මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂු සංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.
පින්වත් මහණෙනි, සමාදන් වෙන දේවල් හතරක් තියෙනවා. ඒ හතර මොනවාද?
(1). පින්වත් මහණෙනි, මෙලොවදී සැප ලැබෙන, පරලොවදී දුක් විපාක ලැබෙන දේවල්වල සමාදන් වීමකුත් තියෙනවා.
(2). මෙලොවදී දුක් ලැබෙන, පරලොවදී ත් දුක් විපාක ලැබෙන දේවල්වල සමාදන් වීමකුත් තියෙනවා.
(3). මෙලොවදී දුක් ලැබෙන, පරලොවදී සැප විපාක ලැබෙන දේවල්වල සමාදන් වීමකුත් තියෙනවා.
(4). මෙලොවදී ත් සැප ලැබෙන, පරලොවදී ත් සැප විපාක ලැබෙන දේවල්වල සමාදන් වීමකුත් තියෙනවා.
පින්වත් මහණෙනි, මෙලොව දී සැප ලැබෙන, පරලොව දී දුක් විපාක විඳින්නට තියෙන දේවල්වල සමාදන් වෙනවා කියන්නෙ මොකක්ද?
පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහේ අදහස් තියෙන, මේ විදිහේ මත දරන සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ‘කාම සැප වින්දට කිසි වරදක් නෑ’ කියල. ඊට පස්සෙ ඔවුන් කාම සැපය උදෙසා වරදට පෙළඹෙනවා. ඔවුන් ජටා බැඳි තවුසියන් සමඟ එකතු වෙලා ඉඳුරන් පිනවනවා. ඔවුන් ඊට පස්සෙ මෙහෙමත් කියනවා. ‘මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් කාමයන් පිළිබඳ අනාගත භය දකිමින් මේ කාමයන් අත්හරින්න’ කියල මොනවා කියනවාද මන්දා? ‘කාමයන් ගැන යථාර්ථය දකින්න’ කියල මොනවට කියනවා ද මන්දා? මේ මෘදු ලොම් ඇති අත්වලින් යුතු යොවුන් තාපසියන්ගේ පහස කොයිතරම් අගේ ද?’ කියලා ඒ ශ්‍රමණ බමුණන් කාමයේ වරදේ බැඳෙනවා. ඔවුන් කාමයේ වරදේ බැඳිල අන්තිමේදී කය බිඳිල මැරුණට පස්සෙ අපාය, දුගතිය විනිපාත කියන නරකාදියේ උපදිනවා. එහෙදී මහා දරුණු, භයානක දුක් වේදනා විඳින්න පටන්ගන්නවා. එතකොටයි ඔවුන් මෙහෙම කියන්නෙ. ‘අනේ! පින්වත් ශ්‍රමණ බමුණන් මේ අනාගත බිය දැකලයි කාමයන් අත්හරින්න කීවේ. කාමයන්ගේ යථාර්ථය අවබෝධ කරන්න කීවේ. මේ අපට කාමයන් හේතු කරගෙන ම කාමයන් මුල් කරගෙන ම භයානක දුක් වේදනා විඳින්න සිද්ධ වුනා නෙව’ කියලා.
පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. පායන කාලෙ අන්තිම මාසේදී මාළුවා වැලේ ගෙඩි පුපුරනවා. එතකොට පින්වත් මහණෙනි, ඒ මාළුවා ගෙඩියක් එක්තරා සල් ගහක් මුලට වැටුනා. ඉතින් පින්වත් මහණෙනි, ඒ සල් ගහට අධිගෘහිත දේවතාවා හොඳට ම භය වුනා. තැති ගත්තා. ඉතින් පින්වත් මහණෙනි, ඒ සල් රුකේ අධිගෘහිත දේවතාවාගේ යහළු මිතුරන්, නෑදෑයන්, ආරාම දෙවියන්, වන දෙවියන්, රුක් දෙවියන්, ඖෂධ ගස්කොළන් වලට, මහා වෘක්ෂවලට, අධිගෘහිත දෙවිවරු රැස්වෙලා අර දේවතාවාට මෙහෙම කියා අස්වැසෙව්වා.
‘පින්වත් දෙවිඳ, භය වෙන්න එපා! භය වෙන්න එපා! ඔය මාළුවා ඇටේ මොණරෙක් හරි ගිල දමාවි. මුවෙක් හරි ඕක කාල දමාවි. ගින්නකට හරි පිච්චිලා යාවි. කැලේ වැඩකරන අය ඕක ගලවල දමාවි. නැත්නම් වේයො හරි කාල දමාවි. එහෙමත් නැත්නම් ඕක පැල වෙන එකක් නෑ’ කියලා.
නමුත් පින්වත් මහණෙනි, ඒ මාළුවා ඇටේ මොණරෙක් ගිල්ලෙත් නෑ. මුවෙක් කෑවෙත් නෑ. ගින්නකට අහුවුනෙත් නෑ. කැලේ වැඩකරන කවුරුවත් උදුරල දැම්මෙත් නෑ. වේයො කෑවෙත් නෑ. ඒක පැලවුනා. වැස්ස වහින කොට හොඳට දළු දාල වැඩුනා. සල්ගහ වෙලාගෙන, හොඳට හැඩට කොළ පත් ඇතුව වැඩිල ගියා.
එතකොට පින්වත් මහණෙනි, ඒ සල් රුකට අධිගෘහිත දේවතාවාට මේ විදිහට හිතුනා. ‘ඒ මගේ පින්වත් යහළු මිත්‍රයො, නෑදෑයො, ආරාම දෙවිවරු, වන දෙවිවරු, රුක් දෙවිවරු, ඖෂධ ගස් කොළන්වලට අධිගෘහිත දෙවිවරු, මහා රුක්වලට අධිගෘහිත දෙවිවරු රැස්වෙලා, මේ මාළුවා ඇටේ නිසා ඇති වන කවර ආකාරයේ අනාගත භයක් දැකලා ද මාව මේ විදිහට අස්වැසුවේ?‘පින්වත් දෙවිඳ, භය වෙන්න එපා! භය වෙන්න එපා! ඔය මාළුවා ඇටේ මොණරෙක් හරි ගිල දමාවි. මුවෙක් හරි කාලා දමාවි. ගින්නකට හරි පිච්චිලා යාවි. කැලේ වැඩ කරන අය හරි උදුරල දමාවි. එක්කො වේයො හරි කාල දමාවි. එක්කො පැල වෙන එකක් නෑ’ කියල. මේ සල්ගහ වෙලාගෙන උඩට නැගිලා, අතු දිගේ පහළට එල්ලෙන, ළපටි මෘදු ලොම් ඇති මේ මාළුවා වැලේ පහස කොයිතරම් අගේද!’ කියලා. ඉතින් ඒ මාළුවා වැල සල් ගහ ඔතාගත්තා. සල්ගහ වෙළාගෙන උඩට නැග්ගා. අතුපතර දිගේ ගිහින් ආයෙ යටට බැස්සා. ආයෙ යටට බැහැල සල් ගහේ ලොකු ලොකු අතු පුපුරුවා හැරියා.
එතකොට පින්වත් මහණෙනි, ඒ සල්රුකේ හිටපු දේවතාවාට මෙහෙම හිතුණා ‘අයියෝ! ඒ මාගේ පින්වත් යහළු මිත්‍ර වූ, නෑදෑ වූ, ආරාම දෙවිවරු, වන දෙවිවරු, රුක් දෙවිවරු, ඖෂධ ගස්කොළන්වලට අධිගෘහිත දෙවිවරු, මහා රුක්වලට අධිගෘහිත දෙවිවරු මේ මාළුවා ඇටේ නිසා ඇතිවන මෙන්න මේ අනාගත භය දැකලයි, මාව වටකරගෙන මෙහෙම කිව්වේ. ‘පින්වත් දෙවිඳ, භය වෙන්න එපා! භය වෙන්න එපා! ඔය මාළුවා ඇටේ මොණරෙක් හරි ගිල දමාවි. මුවෙක් හරි ඕක කාල දමාවි. එක්කො ඕක ගින්නෙන් හරි පිච්චලා යාවි. එහෙමත් නැත්නම් කැලේ වැඩකරන උදවිය උදුරල දමාවි. වේයො හරි කාල දමාවි. එක්කො පැළවෙන එකක් නෑ’ කියල. ඒ වුනාට මං දැන් ඒ මාළුවා ඇටේ නිසා බොහෝ කටුක දුක් දොම්නස් විඳිනවා නෙව’ කියලා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම යි, මේ විදිහේ අදහස් තියෙන, මේ විදිහේ මතවාද තියෙන ශ්‍රමණ බමුණන් ඉන්නවා. ‘කාම සැප වින්දට කිසි වරදක් නෑ’ කියල. ඊට පස්සෙ ඔවුන් කාම සැපය උදෙසා වරදට පෙළඹෙනවා. ඔවුන් ජටා බැඳි තවුසියන් සමග එකතු වෙලා ඉඳුරන් පිනවනවා. ඔවුන් ඊට පස්සෙ මෙහෙමත් කියනවා. ‘මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් කාමයන් පිළිබඳ අනාගත භය දකිමින් මේ කාමයන් අත්හරින්න’ කියල මොනව කියනවාද මන්දා? ‘කාමයන් ගැන යථාර්ථය දකින්න’ කියල මොනවට කියනවා ද මන්ද? මේ මෘදු ලොම් ඇති අත්වලින් යුතු යොවුන් තාපසියන්ගේ පහස කොයිතරම් අගේ ද?’ කියල. ඒ ශ්‍රමණ බමුණන් කාමයේ වරදේ බැඳෙනවා. ඔවුන් කාමයේ වරදේ බැඳිල අන්තිමේ දී කය බිඳිල මැරුණට පස්සෙ අපාය, දුගතිය විනිපාත කියන නරකාදියේ උපදිනවා. එහෙදී මහා දරුණු, භයානක දුක් වේදනා විඳින්න පටන්ගන්නවා. එතකොටයි ඔවුන් මෙහෙම කියන්නෙ. ‘අනේ! පින්වත් ශ්‍රමණ බමුණන් මේ අනාගත බිය දැකලයි කාමයන් අත්හරින්න කීවේ. කාමයන්ගේ යථාර්ථය අවබෝධ කරන්න කීවේ. මේ අපට කාමයන් හේතු කරගෙන ම කාමයන් මුල් කරගෙන ම භයානක දුක් වේදනා විඳින්න සිද්ධ වුනා නෙව’ කියල. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නෙ මෙලොව දී සැප ලැබෙන, පරලොව දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියලා.
පින්වත් මහණෙනි, මෙලොව දී ත් දුක් විඳින, පරලොව දී ත් දුක් විපාක ලැබෙන දේවල්වල සමාදන් වෙනවා කියන්නෙ මොකක් ද?
පින්වත් මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට වස්ත්‍ර නෑ. ආචාර ධර්ම අත්හැරලා ඉන්නෙ. කෑම කාලා අත ලෙවකනවා. ආහාර ටිකක් ලබාගන්න ගියා ම ‘ස්වාමීනී වඩින්න’ කිව්වා ම එන්නෙ නෑ. ‘ස්වාමීනී ඔහොම ඉන්න’ කිව්වා ම ඉන්නෙ නෑ. ගෙනත් දීපු දානෙ ගන්නෙ නෑ. තමන් උදෙසා ම කළ දානෙ ගන්නෙ නෑ. බත් හැළියෙ කට ළඟින් දෙන දානෙ ගන්නෙ නෑ. කළේ කට ළඟින් දෙන දේවල් පිළිගන්නෙ නෑ. එළිපත්තෙ ඉඳල දෙන දේ පිළිගන්නෙ නෑ. දඬු වැට අතරින් දෙන දානය පිළිගන්නෙ නෑ. මෝල් ගස් අතර සිට දෙන දානය පිළිගන්නෙ නෑ. දෙන්නෙක් අනුභව කරන කොට දෙන දානය පිළිගන්නෙ නෑ. ගැබිණි මවක් දෙන දානය පිළිගන්නෙ නෑ. දරුවන්ට කිරි දෙන මවක් දෙන දානය පිළිගන්නෙ නෑ. පුරුෂයන් ළඟට ගිය ස්ත්‍රිය දෙන දානය පිළිගන්නෙ නෑ. සම්මාදම් කරල දෙන දානය පිළිගන්නෙ නෑ. යම් තැනක බල්ලෙක් හිටියොත් ඌට නොදී දෙන දානය පිළිගන්නෙ නෑ. මැස්සො කැටි ගැහිල ඉන්න තැන දෙන ආහාර පිළිගන්නෙ නෑ. මාළු පිළිගන්නෙ නෑ. මස් පිළිගන්නෙ නෑ. මත්පැන් පිළිගන්නෙ නෑ. ලෝණසෝවීරක කියන මත්පානය බොන්නෙ නෑ.
ඔහු එක ගේකින් ලැබෙන බත් පිඬුවකින් යැපෙනවා. ගෙවල් දෙකකින් ලැබෙන බත් පිඬු දෙකකින් යැපෙනවා ….(පෙ)…. ගෙවල් හතකින් ලැබෙන බත් පිඬු හතකින් යැපෙනවා ….(පෙ)…. එක බත් හැන්දකින් යැපෙනවා. බත් හැඳි දෙකකින් යැපෙනවා ….(පෙ)…. බත් හැදි හතකින් යැපෙනවා. දවසක් ඇර දවසක් ආහාර ගන්නවා. දවස් දෙකක් ඇර ආහාර ගන්නවා ….(පෙ)…. දවස් හතක් ඇර ආහාර ගන්නවා. මේ විදිහට සති දෙකට ම එක වේලක් ආහාර ගන්නවා. මේ විදිහට දින සීමා කරගෙන ආහාර ගන්නවා.
ඔහු අමු කොළ විතරක් ආහාරයට ගන්නවා. තණහාල් විතරක් අනුභව කරනවා. හාල් විතරක් අනුභව කරනවා. ගස් පොතුවල කහට විතරක් අනුභව කරනවා. ගස්වල ලාටු විතරක් අනුභව කරනවා. සුණුසහල් විතරක් අනුභව කරනවා. බත් ඉව්වහම හැදෙන පෙණ විතරක් අනුභව කරනවා. තල ඇට විතරක් අනුභව කරනවා. තණ කොළ විතරක් අනුභව කරනවා. ගොම විතරක් අනුභව කරනවා. ගස්වල මුල් විතරක් අනුභව කරනවා. ගෙඩි විතරක් අනුභව කරනවා. ගස් මුලට වැටිච්ච ගෙඩි විතරක් අනුභව කරනවා.
ඔහු හණවැහැරි විතරක් පොරෝනවා. නොයෙක් නූල්වලින් වියපු රෙදිත් පොරෝනවා. මිනී ඔතාපු රෙදිත් පොරෝනවා. ගස්වල පොතුවලින් හදපු රෙදිත් පොරෝනවා. අඳුන් දිවියන්ගේ සමත් පොරෝනවා. අඳුන් මුවාගේ සමත් පොරෝනවා. කුස තණවලින් හදපු ගෝනිත් පොරෝනවා. එළුවන්ගේ සමත් පොරෝනවා. කෙස්වලින් හදපු කබායත් පොරෝනවා. අස් ලොම්වලින් හදපු කබායත් පොරෝනවා. කෙස් රැවුල් උදුරනවා. ආසනවල වාඩි වීම ප්‍රතික්ෂේප කරනවා. උඩුබැල්ලෙන් ඉන්නවා. උක්කුටිකයෙන් ඉන්නවා. කටු ගහපු ලෑලිවල සක්මන් කරනවා. කටු ගහපු ලෑලි උඩ හාන්සි වෙනවා. දවසට තුන් වතාවක් වතුරෙ ගිලිල තපස් රකිනවා.
ඉතින් ඔය විදිහට නොයෙක් ආකාරයෙන් ශරීරය බලවත්ව තැලෙන, පොඩි වෙන, දැවෙන, තැවෙන විදිහට තපස් රකිනවා. අන්තිමේදී කය බිඳිල මළාට පස්සෙ අපාය, දුගතිය, විනිපාත කියන නරකාදියෙ උපදිනවා. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නෙ මෙලොවත් දුක් විඳින, පරලොවත් දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියල.
පින්වත් මහණෙනි, මෙලොව දී දුක් විඳින නමුත් පරලොවදී සැප විපාක ලැබෙන දේවල්වල සමාදන් වීම කියන්නෙ මොකක්ද?
පින්වත් මහණෙනි, ස්වභාවයෙන් ම තියුණු රාගය තියෙන කෙනෙක් ඉන්නවා. ඔහු නිතර ම රාගය නිසා හැදෙන නොයෙක් දුක් දොම්නස් විඳිනවා. ඒ වගේම ස්වභාවයෙන් ම තියුණු ද්වේෂය තියෙන කෙනෙක් ඉන්නවා. ඔහු නිතර ම ද්වේෂය නිසා හැදෙන දුක් දොම්නස් විඳිනවා. ඒ වගේම ස්වභාවයෙන් ම තියුණු මෝහය තියෙන කෙනෙක් ඉන්නවා. ඔහු නිතර ම මෝහය නිසා හටගත්තු දුක් දොම්නස් විඳිනවා. නමුත් ඔහු දුක් දොම්නස් විඳ විඳ ම, ඒ රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කිරීම පිණිස කඳුළු පිරුණු මුහුණින් හඬ හඬා ම පරිපූර්ණ වූ පිරිසිදු වූ නිවන් මග හැසිරෙනවා. ඔහු කය බිඳී මළාට පස්සෙ සැප තියෙන සුගති ලෝකයේ උපදිනවා. පින්වත් මහණෙනි, ඔන්න ඕකට තමයි, මෙලොව දුක් විඳින නමුත් පරලොව සැප විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියල කියන්නෙ.
පින්වත් මහණෙනි, මෙලොවත් සැප විඳින, පරලොවත් සැප විපාක ඇති දේවල් සමාදන් වෙනවා කියන්නෙ මොකක්ද?
පින්වත් මහණෙනි, ඇතැම් කෙනෙක් ස්වභාවයෙන් ම තියුණු රාගයෙන් යුක්ත නෑ. ඔහු නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නෙත් නෑ. ස්වභාවයෙන් ම තියුණු ද්වේෂ ඇත්තෙත් නෑ. ඔහු නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නෙත් නෑ. ඔහු ස්වභාවයෙන් ම තියුණු මෝහය තියෙන කෙනෙකුත් නොවෙයි. ඔහු නිතර ම මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නෙත් නෑ.
ඔහු කාමයෙන් වෙන්ව අකුසල්වලින් වෙන්ව විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැපය තියෙන පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. විතර්ක විචාර සංසිඳවලා, තමා තුළ ප්‍රසන්න භාවය ඇතිකරගෙන සිතේ එකඟකම බලවත් කරගෙන, විතර්ක විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීති සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. ප්‍රීතියට ඇලෙන්නෙත් නැතුව, උපේක්ෂාවෙන් ඉන්නවා. සිහියෙන්, නුවණින්, යුක්තව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒකට කියන්නෙ උපේක්ෂා සහගතව සිහියෙන් යුතුව සනීපෙට ඉන්නවා කියලයි. අන්න ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. සැපත් නැතිකරල, දුකත් නැතිකරල, කලින් ම මානසික සැප දුක් අත්හැරලා, දුක් රහිත, සැප රහිත, පිරිසිදු උපේක්ෂාවත්, සිහියත් ඇති හතරවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. ඔහු කය බිඳිල මැරුණට පස්සෙ සැප ඇති සුගති ලෝකෙ උපදිනවා. පින්වත් මහණෙනි, ඔන්න ඕකට යි කියන්නෙ මේ ජීවිතේ දී ත් සැප තියෙන, පරලොව දී ත් සැප විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියල.
පින්වත් මහණෙනි, මේවට තමයි යහපත අයහපත සමාදන් වීම් හතර කියල කියන්නෙ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
යහපත අයහපත සමාදන් වීම ගැන වදාළ කුඩා දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M