මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහත් භික්ෂුසංඝයා සමඟ චාරිකාවෙහි වඩිමින් සිටිය දී කොසොල් දනව්වැසි බ්‍රාහ්මණයන් ගේ ඕපසාද නම් වූ ගම්මානයට වැඩම කොට එහි වාසය කළා. එහිදී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ඒ ඕපසාද බ්‍රාහ්මණ ගම්මානයට උතුරු දෙස වූ දේවවන නම් සාල වනෝද්‍යානයෙහි. ඒ දිනවල පසේනදී කොසොල් රජු විසින් රාජ පරිත්‍යාගයක් ලෙස බ්‍රහ්ම දායාදයක් ලෙස දෙන ලද බොහෝ ජනයා සහිත තෘණ, දර, ජලය සහිත ධාන්‍ය සහිත ඕපසාද ගමෙහි චංකී නම් බ්‍රාහ්මණයෙක් අධිපතිව වාසය කළා.
ඕපසාද ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙය අසන්නට ලැබුනා. ‘ශාක්‍ය කුලයෙන් පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහත් භික්ෂුසංඝයා සමඟ චාරිකාවෙහි වඩිමින් සිටිය දී ඕපසාද ගම්මානයට වැඩම කොට, ඕපසාද ගම්මානයට උතුරු දෙස වූ දේවවන නම් සාල වනෝද්‍යානයෙහි වැඩවාසය කරනවා.
ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ඝෝෂාවක් දසත පැන නැගී තිබෙනවා.” ඒ කියන්නේ; ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල.
ඒ වගේ ම උන්වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය වූ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරගත් ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, සමාප්තිය වූ කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබියා වූ මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මඟ ප්‍රකාශ කරනවා. මෙබඳු වූ රහතුන් ගේ දැක්ම කොතරම් අගේ ද” කියා ය.
ඉතින් ඕපසාද ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන් ඕපසාදයෙන් නික්ම උතුරු දිශාවට අභිමුඛව පිරිස් වශයෙන්, කණ්ඩායම් වශයෙන් සැදී දේවවන නම් සාල වනෝද්‍යානය දෙසට පිටත් වුනා. එවේලෙහි චංකී බ්‍රාහ්මණයා දවල් කාලයෙහි සැතපීම පිණිස තම නිවසෙහි උඩු මහල් තලයට පැමිණියා. එහිදී චංකී බ්‍රාහ්මණයාට කණ්ඩායම් වශයෙන් සැදුන, පිරිස් වශයෙන් සැදුන ඕපසාද ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන් උතුරු දිශාවට අභිමුඛව දේවවන නම් සාල වනෝද්‍යානයට යන අයුරු දකින්නට ලැබුනා. දැක ඛත්ත නම් අමාත්‍යයාට මෙහෙම කිව්වා. “භවත් ඛත්ත, අර මොකද? ඕපසාදවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන් පිරිස් වශයෙන් සැදී, කණ්ඩායම් වශයෙන් සැදී උතුරු දිශාව පැත්තට දේවවන නම් සල්වනය පැත්තට යන්නේ?”
“භවත් චංකී, ශාක්‍ය කුලයෙන් පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහත් භික්ෂුසංඝයා සමඟ චාරිකාවෙහි වඩිමින් සිටිය දී කොසොල් දනව්වැසි බ්‍රාහ්මණයන් ගේ ඕපසාද නම් වූ ගම්මානයට වැඩම කොට එහි වාසය කරනවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ඝෝෂාවක් දසත පැන නැගී තිබෙනවා. ඒ කියන්නේ;
‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල. අන්න ඒ භවත් ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යි ඔය යන්නේ.”
“එසේ වී නම් භවත් ඛත්ත, ඕපසාදවැසි බ්‍රාහ්මණ ගෘහපතියන් වෙත යන්න. ගිහින් ඕපසාද බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙසේ කියන්න. ‘භවත්නි, මොහොතක් සිටිත්වා! චංකී බ්‍රාහ්මණයා ත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව දැකීම පිණිස එන්නට කැමතියි’ කියල.” “එසේය භවත” කියා ඒ ඛත්ත අමාත්‍යයා ද චංකී බ්‍රාහ්මණයාට පිළිතුරු දී ඕපසාදවැසි බ්‍රාහ්මණ ගෘහපතියන් වෙත ගියා. ගිහින් ඕපසාද බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙසේ කිව්වා ‘භවත්නි, මොහොතක් සිටිත්වා! චංකී බ්‍රාහ්මණයා ත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව දැකීම පිණිස එන්නට කැමතියි’ කියල.
ඒ දිනවල නා නා ප්‍රදේශවලින් පැමිණි පන්සියයක් පමණ බ්‍රාහ්මණවරුනුත් යම්කිසි කරුණක් පිණිස ඕපසාද ගමෙහි නැවතිලා සිටියා. ඔවුන්ට ‘චංකී බ්‍රාහ්මණයා ශ්‍රමණ භවත් ගෞතමයන් දකින්නට යනවා’ යන කරුණ අසන්නට ලැබුණා. ඉතින් ඒ බ්‍රාහ්මණවරුන් චංකී බ්‍රාහ්මණයා වෙත පැමිණුනා. පැමිණ චංකී බ්‍රාහ්මණයාට මෙය පැවසුවා. “භවත් චංකී, ඔබ ‘ශ්‍රමණ ගෞතමයන් දකින්නට යන්නේ ය’ යන කරුණ සැබෑවක් ද?”
“භවත්නි, මට ත් මෙසේ සිතුනා. මාත් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේව දකින්නට යන්නට ඕන කියලා.”
“භවත් චංකී, ශ්‍රමණ ගෞතමයන් දකින්නට යන්නට එපා! භවත් චංකී, ශ්‍රමණ ගෞතමයන් දකින්නට යෑම සුදුසු නෑ. නමුත් ශ්‍රමණ ගෞතමයන් නම්, භවත් චංකීව බැහැදකින්නට පැමිණීම සුදුසුයි. භවත් චංකී වනාහී මව් පිය දෙපාර්ශවයෙන් ම සුජාත උපතක් ලද කෙනෙක් නෙව. සත්වෙනි මුත්තන් ගේ යුගය දක්වා ශුද්ධ වූ ග්‍රහණියක් ඇති කෙනෙක් නෙව. ජාතිවාදයෙන් අක්‍රෝශ නො කරන ලද්දෙක් නෙව. බැහැර නො කරන ලද්දෙක් නෙව. ඉතින් එහෙම එකේ භවත් චංකී ශ්‍රමණ ගෞතමයන්ව දකින්නට යන එක සුදුසු නැහැ.
භවත් චංකී, මහත් ධන ඇති, මහත් භෝග සම්පත් ඇති ආඪ්‍ය කෙනෙක් නෙව. ….(පෙ)…. භවත් චංකී, ත්‍රිවේධ පාරප්‍රාප්ත කෙනෙක් නෙව. නිඝණ්ඩු, ඛේඨූභ, අක්ෂර ප්‍රභේද හා ඉතිහාසය පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදිය ත්, ලෝකායත මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ත් පිළිබඳව හසළ නුවණ තියෙනවා නෙව. ….(පෙ)…. භවත් චංකී, අභිරූපවත් දර්ශනීය වූත්, ප්‍රසාදය ඇතිකරවන්නා වූත්, පරම වර්ණයෙන් යුතු, බ්‍රහ්ම වර්ණයෙන් යුතු, මහබඹුගේ සිරුරේ පැහැය ඇති කෙනෙක් නෙව. දකින්නට අවකාශ ලබාගන්නටත් අසීරුයි නෙව. ….(පෙ)…. භවත් චංකී, සිල්වත් කෙනෙක් නෙව. වැඩුණු සිල් ඇති කෙනෙක් නෙව. වැඩුණු සීලයෙන් සමන්විත කෙනෙක් නෙව. ….(පෙ)…. භවත් චංකී, කල්‍යාණ වචන ඇති, මධුර කතා ඇති, ශිෂ්ට වචන ඇති, නො විසුරුණු වචන ඇති, මනා කොට අරුත් පහදන්නට සමර්ථ, කෙළතොළු නො වූ බස් ඇති කෙනෙක් නෙව. ….(පෙ)…. භවත් චංකී, බොහෝ දෙනා හට ආචාර්ය ප්‍රාචාර්යව තුන්සියයක් මාණවකයන් හට වේද මන්ත්‍ර හදාරවන කෙනෙක් නෙව. ….(පෙ)…. භවත් චංකී, පසේනදී කොසොල් රජු විසිනුත් සත්කාර කරන ලද, ගෞරව කරන ලද, මානන කරන ලද, පුදන ලද, ඇප උපස්ථාන කරන ලද කෙනෙක් නෙව. ….(පෙ)…. භවත් චංකී, පසේනදී කොසොල් රජු විසින් රාජ පරිත්‍යාගයක් ලෙස බ්‍රහ්ම දායාදයක් ලෙස දෙන ලද බොහෝ ජනයා සහිත තෘණ, දර, ජලය සහිත ධාන්‍ය සහිත ඕපසාද ගමෙහි අධිපතිව සිටින කෙනෙක් නෙව. ඉතින් එහෙම එකේ භවත් චංකී ශ්‍රමණ ගෞතමයන්ව දකින්නට යන එක සුදුසු නැහැ. ශ්‍රමණ ගෞතමයන් තමයි චංකී භවතාණන් බැහැදකින්නට පැමිණීමට සුදුසු.”
මෙසේ පැවසූ විට චංකී බ්‍රාහ්මණයා ඒ බ්‍රාහ්මණයන් හට මෙසේ පැවසුවා. “එසේ වී නම් භවත්නි, ඒ භවත් ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යෑම පිණිස අපි ම සුදුසු වෙනවා නම්, ඒ වගේ ම ඒ භවත් ගෞතමයන් වහන්සේ අපිව දකින්නට පැමිණීම නුසුදුසු වෙනවා නම්, ඒ කොයි අයුරින් ද කියා මගේ වචනයත් අසන්න.
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වනාහී මව් පිය දෙපාර්ශවයෙන් ම සුජාත උපතක් ලද කෙනෙක්. සත්වෙනි මුත්තන් ගේ යුගය දක්වා ශුද්ධ වූ ග්‍රහණියක් ඇති කෙනෙක්. ජාතිවාදයෙන් අක්‍රෝශ නො කරන ලද්දෙක්. බැහැර නො කරන ලද කෙනෙක්. මේ අංගයෙනුත් අපව දකින්නට භවත් ගෞතමයන් වහන්සේ පැමිණීම නුසුදුසු ම යි. නමුත් අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ බැහැදකින්නට යන එක සුදුසු ම යි.
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ භූමිගත වූ ත්, ආකාශගත වූ ත් හිරණ්‍ය ස්වර්ණ ආදිය, මහා ධන සම්පත් අත්හැරලයි පැවිදි වෙලා තියෙන්නේ. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ළදරු වයසේ දී ම කලු කෙස් ඇතිව සිටිය දී ම, භද්‍ර යෞවනයෙන් සිටිය දී ම, ප්‍රථම වයසෙහි දී ම යි ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දට පත්වෙලා තියෙන්නේ ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ, දෙමව්පියන් අකමැත්තෙන් සිටිය දී ම කඳුළු පිරුණු මුහුණින් අඬමින් සිටිය දී ම යි කෙස් රැවුල් බා කසාය වස්ත්‍ර පොරවා ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙලා තියෙන්නෙ. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉතා රූප සම්පන්න යි. ඉතාමත් දර්ශනීය යි, ප්‍රසාදය ඇතිකරවනවා, පරම වර්ණයෙන් යුක්තයි, බ්‍රහ්ම වර්ණයෙන් යුතු, මහබඹුගේ සිරුරේ පැහැයෙන් යුක්තයි. දකින්නට අවකාශ ලබාගන්නට ත් අසීරුයි. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉතා සීලවන්තයි. ආර්ය සීලයෙන් යුක්තයි. කුසල සීලයෙන් යුක්තයි. කුසල සීලයෙන් සමන්වාගතයි. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කල්‍යාණ වචනයෙන් යුක්තයි, මධුර කතාවෙන් යුක්තයි, ශිෂ්ට වචන ඇති, නො විසුරුණු වචන ඇති, කෙළතොළු නොවූ බස් ඇති, මනා කොට අරුත් පහදන්නට සමර්ථයි. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ බොහෝ දෙනා හට ආචාර්ය ප්‍රාචාර්යව සිටිනවා. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කාමරාගය ක්ෂය කරල යි ඉන්නෙ. චපලබව පහකරලයි ඉන්නෙ. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කර්මවාදී කෙනෙක්. ක්‍රියාවාදී කෙනෙක්. බ්‍රාහ්මණයන් සහිත වැදගත් සමාජය පෙරටු කොට සිටින කෙනෙක්. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ උසස් කුලයෙන් අමිශ්‍ර වූ ක්ෂත්‍රීය කුලයෙන් පැවිදි වූ කෙනෙක්. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත් ධන ඇති, මහත් භෝග සම්පත් ඇති ආඪ්‍ය කුලයෙන් පැවිදි වූ කෙනෙක්. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ගෙන් කරුණු අසා ගන්නට පිටරටවලින්, පිටස්තර ජනපදවලින් බොහෝ පණ්ඩිත ජනයා පැමිණෙනවා. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේව නොයෙක් දහස් ගණන් දෙවිවරුන් පවා දිවි හිමියෙන් සරණ ගිහින් තියෙනවා. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙවැනි වූ කල්‍යාණ කීර්ති රාවයකින් ද යුක්ත යි. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකින් යුක්තයි. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේව මගධේශ්වර සේනිය බිම්බිසාර රජු පුත්‍රභාර්යාවන් සමඟ සරණ ගිහින් තියෙන්නෙ. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේව පසේනදී කොසොල් රජු පුත්‍රභාර්යාවන් සමඟ සරණ ගිහින් තියෙන්නෙ. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේව පොක්ඛරසාතී බ්‍රාහ්මණා ද, පුත්‍රභාර්යාවන් සමඟ සරණ ගිහින් තියෙන්නෙ. ….(පෙ)….
භවත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඕපසාද ගම්මානයට වැඩම කරලා ඕපසාදයට උතුරු දිශාවෙන් වූ දේවවන නම් සල්වනයෙහි වැඩසිටිනවා. යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා අප ගේ ගම් කෙතට පැමිණිය හොත් ඔවුන් අප ගේ ආගන්තුකයන්. අප විසින් ආගන්තුකයින් හට සත්කාර කළ යුතුයි. ගෞරව කළ යුතුයි. මානන කළ යුතුයි. පිදිය යුතුයි. ඉතින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ත් ඕපසාදයට වැඩම කොට ඕපසාදයට උතුරින් වූ දේවවන නම් සල්වනයෙහි වැඩඉන්නවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපට ආගන්තුකයෙක්. ඉතින් අප විසින් ඒ ආගන්තුකයන් වහන්සේට සත්කාර කළ යුතුයි. ගෞරව කළ යුතුයි. මානන කළ යුතුයි. පිදිය යුතුයි. මේ අංගයෙනුත් අපව දකින්නට භවත් ගෞතමයන් වහන්සේ පැමිණීම නුසුදුසු ම යි. නමුත් අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ බැහැදකින්නට යන එක සුදුසු ම යි.
භවත්නි, ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ ගුණ ගැන මං ඔපමණයි දන්නෙ. නමුත් භවත්නි, ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙපමණ ගුණයකින් පමණක් යුක්ත නෑ. ඒ භවත් ගෞතමයන් වහන්සේ පමණ කළ නො හැකි ගුණ සම්පත්තියෙන් යුක්තයි. භවත්නි, ඒ එක එක ගුණාංගයක් ගත්තත්, අපව දකින්නට භවත් ගෞතමයන් වහන්සේ පැමිණීම නුසුදුසු ම යි. නමුත් අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ බැහැදකින්නට යන එක සුදුසු ම යි. භවත්නි, එනිසා අපි හැමෝම එක්වෙලා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ බැහැදකින්නට යමු.”
ඉතින් චංකී බ්‍රාහ්මණයා මහත් බ්‍රාහ්මණ පිරිසක් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු වූ පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩි වුනා. එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ ඉතා වයෝවෘද්ධ බ්‍රාහ්මණ පිරිසක් සමඟ කිසියම් වැදගත් කතා බහක නියැලී සිටියා.
එවේලෙහි කාපටික නම් බ්‍රාහ්මණ තරුණයෙක් සිටියා. ඔහු ළදරු යි. ඉවත් කළ කෙස් වලින් යුක්තයි. උපතින් සොළොස් හැවිරිදි යි. ඍග්, යජූර්, ශ්‍යාම් යන ත්‍රිවේද පාරප්‍රාප්ත යි. නිඝණ්ඩු, ඛේඨූභ, අක්ෂර ප්‍රභේද හා ඉතිහාසය පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදිය ත්, ලෝකායත මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ත් පිළිබඳව හසළ නුවණ තියෙනවා. ඔහුත් ඒ පිරිස අතර වාඩි වෙලා සිටියා. ඉතින් ඔහු භාග්‍යවතුන් වහන්සේ සමඟ වයෝවෘද්ධ බ්‍රාහ්මණයින් කතා බස් කරද්දී එයට බාධා වන පරිදි මැදින් කතා කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ “ආයුෂ්මත් භාරද්වාජ, මා සමඟ කතා බස් කරමින් සිටින වයෝවෘද්ධ වූ බ්‍රාහ්මණයින්ට බාධාවන කතාවන් කරන්නට එපා! ආයුෂ්මත් භාරද්වාජ, මේ කතාව අවසාන වන තෙක් ඉන්න” කියා කාපටික මාණවකයාව බැහැරට දැම්මා.
මෙසේ පැවසූ විට චංකී බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, කාපටික තරුණයාව බැහැර නො කරන සේක්වා! කාපටික මාණවකයා හොඳ කුල පුත්‍රයෙක්. කාපටික මාණවකයා බහුශ්‍රැත යි. කාපටික මාණවකයා මධුර කථාවෙන් යුක්තයි. කාපටික මාණවකයා ඤාණවන්ත යි. කාපටික මාණවකයා භවත් ගෞතමයන් වහන්සේ සමඟ මේ වචනය පිළිබඳව කරුණු දක්වන්නට සමර්ථ යි.”
එවිට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවුනා. “සැබැවින් ම කාපටික මාණවකයා ත්‍රිවේධ සංඛ්‍යාත වේද වචනය හදාරා තිබෙනවා වගෙයි. ඒ නිසයි බ්‍රාහ්මණයන් ඔහුව පෙරටුව තබාගෙන හැසිරෙන්නේ.” එවිට කාපටික මාණවකයාට මෙසේ සිතුනා. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් වෙලාවක උන්වහන්සේ ගේ ඇසින් මගේ ඇස දෙස බලනවා ද, එතකොට මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් ප්‍රශ්නයක් අසනවා.”
එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ සිතින් කාපටික තරුණයා ගේ අදහස දැනගෙන කාපටික තරුණයා දෙස දෑසින් බැලුවා. එවිට කාපටික මාණවකයාට මෙය සිතුනා. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මා ගැන සිතනවා. මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් ප්‍රශ්නයක් අසන එක තමයි හොඳ.” ඉතින් කාපටික මාණවකයා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙය ඇසුවා.
“භවත් ගෞතමයන් වහන්ස, යම් මේ පැරණි බ්‍රාහ්මණයන් ගේ පරම්පරාවෙහි පිටක සම්ප්‍රදාය තුළ ‘මෙය මෙසේ වුනා’ යනාදී යම් වේද මන්ත්‍ර ඇද්ද, එහිලා බ්‍රාහ්මණයන් එය ඒ අයුරින් ම දරාගෙන සිටිනවා. ‘මෙය තමයි සත්‍යය. අන් සියල්ල හිස්’ කියා. මේ ගැන භවත් ගෞතමයන් වහන්සේ කුමක් ද කියන්නේ?”
“පින්වත් භාරද්වාජ, ඒ බ්‍රාහ්මණයන් අතුරින් එක බ්‍රාහ්මණයෙක් හරි ඉන්නවා ද මෙන්න මේ විදිහට කියන. ‘මෙය මම දන්නවා. මෙය මම දකිනවා එනිසා මෙය යි සත්‍යය. අනිත් දේවල් හිස්’ කියල.”
“භවත් ගෞතමයන් වහන්ස, එහෙම නෑ.”
“පින්වත් භාරද්වාජ, ඒ බ්‍රාහ්මණයන් අතුරින් එක බ්‍රාහ්මණ ආචාර්යවරයෙක් වේවා ප්‍රාචාර්යවරයෙක් වේවා, සත්වෙනි ආචාර්ය පරම්පරාව දක්වා කවුරුවත් ඉන්නවා ද මෙන්න මේ විදිහට කියන. ‘මෙය මම දන්නවා. මෙය මම දකිනවා එනිසා මෙය යි සත්‍යය. අනිත් දේවල් හිස්’ කියල.”
“භවත් ගෞතමයන් වහන්ස, එහෙම නෑ.”
“පින්වත් භාරද්වාජ, ඒ බ්‍රාහ්මණයන් අතුරින් පූර්ව කාලයෙහි මන්ත්‍ර හදපු, මන්ත්‍ර එක්රැස් කළ යම් ඍෂිවරු ඉන්නවා නම්, ඔවුන් කියූ දේ අනුව වර්තමාන බමුණන් ඒ මන්ත්‍ර පද ඔවුන් පැවසූ අයුරින් පවසත් ද, ඔවුන් ගැයූ අයුරින් ගයත් ද, ඔවුන් කියූ අයුරින් කියත් ද, ඔවුන් පාඩම් කළ අයුරින් පාඩම් කරත් ද, ඒ ඔවුන් කවුරුන් ද යත්; අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගූ යන මේ උදවිය යි. ඔවුන් මෙහෙම කිව්වා ද? ‘මෙය මම දන්නවා. මෙය මම දකිනවා එනිසා මෙය යි සත්‍යය. අනිත් දේවල් හිස්’ කියල.”
“භවත් ගෞතමයන් වහන්ස, එහෙම නෑ.”
“එහෙම නම් භාරද්වාජ, බ්‍රාහ්මණයන් අතර සිටින්නා වූ එක් බ්‍රාහ්මණයෙක් වත් මෙහෙම කියලා නෑ. ‘මෙය මම දන්නවා. මෙය මම දකිනවා එනිසා මෙය යි සත්‍යය. අනිත් දේවල් හිස්’ කියල. ඒ වගේ ම ඒ බ්‍රාහ්මණයන් අතුරින් එක බ්‍රාහ්මණ ආචාර්යවරයෙක් වේවා ප්‍රාචාර්යවරයෙක් වේවා, සත්වෙනි ආචාර්ය පරම්පරාව දක්වා කවුරුවත් මෙහෙම කියලා නෑ. ‘මෙය මම දන්නවා. මෙය මම දකිනවා එනිසා මෙය යි සත්‍යය. අනිත් දේවල් හිස්’ කියල.
ඒ වගේ ම ඒ බ්‍රාහ්මණයන් අතුරින් පූර්ව කාලයෙහි මන්ත්‍ර හදපු, මන්ත්‍ර එක්රැස් කළ යම් ඍෂිවරු ඉන්නවා නම්, ඔවුන් කියූ දේ අනුව වර්තමාන බමුණන් ඒ මන්ත්‍ර පද ඔවුන් පැවසූ අයුරින් පවසත් ද, ඔවුන් ගැයූ අයුරින් ගයත් ද, ඔවුන් කියූ අයුරින් කියත් ද, ඔවුන් පාඩම් කළ අයුරින් පාඩම් කරත් ද, ඒ ඔවුන් කවුරුන් ද යත්; අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගූ යන මේ උදවිය යි. ඔවුනුත් මෙහෙම කියලා නෑ. ‘මෙය මම දන්නවා. මෙය මම දකිනවා එනිසා මෙය යි සත්‍යය. අනිත් දේවල් හිස්’ කියල.
එතකොට භාරද්වාජ, මෙය පරම්පරාවට බැඳිලා ගිය හැරමිටි ගත් අන්ධ පිරිසක් වගෙයි නෙව. ඉදිරියේ සිටින කෙනාට පෙනෙන්නෙත් නෑ. මැදින් යන කෙනාට පෙනෙන්නෙත් නෑ. අන්තිමට යන කෙනාට පෙනෙන්නෙත් නෑ. පින්වත් භාරද්වාජ, බ්‍රාහ්මණයන් ගේ ප්‍රකාශය හැරමිටි ගත් අන්ධයන් ගේ උපමාව වගේ කියලයි හිතෙන්නේ. මුලින් යන එක්කෙනා දකින්නෙත් නෑ. මැදින් යන එක්කෙනා දකින්නෙත් නෑ. අන්තිමට යන කෙනා දකින්නෙත් නෑ. පින්වත් භාරද්වාජ, ඒ ගැන කුමක් ද සිතන්නේ? එහෙම නම් මේ බ්‍රාහ්මණයන් ගේ මේ මත ගැනීම තිබෙන්නේ පදනමක් නැති ශ්‍රද්ධාවකින් නො වෙයි ද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඔය කාරණාව ගැන බ්‍රාහ්මණයන් ශ්‍රද්ධාවෙන් ම ගන්නවා නො වෙයි. අනුශ්‍රවණයෙනුත් බ්‍රාහ්මණයන් කරුණු පිළිගන්නවා.”
“පින්වත් භාරද්වාජ, ඔබ කලින් ම ගියේ ශ්‍රද්ධාව කරා යි. දැන් ඔබ අනුශ්‍රවය ගැන කියනවා. පින්වත් භාරද්වාජ මෙහිදීම දෙආකාරයක විපාක ඇති මේ ධර්ම පහක් තිබෙනවා. කවර පහක් ද යත්; ශ්‍රද්ධා, රුචි, අනුශ්‍රව, ආකාර පරිවිතර්ක, දිට්ඨිනිජ්ඣානක්ඛන්ති යන පහයි. මේ ධර්ම පහ මේ ජීවිතයේ දී ම දෙආකාරයකින් ප්‍රතිඵල ලබාදෙනවා.
පින්වත් භාරද්වාජ, යම් දෙයක් කෙරෙහි ඉතා හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් ඒ ශ්‍රද්ධාව තිබෙන්නේ හිස් වූ තුච්ඡ වූ මුසාවක් ගැන වෙන්නට පුළුවනි. ඒ වගේ ම යම් දෙයක් ගැන එහෙම ශ්‍රද්ධාවක් නැහැ. නමුත් ඒ ශ්‍රද්ධාව නො තිබෙන්නේ සැබෑ වූ සත්‍ය වූ නො වෙනස් වන දෙයක් ගැන විය හැකියි.
පින්වත් භාරද්වාජ, යම් දෙයක් කෙරෙහි ඉතා හොඳ රුචිකත්වයක් තියෙනවා. නමුත් ඒ රුචිකත්වය තිබෙන්නේ හිස් වූ තුච්ඡ වූ මුසාවක් ගැන වෙන්නට පුළුවනි. ඒ වගේ ම යම් දෙයක් ගැන එහෙම රුචිකත්වයක් නැහැ. නමුත් ඒ රුචිතක්වය නො තිබෙන්නේ සැබෑ වූ සත්‍ය වූ නො වෙනස් වන දෙයක් ගැන විය හැකියි.
පින්වත් භාරද්වාජ, යම් දෙයක් ඉතා හොඳින් අසා තිබෙන්නට පුළුවනි. නමුත් ඒ අසන ලද දෙය හිස් වූ තුච්ඡ වූ මුසාවක් ගැන වෙන්නට පුළුවනි. ඒ වගේ ම යම් දෙයක් ගැන එහෙම ශ්‍රවණය කොට නැහැ. නමුත් ඒ ශ්‍රවණය නො කළ දෙය සැබෑ වූ සත්‍ය වූ නො වෙනස් වන දෙයක් ගැන විය හැකියි.
පින්වත් භාරද්වාජ, යම් දෙයක් කෙරෙහි ඉතා හොඳින් කල්පනා කොට තිබෙන්නට පුළුවනි. එහෙත් ඒ හොඳින් කල්පනා කොට තිබෙන්නේ හිස් වූ තුච්ඡ වූ මුසාවක් ගැන වෙන්නට පුළුවනි. ඒ වගේ ම යම් දෙයක් ගැන ඒ අයුරින් හොඳින් කල්පනා කොට නැහැ. නමුත් ඒ හොඳින් කල්පනා නො කොට තිබෙන්නේ සැබෑ වූ සත්‍ය වූ නො වෙනස් වන දෙයක් ගැන විය හැකියි.
පින්වත් භාරද්වාජ, යම් දෙයක් කෙරෙහි ඉතා හොඳින් කරුණු ගලපා තේරුම් ගෙන තිබෙන්නට පුළුවනි. එහෙත් ඉතා හොඳින් කරුණු ගලපා තේරුම් ගෙන තිබෙන්නේ හිස් වූ තුච්ඡ වූ මුසාවක් ගැන වෙන්නට පුළුවනි. ඒ වගේ ම යම් දෙයක් ගැන එහෙම හොඳින් කරුණු ගලපා තේරුම් ගැනීමක් කොට නැහැ. නමුත් ඒ හොඳින් කරුණු ගලපා තේරුම් ගෙන නො තිබෙන්නේ සැබෑ වූ සත්‍ය වූ නො වෙනස් වන දෙයක් ගැන විය හැකියි. එනිසා පින්වත් භාරද්වාජය, සත්‍යය ආරක්ෂා කරනු කැමති බුද්ධිමත් මනුෂ්‍යයෙකු විසින් පක්ෂග්‍රාහී ලෙස ‘මෙය ම යි සත්‍යය. අන් සියල්ල හිස්’ කියා නිෂ්ඨාවකට නො පැමිණිය යුතුය.”
“භවත් ගෞතමයන් වහන්ස, සත්‍යය ආරක්ෂා කිරීම යනු කුමක් ද? සත්‍ය ආරක්ෂා කරන්නේ කොයි අයුරින් ද? අප භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ සත්‍යය ආරක්ෂා කිරීම පිළිබඳවයි.”
“පින්වත් භාරද්වාජ, යම්කිසි පුද්ගලයෙක් තුළ ශ්‍රද්ධාවක් තිබෙන්නට පුළුවනි. එතකොට ඔහු ‘මාගේ ශ්‍රද්ධාව මේ අයුරින් තිබේ යැ’යි කියයි නම්, ඔහු සත්‍යය රකියි. මෙපමණකින් පක්ෂග්‍රාහීව ‘මෙය ම යි සත්‍යය. අන් සියල්ල හිස්’ කියා නිෂ්ඨාවකට ගියා වෙන්නෙ නෑ. පින්වත් භාරද්වාජ, අපි සත්‍යය ආරක්ෂා කිරීම මෙතකිනුත් පණවනවා. හැබැයි මෙපමණකින් සත්‍යාවබෝධය නම් වන්නේ නැහැ.
පින්වත් භාරද්වාජ, යම්කිසි පුද්ගලයෙක් තුළ යම් දෙයක් කෙරෙහි රුචිකත්වයක් තිබෙන්නට පුළුවනි. ….(පෙ)…. පින්වත් භාරද්වාජ, යම්කිසි පුද්ගලයෙක් යම් දෙයක් පිළිබඳව හොඳින් අසා තිබෙන්නට පුළුවනි. ….(පෙ)…. පින්වත් භාරද්වාජ, යම්කිසි පුද්ගලයෙක් යම් දෙයක් පිළිබඳව හොඳින් මෙනෙහි කොට තිබෙන්නට පුළුවනි. ….(පෙ)…. පින්වත් භාරද්වාජ, යම්කිසි පුද්ගලයෙක් යම් දෙයක් පිළිබඳව කරුණු ගලපා තේරුම් ගෙන තිබෙන්නට පුළුවනි. එතකොට ඔහු ‘මාගේ දිට්ඨිනිජ්ඣානක්ඛන්තිය මේ අයුරින් තිබේ යැ’යි කියයි නම්, ඔහු සත්‍යය රකියි. මෙපමණකින් පක්ෂග්‍රාහීව ‘මෙය ම යි සත්‍යය. අන් සියල්ල හිස්’ කියා නිෂ්ඨාවකට ගියා වෙන්නෙ නෑ. පින්වත් භාරද්වාජ, අපි සත්‍යය ආරක්ෂා කිරීම මෙතකිනුත් පණවනවා. හැබැයි මෙපමණකින් සත්‍යාවබෝධය නම් වන්නේ නැහැ.”
“භවත් ගෞතමයන් වහන්ස, මෙපමණකින් සත්‍යය ආරක්ෂා වීම වෙනවා ම යි. මෙපමණකින් සත්‍ය රකිනවා ම යි. අපි ත් සත්‍යයේ ආරක්ෂා වීම දකින්නේ මෙපමණකින් ම යි. භවත් ගෞතමයන් වහන්ස, සත්‍යාවබෝධය යනු කුමක් ද? සත්‍යාවබෝධ කරන්නේ කොයි අයුරින් ද? අප භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ සත්‍යාවබෝධ කිරීම පිළිබඳවයි.”
“පින්වත් භාරද්වාජ, මෙහිලා භික්ෂුවක් එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කරනවා. එහිදී ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් පැමිණ කරුණු තුනක් පිළිබඳව විමසනවා. ඒ ලෝභය ඇති කරවන දේවල් පිළිබඳව ත්, ද්වේෂය ඇති කරවන දේවල් පිළිබඳව හා මෝහය ඇතිකරවන දේවල් පිළිබඳවයි. ඒ කියන්නේ ‘යම් ලෝභය ඇති කරවන දේවල් තුළින් පෙරළී ගිය සිතින් යුතුව, නො දන්නා දෙයක් දනිමි’යි කියනවා නම් නො දකින දෙයක් දකිමි’යි කියනවා නම් අනුන්ව ද ඒ කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ හේතුවෙන් අනික් උදවියට ද බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ලෝභය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන් තුළ තියෙනවා ද?’ කියල.
ඉතින් මේ විදිහට ඔහු විමසද්දී මෙහෙම තේරුම් ගන්නවා. ‘යම් ලෝභය ඇති කරවන දේවල් තුළින් පෙරළී ගිය සිතින් යුතුව, නො දන්නා දෙයක් දනිමි’යි කියනවා නම් නො දකින දෙයක් දකිමි’යි කියනවා නම් අනුන්ව ද ඒ කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ හේතුවෙන් අනික් උදවියට ද බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ලෝභය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන් තුළ නැහැ’ කියල.
ලෝභ නැති කෙනෙක් තුළ යම් ආකාර කායික හැසිරීම් තියෙනවා නම්, වාචසික හැසිරීම් තියෙනවා නම්, ඒ විදිහට තමයි මේ අයුෂ්මතුන් තුළ තියෙන්නෙ. මේ ආයුෂ්මතුන් යම් ධර්මයක් දේශනා කරනවා ද, ඒ ධර්මය ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප්‍රණීතයි. තර්ක ගෝචරයෙන් තොරයි. සියුම්. නුවණැත්තන් විසින් අවබෝධ කළ යුතු දෙයක්. ලෝභ සහගත පුද්ගලයෙකුට නම් ඒ ධර්මය පහසුවෙන් කියන්නට බැහැ.
තවදුරටත් ඔහු ගැන සොයා බලද්දී ලෝභය ඇති කරවන දේවල් වලින් ඔහු නිදහස්ව පිරිසිදුව සිටින බවට දකින්නට ලැබෙනවා.
ඉතින් ඊට පසු ඒ භික්ෂුව තුළ ද්වේෂය ඇති කරන දේවල් තියෙනවා ද කියල පරීක්ෂා කොට බලනවා. ඒ කියන්නේ ‘යම් ද්වේෂය ඇති කරවන දේවල් තුළින් පෙරළී ගිය සිතින් යුතුව, නො දන්නා දෙයක් දනිමි’යි කියනවා නම් නො දකින දෙයක් දකිමි’යි කියනවා නම් අනුන්ව ද ඒ කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ හේතුවෙන් අනික් උදවියට ද බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ද්වේෂය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන් තුළ තියෙනවා ද?’ කියල.
ඉතින් මේ විදිහට ඔහු විමසද්දී මෙහෙම තේරුම් ගන්නවා. ‘යම් ද්වේෂය ඇති කරවන දේවල් තුළින් පෙරළී ගිය සිතින් යුතුව, නො දන්නා දෙයක් දනිමි’යි කියනවා නම් නො දකින දෙයක් දකිමි’යි කියනවා නම් අනුන්ව ද ඒ කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ හේතුවෙන් අනික් උදවියට ද බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ද්වේෂය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන් තුළ නැහැ’ කියල.
ද්වේෂ නැති කෙනෙක් තුළ යම් ආකාර කායික හැසිරීම් තියෙනවා නම්, වාචසික හැසිරීම් තියෙනවා නම්, ඒ විදිහට තමයි මේ අයුෂ්මතුන් තුළ තියෙන්නෙ. මේ ආයුෂ්මතුන් යම් ධර්මයක් දේශනා කරනවා ද, ඒ ධර්මය ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප්‍රණීතයි. තර්ක ගෝචරයෙන් තොරයි. සියුම්. නුවණැත්තන් විසින් අවබෝධ කළ යුතු දෙයක්. ද්වේෂ සහගත පුද්ගලයෙකුට නම් ඒ ධර්මය පහසුවෙන් කියන්නට බැහැ.
තවදුරටත් ඔහු ගැන සොයා බලද්දී ද්වේෂය ඇති කරවන දේවල් වලින් ඔහු නිදහස්ව පිරිසිදුව සිටින බවට දකින්නට ලැබෙනවා.
ඉතින් ඊට පසු ඒ භික්ෂුව තුළ මෝහය ඇති කරන දේවල් තියෙනවා ද කියල පරීක්ෂා කොට බලනවා. ඒ කියන්නේ ‘යම් මෝහය ඇති කරවන දේවල් තුළින් පෙරළී ගිය සිතින් යුතුව, නො දන්නා දෙයක් දනිමි’යි කියනවා නම් නො දකින දෙයක් දකිමි’යි කියනවා නම් අනුන්ව ද ඒ කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ හේතුවෙන් අනික් උදවියට ද බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ මෝහය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන් තුළ තියෙනවා ද?’ කියල.
ඉතින් මේ විදිහට ඔහු විමසද්දී මෙහෙම තේරුම් ගන්නවා. ‘යම් මෝහය ඇති කරවන දේවල් තුළින් පෙරළී ගිය සිතින් යුතුව, නො දන්නා දෙයක් දනිමි’යි කියනවා නම් නො දකින දෙයක් දකිමි’යි කියනවා නම් අනුන්ව ද ඒ කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ හේතුවෙන් අනික් උදවියට ද බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ මෝහය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන් තුළ නැහැ’ කියල.
මෝහ නැති කෙනෙක් තුළ යම් ආකාර කායික හැසිරීම් තියෙනවා නම්, වාචසික හැසිරීම් තියෙනවා නම්, ඒ විදිහට තමයි මේ අයුෂ්මතුන් තුළ තියෙන්නෙ. මේ ආයුෂ්මතුන් යම් ධර්මයක් දේශනා කරනවා ද, ඒ ධර්මය ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප්‍රණීතයි. තර්ක ගෝචරයෙන් තොරයි. සියුම්. නුවණැත්තන් විසින් අවබෝධ කළ යුතු දෙයක්. මෝහ සහගත පුද්ගලයෙකුට නම් ඒ ධර්මය පහසුවෙන් කියන්නට බැහැ.
තවදුරටත් ඔහු ගැන සොයා බලද්දී මෝහය ඇති කරවන දේවල් වලින් ඔහු නිදහස්ව පිරිසිදුව සිටින බවට දකින්නට ලැබෙනවා.
එතකොට ඔහු කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. ශ්‍රද්ධාව ඉපදීම නිසා ඔහු කරා යනවා. ගිහින් ඔහුව ඇසුරු කරනවා. ඔහුව ඇසුරු කරද්දී හොඳින් ඇහුම්කන් දෙනවා. ඉතා හොඳින් ඇහුම්කන් දී ධර්මය අසනවා. අසන ධර්මය ධාරණය කරගන්නවා. ධාරණය කරගත් ධර්මයෙහි අර්ථ නුවණින් විමසනවා. අර්ථ නුවණින් විමසද්දී එම ධර්මයන් වැටහෙන්නට පටන්ගන්නවා. ධර්මයන් වැටහෙන්නට පටන්ගත් විට ධර්මයෙහි හැසිරෙන්නට ආශාව ඇතිවෙනවා. ධර්මයෙහි හැසිරෙන්නට ආශාව ඇති වීම නිසා උත්සාහ කරනවා. උත්සාහ කොට ගලපා බලනවා. ගලපා බලා බලවත් ලෙස වීරිය කරනවා. කාය ජිවිත දෙකෙහි අපේක්ෂාව අත්හැර ධර්මයේ හැසිරෙද්දී පරම සත්‍යය තමා තුළින් ම සාක්ෂාත් කරගන්නවා. ප්‍රඥාවෙනුත් එය විනිවිද දකිනවා.
පින්වත් භාරද්වාජ, මෙපමණකින් සත්‍යාවබෝධය වෙනවා. මෙපමණකින් ම සත්‍යාවබෝධ කරනවා. හැබැයි මෙපමණකින් සත්‍යයට පත්වුනා වෙන්නෙ නැහැ.
“භවත් ගෞතමයන් වහන්ස, මෙපමණකින් සත්‍යාවබෝධ වීම වෙනවා ම යි. මෙපමණකින් සත්‍යාවබෝධ කරනවා ම යි. අපි ත් සත්‍යයේ අවබෝධ වීම දකින්නේ මෙපමණකින් ම යි. භවත් ගෞතමයන් වහන්ස, සත්‍යයට පත්වුණා යනු කුමක් ද? සත්‍යයට පත්වෙන්නේ කොයි අයුරින් ද? අප භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ සත්‍යයට පත්වීම පිළිබඳවයි.”
“පින්වත් භාරද්වාජ, ඒ ධර්මයන් ගේ ම නිරතුරු සේවනය කිරීමෙන් භාවනා වශයෙන් වැඩීමෙන් හා බහුල කිරීමෙනුයි සත්‍යයට පත්වන්නේ. මෙපමණකින් පින්වත් භාරද්වාජය, සත්‍යයට පත්වුණා වෙනවා. මෙපමණකින් සත්‍යයට පත්වෙනවා. මෙපමණකින් ම සත්‍යයට පත්වීම පණවනවා.”
“භවත් ගෞතමයන් වහන්ස, මෙපමණකින් සත්‍යයට පැමිණීම වෙනවා ම යි. මෙපමණකින් සත්‍යයට පැමිණෙනවා ම යි. අපි ත් සත්‍යානුප්‍රාප්තිය දකින්නේ මෙපමණකින් ම යි. භවත් ගෞතමයන් වහන්ස, සත්‍යානුප්‍රාප්තියට බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ සත්‍යයට පැමිණීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, සත්‍යයට පත්වීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, බලවත් ලෙස වීරිය කිරීම ම යි. ඉදින් කෙනෙක් අධිකතර වීර්යය නො කරන්නේ නම් මේ සත්‍යය කරා පැමිණෙන්නෙ නෑ. යම් හෙයකින් බලවත් ලෙස වීරිය කරනවා නම්, ඒ හේතුවෙන් ම යි සත්‍යානුප්‍රාප්තිය වන්නේ. එම නිසා සත්‍යයට පත්වීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ බලවත් ලෙස වීරිය කිරීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, බලවත් ලෙස වීර්යය කිරීම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ බලවත් ලෙස වීර්යය කිරීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, බලවත් ලෙස වීර්යය කිරීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, ක්ෂණ සම්පත්තිය අහිමි වෙන්නට පෙර වහ වහා ධර්මය අවබෝධ කර ගැනීමේ වටිනාකමත්, එය කරගන්නට බැරිවුවහොත් නිරය ආදියේ ඉපිද දුක්විඳීමේ අනතුර ගැනත් තුලනය කිරීම යි. ඉදින් කෙනෙක් මේ අයුරින් තුලනය නො කරන්නේ නම් මේ බලවත් වීරිය කිරීම කරා පැමිණෙන්නෙ නෑ. යම් හෙයකින් තුලනය කරනවා නම්, ඒ හේතුවෙන් ම යි අධිකතර වූ වීරිය ඇතිවන්නේ. එම නිසා බලවත් ලෙස වීරිය ඇති කරගැනීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ තුලනය කිරීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, අප්‍රමාදීව ධර්මයේ හැසිරීමේ ලාභය ත් ප්‍රමාදයෙහි අනතුර ත් තුලනය කිරීම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ තුලනය කිරීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, තුලනය කිරීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, ධර්මයෙහි හැසිරීමට උත්සාහ කිරීම යි. ඉදින් කෙනෙක් මේ අයුරින් ධර්මයේ හැසිරීමට උත්සාහ නො කරන්නේ නම් මේ තුලනය කිරීම කරා පැමිණෙන්නෙ නෑ. යම් හෙයකින් ධර්මයෙහි හැසිරීමට උත්සාහ කරනවා නම්, ඒ හේතුවෙන් ම යි තුලනය කිරීම ඇතිවන්නේ. එම නිසා අප්‍රමාදීව ධර්මයේ හැසිරීමේ ලාභය ත් ප්‍රමාදයෙහි අනතුර ත් තුලනය කිරීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ ධර්මයේ හැසිරීමට උත්සාහ කිරීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, ධර්මයේ හැසිරීමට උත්සාහ කිරීම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ ධර්මයේ හැසිරීමට උත්සාහ කිරීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, ධර්මයේ හැසිරීමට උත්සාහ කිරීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, ධර්මයෙහි හැසිරෙන්නට ඇති කැමැත්තයි. ඉදින් කෙනෙක් මේ අයුරින් ධර්මයේ හැසිරෙන්නට කැමත්තක් නැති නම් මේ ධර්මයේ හැසිරෙන්නට උත්සාහ කිරීම කරා පැමිණෙන්නෙ නෑ. යම් හෙයකින් ධර්මයෙහි හැසිරෙන්නට කැමැත්තක් ඇතිවෙනවා නම්, ඒ හේතුවෙන් ම යි ධර්මයේ හැසිරෙන්නට උත්සාහය ඇතිවන්නේ. එම නිසා ධර්මයේ හැසිරෙන්නට උත්සාහ කිරීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ ධර්මයේ හැසිරීමට කැමැත්ත ඇතිකරගැනීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, ධර්මයේ හැසිරීමට කැමැත්ත ඇති කර ගැනීම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ ධර්මයේ හැසිරීමට කැමැත්ත ඇතිකර ගැනීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, ධර්මයේ හැසිරීමට කැමැත්ත ඇතිකරගැනීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, දහම් කරුණු අවබෝධ කරගැනීමයි. ඉදින් කෙනෙක් මේ අයුරින් දහම් කරුණු අවබෝධ කරගන්නේ නැති නම් මේ ධර්මයේ හැසිරෙන්නට කැමැත්ත ඇතිවන්නේ නෑ. යම් හෙයකින් දහම් කරුණු අවබෝධ වෙනවා නම්, ඒ හේතුවෙන් ම යි ධර්මයේ හැසිරෙන්නට කැමැත්ත ඇතිවන්නේ. එම නිසා ධර්මයේ හැසිරෙන්නට කැමැත්ත ඇතිවීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ දහම් කරුණු අවබෝධ කරගැනීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, දහම් කරුණු අවබෝධ කරගැනීම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ දහම් කරුණු අවබෝධ කරගැනීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, දහම් කරුණු අවබෝධ කරගැනීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, දහම් කරුණු වල අර්ථ නුවණින් විමසීමයි. ඉදින් කෙනෙක් මේ අයුරින් දහම් කරුණුවල අර්ථ නුවණින් විමසන්නේ නැති නම් මේ දහම් කරුණු අවබෝධ වීම ඇතිවන්නේ නෑ. යම් හෙයකින් ධර්මයෙහි අර්ථ නුවණින් විමසනවා නම්, ඒ හේතුවෙන් ම යි දහම් කරුණු අවබෝධ වන්නේ. එම නිසා දහම් කරුණු අවබෝධ වීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ ධර්මයෙහි අර්ථ නුවණින් විමසීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, ධර්මයෙහි අර්ථ නුවණින් විමසීම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ ධර්මයෙහි අර්ථ නුවණින් විමසීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, ධර්මයෙහි අර්ථ නුවණින් විමසීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, ධර්මය මතක තබා ගැනීමයි. ඉදින් කෙනෙක් මේ අයුරින් ධර්මය මතක තබාගන්නේ නැති නම් මේ ධර්මයෙහි අර්ථ නුවණින් විමසීම ඇතිවන්නේ නෑ. යම් හෙයකින් ධර්මය මතක තබාගන්නවා නම්, ඒ හේතුවෙන් ම යි ධර්මයෙහි අර්ථ නුවණින් විමසන්නේ. එම නිසා ධර්මයෙහි අර්ථ නුවණින් විමසීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ ධර්මය මතක තබා ගැනීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, ධර්මය මතක තබා ගැනීම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ ධර්මය මතක තබා ගැනීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, ධර්මය මතක තබා ගැනීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, ධර්මශ්‍රවණය ම යි. ඉදින් කෙනෙක් මේ අයුරින් ධර්මශ්‍රවණය නො කරන්නේ නම් මේ ධර්මය මතක තබා ගැනීම ඇතිවන්නේ නෑ. යම් හෙයකින් ධර්මශ්‍රවණය කරනවා නම්, ඒ හේතුවෙන් ම යි ධර්මය මතක හිටින්නේ. එම නිසා ධර්මය මතකයෙහි රඳා සිටීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ ධර්මශ්‍රවණය කිරීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, ධර්මශ්‍රවණය පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ ධර්මශ්‍රවණය පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, ධර්මශ්‍රවණය පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, ඉතා හොඳින් ඇහුම්කන් දී සිටීම ම යි. ඉදින් කෙනෙක් මේ අයුරින් ඉතා හොඳින් ඇහුම්කන් දීම නො කරන්නේ නම් මේ ධර්මශ්‍රවණය ඇතිවන්නේ නෑ. යම් හෙයකින් ඉතා හොඳින් ඇහුම්කන් දෙනවා නම්, ඒ හේතුවෙන් ම යි ධර්මශ්‍රවණය වන්නේ. එම නිසා ධර්මශ්‍රවණය කිරීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ ඉතා හොඳින් ඇහුම්කන් දීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා හොඳින් ඇහුම්කන් දීම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ ඉතා හොඳින් ඇහුම්කන් දීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, ඉතා හොඳින් ඇහුම්කන් දීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, කළණ මිතුරන් ඇසුරු කිරීම ම යි. ඉදින් කෙනෙක් මේ අයුරින් කළණ මිතුරන් ඇසුරු නො කරන්නේ නම් මේ ඉතා හොඳින් සවන් දීම ඇතිවන්නේ නෑ. යම් හෙයකින් කළණ මිතුරන් ඇසුරු කරනවා නම්, ඒ හේතුවෙන් ම යි ඉතා හොඳින් සවන් යොමු කරන්නේ. එම නිසා ඉතා හොඳින් සවන් යොමු කිරීම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ කළණ මිතුරන් සේවනය කිරීම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, කළණ මිතුරන් සේවනය කිරීම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ කළණ මිතුරන් සේවනය කිරීම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, කළණ මිතුරන් සේවනය කිරීම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, කළණ මිතුරන් සොයා යාම ම යි. ඉදින් කෙනෙක් මේ අයුරින් කළණ මිතුරන් සොයා නො යන්නේ නම් මේ කළණ මිතුරන් සේවනය කිරීම ඇතිවන්නේ නෑ. යම් හෙයකින් කළණ මිතුරන් සොයා යනවා නම්, ඒ හේතුවෙන් ම යි කල්‍යාණමිත්‍ර ආශ්‍රය සිදුවන්නේ. එම නිසා කළ්‍යාණමිත්‍ර සේවනය පිණිස අතිශයින් ම උපකාරී වන්නේ කළණ මිතුරන් සොයා ගෙන යාම ම යි.”
“භවත් ගෞතමයන් වහන්ස, කල්‍යාණමිත්‍රයන් සොයා ගෙන යාම පිණිස බොහෝ සෙයින් උපකාර වන්නේ කවර ධර්මයක් ද? අපි භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ කල්‍යාණමිත්‍රයන් සොයා ගෙන යාම පිණිස බොහෝ සෙයින් උපකාර වන ධර්මය ගැනයි.”
“පින්වත් භාරද්වාජ, කල්‍යාණමිත්‍රයන් කරා යාම පිණිස, අතිශයින් ම උපකාර වන්නේ, ශ්‍රද්ධාව ඇතිවීම ම යි. ඉදින් කෙනෙකුට මේ අයුරින් ශ්‍රද්ධාව ඇති නො වන්නේ නම් මේ කළණ මිතුරන් කරා යෑමක් ඇතිවන්නේ නෑ. යම් හෙයකින් ශ්‍රද්ධාව ඇතිවෙනවා නම්, ඒ හේතුවෙන් ම යි කළණ මිතුරන් කරා යන්නේ. එම නිසා කළණ මිතුරන් කරා යාම පිණිස අතිශයින් ම උපකාරී වන්නේ ශ්‍රද්ධාව ඇතිවීම ම යි.”
“අපිත් භවත් ගෞතමයන් වහන්සේ ගෙන් සත්‍යය ආරක්ෂා කිරීම ගැන ඇසුවා. එවිට භවත් ගෞතමයන් වහන්සේ සත්‍යය ආරක්ෂා කිරීම පිළිබඳව පිළිතුරු දී වදාළා. සැබැවින් ම එය අපට රුචියි. කැමතියි. එයින් අපි ඉතාමත් සතුටට පත් වුනා.
ඒ වගේ ම අපිත් භවත් ගෞතමයන් වහන්සේ ගෙන් සත්‍යාවබෝධය ගැන ඇසුවා. එවිට භවත් ගෞතමයන් වහන්සේ සත්‍යාවබෝධය පිළිබඳව පිළිතුරු දී වදාළා. සැබැවින් ම එය අපට රුචියි. කැමතියි. එයින් අපි ඉතාමත් සතුටට පත් වුනා.
ඒ වගේ ම අපිත් භවත් ගෞතමයන් වහන්සේ ගෙන් සත්‍යානුප්‍රාප්තිය ගැන ඇසුවා. එවිට භවත් ගෞතමයන් වහන්සේ සත්‍යානුප්‍රාප්තිය පිළිබඳව පිළිතුරු දී වදාළා. සැබැවින් ම එය අපට රුචියි. කැමතියි. එයින් අපි ඉතාමත් සතුටට පත් වුනා.
ඉතින් අපි භවත් ගෞතමයන් වහන්සේ ගෙන් යම් යම් දෙයක් ගැන විමසුවා නම්, ඒ ඒ දේ ගැන භවත් ගෞතමයන් වහන්සේ පිළිතුරු දී වදාළා. සැබැවින් ම එය අපට රුචියි. කැමතියි. එයින් අපි ඉතාමත් සතුටට පත් වුනා.
භවත් ගෞතමයන් වහන්ස, අපි ඉස්සර දැනගෙන සිටියේ මෙහෙමයි. ‘මුන්දැලා හිස මුඩු කරලා ඉන්න, ලාමක වූ, කලු වූ, මහබඹුගේ යටිපතුලෙන් ඉපිද සිටින්නා වූ මේ ශ්‍රමණයන් කියන්නේ කවුද? ධර්මය දන්නා උදවිය කියන්නේ කවුද?’ කියල. නමුත් භවත් ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් ම මා තුළ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය ඇතිකොට වදාළා. භවත් ගෞතමයන් වහන්ස, ඉතාමත් සුන්දරයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතාමත් සුන්දරයි! ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
චංකී බ්‍රාහ්මණයා නිසා වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M