මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහි ය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, මා විසින් දේශනා කරන ලද පංච ඕරම්භාගීය සංයෝජනයන් ඔබ මතක තියාගෙන ද ඉන්නෙ?”
මෙසේ වදාළ විට, ආයුෂ්මත් මාලුංක්‍යපුත්තයන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පංච ඕරම්භාගීය සංයෝජනයන් මතක තියාගෙන යි ඉන්නෙ.” “මාලුංක්‍යපුත්ත, මා විසින් දේශනා කරන ලද පංච ඕරම්භාගීය සංයෝජනයන් ඔබ මතක තියාගෙන ඉන්නෙ කොයි ආකාරයෙන් ද?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ඕරම්භාගීය සංයෝජනයක් වශයෙන් ‘සක්කායදිට්ඨිය’ වදාළ බව මං මතක තියාගෙන ඉන්නවා. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් ඕරම්භාගීය සංයෝජනයක් වශයෙන් ‘විචිකිච්ඡාව’ වදාළ බව මං මතක තියාගෙන ඉන්නවා. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් ඕරම්භාගීය සංයෝජනයක් වශයෙන් ‘සීලබ්බත පරාමාස’ වදාළ බව මං මතක තියාගෙන ඉන්නවා. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් ඕරම්භාගීය සංයෝජනයක් වශයෙන් ‘කාමච්ඡන්දය’ වදාළ බව මං මතක තියාගෙන ඉන්නවා. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් ඕරම්භාගීය සංයෝජනයක් වශයෙන් ‘ව්‍යාපාදය’ත් වදාළ බව මං මතක තියාගෙන ඉන්නවා. ස්වාමීනී, ඔය ආකාරයටයි මං භග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඕරම්භාගීය සංයෝජනයන් මතක තබාගෙන ඉන්නේ.”
“මාලුංක්‍යපුත්ත, මං ඔය ආකාරයෙන් ඕරම්භාගීය සංයෝජන කාට දේශනා කළා කියල ද මතක තබාගෙන ඉන්නෙ? මාලුංක්‍යපුත්ත, අන්‍යාගමික පිරිවැජියන් ළදරුවන් ගේ උපමාව ගෙන නින්දා අපහාස මුඛයෙන් නින්දා නො කර සිටිත් ද? මාලුංක්‍යපුත්ත, උඩු අතට නිදන ඉතා ලාබාල ළදරුවෙකුට ‘සක්කාය’ කියන හැඟීම වත් නෑ. එහෙම එකේ ඔහුට ‘සක්කාය දිට්ඨිය’ උපදින්නෙ කොහොම ද? ඔහුට සක්කාය දිට්ඨිය පවතින්නෙ ප්‍රකට නො වී අභ්‍යන්තරිකව පවතින දෙයක් (අනුසය) හැටියට යි.
මාලුංක්‍යපුත්ත, උඩු අතට නිදන ඉතා ලාබාල ළදරුවෙකුට ‘ධර්මය’ කියන හැඟීම වත් නෑ. එහෙම එකේ ඔහුට ධර්මය ගැන ‘විචිකිච්ඡාව’ උපදින්නෙ කොහොම ද? ඔහුට විචිකිච්ඡාව පවතින්නෙ ප්‍රකට නො වී අභ්‍යන්තරිකව පවතින දෙයක් (අනුසය) හැටියට යි.
මාලුංක්‍යපුත්ත, උඩු අතට නිදන ඉතා ලාබාල ළදරුවෙකුට ‘සීලය’ කියන හැඟීම වත් නෑ. එහෙම එකේ ඔහුට සීලය ගැන ‘සීලබ්බත පරාමාස’ උපදින්නෙ කොහොම ද? ඔහුට සීලබ්බත පරාමාස පවතින්නෙ ප්‍රකට නො වී අභ්‍යන්තරිකව පවතින දෙයක් (අනුසය) හැටියට යි.
මාලුංක්‍යපුත්ත, උඩු අතට නිදන ඉතා ලාබාල ළදරුවෙකුට ‘කාමය’ කියන හැඟීම වත් නෑ. එහෙම එකේ ඔහුට කාමයන්හි ‘කාමච්ඡන්දය’ උපදින්නෙ කොහොම ද? ඔහුට කාමච්ඡන්දය පවතින්නෙ ප්‍රකට නො වී අභ්‍යන්තරිකව පවතින දෙයක් (අනුසය) හැටියට යි.
මාලුංක්‍යපුත්ත, උඩු අතට නිදන ඉතා ලාබාල ළදරුවෙකුට ‘සත්වයන්’ කියන හැඟීම වත් නෑ. එහෙම එකේ ඔහුට සත්වයන් කෙරෙහි ‘ව්‍යාපාදය’ උපදින්නෙ කොහොම ද? ඔහුට ව්‍යාපාදය පවතින්නෙ ප්‍රකට නො වී අභ්‍යන්තරිකව පවතින දෙයක් (අනුසය) හැටියට යි. මාලුංක්‍යපුත්ත, අන්‍යාගමික පිරිවැජියන් ළදරුවන් ගේ උපමාව ගෙන නින්දා අපහාස මුඛයෙන් නින්දා නො කර සිටිත් ද?”
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්දයන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භාග්‍යවතුන් වහන්ස, එයට කාලය යි. සුගතයන් වහන්ස, එයට කාලය යි. භාග්‍යවතුන් වහන්සේ යම් ඕරම්භාගීය සංයෝජන පස ගැන වදාරණ සේක් ද, එය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා භික්ෂූන් මතක තබා ගන්නවා ම යි.” “එසේ වී නම් ආනන්දයෙනි, හොඳින් සවන් යොමා අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය, ස්වාමීනී” කියා ආයුෂ්මත් ආනන්දයන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
“පින්වත් ආනන්ද, ආර්යයන් ගේ දැක්මක් නැති, ආර්ය ධර්මයට අදක්ෂ, ආර්ය ධර්මයෙහි නො හික්මෙන, සත්පුරුෂයන් ගේ දැක්මක් නැති, සත්පුරුෂ ධර්මයට අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නො හික්මෙන, අශ්‍රැතවත් පෘතග්ජනයා සක්කාය දෘෂ්ඨිය හාත්පස වැළඳගත්, සක්කාය දිට්ඨියට යට වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් සක්කාය දිට්ඨියෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නේ නෑ. එතකොට ඔහු තුළ ඒ සක්කාය දිට්ඨිය දැඩිව පිහිටනවා. බැහැර නොවී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි.
ඒ වගේ ම ඔහු විචිකිච්ඡාව හාත්පස වැළඳගත්, විචිකිච්ඡාවට යට වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් විචිකිච්ඡාවෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නේ නෑ. එතකොට ඔහු තුළ ඒ විචිකිච්ඡාව දැඩිව පිහිටනවා. බැහැර නොවී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි.
ඒ වගේ ම ඔහු සීලබ්බත පරාමාසය හාත්පස වැළඳගත්, සීලබ්බත පරාමාසයට යට වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් සීලබ්බත පරාමාසයෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නේ නෑ. එතකොට ඔහු තුළ ඒ සීලබ්බත පරාමාසය දැඩිව පිහිටනවා. බැහැර නොවී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි.
ඒ වගේ ම ඔහු කාමරාගය හාත්පස වැළඳගත්, කාමරාගයට යට වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් කාමරාගයෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නේ නෑ. එතකොට ඔහු තුළ ඒ කාමරාගය දැඩිව පිහිටනවා. බැහැර නොවී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි.
ඒ වගේ ම ඔහු ව්‍යාපාදය හාත්පස වැළඳගත්, ව්‍යාපාදයට යට වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් ව්‍යාපාදයෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නේ නෑ. එතකොට ඔහු තුළ ඒ ව්‍යාපාදය දැඩිව පිහිටනවා. බැහැර නොවී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි.
නමුත් ආනන්දයෙනි, ආර්යයන් ගේ දැක්මක් තිබෙන, ආර්ය ධර්මයට දක්ෂ, ආර්ය ධර්මයෙහි හික්මෙන, සත්පුරුෂයන් ගේ දැක්මක් තිබෙන, සත්පුරුෂ ධර්මයට දක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි හික්මෙන, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සක්කාය දෘෂ්ඨිය හාත්පස වැළඳගෙන නෑ, සක්කාය දිට්ඨියට යට නො වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් සක්කාය දිට්ඨියෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නවා. එතකොට ඔහු තුළ තිබුන ඒ සක්කාය දිට්ඨිය අනුසය සහිතව ම ප්‍රහීන වෙලා යනවා.
ඒ වගේ ම ඔහු විචිකිච්ඡාව හාත්පස වැළඳගෙන නෑ, විචිකිච්ඡාවට යට නො වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් විචිකිච්ඡාවෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නවා. එතකොට ඔහු තුළ තිබුන ඒ විචිකිච්ඡාව අනුසය සහිතව ම ප්‍රහීන වෙලා යනවා.
ඒ වගේ ම ඔහු සීලබ්බත පරාමාසය හාත්පස වැළඳගෙන නෑ, සීලබ්බත පරාමාසයට යට නො වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් සීලබ්බත පරාමාසයෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නවා. එතකොට ඔහු තුළ තිබුන ඒ සීලබ්බත පරාමාසය අනුසය සහිතව ම ප්‍රහීන වෙලා යනවා.
ඒ වගේ ම ඔහු කාමරාගය හාත්පස වැළඳගෙන නෑ, කාමරාගයට යට නො වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් කාමරාගයෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නවා. එතකොට ඔහු තුළ තිබුන ඒ කාමරාගය අනුසය සහිතව ම ප්‍රහීන වෙලා යනවා.
ඒ වගේ ම ඔහු ව්‍යාපාදය හාත්පස වැළඳගෙන නෑ, ව්‍යාපාදයට යට නො වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් ව්‍යාපාදයෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නවා. එතකොට ඔහු තුළ තිබුන ඒ ව්‍යාපාදය අනුසය සහිතව ම ප්‍රහීන වෙලා යනවා.
පින්වත් ආනන්දය, පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය වීමට යම් මාර්ගයක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, ඒ මාර්ගය, ඒ ප්‍රතිපදාව, අනුගමනය නො කොට පංච ඕරම්භාගීය සංයෝජනයන් හඳුනාගන්නේ ය, දැක ගන්නේ ය, ප්‍රහාණය කරන්නේ ය යන කරුණ නම් සිදු වෙන දෙයක් නොවේ.
පින්වත් ආනන්දය, ඉතා හොඳ අරටුවක් ඇති විශාල වෘක්ෂයක් තියෙනවා. නමුත් කෙනෙකුට ඒ වෘක්ෂයේ පොත්ත නො සිඳ, එළය නො සිඳ, අරටුව සිඳින්නට පුළුවන් ය කියා කීවොත් එය විය නො හැකි දෙයක්. ඒ වගේ ම තමයි, පින්වත් ආනන්දය, පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය වීමට යම් මාර්ගයක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, ඒ මාර්ගය, ඒ ප්‍රතිපදාව, අනුගමනය නො කොට පංච ඕරම්භාගීය සංයෝජනයන් හඳුනාගන්නේ ය, දැක ගන්නේ ය, ප්‍රහාණය කරන්නේ ය යන කරුණ නම් සිදු වෙන දෙයක් නොවේ.
පින්වත් ආනන්දය, ඉතා හොඳ අරටුවක් ඇති විශාල වෘක්ෂයක් තියෙනවා. කෙනෙකුට ඒ වෘක්ෂයේ පොත්ත සිඳීමෙන් පසු, එළය සිඳීමෙන් පසු, අරටුව සිඳින්නට පුළුවන් ය කියා කීවොත් එය විය හැකි දෙයක්. ඒ වගේ ම තමයි, පින්වත් ආනන්දය, පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය වීමට යම් මාර්ගයක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, ඒ මාර්ගය, ඒ ප්‍රතිපදාව, අනුගමනය කිරීමෙන් පංච ඕරම්භාගීය සංයෝජනයන් හඳුනාගන්නේ ය, දැක ගන්නේ ය, ප්‍රහාණය කරන්නේ ය යන කරුණ නම් සිදුවෙන දෙයක් ම යි.
පින්වත් ආනන්දය, ගංගා නදිය පිරී ඉතිරී ගිහින් ඉවුරට සම වී ජලය ගලා යන විට කවුඩන්ට වුනත් ඉවුරේ සිට දිය බොන්නට පුළුවනි. එතකොට දුර්වල පුරුෂයෙක් ‘මං මේ ගංගා නදිය හරහට අත්වල වීරියෙන් සැඬ පහර සිඳගෙන සුව සේ එතෙරට යනවා’ කියල පැමිණෙනවා. නමුත් ඔහුට ගංගා නදියේ හරහට සැඬ පහර සිඳගෙන බාහු බලයෙන් සුව සේ එතෙර වෙන්නට පුළුවන් කමක් නැහැ. පින්වත් ආනන්ද, අන්න ඒ වගේ තමයි, සක්කාය නිරෝධය පිණිස ධර්මය දේශනා කරන කල්හි යම් කෙනෙකු ගේ සිත සක්කාය නිරෝධයෙහි බැසගන්නෙ නැත්නම්, නො පහදී නම්, නො පිහිටයි නම්, නො මිදෙයි නම් ඒ පුද්ගලයාව තේරුම් ගත යුත්තේ අර දුර්වල පුරුෂයා හැටියටයි.
පින්වත් ආනන්දය, ගංගා නදිය පිරී ඉතිරී ගිහින් ඉවුරට සම වී ජලය ගලා යන විට කවුඩන්ට වුනත් ඉවුරේ සිට දිය බොන්නට පුළුවනි. එතකොට ශක්තිමත් පුරුෂයෙක් ‘මං මේ ගංගා නදිය හරහට අත්වල වීරියෙන් සැඬ පහර සිඳගෙන සුව සේ එතෙරට යනවා’ කියල පැමිණෙනවා. එතකොට ඔහුට ගංගා නදියේ හරහට සැඬ පහර සිඳගෙන බාහු බලයෙන් සුව සේ එතෙර වෙන්නට පුළුවන්. පින්වත් ආනන්ද, අන්න ඒ වගේ තමයි, සක්කාය නිරෝධය පිණිස ධර්මය දේශනා කරන කල්හි යම් කෙනෙකු ගේ සිත සක්කාය නිරෝධයෙහි බැසගන්නවා නම්, පහදිනවා නම්, පිහිටනවා නම්, මිදෙනවා නම් ඒ පුද්ගලයාව තේරුම් ගත යුත්තේ අර ශක්තිමත් පුරුෂයා හැටියට යි.
පින්වත් ආනන්ද, පංච ඕරම්භාගීය සංයෝජනයන් ගේ ප්‍රහාණයට හේතු වන මාර්ගය කුමක් ද? ප්‍රතිපදාව කුමක් ද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව ‘උපධි’ නම් වූ කාම ගුණයන් බැහැර කොට, අකුසල ධර්මයන් ගේ ප්‍රහාණයෙන්, සර්වප්‍රකාරයෙන් ම කායික පීඩාවන් සංසිඳවා ගැනීමෙන්, කාමයන් ගෙන් වෙන්ව, අකුසල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඉතින් ඔහු ඒ ප්‍රථම ධ්‍යානය තුළ රූපයට අයත් යම් දෙයක් ඇද්ද, විඳීමට අයත් යම් දෙයක් ඇද්ද, සඤ්ඤාවට අයත් යම් දෙයක් ඇද්ද, සංස්කාරයන්ට අයත් යම් දෙයක් ඇද්ද, විඤ්ඤාණයට අයත් යම් දෙයක් ඇද්ද, ඒ දේවල් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ඇදුම්කන ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක්ඛිත ස්වභාවයක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයත් දෙයක් වශයෙන්, නැසෙන ස්වභාවයට අයත් දෙයක් වශයෙන්, ස්ථිර දෙයින් ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් මැනවින් දකිනවා. ඉතින් ඔහු ඒ ස්වභාවයෙන් යුතු දේවල් වලින් සිත බැහැරට ගන්නවා. ඒ වගේ ම ‘යම් මේ සියළු සංස්කාරයන් ගේ සංසිඳීමක් ඇද්ද, සියලු කෙලෙස් උපධීන් ගේ දුරලීමක් ඇද්ද, තණ්හාව ක්ෂය වීමක් ඇද්ද, නො ඇල්මක් ඇද්ද, තණ්හා නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද, මෙය යි ශාන්ත. මෙය යි ප්‍රණීත.’ කියා අමෘත ධාතුවෙහි සිත පිහිටුවා ගන්නවා. ඉතින් ඒ භික්ෂුව අමෘත ධාතුවෙහි සිත පිහිටුවා ගෙන ආශ්‍රවයන් ගේ ක්ෂය වීමට පත්වෙනවා. යම් හෙයකින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමට පත් නො වුනොත්, ඒ ධර්මය කෙරෙහි ඇති වූ ඇල්ම හේතුවෙන් ඒ ධර්ම ආශ්වාදයෙන් පංච ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කොට ඕපපාතිකව සුද්ධාවාස ලෝකයෙහි උපත ලබනවා. ඒ ලෝකයෙන් පෙරලා නො එන සුලු ස්වභාවයෙන් යුතුව එහි ම පිරිනිවන් පානවා. පින්වත් ආනන්ද, පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කිරීමට තිබෙන මාර්ගය මෙය යි. ප්‍රතිපදාව මෙය යි.
පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති කරවන, සිතෙහි ඒකාග්‍රතාවය පවත්වන, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ….(පෙ)…. තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ….(පෙ)…. සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඉතින් ඔහු ඒ සතරවෙනි ධ්‍යානය තුළ රූපයට අයත් යම් දෙයක් ඇද්ද, විඳීමට අයත් යම් දෙයක් ඇද්ද, සඤ්ඤාවට අයත් යම් දෙයක් ඇද්ද, සංස්කාරයන්ට අයත් යම් දෙයක් ඇද්ද, විඤ්ඤාණයට අයත් යම් දෙයක් ඇද්ද, ….(පෙ)…. ඒ ලෝකයෙන් පෙරලා නො එන සුලු ස්වභාවයෙන් යුතුව එහි ම පිරිනිවන් පානවා. පින්වත් ආනන්ද, පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කිරීමට තිබෙන මාර්ගය මෙය යි. ප්‍රතිපදාව මෙය යි.
පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව සියලු ආකාරයෙන් ම රූප සඤ්ඤාවන් ඉක්ම යෑමෙන් ගොරෝසු සඤ්ඤාවන් අරමුණු නො වීමෙන් නා නා සඤ්ඤාවන් මෙනෙහි නො කිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරනවා. ඉතින් ඔහු ඒ ආකාසානඤ්චායතනය තුළ විඳීමට අයත් යම් දෙයක් ඇද්ද, සඤ්ඤාවට අයත් යම් දෙයක් ඇද්ද, සංස්කාරයන්ට අයත් යම් දෙයක් ඇද්ද, විඤ්ඤාණයට අයත් යම් දෙයක් ඇද්ද, ….(පෙ)…. ඒ ලෝකයෙන් පෙරලා නො එන සුලු ස්වභාවයෙන් යුතුව එහි ම පිරිනිවන් පානවා. පින්වත් ආනන්ද, පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කිරීමට තිබෙන මාර්ගය මෙය යි. ප්‍රතිපදාව මෙය යි.
පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව සියලු ආකාරයෙන් ම ආකාසානඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘විඤ්ඤාණය අනන්තයැ’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරනවා ….(පෙ)…. සියලු ආකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වාසය කරනවා. ඉතින් ඔහු ඒ ආකිඤ්චඤ්ඤායතනය තුළ විඳීමට අයත් යම් දෙයක් ඇද්ද, සඤ්ඤාවට අයත් යම් දෙයක් ඇද්ද, සංස්කාරයන්ට අයත් යම් දෙයක් ඇද්ද, විඤ්ඤාණයට අයත් යම් දෙයක් ඇද්ද, ඒ දේවල් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ඇදුම්කන ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක්ඛිත ස්වභාවයක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයත් දෙයක් වශයෙන්, නැසෙන ස්වභාවයට අයත් දෙයක් වශයෙන්, ස්ථිර දෙයින් ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් මැනවින් දකිනවා. ඉතින් ඔහු ඒ ස්වභාවයෙන් යුතු දේවල් වලින් සිත බැහැරට ගන්නවා. ඒ වගේ ම ‘යම් මේ සියළු සංස්කාරයන් ගේ සංසිඳීමක් ඇද්ද, සියලු කෙලෙස් උපධීන් ගේ දුරලීමක් ඇද්ද, තණ්හාව ක්ෂය වීමක් ඇද්ද, නො ඇල්මක් ඇද්ද, තණ්හා නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද, මෙය යි ශාන්ත. මෙය යි ප්‍රණීත’ කියා අමෘත ධාතුවෙහි සිත පිහිටුවා ගන්නවා. ඉතින් ඒ භික්ෂුව අමෘත ධාතුවෙහි සිත පිහිටුවා ගෙන ආශ්‍රවයන් ගේ ක්ෂය වීමට පත්වෙනවා. යම් හෙයකින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමට පත් නො වුනොත්, ඒ ධර්මය කෙරෙහි ඇති වූ ඇල්ම හේතුවෙන් ඒ ධර්ම ආශ්වාදයෙන් පංච ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කොට ඕපපාතිකව සුද්ධාවාස ලෝකයෙහි උපත ලබනවා. ඒ ලෝකයෙන් පෙරලා නො එන සුලු ස්වභාවයෙන් යුතුව එහි ම පිරිනිවන් පානවා. පින්වත් ආනන්ද, පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කිරීමට තිබෙන මාර්ගය මෙය යි. ප්‍රතිපදාව මෙය යි.”
“ස්වාමීනී, ඉදින් පංච ඕරම්භාගීය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙය මාර්ගය නම්, මෙය ප්‍රතිපදාව නම්, එසේ ඇති කල්හි මෙහිලා ඇතැම් භික්ෂූන් චේතෝ විමුක්ති ලාභීන් වන්නටත්, ඇතැම් භික්ෂූන් ප්‍රඥා විමුක්ති ලාභීන් වන්නටත් හේතුව කුමක් ද?” “ආනන්දය, මං ඔය කාරණය පිළිබඳව පවසන්නේ ඒ භික්ෂූන් තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන් ගේ වෙනස්කමයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්දයන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
මාලුංක්‍යපුත්ත තෙරුන් ගේ ප්‍රකාශයක් මුල් කොට වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M