මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂු සංඝයා ඇමතුවා. ඒ භික්ෂු පිරිස ද “පින්වතුන් වහන්ස” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළේ ඒ මොහොතේ දී යි.
පින්වත් මහණෙනි, එක දවසක් මම උක්කට්ඨා නගරය අසල සුභග වනාන්තරයේ විශාල සල් රුක් සෙවණක වැඩසිටියා. පින්වත් මහණෙනි, ඒ දවස්වල බක නම් බ්‍රහ්මයාට මෙන්න මේ විදිහේ පාපී දෘෂ්ටියක් ඇතිවෙලා තිබුණා. ‘මේ බඹලොව නිත්‍යයි. ස්ථීරයි. මේ බඹලොව සදාකාලිකයි. පරිපූර්ණ එකක් මේක චුත නොවන ස්වභාවයෙන් යුක්තයි. මේ බඹලොව නම් ඉපදීමක් නැහැ. දිරීමක් නැහැ. චුත වීමක් නැහැ. යළි ඉපදීමක් නෑ. මේ බඹලොවින් තොර වෙනත් දුකින් නිදහස් වීමක් නම් නැහැ’ කියලා.
පින්වත් මහණෙනි, බක බ්‍රහ්මයාගේ ඔය සිතුවිල්ල මම මගේ සිතින් දැනගත්තා. එහෙම දැනගෙන බලවත් පුරුෂයෙක් හකුලපු අතක් දිගහරිනවා වගේ දිගුකළ අතක් හකුළනවා වගේ අන්න ඒ විදිහට උක්කට්ඨා නුවර සුභග වනාන්නරයේ සල් රුක් සෙවණෙන් මම නොපෙනී ගියා. ඒ බඹලොව පහල වුනා.
පින්වත් මහණෙනි, බක බ්‍රහ්මයා දුරින් ම වඩින මාව දැක්කා. දැකලා මට මෙහෙම කිව්වා. “දුක් නැති මුනිඳුනි, මෙහි එන්න. ඔබගේ පැමිණීම ඉතා යහපත්. දුක් නැති මුනිඳුනි, ඔබ මෙහි වැඩමකළේ බොහෝ කලකින් නෙව. දුක් නැති මුනිඳුනි, මේ බඹලොව තමයි නිත්‍ය. මේක තමයි ස්ථිර. මේක සදාකාලිකයි. මේක පරිපූර්ණයි. මේක චුත නොවන ස්වභාවයෙන් යුක්තයි. මෙතන නම් ඉපදීමක් නැහැ. මියයෑමක් නෑ. චුත වීමක් නෑ. යළි ඉපදීමකුත් නෑ. මෙතැනින් බැහැර වූ වෙන දුකෙන් මිදීමකුත් නෑ” කියලා.
පින්වත් මහණෙනි, එහෙම කියපු බක බ්‍රහ්මයට මම මෙහෙම කිව්වා “පින්වත් බක බ්‍රහ්මය, ඇත්තෙන් ම ඔබ ඉන්නේ අවිද්‍යාව තුළ. ඒ නිසා තමයි අනිත්‍ය වෙලා සිටිද්දී ම නිත්‍යයි කියන්නෙ. අස්ථිර වෙලා සිටිද්දී ම ස්ථීරයි කියන්නේ. සදාකාලික වෙලා නොවී සිටිද්දී ම සදාකාලිකයි කියන්නේ. අපරිපූර්ණව සිටිද්දී ම පරිපූර්ණයි කියන්නෙ. චුත වන ස්වභාවයෙන් සිටිද්දී ම චුත නොවෙන ස්වභාවයෙන් යුක්තයි කියන්නෙ. යම් තැනක ඉපදීම තියෙද්දී, දිරීම තියෙද්දී, මියයෑම තියෙද්දී, චුත වීම තියෙද්දී, යළි ඉපදීම තියෙද්දි ම යි මේ විදිහට කියන්නෙ. මෙතන ඉපදීමක් නෑ. දිරීමක් නෑ. මරණයක් නෑ. චුත වීමක් නෑ. යළි ඉපදීමක් නෑ කියල. ඔයිට වඩා දුකින් නිදහස් වීමක් තියෙද්දි ම යි මීට වඩා දුකින් නිදහස් වීමක් නෑ කියල කියන්නෙ.
පින්වත් මහණෙනි, එතකොට පාපී මාරයා එක්තරා බ්‍රහ්මයෙකුට ආවේශ වුනා. ආවේශ වෙලා මට මෙහෙම කිව්වා.
“ඒයි භික්ෂුව, ඒයි භික්ෂුව, මොහුට නින්දා කරන්න එපා! මොහුට නින්දා කරන්න එපා! ඒයි භික්ෂුව, මේ බ්‍රහ්මයා තමයි මහාබ්‍රහ්මයා. සියල්ල මැඬලන කෙනා. කිසිවෙකුට මැඬලිය නොහැකි කෙනා. සියල්ල දකිනා කෙනා. සියලු දෙනා තමන්ගේ වසඟයටගත් කෙනා. ලෝකයේ අධිපතියා. ලෝකයේ කර්තෘවරයා. ලෝකයේ නිර්මාර්තෘවරයා. ලෝකයේ ශ්‍රේෂ්ඨයා. ලෝක ප්‍රජාව බිහිකරන කෙනා. ලෝකය ම වසඟ කළ කෙනා. ඉපදෙන සත්වයාගේ දෙව්පියාණන්.
ඒයි භික්ෂුව, මේ ලෝකයේ නුඹට කලින් ශ්‍රමණ බ්‍රාහ්මණවරු හිටියා. උන්නැහේලත් පඨවි ධාතුවට ගැරහුවා. පඨවි ධාතුව පිළිකුල් කළා. ආපෝ ධාතුවට ගැරහුවා. ආපෝ ධාතුව පිළිකුල් කළා. තේජෝ ධාතුවට ගැරහුවා. තේජෝ ධාතුව පිළිකුල් කළා. වායෝ ධාතුවට ගැරහුවා. වායෝ ධාතුව පිළිකුල් කළා. ඉපදෙන සත්වයන්ට ගැරහුවා. ඉපදෙන සත්වයන්ව පිළිකුල් කළා. දෙවියන්ට ගැරහුවා. දෙවියන්ව පිළිකුල් කළා. ලෝකාධිපති දෙවිඳුන්ට ගැරහුවා. ලෝකාධිපති දෙවිඳුන් ව පිළිකුල් කළා. බ්‍රහ්මයාට ගැරහුවා. බ්‍රහ්මයාව පිළිකුල් කළා. අන්තිමේ දී කය බිදිල පණ ටික ගියාට පස්සෙ උන්නැහේලා අපායෙ උපන්නා.
ඒයි භික්ෂුව, නුඹට කලින් මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු හිටියා. ඒ උදවිය නම් පඨවි ධාතුවට ප්‍රශංසා කළා. පඨවි ධාතුව සතුටින් පිළිගත්තා. ආපෝ ධාතුවට ප්‍රශංසා කළා. ආපෝ ධාතුව සතුටින් පිළිගත්තා. තේජෝ ධාතුවට ප්‍රශංසා කළා. තේජෝ ධාතුව සතුටින් පිළිගත්තා. වායෝ ධාතුවට ප්‍රශංසා කළා. වායෝ ධාතුව සතුටින් පිළිගත්තා. ඉපදෙන සත්වයන්ට ප්‍රශංසා කළා. ඉපදෙන සත්වයන්ව සතුටින් පිළිගත්තා. දෙවියන්ට ප්‍රශංසා කළා. දෙවියන්ව සතුටින් පිළිගත්තා. ලෝකාධිපති දෙවිඳුන්ට ප්‍රශංසා කළා. ලෝකාධිපති දෙවිඳුන්ව සතුටින් පිළිගත්තා. බ්‍රහ්මයාට ප්‍රශංසා කළා. බ්‍රහ්මයාව සතුටින් පිළිගත්තා. ඒ උදවිය කය බිදී මරණයට පත්වුනාට පස්සෙ සුන්දර ලෝකයේ ඉපදුනා.
ඒයි භික්ෂුව, ඒ නිසා මම නුඹට මෙහෙම කියනවා. දුක් නැති මුනිඳුනි, මේ බ්‍රහ්මයා නුඹට යම් දෙයක් කිව්වා ද, නුඹ කළ යුත්තේ අන්න ඒ දෙයයි. නුඹ මේ බ්‍රහ්මයා ගේ වචනය ඉක්මවා යන්න ලෑස්ති වෙන්න එපා! ඒයි භික්ෂුව, යම් විදිහකින් නුඹ බ්‍රහ්මයාගේ වචනය ඉක්මවා යන්න ලෑස්ති වුනොත්, ඒක මිනිහෙක් තමාගේ නිවසට වඩින ශ්‍රියා කාන්තාව පොල්ලකින් ගහල එලව ගන්නවා වැනි දෙයක්. ඒ වගේ ම ඒයි භික්ෂුව, මිනිහෙක් භයානක ප්‍රපාතයකට වැටෙද්දී අතින් පයින් පිහිටල එල්ලෙන්න පුළුවන් දේ නැති කර ගන්නවා වැනි දෙයක්. ඒ වගේම ඒයි භික්ෂුව, අන්න ඒ විදිහේ සම්පතක් නුඹට ලැබෙන්නයි හදන්නෙ. දුක් නැති මුනිඳුනි, ඒ නිසා මේ බ්‍රහ්මයා නුඹට යම් දෙයක් කිව්වා ද, නුඹ කළ යුත්තේ අන්න ඒ දෙය යි. මේ බ්‍රහ්මයාගේ වචනය ඉක්මවා යන්න ලෑස්ති වෙන්න එපා! ඒයි භික්ෂුව, නුඹට පේන්නේ නැද්ද මේ බ්‍රහ්ම පිරිස ඉන්න ලස්සන.”
පින්වත් මහණෙනි, පාපී මාරයා ඒ බ්‍රහ්ම පිරිස පෙන්න පෙන්නා ඔන්න ඔහොමයි කිව්වේ.
පින්වත් මහණෙනි, මම එතකොට එහෙම කියාපු මාරයාට මෙන්න මේ විදිහට කිව්වා.
“ඒයි, මාරය, මං ඔබව දන්නවා. මං ඔබව දන්නෙ නෑ කියල ඔබ හිතන්න එපා! ඔබ තමයි පාපී මාරයා. මේ බ්‍රහ්මයත් බ්‍රහ්ම පිරිසත්, මේ බ්‍රහ්මපාරිසජ්ජ ලෝකයේ සියලු දෙනා ම ත් ඉන්නෙ ඔබේ අතට අහුවෙලයි. ඒ සියලු දෙනාම ඉන්නේ ඔබේ වසඟයට පත්වෙලයි. පාපී මාරය, ඔබට මෙහෙම හිතෙනවා නේද? ‘මොහු ඉන්නෙත් මගේ අතේ, මොහුත් මගේ වසඟයට පත්වුනා’ කියලා. නමුත් පවිටු මාරය, මා ඉන්නේ ඔබේ අතට අහුවෙලා නොවෙයි. ඔබේ වසඟයට පත්වෙලත් නොවෙයි.”
එහෙම කිව්වා ම පින්වත් මහණෙනි, බක බ්‍රහ්මයා මට මෙහෙම කියනවා. “දුක් රහිත මුනිඳුනි, මං නිත්‍ය දෙයක් ම නේ නිත්‍යයි කීවේ. ස්ථීර දෙයක් ම නේ ස්ථිරයි කීවේ. සදාකාලික වූ දෙයක් ම නේ සදාකාලිකයි කීවේ. පරිපූර්ණ වූ දෙයක් ගැනම නේ පරිපූර්ණ යි කියලා කීවේ. චුත නොවෙන ස්වභාවයෙන් යුතු දෙයක් ගැනම නේ චුත නොවෙනවයි කියලා කීවේ. ඒ වගේම යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, චුතවෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ ත් නැත්නම් ඒ නිසානෙ මම කිව්වේ මෙතන උපදින්නෙ නෑ. දිරන්නෙ නෑ. මැරෙන්නෙ නෑ. චුත වෙන්නෙ නෑ. යළි ඉපදෙන්නෙ නෑ කියලා. දුකින් නිදහස් වුන තැනක් තවත් නැති නිසයි මං කිව්වේ මීට වඩා දුකින් නිදහස් වුන තැනක් නැතෙයි කියලා.
පින්වත් භික්ෂුව, ඔබට කලිනුත් ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු හිටියා. ඔබ ගේ ආයුෂ කාලය සම්පූර්ණයෙන් ම ගත්තොත් අන්න ඒ වගේ කාලයක් ඔවුන් තපස් රැක්ක ඒ ඍෂිවරු මේ බඹලොවට වඩා දුකින් නිදහස් වුණු තව තැනක් තියෙනවා නම්, දුකින් නිදහස් වුණු තව තැනක තියෙනවා කියල ත් දන්නවා. ඒ වගේම දුකින් නිදහස් වුණු තව තැනක් නැත්නම් දුකින් නිදහස් වුණු වෙනත් තැනක් නැහැ කියල ත් ඔවුන් දන්නවා.
පින්වත් භික්ෂුව, මේ ගැන ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි. මීට වඩා දුකින් නිදහස් වෙන්න වෙන තැනක් දකින්න ලෑස්ති වෙන්න එපා! ඕවා හොයන්න ගියොත් ඔබට කලන්තෙ හැදිලා පීඩා විදින්න වේවි. යම් විදිහකින් පින්වත් භික්ෂුව, ඔබ පඨවි ධාතුවේ බැසගෙන සිටියොත් මා ළඟ ම යි ඉන්නෙ. ඔබ මගේ අරමුණක් හැටියටයි ඉන්නෙ. මා කැමති දෙයක් ඔබ ගැන කරන්න පුළුවන් හැටියටයි ඉන්නෙ. ඒ වගේම පින්වත් භික්ෂුව ආපෝ ධාතුව ….(පෙ)…. තේජෝ ධාතුව ….(පෙ)…. වායෝ ධාතුව ….(පෙ)…. උපන් සත්වයන් ….(පෙ)…. දෙවියන් ….(පෙ)…. ලෝකාධිපති දෙවියන් ….(පෙ)…. බ්‍රහ්මයන් ගැන සිතින් බැසගෙන සිටියොත් ඔබ ඉන්නේ මා ළඟයි. ඔබ ඉන්නෙ මගේ අරමුණක් වශයෙනුයි. ඔබ ගැන මට කැමති දෙයක් කරන්න පුළුවනි.”
“පින්වත් බ්‍රහ්මය, මං ඒක දන්නවා, යම් විදිහකින් පඨවි ධාතුවේ මම බැසගෙන සිටියෙත් මං ඉන්නේ ඔබ ළඟ තමයි. ඔබේ අරමුණක් වෙලා තමයි. ඔබට මා ගැන කැමති දෙයක් කරන්න පුළුවන් විදිහට තමයි. යම් විදිහකින් ආපෝ ධාතුව ….(පෙ)…. තේජෝ ධාතුව ….(පෙ)…. වායෝ ධාතුව ….(පෙ)…. උපන් සත්වයා ….(පෙ)…. දෙවියන් ….(පෙ)…. ලෝකාධිපති දෙවියන් ….(පෙ)…. බ්‍රහ්මයා තුළ බැසගෙන සිටියොත් මං ඉන්නෙ ඔබ ළඟ තමයි. ඔබේ අරමුණක් ම තමයි. ඔබට මා ගැන කැමැති දෙයක් කරන්න පුළුවන් තැනක තමයි. නමුත් පින්වත් බ්‍රහ්මය, මං දන්නවා ඔබේ උපතත්. මං දන්නවා ඔබේ ආනුභාවයත්. බක බ්‍රහ්මයා මේ විදිහේ මහ ඉර්ධිමත් ය කියලා, මහානුභාව සම්පන්නයි කියලා, බක බ්‍රහ්මයා මහේශාක්‍යයි කියලා මං දන්නවා.”
“නිදුක් මුනිඳුනි, ඔබ කොහොමද දන්නේ මගේ උපත? ඔබ කොහොමද දන්නෙ මගේ ආනුභාවය? බක බ්‍රහ්මයා මේ විදිහේ ඉර්ධිමත් කියලා, බක බ්‍රහ්මයා මේ විදිහේ මහානුභාවයි කියලා, බක බ්‍රහ්මයා මේ විදිහේ මහේශාක්‍යයි කියලා?”
10.
(එවිට බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළ සේක.)
“දස දිසා එළිය කරමින් සඳ හිරු දෙදෙන හැසිරෙන්නේ යම්තාක් ද, ඒ තාක් සහස්‍රී ලෝක ධාතුවත්, මේ සක්වලත් ඔබගේ වසඟයේ තිබෙන්නේ. ඒ දස දහසක් ලෝක ධාතුවේ සිටින උස් පහත් සත්වයන් ගැන ඔබ දන්නවා. රාගී විරාගී සත්වයන් ගැනත් ඔබ දන්නවා. මේ සත්වයන් ගැනත්, වෙන සත්වයන් ගැනත් චුතිය උපත වශයෙනුත් ඔබ දන්නවා.”
පින්වත් බ්‍රහ්මය, ඔන්න ඔය විදිහට මම ඔබේ උපතත් දන්නවා. ඔබේ ආනුභාවයත් දන්නවා. බක බ්‍රහ්මයා මේ විදිහේ මා ඉර්ධිමත්, බක බ්‍රහ්මයා මේ විදිහේ මහානුභාව සම්පන්නයි බක බ්‍රහ්මයා මේ විදිහේ මහේශාක්‍යයයි කියලා.
ඒ වගේම, පින්වත් බ්‍රහ්මය, තව බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා, ඒ ගැන ඔබ දන්නෙත් නෑ. ඔබට පේන්නෙත් නෑ. නමුත් ඒ ලෝක ගැන මං දන්නවා. මට පේනවා. පින්වත් බ්‍රහ්මය, ආභස්සර නමින් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකෙන් චුත වෙලා තමයි ඔබ මේ බ්‍රහ්ම පාරිසජ්ජයේ උපන්නෙ. දැන් බොහෝ කල් ගෙවිල ගිහින් නිසා ඒ ගැන ඔබේ සිහිය මුලාවෙලා තියෙන්නෙ. ඒක නිසා ඔබ ඒක දන්නෙත් නෑ. ඔබට එක පේන්නෙත් නැ. ඒත් මං ඒක දන්නවා. මට ඒක පේනවා. පින්වත් බ්‍රහ්මය, ඔබ ඔය විදිහට අවබෝධය කරණ කොට ගෙන, මා හා කිසිසේත් සමාන නෑ. පහත් බවක් ගැන කවර කතා ද? අවබෝධයෙන් මම ඉන්නෙ ඔබට වඩා ඉහළින්.
පින්වත් බ්‍රහ්මය, සුභකිණ්හ නමින් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. වේහප්ඵල නමිනුත් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඔබ ඒ ගැන දන්නෙත් නෑ. ඔබට පේන්නෙත් නෑ. නමුත් මම ඒ ගැන දන්නවා. මට ඒක පේනවා. පින්වත් බ්‍රහ්මය, ඔබ ඔය විදිහට අවබෝධය කරණ කොට ගෙන, මා හා කිසිසේත් සමාන නෑ. පහත් බවක් ගැන කවර කතා ද? අවබෝධයෙන් මම ඉන්නෙ ඔබට වඩා ඉහළින්.
පින්වත් බ්‍රහ්මය, මම පඨවි ධාතුව යථාර්ථයෙන් ම අවබෝධ කරගත්තා. පඨවි ධාතුවේ යම්තාක් සකස් වන තැන් තිබේ ද, එයට හසු නොවන නිවනත් අවබෝධ කරගත්තා. ඒ නිසා පඨවි ධාතුව ‘මම’ කියල ගන්නෙ නෑ. පඨවි ධාතුව තුළ ‘මම ඉන්නවා’ කියලා ගන්නෙ නෑ. පඨවි ධාතුවෙන් ‘මම චුතවෙනවා’ කියලා ගන්නෙත් නෑ. පඨවි ධාතුව ‘මගේ’ කියල ගන්නෙත් නෑ. පඨවි ධාතුව මම අගය කළේ නෑ. පින්වත් බ්‍රහ්මය, ඔබ ඔය විදිහට අවබෝධය කරණ කොට ගෙන, මා හා කිසිසේත් සමාන නෑ. පහත් බවක් ගැන කවර කතා ද? අවබෝධයෙන් මම ඉන්නෙ ඔබට වඩා ඉහළින්.
පින්වත් බ්‍රහ්මය, ආපෝ ධාතුව ….(පෙ)…. තේජෝ ධාතුව ….(පෙ)…. වායෝ ධාතුව ….(පෙ)…. උපන් සත්වයා ….(පෙ)…. දෙවියා ….(පෙ)…. ලෝකාධිපති දෙවියන් ….(පෙ)…. බ්‍රහ්මයා ….(පෙ)…. ආභස්සර දෙවියන් ….(පෙ)…. සුභකිණ්හ දෙවියන් ….(පෙ)…. වේහප්ඵල දෙවියන් ….(පෙ)…. අභිභූ දෙවියන් ….(පෙ)…. පින්වත් බ්‍රහ්මය මම සියල්ල ම යථාර්ථයක් වශයෙන් අවබෝධ කළා, ඒ සියල්ලෙන් ම සියලු ආකාරයෙන් ම සකස් වෙන යම්තාක් තැන් තිබේද, ඒ සියල්ලට හසු නොවෙන අමා නිවනත් අවබෝධ කළා. සියල්ල ‘මම’ කියල ගන්නෙ නෑ. ‘සියල්ල තුළ මම ඉන්නවා’ කියල ගන්නෙ නෑ. ‘සියල්ලෙන් මම චුතවෙනවා’ කියලා ගන්නෙ නෑ. ‘සියල්ල මගේ’ කියලා ගන්නෙ නෑ. සියල්ල අගය කළේ නෑ. පින්වත් බ්‍රහ්මය, ඔබ ඔය විදිහට අවබෝධය කරණ කොට ගෙන, මා හා කිසිසේත් සමාන නෑ. පහත් බවක් ගැන කවර කතා ද? අවබෝධයෙන් මම ඉන්නෙ ඔබට වඩා ඉහළින්.”
“නිදුක් මුනිඳුනි, එහෙමද? සියල්ල තුළින් සියලු ආකාරයෙන් සකස් වෙන තැන් වේ ද, එයට හසු නොවන දෙයක් ගැන ඔබ කීවා. ඔය කතාව හිස් දෙයක් නොවේවා! ඔය කතාව බොරුවක් නොවේවා!”
“පින්වත් බ්‍රහ්මය, රහතන් වහන්සේ ගේ වික්‍ද්ක්‍දාණය නිදර්ශන රහිතයි. අන්ත රහිතයි. සියල්ලටමත් වඩා ප්‍රභාෂ්වරයි. ඒ විඤ්ඤාණය පඨවි ධාතුවෙන් හැදෙන පඨවි ධාතුවට අයත් කිසි දෙයකට හසු වෙලා නෑ. ආපෝ ධාතුවෙන් හැදෙන ආපෝ ධාතුවට අයත් කිසිදේකට හසුවෙලා නෑ. තේජෝ ධාතුවෙන් හැදෙන තේජෝ ධාතුවට අයත් කිසි දේකට හසුවෙලා නෑ. වායෝ ධාතුවෙන් හැදෙන වායෝ ධාතුවට අයත් කිසිදේකට හසුවෙලා නෑ. ඉපදුණු සත්වයන්ගේ ඒ ඉපදෙන ස්වභාවයට හසුවෙලා නෑ. දෙවියන්ගේ දිව්‍ය ස්වභාවයට හසුවෙලා නෑ. ලෝකාධිපති දෙවියන්ගේ ලෝකාධිපති ස්වභාවයට හසුවෙලා නෑ. බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ස්වභාවයට හසුවෙලා නෑ. ආභස්සර දෙවියන්ගේ ආභස්සර ස්වභාවයට හසුවෙලා නෑ. සුභකිණ්හ දෙවියන්ගේ සුභකිණ්හ ස්වභාවයට හසුවෙලා නෑ. වේහප්ඵල දෙවියන්ගේ වේහප්ඵල ස්වභාවයට හසුවෙලා නෑ. අභිභූ දෙවියන්ගේ අභිභූ ස්වභාවයට හසුවෙලා නෑ. සියලු දෙයින් ම සියලු ස්වභාවයට ම හසුවෙලා නෑ.”
“එහෙම නම්, නිදුක් මුනිඳුනි, ඔන්න මම දැන් මෙතැනින් අතුරුදහන් වෙනවා.”
“පින්වත් බ්‍රහ්මය, පුළුවන් නම් දැන් මෙතනින් අතුරුදහන් වෙන්න.”
පින්වත් මහණෙනි, එතකොට බක බ්‍රහ්මයා ‘මම දැන් ශ්‍රමණ ගෞතමයන් ළඟින් අතුරුදහන් වෙනවා. මම දැන් ශ්‍රමණ ගෞතමයන් ලඟින් අතුරුදහන් වෙනවා.’ කියල හිතනවා හිතනවා, නමුත් ඔහුට මා ඉදිරියෙන් අතුරුදහන් වෙන්න බැරි වුනා. පින්වත් මහණෙනි, එතකොට බක බ්‍රහ්මයාට මං මෙහෙම කිව්වා,
“එහෙම නම් පින්වත් බ්‍රහ්මය, ඔන්න මං දැන් ඔබ ළඟින් අතුරුදහන් වෙනවා” කියල.
“නිදුක් මුනිඳුනි, පුළුවන් නම් දැන් මා ළඟින් අතුරුදහන් වෙන්න.”
පින්වත් මහණෙනි. මම ඉර්ධි බලයෙන් මෙබඳු ඉර්ධියක් කළා. ‘බ්‍රහ්මයාත්, මේ බ්‍රහ්ම පිරිසත්, බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියොත්, මෙපමණ පිරිසකට දැන් මාව නොපෙනේවා! මාගේ හඬ පමණක් ඇසේවා!’ කියල මම අතුරුදහන්ව සිටිමින් ම මේ ගාථාව ප්‍රකාශ කළා.
“මම මේ භවය යථාර්ථයක් වශයෙන් ම බිය ජනක තැනක් බව අවබෝධ කළා. භවය තුළ ම විභවය සොයන අයවත් දැක්කා. ඒ නිසා මං භවය අගය කළේ නෑ. කිසි ම ආකාරයකින් භවය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුණේ නෑ.”
පින්වත් මහණෙනි, එතකොට ඒ මහා බ්‍රහ්මයාත්, ඒ බ්‍රහ්ම පිරිසත්, දෙවියනුත් විස්මයට පත්වුණා. අතිශයින් ම පුදුමයට පත්වුණා. “පින්වත්නි, ඒකාන්තයෙන් ම ආශ්චර්යයයි! පින්වත්නි, ඇත්තෙන් ම අද්භූතයි! මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ඉර්ධිමත් බව, මහානුභාවය පුදුමයි! කවදාවත් මීට පෙර ශාක්‍ය වංශයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තරම් මේ සා මහා ඉර්ධිවන්ත, මේ සා මහානුභාව සම්පන්න වෙන ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් ගැන අහලාවත් නෑ, දැකලත් නෑ. පින්වත්නි, භවයෙන් සතුටු වන, භවයේ ඇලී වසන, භව පැවැත්මෙන් ම පිනා යන සත්වයන් සිටින ලෝකයේ මුල් සහිතව භවය උදුරා දැම්මා කිව්වෙ ශ්‍රමණ ගෞතමයන් විතරයි.
පින්වත් මහණෙනි, එතකොට පාපී මාරයා එක්තරා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෙකුට ආවේශ වුනා. ආවේශ වෙලා මට මෙහෙම කිව්වා. “නිදුක් මුනිඳුනි, ඉතින් ඔබ මේ විදිහට දන්නවා නම්, ඉතින් ඔබ ඔවැනි අවබෝධයකින් යුක්ත නම්, ඔබේ පාඩුවේ සිටිය මැනැව! ශ්‍රාවකයන් ළඟට නොයනු මැනැව! පැවිද්දන් ළඟට නොයනු මැනැව! ශ්‍රාවකයන්ට හෝ පැවිද්දන්ට හෝ දහම් නොදෙසනු මැනැව! ශ්‍රාවකයන් ඇතිකරගැනීමට ඔච්චර ආශාව ඇතිකර ගන්න එපා! පැවිද්දන් ගැන ආශාව ඇති කරගන්න එපා!
ඒයි භික්ෂුව, නුඹට කලින් හිටිය ශ්‍රමණ බ්‍රාහ්මණයොත් ලෝකයට කිව්වා අරහත් ය, සම්මා සම්බුද්ධ ය කියලා. ඒ උදවියත් ශ්‍රාවකයන් ළඟට ගියා. පැවිද්දන් ළඟට ගියා. ශ්‍රාවකයන්ට ත් පැවිද්දන්ට ත් දහම් දෙසුවා.
ශ්‍රාවකයන් ගැන, පැවිද්දන් ගැන ඇලුණු සිතින් හිටියා. ඒ උදවිය ශ්‍රාවකයින් ළඟට, පැවිද්දන් ළඟට ගිහින් ශ්‍රාවකයින්ට, පැවිද්දන්ට දහම් දෙසල ශ්‍රාවකයන් ගැන, පැවිද්දන් ගැන ඇලුණු සිතින් ඉඳලා පණ ටික ගියාට පස්සෙ අපායෙ උපන්නා.
ඒයි භික්ෂුව, නුඹට කලිනුත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ලෝකෙ හිටියා. ඒ උදවිය ත් තමන් අරහත් ය, සම්මා සම්බුදුය කියලා හඳුන්වලා දුන්නා. නමුත් ඒ උදවිය නම් ශ්‍රාවකයන් ළඟට ගියේ නෑ. පැවිද්දන් ළඟට ගියේ නෑ. ශ්‍රාවකයන්ට පැවිද්දන්ට දහම් දෙසුවේ නෑ. ශ්‍රාවකයන් ගැන, පැවිද්දන් ගැන ඇලුම් කළේ නෑ. ඉතින් ඔවුන් ශ්‍රාවකයන්ට, පැවිද්දන්ට දහම් නොදෙසූ නිසා, ශ්‍රාවකයන්ට පැවිද්දන්ට ඇලුම් නොකළ නිසා, පණ ටික ගියාට පස්සෙ සුගතියේ උපන්නා. ඒයි භික්ෂුව, ඒ නිසයි මං ඔබට මෙහෙම කියන්නෙ ‘නිදුක් මුනිඳුනි, තමන්ගේ පාඩුවේ ඉන්න කියල, මේ ජීවිතයේ දී ධ්‍යාන සැපයෙන් වාසය කරන්න කියල, නිදුක් මුනිඳුනි, අනුන්ට බණ නොකීම කුසලයක්! අනුන්ට අවවාද කරන්න යන්න එපා!”
පින්වත් මහණෙනි, එහෙම කියපු මාරයාට මම මෙහෙම කිව්වා. “ඒයි මාරය, මං නුඹ ගැන දන්නවා. මං නුඹව හඳුනන්නෙ නෑ කියල හිතන්න එපා! අනුකම්පාවෙන් නම් නොවෙයි මට ඔබ ඔහොම කියන්නෙ. ලෝක සත්වයන් ගැන අනුකම්පාවකින් තොරව ම යි ඔහොම කියන්නේ.
පාපී මාරය, ඔබට මෙහෙම නේද හිතුනෙ? ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් පිරිසකට දහම් දෙසුවොත් ඒ පිරිස මගේ වසඟයෙන් නිදහස් වෙලා යාවි’ කියලා.
ඒයි මාරය, සම්මා සම්බුදු නොවූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු නම් තමන් සම්මා සම්බුදුයි කියල ලෝකෙට හඳුන්වලා දෙන්න වුනත් පුළුවනි. නමුත් මම සම්මා සම්බුදුව සිටින නිසා ම යි ‘සම්මා සම්බුදු වෙමි’ කියා ලොවට හඳුන්වා දෙන්නේ.
ඒයි මාරය, තථාගතයන් වහන්සේ ශ්‍රාවකයින්ට දහම් දෙසුවත් සම්මා සම්බුදු ම යි. ඒයි මාරය, තථාගතයන් වහන්සේ ශ්‍රාවකයින්ට දහම් නොදෙසුවත් සම්මා සම්බුදු ම යි. ඒයි මාරය, තථාගතයන් වහන්සේ ශ්‍රාවකයින් ළගට ගියත් සම්මා සම්බුදු ම යි. ඒයි මාරය, තථාගතයන් වහන්සේ ශ්‍රාවකයින් ළගට නොගියත් සම්මා සම්බුදු ම යි. ඇයි මං එහෙම කියන්නේ? ඒයි මාරය, සිත කිලුටු කරන, පුනර්භවය ලබා දෙන, පීඩා සහිත, දුක් විපාක ඇති, ආයෙමත් ඉපදීම, ජරා මරණ ඇති කර දෙන යම් ආශ්‍රව ඇද්ද, තථාගතයන් වහන්සේ තුළ ඒ ආශ්‍රව ප්‍රහීණයි. මුලින් ම උදුරා දමා තිබෙන්නේ. අරමුණු රහිත කොට තිබෙන්නේ. අභාවයට පත්කොට තිබෙන්නේ. ආයෙ කවදාවත් හට නොගන්නා තත්වයට පත්කරලයි තියෙන්නේ. ඒයි මාරය, ඒක මේ වගේ දෙයක්. කරටිය සම්පූර්ණයෙන් ම කැඩිච්ච තල් ගසක් ගැන හිතන්න. ඒක ආයෙ කවදාවත් දලු දාලා වැඩෙන්නෙ නෑ. ඒයි මාරය, ඔය විදිහම යි. සිත කිලුටු කරන, පුනර්භවය ලබාදෙන, පීඩා සහිත දුක් විපාක ඇති, ආයෙමත් ඉපදීම ජරා මරණ ලැබෙන ආශ්‍රවයන් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා තිබෙන්නෙ. මුලින් ම සිඳිල තියෙන්නෙ. අභාවයට පත් කරලයි තියෙන්නේ. ආයෙ කවදාවත් හට නොගන්නා ස්වභාවයට පත්වෙලයි තිබෙන්නෙ.
මෙසේ මාරයාගේ නිරුත්තර වීම පිණිස, බ්‍රහ්මයාගේ ආරාධනයට පිළිතුරු පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ සද්ධර්මයට ‘බ්‍රහ්මනිමන්තනික’ යන නම ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
බ්‍රහ්මයා ගේ ආරාධනය මුල් කරගෙන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M