මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයෙහි මේදතළුම්ප නම් වූ ශාක්‍යවරුන් ගේ නියම් ගමෙහි. එසමයෙහි පසේනදී කොසොල් රජු කිසියම් රාජකාරියක් පිණිස නගරක නම් වූ ශාක්‍යවරුන් ගේ නියම්ගමට පැමිණුනා. එහිදී පසේනදී කොසොල් රජු දීඝකාරායන නම් සෙනෙවියා ඇමතුවා. “ප්‍රිය මිත්‍ර කාරායන, සොඳුරු වාහනයන් සකස් කරන්න. සුන්දර භූමිය ඇති උද්‍යාන භූමිය දකින්නට යන්නට ඕන.” “එසේය දේවයනි” කියා දීඝකාරායන සෙනවියා පසේනදී කොසොල් රජුට පිළිතුරු දී සොඳුරු වාහන සකසා පසේනදී කොසොල් රජුට දැනුම් දුන්නා. “දේවයන් වහන්ස, සොඳුරු යානාවන් සකස් කළා. යමකට දැන් කාලය නම්, එය දැනගත මැනැව” කියා. එවිට පසේනදී කොසොල් රජු සොඳුරු වාහනයක නැගී මහත් රාජානුභාවයකින් යුතුව ආරාමය කරා ගියා. යානයෙන් යා හැකි තාක් දුර ගොස් එයින් බැස පා ගමනින් ම ආරාමයට පිවිසුණා.
එතකොට පසේනදී කොසොල් රජු ආරාමයෙහි ව්‍යායාම පිණිස ඇවිදිමින් සිටිය දී, ඔබමොබ යමින් සිටිය දී සිත පහන් කරන දැකුම්කළු රුක් සෙවන දැක්කා. කිසි ශබ්දයක් නැති, ඝෝෂාවක් නැති, මිනිසුන් ගේ ඇසුර නැති සුළඟ ඇති, මිනිසුන් ගේ හුදෙකලා කටයුතු වලට යෝග්‍ය වූ තැන් දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේව ම මතක් වෙන්නට පටන් ගත්තා. “මේ හරි අගේ ඇති රුක් සෙවන තියෙනවා නෙව. හරි පැහැදීමකින් යුක්තයි. සිත් පහන් කරවනවා. නිශ්ශබ්ද යි. ඝෝෂා රහිත යි. මිනිස් ඇසුර නැති සුළඟින් යුක්තයි. මිනිසුන් ගේ හුදෙකලා කටයුතු වලට ඉතා යෝග්‍යය යි. මෙවැනි යම් බඳු තැන් ඇද්ද, එබඳු තැන්වලයි අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නේ.”
එහිදී පසේනදී කොසොල් රජු දීඝකාරායන සෙනෙවියා ඇමතුවා. “ප්‍රිය මිත්‍ර කාරායන, මේ හරි අගේ ඇති රුක් සෙවන තියෙනවා නෙව. හරි පැහැදීමකින් යුක්තයි. සිත් පහන් කරවනවා. නිශ්ශබ්ද යි. ඝෝෂා රහිත යි. මිනිස් ඇසුර නැති සුළඟින් යුක්තයි. මිනිසුන් ගේ හුදෙකලා කටයුතු වලට ඉතා යෝග්‍යය යි. මෙවැනි යම් බඳු තැන් ඇද්ද, එබඳු තැන්වලයි අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නේ. ප්‍රිය මිත්‍ර කාරායන, මේ දවස්වල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටින්නේ කොහේද?”
“මහාරාජයාණෙනි, ශාක්‍යවරුන් ගේ මේදතළුම්ප නම් නියම් ගමක් තියෙනවා. එහි තමයි මේ දිනවල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ.” “ප්‍රිය මිත්‍ර කාරායන, නාගරකයේ ඉඳලා මේදතළුම්ප නම් ශාක්‍යවරුන් ගේ නියම්ගමට කොච්චර දුර ද?” “මහාරාජයාණෙනි, එතරම් ම දුරක් නැහැ. යොදුන් තුන යි. වරුවකින් යා ගන්නට පුළුවනි.” “එසේ වී නම්, ප්‍රිය මිත්‍ර කාරායන, සොඳුරු වාහනයන් සකසන්න. අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට යන්නට ඕන.”
“එසේය දේවයනි” කියා දීඝකාරායන සෙනවියා පසේනදී කොසොල් රජුට පිළිතුරු දී සොඳුරු වාහන සකසා පසේනදී කොසොල් රජුට දැනුම් දුන්නා. “දේවයන් වහන්ස, සොඳුරු යානාවන් සකස් කළා. යමකට දැන් කාලය නම්, එය දැනගත මැනැව” කියා. එවිට පසේනදී කොසොල් රජු සොඳුරු වාහනයක නැගී නගරක නම් නියම්ගමින් නික්ම මේදතළුම්ප නම් ශාක්‍යවරුන් ගේ නියම්ගම කරා පිටත් වුනා. ඉතින් වරුවකින් ම මේදතළුම්ප නම් ශාක්‍යවරුන් ගේ නියම්ගමට පැමිණුනා. ආරාමය කරා ගියා. වාහනයකින් යා හැකි භූමිය යම්තාක් ඇද්ද, එතෙක් ගොස් වාහනයෙන් බැස පයින් ම ආරාමයට පිවිසුනා.
එසමයෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා එළිමහනෙහි සක්මන් කරමින් සිටියා. පසේනදී කොසොල් රජු ඒ භික්ෂූන් වහන්සේලා වෙත ගියා. ගිහින් ඒ භික්ෂූන්ට මෙය පැවසුවා. “ස්වාමීනී, දැන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩඉන්නේ කොහේ ද? ස්වාමීනී, අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේව බැහැදකින්නට කැමතියි.” “පින්වත් මහාරාජ, අර තියෙන්නේ දොර වසා ඇති විහාරය යි. ඔබ නිශ්ශබ්දව ගිහින් කලබල නො වී ආලින්දයට ගොඩ වී උගුර පාදා දොරගුලට හෙමින් තට්ටු කරන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර හරිනා සේක.”
එතකොට පසේනදී කොසොල් රජු කඩුව ත්, නළල්පට ත්, එහිම දීඝකාරායන සෙනෙවියාට දුන්නා. එවිට දීඝකාරායන සෙනෙවියාට මෙසේ සිතුණා. “මහරජු හුදෙකලාවේ කතා කරන්නට කැමති හැඩැයි. එනිසා මං මෙතන්හි ම සිටිය යුතුයි.” ඉක්බිති පසේනදී කොසොල් රජු දොර වසා ඇති ඒ විහාරය ළඟට ගියා. නිශ්ශබ්දව ගිහින් කලබල නැතිව ආලින්දයට ගොඩ වී උගුර පාදා දොර අගුලට සෙමෙන් තට්ටු කළා. භාග්‍යවතුන් වහන්සේ දොර විවර කළ සේක.
එවිට පසේනදී කොසොල් රජු විහාරයට පිවිස භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය අභියස වැඳ වැටුනා. භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා කමල් මුවින් සිඹින්නට පටන්ගත්තා. දෑතින් පිරිමදින්නට පටන්ගත්තා. නම කියන්නට පටන් ගත්තා. “ස්වාමීනී, මම් වනාහී පසේනදී කොසොල් රජු වෙමි. ස්වාමීනී, මම් වනාහී පසේනදී කොසොල් රජු වෙමි.”
“පින්වත් මහාරාජ, ඔබ කවර අරුතක් දකිමින් ද, මෙම ශරීරය කෙරෙහි මෙබඳු වූ පරම ගෞරවාදරයක් දක්වන්නේ? මෙබඳු වූ ගෞරව උපහාරයක් දක්වන්නේ?”
“ස්වාමීනී, මා තුළ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ පිළිබඳව ධර්මාන්වය තිබෙනවා. ඒ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක’ කියල.
ඉතින් ස්වාමීනී, මෙහිලා මං ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ වරුන් දකිනවා. ඔවුන් දස වර්ෂය, විසි වර්ෂය, තිස් වර්ෂය, සතළිස් වර්ෂය බ්‍රහ්මචාරීව ජීවිත ගෙවලා. නමුත් ඔවුන් පස්සෙ කාලෙක දී දකින්නට ලැබෙනවා හොඳින් වතුර නා, සුවඳ විලවුන් තවරා, සොඳුරු ලෙසින් හිස රැවුල් සකසා, පංචකාම ගුණයන් පිරිවරාගෙන එයින් සතුටු වෙවී ඉන්නවා.
ඒ වගේ ම ස්වාමීනී, මං භික්ෂූන් වහන්සේලාව ත් දකිනවා. ජීවිතාන්තය දක්වා ම, ජීවිත පරිත්‍යාගයෙන් පිරිපුන් පිරිසිදු බඹසර හැසිරෙනවා. ස්වාමීනී, මං මේ බුදු සසුනෙන් බැහැරව නම් මේ අයුරින් අංග සම්පූර්ණ වූ, පාරිශුද්ධ වූ බඹසර රැකීමක් දකින්නෙ නෑ. ඉතින් ස්වාමීනී, මා තුළ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ පිළිබඳව ඔය ධර්මාන්වය තියෙනවා. ඒ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක’ කියල.
ස්වාමීනී, තවදෙයක් තියෙනවා. රජවරු රජවරුන් සමඟ වාද විවාද කරනවා. ක්ෂත්‍රීයවරුන් ක්ෂත්‍රීයයන් සමඟ වාද විවාද කරනවා. බමුණෝ බමුණන් සමඟ වාද විවාද කරනවා. ගෘහපතිවරු ගෘහපතියන් සමඟ වාද විවාද කරනවා. මව්වරු දරුවන් සමඟ වාද විවාද කරනවා. දරුවන් මව්වරුන් සමඟ වාද විවාද කරනවා. පියවරු දරුවන් සමඟ වාද විවාද කරනවා. දරුවන් පියවරුන් සමඟ වාද විවාද කරනවා. සහෝදරවරු සහෝදරයන් සමඟ වාද විවාද කරනවා. සහෝදරවරු සහෝදරියන් සමඟ වාද විවාද කරනවා. සහෝදරියන් සහෝදරවරුන් සමඟ වාද විවාද කරනවා. යහළුවන් යහළුවන් සමඟ විවාද කරනවා. එහෙත් ස්වාමීනී, මං භික්ෂූන් වහන්සේලා දැකලා තියෙනවා. සමඟිව ඉන්නවා. සමඟිව සතුටු වෙවී ඉන්නවා. වාද විවාද නො කරගෙන ඉන්නවා. කිරියි දියර යි එක්වුනා වගේ ඉන්නවා. එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් ඉන්නවා. ස්වාමීනී, මං මේ බුදුසසුනෙන් බැහැර මෙබඳු ආකාරයෙන් සමඟියෙන් වසන වෙනත් පිරිසක් දැකලා නැහැ. ඉතින් ස්වාමීනී, මා තුළ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ පිළිබඳව ඔය ධර්මාන්වය ත් තියෙනවා. ඒ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක’ කියල.
ස්වාමීනී, තවදෙයක් තියෙනවා. මං ආරාමයෙන් ආරාමයට, උද්‍යානයෙන් උද්‍යානයට සක්මන් කරනවා. ඔබමොබ ඇවිදිනවා. එතකොට මට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දකින්නට ලැබෙනවා. කෙට්ටු යි. රළු යි. දුර්වර්ණ යි. නහර වැල් ඉලිප්පිලා පඬු පැහැයෙන් සිටිනවා. ජනතාවට දකින්නට නෙත් බැඳගන්නෙ නෑ කියලයි හිතෙන්නෙ. එතකොට ස්වාමීනී මට මෙහෙම හිතෙනවා. ‘හැබෑවට ම මේ ආයුෂ්මතුන් වහන්සේලා බඹසර හැසිරෙන්නේ කැමැත්තකින් නම් නොවේ. එක්කො මේ උදවිය යම්කිසි පව්කමක් කොට සඟවාගෙන ඉන්නවා. ඒ විදිහට යි මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙට්ටු වෙලා, රළු වෙලා, දුර්වර්ණව, නහරවැල් ඉලිප්පිලා පඬු පැහැයෙන් සිටින්නේ. ජනතාවට දකින්නට නෙත් බැඳගන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ’ එතකොට මං ඔවුන් වෙත ගොස් මෙහෙම අහනවා. ‘පින්වත් ආයුෂ්මතුන් වහන්ස, නුඹවහන්සේලා කෘෂ යි නෙව. රළු යි නෙව. පඬු පැහැයෙන් යුතුව නහර වැල් ඉලිප්පී සිටිනවා නෙව. ජනතා දර්ශනයට නෙත් බැඳගන්නෙ නෑ කියලයි මා සිතන්නේ.’ එතකොට ඔවුන් මෙහෙම පිළිතුරු දෙනවා. ‘මහාරාජ, අපට බන්ධුක නම් රෝගයක් තියෙනවා’ කියල.
නමුත් ස්වාමීනී, මේ සසුනෙහි භික්ෂූන් වහන්සේලාත් මට දකින්නට ලැබෙනවා. තුටුපහටු සිත් ඇතිව ඉන්නවා. ඔද වැඩුණු සිතින් ඉන්නවා. සසුනෙහි ඇලී ඉන්නවා. මාර්ග භාවනාවෙන් වැඩී පිනාගිය ඉඳුරන් ඇතිව ඉන්නවා. ලාභ සත්කාරයන්ට උත්සාහ රහිතව ඉන්නවා. නිරහංකාරව ඉන්නවා. අනුන් දුන් දෙයකින් යැපෙමින් ඉන්නවා. මුවන්ට බඳු නිදහස් සිතින් ඉන්නවා. එතකොට ස්වාමීනී, මට මෙහෙම සිතෙනවා. ‘සැබැවින් ම මේ ආයුෂ්මතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනයෙහි කිසියම් උදාර වූ මාර්ගඵල විශේෂයක් දන්නවා ම යි.’ ඒ නිසයි මේ ආයුෂ්මතුන් වහන්සේලා තුටුපහටු සිත් ඇතිව ඉන්නේ. ඔද වැඩුණු සිතින් ඉන්නේ. සසුනෙහි ඇලී ඉන්නේ. මාර්ග භාවනාවෙන් වැඩී පිනාගිය ඉඳුරන් ඇතිව ඉන්නේ. ලාභ සත්කාරයන්ට උත්සාහ රහිතව ඉන්නේ. නිරහංකාරව ඉන්නේ. අනුන් දුන් දෙයකින් යැපෙමින් ඉන්නේ. මුවන්ට බඳු නිදහස් සිතින් ඉන්නේ’ කියලා. ඉතින් ස්වාමීනී, මා තුළ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ පිළිබඳව ඔය ධර්මාන්වය ත් තියෙනවා. ඒ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක’ කියල.
ඒ වගේ ම ස්වාමීනී, තවත් දෙයක් තියෙනවා. මම ඔටුණු පළන් රජතුමෙක්. මට මැරීමට සුදුසු අය මරවන්නට පුළුවන්. දේපළ වස්තුව රාජසන්තක කළ යුතු නම් එය කරවන්නට පුළුවන්. රටින් නෙරපිය යුතු පුද්ගලයන්ව නෙරපන්නට ත් පුළුවන්. ඉතින් ස්වාමීනී, එබඳු වූ මං අධිකරණ විනිශ්චය ශාලාවෙහි සිටිද්දී ඒ අතරේ අනවශ්‍ය කතා ඇදබානවා. එතකොට මා ‘භවත්නි, මේ විනිශ්චය ශාලාවෙහි ඉන්නා මා මේ වැඩ කරනා අතරෙහි කතා බස් කරන්නට එපා! භවත්නි, ඔබ මාගේ කතාව අවසන් කරන තුරු සිටිත්වා!’ කියා කිව්වත් එය ලබන්නට බැහැ නෙව. මා එසේ කියද්දී ම ඔවුන් අතුරු කතාවන් ඇදබානවා.
නමුත් ස්වාමීනී, මේ ශාසනයෙහි භික්ෂූන් වහන්සේලා මං දකිනවා. යම් වෙලාවක භාග්‍යවතුන් වහන්සේ නොයෙක් පිරිස මැද ධර්ම දේශනා කරන සේක් නම්, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් අතර කිඹිසිනා හඬක්වත්, උගුරපාදන හඬක්වත් ඇසෙන්නේ නැහැ. ස්වාමීනී, මෙය සිදු වූ දෙයක්. එදා භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කරමින් සිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගේ එක්තරා ශ්‍රාවකයෙකුට කැස්සක් ආවා. එවිට එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් දණහිසින් ඔහුට තට්ටු කළා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, නිශ්ශබ්ද වේවා! ප්‍රිය ආයුෂ්මතුනි ශබ්ද නො කළ මැනව. අප ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දෙසනා සේක.’ කියල. එතකොට ස්වාමීනී, මට මෙහෙම හිතුනා. ‘භවත්නි, සැබැවින් ම ආශ්චර්යක් ම යි! භවත්නි, සැබැවින් ම අද්භූතයක් ම යි!’ දඬු මුගුරු වලින් තොරව අවිආයුධ වලින් තොරව මෙසේ මැනවින් හික්මුණු පිරිසක් ඉන්නවා නෙව කියලා. ස්වාමීනී, මේ සසුනෙන් බැහැරව මේ අයුරින් මනාකොට හික්මුණු පිරිසක් නම් මට දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ස්වාමීනී, මා තුළ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ පිළිබඳව ඔය ධර්මාන්වය ත් තියෙනවා. ඒ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක’ කියල.
ඒ වගේ ම තවදෙයක් තියෙනවා. ස්වාමීනී, මෙහිලා ඇතැම් ක්ෂත්‍රීය පණ්ඩිතයන් ඉන්නවා. ඉතා දක්ෂයි. කරන ලද වාද විවාද දැනුමින් යුක්තයි. වාළවේධී ධනුද්ධරයන් මෙන් යුක්තයි. තමන් ගේ ප්‍රඥාවෙන් අන්‍යන්ගේ දෘෂ්ඨි සිඳ බිඳ දමන්නවුන් මෙනුයි හැසිරෙන්නේ. ඉතින් ඔවුන්ට අසන්නට ලැබෙනවා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අසවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙමින් සිටිනවා කියලා. එතකොට ඔවුන් ප්‍රශ්න සකස්කරනවා. ‘අපි මේ ප්‍රශ්නය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට ගෙන යමු. මේ විදිහට අපි ඇසූ විට මේ විදිහට පිළිතුරු දේවි. එතකොට අපි මේ අයුරින් වාදය නංවමු’ කියලා. ඉතින් ඔවුන්ට අසන්නට ලැබෙනවා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අසවල් ගමේ අසවල් නියම්ගමට පැමිණ වැඩඉන්නවා කියලා.
එතකොට ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්ම කතාව කරනවා. සමාදන් කරවනවා. සතුටු කරවනවා. උනන්දුව ඇතිකරවනවා. ඒ ඔවුන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් ප්‍රශ්න අසන්නෙ නෑ. වාදාරෝපණයක් ගැන කවර කතා ද? භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් බවට පත්වෙනවා. ඉතින් ස්වාමීනී, මා තුළ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ පිළිබඳව ඔය ධර්මාන්වය ත් තියෙනවා. ඒ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක’ කියල.
ඒ වගේ ම තවදෙයක් තියෙනවා. ස්වාමීනී, මෙහිලා ඇතැම් බ්‍රාහ්මණ පණ්ඩිතයන් ඉන්නවා. ….(පෙ)…. ගෘහපති පණ්ඩිතයන් ඉන්නවා ….(පෙ)…. ශ්‍රමණ පණ්ඩිතයන් ඉන්නවා. ඉතා දක්ෂයි. කරන ලද වාද විවාද දැනුමින් යුක්තයි. වාළවේධී ධනුද්ධරයන් මෙන් යුක්තයි. තමන් ගේ ප්‍රඥාවෙන් අන්‍යන්ගේ දෘෂ්ඨි සිඳ බිඳ දමන්නවුන් මෙනුයි හැසිරෙන්නේ. ඉතින් ඔවුන්ට අසන්නට ලැබෙනවා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අසවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙමින් සිටිනවා කියලා. එතකොට ඔවුන් ප්‍රශ්න සකස්කරනවා. ‘අපි මේ ප්‍රශ්නය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට ගෙන යමු. මේ විදිහට අපි ඇසූ විට මේ විදිහට පිළිතුරු දේවි. එතකොට අපි මේ අයුරින් වාදය නංවමු’ කියලා. ඉතින් ඔවුන්ට අසන්නට ලැබෙනවා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අසවල් ගමේ අසවල් නියම්ගමට පැමිණ වැඩඉන්නවා කියලා.
එතකොට ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්ම කතාව කරනවා. සමාදන් කරවනවා. සතුටු කරවනවා. උනන්දුව ඇතිකරවනවා. ඒ ඔවුන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් ප්‍රශ්න අසන්නෙ නෑ. වාදාරෝපණයක් ගැන කවර කතා ද? භාග්‍යවතුන් වහන්සේ වෙතින් ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වනු පිණිස ආයාචනා කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ව පැවිදි කරනවා. එසේ පැවිදි වූ ඔවුන් හුදෙකලාව අප්‍රමාදී වෙනවා. කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙනවා. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ධර්මයෙහි හැසිරෙද්දී, යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් මනාකොට ගිහි ජීවිතය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙද්ද, බඹසර ජීවිතයේ නිමාව වන ඒ උතුම් අරහත්වය මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා. ඉතින් ඔවුන් මෙහෙම කියනවා. ‘භවත්නි, අපි තව පොඩ්ඩෙන් විනාශ වෙනවා. භවත්නි, අපි තව පොඩ්ඩෙන් නැත්තට නැතිවෙනවා. ඉස්සර අපි අශ්‍රමණයන්ව සිටිද්දී ශ්‍රමණයන් වශයෙන් පෙනී සිටියා. අබ්‍රාහ්මණයන්ව සිටිද්දී බ්‍රාහ්මණයන් වශයෙන් පෙනී සිටියා. අරහත් නො වී සිටිද්දී ම රහතුන් හැටියට පෙනී සිටියා. නමුත් දැන් අපි සැබෑ ම ශ්‍රමණවරු. සැබෑ ම බ්‍රාහ්මණවරු. දැන් සැබෑ ම රහතන් වහන්සේලා.’ ඉතින් ස්වාමීනී, මා තුළ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ පිළිබඳව ඔය ධර්මාන්වය ත් තියෙනවා. ඒ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක’ කියල.
ඒ වගේ ම තවදෙයක් තියෙනවා ස්වාමීනී, මේ ඉසිදත්ත, පුරාණ යන වඩුදෙටුවන් මගෙන් බත් වැටුප් ලබා, මගෙන් වාහන ලබා ජීවත් වෙන්නෙ. මං තමයි ඔවුන්ට ජීවිතය දෙන්නෙත්, ඔවුන්ට කීර්තිය දෙන්නෙත්. එහෙත් ඔවුන් භාග්‍යවතුන් වහන්සේට යම් අයුරකින් පරම ගෞරවාදරයක් දක්වනවා ද, එබඳු ගෞරවාදරයක් මට දක්වන්නේ නෑ. ස්වාමීනී, මෙය සිදු වූ දෙයක්. මම සේනාව මෙහෙයවද්දී මේ ඉසිදත්ත, පුරාණ යන වඩුවන් දෙදෙනා ගෙන් විමසා එක්තරා බාධා සහිත නවාතැන් පොළක නවාතැන් ගත්තා. එදා ස්වාමීනී, මේ ඉසිදත්ත, පුරාණ යන වඩුවන් දෙදෙනා රාත්‍රී බොහෝ වෙලාවක් ධර්ම සාකච්ඡා කරමින් සිට භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවක වැඩසිටිත් නම්, ඒ දිශාවට හිස දමා, මා සිටි දිශාවට පා දමා නිදාගත්තා. එතකොට ස්වාමීනී, මට මෙහෙම සිතුනා. ‘භවත්නි, සැබැවින් ම ආශ්චර්යක් ම යි! භවත්නි, සැබැවින් ම අද්භූතයක් ම යි! මේ ඉසිදත්ත, පුරාණ යන වඩුදෙටුවන් මගෙන් බත් වැටුප් ලබා, මගෙන් වාහන ලබා ජීවත් වෙන්නෙ. මං තමයි ඔවුන්ට ජීවිතය දෙන්නෙත්, ඔවුන්ට කීර්තිය දෙන්නෙත්. එහෙත් ඔවුන් භාග්‍යවතුන් වහන්සේට යම් අයුරකින් පරම ගෞරවාදරයක් දක්වනවා ද, එබඳු ගෞරවාදරයක් මට දක්වන්නේ නෑ. ඒකාන්තයෙන් ම මේ ආයුෂ්මත්වරුන් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනයෙහි කිසියම් උදාර වූ මාර්ගඵල විශේෂයක් ලබා තිබෙනවා ම යි’ කියලා. ඉතින් ස්වාමීනී, මා තුළ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ පිළිබඳව ඔය ධර්මාන්වය ත් තියෙනවා. ඒ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක’ කියල.
ඒ වගේ ම තව දෙයක් තියෙනවා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. මම ත් ක්ෂත්‍රීයයෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේ ද කෝසල දනව්වෙහි වැඩවසන සේක. මම් ද කොසොල් රට වැසියෙක්මි. භාග්‍යවතුන් වහන්සේ අසූ හැවිරිදි වන සේක. මම ද අසූ හැවිරිදි වෙමි. ස්වාමීනී, යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක් ද, මම ත් ක්ෂත්‍රීයයෙක් වෙම් ද, භාග්‍යවතුන් වහන්සේ ද කෝසල දනව්වෙහි වැඩවසන සේක් ද, මම් ද කොසොල් රට වැසියෙක් වෙම් ද, භාග්‍යවතුන් වහන්සේ අසූ හැවිරිදි වන සේක් ද, මම් ද අසූ හැවිරිදි වෙම් ද, ස්වාමීනී, මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට පරම ගෞරවාදරයක් දැක්විය යුතු ම යි. පරම ගෞරව උපහාරයක් දක්වන්නට සුදුසු ම යි.
ඉතින් ස්වාමීනී, දැන් අපි යන්නම්. අපට බොහෝ වැඩ කටයුතු තියෙනවා නෙව. බොහෝ රාජකාරි තියෙනවා නෙව.” “පින්වත් මහාරාජ, දැන් යමකට කල් තිබේ නම් එය දැනගත මැනැව.” එවිට පසේනදී කොසොල් රජු හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත් වුනා.
පසේනදී කොසොල් රජු පිටත්ව ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වත් මහණෙනි, පසේනදී කොසොල් රජතුමා ඔය ධර්ම චෛත්‍යයයන් පවසා හුනස්නෙන් නැගිට පිටත් වුනේ. පින්වත් මහණෙනි, ධම්මචේතියයන් ඉගෙන ගන්න. පින්වත් මහණෙනි, ධම්මචේතියයන් පාඩම් කරගන්න. පින්වත් මහණෙනි, ධම්මචේතියයන් දරා ගන්න. පින්වත් මහණෙනි, ධම්මචේතියයන් ඉතාමත් අර්ථවත්. පින්වත් මහණෙනි, ධම්මචේතියයන් නිර්වාණ මාර්ගයට මුල්වෙනවා.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ධර්ම චෛත්‍යයන් ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M