මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ උජුකා රට කණ්ණකත්ථල නම් මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි පසේනදී කොසොල් රජු කිසියම් රාජකාරියක් පිණිස උජුකා රටට පැමිණ සිටියා.
එවිට පසේනදී කොසොල් රජු එක්තරා පුරුෂයෙක් ඇමතුවා. “එම්බා පුරුෂය, මෙහි එව. භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න. ගිහින් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මයන් නළල බිම තබා වඳින්න. ‘ස්වාමීනී, පසේනදී කෝසල රාජා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මයන් නළල බිම තබා වඳිනවා’ කියල. මෙසේත් කියන්න. ‘ස්වාමීනී, අද පසේනදී කොසොල් රජු හීල වළඳා අවසන් වී භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට එන්නට කැමැත්තෙන් ඉන්නවා’ කියල. “එසේය දේවයනි” කියා ඒ පුරුෂයා පසේනදී කොසොල් රජුට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව හිඳගත්තා. එකත්පස්ව හුන් ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. ‘ස්වාමීනී, පසේනදී කෝසල රාජා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මයන් නළල බිම තබා වඳිනවා’ මෙසේත් කියයි. ‘ස්වාමීනී, අද පසේනදී කොසොල් රජු හීල වළඳා අවසන් වී භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට එන්නට කැමැත්තෙන් ඉන්නවා’ කියල.
සෝමා නැගණියට ත්, සකුලා නැගණියට ත් ‘අද පසේනදී කොසොල් රජු හීල වැළඳීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට පිටත්වන්නේ ය’ යන්න අසන්නට ලැබුනා. එවිට සෝමා නැගණිය ත්, සකුලා නැගණිය ත් බත් වඩනා තැනේ දී පසේනදී කොසොල් රජුවෙත පැමිණ මෙය පැවසුවා. “එසේ වී නම් මහාරාජයාණෙනි, අප ගේ වචනයෙනුත් භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා කමල් නළල බිම තබා වන්දනා කළ මැනැව. ස්වාමීනී, අල්පාබාධ බව ත්, අල්ප පීඩා ඇති බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් විමසනු මැනැව. “ස්වාමීනී, සෝමා නැගණිය ත්, සකුළා නැගණිය ත් භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා කමල් නළල බිම තබා වන්දනා කරත්. ඒ වගේ ම අල්පාබාධ බව ත්, අල්ප පීඩා ඇති බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් විමසත්” කියල.
ඉතින් පසේනදී කොසොල් රජු උදේ ආහාරය වැළඳීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව හිඳගත්තා. එකත්පස්ව හුන් පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, සෝමා නැගණිය ත්, සකුළා නැගණිය ත් භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා කමල් නළල බිම තබා වන්දනා කරනවා. ඒ වගේ ම අල්පාබාධ බව ත්, අල්ප පීඩා ඇති බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් විමසනවා”
“පින්වත් මහාරාජ, කිම? සෝමා නැගණියට ත්, සකුළා නැගණියට ත් වෙනත් දූතයෙකු සොයා ගන්නට බැරිවුනාවත් ද?”
“ස්වාමීනී, සෝමා නැගණියට ත්, සකුළා නැගණියට ත් අසන්නට ලැබුනා අද පසේනදී කොසොල් රජු උදේ ආහාර වැළඳීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේව දකින්නට යන්නට සූදානම්ව සිටින බව. ඉතින් ස්වාමීනී, සෝමා නැගණිය ත්, සකුළා නැගණිය ත් මට බත් වඩන වේලෙහි එතැනට පැමිණිලයි මෙය කීවේ. ඒ කියන්නේ ‘එසේ වී නම් මහාරාජ, සෝමා නැගණිය ත්, සකුළා නැගණිය ත් භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා කමල් නළල බිම තබා වන්දනා කළ මැනැව. ඒ වගේ ම අල්පාබාධ බව ත්, අල්ප පීඩා ඇති බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් විමසනු මැනැව’ කියලා.”
“පින්වත් මහාරාජ, සෝමා නැගණිය ත්, සකුළා නැගණිය ත්, සුවපත් වෙත්වා!”
එවිට පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මං මෙය අසා තිබෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙය කියනවා කියලා. එනම් ‘යමෙක් සර්වඥ යි ද, සියල්ල දැකීමෙන් යුක්ත යි ද, නිරවශේෂ ඤාණ දර්ශනයක් ප්‍රතිඥා දෙනවා ද, එබඳු වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නැත. මෙය විය හැකි දෙයක් නොවේ’ ය කියා. ඉතින් ස්වාමීනී, යමෙක් ඔය විදිහට කිව්වොත්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙය කියනවා කියලා. එනම් ‘යමෙක් සර්වඥ යි ද, සියල්ල දැකීමෙන් යුක්ත යි ද, නිරවශේෂ ඤාණ දර්ශනයක් ප්‍රතිඥා දෙනවා ද, එබඳු වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්ඹණයෙක් නැත. මෙය විය හැකි දෙයක් නොවේ’ ය කියා. ස්වාමීනී, ඒ තැනැත්තා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් ද? නැත්නම් භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් කරන්නා වූ චෝදනාවක් ද? එහෙමත් නැත්නම් ධර්මයට අනුකූල වූ කාරණාවක් පැවසීමක් ද? කරුණු සහිතව වාදානුවාදයක් කොට ගැරහිය යුතු තැනට නො පැමිණීමක් ද?”
“පින්වත් මහාරාජ, යමෙක් මෙහෙම කිව්වොත්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙය කියනවා කියලා. එනම් ‘යමෙක් සර්වඥ යි ද, සියල්ල දැකීමෙන් යුක්ත යි ද, නිරවශේෂ ඤාණ දර්ශනයක් ප්‍රතිඥා දෙනවා ද, එබඳු වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නැත. මෙය විය හැකි දෙයක් නොවේ’ ය කියා, ඔහු කියන්නේ මා පවසන ලද දෙයක් නොවේ. ඔහු මට අසත්‍යයෙන්, අභූතයෙන් චෝදනා කරනවා.”
එතකොට පසේනදී කොසොල් රජු විඩූඩභ සෙන්පතියා ඇමතුවා. “සෙන්පතිය, අද ඔය කතා වස්තුව රජගෙයි අන්තඃපුරයේ දී මතුකොට කතා කළේ කවුද?” “මහරජාණෙනි, ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණයා යි.”
එවිට පසේනදී කොසොල් රජු එක්තරා පුරුෂයෙක් ඇමතුවා. “එම්බා පුරුෂය, මෙහි එන්න. මගේ වචනයෙන් ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණයා අමතන්න. ‘ස්වාමීනී, පසේනදී කොසොල් රජු ඔබ අමතනවා’ කියා.” “එසේය දේවයිනි” කියා ඒ පුරුෂයා පසේනදී කොසොල් රජුට පිළිතුරු දී ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණයා කරා ගියා. ගොස් ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණයාට මෙය පැවසුවා. “ස්වාමීනී, පසේනදී කොසොල් රජු ඔබ අමතනවා” කියා.
එවිට පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනත් යම්කිසි කරුණක් අරඹයා යම් වචනයක් වදාරණ සේක් ද, ජනතාව එය අරගන්නේ එයට හාත්පසින් ම විරුද්ධ අර්ථයක් ඇතිව යි.”
“පින්වත් මහාරාජ, මං යම් වචනයක් කියා තිබෙන බව මතකයි.”
“ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද කෙබඳු වචනයක් මතක ඇති සේක් ද?”
“පින්වත් මහාරාජ, මං මෙබඳු වූ වචනයක් පැවසූ බව මතකයි. ‘යම් කෙනෙක් එකවර ම සියල්ල දැනගන්නවා නම්, සියල්ල දැකගන්නවා නම්, එබඳු වූ ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා නැත. එබඳු දෙයක් සිදුවන්නට පුළුවන් කමක් නැත’ කියලයි.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිතව ම යි, ඔය කාරණය පවසා තිබෙන්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිතව ම යි, ඔය කාරණය පවසා තිබෙන්නේ. ඒ කියන්නේ ‘යම් කෙනෙක් එකවර ම සියල්ල දැනගන්නවා නම්, සියල්ල දැකගන්නවා නම්, එබඳු වූ ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා නැත. එබඳු දෙයක් සිදුවන්නට පුළුවන් කමක් නැත’ කියලා. ස්වාමීනී, මේ වර්ණ සතරක් තියෙනවා. එනම්; ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යි. ස්වාමීනී මේ වර්ණ හතරේ විශේෂයක් තියෙනවා ද? යම් වෙනස්කමක් තියෙනවා ද?”
“පින්වත් මහාරාජ, මේ වර්ණ සතරක් තියෙනවා. එනම්; ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යි. පින්වත් මහාරාජ, මේ වර්ණ හතරින් ක්ෂත්‍රීය වර්ණය ත්, බ්‍රාහ්මණ වර්ණය ත් යන වර්ණ දෙක තමයි අග්‍ර වෙන්නේ කියල කියනවා. ඒ කියන්නේ වැඳුම් පිදුම්, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම්, කතා බස් කිරීම ආදිය.”
“ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙදී ලබන දෙයක් ගැන නෙවෙයි අසන්නේ? ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන්නේ පරලොව දී ලබන දෙයක් ගැන යි. ස්වාමීනී, මේ වර්ණ සතරක් තියෙනවා. එනම්; ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යි. ස්වාමීනී මේ වර්ණ හතරේ විශේෂයක් තියෙනවා ද? යම් වෙනස්කමක් තියෙනවා ද?”
“පින්වත් මහාරාජ, ප්‍රධන් වීරිය ඇතිවීම පිණිස අංග පහක් තිබෙනවා. කවර පහක් ද යත්; පින්වත් මහාරාජ, මෙහිලා භික්ෂුව, ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒ කියන්නෙ තථාගතයන් වහන්සේ ගේ අවබෝධය අදහා ගන්නවා. ‘මේ මේ කරුණින් භාග්‍යවතුන් වහන්සේ අරහත් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවත් වන සේක’ කියල.
ඒ වගේ ම භික්ෂුව අල්පාබාධ ඇති කෙනෙක්. දුක් අඩු කෙනෙක්. ඉතා ශීත ත් නො වූ, ඉතා ඌෂ්ණ ත් නො වූ, මධ්‍යස්ථ වූ ප්‍රධන් වීරියට සරිලන පරිදි සම සේ දිරවන ග්‍රහණියකින් යුතු වෙනවා.
ඒ වගේ ම භික්ෂුව ශඨ නැති, මායා නැති කෙනෙක්. තම ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්චාරීන් වහන්සේලාට හෝ තමන් ගේ සැබෑ ස්වභාවය ප්‍රකට කොට පවසන කෙනෙක් වෙනවා.
ඒ වගේ ම භික්ෂුව පටන්ගත් වීරිය ඇති කෙනෙක්. අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස ත්, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස ත්, උපදවා ගත් දෘඪතර වීරියෙන් යුතු වෙනවා. දැඩි පරාක්‍රමයෙන් යුතු වෙනවා. කුසල් දහම් පිළිබඳව අත්නොහළ වීරියෙන් යුතු වෙනවා.
ඒ වගේ ම භික්ෂුව ප්‍රඥාවන්ත කෙනෙක්. ආර්ය වූ, කළකිරීමට නිසි වූ මනාව දුක් ක්ෂය කරන්නා වූ, අනිත්‍යාවබෝධය ඇති කරන්නා වූ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා.
පින්වත් මහාරාජ, මේවා තමයි මාර්ගඵලාවබෝධය පිණිස වීරිය ගත යුතු කෙනෙකු ගේ අංග පහ. පින්වත් මහාරාජ, මේ වර්ණ සතරක් තියෙනවා. එනම්; ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යි. මේ සියලු දෙනා ඔය පංච පධානීය අංග වලින් සමන්විත වුනොත් එය ඔවුන් බොහෝ කලක් හිතසුව පිණිස පවතීවි.”
“ස්වාමීනී, මේ වර්ණ සතරක් තියෙනවා. එනම්; ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යි. ඔවුන් සියළු දෙනා මේ පංච පධානීය අංග වලින් සමන්විත වුනොත් එහිලා ස්වාමීනී, ඔවුන් ගේ කිසියම් විශේෂයක් තියේවි ද? වෙනස් බවත් තියේවි ද?”
“පින්වත් මහාරාජ, මෙහිලා ඔවුන් තුළ පධාන අංගයන් හි වෙනස්කමක් ඇති බවයි මා කියන්නේ. පින්වත් මහාරාජ, ඒ මේ වගේ දෙයක්. දමනය කළ යුතු ඇතුන් දෙන්නෙක් හෝ අශ්වයන් දෙන්නෙක් හෝ ගවයින් දෙන්නෙක් හෝ ඉන්නවා. ඔවුන් හොඳින් දමනය වෙලා, හොඳින් හික්මිලා ඉන්නවා. එහෙත් තවත් ඇතුන් දෙදෙනෙක් හෝ අශ්වයන් දෙදෙනෙක් හෝ ගවයන් දෙදෙනෙක් හෝ ඉන්නවා. ඔවුන් දමනය වෙලා නෑ. හික්මිලා නෑ. පින්වත් මහාරාජ, ඒ ගැන කුමක්ද සිතන්නේ? යම් ඒ ඇතුන් දෙදෙනා, අශ්වයින් දෙදෙනා, ගවයින් දෙදෙනා මැනැවින් දමනය වුනා නම්, මැනවින් හික්මුනා නම්, ඔවුන් දමනය වූ බවට පත්වුණේ දමනය වීමෙන් ම නො වේ ද? ඔවුන් දන්තභූමියට පත්වුනේ දමනය වීමෙන් ම නො වේ ද?”
“එසේය ස්වාමීනී,”
“පින්වත් මහාරාජ, ඒ ගැන කුමක්ද සිතන්නේ? යම් ඒ ඇතුන් දෙදෙනා, අශ්වයින් දෙදෙනා, ගවයින් දෙදෙනා දමනය නො වුනා නම්, නො හික්මුනා නම්, ඔවුන් දමනය නො වී සිටිය දී, දමනය වූ බවට පත්වේවිද? ඔවුන් දමනය නො වී සිටිය දී, දන්තභූමියට පත්වේවි ද?”
“ස්වාමීනී, එය නොවේ ම යි.”
“පින්වත් මහාරාජ, ඒ වගේ ම තමයි යමක් සැදැහැවත් කෙනෙක් විසින් , අල්පාබාධ ඇති කෙනෙක් විසින්, ශඨ මායා නැති කෙනෙක් විසින්, පටන් ගත් වීරිය ඇති කෙනෙක් විසින්. ප්‍රඥාවන්ත කෙනෙක් විසින් ලැබිය යුතු ද, එය ශ්‍රද්ධා රහිත වූ, බහුලව ලෙඩදුක් ඇති, ශඨ මායාවී වූ, කුසීත වූ, දුෂ්ප්‍රාඥ පුද්ගලයෙක් ලබාගන්නේ ය යන කරුණ සිදුවන දෙයක් නම් නොවේ.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිතව ම යි, ඔය කාරණය පවසා තිබෙන්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිතව ම යි, ඔය කාරණය පවසා තිබෙන්නේ. ස්වාමීනී, මේ වර්ණ සතරක් තියෙනවා. එනම්; ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යි. මේ සිව්වර්ණයට අයිති උදවිය පංච පධානීය අංගයන්ගෙන් සමන්විත වුනොත් ස්වාමීනී, ඒ තුළ ඔවුන් ගේ විශේෂයක් තියෙනවා ද? යම් වෙනස්කමක් තියෙනවා ද?”
“පින්වත් මහාරාජ, මේ අංග තුළ ඔවුන්ගේ කිසි වෙනස්කමක් මා දකින්නේ නැහැ. ඒ කියන්නේ විමුක්තිය ලැබූ කෙනෙක් තවත් විමුක්තිය ලැබූ කෙනෙකුන්ගෙන් වෙනස්වෙන්නෙ නැහැ.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් වියළි ශාඛාවක දර කැබැල්ලක් ගෙන ගිනි උපද්දවනවා. තේජස පහළ කරනවා. එතකොට තවත් පුරුෂයෙක් වියළි සල් ගසක දරකැබැල්ලක් ගෙන ගිනි උපද්දවනවා. තේජස පහළ කරනවා. ඒ වගේ ම තවත් පුරුෂයෙක් වියළි අඹ ගසක දරකැබැල්ලක් ගෙන ගිනි උපද්දවනවා. තේජස පහළ කරනවා. ඒ වගේ ම තවත් පුරුෂයෙක් වියළි දිඹුල් ගසක දරකැබැල්ලක් ගෙන ගිනි උපද්දවනවා. තේජස පහළ කරනවා. පින්වත් මහාරාජ, ඒ ගැන කුමක් ද සිතන්නේ? විවිධ දර කැබලි වලින් උපදවන ලද ගින්දරෙහි කිසියම් වෙනසක් තියෙනවා ද? ඒ ගිනි සිළුවෙන් සිළුවට වෙනසක් තියෙනවා ද? පැහැයෙන් පැහැයට වෙනසක් තියෙනවා ද? එළියෙන් එළියට වෙනසක් තියෙනවා ද?”
“ස්වාමීනී, එය නො වේ ම යි.”
“පින්වත් මහාරාජ, මෙයත් ඒ වගේ ම යි. යම් තේජසක්, යම් වීරියක් උපදවා ගෙන, පතුරුවා ගෙන සිටීමෙන් තමයි යම් පධන්වෙරක් උපදවාගෙන තමයි එය ලබාගන්නේ. එහිලා මා විමුක්තියෙන් විමුක්තියට ඇති කිසි වෙනස්කමක් දකින්නේ නැහැ.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිතව ම යි, ඔය කාරණය පවසා තිබෙන්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිතව ම යි, ඔය කාරණය පවසා තිබෙන්නේ. ස්වාමීනී, කිම? දෙවිවරු ඉන්නවා ද?”
“පින්වත් මහාරාජ, ඇයි ඔබ මෙහෙම අහන්නේ? ‘ස්වාමීනී, කිම? දෙවිවරු ඉන්නවා ද?’ කියා.”
“ස්වාමීනී, ඉදින් දෙවිවරු මේ මිනිස් ලෝකයට උපදින්නට එනවා ද? එහෙම නැත්නම් මේ මිනිස් ලෝකයට උපත කරා එන්නේ නැද්ද? පින්වත් මහාරාජ, යම් මේ දෙවිවරු මනුලොව උපදින කෙලෙස් සහිතව ඉන්නවා නම්, ඔවුන් මිනිසත් බවට එනවා. යම් මේ දෙවිවරු මනුලොව උපදින කෙලෙස් රහිතව ඉන්නවා නම්, ඔවුන් මිනිසත් බවට එන්නේ නෑ.”
මෙසේ වදාළ විට විඩූඩභ සෙන්පතියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූවා. “ස්වාමීනී, යම් ඒ දෙවිවරු මනුලොව උපදින කෙලෙස් සහිතව සිට මෙලොවට එනවා නම්, යම් ඒ දෙවිවරු මනුලොව උපදින කෙලෙස් නැතිව සිට මෙහි නො එනවා නම්, ස්වාමීනී, ඒ දෙවිවරුන්ව ඒ ඒ තැන්වලින් චුත කරවනවා ද? එළවා දමනවා ද?”
එවිට ආයුෂ්මත් ආනන්දයන් හට මෙහෙම හිතුනා. මේ විඩූඩභ සෙන්පතිතුමා පසේනදී කොසොල් රජතුමා ගේ පුත්‍රයා. මම වනාහී භාග්‍යවතුන් වහන්සේ ගේ පුත්‍රයා. එහෙම නම් දැන් පුතෙක් පුතෙකු හා කතාබස් කරන්නට කාලය යි.
එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විඩූඩභ සෙන්පතියා ඇමතුවා. “එසේ වී නම් සේනාපතිය, එකරුණ මං ඔබගෙන් විමසන්නම්. යම් ආකාරයකට පිළිතුරු දෙන්නට කැමති නම් එලෙසින් පිළිතුරු දෙන්න. පින්වත් සේනාපතිය, ඒ ගැන කුමක් ද සිතන්නේ? පසේනදී කොසොල් රජු ගේ විජිතය යම්තාක් ද, ඒතාක් ම පසේනදී කොසොල් රජුට රාජ්‍යය කරනවා. ඒ රාජ්‍යය තුළ පසේනදී කොසොල් රජුට ශ්‍රමණයෙකු වේවා, බ්‍රාහ්මණයෙකු වේවා, පුණ්‍යවන්තයෙකු වේවා, අපුණ්‍යවන්තයෙකු වේවා, බඹසර හැසිරෙන කෙනෙකු වේවා, අබ්‍රහ්මචාරී කෙනෙකු වේවා, එම විජිතයෙන් චුත කරවන්නට, නෙරපා දමන්නට නො හැකි ද?”
“භවත්නි, පසේනදී කොසොල් රජු ගේ විජිතය යම්තාක් ද, ඒතාක් ම පසේනදී කොසොල් රජුට රාජ්‍යය කරනවා. ඒ රාජ්‍යය තුළ පසේනදී කොසොල් රජුට ශ්‍රමණයෙකු වේවා, බ්‍රාහ්මණයෙකු වේවා, පුණ්‍යවන්තයෙකු වේවා, අපුණ්‍යවන්තයෙකු වේවා, බඹසර හැසිරෙන කෙනෙකු වේවා, අබ්‍රහ්මචාරී කෙනෙකු වේවා, එම විජිතයෙන් චුත කරවන්නට, නෙරපා දමන්නට පුළුවනි.”
“පින්වත් සේනාපතිය, ඒ ගැන කුමක් ද සිතන්නේ? පසේනදී කොසොල් රජු ගේ විජිතය නො වන යම්තාක් ඇද්ද, ඒතාක් ම පසේනදී කොසොල් රජු රාජ්‍යය කරන්නෙ නෑ. ඒ රාජ්‍යයයන් තුළ පසේනදී කොසොල් රජුට ශ්‍රමණයෙකු වේවා, බ්‍රාහ්මණයෙකු වේවා, පුණ්‍යවන්තයෙකු වේවා, අපුණ්‍යවන්තයෙකු වේවා, බඹසර හැසිරෙන කෙනෙකු වේවා, අබ්‍රහ්මචාරී කෙනෙකු වේවා, එම විජිතයෙන් චුත කරවන්නට, නෙරපා දමන්නට නො හැකි ද?”
“භවත්නි, පසේනදී කොසොල් රජු ගේ විජිතය නොවන යම්තාක් ඇද්ද, ඒතාක් ම පසේනදී කොසොල් රජු රාජ්‍යය කරන්නෙ නෑ. ඒ රාජ්‍යයයන් තුළ පසේනදී කොසොල් රජුට ශ්‍රමණයෙකු වේවා, බ්‍රාහ්මණයෙකු වේවා, පුණ්‍යවන්තයෙකු වේවා, අපුණ්‍යවන්තයෙකු වේවා, බඹසර හැසිරෙන කෙනෙකු වේවා, අබ්‍රහ්මචාරී කෙනෙකු වේවා, එම විජිතයෙන් චුත කරවන්නට, නෙරපා දමන්නට පුළුවන්කමක් නෑ.”
“පින්වත් සේනාපතිය, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඔබ තව්තිසා දෙවියන් ගැන අසා තිබෙනවා ද?”
“එසේය, භවත. මං තව්තිසා දෙවියන් ගැන අසා තිබෙනවා. මෙහිදී භවත් පසේනදී කොසොල් රජු විසිනුත් අසා තිබෙනවා.”
“පින්වත් සේනාපතිය, ඒ ගැන කුමක්ද සිතන්නේ? පසේනදී කොසොල් රජ්ජුරුවන්ට තව්තිසාවෙහි දෙවියන්ව ඒ ඒ තැන්වලින් චුතකරවන්නට හෝ නෙරපා දමන්නට හෝ පුළුවන් ද?”
“භවත, පසේනදී කොසොල් රජුට තව්තිසාවෙහි දෙවියන්ව දැකගන්නට වත් පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම එකේ ඒ ඒ තැන්වලින් ඒ උදවිය චුතකරවන්නේ ය, නෙරපා දමන්නේ ය යන්න කොහොම නම් කරන්නට ද?”
“පින්වත් සේනාපතිය, අන්න ඒ වගේ තමයි. යම් ඒ දෙවිවරු මනුලොව උපදින කෙලෙස් සහිතව සිට මෙලොවට එනවා නම්, ඒ වගේ ම යම් ඒ දෙවිවරු මනුලොව උපදින කෙලෙස් නැතිව සිට මෙහි නො එනවා නම්, ඒ දෙවැදෑරුම් දෙවිවරුන්ව දැකගන්නටවත් පුළුවන්කමක් නෑ. ඉතින් එහෙම එකේ ඒ ඒ තැන්වලින් ඒ උදවිය චුතකරවන්නේ ය, නෙරපා දමන්නේ ය යන්න කොහොම නම් කරන්නට ද?”
එවිට පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙය ඇසුවා. “ස්වාමීනී, මේ භික්ෂුව, කවර නමකින් යුක්තයි ද?”
“පින්වත් මහාරාජ, ආනන්ද යන නම යි.”
“භවත්නි, සැබැවින් ම ආනන්ද යි. භවත්නි, සැබැවින් ම ආනන්ද ස්වභාවයෙන් යුක්තයි. ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්ස, හේතු සහිතව ම යි කරුණු කිව්වේ. ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්ස, හේතු සහිතව ම යි කරුණු කිව්වේ.
ස්වාමීනී, කිම? මහා බ්‍රහ්මරාජයා ඉන්නවා ද?”
“පින්වත් මහාරාජ, ඇයි ඔබ මෙහෙම අසන්නේ? ‘ස්වාමීනී, කිම? මහා බ්‍රහ්මරාජයා ඉන්නවා ද?’ කියලා.”
“ස්වාමීනී, යම් ඒ මහා බ්‍රහ්මරාජයා මිනිස් ලොවට එන සුළු වෙයි ද? නැත්නම් මිනිස් ලොවට නො එන සුළු වෙයි ද?”
“පින්වත් මහාරාජ, යම් ඒ මහාබ්‍රහ්මරාජයෙක් මනුලොව උපදින කෙලෙස් සහිතව ඉන්නවා නම්, ඔහු මිනිසත් බවට එනවා. යම් ඒ මහාබ්‍රහ්මරාජයෙක් මනුලොව උපදින කෙලෙස් රහිතව ඉන්නවා නම්, ඔහු මිනිසත් බවට එන්නේ නෑ.”
එවිට එක්තරා පුරුෂයෙක් පසේනදී කොසොල් රජුට මෙය පැවසුවා. “මහාරාජයෙනි, ආකාශගෝත්‍ර බ්‍රාහ්මණයා ඇවිත් ඉන්නවා.”
එකල්හි පසේනදී කෝසල රජු ආකාශගෝත්‍ර බ්‍රාහ්මණයාගෙන් මෙය ඇසුවා. “එම්බා බ්‍රාහ්මණය, මෙම කතා වස්තුව රාජාන්තපුරයෙහි මතු කොට කතා කළේ කවුද?”
“මහරජතුමනි, විඩූඩභ සේනාපතිතුමායි.” එතකොට විඩූඩභ සෙන්පතියා මෙහෙම කියනවා. “මහරජතුමනි, ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණයා යි.”
එවිට එක්තරා පුරුෂයෙක් පසේනදී කොසොල් රජුට මෙය කිව්වා. “මහරජතුමනි, ගමනට කාලය යි.”
එවිට පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, සර්වඥතාවය පිළිබඳව අපි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා. භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාවය පිළිබඳව ද ප්‍රකාශ කොට වදාළා. එය අපට රුචි යි වගේ ම අප එයට කැමතියි. එයින් සතුටු වූ අපි වර්ණ සතරේ පිරිසිදු බව ගැනත් විමසුවා. භාග්‍යවතුන් වහන්සේ චතුර්වර්ණපාරිශුද්ධිය ගැන අපට ප්‍රකාශ කොට වදාළා. එය අපට රුචි යි වගේ ම අප එයට කැමතියි. ඒ වගේ ම එයින් සතුටු වූ අපි දෙවියන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා. භාග්‍යවතුන් වහන්සේ දෙවියන් පිළිබඳව ද ප්‍රකාශ කොට වදාළා. එය අපට රුචි යි වගේ ම අප එයට කැමතියි. ඒ වගේ ම එයින් සතුටු වූ අපි බ්‍රහ්මයන් පිළිබඳව ත් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයන් පිළිබඳව ද ප්‍රකාශ කොට වදාළා. එය අපට රුචි යි වගේ ම අප එයට කැමතියි. ස්වාමීනී, අපි යම් ම ප්‍රශ්නයක් භාග්‍යවතුන් වහන්සේ වෙතින් විමසුවා නම් ඒ ඒ ප්‍රශ්නයට පිළිතුරු භාග්‍යවතුන් වහන්සේ වදාළා. එය අපට රුචි යි වගේ ම අප එයට කැමතියි. එයින් සතුටු වූ අපි දැන් ස්වාමීනී, යන්නම්. අපට බොහෝ වැඩ තියෙනවා නෙව. බොහෝ රාජකාරි තියෙනවා නෙව.”
“පින්වත් මහාරාජ, දැන් යම් දෙයකට කාලය නම් එය දැනගත මැනැව.”
එවිට පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත්ව ගියා.
සාදු! සාදු!! සාදු!!!
කණ්ණකත්ථල මිගදායේ දී වදාළ දෙසුම නිමා විය.
හතර වෙනි රාජ වර්ගය යි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M