මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වැඩසිටියේ භග්ග ජනපදයේ සුංසුමාගිරි නගරයේ මුවන් ගේ අභයභූමියක් වූ භේසකලාවනයේ. එදා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ සිටියේ එළිමහනේ සක්මන් කරමිනුයි.
ඒ වෙලාවේ පාපී මාරයා ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේගේ කුස තුළට රිංගුවා. බඩ ඇතුළට පිවිසුනා. එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට මේ විදිහට හිතුනා. “මොකද අද මේ මගේ කුසට මහා ලොකු බරක් දැනෙන්නෙ. මෑ ඇට පුරෝපු මල්ලක් වගේ” කියලා. ඉතින් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ සක්මනින් ඉවත් වෙලා කුටියට වැඩමවා එහි තිබුණු ආසනයක වාඩිවුනා. ඊට පස්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ තමන්ගේ ශරීරය ගැන නුවණින් විමසා බලන්න පටන් ගත්තා.
එතකොට ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට තම කුසේ රිංගා සිටින, බඩ ඇතුළට පිවිසුනු පාපී මාරයාව දැකගන්න ලැබුනා. දැකල පාපී මාරයාට උන්වහන්සේ මෙහෙම කිව්වා. “ඒයි මාරය! එළියට පැමිණෙව! ඒයි පාපී මාරය! එළියට පැමිණෙව! තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා! තථාගත ශ්‍රාවකයන්ටත් පීඩා කරන්න එපා! ඔබට බොහෝ කලක් දුක් විඳින්න සිද්ධවෙන්න දෙන්න එපා!” කියල.
එතකොට පාපී මාරයාට මෙහෙම හිතුනා. “මේ ශ්‍රමණයා මං ගැන දැනගෙන හෝ දැකල නොවෙයි මෙහෙම කියන්නෙ. එනම් ‘ඒයි පාපී මාරය! එළියට පැමිණෙව! ඒයි පාපී මාරය! එළියට පැමිණෙව! තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා! තථාගත ශ්‍රාවකයින් වහන්සේලාටත් පීඩා කරන්න එපා! ඔබට බොහෝ කලක් දුක් විඳින්න සිද්ධවෙන්න ඉඩතියන්න එපා!’ කියල. මේ ශ්‍රමණයාගේ ඒ ශාස්තෘන් වහන්සේ පවා මාව ඉක්මනට හඳුනගන්නෙ නෑ. ඉතින් එහෙම එකේ මේ ශ්‍රාවකයෙක් මාව කොහොම අඳුනගන්න ද?” කියල.
ඒ මොහොතේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ පාපී මාරයාට මෙහෙම කිව්වා. “ඒයි පාපී මාරය! මෙතන ඉන්න ඔබව මං දන්නවා. ඔබ හිතන්න එපා මං නුඹව හඳුනන්නෙ නෑ කියලා. ඔබ තමයි පවිටු මාරයා. පවිටු මාරය, ඔබට මේ විදිහටත් හිතුනා නේද? ‘මේ ශ්‍රමණයා මා ගැන දැනගෙන හෝ දැකල හෝ නොවෙයි මෙහෙම කියන්නෙ. එනම් ඒයි! පාපී මාරය, එළියට පැමිණෙව! ඒයි පාපී මාරය! එළියට පැමිණෙව! තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා! තථාගත ශ්‍රාවකයින් වහන්සේලාටත් පීඩා කරන්න එපා! ඔබට බොහෝ කලක් දුක් විඳින්න සිද්ධවෙන්න ඉඩතියන්න එපා!’ කියල. මේ ශ්‍රමණයා ගේ ඒ ශාස්තෘන් වහන්සේ පවා මාව ඉක්මනට අඳුනගන්නෙ නෑ. ඉතින් එහෙම එකේ මේ ශ්‍රාවකයෙක් මාව කොහොම අඳුනගන්න ද?” කියල.
එතකොට පාපී මාරයාට මෙහෙම හිතුනා. “මේ ශ්‍රමණයා නම් මාව දැනගෙන ම යි, මාව දැකගෙන ම යි මෙහෙම කියන්නෙ. එනම්, ඒයි පාපී මාරය! එළියට පැමිණෙව! ඒයි පාපී මාරය! එළියට පැමිණෙව! තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා! තථාගත ශ්‍රාවකයින්ටත් පීඩා කරන්න එපා! ඔබට බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධවීමට ඉඩ තියන්න එපා! කියල.” ඉන්පසු පාපී මාරයා ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේගේ මුඛයෙන් එළියට ආවා. කුටියේ දොරකඩ හිටගත්තා.
කුටියේ දොරකඩ හිටගෙන සිටින මාරයාව ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ දැක්කා. දැකල පාපී මාරයාට මෙහෙම කිව්වා. “ඒයි පාපී මාරය! ඔතන ඉන්න ඔබවත් මට පේනවා. මට ඔබව පේන්නෙ නෑ කියල හිතන්න එපා! පාපී මාරය, ඔබ දැන් ඔය දොරකඩ නෙව හිටගෙන ඉන්නෙ. ඒයි මාරය! ඉස්සර සිද්ධ වෙච්ච එකක් කියන්නම්.
මමත් හිටියා ‘දූසී’ කියන මාරයා වෙලා. මගේ සහෝදරියක් හිටිය ‘කාළී’ කියලා. ඔබ ඇගේ පුතා. ඒ කාලෙ ඔබ මගේ බෑනා. පාපී මාරය, ඒ කාලෙ කකුසඳ නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා හිටියා. ඉතින් පාපී මාරය, ඒ කකුසඳ භාග්‍යවත් අරහත්, සම්මා සම්බුදු රජාණන් වහන්සේට ‘විධුර, සංජීව’ කියල ශ්‍රාවක දෙනමක් හිටියා. ඒ දෙනම තමයි අග්‍ර ශ්‍රාවකයන්. උන්වහන්සේලා හරිම සුන්දරයි.
ඉතින් පාපී මාරය, ඒ කකුසඳ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයින් අතර ධර්ම දේශනාවේ දී ආයුෂ්මත් විධුර නම් වූ ශ්‍රාවකයන් වහන්සේ තරම් දක්ෂ වෙන කවුරුත් හිටියේ නැහැ. ඉතින් මාරය, ඒ නිසාම ‘අසමාන දක්ෂතා තිබෙන කෙනා’ යන අරුතින් ආයුෂ්මත් ‘විධුර’ ශ්‍රාවකයන් වහන්සේ හට ‘විධුර, විධුර’ යන නම ඇතිවුනා.
ඉතින් පාපී මාරය, ආයුෂ්මත් සංජීවයන් වහන්සේ ආරණ්‍යකට වැඩියත්, රුක් සෙවණකට වැඩියත්, පාළු කුටියකට වැඩියත් සුළු උත්සාහයකින් නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්.
පාපී මාරය, ඉස්සර වෙච්ච දෙයක් මම මේ කියන්නෙ. එක දවසක් ආයුෂ්මත් සංජීවයන් වහන්සේ එක්තරා රුක් සෙවණක නිරෝධ සමාපත්තියට සමවැදිල හිටියා. ඉතින් පාපී මාරය, හරක් බලන ගොපල්ලන්ටත් ගොවියන්ටත් පාරේ යන උදවියටත් ඒ රුක් සෙවණේ නිරෝධ සමාපත්තියට සමවැදී වැඩසිටිය ඒ ආයුෂ්මත් සංජීවයන් වහන්සේව දැකගන්නට ලැබුනා. එය දුටු ඔවුන්ට මෙහෙම හිතුනා. “පින්වත්නි. ඇත්තෙන් ම ආශ්චර්යයි! ඇත්තෙන් ම මේක අද්භූත දෙයක්. මේ ශ්‍රමණයන් වහන්සේ වාඩිවෙලා සිටිද්දී ම අපවත් වෙලා. අපි මුන්වහන්සේව ඔය විදිහට ම ආදාහනය කරමු” කියල. පවිටු මාරය, ඒ හරක් බලන ගොපල්ලොත්, ගොවියොත් පාරේ ගිය උදවියත් තණකොළයි, දරයි ගොමයි එකතු කරල ඒවා ආයුෂ්මත් සංජීවයන් වහන්සේගේ ශරීරයට ගොඩගහල ගිනි තියල ගියා.
ඉතින් පාපී මාරය, ආයුෂ්මත් සංජීවයන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා සිවුරෙ අළු ගසා දමල සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු ඇතිව ගමට පිණ්ඩපාතෙ වැඩියා. ඉතින් ගමේ හිටපු අර හරක් බලන ගොපල්ලො, ගොවියො, පාරේ ගිය උදවිය දැක්ක ආයුෂ්මත් සංජීවයන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැකල ඔවුන්ට මෙහෙම හිතුනා. “පින්වතුනි, ඇත්තෙන් ම ආශ්චර්යයි! මේක නම් අද්භූත දෙයක්! මේ ශ්‍රමණයන් වහන්සේ වාඩිවෙලා සිටිද්දී ම අපවත් වුනා. නමුත් ආයෙමත් අළුතින් ජීවිතය ලැබිලා” කියල. පවිටු මාරය, ඔන්න ඔය හේතුව නිසා ම ආයුෂ්මත් සංජීවයන් වහන්සේට ‘සංජීව, සංජීව’ යන නම ලැබුනා.
ඉතින් පවිටු මාරය, ඒ දූසී මාරයාට මෙහෙම හිතුනා. ‘මේ යහපත් ස්වභාවයෙන් යුතු සිල්වත් භික්ෂූන්ගේ චුතියත්, උපතත් මට සොයාගන්න බැහැ නෙව. ඉතින් මම මේ ගමේ ගෙවල්වල මිනිස්සුන්ට වැහෙන එක තමයි හොඳ. ඒයි මිනිසුනේ! මෙහෙ වරෙල්ලා! දැන් නුඹලා අර යහපත් ස්වභාවයෙන් යුතු සිල්වත් භික්ෂූන් වහන්සේලාට නින්දා කරපල්ලා! පරිභව කරපල්ලා! බැනපල්ලා! වෙහෙසට පත් කරපල්ලා! නුඹලා ඔය විදිහට නින්දා කරන කොට, පරිභව කරන කොට, බණින කොට ඒ භික්ෂූන්ගේ සිත් වෙනස් වෙලා ගියොත් කොයිතරම් හොඳ ද? එතකොට ඒ දූසී මාරයාට ඔවුන්ව පෙළන්නට සිදුරු සොයාගන්න පුළුවනි’ කියලා. ඉතින් ඒ දූසී මාරයා ඒ ගමේ මිනිස්සුන්ට වැහුණා. ආවේශ වුනා. ‘ඒයි මෙහෙ වරෙල්ලා! දැන් නුඹලා අර යහපත් ස්වභාවයෙන් යුතු සීලවන්ත වූ ඒ භික්ෂූන්ට නින්දා කරපල්ලා! පරිභව කරපල්ලා! බැනපල්ලා! වෙහෙසට පත් කරපල්ලා! නුඹලා විසින් ඒ විදිහට නින්දා කරද්දී, පරිභව කරද්දී, බනිද්දී, වෙහෙසට පත් කරද්දී, දූසී මාරයාට ඇතුලු වෙන්න පුළුවන් සිදුරු ලැබෙන විදිහට ඒ භික්ෂූන්ගේ සිත් වෙනස් වෙලා ගියොත් කොයිතරම් හොඳ ද?’ කියල.
ඉතින් පාපී මාරය, ඒ බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට දූසී මාරයා ආවේශ වුණා. යහපත් ස්වභාවයෙන් යුතු වූ සිල්වත් භික්ෂූන්ට ඒ මිනිස්සු නින්දා කරන්න පටන් ගත්තා. පරිභව කරන්න පටන් ගත්තා. බනින් පටන් ගත්තා. වෙහෙසට පත් කරන්න පටන් ගත්තා. “මොවුන් හිස මුඩු කරගත්තු ලාමක ශ්‍රමණයෝ. පව්කාරයෝ. කාලකණ්ණි. දෙවියන්ගේ යටි පතුලෙන් ඉපදිච්ච එවුන්. මහ ලොකුවට “අපිත් භාවනා කරනවා. අපිත් භවනා කරනවා” කිය කියා ඇඟ පාත් කරගෙන මූණ යටට පාත් කරගෙන කම්මැලියො වෙලා හිත හිත ඉන්නවා. කල්පනා කර කර ඉන්නවා. හිතෙන් පැටලි පැටලි ඉන්නවා. ගහක අත්තක ඉන්න බකමූණෙක් මීයෙක්ව අල්ලගන්න කල්පනා කරනවා වගේ, හිතනවා වගේ, හිතෙන් පැටලි පැටලි ඉන්නවා වගේ. මේ හිස මුඩු කරපු එවුන්, මේ පහත් මිනිස්සු, පව්කාරයෝ, කාලකණ්ණි, දෙවියන්ගෙ යටි පතුළෙන් ඉපදිච්ච එවුන්, “අපිත් භාවනා කරනවා. අපිත් භාවනා කරනවා” කිය කියා ඇඟ පාත් කරගෙන මූණ යටට එල්ලගෙන කම්මැලියො වෙලා හිත හිත ඉන්නවා. හිතින් ම පැටලි පැටලි ඉන්නවා. හිවල් තඩියෙක් ගං ඉවුරකට ගිහින් මාළු ඩැහැගන්න හිතාගෙන හිත හිත ඉන්නවා වගේ. සිතින් ම පැටලි පැටලි ඉන්නවා වගේ. මේ හිස මුඩු කරපු එවුන්, මේ පහත් මිනිස්සු, පව්කාරයෝ, කාලකණ්ණි. දෙවියන්ගේ යටි පතුලෙන් ඉපදිච්ච එවුන්. “අපිත් භාවනා කරනවා. අපිත් භාවනා කරනවා” කිය කිය කඳ පාත් කරගෙන, මූණ යටට එල්ලගෙන, කම්මැලියො වෙලා හිත හිත ඉන්නවා. හිතින් ම කල්පනා කර කර ඉන්නවා. බළල් තඩියෙක් ගෙදර මුල්ලක හරි කුණු ගොඩක හරි වක්කඩ අයිනක හරි මීයෙක්ව අල්ලගන්න කුරුමානම් අල්ලමින් හිත හිත ඉන්නවා වගේ. සිතින්ම පැටලි පැටලි ඉන්නවා වගේ. මේ හිස මුඩු කරපු එවුන්, පහත් මිනිස්සු, පව්කාරයෝ, කාලකණ්ණි, දෙවියන් ගේ යටි පතුලෙන් ඉපදිච්ච එවුන්. “අපිත් භාවනා කරනවා. අපිත් භාවනා කරනවා” කිය කියා කඳ පාත්කරගෙන, මූණ යටට එල්ලගෙන කම්මැලියො වෙලා ඔහේ හිත හිත ඉන්නවා. කල්පනා කර කර ඉන්නවා. සිතින් පැටලි පැටලි ඉන්නවා. බූරුවෙක් බර උහුලන්නෙ නැතුව හන්දි ගානෙ, කහල ගොඩවල් ගානෙ, ලැගගෙන හිත හිත ඉන්නවා වගේ, කල්පනා කර කර ඉන්නවා වගේ, හිතින් පැටලි පැටලි ඉන්නවා වගේ, මේ හිස මුඩු කරපු එවුන්. මේ පහත් මිනිස්සු, පව්කාරයෝ, කාලකණ්ණි, දෙවියන්ගේ යටි පතුලෙන් ඉපදිච්ච එවුන්. “අපිත් භාවනා කරනවා. අපිත් භාවනා කරනවා” කිය කියා කඳ පාත් කරගෙන, මූණ යටට එල්ලගෙන, කම්මැලියො වෙලා ඔහේ හිත හිත ඉන්නවා. කල්පනා කර කර ඉන්නවා. සිතින් පැටලි පැටලි ඉන්නවා” කියලා.
පවිටු මාරය, ඒ දවස්වල මරණයට පත්වෙන මිනිස්සු බොහෝ දෙනෙක් මරණයට පත්වුනාට පස්සෙ සැප රහිත වූ දුගතිය නම් වූ නිරයේ තමයි ඉපදුනේ. ඉතින් පාපී මාරය, ඒ කකුසඳ නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන් ඇමතුවා.
“පින්වත් මහණෙනි, දූසී මාරයා දැන් බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ආවේශ වෙලයි ඉන්නෙ. ‘ඒයි මෙහෙ වරෙල්ලා! යහපත් ස්වභාවයෙන් යුතු ඔය සීලවන්ත භික්ෂූන්ට නින්දා කරපල්ලා! පරිභව කරපල්ලා! බැනපල්ලා! වෙහෙසට පත් කරපල්ලා! උඹලා විසින් නින්දා කරද්දී, පරිභව කරද්දී, බණිද්දී, වෙහෙසට පත් කරද්දී, දූසී මාරයාට රිංගන්ට පුළුවන් සිදුරු ලැබෙන විදිහට ඒ භික්ෂූන්ගේ සිත් වෙනස් වෙලා ගියොත් කොයිතරම් හොඳ ද’ කියලා.
ඒ නිසා පින්වත් මහණෙනි, මෙහෙ එන්න. දැන් ඔබ මෛත්‍රී සහගත සිතුවිලි එක දිශාවකට පතුරුවා වාසය කරන්න ඕන. ඒ විදිහට දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතරවෙනි දිශාවටත් මෙත් සිත පතුරුවා වාසය කරන්න ඕන. ඒ වගේ ම උඩ යට හරහටත් සියලු ලෝකයේ සියලු තැන ම සිටින සියලු සතුන් වෙත ම මෛත්‍රී සහගත සිතුවිලි බහුල වශයෙන් ම පතුරුවන්ට ඕන. එකඟ වූ සිතින් ප්‍රමාණ රහිත කොට, වෛරයෙන් තොර, තරහින් තොර මෙත් සිතුවිලි පතුරුවා වාසය කරන්න ඕන. කරුණා සහගත සිතුවිලි එක දිශාවකට පතුරුවා ….(පෙ)…. මුදිතා සහගත සිතුවිලි එක් දිශාවකට පතුරුවා ….(පෙ)…. ඒ වගේම දැන් ඔබ උපේක්ෂා සහගත සිතුවිලි එක දිශාවකට පතුරුවා වාසය කරන්න ඕන. ඒ විදිහට දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතර වෙනි දිශාවටත් උපේක්ෂා සිත පතුරුවා වාසය කරන්න ඕන. ඒ වගේම උඩ යට හරහටත් සියලු ලෝකයේ සියලු තැනම සිටින සියලු සතුන් වෙතම උපේක්ෂා සහගත සිතුවිලි බහුල වශයෙන් ම පතුරුවන්ට ඕන. එකඟ වූ සිතින් ප්‍රමාණ රහිත කොට, වෛරයෙන් තොර, තරහින් තොර උපේක්ෂා සිතුවිලි පතුරුවා වාසය කරන්න ඕන” කියලා.
ඉතින් පාපී මාරය, ඒ කකුසඳ නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ඔය විදිහට අවවාද කරද්දි, ඔය විදිහට අනුශාසනා කරද්දී, ඒ භික්ෂූන් වහන්සේලා අරණ්‍යයකට වැඩියත්, රුක් මුලකට වැඩියත්, හිස් කුටියකට වැඩියත් මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කළා. ඒ විදිහට දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතරවෙනි දිශාවටත් පතුරුවා වාසය කළා. එසේ උඩ යට හරහට සියලු ලෝකයකට ම සියලු තැනට ම සියලු සත්වයන්ට ම මෛත්‍රි සහගත සිතුවිලි බොහෝ කොට පතුරුවා වාසය කළා. එකඟ වූ සිතින් ප්‍රමාණ රහිත කොට, වෛර නැති, තරහ නැති, මෙත් සිතුවිලි පතුරුවා වාසය කළා. කරුණා සහගත සිතුවිලි ….(පෙ)…. මුදිතා සහගත සිතුවිලි ….(පෙ)…. උපේක්ෂා සහගත සිතුවිලි ….(පෙ)…. සියලු ලෝකයට ම සියලු තැනට ම සියලු සතුන් වෙත උපේක්ෂා සහගත සිතුවිලි බහුල වශයෙන් පතුරුවා වාසය කළා. එකඟ වූ සිතින් ප්‍රමාණ රහිත කොට වෛර නැති, තරහ නැති, උපේක්ෂා සහගත සිතුවිලි පතුරුවා වාසය කළා.
එතකොට පාපී මාරය, ඒ දූසී මාරයාට මෙහෙම හිතුනා. ‘මම මේ විදිහට කරලත් මේ යහපත් ස්වභාවයෙන් යුතු සිල්වත් භික්ෂූන්ගේ චුතිය උපත දැනගන්න බැරි වුනා නෙව. ඉතින් එහෙම නම් මම බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ආවේශ වෙනවා. ‘ඒයි! මෙහෙ වරෙල්ලා! ඔය යහපත් ස්වභාවයෙන් යුතු සීලවන්ත භික්ෂූන්ට සලකපල්ලා! ගෞරව කරපල්ලා! බුහුමන් දක්වපල්ලා! පූජා පවත්වපල්ලා! උඹලා විසින් හොඳට සලකන කොට, ගෞරව කරන කොට, බුහුමන් දක්වන කොට, පූජා පවත්වන කොට දූසී මාරයාට රිංගන්න පුළුවන් සිදුරු හැදෙන විදිහට ඔවුන්ගේ සිත් වෙනස් වෙලා ගියොත් කොයිතරම් හොඳ ද’ කියලා.
ඉතින් පාපී මාරය, දූසී මාරයා බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ආවේශ වුනා. “ඒයි! මෙහෙ වරෙල්ලා! ඔය යහපත් ස්වභාවයෙන් යුතු සීලවන්ත භික්ෂූන්ට සලකපල්ලා! ගෞරව කරපල්ලා! බුහුමන් කරපල්ලා! පූජා පවත්වපල්ලා! උඹලා විසින් හොඳට සලකන කොට, ගෞරව කරන කොට බුහුමන් දක්වන කොට පූජා පවත්වන කොට දූසී මාරයාට රිංගන්න පුළුවන් සිදුරු හැදෙන විදිහට ඒ භික්ෂුන්ගේ සිත් වෙනස්වෙලා ගියොත් කොයිතරම් හොඳ ද” කියලා දුසී මාරයා ඒ මිනිස්සුන්ට ආවේශ වුනා. යහපත් ස්වභාව ඇති සිල්වත් භික්ෂූන්ට හොඳට සලකන්න පටන් ගත්තා. ගෞරව කරන්න පටන් ගත්තා. බුහුමන් කරන්න පටන් ගත්තා. පූජා පවත්වන්න පටන් ගත්තා.
පවිටු මාරය, එතකොට ඒ දවස් වල මිනිස්සු මරණයට පත්වුනා ම බොහෝ දෙනෙක් මරණින් මත්තෙ සැප ඇති ස්වර්ගයේ ඉපදුනා.
ඒ කකුසඳ නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන් ඇමතුවා. “පින්වත් මහණෙනි, බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට මාරයා වැහිලා ඉන්නෙ. ‘ඒයි! මෙහෙ වරෙල්ලා! යහපත් ස්වභාවයෙන් යුතු සිල්වත් භික්ෂූන්ට හොඳට සලකපල්ලා! ගෞරව කරපල්ලා! බුහුමන් දක්වපල්ලා! පූජා පවත්වපල්ලා! උඹලා විසින් හොඳට සලකන කොට, ගෞරව දක්වන කොට, බුහුමන් දක්වන කොට, පූජා පවත්වන කොට දූසී මාරයාට රිංගන්ට පුලුවන් සිදුරු හැදෙන විදිහට ඒ භික්ෂූන්ගේ සිත වෙනස් වෙනවා නම් කොයිතරම් හොඳ ද’ කියලා.
“පින්වත් මහණෙනි, මෙහෙ එන්න. කය ගැන අසුභ විදිහට බලමින් ඉන්න. ආහාර ගැන පිළිකුල් විදිහට හඳුනගන්න. සියලු ලෝකය ගැන නොඇලෙන විදිහට දකින්න. සියලු සංස්කාර ගැන අනිත්‍යය ම දකින්න” කියලා.
පාපී මාරය, ඒ කකුසඳ නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔය විදිහට අවවාද කරද්දී, ඔය විදිහට අනුශාසනා කරද්දී ඒ භික්ෂූන් වහන්සේලාත් අරණ්‍යයකට වැඩියත්, රුක් සෙවණකට වැඩියත්, පාලු කුටියකට වැඩියත්, කය ගැන අසුභ විදිහටම බලමින් වාසය කළා. ආහාරය පිළිකුල් විදිහට හඳුනාගත්තා. කිසි ලෝකයකට නොඇලෙන හැටියට දැකගත්තා. සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දැකගත්තා.
පාපී මාරය, එදා කකුසඳ නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදේ කාලයේ සිවුරු පොරවාගෙන පාත්‍ර සිවුරු ඇතිව ගමට පිණ්ඩපාතෙ වැඩියා. ආයුෂ්මත් විධුරයන් වහන්සේත් උන්වහන්සේ පිටුපසින් වැඩම කළා. ඒ මොහොතේ දූසී මාරයා එක්තරා ළමයෙකුට ආවේශ වුනා. ගල් කැටයක් අරගෙන ආයුෂ්මත් විධුරයන් වහන්සේගේ හිසට පහරක් එල්ල කළා. උන්වහන්සේගේ හිස තුවාල වුනා. එතකොට ආයුෂ්මත් විධුරයන් වහන්සේ, හිස සිදුරු වෙලා ලේ ගලා යද්දී කකුසඳ නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිටුපසින් වැඩම කළා. එතකොට කකුසඳ නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු ශරීරය ම හරවා බැලීම නම් වූ නාගාපලෝකනයෙන් මාරයා දිහා බැලුවා. ‘මේ දූසී මාරයා තමන්ගේ පමණ දන්නෙ නෑ’ කියල. එහෙම නාගාපලෝකනයෙන් දූසී මාරයා දිහා බලන කොට ම ඔහු මාරබවින් චුත වුනා. මහා නිරයේ උපන්නා.
පවිටු මාරය, ඒ මහා නිරයට නම් තුනක් තියෙනවා. ආයතන හයට ම ලැබෙන, ස්පර්ශයෙන් දුක් විඳින නිසා, ‘ඡඵස්සායතනික නිරය’ කියනවා. යකඩ හුල්වලින් පපුවට කොටන නිසා ‘සංකුසමාහත නිරය’ කියල කියනවා. තමන් ම වේදනා උපද්දවා ගන්න නිසා ‘පච්චත්තවේදනීය නිරය’ කියල කියනවා. ඉතින් පාපී මාරය, එදා නිරය පාලකයො මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “සබඳ, යම් දවසක ඔබගේ පපුවට වදින ඔය හුල් පාරවල් එකට හැප්පෙන්න ගත්තොත් එදාට දැනගන්න ‘මම නිරයේ ඉපදිලා අවුරුදු දාහක් දුක් වින්ඳා’ කියලා. ඉතින් මම බොහෝ අවුරුදු ගණන්, අවුරුදු සිය ගණන්, අවුරුදු දහස් ගණන් ඒ මහා නිරයේ දුක් වින්දා, ඒ මහා නිරයේ ම උස්සද කියන කොටසේ දස දහසක් අවුරුදු දුක් වින්දා. ඒ වින්දේ ‘වුට්ඨානිම’ කියන වේදනාවෙන්. ඒ කාලේ මගේ රූපෙ මේ වගේ එකක්. ඇඟ මනුස්සයෙකුගේ වගේ. ඔළුව මාලුවෙකුගේ වගේ.
ඒයි මාරය! ‘දූසී’ නමින් මාරයෙක් හිටියා. ඉතින් ඒ මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේටත්, විධුර නමින් සිටි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේටත් පීඩා කළා. අන්තිමේ දී ඒ මාරයා නිරයේ ඉපදිලා අනන්ත දුක් වින්දේ මෙහෙමයි.
කකුසඳ බුදු සමිඳුන්වත් විධුර නම් ශ්‍රාවක මුනිඳුන්වත් පීඩාවට පත් කරපු ඒ දූසී මාරයා නිරයේ ඉපදිලා අනන්ත දුක් වින්දේ මෙහෙමයි. ඒ නිරිසතා හැම තිස්සේ ම යකඩ හුල් සියයකින් පහර කනවා. ඒ හුල් සීයෙන් ම ලැබෙන්නේ වෙන වෙන ම වේදනාවල්.
දැන් ඒ කර්ම විපාක දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය! එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරලා නුඹ දුකට පත්වෙන්න ද හදන්නේ?
මුහුද මැද තියෙනවා කල්පයක් පවතින අතිශයින් ම ලස්සන දිව්‍ය විමාන. ඒවා බබලන මැණික් වගේ. ඒ විමානවල නොයෙක් පාටින් බබලමින් දිව්‍ය අප්සරාවෝ නටනවා.
දැන් ඒ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය! එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරලා නුඹ දුකට පත්වෙන්න ද හදන්නේ?
බුදු සමිඳුන් තමයි මට වදාළේ. ඊට පස්සෙ මං භික්ෂු සංඝයා බලා සිටිද්දී ම මාගේ මේ මහපට ඇඟිල්ලෙන් පූර්වාරාම විහාරය කම්පා කළා.
දැන් ඒ කාරණය දැන් ගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය! එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරලා නුඹ දුකට පත්වෙන්න ද හදන්නේ?
සක්දෙව් රජුගේ වෛජයන්ත ප්‍රාසාදයත් තමන්ගේ ඉර්ධි බලයෙන් මහපට ඇඟිල්ලන් කම්පාකරවලා, ඒ දෙව් පිරිසත් තැතිගැන්නුවා. ඒ වැඬේ කළ භික්ෂුවත් මමයි.
දැන් මේ කාරණය දැනගන් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය! එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරල නුඹ දුකට පත්වෙන්න ද හදන්නෙ?
වෛජයන්ත ප්‍රාසාදයේ සිටිය සක්දෙව් රජුන්ගෙන් ඒ භික්ෂුව මෙහෙම ඇහුවා. ‘ඇවැත්නි, තණ්හාව ගෙවා දමල විමුක්තියට පත්වෙන ආකාරය ඔබ දන්නවාද?’ සක් දෙවිඳුන් තමන් අසා දැනගත් ආකාරයට ම ඒ භික්ෂුවට ඒ දහම පැවසුවා. මම තමයි ඒ භික්ෂුව.
දැන් මේ කාරණය දැනගත් කෙනා බුදුසමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය! එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරලා නුඹ දුකට පත්වෙන්න ද හදන්නේ?
සුධර්මා නමින් දිව්‍ය සභාවක් තියෙනවා. ඒ සභාවට මහා බ්‍රහ්මයත් ඇවිත් සිටියා. ඒ භික්ෂුව මහා බ්‍රහ්මයාගෙන් මෙහෙම ඇහුවා. ‘පින්වත් දෙවිය, ඔබ තුළ ඉස්සර මිථ්‍යා දෘෂ්ටියක් තිබුනා. ඒ දෘෂ්ටිය ඔබ තුළ තාමත් තියෙනවා ද? ශ්‍රාවක පිරිස පිරිවරා ගෙන බඹලොව සැරිසරන බුදු සමිඳුන්ගේ ආලෝකය දෙස බලන්නැ’යි පැවසූ ඒ භික්ෂුවත් මම තමයි.
එතකොට මහා බ්‍රහ්මයා ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. ‘ඇවැත්නි, දැන් මා තුළ අර කලින් තිබූ දෘෂ්ටිය නෑ.
නිත්‍යයි කියලා හරි සදාකාලිකයි කියලා හරි මම අද කියන්නෙ කොහොම ද? ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹලොව සැරිසරන බුදු සමිඳුන්ගේ ආලෝකය මං දැන් දකිනවා.
දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන් ගේ ශ්‍රාවක භික්ෂුවක් ඒයි මාරය! එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරල නුඹ දුකට පත්වෙන්න ද හදන්නෙ?
ධ්‍යාන විමෝක්ෂ බලයෙන් මහාමේරු පර්වත මුදුන ස්පර්ශ කළෙත් භික්ෂුවක්. දඹදිව පූර්ව විදේහ කියන රටේ මිනිසුන් නිදන භූමිය ස්පර්ශ කළෙත් භික්ෂුවක්. මම තමයි ඒ භික්ෂුව.
දැන් මේ කාරණාය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය! එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරලා නුඹ දුකට පත්වෙන්න ද හදන්නෙ?
“මං මේ මෝඩයාව පුච්චල දමනවා” කියලා ගින්න හිතන්නේ නෑ. නමුත් මෝඩ තැනැත්තා ම ඇවිලෙන ගින්නට වැටිලා පිච්චිලා යනවා.
ඒයි මාරය! අන්න ඒ වගේ නුඹත් මේ හැප්පෙන්න හදන්නෙ රහත් භික්ෂුවක් එක්ක. මෝඩයෙක් ගින්නත් එක්ක ගැටෙන්න ගිහින් පිච්චිල යනවා වගේ පිච්චිලා යන්න ද හදන්නේ ?
ඒයි මාරය! එදා දූසී මාරයත් තථාගතයන් වහන්සේ නමකට පීඩා කරල පව් රැස්කර ගත්තා. තමන්ට පව් විපාක දෙන්නෙ නෑ කියලා ද නුඹ හිතන්නෙ?
ඒයි මාරය, නුඹගේ ඔය වැඩ නිසා බොහෝ කලක් විපාක දෙන පව් තමයි රැස්වෙන්නේ. ඒයි මාරය, ඒ නිසා බුදු සමිඳුන් ගැන ත්, භික්ෂූන් වහන්සේලා ගැන ත් කළකිරලා පව් කරන්ට ආශා කරන්න එපා.
භේසකලා වනයේ දී යි මොග්ගල්ලාන භික්ෂුව ඔය විදියට මාරයාට තර්ජනය කළේ. එතකොට මාරයා ගේ සිත දුකට පත්වුනා. එතන ම අතුරුදහන් වෙලා නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
මාරයාට තර්ජනය කිරීම ගැන වදාළ දෙසුම නිමා විය.
පස් වෙනි චූළ යමක වර්ගය යි.
මජ්ඣිම නිකාය – මූල පණ්ණාසකය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M