මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුරු ජනපදයේ කම්මාස්සදම්ම නම් කුරු ජනපදවාසීන් ගේ නියම්ගමෙහි භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා ගේ ගිනි පුදන ශාලාවෙහි තණ ඇතිරියෙහි ය. එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ද ගෙන කම්මාස්සදම්ම නියම් ගමට පිඬු පිණිස වැඩම කළා. කම්මාස්සදම්ම නියම් ගමෙහි පිඬු පිණිස වැඩම කොට සවස් වරුවෙහි එහි එක්තරා වන ලැහැබක් කරා දිවා විහරණය පිණිස වැඩියා. ඒ වන ලැහැබ ඇතුළට ම වැඩම කොට එක්තරා රුක්සෙවණක දිවා විහරණයෙන් වැඩසිටියා.
එවේලෙහි මාගන්දිය පිරිවැජියා ව්‍යායාම පිණිස ඔබමොබ සක්මන් කරමින් සිටිද්දී භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා ගේ ගිනි පුදන ශාලාව වෙත පැමිණුනා. එවිට මාගන්දිය පරිබ්‍රාජකයා හට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා ගේ ගිනි පුදන ශාලාවෙහි එළන ලද තණ ඇතිරිය දකින්නට ලැබුනා. දැක භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා හට මෙය පැවසුවා. “භවත් භාරද්වාජයන් ගේ අග්නිහෝත්‍ර ශාලාවෙහි මේ තණ ඇතිරියක් පණවලා තියෙන්නේ කවුරු වෙනුවෙන් ද? ශ්‍රමණයෙකුට ගැලපෙන එකක් කියල යි මට සිතෙන්නෙ.”
“භවත් මාගන්දිය, ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මෙබඳු වූ කළ්‍යාණ කීර්ති ඝෝෂාවක් පැන නැගී තිබෙනවා. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජා චරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල. ඒ භවත් ගෞතමයන් වහන්සේට තමයි ඔය සයනය සකස් කොට තිබෙන්නේ. ”
“අපට ඒ දියුණුව වනසා ලන භවත් ගෞතමයන් ගේ සයනය දක්නට ලැබුනා ද, අහෝ! භවත් භාරද්වාජයෙනි, නො දැක්ක යුතු දෙයකුයි දැකගත්තේ.”
“එම්බා මාගන්දිය, ඔය වචනය රකින්න! එම්බා මාගන්දිය, ඔය වචනය රකින්න! භවත් ගෞතමයන් වහන්සේට අතිශයින් ම පැහැදුන ආර්ය ඤාණ සංඛ්‍යාත කුසල ධර්මයන් හි හික්මුන ක්ෂත්‍රීය පණ්ඩිතවරු ත් ඉන්නවා. බ්‍රාහ්මණ පණ්ඩිතවරු ත් ඉන්නවා. ගෘහපති පණ්ඩිතවරු ත් ඉන්නවා. ශ්‍රමණ පණ්ඩිතවරු ත් ඉන්නවා.”
“භවත් භාරද්වාජයෙනි, ඒ භවත් ගෞතමයන්ව දකින්නට මුණ ගැසුණොත් එතුමන් ගේ ඉදිරියෙහි වුණත් ඒක මං කියනවා. ‘භවත් ගෞතමයන් යනු දියුණුව වනසන කෙනෙක්’ ය කියල. මක් නිසාද යත්; අප ගේ සූත්‍රයන් හි කරුණු තිබෙන්නෙත් ඒ විදිහට තමයි.”
“එහෙම නම් භවත් මාගන්දියන් හට බරක් නැත්නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හට මං ඔය කාරණය කියන්නම්.”
“මාව රකින්ට උත්සාහ නො ගෙන භවත් භාරද්වාජය, මා කියූ දෙය ම කියන්න.”
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය පිරිසිදු දිව්‍ය ශ්‍රවණයෙන් භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා, මාගන්දිය පිරිවැජියා සමඟ ඇති වූ මෙම කතා සල්ලාපය අසා වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා ගේ අග්නි හෝත්‍ර ශාලාවට පැමිණුනා. පැමිණ එහි පණවා තිබූ තණ ඇතිරියෙහි වැඩ සිටියා. එවිට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩිවුන භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය විමසා වදාළා.
“පින්වත් භාරද්වාජයෙනි, මාගන්දිය පිරිවැජියා සමඟ මේ තණ ඇතිරිය මුල් කොට කිසියම් කථා සල්ලාපයක් ඇතිවුනා ද?” මෙසේ විමසා වදාළ විට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා තැති ගත්තා. ලොමු ඩැහැගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයන් වහන්සේට ඔය කාරණාව සැළ කරන්නට ම යි අපි හිටියේ. ඉතින් භවත් ගෞතමයන් වහන්සේ අප නො කියන ලද්ද ම පැවසුවා නෙව.”
භාග්‍යවතුන් වහන්සේ ගේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා සමඟ වූ මෙම කතාව කරන අතරමඟ දී අඩාල වුනා. එනම්, මාගන්දිය පිරිවැජියා ව්‍යායාම පිණිස ඔබමොබ ඇවිදිමින් සිට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා ගේ අග්නිහෝත්‍ර ශාලාවෙහි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කථාව නිමවා එකත් පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ මාගන්දිය පිරිවැජියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මාගන්දිය, ඇස තිබෙන්නේ රූපය නවාතැන්පොළ කොට ගෙන යි. රූපයට ඇලිල යි. රූපයෙන් සතුටු වෙමිනු යි. තථාගතයන් විසින් ඒ ඇස දමනය කළා. දොරටු වැසුවා. රැකගත්තා. සංවර කළා. ඒ ඇසේ සංවරය පිණිස ධර්මය ත් දේශනා කරනවා. මාගන්දිය, ‘ශ්‍රමණ ගෞතමයන් දියුණුව වනසන්නෙක්’ ය කියල ඔබ විසින් මෙවැනි ප්‍රකාශයක් කරන ලද්දේ ඔය කාරණය සලකා ගෙන ද?” “භවත් ගෞතමයෙනි, මා විසින් ඔය කාරණය සලකා ගෙන ම යි ‘ශ්‍රමණ ගෞතමයන් දියුණුව වනසන්නෙක්’ ය කියල එවැනි ප්‍රකාශයක් කළේ. මක් නිසාද යත්; අප ගේ සූත්‍රයෙහි කරුණු දැක්වෙන්නේ ඔය විදිහට යි.”
“පින්වත් මාගන්දිය, කන තිබෙන්නේ ශබ්දය නවාතැන්පොළ කොට ගෙන යි. ….(පෙ)…. පින්වත් මාගන්දිය, නාසය තිබෙන්නේ ගඳ සුවඳ නවාතැන්පොළ කොට ගෙන යි. ….(පෙ)…. පින්වත් මාගන්දිය, දිව තිබෙන්නේ රසය නවාතැන්පොළ කොට ගෙන යි. රසයට ඇලිල යි. රසයෙන් සතුටු වෙමිනු යි. තථාගතයන් විසින් ඒ දිව දමනය කළා. දොරටු වැසුවා. රැකගත්තා. සංවර කළා. ඒ දිවෙහි සංවරය පිණිස ධර්මය ත් දේශනා කරනවා. මාගන්දිය, ‘ශ්‍රමණ ගෞතමයන් දියුණුව වනසන්නෙක්’ ය කියල ඔබ විසින් මෙවැනි ප්‍රකාශයක් කරන ලද්දේ ඔය කාරණය සලකා ගෙන ද?” “භවත් ගෞතමයෙනි, මා විසින් ඔය කාරණය සලකා ගෙන ම යි ‘ශ්‍රමණ ගෞතමයන් දියුණුව වනසන්නෙක්’ ය කියල එවැනි ප්‍රකාශයක් කළේ. මක් නිසාද යත්; අප ගේ සූත්‍රයෙහි කරුණු දැක්වෙන්නේ ඔය විදිහට යි.”
“පින්වත් මාගන්දිය, කය තිබෙන්නේ පහස නවාතැන්පොළ කොට ගෙන යි. ….(පෙ)…. පින්වත් මාගන්දිය, මනස තිබෙන්නේ අරමුණු නවාතැන්පොළ කොට ගෙන යි. අරමුණු වලට ඇලිල යි. අරමුණු වලින් සතුටු වෙමිනු යි. තථාගතයන් විසින් ඒ මනස දමනය කළා. දොරටු වැසුවා. රැකගත්තා. සංවර කළා. ඒ මනසේ සංවරය පිණිස ධර්මය ත් දේශනා කරනවා. මාගන්දිය, ‘ශ්‍රමණ ගෞතමයන් දියුණුව වනසන්නෙක්’ ය කියල ඔබ විසින් මෙවැනි ප්‍රකාශයක් කරන ලද්දේ ඔය කාරණය සලකා ගෙන ද?” “භවත් ගෞතමයෙනි, මා විසින් ඔය කාරණය සලකා ගෙන ම යි ‘ශ්‍රමණ ගෞතමයන් දියුණුව වනසන්නෙක්’ ය කියල එවැනි ප්‍රකාශයක් කළේ. මක් නිසාද යත්; අප ගේ සූත්‍රයෙහි කරුණු දැක්වෙන්නේ ඔය විදිහට යි.
පින්වත් මාගන්දිය, මේ ගැන කුමක් ද සිතන්නේ? මෙහි කවුරු හෝ කෙනෙක් ඇසෙන් දක්නා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන රූපයන් ගැන කලින් සිත් අලවා එයින් සතුටු වෙවී හිටියා. නමුත් ඔහු පස්සෙ කාලෙක ඒ රූපයන් ගේ ම හට ගැනීම ත්, නැති වී යාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් යථාර්ථ වශයෙන් අවබෝධ කොට රූප කෙරෙහි සිත ඇදී යන ගතිය නැති කරලා, රූප දකින්නට ඇති දාහය දුරු කරලා, කාම පිපාසය නැතිකරලා, තමා තුළ ම සංසිඳුනු සිතින් වාසය කරනවා නම්, පින්වත් මාගන්දිය මේ තැනැත්තා ගැන කුමක් ද කියන්නට තිබෙන්නේ? භවත් ගෞතමයනි, කිසිවක් නැහැ.
පින්වත් මාගන්දිය, මේ ගැන කුමක් ද සිතන්නේ? මෙහි කවුරු හෝ කෙනෙක් කනෙන් අසනා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන ශබ්දයන් ගැන ….(පෙ)…. පින්වත් මාගන්දිය, මේ ගැන කුමක් ද සිතන්නේ? මෙහි කවුරු හෝ කෙනෙක් නාසයෙන් විඳිනා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන ගඳ සුවඳ ගැන ….(පෙ)…. පින්වත් මාගන්දිය, මේ ගැන කුමක් ද සිතන්නේ? මෙහි කවුරු හෝ කෙනෙක් දිවෙන් විඳිනා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන රස ගැන ….(පෙ)…. පින්වත් මාගන්දිය, මේ ගැන කුමක් ද සිතන්නේ? මෙහි කවුරු හෝ කෙනෙක් කයින් විඳිනා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන පහස ගැන කලින් සිත් අලවා එයින් සතුටු වෙවී හිටියා. නමුත් ඔහු පස්සෙ කාලෙක ඒ පහසේ ම හට ගැනීම ත්, නැති වී යාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් යථාර්ථ වශයෙන් අවබෝධ කොට පහස කෙරෙහි සිත ඇදී යන ගතිය නැති කරලා, පහස ලබන්නට ඇති දාහය දුරු කරලා, කාම පිපාසය නැතිකරලා, තමා තුළ ම සංසිඳුනු සිතින් වාසය කරනවා නම්, පින්වත් මාගන්දිය මේ තැනැත්තා ගැන කුමක් ද කියන්නට තිබෙන්නේ? භවත් ගෞතමයනි, කිසිවක් නැහැ.
පින්වත් මාගන්දිය, මං ඉස්සර ගිහි ජීවිතය ගෙවද්දී පංචකාම ගුණයන් ගෙන් පිනවමින් සතුටු වෙමින් එහි සිත් අලවා ජීවත් වුනේ. ඇසෙන් දක්නා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන රූපයන් ගැන කලින් සිත් අලවා එයින් සතුටු වෙවී හිටියේ. කනෙන් අසනා ශබ්ද ….(පෙ)…. නාසයෙන් විඳිනා ගඳ සුවඳ ….(පෙ)…. දිවෙන් විඳිනා රස ….(පෙ)…. කයින් ලබනා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන පහස ගැන කලින් සිත් අලවා එයින් සතුටු වෙවී හිටියේ.
පින්වත් මාගන්දිය, ඒ මට මාළිගා තුනක් තිබුනා. එකක් වස්සාන ඍතුවට යි. අනික සීත ඍතුවට යි. අනිත් එක ගිම්හාන ඍතුවට යි. ඉතින් පින්වත් මාගන්දිය, ඒ මං වස්සාන ඍතුවට තනවා තිබුන මාළිගාවෙහි වස්සාන ඍතුවේ සාර මාසය පුරාවට පුරුෂයන් රහිත වූ පංච තූර්ය වාදනයන් පිරිවරා ගෙන එයින් සතුටු වෙවී සිටියේ. මාළිගාවෙහි යට මහලටවත් මං බැස්සෙ නැහැ. නමුත් ඒ මං එයින් මෑත කාලයේ කාමයන් ගේ ම හට ගැනීමත්, නැති වී යාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් යථාර්ථ වශයෙන් අවබෝධ කොට පහස කෙරෙහි සිත ඇදී යන ගතිය නැති කරලා, පහස ලබන්නට ඇති දාහය දුරු කරලා, කාම පිපාසය නැතිකරලා, තමා තුළ ම සංසිඳුනු සිතින් වාසය කරනවා.
ඉතින් කාමයන් කෙරෙහි රාගය දුරු නො කළ, කාම තණ්හාව විසින් කා දමන, කාම දාහය විසින් දවාලන ඒ කාමයන් සේවනය කරමින් සිටින සත්වයන් ඒ මං දකින ඔවුන් ගේ ඒ ස්වභාවය ගැන මට රුචියක් නැහැ. එහි මගේ සිත ඇලෙන්නෙ නැහැ. මක් නිසාද යත්; පින්වත් මාගන්දිය, කාමයන් ගෙන් තොරව අකුසල ධර්මයන් ගෙන් තොරව යම් සමවත් සුවයට ඇති ඇල්මක් ඇද්ද, එය දිව්‍ය සැපය පවා යටපත් කරගෙන සිටිනවා. ඉතින් එබඳු සමාපත්ති සැපයකට ඇලුම්කරද්දී හීන වූ කාම සැපයට රුචි වෙන්නෙ නැහැ. එහි සිත් අලවන්නෙ නැහැ.
පින්වත් මාගන්දිය, මහත් ධනය ඇති, මහත් භෝග ඇති ආඪ්‍ය වූ පංච කාම ගුණයන් පිරිවරා එහි ඇලී සතුටු වෙන ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඉන්නවා. ඔහු ඇසින් දකින ඉෂ්ඨ, කාන්ත, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කාමාශාව ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන රූපයන් ගෙන් සතුටු වෙමින් ඉන්නවා. ඒ වගේ ම කනෙන් අසන ශබ්ද ….(පෙ)…. නාසයට දැනෙන ගඳ සුවඳ ….(පෙ)…. දිවට දැනෙන රස ….(පෙ)…. කයෙන් ලබන ඉෂ්ඨ, කාන්ත, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කාමාශාව ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන පහසින් සතුටු වෙමින් ඉන්නවා.
ඉතින් ඔහු කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, මනසින් සුචරිතයෙහි හැසිර කය බිඳී මරණින් මතු තව්තිසා දෙවියන් ගේ සහවාසයට පැමිණ සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදිනවා. ඔහු එහිදී නන්දන වනෝද්‍යානයෙහි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන, දිව්‍ය වූ පංචකාම ගුණයන් ගෙන් සතුටු වෙවී සිත් අලවා වාසය කරනවා. එතකොට ඔහුට පංචකාම ගුණයන් ගෙන් සතුටු වෙවී සිටින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දකින්නට ලැබෙනවා.
පින්වත් මාගන්දිය, ඔබ කුමක් ද ඒ ගැන සිතන්නේ? එතකොට නන්දන වනෝද්‍යානයෙහි දිව්‍ය අප්සරාවන් පිරවරාගෙන, දිව්‍ය වූ පංචකාම ගුණයන් ගෙන් සතුටු වෙවී සිටින අර දිව්‍ය පුත්‍රයා ඒ ගෘහපතියා ගේ ගෘහපති පුත්‍රයා ගේ හෝ මිනිස් පංචකාම ගුණයට රුචි කරයි ද? ඔහු මිනිස් පංචකාමයන් සොයා ගෙන ආපසු ඒවි ද?” “භවත් ගෞතමයනි, එය නොවේ ම යි.” “එයට හේතුව කුමක් ද?” “භවත් ගෞතමයනි, මිනිස් කාමයන්ට වඩා දිව්‍ය කාමයන් ඉතාමත් සුන්දරයි නෙව. ඉතාමත් ප්‍රණීතයි නෙව.”
“පින්වත් මාගන්දිය ඒ වගේ ම තමයි, පින්වත් මාගන්දිය, මං ඉස්සර ගිහි ජීවිතය ගෙවද්දී පංචකාම ගුණයන් ගෙන් පිනවමින් සතුටු වෙමින් එහි සිත් අලවා ජීවත් වුනේ. ඇසෙන් දක්නා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන රූපයන් ගැන කලින් සිත් අලවා එයින් සතුටු වෙවී හිටියේ. කනෙන් අසනා ශබ්ද ….(පෙ)…. නාසයෙන් විඳිනා ගඳ සුවඳ ….(පෙ)…. දිවෙන් විඳිනා රස ….(පෙ)…. කයින් ලබනා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන පහස ගැන කලින් සිත් අලවා එයින් සතුටු වෙවී හිටියේ. නමුත් ඒ මං එයින් මෑත කාලයේ කාමයන් ගේ ම හට ගැනීමත්, නැති වී යාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් යථාර්ථ වශයෙන් අවබෝධ කොට පහස කෙරෙහි සිත ඇදී යන ගතිය නැති කරලා, පහස ලබන්නට ඇති දාහය දුරු කරලා, කාම පිපාසය නැතිකරලා, තමා තුළ ම සංසිඳුනු සිතින් වාසය කරනවා.
ඉතින් කාමයන් කෙරෙහි රාගය දුරු නො කළ, කාම තණ්හාව විසින් කා දමන, කාම දාහය විසින් දවාලන ඒ කාමයන් සේවනය කරමින් සිටින සත්වයන් ඒ මං දකින ඔවුන් ගේ ඒ ස්වභාවය ගැන මට රුචියක් නැහැ. එහි මගේ සිත ඇලෙන්නෙ නැහැ. මක් නිසාද යත්; පින්වත් මාගන්දිය, කාමයන් ගෙන් තොරව අකුසල ධර්මයන් ගෙන් තොරව යම් සමවත් සුවයට ඇති ඇල්මක් ඇද්ද, එය දිව්‍ය සැපය පවා යටපත් කරගෙන සිටිනවා. ඉතින් එබඳු සමාපත්ති සැපයකට ඇලුම්කරද්දී හීන වූ කාම සැපයට රුචි වෙන්නෙ නැහැ. එහි සිත් අලවන්නෙ නැහැ.
පින්වත් මාගන්දිය, කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. හොඳට ම වැඩි වෙලා. පැසවලා. පණුවන් විසින් ඔහු ගේ තුවාළ කකා ඉන්නවා. එතකොට ඔහු ඒ තුවාළ නියපොතු වලින් කසනවා. ගිනි අඟුරු කබලකින් කය තවනවා. ඉතින් ඔහු ගේ යාළු මිත්‍රයන්, ලේ ඤාතීන් ඔහුව ශල්‍ය වෛද්‍යවරයෙකු ළඟට ගෙනියනවා. ඒ ශල්‍ය වෛද්‍යවරයා ඔහුට බෙහෙත් කරනවා. ඔහු ඒ බෙහෙත් ලබාගෙන කුෂ්ඨ රෝගයෙන් මිදෙනවා. නීරෝග වෙනවා. සුවපත් වෙනවා. සිතු මනාපයේ තමන්ට කැමති පරිදි යන්නට පුළුවන් වෙනවා. එතකොට ඔහුට කුෂ්ඨ රෝගයෙකුව දකින්නට ලැබෙනවා. ඔහු ගේ කුෂ්ඨයත් හොඳට ම වැඩිවෙලා. පැසවලා. පණුවෝ ගහල තියෙන්නෙ. ඔහු ඒ තුවාළ නියපොතු වලින් කසනවා. ගිණි අඟුරු කබලකින් කය තවනවා.
පින්වත් මාගන්දිය, ඒ ගැන කුමක්ද සිතන්නේ? එතකොට ඒ පුරුෂයා අර කුෂ්ඨ රෝගියාට කැමති වේවි ද? ආයෙමත් අඟුරු කබල හෝ බෙහෙත් හෝ අරගන්නට කැමති වේවි ද?” “භවත් ගෞතමයනි, එය නො වේ ම යි. මක් නිසාද යත්; භවත් ගෞතමයනි, බෙහෙතකින් කළ යුතු දෙයක් තිබෙන්නේ රෝගයක් ඇති විට යි. නමුත් රෝගය නැති කල්හි බෙහෙතකින් කළ යුතු දෙයකුත් නැහැ.”
“පින්වත් මාගන්දිය, අන්න ඒ වගේ තමයි, පින්වත් මාගන්දිය, මං ඉස්සර ගිහි ජීවිතය ගෙවද්දී පංචකාම ගුණයන් ගෙන් පිනවමින් සතුටු වෙමින් එහි සිත් අලවා ජීවත් වුනේ. ඇසෙන් දක්නා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන රූපයන් ගැන කලින් සිත් අලවා එයින් සතුටු වෙවී හිටියේ. කනෙන් අසනා ශබ්ද ….(පෙ)…. නාසයෙන් විඳිනා ගඳ සුවඳ ….(පෙ)…. දිවෙන් විඳිනා රස ….(පෙ)…. කයින් ලබනා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන කෙලෙස් ඇතිවෙන පහස ගැන කලින් සිත් අලවා එයින් සතුටු වෙවී හිටියේ. නමුත් ඒ මං එයින් මෑත කාලයේ කාමයන් ගේ ම හට ගැනීමත්, නැති වී යාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් යථාර්ථ වශයෙන් අවබෝධ කොට පහස කෙරෙහි සිත ඇදී යන ගතිය නැති කරලා, පහස ලබන්නට ඇති දාහය දුරු කරලා, කාම පිපාසය නැතිකරලා, තමා තුළ ම සංසිඳුනු සිතින් වාසය කරනවා.
ඉතින් කාමයන් කෙරෙහි රාගය දුරු නො කළ, කාම තණ්හාව විසින් කා දමන, කාම දාහය විසින් දවාලන ඒ කාමයන් සේවනය කරමින් සිටින සත්වයන් ඒ මං දකින ඔවුන් ගේ ඒ ස්වභාවය ගැන මට රුචියක් නැහැ. එහි මගේ සිත ඇලෙන්නෙ නැහැ. මක් නිසාද යත්; පින්වත් මාගන්දිය, කාමයන් ගෙන් තොරව අකුසල ධර්මයන් ගෙන් තොරව යම් සමවත් සුවයට ඇති ඇල්මක් ඇද්ද, එය දිව්‍ය සැපය පවා යටපත් කරගෙන සිටිනවා. ඉතින් එබඳු සමාපත්ති සැපයකට ඇලුම්කරද්දී හීන වූ කාම සැපයට රුචි වෙන්නෙ නැහැ. එහි සිත් අලවන්නෙ නැහැ.
පින්වත් මාගන්දිය, කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. හොඳට ම වැඩි වෙලා. පැසවලා. පණුවන් විසින් ඔහු ගේ තුවාල කකා ඉන්නවා. එතකොට ඔහු ඒ තුවාල නියපොතු වලින් කසනවා. ගිනි අඟුරු කබලකින් කය තවනවා. ඉතින් ඔහු ගේ යාළු මිත්‍රයන්, ලේ ඤාතීන් ඔහුව ශල්‍ය වෛද්‍යවරයෙකු ළඟට ගෙනියනවා. ඒ ශල්‍ය වෛද්‍යවරයා ඔහුට බෙහෙත් කරනවා. ඔහු ඒ බෙහෙත් ලබාගෙන කුෂ්ඨ රෝගයෙන් මිදෙනවා. නීරෝග වෙනවා. සුවපත් වෙනවා. සිතු මනාපයේ තමන්ට කැමති පරිදි යන්නට පුළුවන් වෙනවා. එතකොට බලවත් පුරුෂයන් දෙදෙනෙක් ඔහුව අත් පා ආදියෙන් ගෙන ගිනි අඟුරු කබලකට ඇදගෙන යනවා නම්, පින්වත් මාගන්දිය, ඒ ගැන කුමක්ද සිතන්නේ? එතකොට ඒ පුරුෂයා එයින් බේරෙන්නට කය එහාට මෙහාට නවමින් දඟලන්නේ නැද්ද?” “භවත් ගෞතමයනි, එසේය. මක් නිසාද යත්; භවත් ගෞතමයනි, ඒ ගින්නෙන් ලැබෙන පහස දුක් සහිත යි. මහා රස්නයකින් යුක්තයි. මහා දාහයකින් යුක්තයි.”
“පින්වත් මාගන්දිය, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඒ ගින්න දුක් පහසින් යුතු වුනේ මහා රස්නයකින් යුතු වුනේ මහා දාහයකින් යුතු වුනේ දැන් විතරක් ද? ඉස්සර ඔහු අසනීපව කය තවද්දී ඒ ගින්න දුක් පහසින් යුතු වුනා නේද? මහා රස්නයකින් යුතු වුනා නේ ද? මහා දාහයකින් යුතු වුනා නේ ද?” “භවත් ගෞතමයනි, ඒ ගින්න දුක් පහසින් යුතු ම යි. මහා රස්නයකින් යුතු ම යි. මහා දාහයකින් යුතු ම යි. ඉස්සරත් ඒ ගින්න දුක් පහසින් යුතු ම යි. මහා රස්නයකින් යුතු ම යි. මහා දාහයකින් යුතු ම යි. නමුත් භවත් ගෞතමයනි, අර කුෂ්ඨ රෝගියා තුවාල වැඩිවෙලා, පැසවලා, පණුවො ගහලා, නියපොතු වලින් තුවාල කසද්දී ඔහු ගේ කාය ඉන්ද්‍රිය බිඳිල තිබුනේ. ඒ නිසා ගින්නෙහි ඇති දුක් පහස ම ඔහු ලැබුවේ ‘සැපයි’ කියන විපරීත සඤ්ඤාවෙනුයි.”
“පින්වත් මාගන්දිය, ඔය විදිහම යි, අතීතයෙහි වුනත් කාමයන් දුක් පහසින් යුක්ත ම යි. මහ රස්නයකින් යුක්ත ම යි. මහා දාහයකින් යුක්ත ම යි. අනාගතයෙහි වුනත් කාමයන් දුක් පහසින් යුක්ත ම යි. මහ රස්නයකින් යුක්ත ම යි. මහා දාහයකින් යුක්ත ම යි. වර්තමානයෙහි පවා කාමයන් දුක් පහසින් යුක්ත ම යි. මහ රස්නයකින් යුක්ත ම යි. මහා දාහයකින් යුක්ත ම යි. ඉතින් මාගන්දිය, මේ ලෝක සත්වයා කාමයන් කෙරෙහි රාගය දුරු නො කිරීම නිසා කාම තෘෂ්ණාව විසින් කා දමමින්, කාම දාහයෙන් දැවි දැවී, බිඳුණු ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව දුක් පහස ම විඳිමින් කාමයන් කෙරෙහි ‘සැපයි’ යන විපරීත සඤ්ඤාවෙන් යුතුව ඉන්නවා.
පින්වත් මාගන්දිය, කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. හොඳට ම වැඩි වෙලා. පැසවලා. පණුවන් විසින් ඔහු ගේ තුවාළ කකා ඉන්නවා. එතකොට ඔහු ඒ තුවාල නියපොතු වලින් කසනවා. ගිනි අඟුරු කබලකින් කය තවනවා. එතකොට පින්වත් මාගන්දිය, ඒ වැඩි වූ කුෂ්ඨය ඇති පැස වූ ගෙඩි ඇති, පණුවන් කන්නා වූ තුවාල ඇති, නිය පොතු වලින් කසන්නා වූ වණ ඇති, ඒ කුෂ්ඨ රෝගියා යම් යම් ආකාරයකින් අඟුරු කබල ගෙන කය තවයි ද, ඒ ඒ විදිහට ඔහු ගේ ඒ තුවාල තව තවත් අපිරිසිදු වෙනවා. තව තවත් ගඳ ගසනවා. තව තවත් කුණු වෙනවා. එතකොට තුවාල කැසීම හේතුවෙන් ඔහුට ඇතිවෙන්නේ කිසියම් මිහිරි මාත්‍රයක් ම යි. ආශ්වාද මාත්‍රයක් ම යි.
පින්වත් මාගන්දිය, ඒ වගේ ම යි මේ ලෝක සත්වයා කාමයන් කෙරෙහි රාගය දුරු නො කිරීම නිසා කාම තෘෂ්ණාව විසින් කා දමමින්, කාම දාහයෙන් දැවි දැවී සිටිමින්, කාමයන් ම යි සේවනය කරන්නේ. ඉතින් ඒ සත්වයන් ගේ ඒ ඒ පරිද්දෙන් කාම ආශාව වැඩෙනවා නම්, ඒ කාම දාහයෙන් ද දැවි දැවී යනවා. නමුත් ඒ පංචකාම ගුණ හේතුවෙන් ඔහුට කිසියම් මිහිරි මාත්‍රයකුත්, ආශ්වාද මාත්‍රයකුත් ඇතිවෙනවා.
පින්වත් මාගන්දිය, මේ ගැන කුමක් ද සිතන්නේ? පංචකාම ගුණයන් පිරිවරා ගෙන එයින් සතුටු වෙවී ඉන්න රජෙක් හෝ රාජමහා අමාත්‍යයෙක් හෝ ඉන්නවා. ඉතින් ඔහු ඒ කාමය තණ්හාව අත්හැර, ඒ කාම දැවිල්ල දුරු කොට, කාම පිපාස දුරු කොට, තමා තුළ සංසිඳුණු සිතක් ඇතිව, වාසය කළා කියා හෝ වාසය කරයි කියා හෝ වාසය කරන්නේ ය කියා හෝ ඔබ දැක තිබෙනවා ද? අසා තිබෙනවා ද?” “භවත් ගෞතමයනි, එය නොවේ ම යි.”
“හොඳයි පින්වත් මාගන්දිය, අපි වුනත්, පංචකාම ගුණයන් පිරිවරා ගෙන එයින් සතුටු වෙවී ඉන්න රජෙක් හෝ රාජමහා අමාත්‍යයෙක් හෝ ඉන්නවා ද ඉතින් ඔහු ඒ කාමය තණ්හාව අත්හැර, ඒ කාම දැවිල්ල දුරු කොට, කාම පිපාස දුරු කොට, තමා තුළ සංසිඳුණු සිතක් ඇතිව, වාසය කළා කියා හෝ වාසය කරයි කියා හෝ වාසය කරන්නේ ය කියා දැකලත් නෑ. අසලත් නෑ.
ඒ වගේ ම පින්වත් මාගන්දිය යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා කාම පිපාසය පහ කොට තමා තුළ සංසිඳවා ගත් සිතින් යුතුව වාසය කළා නම්, වාසය කරත් නම්, වාසය කරන්නාහු නම්, ඒ සියළු දෙනා ම කාමයන් ගේ හට ගැනීම ත්, නැතිවීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් යථාර්ථ වශයෙන් ම අවබෝධ කොට ගෙන යි, කාම තෘෂ්ණාව ප්‍රහාණය කරල යි, කාම දැවිල්ල නැති කරල යි, කාම පිපාසය දුරු කරල යි, තමා තුළ සංසිඳුණු සිතක් ඇතිව වාසය කළේ. ඒ වගේ ම දැන් වාසය කරන්නෙත්. ඒ වගේ ම අනාගතයෙහි වාසය කරන්නෙ ත්.”
එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ මේ උදානය වදාළා:
නීරෝග බව උතුම් කොට යි ලාභ තිබෙන්නේ. නිවන ම උතුම් කොට යි සැපය තිබෙන්නේ. මාර්ගයන් අතර බිය රහිත වූ අමෘතගාමිනී මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි.”
මෙසේ වදාළ විට මාගන්දිය පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයෙනි, ආශ්චර්ය යි! භවත් ගෞතමයෙනි, අද්භූත යි! භවත් ගෞතමයන් විසින් පවසන ලද්දේ සුභාෂිතයක් ම යි.
නීරෝග බව උතුම් කොට තමයි ලාභයන් තියෙන්නේ. නිවන උතුම් කොට තමයි සැපය තියෙන්නේ.
භවත් ගෞතමයෙනි, අප ත් පෙර විසූ ආචාර්ය ප්‍රාචාර්ය වූ පිරිවැජියන් ගේ ප්‍රකාශයක් වශයෙන් ඔය කරුණ ම අසා තිබෙනවා.
ඒ කියන්නේ ‘නීරෝග බව උතුම් කොට තමයි ලාභයන් තියෙන්නේ. නිවන උතුම් කොට තමයි සැපය තියෙන්නේ’ කියල.
භවත් ගෞතමයනි, මේ වචනය ඒ කීමත් සමඟ සම වෙනව නෙව.
“පින්වත් මාගන්දිය, ඔබ ගේ ආචාර්ය, ප්‍රාචාර්ය වූ පැරණි පිරිවැජියන් ද ‘නීරෝග බව උතුම් කොට තමයි ලාභයන් තියෙන්නේ. නිවන උතුම් කොට තමයි සැපය තියෙන්නේ’ කියල යම් වචනයක් පැවසූ බව ඔබ අසා තිබෙනවා නෙව. ඒ නීරෝග බව යනු කුමක් ද? ඒ නිවන යනු කුමක් ද?”
මෙසේ වදාළ විට මාගන්දිය පිරිවැජියා තමන් ගේ ම ඇඟපත අතින් පිරිමදින්නට පටන් ගත්තා. “භවත් ගෞතමයනි, නීරෝග බව මෙය නෙව. භවත් ගෞතමයනි, නිවන මෙය නෙව කියල. භවත් ගෞතමයනි, දැන් මම නීරෝගව සුවපත් ව ඉන්න කෙනෙක්. මට කිසි ආබාධයක් නෑ.”
“පින්වත් මාගන්දිය, උපතින් ම අන්ධ වූ පුරුෂයෙක් ඉන්නවා. ඔහු කළු සුදු රූප දකින්නෙත් නෑ. නීල වර්ණ රූප දකින්නෙත් නෑ. කහ පැහැයෙන් යුතු රූප දකින්නෙත් නෑ. රක්ත වර්ණ රූප දකින්නෙත් නෑ. මදටිය පැහැයෙන් යුතු රූප දකින්නෙත් නෑ. වළ ගොඩැලි දකින්නෙත් නෑ. තරු දකින්නෙත් නෑ. හිරු සඳු දකින්නෙත් නෑ. නමුත් ඇස් ඇති පුද්ගලයෙකු විසින් කියන දෙයක් ඔහුට අසන්නට ලැබෙනවා. ‘භවත්නි, සුදු වස්ත්‍රය නම් කදිම යි. ඉතා පැහැපත්. නිර්මල යි. පිරිසිදු යි’ කියා. ඉතින් අර අන්ධ පුද්ගලයා සුදු වස්ත්‍රයක් සොයමින් ඇවිදිනවා. එතකොට එක්තරා පුද්ගලයෙක් තෙල් දැලි තැවරුණ කළු පැහැයෙන් යුතු වස්ත්‍රයකින් ඔහුව වංචා කරනවා. ‘භවත් පුරුෂය, මෙන්න ඔබ ගේ ඒ අභිරූපවත්, නිර්මල වූ, පිරිසිදු, සොඳුරු සුදු වස්ත්‍රය’ කියල. එතකොට ඔහු එය පිළිගන්නවා. එය පිළිගෙන පොරවා ගන්නවා. පොරවා ගෙන එයින් සතුටු වෙනවා. සතුටු වචන පවසනවා. ‘භවත්නි, සුදු වස්ත්‍රය නම් කදිම යි. ඉතා පැහැපත්. නිර්මල යි. පිරිසිදු යි’ කියල.
පින්වත් මාගන්දිය, ඒ ගැන කුමක් ද සිතන්නේ? එතකොට අර තෙල් දැලි තැවැරුණ, කළු පැහැ ඇති වස්ත්‍රය පිළිගන්නවා නම්, පොරවනවා නම්, පොරවා ගෙන සතුටු වෙනවා නම්, සතුටු වෙවී ‘භවත්නි, සුදු වස්ත්‍රය නම් කදිම යි. ඉතා පැහැපත්. නිර්මල යි. පිරිසිදු යි’ කියල කියවනවා නම් ඔහු එය කරන්නේ එය දැනගෙන ද? දැකගෙන ද? එහෙම නැත්නම් ඇස් ඇති කෙනෙක් කියපු දෙයක් අදහාගෙන ද?” “භවත් ගෞතමයෙනි, ඒ උපතින් අන්ධ පුද්ගලයා නො දැන ම යි, නො දැක ම යි, අර තෙල් දැලි තැවරුණ කළු පැහැති වස්ත්‍රය පිළිගත්තේ, පොරව ගත්තේ, පොරවා ගෙන සතුටු වුනේ. සතුටු වෙවී ‘භවත්නි, සුදු වස්ත්‍රය නම් කදිම යි. ඉතා පැහැපත්. නිර්මල යි. පිරිසිදු යි’ කියල කිව්වෙ. ඇස් ඇති කෙනෙකු ගේ කීම අදහා ගෙන යි කිව්වෙ.”
“පින්වත් මාගන්දිය, අන්න ඒ වගේ ම තමයි, ඔය අන්‍යාගමික තවුසන් අන්ධ යි. ඔවුන්ට ඇස් නැහැ. නීරෝග බව කුමක් ද කියා දන්නෙ නෑ. නිර්වාණය කුමක් ද කියා දකින්නෙත් නෑ. නමුත් මේ ගාථාව කියනවා. “ආරෝග්‍යපරමා ලාභා – නිබ්බාණං පරමං සුඛං” කියල.
පින්වත් මාගන්දිය, ඔය ගාථාව පෙර වැඩ විසූ අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විසින් වදාරණ ලද ගාථාවක්. ඒ තමයි
නීරෝග බව උතුම් කොට යි ලාභ තිබෙන්නේ. නිවන ම උතුම් කොට යි සැපය තිබෙන්නේ. මාර්ගයන් අතර බිය රහිත වූ අමෘතගාමිනී මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි” කියල.
ඉතින් ඒ ගාථාව දැන් ක්‍රමක්‍රමයෙන් පෘථග්ජනයන් ගේ දෙයක් බවට පත්වෙලා. පින්වත් මාගන්දිය, මේ කය රෝග පිණිස හටගත් දෙයක්. ගඬු පිණිස හටගත් දෙයක්. හුල් පිණිස හටගත් දෙයක්. දුක් පිණිස හටගත් දෙයක්. ආබාධ පිණිස හටගත් දෙයක්. එහෙත් ඔබ රෝග පිණිස, ගඬු පිණිස, උල් පිණිස, දුක් පිණිස, ආබාධ පිණිස හටගත් මේ කය උදෙසා ‘භවත් ගෞතමයනි, මෙය යි ඒ නීරෝග බව, මෙය යි ඒ නිර්වාණය’ කියල කියනවා. පින්වත් මාගන්දිය, යම් ආර්ය වූ ඇසකින් නීරෝග බව දැන ගත යුතු ද, ඒ නිර්වාණය දැක ගත යුතු ද, ඒ ආර්ය වූ ඇස ඔබට නැහැ.”
“පින්වත් මාගන්දිය, අන්න ඒ වගේ තමයි, මම ත් ඔබට ‘මෙය යි ඒ ආරෝග්‍යය, මෙය යි ඒ අමා නිවන’ කියල ධර්ම දේශනා කළොත් ඔබ ඒ ආරෝග්‍යය නො දැන ගන්නවා නම්, ඒ අමා නිවන නො දකිනවා නම් එතකොට එය මට වෙහෙසක් ම යි. එය පීඩාවක් ම යි.”
“පින්වත් මාගන්දිය, උපතින් ම අන්ධ වූ පුරුෂයෙක් ඉන්නවා. ඔහු කළු සුදු රූප දකින්නෙත් නෑ. නීල වර්ණ රූප දකින්නෙත් නෑ. කහ පැහැයෙන් යුතු රූප දකින්නෙත් නෑ. රක්ත වර්ණ රූප දකින්නෙත් නෑ. මදටිය පැහැයෙන් යුතු රූප දකින්නෙත් නෑ. වළ ගොඩැලි දකින්නෙත් නෑ. තරු දකින්නෙත් නෑ. හිරු සඳු දකින්නෙත් නෑ. ඉතින් ඔහු ගේ යහළු මිත්‍රයන්, ලේ ඤාතීන් ඔහුව ශල්‍ය වෛද්‍යවරයෙකු ළඟට ගෙනියනවා. ඒ ශල්‍ය වෛද්‍යවරයා ඔහුට බෙහෙත් කරනවා. ඔහු ඒ බෙහෙත් ලබාගෙන ඇස උපදවා නො ගනී නම්, ඇස පිරිසිදු නො කරයි නම්, පින්වත් මාගන්දිය, ඒ ගැන කුමක් ද සිතන්නේ? එතකොට අර වෛද්‍යවරයා යම්තාක් ක්ලාන්තයට, පීඩාවට පත්වෙනවා නේද?” “එසේය භවත් ගෞතමයෙනි”
“භවත් ගෞතමයන් වහන්සේට මම මෙසේ පැහැදිලා ඉන්නෙ. මං ආරෝග්‍ය බව දැනගන්නේ යම් අයුරකින් නම්, ඒ අමා නිවන දැකගන්නේ යම් අයුරිකින් නම්, ඒ අයුරින් දහම් දෙසන්නට භවත් ගෞතමයන් වහන්සේට පුළුවන් සේක් ම යි.”
“පින්වත් මාගන්දිය, උපතින් ම අන්ධ වූ පුරුෂයෙක් ඉන්නවා. ඔහු කළු සුදු රූප දකින්නෙත් නෑ. නීල වර්ණ රූප දකින්නෙත් නෑ. කහ පැහැයෙන් යුතු රූප දකින්නෙත් නෑ. රක්ත වර්ණ රූප දකින්නෙත් නෑ. මදටිය පැහැයෙන් යුතු රූප දකින්නෙත් නෑ. වළ ගොඩැලි දකින්නෙත් නෑ. තරු දකින්නෙත් නෑ. හිරු සඳු දකින්නෙත් නෑ. නමුත් ඇස් ඇති පුද්ගලයෙකු විසින් කියන දෙයක් ඔහුට අසන්නට ලැබෙනවා. ‘භවත්නි, සුදු වස්ත්‍රය නම් කදිම යි. ඉතා පැහැපත්. නිර්මල යි. පිරිසිදු යි’ කියා. ඉතින් අර අන්ධ පුද්ගලයා සුදු වස්ත්‍රයක් සොයමින් ඇවිදිනවා. එතකොට එක්තරා පුද්ගලයෙක් තෙල් දැලි තැවරුණ කළු පැහැයෙන් යුතු වස්ත්‍රයකින් ඔහුව වංචා කරනවා. ‘භවත් පුරුෂය, මෙන්න ඔබ ගේ ඒ අභිරූපවත්, නිර්මල වූ, පිරිසිදු, සොඳුරු සුදු වස්ත්‍රය’ කියල. එතකොට ඔහු එය පිළිගන්නවා. එය පිළිගෙන පොරවා ගන්නවා.
එතකොට ඔහු ගේ යහළු මිත්‍රයන්, ලේ ඤාතීන් ඔහුව ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට ගෙනයනවා. ඒ ශල්‍ය වෛද්‍යවරයා ඔහුට බෙහෙත් කරනවා. ළය විරේක කරනවා. බඩ විරේක කරනවා. ඇස් වලට අඳුන් දමනවා. ප්‍රත්‍යයඤ්ජන කරනවා. නස්න කරනවා. ඔහු ඒ බෙහෙත් ප්‍රතිකාර වලින් ඇස් උපදවා ගන්නවා. ඇස් පිරිසිදු කරගන්නවා. එතකොට ඔහු ගේ ඇස් උපදවා ගැනීමත් සමඟ ම අර තෙල් දැලි වැකුණු, කළු වස්ත්‍රය කෙරෙහි යම් ඡන්දරාගයක් තිබුනා ද එය දුරු කරනවා. තමන්ව රැවටූ පුද්ගලයා සතුරෙක් හැටියට සළකනවා. විරුද්ධවාදියෙක් හැටියට සළකනවා. ඒ පුද්ගලයාව තියන්නට වටින්නෙ නැතෙයි කියා සිතනවා. ‘බොහෝ කලක් මුළුල්ලෙහි මේ පුද්ගලයා විසින් භවත් පුරුෂය, මේ තියෙන්නෙ ඉතා කදිම වූ ත්, අභිරූපවත් වූ ත්, නිර්මල වූ ත්, පිරිසිදු වූ ත් සුදු වස්ත්‍රය යි’ කියල තෙල් දැලි වැකුණු කළු වස්ත්‍රයෙන් මාව රැවැට්ටුවා නෙව. වංචා කළා නෙව. මුළා කළා නෙව.
අන්න ඒ වගේ පින්වත් මාගන්දිය, මං ඔබට ධර්මය දේශනා කළොත් ‘මෙය යි ඒ ආරෝග්‍ය ය, මෙය යි ඒ අමා නිවන’ කියල. එතකොට ඔබ ත් එය ආරෝග්‍ය බව දැනගන්නවා නම්, ඒ අමා නිවන දැකගන්නවා නම්, ඔබට ඇස පහළ වීමත් සමඟ ම පංච උපාදානස්කන්ධයන් කෙරෙහි ඇති යම් ඡන්දරාගයක් ඇද්ද එය ප්‍රහීණ වෙලා යාවි. එතකොට ඔබට සිතේවි ‘භවත්නි, ඒකාන්තයෙන් ම දිගු කලක් මුළුල්ලෙහි මේ සිත විසින් මාව රවට්ටා තිබෙනවා නෙව. වංචා කරලා තිබෙනවා නෙව. පොළඹවා තිබෙනවා නෙව කියල. මං අහුවුනොත් අහුවෙන්නේ රූපයකට ම යි. අහුවුනොත් අහුවෙන්නේ විඳීමකට ම යි. අහුවුනොත් අහුවෙන්නේ සඤ්ඤාවකට ම යි. අහුවුනොත් අහුවෙන්නේ සංස්කාරයන්ට ම යි. අහුවුනොත් අහුවෙන්නේ විඤ්ඤාණයකට ම යි. ඒ මට එසේ ග්‍රහණය වීම නිසා භවය හටගන්නවා. භවය සකස් වීම නිසා උපදිනවා. ඉපදීම නිසා ජරා, මරණ, සෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ආදිය හටගන්නවා. ඔය අයුරෙනුයි මේ මුළු මහත් දුක්ඛස්කන්ධය ම හටගන්නේ.’
“භවත් ගෞතමයන් වහන්සේට මම මෙසේ පැහැදිලා ඉන්නෙ. මං යම් අයුරකින් මෙහි වාඩි වී සිටින ආසනයේ දී ම අන්ධ නො වී නැගිටින්නේ නම් ඒ අයුරන් දහම් දෙසන්නට භවත් ගෞතමයන් වහන්සේට පුළුවන් සේක් ම යි.”
“එසේ වී නම්, පින්වත් මාගන්දිය, ඔබ සත්පුරුෂයන් ඇසුරු කරන්න. පින්වත් මාගන්දිය, යම් කලෙක ඔබ සත්පුරුෂයන් ඇසුරු කරනවා නම්, එතකොට මාගන්දිය, ඔබට ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙනවා. යම් කලෙක මාගන්දිය, ඔබ ශ්‍රී සද්ධර්මය අසනවා නම්, එතකොට මාගන්දිය, ඔබ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පැමිණෙනවා. යම් කලෙක මාගන්දිය, ඔබ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පැමිණෙනවා නම්, එතකොට ඔබ තමා තුළින් ම දැන ගන්නවා, තමා තුළින් ම දැකගන්නවා ‘මේවා රෝග, ගඬු, හුල්’ කියල. ඉතින් මේ ධර්මාවබෝධය තුළ රෝග වූ, ගඬු වූ, හුල් වූ යමක් ඇද්ද, එය ඉතිරි නැතිව නිරුද්ධ වෙලා යනවා. ඒ මට උපාදාන නිරුද්ධ වීමෙන්, භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ආදිය නිරුද්ධ වෙනවා. මේ අයුරින් මේ මුළු මහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වෙනවා.”
මෙසේ වදාළ විට මාගන්දිය පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙ යි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වවූවා වගෙ යි. ඔන්න ඔය විදියට යි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මාත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි මා පැවිදි බව ත්, උපසම්පදාව ත් ලබන්නේ නම් කොයි තරම් දෙයක් ද!”
“පින්වත් මාගන්දිය, යම් කෙනෙක් කලින් වෙන ආගමක ඉඳලා, මේ බුදු සසුනෙහි පැවිදි බව කැමති වෙනවා නම්, උපසම්පදාව කැමති වෙනවා නම්, ඒ තැනැත්තා සාර මාසයක් පිරිවෙස් වසන්නට ඕන. ඒ සිව් මස ඇවෑමෙන් ඔහු ගැන සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා පැවිදි කරාවි. භික්ෂු භාවය පිණිස උපසම්පදා කරාවි. ඒ වගේ ම මෙහි ලා මා විසින් පුද්ගලයන් සතු විවිධ ස්වභාවය ද දැනගෙනයි ඉන්නෙ.”
“ඉදින් ස්වාමීනී, කලින් අන්‍යාගමිකව සිටි කෙනෙක් මේ බුදු සසුනෙහි පැවිදි බව කැමතිව, උපසම්පදාව කැමතිව සාර මාසයක් පිරිවෙස් වසනවා නම්, ඒ සාර මාසය ඇවෑමෙන් ඔහු ගැන සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා ඔහුව පැවිදි කරනවා නම් භික්ෂු භාවය පිණිස උපසම්පදා කරනවා නම්, මම සතර අවුරුද්දක පරිවාස කාලයක් වුනත් ගෙවන්නට කැමතියි. ඒ සතර අවුරුද්ද ඇවෑවෙන් සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා මාව පැවිදි කරන සේක්වා! භික්ෂු භාවය පිණිස උපසම්පදා කරන සේක්වා!”
ඉතින් මාගන්දිය පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි බව ලැබුවා. උපසම්පදාව ලැබුවා. ඊටපසු ආයුෂ්මත් මාගන්දියයන් වහන්සේ තනිව ම හුදෙකලා වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුනා. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ධර්මයෙහි හැසිරෙද්දී, යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ජීවිතය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙද්ද, බඹසර ජීවිතයේ නිමාව වන ඒ උතුම් අරහත්වය මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගත්තා. ඉතින් ආයුෂ්මත් මාගන්දියයන් වහන්සේ ද, රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.
සාදු! සාදු!! සාදු!!!
මාගන්දිය පිරිවැජියාට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M