මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩසිටියා. එදා පඤ්චකංග නම් වඩුදෙටු තුමා ආයුෂ්මත් උදායී තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් උදායී තෙරුන්ට වැඳ එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ පඤ්චකංග නම් වඩුදෙටු තුමා ආයුෂ්මත් උදායී තෙරුන් හට මෙය සැළ කළා.
“ස්වාමීනී, උදායී තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් විඳීම් කීයක් වදාරල තියෙනවා ද?” “පින්වත් වඩුදෙටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් විඳීම් තුනක් වදාරල තියෙනවා. ඒ සැප විඳීමත්, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීමත් ගැන යි. පින්වත් වඩුදෙටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඳීම් තුන ගැන තමයි වදාරල තියෙන්නෙ.”
“නෑ, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් විඳීම් තුනක් ගැන වදාරල නැහැ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ විඳීම් දෙකක් ගැනයි. ඒ සැප විඳීම ත්, දුක් විඳීම ත් ගැන යි. ස්වාමීනී, යම් මේ දුක් සැප රහිත විඳීමක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ ශාන්ත වූ, ප්‍රණීත වූ සැපය තුළ තියෙන දෙයක් හැටියට යි.”
දෙවන වතාවට ද, අයුෂ්මත් උදායී තෙරුන් පඤ්චකංග නම් වඩුදෙටු හට මෙය පැවසුවා. “පින්වත් වඩුදෙටුව, භාග්‍යවතුන් වහන්සේ විඳීම් දෙකක් වදාළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ විසින් විඳීම් තුනක් වදාරල තියෙනවා. ඒ සැප විඳීම ත්, දුක් විඳීම ත්, දුක් සැප රහිත විඳීම ත් ගැන යි. පින්වත් වඩුදෙටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඳීම් තුන ගැන තමයි වදාරල තියෙන්නෙ.” එතකොට දෙවෙනි වතාවට ත් පඤ්චකංග වඩුදෙටුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය පැවසුවා. “නෑ, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් විඳීම් තුනක් ගැන වදාරල නැහැ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ විඳීම් දෙකක් ගැන යි. ඒ සැප විඳීම ත්, දුක් විඳීම ත් ගැන යි. ස්වාමීනී, යම් මේ දුක් සැප රහිත විඳීමක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ ශාන්ත වූ, ප්‍රණීත වූ සැපය තුළ තියෙන දෙයක් හැටියට යි.”
තුන්වන වතාවට ද, අයුෂ්මත් උදායී තෙරුන් පඤ්චකංග නම් වඩුදෙටු හට මෙය පැවසුවා. “පින්වත් වඩුදෙටුව, භාග්‍යවතුන් වහන්සේ විඳීම් දෙකක් වදාළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ විසින් විඳීම් තුනක් වදාරල තියෙනවා. ඒ සැප විඳීම ත්, දුක් විඳීම ත්, දුක් සැප රහිත විඳීම ත් ගැන යි. පින්වත් වඩුදෙටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඳීම් තුන ගැන තමයි වදාරල තියෙන්නෙ.” එතකොට තුන්වෙනි වතාවට ත් පඤ්චකංග වඩුදෙටුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය පැවසුවා. “නෑ, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් විඳීම් තුනක් ගැන වදාරල නැහැ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ විඳීම් දෙකක් ගැන යි. ඒ සැප විඳීම ත්, දුක් විඳීම ත් ගැන යි. ස්වාමීනී, යම් මේ දුක් සැප රහිත විඳීමක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ ශාන්ත වූ, ප්‍රණීත වූ සැපය තුළ තියෙන දෙයක් හැටියට යි.”
ඉතින් ආයුෂ්මත් උදායී තෙරුන් පඤ්චකංග වඩුදෙටු හට මේ කාරණය පැහැදිලි කරදෙන්නට සමත් වුනේ නැහැ. ඒ වගේ ම පඤ්චකංග වඩුදෙටුවා ද ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය පැහැදිලි කරදෙන්නට සමත් වුනේ නැහැ.
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පඤ්චකංග වඩුදෙටුවා සමඟ වූ ආයුෂ්මත් උදායී තෙරුන් ගේ මේ කතා සල්ලාපය අසන්නට ලැබුනා. ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පඤ්චකංග වඩුදෙටුවා සමඟ ආයුෂ්මත් උදායී තෙරුන් ගේ යම්තාක් කතා සල්ලාපයක් වුනා ද, ඒ සියල්ල ම භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්නා. මෙසේ සැළකළ විට, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් හට මෙය වදාළා.
“පින්වත් ආනන්ද, උදායී භික්ෂුව විසින් පවසන ලද ඇත්තා වූ ම විඳීම් ගැන පඤ්චකංග වඩුදෙටුවා සතුටින් පිළිගත්තේ නැහැ. ඒ වගේ ම පඤ්චකංග වඩුවා විසින් පවසන ලද ඇත්තා වූ ම විඳීම් ගැන උදායී භික්ෂුව ද, සතුටින් පිළිගත්තේ නැහැ.
ආනන්දය, මා විසින් යම් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙන් වේදනා දෙකකුත් පවසා තියෙනවා. මා විසින් යම් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙන් වේදනා තුනකුත් පවසා තියෙනවා. මා විසින් යම් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙන් වේදනා හයකුත් පවසා තියෙනවා. මා විසින් යම් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙන් වේදනා පහකුත් පවසා තිබෙනවා. මා විසින් යම් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙන් වේදනා දහඅටකුත් පවසා තියෙනවා. මා විසින් යම් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙන් වේදනා තිස්හයකුත් පවසා තියෙනවා. මා විසින් යම් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙන් වේදනා එකසියඅටකුත් පවසා තියෙනවා. ඔය ආකාරයට ආනන්දයෙනි, මා විසින් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙනුයි ධර්මය දේශනා කොට තිබෙන්නේ.
ආනන්දයෙනි, මා විසින් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙන් දෙසන ලද ධර්මය පිළිබඳව යමෙක් ඔවුනොවුන් ගේ සුභාෂිතය, යහපත් වචනය ගෞරවයෙන් පිළිගන්නේ නැත්නම්, මැනවින් පහදින්නෙ නැත්නම්, මැනවින් අනුමෝදන් වෙන්නෙ නැත්නම්, ඔවුන් කැමති විය යුත්තේ මෙන්න මේ දෙය යි. ‘හටගත් අඬ-දබර ඇතිව, හටගත් කෝලාහල ඇතිව, වාද විවාදයන්ට බැසගෙන, එකිනෙකා කෙරෙහි මුඛය නැමැති ආයුධයෙන් පහර දෙමින් වාසය කිරීම යි.’
එහෙයින් ආනන්දයෙනි, ඔය ආකාරයෙන් මා විසින් දහම් කරුණු ප්‍රකාශ කිරීම් වශයෙන් දෙසන ලද ධර්මය පිළිබඳව යමෙක් ඔවුනොවුන් ගේ සුභාෂිතය, යහපත් වචනය ගෞරවයෙන් පිළිගන්නවා නම්, මැනවින් පහදිනවා නම්, මැනවින් අනුමෝදන් වෙනවා නම් ඔවුන් කැමති විය යුත්තේ මෙන්න මේ දෙයයි. ‘සමඟිව සිටිමින්, සතුටින් යුක්තව සිටිමින්, විවාද නො කර, කිරි යි දියර යි එක්ව තිබෙන පරිද්දෙන් සිටිමින් එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කිරීම යි.’
පින්වත් ආනන්ද, මේ කාමගුණයන් පහක් තිබෙනවා. කවර පහක් ද යත්; ඇසින් දැක්ක යුතු වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාවයෙන් යුතු වූ කාමාශාව ඇතිවන්නා වූ, කෙලෙස් ඇතිවන්නා වූ රූප තිබෙනවා. කනින් ඇසිය යුතු වූ ….(පෙ)…. ශබ්ද තිබෙනවා. නාසයෙන් දැනගත යුතු ….(පෙ)…. ගඳ සුවඳ තිබෙනවා. දිවෙන් වින්ඳ යුතු ….(පෙ)…. රස තිබෙනවා. කයින් වින්ඳ යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාවයෙන් යුතු වූ කාමාශාව ඇතිවන්නා වූ, කෙලෙස් ඇතිවන්නා වූ පහස තිබෙනවා. ආනන්දය, මේ පඤ්චකාම ගුණයන් හේතු කරගෙන උපදින්නා වූ යම් සැපයක් සොම්නසක් ඇද්ද, මෙයට තමයි ‘කාමසුඛය’ කියා කියන්නේ.
ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ‘සත්වයන් ඒකායන පැතුම වශයෙන් තබාගෙන විඳින්නේ මේ පංච කාම ගුණයෙන් ලබන්නා වූ සැපය යි, සොම්නස යි’ කියා කියනවා නම්, මා එය අනුමත කරන්නේ නෑ. මක් නිසාද යත්; පින්වත් ආනන්දය, මේ කාම සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපයක් තියෙනවා. ආනන්දය, මේ කාම සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව කාමයන් ගෙන් වෙන්ව, අකුසල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ආනන්දය, ඒ කාම සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය නම් මෙය යි.
ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ‘සත්වයන් ඒකායන පැතුම වශයෙන් තබාගෙන විඳින්නේ මේ ප්‍රථම ධ්‍යානයෙන් ලබන්නා වූ සැපය යි, සොම්නස යි’ කියා කියනවා නම්, මා එය අනුමත කරන්නේ නෑ. මක් නිසාද යත්; පින්වත් ආනන්දය, මේ ප්‍රථම ධ්‍යාන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපයක් තියෙනවා. ආනන්දය, මේ ප්‍රථම ධ්‍යාන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති කරවන, සිතෙහි ඒකාග්‍රතාවය පවත්වන, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ආනන්දය, ඒ ප්‍රථම ධ්‍යාන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය නම් මෙය යි.
ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ….(පෙ)…. මේ ද්විතීය ධ්‍යාන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව ප්‍රීතියට නො ඇලෙමින්, උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව, නුවණින් යුතුව වාසය කරනවා. කයින් සැපයක් ද විඳිනවා. ‘ආර්යයන් වහන්සේලා යම් සමාධියකට උපේක්ෂා සහිත වූ සිහි නුවණ ඇති සැප විහරණයකැ’යි පවසත් ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ආනන්දය, ඒ ද්විතීය ධ්‍යාන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය නම් මෙය යි.
ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ….(පෙ)…. මේ තෘතීය ධ්‍යාන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව සැපයේ ද ප්‍රහාණයෙන්, දුකෙහි ද ප්‍රහාණයෙන්, කලින් ම සොම්නස් – දොම්නස් ඉක්මයෑමෙන් දුක් සැප රහිත වූ, උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු වූ ඒ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ආනන්දය, ඒ තෘතීය ධ්‍යාන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය නම් මෙය යි.
ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ….(පෙ)…. මේ චතුර්ථ ධ්‍යාන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව සියලු ආකාරයෙන් ම රූප සඤ්ඤාවන් ඉක්ම යෑමෙන් ගොරෝසු සඤ්ඤාවන් අරමුණු නො වීමෙන් නා නා සඤ්ඤාවන් මෙනෙහි නො කිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරනවා. ආනන්දය, ඒ චතුර්ථ ධ්‍යාන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය නම් මෙය යි.
ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ….(පෙ)…. මේ ආකාසානඤ්චායතන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව සියලු ආකාරයෙන් ම ආකාසානඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘අනන්ත වූ විඤ්ඤාණය’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරනවා. ආනන්දය, ඒ ආකාසානඤ්චායතන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය නම් මෙය යි.
ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ….(පෙ)…. මේ විඤ්ඤාණඤ්චායතන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව සියලු ආකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘කිසිවක් නැත’ යැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. ආනන්දය, ඒ විඤ්ඤාණඤ්චායතන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය නම් මෙය යි.
ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ….(පෙ)…. මේ ආකිඤ්චඤ්ඤායතන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව සියලු ආකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම යෑමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. ආනන්දය, ඒ ආකිඤ්චඤ්ඤායතන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය නම් මෙය යි.
ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ‘සත්වයන් ඒකායන පැතුම වශයෙන් තබාගෙන විඳින්නේ මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් ලබන්නා වූ සැපය යි, සොම්නස යි’ කියා කියනවා නම්, මා එය අනුමත කරන්නේ නෑ. මක් නිසාද යත්; පින්වත් ආනන්දය, මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපයක් තියෙනවා. ආනන්දය, මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවීමෙන් සඤ්ඤා වේදයිත නිරෝධයට පැමිණ වාසය කරනවා. ආනන්දය, ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතන සුඛයට වඩා සුන්දරතර වූ ත්, ප්‍රණීතතර වූ ත් වෙනත් සැපය නම් මෙය යි.
ආනන්දය, අන්‍යාගමික පිරිවැජියන් මෙබඳු වූ කරුණු පවසනවා ය කියන දෙය විය හැකි දෙයක්. එනම්, ‘ශ්‍රමණ ගෞතමයන් සඤ්ඤාවේදයිත නිරෝධය ගැන පවසනවා. එය ද සැපය තුළ තිබෙන දෙයක් හැටියට යි පණවන්නේ. ඒ සැපය කුමක් ද? ඒ සැපය කොහොම වෙන දෙයක් ද?’ කියල. ඔය විදිහේ කරුණු කියන අන්‍යාගමික පිරිවැජියන් හට පිළිතුරු දිය යුත්තේ මෙහෙම යි. ‘ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ සැපය තුළ තිබෙන දේවල් හැටියට පණවන්නේ සැප වේදනාවට අයත් දේවල් විතරක් නොවේ. නමුත් ආයුෂ්මත්නි, යම් යම් තැනක දී සැපයක් ලැබෙනවා නම්, ඒ ඒ තැන තිබෙන්නා වූ ඒ ඒ සැපය ද, තථාගතයන් වහන්සේ සැපය තුළ යි පණවන්නේ’ කියල.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
බොහෝ විඳීම් ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M