් තුළ උපතින් ම හටගත්, විවිධාකාර වෙනස්කම් බහුල වශයෙන් තිබෙනවා. එහෙත් මනුෂ්‍ය වර්ගයා අතර උපතින් ම හටගත් විවිධාකාර වෙනස්කම් බහුල වශයෙන් නැහැ නෙව.
මනුෂ්‍යයන් අතර කෙස් වල වෙනසක් නැහැ. හිසෙහි වෙනසක් නැහැ. කන් වල වෙනසක් නැහැ. ඇස් වල වෙනසක් නැහැ. මුඛයෙහි වෙනසක් නැහැ. නාසයෙහි වෙනසක් නැහැ. තොල්වල වෙනසක් නැහැ. ඇහිබැම වල වෙනසක් නැහැ.
බෙල්ලෙහි වෙනසක් නැහැ. උරහිස්වල වෙනසක් නැහැ. කුසෙහි වෙනසක් නැහැ. පිටෙහි වෙනසක් නැහැ. බඩවැල් වල වෙනසක් නැහැ. උරයෙහි වෙනසක් නැහැ. රහස් තැන්වල වෙනසක් නැහැ. මෛථූන සේවනයෙහි වෙනසක් නැහැ.
අත්වල වෙනසක් නැහැ. පා වල වෙනසක් නැහැ. ඇඟිලි වල වෙනසක් නැහැ. නියපොතු වල වෙනසක් නැහැ. කෙණ්ඩා වල වෙනසක් නැහැ. කලවයෙහි වෙනසක් නැහැ. හැඩරුවෙහි වෙනසක් නැහැ. ස්වරයෙහි වෙනසක් නැහැ. වෙනත් සත්ව ජාතීන් තුළ උපතින් ම හටගන්නා වූ වෙනස්කම් මිනිසුන් තුළ නැහැ නෙව.
මිනිස් ශරීරවල වෙන් වෙන් වශයෙන් දැක්ක හැකි වෙනස්කමක් පෙනෙන්නට නැහැ. නමුත් මිනිසුන් අතර ව්‍යවහාරයේ දී හඳුනාගැනීම් පිණිස වෙනස්කම් ඇතැයි කියනවා.
මිනිසුන් අතර යමෙක් කෘෂිකර්මය, ගවපාලනය ආදියෙන් ජීවත් වෙනවා ද, පින්වත් වාසෙට්ඨ, ඔහු ගැන දැනගන්නේ ‘ගොවියෙක්’ හැටියට යි. බමුණෙක් හැටියට නො වෙයි.
මිනිසුන් අතර යමෙක් නොයෙක් ශිල්ප ශාස්ත්‍ර වලින් ජීවත් වෙනවා ද, පින්වත් වාසෙට්ඨ, ඔහු ගැන දැනගන්නේ ‘ශිල්පියෙක්’ හැටියට යි. බමුණෙක් හැටියට නො වෙයි.
මිනිසුන් අතර යමෙක් වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් ජීවත් වෙනවා ද, පින්වත් වාසෙට්ඨ, ඔහු ගැන දැනගන්නේ ‘වෙළෙන්දෙක්’ හැටියට යි. බමුණෙක් හැටියට නො වෙයි.
මිනිසුන් අතර යමෙක් අනුන්ට බැලමෙහෙවර කිරීමෙන් ජීවත් වෙනවා ද, පින්වත් වාසෙට්ඨ, ඔහු ගැන දැනගන්නේ ‘මෙහෙකාරයෙක්’ හැටියට යි. බමුණෙක් හැටියට නො වෙයි.
මිනිසුන් අතර යමෙක් සොරකම් කරමින් ජීවත් වෙනවා ද, පින්වත් වාසෙට්ඨ, ඔහු ගැන දැනගන්නේ ‘සොරෙක්’ හැටියට යි. බමුණෙක් හැටියට නො වෙයි.
මිනිසුන් අතර යමෙක් අවි ආයුධ දරමින් ජීවත් වෙනවා ද, පින්වත් වාසෙට්ඨ, ඔහු ගැන දැනගන්නේ ‘හමුදාකාරයෙක්’ හැටියට යි. බමුණෙක් හැටියට නො වෙයි.
මිනිසුන් අතර යමෙක් යාග හෝම කරමින් අනුශාසන කොට ජීවත් වෙනවා ද, පින්වත් වාසෙට්ඨ, ඔහු ගැන දැනගන්නේ ‘යාගකරන්නෙක්’ හැටියට යි. බමුණෙක් හැටියට නො වෙයි.
මිනිසුන් අතර යමෙක් ගමිනුත් රටිනුත් ලැබෙන ආදායමින් ජීවත් වෙනවා ද, පින්වත් වාසෙට්ඨ, ඔහු ගැන දැනගන්නේ ‘රජෙක්’ හැටියට යි. බමුණෙක් හැටියට නො වෙයි.
යමෙක් මවකගේ යෝනියෙන් ඉපදුන පමණින් ඔහු බ්‍රාහ්මණයෙක් ය කියා මා කියන්නේ නැහැ. ඉදින් ඔහු කෙලෙස් සහිතව ඉඳිමින් ‘භවත, භවත’ කියා කිව්වාට එය ඔහුට නමක් විතරයි. යමෙක් කෙලෙස් රහිත ද, උපාදාන රහිත ද ඔහුට තමයි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
සියළු කෙලෙස් බන්ධන සිඳ දැමූ යමෙක් ඒකාන්තයෙන් ම කිසිවකට කම්පා නො වෙයි ද, ඒ රාගාදී කෙලෙස් ඉක්මවා ගිය ලොව කිසිවක් හා එක්නොවී සිටින තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
ආශාව නැමැති කෙලෙස් වරපට සිඳ දැමූ කෙලෙස් තොණ්ඩුව ද, කෙලෙස් ගැට ද විනාශ කළ, අවිද්‍යාව නැමැති දොර අගුළු කඩා බිඳ දැමූ, චතුරාර්ය සත්‍යය අවබෝධ කළ මුනිවරයාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් දුෂ්ඨ රහිත සිතින් සිටිමින්, ආක්‍රෝශ නින්දා වධබන්ධන ඉවසයි ද, ඉවසීම ම බලය කොට, ඉවසීම ම බලසේනාව කොට ඇති තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
ක්‍රෝධ නො කරන්නා වූ, වත් පිළිවෙතින් යුතු වූ, සීලවන්ත වූ, නිකෙලෙස් වූ, මුළුමනින් ම දමනයට පත් වූ, අන්තිම ශරීරයක් දරා සිටින කෙනාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
නෙළුම් කොළයක නො රැඳී බිම වැටෙන දිය බිඳුවක් වැනි වූ, හිඳිකටු තුඩ අග නො රැඳී බිම වැටෙන අබ ඇටයක් බඳු වූ යමෙක් කාමයන් කෙරෙහි කිසිසේත් නො රැඳෙයි ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් මේ ජීවිතය තුළ දී ම දුක අවබෝධ කරල, ඒ දුකෙහි ක්ෂය වීම තමා තුළින් ම දැකල කෙලෙස් බර බැහැර කොට ලොව කිසිවක් කෙරෙහි එක් නොවී වසයි ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
ගැඹුරු ප්‍රඥාවකින් යුතු නුවණැත්තෙක් මග නො මග දෙකෙහි හසළ දැනුමකින් යුතු වෙයි ද, උත්තම අර්ථය වන අරහත්වයට පැමිණ සිටියි ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
ගිහියන් හා නො ඇලී වසයි ද, ඒ වගේ ම අනගාරික වූ පිරිස් සමඟ ද නො ඇලීමෙන් සිටියි ද, ඒ වගේ ම කිසිවක් කෙරෙහි නො ඇලී සිටියි ද, අල්පේච්ඡ වූ ඒ තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
කෙලෙස් සහිත සත්වයන් කෙරෙහි ද, කෙලෙස් රහිත සත්වයන් කෙරෙහි ද, දඬු මුගුරු අත්හළ යමෙක් කිසිවෙකුත් නො නසයි ද, හිංසා නො කරයි ද, ඒ තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
තමා කෙරෙහි වෛරීව දඬු මුගුරු ගත් පුද්ගලයන් කෙරෙහි මෙත් සිතින් සිටින, නිවී ගිය සිත් ඇති උපාදාන සහිත කිසිවකට උපාදාන නොවූ යමෙක් වෙයි ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යම් කෙනෙකු තුළ රාගය ත්, ද්වේශය ත්, මාන්නය ත්, ගුණමකු බවත් හිඳි කටු තුඩ’ඟින් ගිළිහී වැටෙන අබ ඇටයක් පරිද්දෙන් ගිළිහී යයි ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් යම් වචනයකින් කිසිවෙකු සමඟ නො ගැටෙයි ද, ආක්‍රෝශ වචන නො කියයි ද, සත්‍ය වූ වචන ම කියයි ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් දීර්ඝ වේවා, කෙටි වේවා, අණුමාත්‍ර වේවා, විශාල වේවා, සුභ වේවා, අසුභ වේවා, ලොවෙහි නුදුන් කිසිවක් නො ගනියි ද, අන්න ඒ තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙකු තුළ මෙලොව පිළිබඳව හෝ පරලොව පිළිබඳව හෝ ආශාවක් නැද්ද, ආශා රහිතව කිසිවකට නො ඇලී සිටියි ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙකු තුළ කිසි ආලයක් නැද්ද, අවබෝධය පිළිබඳව ‘කෙසේද, කෙසේද’ යන සැකය නැද්ද, ඒ අමා නිවන තුළට පැමිණ සිටියි ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යම් කෙනෙක් මෙලොව දී ම පින ත්, පව ත් යන දෙක ම ඉක්මවා ගියා ද, ශෝක රහිත වූ, කෙලෙස් රහිත වූ, පිරිසිදු වූ ඒ තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
නිර්මල වූ, පිරිසිදු වූ, පුන්සඳ මඬල බඳු ඉතා පහන් වූ නො කැළඹී ගියා වූ තෘෂ්ණාව ත්, භවය ත් ක්ෂය වී ගිය යමෙක් සිටියි ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් දුක් කරදර සහිත වූ, ගමනින් දුෂ්කර වූ, මේ සසර තරණය කොට මෝහය ඉක්මවා ගියා ද, සසරෙන් එතෙර වුණා ද, ධ්‍යාන වඩයි ද, කෙලෙස් රහිත වූත්, සැක රහිත වූත්, උපාදාන රහිත වූත් නිවී ගිය ඒ තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් මෙහිදී ම කාමයන් අත්හැර අනගාරිකව පැවිදිව කාම, භව සියල්ල ක්ෂය කරන ලද්දේ ද, අන්න ඒ තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් මෙහිදී ම තෘෂ්ණාව ප්‍රහාණය කොට අනගාරිකව පැවිදිව තෘෂ්ණා, භව සියල්ල ක්ෂය කරන ලද්දේ ද, අන්න ඒ තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් මිනිස් ලොවට බැඳෙන කෙලෙස් අත්හැර, දිව්‍ය ලොවට බැඳෙන කෙලෙසුන් ද අත්හැර ඒවා ඉක්ම ගියේ වේද, සියලු ම ක්ලේශයන් ගෙන් නිදහස්ව එයට නො ඇලී සිටියේ ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් පංචකාම ගුණයන්ට ඇති ආශාව නම් වූ රතිය ත්, ධර්මයෙහි හැසිරෙන්නට ඇති අකමැත්ත නම් වූ අරතිය ත් හැර දමා සිහිල්ව නිවී ගියේ වේ ද, කෙලෙස් රහිත වූයේ වේ ද, සියලු ලෝකය අභිබවා ගිය වීර වූ ඔහුටයි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් සත්වයන් ගේ චුතියත් උපතත් සර්වප්‍රකාරයෙන් ම දන්නේ ද, කිසිවකට නො ඇලුණු සුගත වූ ආර්ය සත්‍යාවබෝධ කළා වූ ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් උපදින්නේ කොහේ දැයි කියා දිව්‍ය, ගාන්ධර්ව, මනුෂ්‍ය ආදී කිසිවෙකුටත් සොයා ගත නො හැකි ද, එබඳු වූ ක්ෂීණාශ්‍රව වූ, අරහත්වයට පත් තැනැත්තාට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙකුට අනාගතය පිළිබඳව හෝ අතීතය පිළිබඳව හෝ වර්තමානය පිළිබඳව හෝ කිසි බැඳීමක් නැද්ද, කිසිවෙකුට නො බැඳුන, කිසිවෙකුට උපාදාන නො වුන, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
ශ්‍රේෂ්ඨ වූ, උත්තම වූ මහා වීරිය ඇති, මහා ඍෂි වූ මර සෙනඟ පරදවා දිනන ලද්දා වූ, කෙලෙස් රහිත වූ, කෙලෙස් සොදා හළ ආර්ය සත්‍යාවබෝධ කළ ඔහුටයි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
යමෙක් පෙර විසූ කඳ පිළිවෙල දනියි ද, ස්වර්ගය ත්, අපාය ත් දකියි ද, ඒ වගේ ම ඉපදීම ක්ෂය කොට නිවනට පත්වූයේ වේ ද, ඔහුට යි මම ‘බ්‍රාහ්මණයා’ කියන්නේ.
මේ ලෝකයෙහි තිබෙන නොයෙක් නාම ගෝත්‍ර ඇද්ද, මේවා සාමාන්‍ය ලෝකයා විසින් කල්පනා කොට තබන ලද ව්‍යවහාරික නම් විතරයි. ඒ ඒ තැන්වල දී, ඒ ඒ අය හඳුනාගන්නටයි මේ නම් කල්පිතව ගොඩනගන්නේ.
නමුත් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මේ නම් ඇසුරින් මිනිසුන් තුළ මුල්බැස ගත් විවිධාකාර දෘෂ්ඨීන් තිබෙන බව ඔවුන් දන්නෙ නැහැ. ඒ නො දන්නා නිසා ම ඔවුන් කියනවා ‘බ්‍රාහ්මණයෙක් වෙන්නෙ උපතින්’ කියල.
උපතකින් බ්‍රාහ්මණයෙක් වන්නේ නැහැ. උපතකින් අබ්‍රාහ්මණයෙක් වන්නෙත් නැහැ. ක්‍රියාවෙනුයි බ්‍රාහ්මණයෙක් වන්නේ. ක්‍රියාවෙනුයි අබ්‍රාහ්මණයෙක් වන්නෙත්.
ක්‍රියාවෙනුයි ගොවියෙක් වන්නේ. ඒ වගේ ම ශිල්පියෙක් වන්නෙත් ක්‍රියාවෙනුයි. ක්‍රියාවෙනුයි වෙළෙන්ඳෙක් වන්නේ. ඒ වගේ ම කම්කරුවෙක් වන්නෙත් ක්‍රියාවෙනුයි.
සොරෙක් වන්නෙත් ක්‍රියාවෙනුයි. හමුදාකාරයෙක් වන්නෙත් ක්‍රියාවෙනුයි. යාගහෝම කරන්නෙක් වන්නෙත් ක්‍රියාවෙනුයි. රජෙකු වන්නෙත් ක්‍රියාවෙනුයි.
මේ ආකාරයෙන් පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ප්‍රත්‍යයන් තුළින් හට ගැනීම සිදුවන බව දකින්නා වූ කර්ම විපාකයන් පිළිබඳව දක්ෂ වූ නුවණැත්තන් ක්‍රියාව ඒ අයුරින් ම දකිනවා.
ලෝකය පවතින්නේ ක්‍රියාව මතයි. සත්ව ප්‍රජාව පවතින්නේත් ක්‍රියාව මතයි. රථය නො ගැලවී සිර වී තිබෙන්නේ කඩ ඇණය නිසයි. එලෙසින් ම සත්වයෝ තම තමන් ගේ ක්‍රියාව මත සිරවී සිටිනවා.
තපසිනුත් බ්‍රහ්මචරියාවෙනුත් සංවර වීමෙනුත් දමනය වීමෙනුත් යන මේ කරුණු වලින් තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ. මෙම ක්‍රියාවෙන් යුතු කෙනා උතුම් බ්‍රාහ්මණයෙක්.
පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය යන ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ ශාන්ත වූ, පුනර්භවය ක්ෂය කරන ලද්දා වූ යමෙක් වේ ද පින්වත් වාසෙට්ඨ, ඔහුව කරුණු දන්නා නුවණැතියන් ගේ බසින් හඳුනා ගන්න, ඔහු තමයි බ්‍රහ්මයා! ඔහු තමයි ශක්‍රයා!”
මෙසේ වදාළ විට වාසෙට්ඨ, භාරද්වාජ බ්‍රාහ්මණ තරුණයන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙ යි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වවූවා වගෙ යි. ඔන්න ඔය විදියට යි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් අපි ත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයන් වශයෙන් අපව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
වාසෙට්ඨ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M