මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එසමයෙහි සන්දක පිරිවැජියා පන්සියයක් පමණ වූ මහත් පිරිවැජි පිරිසක් සමඟ පුළිල ගස අසල වූ ගුහාවෙහි වාසය කළා. එදා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට භික්ෂූන් ඇමතුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, වඩින්න. අපි දේවකට නම් වූ වතුර පිරුණු හෙබ ඇති තැනට එහි ගුහාව දකින්නට යමු.” “එසේය ආයුෂ්මතුනි” කියා ඒ භික්ෂූන් වහන්සේලා ද ආයුෂ්මත් ආනන්දයන් හට පිළිතුරු දුන්නා.
ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බොහෝ භික්ෂූන් සමඟ දේවකට නම් වතුර පිරුණු හෙබ ඇති තැනට පැමිණුනා. එවේලෙහි සන්දක පිරිවැජියා මහත් පිරිවැජි පිරිසක් සමඟ උස් හඬින් මහ හඬින් කෑ ගසමින් නොයෙක් ආකාරයෙන් තිරිසන් කතාවන් කරමින් සිටියා. ඒ කියන්නේ; ආණ්ඩුව ගැන කතා කිරීම, ප්‍රසිද්ධ සොරුන් ගැන කතා කිරීම, මැති ඇමති වරුන් ගැන කතා කිරීම, හමුදාවන් ගැන කතා කිරීම, භයජනක කතා කිරීම, යුද්ධ ගැන කතා කිරීම, ආහාර වර්ග ගැන කතා කිරීම, පාන වර්ග ගැන කතා කිරීම, වස්ත්‍ර ගැන කතා කිරීම, යාන වාහන ගැන කතා කිරීම, ඇඳ පුටු ගැන කතා කිරීම, ගෙවල් දොරවල් ගැන කතා කිරීම, මල් වර්ග ගැන කතා කිරීම, සුවඳ වර්ග ගැන කතා කිරීම, ඤාතීන් ගැන කතා කිරීම, ගම් ගැන කතා කිරීම, නියම් ගම් ගැන කතා කිරීම, නගර ගැන කතා කිරීම, ජනපද ගැන කතා කිරීම, ස්ත්‍රීන් ගැන කතා කිරීම, පුරුෂයන් ගැන කතා කිරීම, වීරයන් ගැන කතා කිරීම, මංමාවත් ගැන කතා කිරීම, පැන් තොටේ කතාවන් ගැන කතා කිරීම, මියගිය උදවිය ගැන කතා කිරීම, නා නා තිරිසන් කතාවන් ගැන කතා කිරීම, ලෝකය ගැන කතා කිරීම, මුහුද ගැන කතා කිරීම, මෙසේ මෙසේ ඇති වූයේ ය – නැති වූයේ ය යනුවෙන් කතා කිරීම ආදිය යි.
ඉතින් සන්දක පිරිවැජියා දුරින් ම වඩින්නා වූ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේව දැක්කා. දැක තමන් ගේ පිරිස සන්සුන් කෙරෙව්වා. “භවත්නි, නිශ්ශබ්ද වන්න! භවත්නි, ශබ්ද නො කරන්න! මේ ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවක වූ ආනන්ද ශ්‍රමණයන් වහන්සේ පැමිණෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ යම්තාක් ශ්‍රාවකයන් කොසඹෑවෙහි වසනවා ද, ඔවුන් අතරෙහි ආනන්ද ශ්‍රමණයන් වහන්සේ ත් කෙනෙක්. ඒ ආයුෂ්මත්වරුන් නිශ්ශබ්දතාවයට කැමතියි. නිශ්ශබ්දතාවය තුළ හික්මිල යි ඉන්නෙ. නිශ්ශබ්දතාවයට යි වර්ණනා කරන්නෙ. නිශ්ශබ්ද වූ පිරිස දැනගෙන ඔවුන් වෙත එළැඹීම හොඳයි කියල යි සිතන්නෙ.”
එතකොට ඒ පිරිවැජියන් නිශ්ශබ්ද වුනා.
එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සන්දක පිරිවැජියා වෙත පැමිණුනා. සන්දක පිරිවැජියා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ආනන්දයන් වඩින සේක්වා! භවත් ආනන්දයන් ගේ මෙහි පැමිණීම ස්වාගතයක් ම යි! භවත් ආනන්දයන් මෙහි පැමිණියේ බොහෝ කාලයකට පස්සෙයි. භවත් ආනන්දයන් මේ පණවන ලද අසුනෙහි වැඩසිටිත්වා.”
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ද පණවන ලද අසුනෙහි වැඩසිටියා. එතකොට සන්දක පිරිවැජියා ද කුඩා අසුනක් ගෙන එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ සන්දක පිරිවැජියාට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය පැවසුවා. “සන්දකයෙනි, දැන් ඔබ රැස්වෙලා කුමක් ද කතා කරමින් හිටියේ. අප ගේ පැමිණීම නිසා ඔබ ගේ ඒ අඩාල වූ කතාව කුමක් ද?”
“භවත් ආනන්දයෙනි, ඔය කතාවන් පසෙක තිබේවා. අපි දැන් යම් කතාවක් කරමින් සිටියා ද ඒවා භවත් ආනන්දයන් වහන්සේට අසන්නට ලැබෙන දුර්ලභ කතාවන් නොවෙයි. පස්සෙ වුනත් අසන්නට ලැබෙනවා. එනිසා භවත් ආනන්දයන් හට තමන් ගේ ආචාර්යවරයන් ගේ ධර්ම කතාවක් වැටහෙන සේක් නම් ඉතා අගෙයි.”
“එසේ වී නම් පින්වත් සන්දක, සවන් යොමා අසන්න. මැනවින් මෙනෙහි කරන්න. කියා දෙන්නම්.”
“එසේය භවත” කියා ඒ සන්දක පිරිවැජියා ආයුෂ්මත් ආනන්දයන් හට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් සන්දක, දැනගත යුතු සියල්ල දත්, දැක යුතු සියල්ල දුටු, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අබ්‍රහ්මචරිය වාසය කරන අවස්ථා හතරක් වදාරලා තියෙනවා. අස්වැසිලි රහිත වූ බ්‍රහ්මචරියවාස හතරක් වදාරලා තියෙනවා. බුද්ධිමත් මනුෂ්‍යයෙක් යම් බ්‍රහ්මචාරී වාසයක් ඇද්ද ඒකාන්තයෙන් ම ඒ බඹසරෙහි හැසිරෙන්නෙ නෑ. වාසය කළ ත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නෑ කියලයි.”
“භවත් ආනන්දය, දැනගත යුතු සියල්ල දත්, දැක යුතු සියල්ල දුටු, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බ්‍රහ්මචරිය වාසය තුළින් ඵල නො ලැබෙන අවස්ථා හතරක් වදාරලා තියෙනවා නම්, බුද්ධිමත් මනුෂ්‍යයෙක් යම් බ්‍රහ්මචාරී වාසයක් ඇද්ද ඒකාන්තයෙන් ම ඒ බඹසරෙහි හැසිරෙන්නෙ නැත්නම් වාසය කළ ත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නැත්නම්, එම බ්‍රහ්මචරිය වාස සතර කුමක් ද?”
“පින්වත් සන්දක, මෙහිලා ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු මතයක් දරනවා. මෙබඳු දෘෂ්ඨියකින් යුක්ත වෙනවා. ‘දානයෙහි විපාක නැත. ඇප උපස්ථාන වල විපාක නැත. පුද පූජාවන්හි විපාක නැත. යහපත් ලෙස වේවා, අයහපත් ලෙස වේවා කරන ලද කර්මයන් ගේ විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මව් නැත. පියා නැත. ඕපපාතික සත්වයන් නැත. යමෙක් මෙලොව පරලොව පිළිබඳව තමා තුළ ඇති කරගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන පැවසීමක් ඇද්ද, යහපත් මගෙහි පිළිපන්, යහපත් මග තුළ සිටින එබඳු මහණ බමුණන් නැත. සතර මහා ධාතූන් ගෙන් උපන් මේ පුරුෂයා යම් දවසක මැරුණොත් පඨවි ධාතුව, පඨවි ධාතුවට එකතු වෙනවා. පඨවි ධාතුව අනුව යනවා. ආපෝ ධාතුව, ආපෝ ධාතුවට එකතු වෙනවා. ආපෝ ධාතුව අනුව යනවා. තේජෝ ධාතුව, තේජෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුව අනුව යනවා. වායෝ ධාතුව, වායෝ ධාතුවට එකතු වෙනවා. වායෝ ධාතුව අනුව යනවා. ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් අහසට යනවා. ඇඳ පස්වෙනි කොට ගත් මිනිසුන් හතර දෙනෙක් මළ සිරුර අරගෙන යනවා. ගුණ ගායනා ඇසෙන්නේ සොහොන දක්වා පමණ යි. ඇට කැබලි විතරයි ඉතුරු වෙන්නෙ. සත්කාර සම්මාන සියල්ල අළු වීමෙන් ඉවර වෙනවා. යම් මේ දන් දීමක් ඇද්ද, ඒ ගැන ලොවට කියන්නෙ අඥාන පුද්ගලයන් විසින්. දානාදියෙහි විපාක ඇත යැයි කීම ඔවුන් ගේ හිස් වූ බොරු වූ විකාර කතාවක් ම යි. අඥානයනුත්, නුවණැත්තනුත් කය බිඳී යළි නො පවතින ලෙස උච්ඡේදයට යනවා. වැනසී යනවා. මරණින් මතු මොකවත් නෑ කියල.
එතකොට පින්වත් සන්දක, බුද්ධිමත් පුද්ගලයෙක් මේ මතය ගැන නුවණින් විමසන්නෙ මෙහෙමයි. ‘මේ භවත් ශාස්තෘවරයා මෙවැනි මතයක් දරනවා. මෙවැනි දෘෂ්ඨියක් දරනවා. දානයෙහි විපාක නැත. ඇප උපස්ථාන වල විපාක නැත. පුද පූජාවන්හි විපාක නැත. යහපත් ලෙස වේවා, අයහපත් ලෙස වේවා කරන ලද කර්මයන් ගේ විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මව් නැත. පියා නැත. ඕපපාතික සත්වයන් නැත. යමෙක් මෙලොව පරලොව පිළිබඳව තමා තුළ ඇති කරගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන පැවසීමක් ඇද්ද, යහපත් මගෙහි පිළිපන්, යහපත් මග තුළ සිටින එබඳු මහණ බමුණන් නැත. සතර මහා ධාතූන් ගෙන් උපන් මේ පුරුෂයා යම් දවසක මැරුණොත් පඨවි ධාතුව, පඨවි ධාතුවට එකතු වෙනවා. පඨවි ධාතුව අනුව යනවා. ආපෝ ධාතුව, ආපෝ ධාතුවට එකතු වෙනවා. ආපෝ ධාතුව අනුව යනවා. තේජෝ ධාතුව, තේජෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුව අනුව යනවා. වායෝ ධාතුව, වායෝ ධාතුවට එකතු වෙනවා. වායෝ ධාතුව අනුව යනවා. ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් අහසට යනවා. ඇඳ පස්වෙනි කොට ගත් මිනිසුන් හතර දෙනෙක් මළ සිරුර අරගෙන යනවා. ගුණ ගායනා ඇසෙන්නේ සොහොන දක්වා පමණ යි. ඇට කැබලි විතරයි ඉතුරු වෙන්නෙ. සත්කාර සම්මාන සියල්ල අළු වීමෙන් ඉවර වෙනවා. යම් මේ දන් දීමක් ඇද්ද, ඒ ගැන ලොවට කියන්නෙ අඥාන පුද්ගලයන් විසින්. දානාදියෙහි විපාක ඇත යැයි කීම ඔවුන් ගේ හිස් වූ බොරු වූ විකාර කතාවක් ම යි. අඥානයනුත්, නුවණැත්තනුත් කය බිඳී යළි නො පවතින ලෙස උච්ඡේදයට යනවා. වැනසී යනවා. මරණින් මතු මොකවත් නෑ’ කියල.
ඉතින් යම්හෙයකින් මේ භවත් ශාස්තෘවරයා ගේ වචනය ඇත්තක් නම්, මොහු ගේ ශාසන වැඩපිළිවෙල අනුගමනය නො කොටත් මා එය කරල යි තියෙන්නෙ. මොහු ගේ ශාසන වැඩපිළිවෙලෙහි නො හැසිරිලා ත් මා හැසිරිල යි තියෙන්නෙ. මක් නිසාද යත්; අපි දෙදෙනා ම මෙහි සම සම බවට පත් වෙලයි ඉන්නෙ. මම නම් ‘අපි දෙදෙනා ම කය බිඳී මරණින් මතු උච්ඡේදයට පත් වෙනවා ය, වැනසෙනවා ය, මරණින් මතු නො වෙනවා’ ය කියා කියන්නේ නෑ. ඒ වගේ ම මට නැති අතිරේක දෙයක් මේ භවත් ශාස්තෘවරයාට තිබේ. එනම් භවත් ශාස්තෘවරයා ගේ නිරුවත් බව, හිස මුඩු කොට ඇති බවත්, උක්කුටියෙන් සිටින බවත්, කෙස් රැවුල් උදුරා දැමීමත් අතිරේක දෙයකි. මං වනාහී දූ පුතුන් ඇතිව, කසී රට සඳුන් දරමින්, මල් සුවඳ විලවුන් දරමින්, රන් රිදී පරිහරණය කරමින්, සතුටින් ඉන්නවා. ඉතින් එබඳු ජීවිතයක් ගෙවන මාත් මරණින් මතු මේ ශාස්තෘවරයා හා සමාන වෙනවා නම්, මා මොහු ගේ ශාසනයෙහි වැඩපිළිවෙල අනුගමනය කිරීමෙන් කුමක් නම් දැනගන්නට ද? කුමක් නම් දැකගන්නට ද? ඉතින් ඔහු ‘මේක නම් අබ්‍රහ්මචරිය වාසයක් නෙව’ කියල ඒ ආගමික වැඩපිළිවෙල ගැන කළකිරිල ඉවත් වෙනවා.
පින්වත් සන්දක, දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තමයි මේ පළමුවෙනි අබ්‍රහ්මචාරී වාසය පෙන්වා වදාළේ. මෙහි තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙන්නෙ. යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නෑ.
පින්වත් සන්දක, තවත් අබ්‍රහ්මචරිය වාසයක් තියෙනවා. මෙහිලා ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු මතයක් දරනවා. මෙබඳු දෘෂ්ඨියකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ; ‘තමන් ගේ අතින් කළ ත්, අනුන් ලවා කෙරෙව්ව ත්, තම අතින් අනුන් ගේ අත් පා ආදිය කැපුව ත්, අනුන් ලවා කැප්පෙව්ව ත්, දඬු මුගුරු වලින් පීඩා කළ ත්, අනුන් ලවා පීඩා කෙරෙව්ව ත්, ශෝක කළ ත්, ශෝක කෙරෙව්ව ත්, ක්ලාන්ත කළ ත්, ක්ලාන්ත කෙරෙව්ව ත්, කම්පා කළ ත්, කම්පා කෙරෙව්ව ත්, සතුන් මැරුව ත්, සොරකම් කෙරුව ත්, ගෙවල් දොරවල් මංකොල්ල කෑව ත්, මංපැහැරුව ත්, එක් ගෙයක් මංකොල්ල කෑව ත්, කණ්ඩායම් සොරකම් කළ ත්, පරදාර සේවනයේ යෙදුන ත්, බොරු කීව ත්, ‘පව් කරමි’ යි යන හැඟීමකින් කළත්, එය කරන්නාට සිදුවන පාපයක් නම් නැත. ඉදින් යමෙක් තියුණු මුවහත ඇති කරකැවෙන ආයුධයකින් මේ පොළෝ තලයෙහි සත්වයන් එක් ම මාංස රැසක්, එක් ම මාංස පුංජයක් බවට පත් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පවක් නැත. පාපයා ගේ පැමිණීමෙක් ද නැත.
ගංගා තීරයෙහි දකුණු තෙර දක්වා ම මරමින්, මරවමින්, අත් පා සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින්, ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පවක් නැත. පාපයා ගේ පැමිණීමෙක් ද නැත. ගංගා තීරයෙහි උතුරු තෙර දක්වා ම දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින් ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පිනක් නැත. පිනෙහි පැමිණීමෙක් ද නැත. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංවර වීමෙන්, සත්‍ය වචනයෙන්, සිදුවන පිනක් නැත. පිනෙහි පැමිණීමක් ද නැත’ කියල.
එතකොට පින්වත් සන්දක, බුද්ධිමත් පුද්ගලයෙක් මේ මතය ගැන නුවණින් විමසන්නෙ මෙහෙමයි. මේ භවත් ශාස්තෘවරයා මෙවැනි මතයක් දරනවා. මෙවැනි දෘෂ්ඨියක් දරනවා. ‘තමන් ගේ අතින් කළ ත්, අනුන් ලවා කෙරෙව්ව ත්, තම අතින් අනුන් ගේ අත් පා ආදිය කැපුව ත්, අනුන් ලවා කැප්පෙව්ව ත්, දඬු මුගුරු වලින් පීඩා කළ ත්, අනුන් ලවා පීඩා කෙරෙව්ව ත්, ශෝක කළ ත්, ශෝක කෙරෙව්ව ත්, ක්ලාන්ත කළ ත්, ක්ලාන්ත කෙරෙව්ව ත්, කම්පා කළ ත්, කම්පා කෙරෙව්ව ත්, සතුන් මැරුව ත්, සොරකම් කෙරුව ත්, ගෙවල් දොරවල් මංකොල්ල කෑව ත්, මංපැහැරුව ත්, එක් ගෙයක් මංකොල්ල කෑව ත්, කණ්ඩායම් සොරකම් කළ ත්, පරදාර සේවනයේ යෙදුන ත්, බොරු කීව ත්, ‘පව් කරමි’ යි යන හැඟීමකින් කළත්, එය කරන්නාට සිදුවන පාපයක් නම් නැත. ඉදින් යමෙක් තියුණු මුවහත ඇති කරකැවෙන ආයුධයකින් මේ පොළෝ තලයෙහි සත්වයන් එක් ම මාංස රැසක්, එක් ම මාංස පුංජයක් බවට පත් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පවක් නැත. පාපයා ගේ පැමිණීමෙක් ද නැත.
ගංගා තීරයෙහි දකුණු තෙර දක්වා ම මරමින්, මරවමින්, අත් පා සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින්, ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පවක් නැත. පාපයා ගේ පැමිණීමෙක් ද නැත. ගංගා තීරයෙහි උතුරු තෙර දක්වා ම දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින් ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පිනක් නැත. පිනෙහි පැමිණීමෙක් ද නැත. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංවර වීමෙන්, සත්‍ය වචනයෙන්, සිදුවන පිනක් නැත. පිනෙහි පැමිණීමක් ද නැත’ කියල.
ඉතින් යම්හෙයකින් මේ භවත් ශාස්තෘවරයා ගේ වචනය ඇත්තක් නම්, මොහු ගේ ශාසන වැඩපිළිවෙල අනුගමනය නො කොටත් මා එය කරල යි තියෙන්නෙ. මොහු ගේ ශාසන වැඩපිළිවෙලෙහි නො හැසිරිලා ත් මා හැසිරිල යි තියෙන්නෙ. මක් නිසාද යත්; අපි දෙදෙනා ම මෙහි සම සම බවට පත් වෙලයි ඉන්නෙ. මම නම් ‘පව් කරන අපි දෙදෙනාට ම පව් කෙරෙන්නේ නැත’ කියා කියන්නේ නෑ. ඒ වගේ ම මට නැති අතිරේක දෙයක් මේ භවත් ශාස්තෘවරයාට තිබේ. එනම් භවත් ශාස්තෘවරයා ගේ නිරුවත් බව, හිස මුඩු කොට ඇති බවත්, උක්කුටියෙන් සිටින බවත්, කෙස් රැවුල් උදුරා දැමීමත් අතිරේක දෙයකි. මං වනාහී දූ පුතුන් ඇතිව, කසී රට සඳුන් දරමින්, මල් සුවඳ විලවුන් දරමින්, රන් රිදී පරිහරණය කරමින්, සතුටින් ඉන්නවා. ඉතින් එබඳු ජීවිතයක් ගෙවන මාත් මරණින් මතු මේ ශාස්තෘවරයා හා සමාන වෙනවා නම්, මා මොහු ගේ ශාසනයෙහි වැඩපිළිවෙල අනුගමනය කිරීමෙන් කුමක් නම් දැනගන්නට ද? කුමක් නම් දැකගන්නට ද? ඉතින් ඔහු ‘මේක නම් අබ්‍රහ්මචරිය වාසයක් නෙව’ කියල ඒ ආගමික වැඩපිළිවෙල ගැන කළකිරිල ඉවත් වෙනවා.
පින්වත් සන්දක, දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තමයි මේ දෙවෙනි අබ්‍රහ්මචාරී වාසය පෙන්වා වදාළේ. මෙහි තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙන්නෙ. යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නෑ.
පින්වත් සන්දක, තවත් අබ්‍රහ්මචරිය වාසයක් තියෙනවා. මෙහිලා ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු මතයක් දරනවා. මෙබඳු දෘෂ්ඨියකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ; ‘සත්වයන් ගේ කිලිටි වීමට හේතු නැත. ප්‍රත්‍යය නැත. හේතු රහිතව ප්‍රත්‍ය රහිතව සත්වයන් කිලිටි වෙලා යනවා. ඒ වගේම සත්වයන් ගේ පිරිසිදු වීමටත් හේතු නැත. ප්‍රත්‍යය නැත. හේතු රහිතව ප්‍රත්‍ය රහිතව සත්වයන් පිරිසිදු වෙලා යනවා. එනිසා පිරිසිදු බවට හෝ අපිරිසිදු බවට බලපාන බලය කියා දෙයක් නැත. වීරිය කියා දෙයක් ද නැත. පුරුෂ වීර්යයක් නැත. පුරුෂ පරාක්‍රමයක් ද නැත. සියලු සත්වයන්, සියලු ප්‍රාණීන් ඉපද සිටින සියලු සත්වයන්, සියලු ජීවීන් සිටින්නේ ඒවාට යටත්ව නොවේ. බල රහිතව යි. වීරිය රහිතව යි. නියත වශයෙන් ම සිදු වෙන පරිණාම ස්වභාවයකට අයිතිව යි. අභිජාති හයක් තුළ උපත ලබන සත්වයන් සැප දුක් විඳිනවා’ කියල.
එතකොට පින්වත් සන්දක, බුද්ධිමත් පුද්ගලයෙක් මේ මතය ගැන නුවණින් විමසන්නෙ මෙහෙමයි. මේ භවත් ශාස්තෘවරයා මෙවැනි මතයක් දරනවා. මෙවැනි දෘෂ්ඨියක් දරනවා. ‘සත්වයන් ගේ කිලිටි වීමට හේතු නැත. ප්‍රත්‍යය නැත. හේතු රහිතව ප්‍රත්‍ය රහිතව සත්වයන් කිලිටි වෙලා යනවා. ඒ වගේම සත්වයන් ගේ පිරිසිදු වීමටත් හේතු නැත. ප්‍රත්‍යය නැත. හේතු රහිතව ප්‍රත්‍ය රහිතව සත්වයන් පිරිසිදු වෙලා යනවා. එනිසා පිරිසිදු බවට හෝ අපිරිසිදු බවට බලපාන බලය කියා දෙයක් නැත. වීරිය කියා දෙයක් ද නැත. පුරුෂ වීර්යයක් නැත. පුරුෂ පරාක්‍රමයක් ද නැත. සියලු සත්වයන්, සියලු ප්‍රාණීන් ඉපද සිටින සියලු සත්වයන්, සියලු ජීවීන් සිටින්නේ ඒවාට යටත්ව නොවේ. බල රහිතව යි. වීරිය රහිතව යි. නියත වශයෙන් ම සිදු වෙන පරිණාම ස්වභාවයකට අයිතිව යි. අභිජාති හයක් තුළ උපත ලබන සත්වයන් සැප දුක් විඳිනවා’ කියල.
ඉතින් යම්හෙයකින් මේ භවත් ශාස්තෘවරයා ගේ වචනය ඇත්තක් නම්, මොහු ගේ ශාසන වැඩපිළිවෙල අනුගමනය නො කොටත් මා එය කරල යි තියෙන්නෙ. මොහු ගේ ශාසන වැඩපිළිවෙලෙහි නො හැසිරිලා ත් මා හැසිරිල යි තියෙන්නෙ. මක් නිසාද යත්; අපි දෙදෙනා ම මෙහි සම සම බවට පත් වෙලයි ඉන්නෙ. මම නම් ‘අප දෙදෙනා ම හේතු ප්‍රත්‍ය රහිතව පිරිසිදු වෙනවා’ කියා කියන්නේ නෑ. ඒ වගේ ම මට නැති අතිරේක දෙයක් මේ භවත් ශාස්තෘවරයාට තිබේ. එනම් භවත් ශාස්තෘවරයා ගේ නිරුවත් බව, හිස මුඩු කොට ඇති බවත්, උක්කුටියෙන් සිටින බවත්, කෙස් රැවුල් උදුරා දැමීමත් අතිරේක දෙයකි. මං වනාහී දූ පුතුන් ඇතිව, කසී රට සඳුන් දරමින්, මල් සුවඳ විලවුන් දරමින්, රන් රිදී පරිහරණය කරමින්, සතුටින් ඉන්නවා. ඉතින් එබඳු ජීවිතයක් ගෙවන මාත් මරණින් මතු මේ ශාස්තෘවරයා හා සමාන වෙනවා නම්, මා මොහු ගේ ශාසනයෙහි වැඩපිළිවෙල අනුගමනය කිරීමෙන් කුමක් නම් දැනගන්නට ද? කුමක් නම් දැකගන්නට ද? ඉතින් ඔහු ‘මේක නම් අබ්‍රහ්මචරිය වාසයක් නෙව’ කියල ඒ ආගමික වැඩපිළිවෙල ගැන කළකිරිල ඉවත් වෙනවා.
පින්වත් සන්දක, දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තමයි මේ තුන්වෙනි අබ්‍රහ්මචාරී වාසය පෙන්වා වදාළේ. මෙහි තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙන්නෙ. යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නෑ.
පින්වත් සන්දක, තවත් අබ්‍රහ්මචරිය වාසයක් තියෙනවා. මෙහිලා ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු මතයක් දරනවා. මෙබඳු දෘෂ්ඨියකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ; ‘මේ කාය සතක් තියෙනවා. ඒවා කවුරුවත් කරපුවා නෙවෙයි. විධානයකින් කළ දේකුත් නෙවෙයි. ඉර්ධියෙන් මැවුන දේකුත් නෙවෙයි. මවවන ලද දේකුත් නෙවෙයි. ඒවා වඳ යි. ගිරි කුළු වගෙයි. ඒෂිකා ස්ථම්භය වගෙයි. ඒවා කම්පා වෙන්නෙ නෑ. විපරිණාමයට පත්වෙන්නෙත් නෑ. ඒ සප්ත කාය එකිනෙකාට පීඩා කරන්නෙ නෑ. ඒවා එකිනෙකාට සැප පිණිස හෝ දුක් පිණිස හෝ දුක් සැප පිණිස හෝ සකස් වෙන්නෙ නෑ. ඒ සප්තකාය කුමක් ද? එනම් පඨවි කාය, ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය, සැප, දුක හා ජීවය යන මේ සත යි. මේ සප්තකාය කවුරුවත් කරල නෑ. විධානයකින් කරලත් නෑ. ඉර්ධියෙන් මවල ත් නෑ. මවවලත් නෑ. වඳ යි. ගිරිකුළු වගෙයි. ඒෂිකා ස්ථම්භය වගෙයි. කම්පා වෙන්නෙ නෑ. වෙනස් වෙන්නෙ නෑ. එකිනෙකාට පීඩා කරන්නෙ නෑ. එකිනෙකාට සැප හෝ දුක හෝ දුක් සැප පිණිස හෝ සකස් වෙන්නෙ නෑ. මේ සප්තකාය තුළ නසන කෙනෙක් නෑ. නසවන කෙනෙක් නෑ. අසන කෙනෙක් නෑ. අසවන කෙනෙක් නෑ. දන්න කෙනෙක් නෑ. දැනුම්දෙන කෙනෙක් නෑ. යමෙක් තියුණු ආයුධයකින් හිස සින්ඳොත් ඒ සප්තකාය අතුරෙන් ආයුධයක් සිදුරු කොට ගෙන ගියා විතරයි.
ඒ වගේ ම, මෙහි උපත ලබන යෝනි දහහතර ලක්ෂයකුත් හයදහසකුත් හයසියයක් තියෙනවා. කර්ම පන්සීයයකුත් තව කර්ම පහකුත් තව කර්ම තුනකුත් තව කර්ම භාගයකුත් තියෙනවා. ප්‍රතිපදා හැට දෙකක් තියෙනවා. කල්පාන්තර හැට දෙකක් තියෙනවා. අභිජාති හයක් තියෙනවා. පුරුෂ භූමි අටක් තියෙනවා. ආජීවක පැවිදි ක්‍රම දහහතර දහස් නවසියයක් තියෙනවා. පිරිවැජි ක්‍රම දහහතර දහස් නවසියයක් තියෙනවා. නාග වාසස්ථාන දහහතර දහස් නවසියයක් තියෙනවා. ඉන්ද්‍රියයන් දෙදහසක් තියෙනවා. නිරය තුන්දහසක් තියෙනවා. රජස් ධාතු තිස් හයක් තියෙනවා. සඤ්ඤී ගර්භ සතක් තියෙනවා. අසඤ්ඤී ගර්භ සතක් තියෙනවා. නිගණ්ඨ ගර්භ සතක් තියෙනවා. දෙවිවරු සත් කොටසක් ඉන්නවා. මිනිස්සු සත් කොටසක් ඉන්නවා. පිශාචයින් සත් කොටසක් ඉන්නවා. මහා විල් සතක් තියෙනවා. ගැට සතක් තියෙනවා. ප්‍රපාත හතක් තියෙනවා. ප්‍රපාත හත්සියයකුත් තියෙනවා. සිහින හතක් තියෙනවා. සිහින හත්සියයකුත් තියෙනවා. යම් කල්පයක අඥාන වූත්, පණ්ඩිත වූත් උදවිය සසර සැරිසරා දුක් කෙළවර කරනවා නම් ඒ කල්ප අසූ හාරදහසක් ම සැරිසැරිය යුතුයි. එහි මං මේ සීලයෙන් වේවා, ව්‍රතයෙන් වේවා, තපසින් වේවා, බඹසරින් වේවා, නො මේරූ කර්මය මෝරවන්නෙමි යි කියා දෙයක් හෝ මේරූ කර්මය ස්පර්ශ කරමි යි හෝ අභාවයට පත්කරවන්නෙමි යි කියා දෙයක් හෝ නැත. සැප දුක් යනු ද්‍රෝණයකින් මනින ලද දෙයක් වැනි ය. සසර ගමනෙහි කෙළවරක් සකස් වී ඇත. එනිසා පිරිහීමක්, දියුණුවක් කියා දෙයක් නැත. උස්, පහත් බවක් නැත. නූල් පන්දුවක ඇති නූලේ කෙළවර ගෙන පන්දුව ඈතට දමා ගසද්දී එහි වෙළුම් ගැලවී අවසන් වී යයි ද, එසෙයින් ම අඥානයෝ ත්, නුවණැත්තෝ ත් සසරෙහි සැරිසරා දුක් කෙළවර කරති’ කියල.
එතකොට පින්වත් සන්දක, බුද්ධිමත් පුද්ගලයෙක් මේ මතය ගැන නුවණින් විමසන්නෙ මෙහෙමයි. මේ භවත් ශාස්තෘවරයා මෙවැනි මතයක් දරනවා. මෙවැනි දෘෂ්ඨියක් දරනවා. ‘මේ කාය සතක් තියෙනවා. ඒවා කවුරුවත් කරපුවා නෙවෙයි. විධානයකින් කළ දේකුත් නෙවෙයි. ඉර්ධියෙන් මැවුන දේකුත් නෙවෙයි. මවවන ලද දේකුත් නෙවෙයි. ඒවා වඳ යි. ගිරි කුළු වගෙයි. ඒෂිකා ස්ථම්භය වගෙයි. ඒවා කම්පා වෙන්නෙ නෑ. විපරිණාමයට පත්වෙන්නෙත් නෑ. ඒ සප්ත කාය එකිනෙකාට පීඩා කරන්නෙ නෑ. ඒවා එකිනෙකාට සැප පිණිස හෝ දුක් පිණිස හෝ දුක් සැප පිණිස හෝ සකස් වෙන්නෙ නෑ. ඒ සප්තකාය කුමක් ද? එනම් පඨවි කාය, ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය, සැප, දුක හා ජීවය යන මේ සත යි. මේ සප්තකාය කවුරුවත් කරල නෑ. විධානයකින් කරලත් නෑ. ඉර්ධියෙන් මවල ත් නෑ. මවවලත් නෑ. වඳ යි. ගිරිකුළු වගෙයි. ඒෂිකා ස්ථම්භය වගෙයි. කම්පා වෙන්නෙ නෑ. වෙනස් වෙන්නෙ නෑ. එකිනෙකාට පීඩා කරන්නෙ නෑ. එකිනෙකාට සැප හෝ දුක හෝ දුක් සැප පිණිස හෝ සකස් වෙන්නෙ නෑ. මේ සප්තකාය තුළ නසන කෙනෙක් නෑ. නසවන කෙනෙක් නෑ. අසන කෙනෙක් නෑ. අසවන කෙනෙක් නෑ. දන්න කෙනෙක් නෑ. දැනුම්දෙන කෙනෙක් නෑ. යමෙක් තියුණු ආයුධයකින් හිස සින්ඳොත් ඒ සප්තකාය අතුරෙන් ආයුධයක් සිදුරු කොට ගෙන ගියා විතරයි.
ඒ වගේ ම, මෙහි උපත ලබන යෝනි දහහතර ලක්ෂයකුත් හයදහසකුත් හයසියයක් තියෙනවා. කර්ම පන්සීයයකුත් තව කර්ම පහකුත් තව කර්ම තුනකුත් තව කර්ම භාගයකුත් තියෙනවා. ප්‍රතිපදා හැට දෙකක් තියෙනවා. කල්පාන්තර හැට දෙකක් තියෙනවා. අභිජාති හයක් තියෙනවා. පුරුෂ භූමි අටක් තියෙනවා. ආජීවක පැවිදි ක්‍රම දහහතර දහස් නවසියයක් තියෙනවා. පිරිවැජි ක්‍රම දහහතර දහස් නවසියයක් තියෙනවා. නාග වාසස්ථාන දහහතර දහස් නවසියයක් තියෙනවා. ඉන්ද්‍රියයන් දෙදහසක් තියෙනවා. නිරය තුන්දහසක් තියෙනවා. රජස් ධාතු තිස් හයක් තියෙනවා. සඤ්ඤී ගර්භ සතක් තියෙනවා. අසඤ්ඤී ගර්භ සතක් තියෙනවා. නිගණ්ඨ ගර්භ සතක් තියෙනවා. දෙවිවරු සත් කොටසක් ඉන්නවා. මිනිස්සු සත් කොටසක් ඉන්නවා. පිශාචයින් සත් කොටසක් ඉන්නවා. මහා විල් සතක් තියෙනවා. ගැට සතක් තියෙනවා. ප්‍රපාත හතක් තියෙනවා. ප්‍රපාත හත්සියයකුත් තියෙනවා. සිහින හතක් තියෙනවා. සිහින හත්සියයකුත් තියෙනවා. යම් කල්පයක අඥාන වූත්, පණ්ඩිත වූත් උදවිය සසර සැරිසරා දුක් කෙළවර කරනවා නම් ඒ කල්ප අසූ හාරදහසක් ම සැරිසැරිය යුතුයි. එහි මං මේ සීලයෙන් වේවා, ව්‍රතයෙන් වේවා, තපසින් වේවා, බඹසරින් වේවා, නො මේරූ කර්මය මෝරවන්නෙමි යි කියා දෙයක් හෝ මේරූ කර්මය ස්පර්ශ කරමි යි හෝ අභාවයට පත්කරවන්නෙමි යි කියා දෙයක් හෝ නැත. සැප දුක් යනු ද්‍රෝණයකින් මනින ලද දෙයක් වැනි ය. සසර ගමනෙහි කෙළවරක් සකස් වී ඇත. එනිසා පිරිහීමක්, දියුණුවක් කියා දෙයක් නැත. උස්, පහත් බවක් නැත. නූල් පන්දුවක ඇති නූලේ කෙළවර ගෙන පන්දුව ඈතට දමා ගසද්දී එහි වෙළුම් ගැලවී අවසන් වී යයි ද, එසෙයින් ම අඥානයෝ ත්, නුවණැත්තෝ ත් සසරෙහි සැරිසරා දුක් කෙළවර කරති’ කියල.
ඉතින් යම්හෙයකින් මේ භවත් ශාස්තෘවරයා ගේ වචනය ඇත්තක් නම්, මොහු ගේ ශාසන වැඩපිළිවෙල අනුගමනය නො කොටත් මා එය කරල යි තියෙන්නෙ. මොහු ගේ ශාසන වැඩපිළිවෙලෙහි නො හැසිරිලා ත් මා හැසිරිල යි තියෙන්නෙ. මක් නිසාද යත්; අපි දෙදෙනා ම මෙහි සම සම බවට පත් වෙලයි ඉන්නෙ. මම නම් ‘අප දෙදෙනා ම සංසාරේ සැරිසරල දුක් කෙළවර කරනවා’ කියා කියන්නේ නෑ. ඒ වගේ ම මට නැති අතිරේක දෙයක් මේ භවත් ශාස්තෘවරයාට තිබේ. එනම් භවත් ශාස්තෘවරයා ගේ නිරුවත් බව, හිස මුඩු කොට ඇති බවත්, උක්කුටියෙන් සිටින බවත්, කෙස් රැවුල් උදුරා දැමීමත් අතිරේක දෙයකි. මං වනාහී දූ පුතුන් ඇතිව, කසී රට සඳුන් දරමින්, මල් සුවඳ විලවුන් දරමින්, රන් රිදී පරිහරණය කරමින්, සතුටින් ඉන්නවා. ඉතින් එබඳු ජීවිතයක් ගෙවන මාත් මරණින් මතු මේ ශාස්තෘවරයා හා සමාන වෙනවා නම්, මා මොහු ගේ ශාසනයෙහි වැඩපිළිවෙල අනුගමනය කිරීමෙන් කුමක් නම් දැනගන්නට ද? කුමක් නම් දැකගන්නට ද? ඉතින් ඔහු ‘මේක නම් අබ්‍රහ්මචරිය වාසයක් නෙව’ කියල ඒ ආගමික වැඩපිළිවෙල ගැන කළකිරිල ඉවත් වෙනවා.
පින්වත් සන්දක, දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තමයි මේ හතරවෙනි අබ්‍රහ්මචාරී වාසය පෙන්වා වදාළේ. මෙහි තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙන්නෙ. යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නෑ.”
“භවත් ආනන්දයෙනි, ආශ්චර්යය යි! භවත් ආනන්දයෙනි අද්භූත යි! දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් තැනක බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙනවා නම්, යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නැති නම් එබඳු වූ අබ්‍රහ්මචරිය වාසය සතරක් වදාළ සේක් ම ය.
භවත් ආනන්දයෙනි, දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් තැනක බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙනවා නම්, යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නැති නම් එබඳු වූ අස්වැසිලි රහිත වූ බ්‍රහ්මචරිය වාසය සතරක් වදාළ සේක් නම් ඒ මොනවා ද?”
“මෙහිලා පින්වත් සන්දක, ඇතැම් ශාස්තෘවරයෙක් ඉන්නවා. ඔහු සර්වඥ යි. සියල්ල දකිනවා. ඒ වගේ ම ඇවිදින විට ත්, සිටින විට ත්, නිදන විට ත්, නිදිවරන විටත් නිරතුරුව හැම කල්හි ම තමන් වහන්සේට ඤාණදර්ශන පිහිටා තිබෙන ඉතිරි නැතිව පවතින ඤාණ දර්ශනයක් ගැන ප්‍රතිඥා දෙනවා. නමුත් ඔහු පිඬු සොයා ගෙන හිස් ගෙවල් වලට ත් යනවා. පිඬු ත් නො ලබනවා. බල්ලො ත් ඔහුව හපනවා. වල් අලින්ට ත් හසුවෙනවා. වල් අශ්වයන්ට ත් හසුවෙනවා. නපුරු ගොනුන්ට ත් හසුවෙනවා. ස්ත්‍රිය ගේ ත්, පුරුෂයා ගේ ත් නම ත් අහනවා. ගෝත්‍ර නම ත් අහනවා. ගමේ ත්, නියම් ගමේ ත් නම ත් අහනවා. යන එන මග තොට ත් අහනවා. එතකොට ඔහු ගෙන් ‘ඇයි මෙහෙම වෙන්නෙ?’ කියල ඇසුවොත් මෙහෙම කියනවා. ‘මා හිස් ගෙදරකට පිවිසිය යුතුයි. ඒ නිසයි ගියේ. මා පිඬු නො ලැබිය යුතුයි. ඒ නිසයි නො ලැබුනේ. බල්ලෙක් මාව හැපිය යුතුයි. ඒ නිස යි හැපුවේ. මා වල් අලියෙකුට මුණ ගැසිය යුතුයි. ඒ නිස යි වල් අලියාට මාව හසුවුනේ. මා වල් අශ්වයෙකුට ත් මුණ ගැසිය යුතුයි. ඒ නිස යි වල් අශ්වයාට මාව හසුවුනේ. නපුරු ගොනාට මාව මුණ ගැසිය යුතුයි. ඒ නිසයි නපුරු ගොනාට මාව හසුවුනේ. ස්ත්‍රිය ගේ ත්, පුරුෂයා ගේ ත් නම ත් ගෝත්‍රය ත් මා විසින් ඇසිය යුතුයි. එනිසයි ඇසුවේ. ගමේ ත්, නියම් ගමේ ත් නම ත්, මාර්ගයේ නම ත් මා විසින් ඇසිය යුතුයි. එනිසයි ඇසුවේ’ කියල.
එතකොට පින්වත් සන්දක, බුද්ධිමත් පුද්ගලයෙක් මේ මතය ගැන නුවණින් විමසන්නෙ මෙහෙමයි. මේ භවත් ශාස්තෘවරයා සර්වඥයි ලු. සියල්ල දකිනවා ලු. ….(පෙ)…. ඒ නිසයි ඇසුවේ කියල කියනවා. ඉතින් ඒ නුවණැත්තා ‘මෙය නම් අස්වැසිල්ලක් නැති බඹසර වාසයක් ය’ කියා ඒ බඹසර වාසය ගැන කළකිරී එයින් ඉවත් වෙනවා.
පින්වත් සන්දක, දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තමයි මේ පළමුවෙනි අස්වැසිලි රහිත බ්‍රහ්මචාරී වාසය පෙන්වා වදාළේ. මෙහි තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙන්නෙ. යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නෑ.
පින්වත් සන්දක, අස්වැසිලි රහිත වූ තවත් බඹසර වාසයක් තියෙනවා. මෙහිලා එක්තරා ශාස්තෘවරයෙක් ඉන්නවා. ඔහු අසන දෙය පමණක් ඇසුරු කොට ඉන්න කෙනෙක්. ශ්‍රවණය ම සත්‍ය වශයෙන් පිළිගන්නා කෙනෙක්. ඉතින් ඔහු අසන ලද දෙය ම නුවණින් නො විමසා පරම්පරාවෙන් ආ පිළිවෙල යැයි කියා එය ‘මෙසේය, මෙසේය’ යැයි කියා පිටක සම්පත්තියෙන් දහම් දෙසයි.
පින්වත් සන්දක, ශ්‍රවණය ම ඇසුරු කළ, සවන් දුන් දෙය ම සත්‍ය කොට ගත් ඒ ශාස්තෘ වරයාට මනා කොට ඇසූ දෙය ඇත. නො මනා කොට ඇසූ දෙය ද ඇත. ඒ අයුරින් ද වෙයි. වෙනස් අයුරකින් ද වෙයි.
එතකොට පින්වත් සන්දක, බුද්ධිමත් පුද්ගලයෙක් මේ මතය ගැන නුවණින් විමසන්නෙ මෙහෙමයි. මේ භවත් ශාස්තෘවරයා අසන දෙය පමණක් ඇසුරු කොට ඉන්න කෙනෙක්. ශ්‍රවණය ම සත්‍ය වශයෙන් පිළිගන්නා කෙනෙක්. ඉතින් ඔහු අසන ලද දෙය ම නුවණින් නො විමසා පරම්පරාවෙන් ආ පිළිවෙල යැයි කියා එය ‘මෙසේය, මෙසේය’ යැයි කියා පිටක සම්පත්තියෙන් දහම් දෙසයි. ඉතින් ඔහු ශ්‍රවණය ම ඇසුරු කළ, සවන් දුන් දෙය ම සත්‍ය කොට ගත් ඒ ශාස්තෘ වරයාට මනා කොට ඇසූ දෙය ඇත. නො මනා කොට ඇසූ දෙය ද ඇත. ඒ අයුරින් ද වෙයි. වෙනස් අයුරකින් ද වෙයි. ඉතින් ඒ නුවණැත්තා ‘මෙය නම් අස්වැසිල්ලක් නැති බඹසර වාසයක් ය’ කියා ඒ බඹසර වාසය ගැන කළකිරී එයින් ඉවත් වෙනවා.
පින්වත් සන්දක, දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තමයි මේ දෙවෙනි අස්වැසිලි රහිත බ්‍රහ්මචාරී වාසය පෙන්වා වදාළේ. මෙහි තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙන්නෙ. යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නෑ.
පින්වත් සන්දක, අස්වැසිලි රහිත වූ තවත් බඹසර වාසයක් තියෙනවා. මෙහිලා තවත් ශාස්තෘවරයෙක් ඉන්නවා. ඔහු තර්ක කරනවා. විමසනවා. ඉතින් ඔහු තර්ක කරමින්, විමස විමසා යමින්, තමන්ට වැටහෙන ආකාරයෙන් දහම් දෙසනවා. පින්වත් සන්දක, මෙසේ තර්ක කරමින්, විමස විමසා සිටින ශාස්තෘවරයා මැනවින් කරන ලද තර්ක ද ඇත. වැරදියට කරන ලද තර්ක ද ඇත. එවිට ඒ අයුරිනුත් වෙනවා. වෙනස් අයුරකිනුත් වෙනවා.
එතකොට පින්වත් සන්දක, බුද්ධිමත් පුද්ගලයෙක් මේ මතය ගැන නුවණින් විමසන්නෙ මෙහෙමයි. මේ භවත් ශාස්තෘවරයා තර්ක කරමින්, විමස විමසා තමන් ගේ වැටහීම අනුව දහම් දෙසනවා. ඉතින් තර්කය මත ම, විමසා විමසා තම වැටහීම් මත ම කරුණු කියන මෙම ශාස්තෘවරයාට මනා කොට කරන ලද තර්ක ද ඇත. නො මනා කොට කරන ලද තර්ක ද ඇත. එනිසා ඒ අයුරින් ද වෙයි. වෙනස් අයුරකින් ද වෙයි. මෙසේ සිතන ඒ නුවණැත්තා ‘මෙය නම් අස්වැසිල්ලක් නැති බඹසර වාසයක් ය’ කියා ඒ බඹසර වාසය ගැන කළකිරී එයින් ඉවත් වෙනවා.
පින්වත් සන්දක, දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තමයි මේ තුන්වෙනි අස්වැසිලි රහිත බ්‍රහ්මචාරී වාසය පෙන්වා වදාළේ. මෙහි තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙන්නෙ. යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නෑ.
පින්වත් සන්දක, අස්වැසිලි රහිත වූ තවත් බඹසර වාසයක් තියෙනවා. මෙහිලා තවත් ශාස්තෘවරයෙක් ඉන්නවා. ඔහු බුද්ධිමත් නෑ. අතිමෝඩ කෙනෙක්. ඉතින් ඔහු නුවණ මඳ නිසා ම, අතිමෝඩ නිසා ම ඒ ඒ අයුරින් ප්‍රශ්න අසද්දී අමරාවික්ෂේපයට පැමිණ වචනයෙන් ලිස්සා යයි. ‘මට මෙවැනි අදහසක් ද නැත. මට එවැනි අදහසක් ද නැත. මට වෙනත් අදහසක් ද නැත. මට අදහසක් නැත්තේ ය යන අදහස ද නැත. මට අදහසක් නැත්තේ ද නැත යන අදහස ද නැත’ කියල.
එතකොට පින්වත් සන්දක, බුද්ධිමත් පුද්ගලයෙක් මේ මතය ගැන නුවණින් විමසන්නෙ මෙහෙමයි. මේ භවත් ශාස්තෘවරයා නුවණ නැත්තෙක් නෙව. අතිමෝඩයෙක් නෙව. ඔහු අනුවණකම නිසා ම, අතිමෝඩකම නිසා ම ඔහු ගෙන් යම් යම් ප්‍රශ්න ඇසූ විට අමරාවික්ෂේපයට පැමිණ, වචනයෙන් ලිස්සා යයි. ඉතින් ඔහු කියන්නේ ‘මට මෙවැනි අදහසක් ද නැත. මට එවැනි අදහසක් ද නැත. මට වෙනත් අදහසක් ද නැත. මට අදහසක් නැත්තේ ය යන අදහස ද නැත. මට අදහසක් නැත්තේ ද නැත යන අදහස ද නැත.’ කියල යි. මෙසේ සිතන ඒ නුවණැත්තා ‘මෙය නම් අස්වැසිල්ලක් නැති බඹසර වාසයක් ය’ කියා ඒ බඹසර වාසය ගැන කළකිරී එයින් ඉවත් වෙනවා.
පින්වත් සන්දක, දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තමයි මේ සතරවෙනි අස්වැසිලි රහිත බ්‍රහ්මචාරී වාසය පෙන්වා වදාළේ. මෙහි තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙන්නෙ. යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නෑ.”
“භවත් ආනන්දයෙනි, ආශ්චර්යය යි! භවත් ආනන්දයෙනි අද්භූත යි! දන්නා වූ ත්, දක්නා වූ ත්, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් තැනක බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් බඹසර වාසයෙහි නො හැසිරෙනවා නම්, යමෙක් හැසිරුනත් අවබෝධයකින් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කිරීමක් සිදු වන්නෙ නැති නම් එබඳු වූ අස්වැසිලි රහිත බ්‍රහ්මචරිය වාසය සතරක් වදාළ සේක් ම ය.
භවත් ආනන්දයෙනි, යම් ශාසනයක බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් ම බඹසර හැසිරෙනවා නම්, එසේ බඹසර හැසිරීමෙන් අවබෝධයෙන් යුක්තව කුසල් දහම් සාක්ෂාත් කරනවා නම්, එය පෙන්වන ශාස්තෘවරයා කවර මතයක් දරණ කෙනෙක් ද? කුමක් පවසන කෙනෙක් ද?”
“පින්වත් සන්දක, මෙහිලා අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි පහළ වෙනවා. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කරන ලද ධර්මය දේශනා කරනවා. ඒ තථාගතයන් වහන්සේ මුළ කල්‍යාණ වූ, මධ්‍යයෙහි කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයෙන් හෙබි, ධර්මය දේශනා කරනවා. මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු වූ නිවන් මඟ බඹසර ප්‍රකාශ කරනවා.
එතකොට ගෘහපතියෙක් හෝ වේවා, ගෘහපති පුත්‍රයෙක් හෝ වේවා, යම් කිසි කුලයක උපන් කෙනෙක් ඒ ධර්මය අසනවා. ….(පෙ)…. ඒ භික්ෂුව ප්‍රඥාව දුර්වල කරන, සිතට උපක්ලේශ වූ මේ නීවරණ පහ අත්හරිනවා. ඊට පස්සෙ කාමයෙන් වෙන්ව, අකුසල් වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් සන්දක, යම් ශාස්තෘන් වහන්සේ නමක ගේ සසුනෙහි ශ්‍රාවකයෙක් මෙබඳු වූ උදාර වූ විශේෂ තත්වයක් සාක්ෂාත් කරයි නම්, අන්න ඒ බඹසර තුළ තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් ම හැසිරෙන්නෙ. ඒ බඹසර තුළ වසද්දී තමයි අවබෝධයෙන් ම ලත් කුසල් දහම් සාක්ෂාත් කළ හැකි වන්නේ.
පින්වත් සන්දක, ඒ වගේ ම භික්ෂුව විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් සන්දක, යම් ශාස්තෘන් වහන්සේ නමක ගේ සසුනෙහි ශ්‍රාවකයෙක් මෙබඳු වූ උදාර වූ විශේෂ තත්වයක් සාක්ෂාත් කරයි නම්, අන්න ඒ බඹසර තුළ තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් ම හැසිරෙන්නෙ. ඒ බඹසර තුළ වසද්දී තමයි අවබෝධයෙන් ම ලත් කුසල් දහම් සාක්ෂාත් කළ හැකි වන්නේ.
පින්වත් සන්දක, ඒ වගේ ම භික්ෂුව ප්‍රීතියට ඇලෙන්නෙත් නැතිව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව සැප සේ වාසය කරනවා’ කියන ඒ තුන්වෙනි ධ්‍යානය ත් ලබාගෙන වාසය කරනවා. පින්වත් සන්දක, යම් ශාස්තෘන් වහන්සේ නමක ගේ සසුනෙහි ශ්‍රාවකයෙක් මෙබඳු වූ උදාර වූ විශේෂ තත්වයක් සාක්ෂාත් කරයි නම්, අන්න ඒ බඹසර තුළ තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් ම හැසිරෙන්නෙ. ඒ බඹසර තුළ වසද්දී තමයි අවබෝධයෙන් ම ලත් කුසල් දහම් සාක්ෂාත් කළ හැකි වන්නේ.
පින්වත් සන්දක, ඒ වගේ ම භික්ෂුව සැප ද, දුක ද නැති කිරීමෙන්, කලින් ම මානසික සැප දුක් දෙකින් ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාව ත්, සිහිය ත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් සන්දක, යම් ශාස්තෘන් වහන්සේ නමක ගේ සසුනෙහි ශ්‍රාවකයෙක් මෙබඳු වූ උදාර වූ විශේෂ තත්වයක් සාක්ෂාත් කරයි නම්, අන්න ඒ බඹසර තුළ තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් ම හැසිරෙන්නෙ. ඒ බඹසර තුළ වසද්දී තමයි අවබෝධයෙන් ම ලත් කුසල් දහම් සාක්ෂාත් කළ හැකි වන්නේ.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම අකම්පිත වුනා ම, තමන් කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. එතකොට ඔහු නොයෙක් ආකාරයේ ජීවිත ගත කළ හැටි සිහි කරනවා. ඒ කියන්නෙ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ….(පෙ)…. ඔය විදිහට කරුණු සහිතව, පැහැදිලි විස්තර ඇති ව, නොයෙක් ආකාරයෙන් තමන් ගත කළ අතීත ජීවිත ගැන සිහි කරනවා. පින්වත් සන්දක, යම් ශාස්තෘන් වහන්සේ නමක ගේ සසුනෙහි ශ්‍රාවකයෙක් මෙබඳු වූ උදාර වූ විශේෂ තත්වයක් සාක්ෂාත් කරයි නම්, අන්න ඒ බඹසර තුළ තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් ම හැසිරෙන්නෙ. ඒ බඹසර තුළ වසද්දී තමයි අවබෝධයෙන් ම ලත් කුසල් දහම් සාක්ෂාත් කළ හැකි වන්නේ.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, සත්වයන් චුත වෙන, උපදින හැටි දැකීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. එතකොට ඔහු සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන් දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. පින්වත් සන්දක, යම් ශාස්තෘන් වහන්සේ නමක ගේ සසුනෙහි ශ්‍රාවකයෙක් මෙබඳු වූ උදාර වූ විශේෂ තත්වයක් සාක්ෂාත් කරයි නම්, අන්න ඒ බඹසර තුළ තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් ම හැසිරෙන්නෙ. ඒ බඹසර තුළ වසද්දී තමයි අවබෝධයෙන් ම ලත් කුසල් දහම් සාක්ෂාත් කළ හැකි වන්නේ.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල් වී තිබුනා ම, අකම්පිත වුනා ම, ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. ඉතින් ඒ භික්ෂුව ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුකේ නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුක් නැති වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රවයන් ගේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා.
ඔය විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැන ගන්න කොට, යථාර්ථය දැක ගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වුනා ම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙ කවදාවත් සසරට වැටෙන්නෙ නෑ’ කියල දැනගන්නවා. පින්වත් සන්දක, යම් ශාස්තෘන් වහන්සේ නමක ගේ සසුනෙහි ශ්‍රාවකයෙක් මෙබඳු වූ උදාර වූ විශේෂ තත්වයක් සාක්ෂාත් කරයි නම්, අන්න ඒ බඹසර තුළ තමයි බුද්ධිමත් කෙනෙක් ඒකාන්තයෙන් ම හැසිරෙන්නෙ. ඒ බඹසර තුළ වසද්දී තමයි අවබෝධයෙන් ම ලත් කුසල් දහම් සාක්ෂාත් කළ හැකි වන්නේ.”
“භවත් ආනන්දය, යම් මේ භික්ෂුවක් රහතන් වහන්සේ නමක් වේ ද, ක්ෂීණාශ්‍රව වූ වසන ලද බඹසර ඇති, කළ යුත්ත කොට ඇති, කෙලෙස් බර බැහැර දැමූ, අනුපිළිවෙලින් පැමිණි යහපත ඇති, භව බන්ධන ක්ෂය කරන ලද, අවබෝධයෙන් ම විමුක්තියට පත්, ඒ රහතන් වහන්සේ කාමයන් පරිභෝජනය කරනවා ද?”
“පින්වත් සන්දක, යම් මේ භික්ෂුවක් රහතන් වහන්සේ නමක් වේ ද, ක්ෂීණාශ්‍රව වූ වසන ලද බඹසර ඇති, කළ යුත්ත කොට ඇති, කෙලෙස් බර බැහැර දැමූ, අනුපිළිවෙලින් පැමිණි යහපත ඇති, භව බන්ධන ක්ෂය කරන ලද, අවබෝධයෙන් ම විමුක්තියට පත්, යම් ඒ රහතන් වහන්සේ වෙත් ද, ඒ රහත් භික්ෂුව කරුණ පහක් කරන්නට අභව්‍යය වේ. ඒ කියන්නෙ; ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් දැන දැන සතෙකු ගේ ජීවිතය නසන්නට පුළුවන් කමක් නෑ. ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් නුදුන් දෙයක් සොර සිතින් ගන්නට පුළුවන් කමක් නෑ. ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් මෛථූන සේවනයේ යෙදෙන්නට පුළුවන් කමක් නෑ. ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් දැන දැන බොරු කියන්නට පුළුවන් කමක් නෑ. ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් කලින් ගිහි ගෙදර ගත කළ පරිද්දෙන් කාමයන් රැස් කරගෙන පරිභෝජනය කරන්නට පුළුවන් කමක් නෑ.
පින්වත් සන්දක, ක්ෂීණාශ්‍රව වූ වසන ලද බඹසර ඇති, කළ යුත්ත කොට ඇති, කෙලෙස් බර බැහැර දැමූ, අනුපිළිවෙලින් පැමිණි යහපත ඇති, භව බන්ධන ක්ෂය කරන ලද, අවබෝධයෙන් ම විමුක්තියට පත්, යම් රහත් භික්ෂුවක් වේ ද, ඒ භික්ෂුව විසින් මේ පස් කරුණෙහි සඳහන් දේ කරන්නට පුළුවන් කමක් නෑ.”
“භවත් ආනන්දයෙනි, ක්ෂීණාශ්‍රව වූ වසන ලද බඹසර ඇති, කළ යුත්ත කොට ඇති, කෙලෙස් බර බැහැර දැමූ, අනුපිළිවෙලින් පැමිණි යහපත ඇති, භව බන්ධන ක්ෂය කරන ලද, අවබෝධයෙන් ම විමුක්තියට පත්, යම් රහත් භික්ෂුවක් වේ ද, ඒ රහතන් වහන්සේට ඇවිදින විට ත්, සිටින විට ත්, නිදන විට ත්, නිදි වරන විට ත්, හැම විට ම, නිරතුරුව ම, ‘මාගේ ආශ්‍රවයන් ක්ෂය වී ඇත කියා’ මැනවින් පිහිටි ඤාණ දර්ශනයක් තියෙනවා ද?”
“පින්වත් සන්දක, ඔබට උපමාවක් කියා දෙන්නම්. ඇතැම් බුද්ධිමත් කෙනෙකුට මෙහිලා උපමාවෙන් වුනත්, පවසන දෙය තුළ ඇති අර්ථය තේරුම් ගන්නට පුළුවනි. පින්වත් සන්දක, අත් පා කපා දැමූ පුරුෂයෙක් ඉන්නවා. ඉතින් ඔහු ඇවිදින විට ත්, සිටින විට ත්, නිදන විට ත්, නිදි වරන විට ත්, හැම විට ම, නිරතුරුව ම ඔහු ගේ අත් පා කැපිල යි තියෙන්නෙ. නමුත් ඔහුට එය සිහි කරද්දි තමයි මතක් වෙන්නෙ ‘මාගේ අත් පා කපා දමා තියෙනවා’ කියල. පින්වත් සන්දක, ඒ වගේ ම යි ක්ෂීණාශ්‍රව වූ වසන ලද බඹසර ඇති, කළ යුත්ත කොට ඇති, කෙලෙස් බර බැහැර දැමූ, අනුපිළිවෙලින් පැමිණි යහපත ඇති, භව බන්ධන ක්ෂය කරන ලද, අවබෝධයෙන් ම විමුක්තියට පත්, යම් රහත් භික්ෂුවක් වේ ද, ඒ රහතන් වහන්සේට ඇවිදින විට ත්, සිටින විට ත්, නිදන විට ත්, නිදි වරන විට ත්, හැම විට ම, නිරතුරුව ම ආශ්‍රවයන් ක්ෂය වෙල යි තියෙන්නෙ. නමුත් උන්වහන්සේ ප්‍රත්‍යවෙක්ෂා කරද්දි තමයි ‘මාගේ ආශ්‍රවයන් ක්ෂය වෙලා’ කියා මතක් වෙන්නෙ.”
“භවත් ආනන්දයෙනි, මේ බුදු සසුනෙහි සසරෙන් එතෙර වූ බොහෝ අය ඉන්නවා ද?” “පින්වත් සන්දක, මේ බුදු සසුනෙහි සසරෙන් එතෙර වූ අය සියයක් නොවේ, දෙසීයක් නොවේ, තුන්සීයක් නොවේ, හාරසියයක් නොවේ, පන්සියයක් නොවේ තව බොහෝ ගණනක් ඉන්නවා.”
“භවත් ආනන්දයෙනි, ආශ්චර්ය යි! භවත් ආනන්දයෙනි, අද්භූත යි! තමා ගේ ධර්මය ඉහළට ඔසවලා තැබීමක් වුනෙත් නෑ. අනුන් ගේ ධර්මය හෙළා දමා තැබීමක් වුනෙත් නෑ. අදාළ කරුණ පිළිබඳව ධර්ම දේශනාව වුනා. ඒ වගේ ම බොහෝ දෙනා සසරෙන් එතෙර වෙන බව ත් පෙනෙනවා. මේ ආජීවකයෝ නම් දරුවන් මැරුණු මවක ගේ දරුවන් වගෙයි. මේ උදවිය තමාවත් උත්කර්ෂවත් කරගන්නවා. අනුන්වත් හෙළා දකිනවා. සසරෙන් එතෙර කරවන්නට පුළුවන් ය කියන උදවිය තුන් දෙනෙක් ගැනත් කියනවා. එනම් නන්දවච්ඡ, කිසසංකිච්ච, මක්ඛලීගෝසාල යන තුන්දෙනා ගැනයි.”
එතකොට සන්දක පිරිවැජියා තම පිරිස ඇමතුවා. “භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ සසුනෙහි බඹසර වාසය කරත්වා! දැන් අපට නම් මේ ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අත්හැරීම ලෙහෙසි දෙයක් නො වෙයි.”
මේ අයුරින් සන්දක පිරිවැජියා තමන් ගේ පිරිස භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනයෙහි බඹසර වාසයට උත්සාහවත් කළා.
සාදු! සාදු!! සාදු!!!
සන්දක පිරිවැජියාට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M