මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. ඒ දවස්වල කොසඹෑ නුවර භික්ෂූන් අතර රණ්ඩුවක් හටඅරගෙන තිබුනා. දබරයක් හටඅරගෙන තිබුනා. වාදයක් හටඅරගෙන තිබුනා. එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගන්නවා. නමුත් එකිනෙකා කරුණු අවබෝධ කරගන්නෙත් නෑ. කරුණු තේරුම් බේරුම් කරගන්නත් සූදානම් නෑ. එකිනෙකාට තේරුම් කරවන්නෙත් නෑ. ඒ සඳහා කවුරුවත් ඉදිරිපත් වන්නෙත් නෑ.
එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල පැත්තකින් වාඩිවුනා. ඊට පස්සෙ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, කොසඹෑ නුවර භික්ෂු පිරිස අතර රණ්ඩුවක් හටඅරගෙන තියෙනවා. දබරයක් හටඅරගෙන තියෙනවා. වාදයක් හටඅරගෙන තියෙනවා. එකිනෙකා වචන නමැති ආයුධ වලින් විදගන්නවා. එකිනෙකා ප්‍රශ්නය තේරුම් ගන්නෙත් නෑ. ප්‍රශ්නෙ වටහාගන්නෙත් නෑ. එකිනෙකා විසඳගන්න කල්පනා කරන්නෙත් නෑ. ඒකට කිසි කෙනෙක් මැදිහත් වෙන්නෙත් නෑ” කියලා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කතා කළා. “පින්වත් භික්ෂුව, මෙහෙ එන්න. ඒ භික්ෂූන් වහන්සේලාට මගේ වචනයෙන් අමතන්න. ‘අන්න ආයුෂ්මතුන් වහන්සේලාට ශාස්තෘන් වහන්සේ කතා කරනවා’ කියල. “එසේය ස්වාමීනී” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා අර භික්ෂූන් වහන්සේලා සිටින තැනට ගියා. ගිහින් ඒ භික්ෂූන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අන්න ඔබලාට ශාස්තෘන් වහන්සේ අමතා වදාළා” කියල. “හොඳයි ආයුෂ්මතුන් වහන්ස” කියල ඒ භික්ෂු පිරිසත් අර භික්ෂුවට පිළිතුරු දීල, භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල පැත්තකින් වාඩිවුනා. ඒ පැත්තකින් වාඩිවුණු භික්ෂූන් වහන්සේලාගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා. “පින්වත් මහණෙනි, ඔබලා රණ්ඩු කරගන්නවා කියන්නෙ, දබර කරගන්නවා කියන්නෙ, වාද කරගන්නවා කියන්නෙ ඇත්ත ද? එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගන්නවා කියන්නෙ. එකිනෙකා මේ කාරණය තේරුම් ගන්නෙ නෑ කියන්නෙ, තේරුම් ගැනීමකට පෙළඹෙන්නෙත් නෑ කියන්නෙ, එකිනෙකා මේ ගැන විසඳගන්න කල්පනා කරන්නෙ නෑ කියන්නෙ, මැදිහත් වීමකුත් නෑ කියන්නෙ ඇත්තක් ද?”
“එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක් ද හිතන්නෙ? ඔබ යම් දවසක රණ්ඩු කරගනිමින්, දබර කරගනිමින්, විවාද කරගනිමින්, එකිනෙකාට වචන නැමති ආයුධවලින් විදගනිමින් හිටියොත්, එතකොට ඒ වෙලාවෙ දී තමන් ඉදිරියේ ඉන්න හෝ ඉදිරියේ නැති හෝ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන මෛත්‍රී කායකර්ම පිහිටල ද තියෙන්නෙ? ඒ වගේම තමන් ඉදිරියේ ඉන්න හෝ, ඉදිරියේ නැති හෝ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන ඔබ තුළ මෛත්‍රී වචන පාවිච්චිය පිහිටල ද තියෙන්නෙ? ඒ වගේම ඒ වෙලාවෙ දි තමන් ඉදිරියේ ඉන්න හෝ ඉදිරියේ නැති හෝ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන ඔබ තුළ මෛත්‍රී සහගත සිතුවිලි පිහිටල තියෙනවා ද?”
“ස්වාමීනී, එහෙම නෑ.”
“ඉතින් පින්වත් මහණෙනි, ඔබ යම් දවසක රණ්ඩු කරන කොට, දබර කරන කොට, වාද කරන කොට, එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගන්න කොට, ඒ වෙලාවෙ දි තමන් ඉදිරියේ හිටියත් නැතත්, ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන ඔබ තුළ මෛත්‍රී කායික ක්‍රියා ඇතිවෙන්නෙ නැත්නම්, තමන් ඉදිරියේ හිටියත් නැතත්, ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන මෛත්‍රී වචන පාවිච්චිය නැත්නම්, තමන් ඉදිරියේ හිටියත් නැතත්, ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන මෛත්‍රී සිතුවිලි ඇතිවෙන්නෙ නැත්නම්, හිස් මිනිස්සුනේ, අසවල් දෙයක් දනිමින් ද, අසවල් දෙයක් දකිමින් ද, රණ්ඩු කරගන්නෙ? දබර කරගන්නෙ? වාද කරගන්නෙ? එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගන්නෙ? ඒ මදිවට එකිනෙකා ඒක තේරුම් ගන්නෙත් නෑ. තේරුම් ගන්න මහන්සි ගන්නෙත් නෑ. එකිනෙකා මේක විසඳගන්න හිතන්නෙත් නෑ. කවුරුත් මැදිහත් වෙන්නෙත් නෑ. හිස් මිනිසුනේ, ඔබ ඔය කරගන්නෙ බොහෝ කාලයක් ඔබට ම අහිත පිණිස, දුක් පිණිස හේතු වන දෙයක්.”
ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වත් මහණෙනි, කරුණු හයක් තියෙනවා. ඒවා නිතර ම සිහිකරන්න ඕන. ඒ තුළින් එකිනෙකාට ප්‍රිය මනාප බව ඇතිවෙනවා. ගෞරවය ඇතිකරල දෙනවා. යහපත ඇතිකරල දෙනවා. වාද හටගන්නෙ නෑ. සමගිය ඇතිකරල දෙනවා. එකට ඉන්න මග සළසා දෙනවා. ඒ කරුණු හය මොනවා ද?
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව තුළ තමන් ඉදිරියේ ඇතත් නැතත්, සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන මෛත්‍රී සහගත කායික ක්‍රියා පිහිටල තියෙනවා නම් මෙන්න මේ දේ නිතර ම සිහිකරන්න ඕන දෙයක්. ප්‍රියමනාප බව ඇති කරන දෙයක්. ගෞරවය ඇතිකරන දෙයක්. යහපත පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස එකට සිටීම පිණිස හේතු වන දෙයක්.
ඒ වගේම පින්වත් මහණෙනි, තමන් ඉදිරියේ හිටියත් නැතත්, සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන භික්ෂුව තුළ මෛත්‍රී සහගත වචන පාවිච්චිය පිහිටල තියෙනවා නම් මෙන්න මේ කාරණයත් සිහිකළ යුතු දෙයක්. ප්‍රියමනාප බව ඇතිකරන දෙයක්. ගෞරවය ඇතිකරන දෙයක්. යහපත පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එකට සිටීම පිණිස හේතු වන දෙයක්.
ඒ වගේම පින්වත් මහණෙනි, තමන් ඉදිරියේ හිටියත් නැතත්, සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන භික්ෂුව තුළ මෛත්‍රී සිතුවිලි පිහිටල තියෙනවා නම් මෙන්න මේ කාරණයත් සිහිකළ යුතු දෙයක්. ප්‍රියමනාප බව ඇති කරන දෙයක්. ගෞරවය ඇතිකරන දෙයක්. යහපත පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එකට සිටීම පිණිස හේතු වන දෙයක්.
ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවකට ධාර්මිකව, දැහැමිව ලැබෙන යම්කිසි දෙයක් තියෙන්න පුළුවනි. අඩු ගණනේ පාත්තරේට ලැබෙන දෙයක් හරි කමක් නෑ. එබඳු ලාභයක් හරි නොබෙදා වළඳන්නෙ නෑ. සිල්වත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් සමඟ ම පොදුවේ වළඳනවා. මෙන්න මේ කාරණයත් සිහි කළ යුතු දෙයක්. ප්‍රියමනාප බව ඇති කරවන දෙයක්. ගෞරවය ඇතිකරන දෙයක්. යහපත පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එකට සිටීම පිණිස හේතු වන දෙයක්.
ඒ වගේම පින්වත් මහණෙනි, ඒ භික්ෂුව රකින සිල්පද තියෙනවා. ඒව කැඩිල නැහැ. සිදුරු වෙලා නැහැ. පැල්ලම් නැහැ. පළුදු වෙලා නැහැ. පිරිසිදුයි. බුද්ධිමතුන්ගේ ප්‍රශංසාවට ලක්වෙනවා. දෘෂ්ටිවලට බැඳිල නැහැ. සමාධිය පිණිස හේතු වෙනවා. එබඳු සිල් තුළ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ ඇතත් නැතත්, සීල සම්පත්තියෙන් සමානව ඉන්නවා. මෙන්න මේ කාරණයත් සිහි කළ යුතු දෙයක්. ප්‍රියමනාප බව ඇති කරවන දෙයක්. ගෞරවය ඇති කරවන දෙයක්. යහපත පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එකට සිටීම පිණිස හේතු වන දෙයක්.
ඒ වගේම පින්වත් මහණෙනි, ආර්ය වූ, නිවන පිණිස ම පවතින්නා වූ මනාකොට දුක් නැති කිරීම පිණිස පවතින්නා වූ, යම් ආකල්පයක් ඇද්ද, එබඳු ආකල්පයකින් යුක්තව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ සිටියත් නැතත්, ඒ අදහස්වලින් සමානව ඉන්නවා. මෙන්න මේ කාරණයත් සිහි කළ යුතු දෙයක්. ප්‍රියමනාප බව ඇතිකරවන දෙයක්. ගෞරවය ඇතිකරන දෙයක්. යහපත පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එකට සිටීම පිණිස හේතු වන දෙයක්.
පින්වත් මහණෙනි, ඔන්න ඔය කරුණු හය නිතර සිහි කළ යුතුයි. ප්‍රියමනාප බව ඇති කරවනවා. ගෞරවය ඇති කරවනවා. යහපත පිණිස, විවාද නො කිරීම පිණිස, සමගිය පිණිස, එකට සිටීම පිණිස හේතු වෙනවා.
පින්වත් මහණෙනි, නිතර සිහි කළ යුතු (සාරාණීය) වූ ඔය කරුණු හයෙන් අග්‍ර වූ සියලු දේ එක්කරන, හැමට ඉහළින් තියෙන එක ම එක කරුණක් තියෙනවා. ඒක තමයි ආර්ය වූ, නිවන පිණිස පවතින්නා වූ, මනාකොට දුක් අවසන් කිරීම පිණිස පවතින යම් ආකල්පයක් ඇද්ද අන්න එයයි.
පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. මුදුන් වහලක් තියෙන ගොඩනැගිල්ලක් තියෙනවා. කැණිමඩල තමයි ඒ ගොඩනැගිල්ලෙ තියෙන අග්‍ර ම දේ. හැම පරාලයක් ම සවිකරන්නෙ ඒකටයි. හැම ලීයක් ම සම්බන්ධ කරන්නේ ඒකටයි. පින්වත් මහණෙනි, අන්න ඒ වගේම මේ සාරාණීය කරුණු හය අතර අග්‍ර වූ දෙයක් තියෙනවා. හැම දෙයක් ම එකතු කරන, එකට ගලපන දෙයක් තියෙනවා. ඒක තමයි ආර්ය වූ, නිවන පිණිස පවතින්නා වූ, මනාකොට දුක් අවසන් කිරීම පිණිස පවතින්නා වූ යම් ආකල්පයක් ඇද්ද, එයයි.
පින්වත් මහණෙනි, ආර්ය වූ නෛර්යාණික වූ යම් ආකල්පයක් ඇද්ද, ඒ ආකල්පය ඔහුව මනාකොට දුක් කෙළවර කිරීමකට ගෙනියන්නෙ කොහොමද?
පින්වත් මහණෙනි, භික්ෂුව අරණ්‍යකට යනවා. එහෙමත් නැත්නම් රුක් සෙවණකට යනවා. එහෙමත් නැත්නම් නිදහස් තැනකට යනවා. ගිහින් මෙහෙම විමසනවා. ‘මට යථාර්ථය දැනගන්න බැරි විදිහට, යථාර්ථය දැකගන්න බැරි විදිහට මගේ සිතේ කෙලෙස් ඇවිස්සිලා, ඒවායින් මේ හිත මැඩගෙන තියෙනවා නම්, ඒවා මගේ සිතේ නැතිවෙලා නැත්නම්, ඒවා මගේ සිතේ තියෙනවා ද?” කියල.
පින්වත් මහණෙනි, එතකොට භික්ෂුව තුළ කාමරාගය ඇවිස්සිල ඒකෙන් සිත යටකරල නම් තියෙන්නෙ, ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුව තුළ තරහ ඇවිස්සිලා ඒ තරහට සිත යටවෙලා නම් තියෙන්නෙ, ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුව තුළ නිදිමතත්, අලස බවත් ඇවිස්සිල ඒකට හිත යටවෙලා තියෙනවා නම්, ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුව තුළ හිතේ විසිරීමත්, පසුතැවිල්ලත් ඇවිස්සිලා ඒකට හිත යටවෙලා තියෙනවා නම්, ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුව තුළ සැකය ඇවිස්සිලා සැකයෙන් හිත යටවෙලා තියෙනවා නම්, මේ ලෝකෙ එක එක දේවල් ගැන හිත හිතා ඉන්නවා නම්, පරලොව එක එක දේවල් ගැන හිත හිත ඉන්නවා නම්, ඒවායින් හිත යටවෙලා නම්, එතකොටයි පින්වත් මහණෙනි, රණ්ඩු ඇති කරගන්නේ. දබර කරගන්නේ. වාද ඇතිකරගන්නේ. එකිනෙකාටයි වචන නැමැති ආයුධවලින් ඇනගන්නේ. ඒවයින් යටවෙච්ච සිතක් ඇතුව ඉන්නේ.
යම් වෙලාවක භික්ෂුව මේ විදිහට දැනගන්නවා නම්, ‘යථාර්ථය දැනගන්න බැරි විදිහට, දැකගන්න බැරි විදිහට, සිතේ කෙලෙස් වලින් යටපත් වීමක් තියෙනවා නම්, නැතිවෙලා නැති එබඳු වූ කෙලෙස් වලින් යටපත් වීමක් මගේ සිතේ නෑ’ කියල, ඒ වගේම ආර්ය සත්‍ය අවබෝධය පිණිස මගේ සිත හොඳට පිහිටලා තියෙනවා කියලත් දන්නවා නම්, මෙන්න මේක තමයි ආර්ය වූ, ලෝකෝත්තර වූ, පෘථග්ජනයන්ට සාධාරණ නොවූ පළවෙනි ඤාණය ඇති කරගත්තා කියල කියන්නෙ.
ඒ වගේ ම පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් විමසනවා. ‘මං මේ ආකල්පය පුරුදු කරන කොට, යළි යළි පුහුණු කරන කොට, බහුල වශයෙන් කරන කොට, මං තුළ සංසිඳීමක් ඇතිවෙනවා ද? මං තුළ නිවීමක් ඇතිවෙනවා ද?’ කියල. එතකොට ඔහු මෙහෙම දැනගන්නවා. ‘මං මේ ආකල්පය පුරුදු කරන කොට, යළි යළි පුරුදු කරන කොට, බහුල වශයෙන් පුරුදු කරන කොට, මං තුළ සංසිඳීමක් ඇතිවෙනවා. මං තුළ නිවීමක් ඇතිවෙනවා’ කියල. පෘථග්ජනයන්ට සාධාරණ නො වූ, ආර්ය වූ, ලෝකෝත්තර වූ දෙවෙනි ඤාණය ලබාගැනීම කියල කියන්නෙ මෙන්න මේකට යි.
පින්වත් මහණෙනි, ඒ වගේ ම ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් විමසනවා. ‘යම් ආකාර වූ ආකල්පයකින් මම යුක්ත වෙලා ඉන්නවා ද, එබඳු ආකල්පයකින් යුක්ත අය, මේ සාසනයෙන් බාහිර වූ අනිත් ශ්‍රමණබ්‍රාහ්මණයන් අතර ඉන්නවා ද?’ කියල. එතකොට ඔහු මෙහෙම දැනගන්නවා. ‘මං ජීවිතේ ගැන යම් ආකාර ආකල්පයකින් ඉන්නවා ද, එබඳු ආකල්පයකින් යුක්ත ශ්‍රමණබ්‍රාහ්මණයෝ මේ සාසනෙන් බැහැර නැත’ කියල. මෙන්න මේක තමයි පෘථග්ජනයන්ට සාධාරණ නොවූ, ආර්ය වූ, ලෝකෝත්තර වූ තුන්වෙනි ඤාණය ඇති කරගත්තා’ කියල කියන්නෙ.
ඒ වගේම පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහටත් නුවණින් හිතනවා. ‘ආර්ය සත්‍යය අවබෝධය කරා යන (දිට්ඨිසම්පන්න) පුද්ගලයා තුළ යම් ආකාරයක ධර්මතාවක් පිහිටලා තියෙනවා නම් මං තුළත් එබඳු ධර්මතාවක් පිහිටලා තියෙනවා ද?’ කියලා.
පින්වත් මහණෙනි, ආර්ය සත්‍යාවබෝධය කරා යන පුද්ගලයා තුළ පිහිටල තියෙන ධර්මතාවය මොන වගේ එකක් ද? පින්වත් මහණෙනි, ආර්ය සත්‍යාවබෝධය කරා යන පුද්ගලයාගේ ධර්මතාවය මෙන්න මේකයි. එනම්, යම්කිසි වරදකින් අත්මිදීමක් පෙනෙනවා නම් එබඳු වරදකට ඔහු පත්වෙනවා. එතකොට ඔහු වහා ශාස්තෘන් වහන්සේ ඉදිරියේ හෝ බුද්ධිමත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ හෝ ඒ වරද පවසනවා. විවෘත වෙනවා. හෙළි කරනවා. ඒ විදිහට ඒ වරද පවසලා, විවෘත කරලා, හෙළි කරලා ආයෙමත් සංවර බවට පත්වෙනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුංචි ළදරුවෙක් ඉන්නවා. උඩුකුරුව නිදන චූටි දරුවෙක්. ඉතින් මේ දරුවා අතින් හරි, පයින් හරි, ගිනි අඟුරක් අල්ලන්න ගිහින් රස්නෙ වැදුණු වහාම ආපහු අත ඇදල ගන්නවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි, ඔය ස්වභාවය ම යි ආර්ය සත්‍යය අවබෝධය කරා යන පුද්ගලයා තුළ තිබෙන්නෙ. යම් ආකාරයක වරදකින් නැගී සිටීමක් පෙනෙයි නම්, එබඳු වරදකට ඔහු පත්වෙනවා. ඔහු වහාම ශාස්තෘන් වහන්සේ හෝ, බුද්ධිමත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ හෝ ඒ වරද පවසනවා. විවෘත වෙනවා. හෙළි කරනවා. ඒ විදිහට වරද පවසලා, විවෘත බවට පත් වෙලා, හෙළි කරලා, ආයෙමත් සංවර බවට පැමිණෙනවා.
එතකොට ඔහු මෙහෙම දැනගන්නවා. ‘ආර්ය සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා යම්කිසි ස්වභාවයකින් යුක්ත නම්, මම ත් ඒ ස්වභාවයෙන් යුක්ත කෙනෙක් නේද?’ කියල. මෙන්න මේක පෘථග්ජනයන්ට සාධාරණ නොවූ, ආර්ය වූ, ලෝකෝත්තර වූ හතරවෙනි ඤාණය ලබාගැනීමයි.
පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් විමසනවා. ‘යම් ආකාර ස්වභාවයකින් ආර්ය සත්‍යය අවබෝධය කරා යන පුද්ගලයා සමන්විත නම්, මමත් එබඳු ධර්මතාවයකින් යුක්ත කෙනෙක් ද?’ කියලා.
පින්වත් මහණෙනි, කොයි ආකාරයක ධර්මතාවයකින් ද ආර්ය සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා සමන්විත වන්නෙ? පින්වත් මහණෙනි, මේකත් ආර්ය සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයාගේ ස්වභාවයක්. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අවශ්‍ය කෙරෙන කුදු මහත් කටයුතු යෙදෙනවා. ඒ වෙලාවට ඔහු ඒකට මැදිහත් වෙනවා. එසේ නමුත් ඔහු තුළ සිල්වත් බව දියුණු කරගැනීමට, සමාධිය දියුණු කරගැනීමට, ප්‍රඥාව දියුණු කරගැනීමට ඉතා තියුණු අපේක්ෂාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, ඒක මේ වගේ එකක්. අලුත පැටවෙක් වැදූ එළදෙන තණකොළත් කමින්, වහුපැටියත් බලාගන්නවා වගෙයි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි ඕක ආර්ය සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා තුළ පිහිටන ස්වභාවයක්. සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ කුදු මහත් අවශ්‍යතා ඇති වෙනවා නම්, ඒවාත් ඉෂ්ට කරල දෙන්න ඔහු මැදිහත් වෙනවා. එසේ නමුත් ඔහු තුළ අධි සීලය දියුණු කරගන්න, අධි සමාධිය දියුණු කරගන්න, අධි ප්‍රඥාවත් දියුණු කරගන්න තියුණු අපේක්ෂාවකුත් තියෙනවා.
එතකොට ඔහු මෙහෙම දැනගන්නවා. ‘ආර්ය සත්‍යය අවබෝධය කරා යන පුද්ගලයා තුළ යම් ධර්මතාවයක් තිබෙනවා නම් මා තුළත් ඒ ධර්මතාවය පිහිටල තියෙනවා’ කියල. මේකත් පෘථග්ජනයන්ට සාධාරණ නොවූ, ආර්ය වූ, ලෝකෝත්තර වූ පස්වෙනි ඤාණය ලබාගැනීමයි.
ඒ වගේ ම පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් සලකනවා. ‘ආර්ය සත්‍යය අවබෝධය කරා යන පුද්ගලයා යම් ආකාරයක බලයකින් යුක්ත නම්, මමත් එවැනි බලයකින් යුක්ත කෙනෙක් ද?’ කියලා.
පින්වත් මහණෙනි, ආර්ය සත්‍යය අවබෝධය කරා යන පුද්ගලයා කොයි ආකාරයක බලයකින් ද යුක්ත වෙන්නෙ? පින්වත් මහණෙනි, ආර්ය සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයා මෙන්න මේ බලයෙන් යුක්තයි. තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දේශනා කරද්දි, ඒ ධර්ම විනයේ අර්ථ අවබෝධ කිරීමට නුවණ පිහිටුවා ගෙන, මුළු හිත ම එයට යොමු කරගෙන, තමන්ගේ සවන් යුග එයට ම නතු කරගෙන තමයි ඒ ධර්මය අහන්නෙ.
එතකොට ඔහු මෙහෙම දැනගන්නවා. ‘ආර්ය සත්‍යය අවබෝධය කරා යන පුද්ගලයා යම් බලයකින් යුක්තයි ද, මමත් එබඳු ම බලයකින් යුක්තයි’ කියලා. මෙන්න මේ ඤාණය ත් පෘථග්ජනයන්ට සාධාරණ නොවූ ආර්ය වූ, ලෝකෝත්තර වූ හයවෙනි ඤාණය ලබාගැනීමයි.
ඒ වගේ ම පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් සළකනවා. ‘යම් ආකාර බලයකින් ආර්ය සත්‍යය අවබෝධය කරා යන පුද්ගලයා යුක්ත ද, මමත් එබඳු බලයකින් යුක්ත කෙනෙක් ද?’ කියලා.
පින්වත් මහණෙනි, ආර්ය සත්‍යය අවබෝධ කරන පුද්ගලයා කොයි විදිහේ බලයකින් යුක්ත කෙනෙක් ද? පින්වත් මහණෙනි, ආර්ය සත්‍යය අවබෝධය කරා යන පුද්ගලයාගේ බලය මෙන්න මේකයි. ‘තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනය දේශනා කරද්දි, ඒකෙ අර්ථය වහා තේරුම් ගන්නවා. ධර්මාශ්වාදයක් ලබනවා. ධර්මය හා එක්වුණු ප්‍රමුදිතභාවයකට පත්වෙනවා.’
එතකොට ඔහු මෙහෙම දැනගන්නවා. ‘ආර්ය සත්‍යය අවබෝධ කරා යන පුද්ගලයා යම් ආකාර බලයකින් යුක්ත නම්, මමත් ඒ ආකාර බලයකින් යුක්තයි’ කියල. මේක තමයි පෘථග්ජනයන්ට සාධාරණ නොවූ, ආර්ය වූ, ලෝකෝත්තර වූ හත්වෙනි ඤාණය සාක්ෂාත් කීරීම කියල කියන්නෙ.
පින්වත් මහණෙනි, ඔය අංග හතෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයාගේ ධර්මතාවන්, සෝතාපත්ති ඵලය සාක්ෂාත් කිරීම පිණිසයි මනාකොට සකස් වෙලා තියෙන්නෙ. ඔය විදිහට, ඔය ධර්මතා හතෙන් සමන්විත ආර්ය ශ්‍රාවකයා සෝතාපත්ති ඵලයෙනුත් යුක්ත වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා මේ දෙසුම ගැන ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මය සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
කොසඹෑ නුවර දී වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M