මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. ඒ කාලයේ කිසියම් කරුණක් පිණිස නා නා ප්‍රදේශ වලින් සැවැත් නුවරට පැමිණ වාසය කරන්නා වූ බ්‍රාහ්මණයන් පන්සියයක් පමණ සිටියා. දිනක් ඒ බ්‍රාහ්මණයන් හට මේ අදහස ඇතිවුනා. “මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන වර්ණ සතරට ම එක සේ පිරිසිදු බව ලැබිය හැකි ක්‍රමයක් පෙන්වා දෙනවා. ඉතින් ශ්‍රමණ ගෞතමයන් සමඟ මේ පිළිබඳව කතා බහ කරන්නට කවරෙක් නම් දක්ෂ වෙයි ද?” කියලා.
එසමයෙහි අස්සලායන නම් තරුණයෙක් සැවැත් නුවර වාසය කළා. ඔහු ළදරු යි. ඉවත් කළ කෙස් වලින් යුක්තයි. උපතින් සොළොස් හැවිරිදි යි. ඍග්, යජූර්, ශ්‍යාම් යන ත්‍රිවේද පාරප්‍රාප්ත යි. නිඝණ්ඩු, ඛේඨූභ, අක්ෂර ප්‍රභේද හා ඉතිහාසය පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදිය ත්, ලෝකායත මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ත් පිළිබඳව හසළ නුවණ තියෙනවා. එතකොට අර බ්‍රාහ්මණයන්ට මේ අදහස ඇතිවුනා. “මේ අස්සලායන මාණවකයා ළදරු යි. ඉවත් කළ කෙස් වලින් යුක්තයි. උපතින් සොළොස් හැවිරිදි යි. ඍග්, යජූර්, ශ්‍යාම් යන ත්‍රිවේද පාරප්‍රාප්ත යි. නිඝණ්ඩු, ඛේඨූභ, අක්ෂර ප්‍රභේද හා ඉතිහාසය පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදිය ත්, ලෝකායත මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ත් පිළිබඳව හසළ නුවණ තියෙනවා. ඔහු නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමඟ මේ පිළිබඳව කතා බස් කරන්නට සුදුසු යි.”
ඉතින් ඒ බ්‍රාහ්මණවරුන් අස්සලායන මාණවකයා වෙත ගියා. ගිහින් අස්සලායන මාණවකයාට මෙය පැවසුවා. “භවත් අස්සලායන, මේ ශ්‍රමණ ගෞතමයන් චතුර් වර්ණයට ම එක සේ පිරිසිදු බව ලැබිය හැකි ක්‍රමයක් පෙන්වා දෙනවා නෙව. භවත් අස්සලායන, එනු මැනැව. ශ්‍රමණ ගෞතමයන් සමඟ මෙම අදහස පිළිබඳව කතා බස් කළ මැනැව.”
මෙසේ කී කල අස්සලායන මාණවකයා ඒ බමුණන්ට මෙය පැවසුවා. “භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මවාදී කෙනෙක්. ධර්මවාදී අය සමඟ කතා බස් කොට ජයගැනීම දුෂ්කරයි. මට නම් ඔය වචනය පිළිබඳව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමඟ කතාබස් කරන්නට පුළුවන්කමක් නෑ.”
දෙවෙනි වතාවටත් ඒ බ්‍රාහ්මණවරුන් අස්සලායන මාණවකයාට මෙය පැවසුවා. “භවත් අස්සලායන, මේ ශ්‍රමණ ගෞතමයන් චතුර් වර්ණයට ම එක සේ පිරිසිදු බව ලැබිය හැකි ක්‍රමයක් පෙන්වා දෙනවා නෙව. භවත් අස්සලායන, එනු මැනැව. ශ්‍රමණ ගෞතමයන් සමඟ මෙම අදහස පිළිබඳව කතා බස් කළ මැනැව.”
දෙවෙනි වතාවටත් අස්සලායන මාණවකයා ඒ බමුණන්ට මෙය පැවසුවා. “භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මවාදී කෙනෙක්. ධර්මවාදී අය සමඟ කතා බස් කොට ජයගැනීම දුෂ්කරයි. මට නම් ඔය වචනය පිළිබඳව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමඟ කතාබස් කරන්නට පුළුවන්කමක් නෑ.”
තුන්වෙනි වතාවටත් ඒ බ්‍රාහ්මණවරුන් අස්සලායන මාණවකයාට මෙය පැවසුවා. “භවත් අස්සලායන, මේ ශ්‍රමණ ගෞතමයන් චතුර් වර්ණයට ම එක සේ පිරිසිදු බව ලැබිය හැකි ක්‍රමයක් පෙන්වා දෙනවා නෙව. භවත් අස්සලායන, එනු මැනැව. ශ්‍රමණ ගෞතමයන් සමඟ මෙම අදහස පිළිබඳව කතා බස් කළ මැනැව. තවම භවත් අස්සලායනයන් පිරිවැජිභාවය පිණිස හැසිරෙන කෙනෙක් නෙව. භවත් අස්සලායනයන් යුද්ධ නො කොට පරාජය පිළිගන්නට එපා!”
මෙසේ පැවසූ විට අස්සලායන මාණවකයා ඒ බමුණන්ට මෙය පැවසුවා. “භවත්නි, ඒකාන්තයෙන් ම මම මෙය ලබන්නෙ නැහැ නෙව. ඒ කියන්නෙ, ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මවාදී කෙනෙක්. ධර්මවාදී අය සමඟ කතා බස් කොට ජයගැනීම දුෂ්කරයි. මට නම් ඔය වචනය පිළිබඳව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමඟ කතාබස් කරන්නට පුළුවන්කමක් නැත’ යන කාරණය යි. නමුත් ඔය භවතුන් ගේ වචනය නිසා මං එන්නම්.”
ඉතින් අස්සලායන මාණවකයා මහත් බ්‍රාහ්මණ පිරිසක් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු වියයුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව හුන් අස්සලායන මාණවකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, බමුණන් මෙහෙම කියනවා. ‘ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්ත වන්නේ බමුණන් විතරයි. අනිත් උදවිය හීන වර්ණයෙන් යුක්තයි. සුදු වර්ණයෙන් යුක්ත වන්නේ බමුණන් විතරයි. අනිත් උදවිය කළු වර්ණයෙන් යුක්තයි. බ්‍රාහ්මණයන් විතරක් පිරිසිදුයි. අබ්‍රාහ්මණයන් එහෙම නෑ. බ්‍රාහ්මණයන් කියන්නේ මහා බ්‍රහ්ම රාජයා ගේ ළයෙහි වැඩුණු දරුවන්. මුඛයෙන් උපන් දරුවන්. බ්‍රහ්මයා ගෙන් ම උපන් දරුවන්. බ්‍රහ්ම නිර්මාණය යි. බ්‍රහ්ම දායාද යි’ කියල. මේ කාරණය පිළිබඳව භවත් ගෞතමයන් වහන්සේ කුමක් පවසන සේක් ද?”
“පින්වත් අස්සලායන, බ්‍රාහ්මණයන් ගේ බැමිණියන් ඍතු වෙනවා ත් දකින්නට ලැබෙනවා. ගර්භනී වෙනවා ත් දකින්නට ලැබෙනවා. දරුවන් වදනවා ත් දකින්නට ලැබෙනවා. දරුවන්ට කිරි පොවනවා ත් දකින්නට ලැබෙනවා. ඉතින් මිනිස් යෝනියෙන් උපන් බ්‍රාහ්මණයන් මෙහෙම කියනවා. ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. බ්‍රාහ්මණයන් විතරක් සුදු වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් කළු වර්ණයෙන් යුක්තයි. බ්‍රාහ්මණයන් විතරක් පිරිසිදුයි. අබ්‍රාහ්මණයන් එහෙම නෑ. බ්‍රාහ්මණයන් පමණයි බ්‍රහ්මයා ගේ දරුවන්. ළයෙහි උපන්, මුවෙන් උපන්, බ්‍රහ්මයා ගෙන් නිර්මිත වූ බ්‍රහ්ම දායාදය යි’ කියලා.”
“භවත් ගෞතමයන් වහන්සේ ඔය විදිහට පැවසුවත්, බ්‍රාහ්මණයන් හිතාගෙන ඉන්නේ කලින් කියූ කාරණය ම යි. ඒ කියන්නේ ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා.”
“පින්වත් අස්සලායන, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඔබ යෝන, කාම්බෝජ ආදී අන්‍ය වූ ප්‍රත්‍යන්ත ජනපද ගැන අහලා තියෙනවා ද? ඒවායේ තියෙන්නේ වර්ණ දෙකයි. එනම්; ස්වාමි පක්ෂය ත්, සේවක පක්ෂය ත් විතරයි. ස්වාමිවරු වෙලා හිටපු අය සේවකයන් වෙනවා. සේවකයන් වෙලා හිටපු අය ස්වාමිවරු වෙනවා කියලා ඔබ අසා තියෙනවා නේද?”
“භවත, ඔය යෝන, කාම්බෝජ ආදී අන්‍ය වූ ප්‍රත්‍යන්ත ජනපද ගැන මං අහලා තියෙනවා තමයි. ඒවායේ තියෙන්නේ වර්ණ දෙකක් ලු. එනම්; ස්වාමි පක්ෂය ත්, සේවක පක්ෂය ත් විතරයි ලු. ස්වාමිවරු වෙලා හිටපු අය සේවකයන් වෙනවා ලු. සේවකයන් වෙලා හිටපු අය ස්වාමිවරු වෙනවා කියලා මං අසා තියෙනවා.”
“පින්වත් අස්සලායන, ඉතින් එහෙම නම් ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා බ්‍රාහ්මණයන් හට කියන්නට පුළුවන් බලය කුමක් ද? ආශ්වාසය කුමක්ද?”
“භවත් ගෞතමයන් වහන්සේ ඔය විදිහට පැවසුවත්, බ්‍රාහ්මණයන් හිතාගෙන ඉන්නේ කලින් කියූ කාරණය ම යි. ඒ කියන්නේ ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා.”
“පින්වත් අස්සලායන, සතුන් මරන්නා වූ, සොරකම් කරන්නා වූ, වැරදි කාමයෙහි යෙදෙන්නා වූ, බොරු කියන්නා වූ, කේලාම් කියන්නා වූ, ඵරුෂ වචන කියන්නා වූ, හිස් වචන කියන්නා වූ, අනුන්ගේ දෙයට ආශා කරන්නා වූ, ව්‍යාපාදයෙන් යුක්ත වූ, මිත්‍යාදෘෂ්ඨික වූ ක්ෂත්‍රියයා විතරක් ද කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ දුගතියේ උපදින්නේ? ඇයි බ්‍රාහ්මණයා උපදින්නේ නැද්ද?
සතුන් මරන්නා වූ, ….(පෙ)…. මිත්‍යාදෘෂ්ඨික වූ වෛශ්‍යයා විතරක් ද කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ දුගතියේ උපදින්නේ? ඇයි බ්‍රාහ්මණයා උපදින්නේ නැද්ද?
සතුන් මරන්නා වූ, සොරකම් කරන්නා වූ, වැරදි කාමයෙහි යෙදෙන්නා වූ, බොරු කියන්නා වූ, කේලාම් කියන්නා වූ, ඵරුෂ වචන කියන්නා වූ, හිස් වචන කියන්නා වූ, අනුන්ගේ දෙයට ආශා කරන්නා වූ, ව්‍යාපාදයෙන් යුක්ත වූ, මිත්‍යාදෘෂ්ඨික වූ ශුද්‍රයා විතරක් ද කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ දුගතියේ උපදින්නේ? ඇයි බ්‍රාහ්මණයා උපදින්නේ නැද්ද?
භවත් ගෞතමයාණන් වහන්ස, එකරුණ නොවේ ම යි. සතුන් මරන්නා වූ, සොරකම් කරන්නා වූ, වැරදි කාමයෙහි යෙදෙන්නා වූ, බොරු කියන්නා වූ, කේලාම් කියන්නා වූ, ඵරුෂ වචන කියන්නා වූ, හිස් වචන කියන්නා වූ, අනුන්ගේ දෙයට ආශා කරන්නා වූ, ව්‍යාපාදයෙන් යුක්ත වූ, මිත්‍යාදෘෂ්ඨික වූ ක්ෂත්‍රියයා වුනත් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ දුගතියේ උපදිනවා. භවත් ගෞතමයාණන් වහන්ස, සතුන් මරන්නා වූ, ….(පෙ)…. මිත්‍යාදෘෂ්ඨික වූ බ්‍රාහ්මණයා වුනත් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ දුගතියේ උපදිනවා. භවත් ගෞතමයාණන් වහන්ස, සතුන් මරන්නා වූ, ….(පෙ)…. මිත්‍යාදෘෂ්ඨික වූ වෛශ්‍යයා වුනත් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ දුගතියේ උපදිනවා. භවත් ගෞතමයාණන් වහන්ස, සතුන් මරන්නා වූ, ….(පෙ)…. මිත්‍යාදෘෂ්ඨික වූ ශුද්‍රයා වුනත් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ දුගතියේ උපදිනවා.
භවත් ගෞතමයාණන් වහන්ස, සතුන් මරන්නා වූ, සොරකම් කරන්නා වූ, වැරදි කාමයෙහි යෙදෙන්නා වූ, බොරු කියන්නා වූ, කේලාම් කියන්නා වූ, ඵරුෂ වචන කියන්නා වූ, හිස් වචන කියන්නා වූ, අනුන්ගේ දෙයට ආශා කරන්නා වූ, ව්‍යාපාදයෙන් යුක්ත වූ, මිත්‍යාදෘෂ්ඨික වූ ඔය සතර වර්ණයට අයත් සියලු දෙනා ම කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ දුගතියේ උපදිනවා.”
“පින්වත් අස්සලායන, ඉතින් එහෙම නම් ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා බ්‍රාහ්මණයන් හට කියන්නට පුළුවන් බලය කුමක් ද? ආශ්වාසය කුමක්ද?”
“භවත් ගෞතමයන් වහන්සේ ඔය විදිහට පැවසුවත්, බ්‍රාහ්මණයන් හිතාගෙන ඉන්නේ කලින් කියූ කාරණය ම යි. ඒ කියන්නේ ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා.”
“පින්වත් අස්සලායන, සතුන් මැරීමෙන් වැළකී සිටින, සොරකම් කිරීමෙන් වැළකී සිටින, වැරදි කාමයෙහි යෙදීමෙන් වැළකී සිටින, බොරු කීමෙන් වැළකී සිටින, කේලාම් කීමෙන් වැළකී සිටින, ඵරුෂ වචන කීමෙන් වැළකී සිටින, හිස් වචන කීමෙන් වැළකී සිටින, අනුන්ගේ දෙයට ආශා කිරීමෙන් වැළකී සිටින, ව්‍යාපාදයෙන් වැළකී සිටින, සම්‍යක්දෘෂ්ඨික වූ බ්‍රාහ්මණයා විතරක් ද කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලොකයෙහි උපදින්නේ? ඇයි ක්ෂත්‍රියයා උපදින්නේ නැද්ද? ඇයි වෛශ්‍යයා උපදින්නේ නැද්ද? ඇයි ශුද්‍රයා උපදින්නේ නැද්ද?
භවත් ගෞතමයාණන් වහන්ස, එකරුණ නොවේ ම යි. සතුන් මැරීමෙන් වැළකී සිටින, සොරකම් කිරීමෙන් වැළකී සිටින, වැරදි කාමයෙහි යෙදීමෙන් වැළකී සිටින, බොරු කීමෙන් වැළකී සිටින, කේලාම් කීමෙන් වැළකී සිටින, ඵරුෂ වචන කීමෙන් වැළකී සිටින, හිස් වචන කීමෙන් වැළකී සිටින, අනුන්ගේ දෙයට ආශා කිරීමෙන් වැළකී සිටින, ව්‍යාපාදයෙන් වැළකී සිටින, සම්‍යක්දෘෂ්ඨික වූ ක්ෂත්‍රියයා වුනත් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදිනවා. භවත් ගෞතමයාණන් වහන්ස, බ්‍රාහ්මණයා වුනත් ….(පෙ)…. වෛශ්‍යයා වුනත් ….(පෙ)…. ශුද්‍රයා වුනත් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදිනවා.
භවත් ගෞතමයාණන් වහන්ස, සතුන් මැරීමෙන් වැළකී සිටින, සොරකම් කිරීමෙන් වැළකී සිටින, වැරදි කාමයෙහි යෙදීමෙන් වැළකී සිටින, බොරු කීමෙන් වැළකී සිටින, කේලාම් කීමෙන් වැළකී සිටින, ඵරුෂ වචන කීමෙන් වැළකී සිටින, හිස් වචන කීමෙන් වැළකී සිටින, අනුන්ගේ දෙයට ආශා කිරීමෙන් වැළකී සිටින, ව්‍යාපාදයෙන් වැළකී සිටින, සම්‍යක්දෘෂ්ඨික වූ සතර වර්ණයට අයත් සියලු දෙනා ම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදිනවා.
“පින්වත් අස්සලායන, ඉතින් එහෙම නම් ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා බ්‍රාහ්මණයන් හට කියන්නට පුළුවන් බලය කුමක් ද? ආශ්වාසය කුමක්ද?”
“භවත් ගෞතමයන් වහන්සේ ඔය විදිහට පැවසුවත්, බ්‍රාහ්මණයන් හිතාගෙන ඉන්නේ කලින් කියූ කාරණය ම යි. ඒ කියන්නේ ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා.”
“පින්වත් අස්සලායන, ඒ ගැන කුමක්ද සිතන්නේ? මේ ප්‍රදේශය පුරාවට අවෛරී වූ, පීඩා රහිත වූ, මෙත් සිත වඩන්නට පුළුවන් වන්නේ බ්‍රාහ්මණයාට විතර ද? ඇයි ක්ෂත්‍රියයාට බැරිද? ඇයි වෛශ්‍යයාට බැරිද? ඇයි ශුද්‍රයාට බැරිද?”
“භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රදේශය පුරාවට අවෛරී වූ, පීඩා රහිත වූ, මෙත් සිත වඩන්නට ක්ෂත්‍රියයාට ත් පුළුවන්කම තියෙනවා. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාටත් ….(පෙ)…. පුළුවන්කම තියෙනවා. භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍යයාටත් ….(පෙ)…. පුළුවන්කම තියෙනෙවා. භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍රයාටත් ….(පෙ)…. පුළුවන්කම තියෙනවා. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රදේශය පුරාවට අවෛරී වූ, පීඩා රහිත වූ, මෙත් සිත වඩන්නට චතුර් වර්ණයට අයිති ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා.”
“පින්වත් අස්සලායන, ඉතින් එහෙම නම් ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා බ්‍රාහ්මණයන් හට කියන්නට පුළුවන් බලය කුමක් ද? ආශ්වාසය කුමක්ද?”
“භවත් ගෞතමයන් වහන්සේ ඔය විදිහට පැවසුවත්, බ්‍රාහ්මණයන් හිතාගෙන ඉන්නේ කලින් කියූ කාරණය ම යි. ඒ කියන්නේ ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා.”
“පින්වත් අස්සලායන, ඒ ගැන කුමක්ද සිතන්නේ? පිට උලන ලණුවත් රැගෙන නදියට ගිහින් වතුර නා දුහුවිලි කුණු සෝදා හරින්නට පුළුවන් වන්නේ බ්‍රාහ්මණයෙකුට විතරක් ද? ඇයි ක්ෂත්‍රීයයෙකුට බැරිද? ඇයි වෛශ්‍යයෙකුට බැරිද? ඇයි ශුද්‍රයෙකුට බැරිද?”
“භවත් ගෞතමයන් වහන්ස, එය නොවේ ම යි. භවත් ගෞතමයන් වහන්ස, පිට උලන ලණුවත් රැගෙන නදියට ගිහින් වතුර නා දුහුවිලි කුණු සෝදා හරින්නට ක්ෂත්‍රියයාටත් පුළුවන්කම තියෙනවා. භවත් ගෞතමයාණන් වහන්ස, ….(පෙ)…. බ්‍රාහ්මණයාටත් පුළුවන්කම තියෙනවා. භවත් ගෞතමයාණන් වහන්ස, ….(පෙ)…. වෛශ්‍යයාටත් පුළුවන්කම තියෙනවා. භවත් ගෞතමයාණන් වහන්ස, ….(පෙ)…. ශුද්‍රයාටත් පුළුවන්කම තියෙනවා. භවත් ගෞතමයන් වහන්ස, පිට උලන ලණුවත් රැගෙන නදියට ගිහින් වතුර නා දුහුවිලි කුණු සෝදා හරින්නට චතුර්වර්ණයට අයත් සියලු දෙනාට ම පුළුවන්කම තියෙනවා.”
“පින්වත් අස්සලායන, ඉතින් එහෙම නම් ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා බ්‍රාහ්මණයන් හට කියන්නට පුළුවන් බලය කුමක් ද? ආශ්වාසය කුමක්ද?”
“භවත් ගෞතමයන් වහන්සේ ඔය විදිහට පැවසුවත්, බ්‍රාහ්මණයන් හිතාගෙන ඉන්නේ කලින් කියූ කාරණය ම යි. ඒ කියන්නේ ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා.”
“පින්වත් අස්සලායන, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහිලා ඔටුණු පළන් රජ කෙනෙක් නා නා කුලයන්ට අයත් පුරුෂයන් අතුරෙන් සියයක් පුරුෂයන් රැස්කරනවා. ‘භවත්නි, මෙහි එත්වා. යමෙක් ක්ෂත්‍රීය කුලයේ උපන්නා ද, යමෙක් බ්‍රාහ්මණ කුලයේ උපන්නා ද, යමෙක් වෙනත් රජ කුලයක උපන්නා ද, ඔවුන් සල් ගසක වේවා, සලල ගසක වේවා, සඳුන් ගසක වේවා, ලීයෙන් කළ උත්තරාරණිය නම් වූ ගිනිගානා දණ්ඩ ගෙන ගිනි දල්වත්වා! තේජස පහළ කරත්වා! භවත්නි, දෙවනුව මෙහි එත්වා. යමෙක් චණ්ඩාල කුලයෙන් හෝ, නේසාද කුලයෙන් හෝ, වේණ කුලයෙන් හෝ, රථකාර කුලයෙන් හෝ, පුක්කුස කුලයෙන් හෝ උපන් කෙනෙක් ඇද්ද, ඔවුන් පැමිණෙත්වා! ඔවුන් ද සතුන් පැන් බොන දෙණියෙන් ලත් ලීයෙන් කළ, ඌරන් බුදින දෙණියෙන් ලත් ලීයෙන් කළ, රෙදි අපුල්ලන්නන් සෝදන දෙණියෙන් ලත් ලීයෙන් කළ, එහෙමත් නැත්නම් ඒලණ්ඩ නම් නීච වර්ගයේ ලීයෙන් කළ උත්තරාරණිය ගෙන ගිනි දල්වත්වා! තේජස පහළ කරත්වා!’
එතකොට පින්වත් අස්සලායන, ඒ ගැන කුමක් ද සිතන්නේ? ක්ෂත්‍රීය කුලයෙන් හෝ බමුණු කුලයෙන් හෝ වෙනත් රජ පවුලකින් හෝ උපන් කෙනා විසින් සල්ලීයෙන් කළ හෝ සලල ලීයෙන් කළ හෝ, සඳුන් ලීයෙන් කළ හෝ පදුම ලීයෙන් කළ හෝ උත්තරාරණයක් ගෙන දල්වන යම් ගින්නක් ඇද්ද, පහළ කළ යම් තේජසක් ඇද්ද, මෙම ගින්නෙහි විතර ද දැල්ල තියෙන්නේ? මෙම ගින්නෙහි විතර ද එළිය තියෙන්නේ? මෙම ගින්න විතර ද ප්‍රභාෂ්වර වන්නේ? ගින්නකින් යමක් කළ යුතුද, එය කළ හැක්කේ එම ගින්නෙන් විතරද?
ඒ වගේ ම චණ්ඩාල කුලයෙන් හෝ නේසාද කුලයෙන් හෝ වේණ කුලයෙන් හෝ රථකාර කුලයෙන් හෝ පුක්කුස කුලයෙන් හෝ උපන් අය විසින් සතුන් පැන් බොන දෙණියට අයත් ලීයෙන් කළ හෝ ඌරන් බුදින තැන ලීයෙන් කළ හෝ රජකයන් රෙදි සෝදන තැන ලීයෙන් කළ හෝ ඒලණ්ඩ ලීයෙන් කළ හෝ උත්තරාරණිය ගෙන දල්වන යම් ගින්නක් ඇද්ද, පහළ කරන යම් තේජසක් ඇද්ද, එම ගින්නෙහි දැල්ලක් නැද්ද? එම ගින්නෙහි එළියක් නැද්ද? එම ගින්න ප්‍රභාෂ්වර නැද්ද? ගින්නකින් යමක් කළ යුතුද, එය ඒ ගින්නෙන් කරන්නට බැරිද?”
“භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේ. භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රීය කුලයෙන් හෝ බමුණු කුලයෙන් හෝ වෙනත් රජ පවුලකින් හෝ උපන් කෙනා විසින් සල්ලීයෙන් කළ හෝ සලල ලීයෙන් කළ හෝ, සඳුන් ලීයෙන් කළ හෝ පදුම ලීයෙන් කළ හෝ උත්තරාරණයක් ගෙන දල්වන යම් ගින්නක් ඇද්ද, පහළ කළ යම් තේජසක් ඇද්ද, මෙම ගින්නෙහි ත් දැල්ල තියෙනවා. මෙම ගින්නෙහිත් එළිය තියෙනවා. මෙම ගින්න ත් ප්‍රභාෂ්වර යි. ගින්නකින් යමක් කළ යුතුද, එය මෙම ගින්නෙනුත් කරන්නට පුළුවන්.
ඒ වගේ ම භවත් ගෞතමයන් වහන්ස, චණ්ඩාල කුලයෙන් හෝ නේසාද කුලයෙන් හෝ වේණ කුලයෙන් හෝ රථකාර කුලයෙන් හෝ පුක්කුස කුලයෙන් හෝ උපන් අය විසින් සතුන් පැන් බොන දෙණියට අයත් ලීයෙන් කළ හෝ ඌරන් බුදින තැන ලීයෙන් කළ හෝ රජකයන් රෙදි සෝදන තැන ලීයෙන් කළ හෝ ඒලණ්ඩ ලීයෙන් කළ හෝ උත්තරාරණිය ගෙන දල්වන යම් ගින්නක් ඇද්ද, පහළ කරන යම් තේජසක් ඇද්ද, එම ගින්නෙහි ත් දැල්ලක් තියෙනවා. එම ගින්නෙහි ත් එළියක් තියෙනවා. එම ගින්න ත් ප්‍රභාෂ්වර යි. ගින්නකින් යමක් කළ යුතුද, එය ඒ ගින්නෙනුත් කරන්නට පුළුවන්.” භවත් ගෞතමයන් වහන්ස, හැම ගින්නක ම දැල්ලක් තියෙනවා. එළියක් තියෙනවා. ප්‍රභාෂ්වර යි. ගින්නකින් යමක් කළ යුතුද, හැම ගින්නෙන් ම එය කරන්නට පුළුවන්.
“පින්වත් අස්සලායන, ඉතින් එහෙම නම් ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. බ්‍රාහ්මණයන් විතරක් සුදු වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් කළු වර්ණයෙන් යුක්තයි. බ්‍රාහ්මණයන් විතරක් පිරිසිදුයි. අබ්‍රාහ්මණයන් එහෙම නෑ. බ්‍රාහ්මණයන් පමණයි බ්‍රහ්මයා ගේ දරුවන්. ළයෙහි උපන්, මුවෙන් උපන්, බ්‍රහ්මයා ගෙන් නිර්මිත වූ බ්‍රහ්ම දායාදය යි’ කියලා බ්‍රාහ්මණයන් හට කියන්නට පුළුවන් බලය කුමක් ද? ආශ්වාසය කුමක්ද?”
“භවත් ගෞතමයන් වහන්සේ ඔය විදිහට පැවසුවත්, බ්‍රාහ්මණයන් හිතාගෙන ඉන්නේ කලින් කියූ කාරණය ම යි. ඒ කියන්නේ ‘බ්‍රාහ්මණයන් විතරක් ශ්‍රේෂ්ඨ වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් හීන වර්ණ යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා.”
“පින්වත් අස්සලායන, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහිලා ක්ෂත්‍රීය කුමාරයෙක් බ්‍රාහ්මණ කුමාරියක සමඟ අඹුසැමියන් වශයෙන් ඉන්නවා. ඔවුන් ගේ එක්වීම නිසා ඔවුන්ට පුතෙක් ලැබෙනවා. එතකොට යම් මේ ක්ෂත්‍රීය කුමාරයෙකු නිසා බ්‍රාහ්මණ කන්‍යාවකට උපන් පුතෙක් වෙයි ද, මේ දරුවාට මව් ගේ හැඩරුවත් තියෙනවා. පියා ගේ හැඩරුවත් තියෙනවා. එතකොට මොහුට ක්ෂත්‍රීයයෙක් කියල ද කියන්නට ඕන? බ්‍රාහ්මණයෙක් කියල ද කියන්නට ඕන?”
“භවත් ගෞතමයන් වහන්ස, යම් මේ ක්ෂත්‍රීය කුමාරයෙකු නිසා බ්‍රාහ්මණ කන්‍යාවකට උපන් පුතෙක් වෙයි ද, මේ දරුවාට මව් ගේ හැඩරුවත් තියෙනවා නම්, පියා ගේ හැඩරුවත් තියෙනවා නම්, එතකොට මොහුට ක්ෂත්‍රීයයෙක් කියල ත් කිව යුතුයි. බ්‍රාහ්මණයෙක් කියල ත් කිව යුතුයි.”
“පින්වත් අස්සලායන, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහිලා බ්‍රාහ්මණ කුමාරයෙක් ක්ෂත්‍රීය කුමාරියක සමඟ අඹුසැමියන් වශයෙන් ඉන්නවා. ඔවුන් ගේ එක්වීම නිසා ඔවුන්ට පුතෙක් ලැබෙනවා. එතකොට යම් මේ බ්‍රාහ්මණ කුමාරයෙකු නිසා ක්ෂත්‍රීය කන්‍යාවකට උපන් පුතෙක් වෙයි ද, මේ දරුවාට මව් ගේ හැඩරුවත් තියෙනවා. පියා ගේ හැඩරුවත් තියෙනවා. එතකොට මොහුට ක්ෂත්‍රීයයෙක් කියල ද කියන්නට ඕන? බ්‍රාහ්මණයෙක් කියල ද කියන්නට ඕන?”
“භවත් ගෞතමයන් වහන්ස, යම් මේ බ්‍රාහ්මණ කුමාරයෙකු නිසා ක්ෂත්‍රීය කන්‍යාවකට උපන් පුතෙක් වෙයි ද, මේ දරුවාට මව් ගේ හැඩරුවත් තියෙනවා නම්, පියා ගේ හැඩරුවත් තියෙනවා නම්, එතකොට මොහුට ක්ෂත්‍රීයයෙක් කියල ත් කිව යුතුයි. බ්‍රාහ්මණයෙක් කියල ත් කිව යුතුයි.”
“පින්වත් අස්සලායන, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහිලා වෙළඹක් බූරුවෙක් සමඟ අඹුසැමියන් වශයෙන් වාසය කොට පැටියෙක් ලැබුනොත්, එතකොට ඒ පැටියා ලැබුනේ බූරුවෙකු නිසා වෙළඹකට නෙව. ඉතින් ඒ පැටියාට මව් ගේ හැඩයත් තියෙනවා. පියා ගේ හැඩයත් තියෙනවා. එතකොට ඒ පැටියාට අශ්වයා කිව යුතුද? බූරුවා කිව යුතුද?”
“භවත් ගෞතමයන් වහන්ස, වෙළඹගෙන් උපන් ඒ පැටියාට කියන්නේ අශ්වතර කියල යි. භවත් ගෞතමයන් වහන්ස, ඒ සතා ගේ පැහැදිලි වෙනසක් දකින්නට ලැබෙනවා. නමුත් මෙකරුණෙහි ලා මනුෂ්‍යයන් ගේ නම් වෙනසක් දකින්නට නැහැ.”
“පින්වත් අස්සලායන, මෙහිලා එක මව්කුසින් උපන් සොහොයුරු මාණවකයන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් උපනයන කොට වේද මන්ත්‍ර හදාරණවා. අනෙකා උපනයන කරල ත් නෑ. වේද මන්ත්‍ර හදාරලත් නෑ. එතකොට මතකබත් දානයක දී වේවා, තලි දානයක දී වේවා, යාගබතක දී වේවා, ආගන්තුක බතක දී වේවා, පළමුවෙන් ම අනුභව කරවන්නේ කාටද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා යම් මාණවකයෙක් උපනයන කොට, වේද මන්ත්‍ර හදාරලා තියෙනවා ද, බ්‍රාහ්මණයන් මතකබත් දානයක දී වේවා, තලි දානයක දී වේවා, යාගබතක දී වේවා, ආගන්තුක බතක දී වේවා, පළමුවෙන් ම අනුභව කරවන්නේ ඔහුට යි. භවත් ගෞතමයන් වහන්ස, කිම? උපනයන නො කළ, වේද මන්ත්‍ර නො හදාළ කෙනෙකුට දුන් දෙය මහත්ඵල මහානිසංස වන්නේ ද?”
“පින්වත් අස්සලායන, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහිලා එක මව්කුසින් උපන් සොහොයුරු මාණවකයන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් උපනයන කරලා වේද මන්ත්‍ර හදාරනවා. හැබැයි දුස්සීල යි. පාප ධර්මයන් ගෙන් යුක්තයි. අනිකා උපනයන කරලා නෑ. වේද මන්ත්‍ර හදාරලත් නෑ. හැබැයි සීලවන්තයි. කල්‍යාණ ධර්මයන් ගෙන් යුක්තයි. එතකොට බ්‍රාහ්මණයන් මතකබත් දානයක දී වේවා, තලි දානයක දී වේවා, යාගබතක දී වේවා, ආගන්තුක බතක දී වේවා, පළමුවෙන් ම අනුභව කරවන්නේ කාටද?”
“භවත් ගෞතමයන් වහන්ස, යමෙක් සීලවන්ත ද, කල්‍යාණ ධර්මයන් ගෙන් යුක්තයි ද, බ්‍රාහ්මණයන් මතකබත් දානයක දී වේවා, තලි දානයක දී වේවා, යාගබතක දී වේවා, ආගන්තුක බතක දී වේවා, පළමුවෙන් ම අනුභව කරවන්නේ ඔහුට යි. භවත් ගෞතමයන් වහන්ස, කිම? පාප ධර්ම ඇති දුස්සීලයෙකුට දෙන ලද්ද මහත්ඵල මහානිසංස වන්නේ ද?”
“පින්වත් අස්සලායන, ඔබ කලින් උපන් කුලයට ගියා. උපන් කුලයට ගිහින් ඊට පස්සේ වේද හැදෑරීමට ගියා. වේද හැදෑරීමට ගිහින් තපසට ආවා. තපසට ගිහින් මං යම් චතුර්වර්ණයට පොදු පිරිසිදු වීමක් ගැන කියනවා ද, ඒ මතයට ආවා.”
මෙසේ වදාළ විට අස්සලායන මාණවකයා නිශ්ශබ්ද වුනා. කරකියා ගන්නට දෙයක් නැතිවුනා. කඳ පහත් කර ගත්තා. මුහුණ යටට හරවගත්තා. කල්පනාවට වැටුනා. වැටහීම් රහිතව වාඩිව සිටියා.
එකල්හි නිශ්ශබ්දව, කරකියාගත නො හැකිව, කඳ පහත් කොට, මුහුණ යටට හරවා ගෙන, කල්පනාවට වැටී, වැටහීම් රහිතව වාඩිවී සිටින අස්සලායන මාණවකයා හට මෙය වදළා.
“පින්වත් අස්සලායන, වනාන්තරයෙහි පන්සල්වල වේද මන්ත්‍ර හදාරණ බ්‍රාහ්මණ ඍෂිවරු සත්දෙනෙකුට මෙවැනි පාපී දෘෂ්ඨියක් ඇතිවුනා. ‘බ්‍රාහ්මණ වර්ණය තමයි ශ්‍රේෂ්ඨ. අන්‍ය වර්ණ හීන යි ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා. පින්වත් අස්සලායන, අසිත දේවල ඍෂිවරයාට වනාන්තරයෙහි පන්සල්වල වේද මන්ත්‍ර හදාරණ බ්‍රාහ්මණ ඍෂිවරු සත්දෙනෙකුට මෙවැනි පාපී දෘෂ්ඨියක් ඇතිවුන බව අසන්නට ලැබුනා. ඒ කියන්නේ ‘බ්‍රාහ්මණ වර්ණය තමයි ශ්‍රේෂ්ඨ. අන්‍ය වර්ණ හීන යි. ….(පෙ)…. බ්‍රහ්ම දායාදය යි’ කියලා. පින්වත් අස්සලායන, එතකොට අසිත දේවල ඍෂිවරයා කෙස් රැවුල් කපා මදටිය පැහැයෙන් යුතු වස්ත්‍ර පොරොවා ගෙන ලී මිරිවැඩි පයෙහි ලා, රන්මුවා සැරයටියක් ගෙන බ්‍රාහ්මණ ඍෂිවරුන් සත්දෙනා ගේ පන්සල් ඉදිරියෙහි පහළ වුනා.
ඉතින් පින්වත් අස්සලායන, අසිත දේවල ඍෂිවරයා බ්‍රාහ්මණ ඍෂිවරුන් සත් දෙනා ගේ පන්සලෙහි සක්මන් කරමින් මෙය කිව්වා. ‘දැන් මේ භවත් ඍෂිවරුන් කොයිබ ගිහින් ද? දැන් මේ භවත් ඍෂිවරුන් කොයිබ ගිහින් ද?’ එවිට පින්වත් අස්සලායන, අර බ්‍රාහ්මණ ඍෂිවරුන්ට මෙය සිතුනා. ‘ගමේ කොල්ලෙක් වැනි මේ පුද්ගලයා බ්‍රාහ්මණ ඍෂිවරු සත්දෙනා ගේ පන්සල ඉදිරියේ සක්මන් කරමින් ‘දැන් මේ භවත් ඍෂිවරුන් කොයිබ ගිහින් ද? දැන් මේ භවත් ඍෂිවරුන් කොයිබ ගිහින් ද?’ කිය කියා ඇවිදින හැටි. හොඳයි අපි මොහුට ශාප කරමු’ කියලා පින්වත් අස්සලායන, ඒ බ්‍රාහ්මණ ඍෂිවරුන් සත්දෙනා අසිත දේවල ඍෂිවරයාට ‘ඒයි වසලය, අළුවෙලා පලයන්’ කියලා ශාප කළා. එතකොට පින්වත් අස්සලායන, ඒ බ්‍රාහ්මණ ඍෂිවරුන් සත්දෙනා යම් යම් අයුරින් අසිත දේවල ඍෂිවරයාට ශාප කරත් කරත් ම, අසිත දේවල ඍෂිවරයා වඩ වඩාත් රූප සෝභා සම්පන්න වුනා. වඩ වඩාත් දර්ශනීය වුනා. වඩ වඩාත් පැහැපත් වුනා.
එතකොට පින්වත් අස්සලායන, බ්‍රාහ්මණ ඍෂිවරුන් සත්දෙනාට මෙහෙම සිතුනා. ‘අහෝ අප ගේ තපස හිස් දෙයක්. බ්‍රහ්මචරියාව ඵල රහිත දෙයක්. අපි ඉස්සර යමෙකුට ‘ඒයි වසලය, අළුවෙලා පලයන්’ කියන කොට අළුවෙලා යනවා. නමුත් දැන් අපි යම් යම් අයුරින් ශාප කරයි ද, වඩ වඩාත් රූ සෝභා ඇතිවෙනවා නෙව. වඩ වඩාත් දර්ශනීය වෙනවා නෙව. වඩ වඩාත් පැහැපත් වෙනවා නෙව’ කියලා.
‘භවතුන් ගේ තපස හිස් දෙයක් නොවේ. භවතුන් ගේ බ්‍රහ්මචරියාව ඵල රහිත දෙයකුත් නොවේ. සැබැවින් ම භවත්නි, මා කෙරෙහි ඔබ මනසෙහි යම් ද්වේෂයක් ඇද්ද, එය අත්හැර දමන්න.’
‘භවතාණන් කෙරෙහි අප මනසෙහි යම් ද්වේශයක් ඇද්ද, එය අපි අත්හැර දමන්නම්. භවත, සැබැවින් ම ඔබ කවුද?’
‘භවතුන් විසින් අසිත දේවල ඍෂිවරයා ගැන අසා තිබෙනවා ද?’
‘එසේය භවත’
‘ඒ මං තමයි’
එවිට පින්වත් අස්සලායන, බ්‍රාහ්මණ ඍෂිවරුන් සත් දෙනා අසිත දේවල ඍෂිවරයාට වන්දනා කරන්නට පැමිණුනා.
පින්වත් අස්සලායන, අසිත දේවල ඍෂිවරයා බ්‍රාහ්මණ ඍෂිවරු සත්දෙනාට මෙය පැවසුවා. ‘භවත්නි, මට මෙය අසන්නට ලැබුනා. එනම්, වනාන්තරයෙහි පන්සල්වල වේද මන්ත්‍ර හදාරණ බ්‍රාහ්මණ ඍෂිවරු සත්දෙනෙකුට මෙවැනි පාපී දෘෂ්ඨියක් ඇතිවෙලා තියෙනවා. ‘බ්‍රාහ්මණ වර්ණය තමයි ශ්‍රේෂ්ඨ. අන්‍ය වර්ණ හීන යි. බ්‍රාහ්මණයන් විතරක් සුදු වර්ණයෙන් යුක්තයි. අන්‍යයන් කළු වර්ණයෙන් යුක්තයි. බ්‍රාහ්මණයන් විතරක් පිරිසිදුයි. අබ්‍රාහ්මණයන් එහෙම නෑ. බ්‍රාහ්මණයන් පමණයි බ්‍රහ්මයා ගේ දරුවන්. ළයෙහි උපන්, මුවෙන් උපන්, බ්‍රහ්මයා ගෙන් නිර්මිත වූ බ්‍රහ්ම දායාදය යි’ කියලා.’
‘එසේය භවත’
‘භවත්නි, ඔබ බිහිකළ යම් මව් කෙනෙක් ඇද්ද, ඇය ඔබව ඉපැද්දුවේ බමුණෙකු කරා ගිහින් ද? අබ්‍රාහ්මණයෙකු කරා ගිහින් ද කියා ඔබ දන්නවා ද?’
‘භවත, එය අපි දන්නෙ නැහැ.’
‘එසේ නම් භවත්නි, ඔබ වැදූ යම් මවක් ඇද්ද, ඒ මව් ගේ සත්වැනි මිත්තණී යුගය දක්වා ඒ සියළු බ්‍රාහ්මණ කාන්තාවන් බ්‍රාහ්මණයන් වෙත ම ගිහින් තියෙනවා. අබ්‍රාහ්මණයන් වෙත ගිහින් නැත කියා දන්නවා ද?’
‘භවත්නි. එසේ දන්නෙත් නැහැ.’
‘භවත්නි, ඔබලා ජාතක කළ යම් පිය කෙනෙක් ඇද්ද, ඔහු බැමිණියක කරා පමණක් ගිය කෙනෙක් ද? අබ්‍රාහ්මණියක කරා ගිහින් නැද්ද? කියා ඔබ දන්නවා ද?’
‘භවත, එය අපි දන්නෙ නැහැ.’
‘එසේ නම් භවත්නි, ඔබ ජාතක කළ යම් පියෙක් ඇද්ද, ඒ පියා ගේ සත්වැනි මුත්තනු යුගය දක්වා ඒ සියළු බ්‍රාහ්මණයන් බ්‍රාහ්මණියන් වෙත පමණක් ගිහින් තියෙනවා. අබ්‍රාහ්මණියන් වෙත ගිහින් නැත කියා දන්නවා ද?’
‘භවත්නි. එසේ දන්නෙත් නැහැ.’
‘භවත්නි, ඔබලා මව්කුසක උපදින ආකාරය දන්නවා ද?’
‘භවත, අපි මව්කුසක උපදින ආකාරය දන්නවා. ඒ කියන්නේ එහිලා මව ත්, පියා ත් අඹුසැමියන් වශයෙන් එක්වෙන්නට ඕන. මව ත්, ඍතු වෙන කෙනෙක් වෙන්නට ඕන. ගන්ධබ්බයෙක් පැමිණෙන්නටත් ඕන. මේ කරුණු තුනේ එක්වීමෙන් තමයි මව්කුසක ඉපදීමක් සිද්ධ වෙන්නේ’
‘එහෙම නම් භවත්නි, ඔබ ඒකාන්ත වශයෙන් ම දන්නවා ද, ඒ ගන්ධබ්බයා ක්ෂත්‍රීයෙක් ය කියලා. එහෙම නැත්නම් බ්‍රාහ්මණයෙක් ය කියලා. එහෙම නැත්නම් වෛශ්‍යයෙක් ය කියලා. එහෙම නැත්නම් ශුද්‍රයෙක් ය කියලා?‘
‘භවත, අපි ඒ ගන්ධබ්බයා ක්ෂත්‍රීයයෙක් ද, බ්‍රාහ්මණයෙක් ද, වෛශ්‍යයෙක් ද, ශුද්‍රයෙක් ද කියලා ඒකාන්ත කොට කියන්නට දන්නෙ නැහැ.’
‘භවත්නි, එහෙම නම් ඔබලා දන්නවා ද ඔබලා කවුද කියලා?’
‘භවත, එසේ ඇති කල්හි සැබැවින් ම අපි කවුද කියලා අපිවත් දන්නෙ නැහැ.’
පින්වත් අස්සලායන, මෙසේ ඒ බ්‍රාහ්මණ ඍෂිවරුන් සත්දෙනාට අසිත දේවල ඍෂිවරයා විසින් තමන් ගේ ජාතිවාදයෙන් කරුණු පෙන්වා කියද්දී, කරුණු මතුකොට කියද්දී, ප්‍රශ්න කරද්දී පිළිතුරු දීගන්නට බැරි වුනා. එහෙම එකේ ඔබ මා විසින් තමුන් ගේ ජාතිවාදය ගැන කරුණු කියද්දී, මතුකොට පෙන්වද්දී, පැහැදිලිව සාධක පෙන්වා දෙද්දී ඔබ කෙසේ නම් පිළිතුරු සපයන්ට ද? ආචාර්යවරයන් සහිත වූ ඔබ ඒ බ්‍රාහ්මණ ඍෂිවරුන් ගේ යාග හැන්දවත් ගන්නට තරම් පූර්ණ නැහැ.”
මෙසේ වදාළ කල්හී අස්සලායන මාණවකයා භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි! ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
අස්සලායන බ්‍රාහ්මණයාට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M