මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා, භික්ෂු සංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් “පින්වතුන් වහන්ස” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.
පින්වත් මහණෙනි, පරසිත් දන්නා නුවණ නැති භික්ෂුවක් ඉන්නවා. නමුත් නුවණින් විමසීමේ හැකියාව තියෙනවා. අන්න ඒ භික්ෂුව විසින් ‘මේ සම්මා සම්බුදුවරයෙක් ද? නැද්ද?’ කියල දැනගැනීම පිණිස තථාගතයන් වහන්සේ ගැන නුවණින් පරීක්ෂා කරල බලන්න ඕන.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ ධර්මය තියෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේගේ නායකත්වය මතයි අපගේ ධර්මය තියෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ මතයි අපගේ ධර්මය තියෙන්නෙ. එම නිසා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ම ඔය වදාළ කාරණයේ අර්ථය වැටහෙනවා නම් කොයිතරම් හොඳ ද? එතකොට භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසාගෙන මේ භික්ෂූන්ට මතක තබාගන්න පුළුවනි.”
“එහෙම නම් පින්වත් මහණෙනි, හොඳින් සවන් යොමන්න. නුවණින් තේරුම් ගන්න. මම දැන් කියා දෙන්නම්.”
“එසේ ය, ස්වාමීනී” කියා ඒ භික්ෂු පිරිස භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා.
“පින්වත් මහණෙනි, පරසිත් දැනීමේ ඤාණය ලබා නොගත් භික්ෂුවක් ඉන්නවා. නමුත් ඔහු නුවණින් විමසීමේ හැකියාවෙන් යුක්තයි. අන්න ඒ භික්ෂුව විසින් කරුණු දෙකක් ඔස්සේ තථාගතයන් වහන්සේ ගැන නුවණින් පරීක්ෂා කර බලන්න ඕන. ඒ කරුණු දෙක නම්, හොඳට ඇහින් බලන්න ඕන. හොඳට කනෙන් අහන්න ඕන.
හොඳට ඇහෙන් බලද්දි, හොඳට කනෙන් අහද්දි, හොඳට පරීක්ෂා කර බලන්න ඕන තථාගතයන් වහන්සේ තුළ කෙලෙස් තියෙනවා ද, නැද්ද කියල. එතකොට ඒ භික්ෂුව මේ විදිහට තේරුම් ගන්නවා. ඇහෙන් හොඳට බලද්දි, කනෙන් හොඳින් අහද්දි දැකගන්න පුළුවන් කෙලෙස් තියෙනවා නම් එබඳු වූ කෙලෙස් කිසිවක් තථාගතයන් වහන්සේ තුළ දැකගන්න නෑ’ කියල.
යම් දවසක ඒ භික්ෂුව හොඳින් පරීක්ෂා කර බලද්දි ඔය විදිහට දැනගත්තා නම්, ඒ කියන්නෙ ‘ඇහෙන් හොඳට බලද්දි, කනෙන් හොඳට අහද්දි දැකගන්න පුළුවන් වන කෙලෙස් තියෙනවා. නමුත් ඒ කෙලෙස් කිසිවක් තථාගතයන් වහන්සේ තුළ දැකගන්න නෑ’ කියල. එතකොට ඒ භික්ෂුව තවදුරටත් හොඳින් පරීක්ෂා කර බලන්න ඕන. ඇසින් හොඳට බලන කොට, කනෙන් හොඳට අහන කොට කලින් කලට අල්ලගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. අන්න ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට තියෙනවා ද නැද්ද කියල. ඒ භික්ෂුව ඒ විදියට නුවණින් පරීක්ෂා කර බලද්දි මෙන්න මේ විදිහටයි දැනගන්නෙ. ‘ඇසින් හොඳට බලා සිටිද්දි, කනෙන් හොඳට අසා සිටිද්දි කලින් කලට වෙනස් වන කෙලෙස් සොයාගන්න පුළුවනි. නමුත් එබඳු කෙලෙස් කිසිවක් තථාගතයන් වහන්සේ තුළ දැකගන්න නෑ’ කියල.
යම් දවසක ඒ භික්ෂුව ඔය විදිහට හොඳට පරීක්ෂා කරල දැනගත්තා නම්, ඒ කියන්නෙ ‘ඇහින්, කනෙන් හොඳින් විමසන කොට කලින් කලට වෙනස් වෙන කෙලෙස් අහුවෙනවා. නමුත් තථාගතයන් වහන්සේ තුළ ඒ කෙලෙස් කිසිවක් නෑ’ කියල. එතකොට ඒ භික්ෂුව තවදුරටත් පරීක්ෂා කරල බලන්න ඕන. හොඳට ඇහින් බලන කොට, හොඳට කනෙන් අහන කොට දැනගන්න පුළුවන් ඉතා පිරිසිදු දේවල් තියෙනවා. තථාගතයන් වහනසේට ඒ පිරිසිදු දේවල් තියෙනවා ද නැද්ද? කියල. එතකොට ඒ භික්ෂුව මේ විදිහටයි දැනගන්නෙ. ‘හොඳට ඇහින් බලද්දි, හොඳට කනෙන් අහද්දි දැනගන්න පුළුවන් ඉතා පිරිසිදු දේවල් තියෙනවා. අන්න ඒ පාරිශුද්ධ බව තථාගතයන් වහන්සේ ළඟ දකින්න තියෙනවා’ කියල.
යම් දවසක ඒ භික්ෂුව නුවණින් පරීක්ෂා කර බලද්දි ඔය විදිහට දැනගත්තා නම්, ඒ කියන්නෙ, ‘ඇහින් හොඳට බලද්දි, කනෙන් හොඳට අහද්දි දැනගන්නට පුළුවන් පිරිසිදු දේවල් තියෙනවා. අන්න ඒ පාරිශුද්ධ දේ තථාගතයන් වහන්සේ ළඟ දැකගන්න තියෙනවා’ කියල. එතකොට ඒ භික්ෂුව තවදුරටත් හොඳට පරීක්ෂා කරල බලන්න ඕන. ‘මේ ආයුෂ්මතුන් (තථාගතයන් වහන්සේ) බොහෝ කාලෙක සිට ද මේ කුසල් දහම් ඇතිව ඉන්නෙ? නැත්නම් ළඟක දි ඉඳල ද?’ කියල. එතකොට ඒ භික්ෂුව නුවණින් පරීක්ෂා කරද්දි මෙන්න මෙහෙමයි දැනගන්නෙ. ‘මේ ආයුෂ්මතුන් (තථාගතයන් වහන්සේ) බොහෝ කලක සිට මේ කුසල් දහම් ඇතුවයි ඉන්නෙ. ළඟක දි ඉඳලා නම් නොවෙයි’ කියල.
යම් දවසක ඒ භික්ෂුව නුවණින් පරීක්ෂා කර බලද්දි ඔය විදිහට දැනගත්තා නම්, ඒ කියන්නෙ ‘බොහෝ කලක සිටයි මේ ආයුෂ්මතුන් මේ කුසල් දහම් ඇතුව ඉන්නෙ. ළඟක දි ඉඳලා නම් නොවෙයි’ කියල. එතකොට ඒ භික්ෂුව තවදුරටත් නුවණින් පරීක්ෂා කරල බලන්න ඕන. ‘මේ ආයුෂ්මත් භික්ෂුව (තථාගතයන් වහන්සේ) ගොඩක් ප්‍රසිද්ධ වෙලා කීර්තිමත්වයි ඉන්නෙ. නමුත් ඒ තුළින් උන්වහන්සේගේ ජීවිතය තුළ යම්කිසි පිරිහීමක් දකින්න තියෙනවා ද?’ කියල.
පින්වත් මහණෙනි, ප්‍රසිද්ධ නොවන තාක්, කීර්තිමත් නොවන තාක් මෙහි ඇතැම් භික්ෂුවකගේ පිරිහීමක් දකින්න ලැබෙන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, යම් දවසක ප්‍රසිද්ධියට පත්වුනා ම කීර්තිමත් වුනා ම මෙහි ඇතැම් භික්ෂුවකගේ පිරිහීමක් දකින්න ලැබෙනවා.
එහෙත් ඒ භික්ෂුව තථාගතයන් වහන්සේ ගැන හොඳින් පරීක්ෂා කර බලද්දි මේ විදිහටයි දැනගන්නේ, ‘මේ ආයුෂ්මත් භික්ෂුව ගොඩාක් ප්‍රසිද්ධ තමයි. කීර්තිමත් තමයි. නමුත් මුන්වහන්සේ තුළ නම් කිසිම පිරිහීමක් දකින්න ලැබෙන්නෙ නෑ’ කියල.
යම් දවසක ඒ භික්ෂුව නුවණින් පරීක්ෂා කර බලද්දි ඔය විදිහට දැනගත්තා නම් ‘මේ ආයුෂ්මත් භික්ෂුව ගොඩාක් ප්‍රසිද්ධ තමයි. කීර්තිමත් තමයි. නමුත් මුන්වහන්සේ තුළ කිසිඳු පිරිහීමක් දකින්න නෑ’ කියල. එතකොට ඒ භික්ෂුව තථාගතයන් වහන්සේ ගැන තවදුරටත් පරීක්ෂා කර බලන්න ඕනෑ. ‘මේ ආයුෂ්මතුන් ඇත්තෙන් ම බිය රහිත භාවයට පත්වෙලා කාමයෙන් වැළකී සිටින කෙනෙක් ද, බියට පත් වීම නිසා කාමයෙන් වැළකී සිටින කෙනෙක් ද, රාගය ක්ෂය වීම නිසා වීතරාගී බව තුළින් කාමයෙන් වැළකී සිටින කෙනෙක් ද’ කියල. එතකොට ඒ භික්ෂුව නුවණින් පරීක්ෂා කර බලද්දි තථාගතයන් වහන්සේ ගැන දැනගන්නෙ මේ විදිහටයි. ‘මේ ආයුෂ්මතුන් බිය රහිත බවට පත් වී සිටින කෙනෙක්. බිය සහිත කෙනෙක් නොවෙයි. රාගය ක්ෂය වීම නිසා වීතරාගී බව නිසා ම යි කාමයෙන් වැළකී සිටින්නේ’ කියල.
පින්වත් මහණෙනි, ඒ භික්ෂුවගෙන් අනිත් උදවිය මෙහෙම අහන්න පුළුවනි. ‘ඒ ආයුෂ්මතුන්ගේ මොන ස්වභාවයක් දැකල ද මොන ධර්මතාවයක් දැකල ද ඔය විදිහට කියන්නෙ? ඒ කියන්නෙ, මේ ආයුෂ්මතුන් බිය රහිත බවට පත්වෙලා ඉන්නෙ. බිය සහිතව නොවේ. රාගය ක්ෂය වීම නිසා වීතරාගී බව නිසයි කාමයෙන් වැළකී සිටින්නෙ’ කියලා.
එතකොට පින්වත් මහණෙනි, සැබෑ ලෙස ම කියන භික්ෂුව මෙන්න මේ විදිහට යි කියන්නෙ, ‘ඒ ආයුෂ්මතුන් භික්ෂුසංඝයා මැද වාසය කරන කොටත්, හුදෙකලාවේ ඉන්න කොටත්, එහි යම් රහතුන් සිටිනවා ද, එහි යම් නොමග ගියවුන් සිටිනවාද, එහි යම් කෙනෙක් පිරිසට අනුශාසනා කරයි ද, යම් කෙනෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී ආමිසයට ඇලෙයි ද, යම් කෙනෙක් ඒ ආමිසයෙහි නොගෑවී ඉන්නවා ද, ඉතින් මේ ආයුෂ්මතුන් ඒ කරුණින් ඒ භික්ෂුව හෙළා දකින්නෙ නෑ. මම මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් ම යි ඇසුවෙ. භාග්‍යවතුන් වහන්සේ ගෙන් ම යි දැනගත්තෙ. එනම්, මම ඉන්නෙ බිය රහිත භාවයට පත්වෙලයි. මම ඉන්නෙ බිය සහිත ව නොවෙයි. ‘රාගය ක්ෂය වීම නිසා වීතරාගී බව නිසා ම යි මම කාමයෙන් වැළකී සිටින්නෙ’ කියලා.
පින්වත් මහණෙනි, ඔය කාරණය ගැන තථාගතයන් වහන්සේගෙන් ම යි තවදුරටත් විමසා සිටින්න ඕන.
ඇසින් හොඳට බලද්දි, කනෙන් හොඳට අහද්දි සොයාගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට තියෙනවා ද? නැද්ද? කියල. ඒ ගැන පිළිතුරු දෙන විට පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ විදිහට යි පිළිතුරු දෙන්නෙ. ‘ඇසින් හොඳට බලද්දි, කනෙන් හොඳට අහද්දි අල්ලගන්න පුළුවන් කෙලෙස් තියෙනවා තමයි. නමුත් ඒ කෙලෙස් තථාගතයන් වහන්සේ තුළ දැකගන්න නෑ’ කියල.
ඇසින් හොඳට බලද්දි, කනෙන් හොඳට අහද්දි කලින් කලට හොයාගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් තථාගතයන් වහන්සේ තුළ දකින්න තියෙනවා ද? නැද්ද? කියලා. එතකොට ඒ ගැන පිළිතුරු දෙන විට පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ පිළිතුරු දෙන්නෙ මෙන්න මේ විදිහටයි. ‘අසින් හොඳට බලද්දි, කනෙන් හොඳට අහද්දි කලින් කලට හොයාගන්න පුළුවන් කෙලෙස් තියෙනවා තමයි. නමුත් ඒ කෙලෙස් තථාගතයන් වහන්සේ තුළ දැකගන්න නෑ’ කියල.
ඇසින් හොඳට බලද්දි, කනෙන් හොඳට අහද්දි දැනගන්න පුළුවන් ඉතා පිරිසිදු දේවල් තියෙනවා. අන්න ඒ පිරිසිදු දේවල් තථාගතයන් වහන්සේ තුළ දකින්න තියෙනවා ද? නැද්ද? කියල. ඒ ගැන පිළිතුරු දෙන විට පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ පිළිතුරු දෙන්නෙ මෙන්න මේ විදිහටයි. ‘ඇසින් හොඳින් දකින විට, කනෙන් හොඳට අසන විට සොයාගන්න පුළුවන් ඉතා පිරිසිදු දේවල් තියෙනවා තමයි. අන්න පාරිශුද්ධ දේ තථාගතයන් වහන්සේ තුළ දකින්න ලැබෙනවා. මම මේ පිරිසිදු මාර්ගයෙන් යුක්ත වෙමි. එය ම අරමුණු කොට සිටිමි. නමුත් ඒ ගැන මගේ අමුතු ආශාවක් නෑ’ කියල.
පින්වත් මහණෙනි, මේ විදිහට කතා බස් කරන ශාස්තෘන් වහන්සේ නමක් ළඟට ශ්‍රාවකයෙක් බණ අසන්න එන එක සුදුසුයි. එතකොට ශාස්තෘන් වහන්සේ තව තවත් උසස් අයුරින් රසවත් රසවත් විදිහට දහම් දෙසනවා. පින් පව් ගැන මතුකොට පෙන්වා දෙනවා.
පින්වත් මහණෙනි, ශාස්තෘන් වහන්සේ භික්ෂුවට ඒ විදිහට උසස් අයුරින් රසවත් රසවත් විදිහට පින් පව් ගැන විස්තර කරමින් දහම් දෙසන කොට ඒ භික්ෂුවත් ඒ ධර්මය කරුණු විමසමින් අවබෝධ කරගන්නවා. එතකොට ඒ ධර්මය තුළ ඇති ඇතැම් කරුණු ඔහුට හොඳට අවබෝධ වෙනවා. ශාස්තෘන් වහන්සේ ගැන පැහැදීම ඇතිවෙනවා. ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සඟරුවන ද සුපටිපන්නයි’ කියල.
පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව ගෙන් අනිත් උදවිය මෙහෙම අසන්න පුළුවනි. ‘ඒ ආයුෂ්මතුන්ගේ කවර ස්වභාවයක් දැකල ද කවර ධර්මතාවයක් නිසා ද ඔය විදිහට කියන්නෙ, ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සඟරුවන ද සුපටිපන්නයි’ කියලා?’
පින්වත් මහණෙනි, එතකොට සැබෑ ලෙස පිළිතුරු දෙන භික්ෂුවක් පිළිතුරු දෙන්නෙ මේ විදිහටයි. ‘ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ළඟට මම බණ අහන්න ගියා. මට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුවා. උසස් උසස් විදිහට රසවත් රසවත් විදිහට පින් පව් විස්තර කරමින් දහම් දෙසුවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ උසස් උසස් විදිහට රසවත් රසවත් විදිහට පින් පව් විස්තර කරමින් දහම් දෙසුවෙ යම් ආකාරයකින් ද, ඒ ඒ විදිහට මම ඒ ධර්මය තේරුම් ගන්න කොට, ඒ ධර්මයෙන් ඇතැම් කරුණු මට අවබෝධ වුනා. මට ශාස්තෘන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුනා.
‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සඟරුවන ද සුපටිපන්නයි’ කියල.
පින්වත් මහණෙනි, යම්කිසි කෙනෙකුට ඔය විදිහට දැන් මේ විස්තර කරපු අදහස්වලින් වචනවලින් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් පිහිටියා නම් ඒ ශ්‍රද්ධාව මුල් බැසගෙන පිහිටියා නම් පින්වත් මහණෙනි, අන්න ඒ ශ්‍රද්ධාවට කියන්නෙ ආකාරවතී ශ්‍රද්ධාව කියල. ඒ ශ්‍රද්ධාව අවබෝධය මුල් කරගත්තු දැඩි එකක්. මේ ලෝකයේ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ කිසිවෙකුට හෝ ඔහුව ඒ ශ්‍රද්ධාවෙන් බැහැර කරන්න බෑ.
පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ගැන ධර්මයට අනුව පරීක්ෂා කර බලන්නේ ඔය විදිහට යි. ධර්මයට අනුව පරීක්ෂා කර බලද්දි තථාගතයන් වහන්සේව දැකගත හැකි වන්නේ ඔය විදිහටයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ඒ භික්ෂු පිරිස ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනය සාදු නාද දෙමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
නුවණින් විමසීම ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M