මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ‘කලක්දක නිවාප’ නම් වේළුවනාරාමයේ. එදා විසාඛ උපාසකතුමා (ගිහි කල තම බිරිඳ වූ) ධම්මදින්නා භික්ෂුණිය බැහැදකින්න ගියා. ගිහින් ධම්මදින්නා භික්ෂුණියට වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. ඊට පස්සෙ පැත්තකින් වාඩිවුණු විසාඛ උපාසකතුමා ධම්මදින්නා භික්ෂුණිය ගෙන් මෙහෙම විමසුවා.
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ‘සක්කාය, සක්කාය’ කියන වචනය ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ආර්යාවනි, මේ ‘සක්කාය’ කියන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක් ගැන ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, මේ ‘සක්කාය’ කියන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධය ගැනයි. එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මෙයයි. ආයුෂ්මත් විසාඛ, මේ පංච උපාදානස්කන්ධයටයි භාග්‍යවතුන් වහන්සේ ‘සක්කාය’ කියල වදාළේ.”
“සාදු! සාදු! ආර්යාවනි” කියල විසාඛ උපාසකතුමා ධම්මදින්නා භික්ෂුණිය ගේ සදහම් පිළිතුර සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුනා. යළිත් ධම්මදින්නා භික්ෂුණිය ගෙන් තවදුරටත් විමසුවා.
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ‘සක්කාය හටගන්නවා, සක්කාය හටගන්නවා’ කියල වචනයක් ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ආර්යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ ‘සක්කාය හටගැනීම’ යනුවෙන් වදාළේ කුමක් ගැන ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, යළිත් භවයක් හැදෙන (පෝනෝභවිකා) ආශ්වාදයෙන් ඇලෙන (නන්දිරාග සහගතා) ගිය ගිය තැන සතුටින් පිළිගන්නා (තත්‍ර තත්‍රාභිනන්දිනී) යම් තණ්හාවක් ඇද්ද, ඒ කියන්නෙ; කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවයි. ආයුෂ්මත් විසාඛ, භාග්‍යවතුන් වහන්සේ මේ ත්‍රිවිධ තණ්හාවටයි ‘සක්කාය හටගැනීම’ යනුවෙන් වදාළේ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ‘සක්කාය නිරුද්ධ වීම, සක්කාය නිරුද්ධ වීම’ කියන වචනය ධර්මයේ සඳහන් වෙනවා. ‘සක්කාය නිරුද්ධ වීම’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක් ගැන ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ඒ ත්‍රිවිධ තණ්හාවේ ම ඉතිරි නැතුව, නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරු වීමක් ඇද්ද, නිදහස් වීමක් ඇද්ද, ආලය දුරු කිරීමක් ඇද්ද, ආයුෂ්මත් විසාඛ, මේ තණ්හාව නැති කිරීම ම යි භාග්‍යවතුන් වහන්සේ ‘සක්කාය නිරුද්ධ වීම’ යනුවෙන් වදාළේ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ‘සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල, සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල’ යන වචනය ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ආර්යාවෙනි, ‘සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක් ගැන ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ‘සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල’ හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ම යි. ඒ කියන්නෙ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේවායි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, උපාදාන කියන්නෙ පංච උපාදානස්කන්ධයට ද? එහෙම නැත්නම් උපාදාන කියන්නෙ පංච උපාදානස්කන්ධයෙන් බැහැර දේකට ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, උපාදාන කියන්නෙ පංච උපාදානස්කන්ධයට නොවෙයි. ඒ වගේම උපාදාන කියන්නෙ පංච උපාදානස්කන්ධයෙන් බැහැර දේකටත් නොවෙයි. ආයුෂ්මත් විසාඛ, පංච උපාදානස්කන්ධය ගැන කැමැත්තෙන් ඇලීමක් (ඡන්දරාගෝ) ඇද්ද, ඒක තමයි එතන තියෙන උපාදානය.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සක්කාය දිට්ඨිය ඇතිවෙන්නෙ කොහොමද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ආර්යන් වහන්සේලාව හඳුනන්නෙ නෑ. ආර්ය ධර්මයක් තේරුම්ගන්න දක්ෂත් නෑ. ආර්ය ධර්මයක හික්මෙන්නෙත් නෑ. සත්පුරුෂයන් හඳුනන්නෙත් නෑ. සත්පුරුෂ ධර්මය තේරුම්ගන්න දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයක පුහුණු වෙන්නෙත් නෑ.
ඉතින් ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා ‘රූපය ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය රූපවත් ය’ කියල මුලාවෙන් දකිනවා. ‘රූපය තිබෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය තිබෙන්නෙ රූපය තුළ’ කියල මුළාවෙන් දකිනවා.
‘විඳීම ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය විඳීමෙන් හටගත්ත දෙයක්’ කියල මුලාවෙන් දකිනවා. ‘විඳීම තියෙන්නෙ ආත්මය තුළයි’ කියල මුලාවෙන් දකිනවා. ‘විඳීම තුළයි ආත්මය තියෙන්නෙ’ කියල මුලාවෙන් දකිනවා.
‘සඤ්ඤාව ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය සඤ්ඤාවෙන් හැදිල තියෙනවා’ කියල මුලාවෙන් දකිනවා. ‘සඤ්ඤාව තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය තියෙන්නෙ සඤ්ඤාව තුළ’ කියල මුලාවෙන් දකිනවා.
‘සංස්කාර ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘සංස්කාරවලින් හටගත් ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකිනවා. ‘සංස්කාර තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය තියෙන්නෙ සංස්කාර තුළ’ කියල මුලාවෙන් දකිනවා.
‘විඤ්ඤාණය ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකිනවා. ‘විඤ්ඤාණය තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය තියෙන්නෙ විඤ්ඤාණය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ආයුෂ්මත් විසාඛ, ඔන්න ඔය විදියටයි සක්කාය දිට්ඨිය ඇතිවෙන්නෙ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සක්කාය දිට්ඨිය ඇති නොවන්නෙ කොහොම ද? ”
(පිළිතුර) ආයුෂ්මත් විසාඛ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මයක් තේරුම්ගන්නත් දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂයන්ව හඳුනනවා. සත්පුරුෂ ධර්මය තේරුම්ගන්නත් දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා.
ඔහු ‘රූපය ආත්මය’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘රූපය තිබෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තිබෙන්නෙ රූපය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ.
‘විඳීම ආත්මය’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘විඳීමෙන් හටගත් ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තුළයි විඳීම තියෙන්නෙ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘විඳීම තුළයි ආත්මය තියෙන්නෙ’ කියල මුළාවෙන් දකින්නෙ නෑ.
‘සඤ්ඤාව ආත්මය’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘සඤ්ඤාවෙන් හැදිච්ච ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘සඤ්ඤාව තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තියෙන්නෙ සඤ්ඤාව තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ.
‘සංස්කාර ආත්මයයි’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘සංස්කාරවලින් හැදිච්ච ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘සංස්කාර තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තියෙන්නෙ සංස්කාර තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ.
‘විඤ්ඤාණය ආත්මයයි’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘විඤ්ඤාණයෙන් හැදිච්ච ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘විඤ්ඤාණය තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තියෙන්නෙ විඤ්ඤාණය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ආයුෂ්මත් විසාඛ, ඔන්න ඔය විදිහටයි සක්කාය දිට්ඨිය නැතිව යන්නෙ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, මොකක් ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නෙ?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් මේක ම යි. ඒ කියන්නෙ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේවායි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය සංඛතයක් (හේතුඵල දහමින් සකස් වූ දෙයක්) ද? නැත්නම් අසංඛතයක් (හේතුඵල දහමින් සකස් වූ නොවූ දෙයක්) ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංඛතයකි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ස්කන්ධ තුන සමන්විත යි ද? එහෙම නැත්නම්, ස්කන්ධ තුන තුළින් ද ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදිල තියෙන්නෙ?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ස්කන්ධ තුන හැදිල තියෙන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නොවෙයි. ආයුෂ්මත් විසාඛ, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ස්කන්ධ තුනෙන් හැදිල තියෙන්නෙ. ආයුෂ්මත් විසාඛ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තියෙන්නෙ සීලස්කන්ධයේ. සමාධි ස්කන්ධයට ඇතුළත් වන්නෙ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංගයි. ප්‍රඥා ස්කන්ධයට ඇතුළත් වන්නෙ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ගාංගයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සමාධිය කියන්නෙ මොකක් ද? සමාධියට මුල්වෙන අරමුණු කියන්නෙ මොනවා ද? සමාධි පිරිකර කියන්නෙ මොනවා ද? සමාධිය වඩනවා කියන්නෙ මොකක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, කුසල් සිතක යම් එකඟ බවක් ඇද්ද, මේක තමයි සමාධිය. සමාධියට මුල් වෙන අරමුණු කියන්නෙ සතර සතිපට්ඨානයටයි. සමාධි පිරිකර කියල කියන්නෙ සතර සම්‍යක්ප්‍රධාන වීරියටයි. සමාධිය වැඩීම කියල කියන්නෙ ඔය චිත්ත ඒකාග්‍රතාවයත්, සතර සතිපට්ඨානයත්, සතර සම්‍යක්ප්‍රධානයත්, නිතර පුරුදු කිරීමයි. වැඩීමයි. බහුල වශයෙන් වැඩීමයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සංස්කාර කොච්චර තියෙනවා ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සංස්කාර තුනක් තියෙනවා. ඒ කියන්නෙ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවායි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, කාය සංස්කාර කියන්නෙ මොනවා ද? වචී සංස්කාර කියන්නෙ මොනවා ද? චිත්ත සංස්කාර කියන්නෙ මොනවා ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, කාය සංස්කාර කියන්නෙ, ආශ්වාස ප්‍රශ්වාස වලටයි. වචී සංස්කාර කියන්නේ විතර්ක විචාරවලටයි. චිත්ත සංස්කාර කියන්නෙ සඤ්ඤා විඳීම්වලටයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ආශ්වාස ප්‍රශ්වාසවලට කාය සංස්කාර කියන්නෙ මොකද? විතර්ක විචාරවලට වචී සංස්කාර කියන්නෙ මොකද? සඤ්ඤා විඳීම්වලට චිත්ත සංස්කාර කියන්නෙ මොකද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ආශ්වාස ප්‍රශ්වාස කායික දෙයක්. ඒවා බැඳිල තියෙන්නෙ කයටයි. ඒ නිසයි ආශ්වාස, ප්‍රශ්වාසවලට කාය සංස්කාර කියන්නෙ. ආයුෂ්මත් විසාඛ, ඉස්සෙල්ල ම කරන්නෙ හිතින් විතර්ක විචාර කරන එක. ඊට පස්සෙ තමයි වචන කතා කරන්නෙ. ඒ නිසයි විතර්ක විචාරවලට වචී සංස්කාර කියන්නෙ. සඤ්ඤා වේදනා දෙක සිතටයි අයිති. ඒවා සිත හා බැඳිලයි තියෙන්නෙ. ඒ නිසා ම තමයි සඤ්ඤා වේදනාවලට චිත්ත සංස්කාර කියන්නෙ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නෙ කොහොම ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුවට මෙහෙම හිතෙන්නෙ නෑ. ‘මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන. එහෙම නම් දැන් මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඔන්න දැන් මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුනා’ කියල. නමුත් ඒ භික්ෂුවගේ හිත කලින් ම ඒ විදිහට දියුණු කරලයි තියෙන්නෙ. ඒ නිසයි නිරෝධ සමාපත්තියට සුදුසු විදිහට සිත සකස් වෙන්නෙ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුණු භික්ෂුව තුළ ඉස්සෙල්ලා ම නිරුද්ධ වෙන්නෙ මොනවා ද? කාය සංස්කාර ද? වචී සංස්කාර ද? චිත්ත සංස්කාර ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව තුළ ඉස්සෙල්ලා ම නිරුද්ධ වෙන්නෙ වචී සංස්කාර, ඊට පස්සෙ නිරුද්ධ වෙන්නෙ කාය සංස්කාර, ඊට පස්සෙ නිරුද්ධ වෙන්නෙ චිත්ත සංස්කාර.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නෙ කොහොම ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට මෙහෙම හිතෙන්නෙ නෑ. ‘මං සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්න ඕන. එහෙම නම් දැන් මං සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. ඔන්න මං සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටා’ කියල. නමුත් ඒ භික්ෂුව තුළ නිරෝධ සමාපත්තියෙන් නැගිටින විදිහට කලින් ම සිත දියුණු කරලයි තියෙන්නෙ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට ඉස්සෙල්ලා ම ඇතිවෙන්නෙ මොනවා ද? කාය සංස්කාර ද? වචී සංස්කාර ද? චිත්ත සංස්කාර ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුව තුළ ඉස්සෙල්ලා ම ඇතිවෙන්නෙ චිත්ත සංස්කාර, ඊට පස්සෙ ඇති වෙන්නෙ කාය සංස්කාර, ඊට පස්සෙ ඇති වෙන්නෙ වචී සංස්කාර.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට භික්ෂුව ගේ සිතට දැනෙන්නෙ කොයි ආකාරයේ ස්පර්ශයන් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට භික්ෂුවට තුන් ආකාරයක ස්පර්ශයක් දැනෙනවා. ‘සුඤ්ඤතය’ ස්පර්ශ වෙනවා. ‘අනිමිත්තය’ ස්පර්ශ වෙනවා. ‘අප්පණිහිතය’ ස්පර්ශ වෙනවා.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට භික්ෂුවගේ සිත යොමු වෙලා තියෙන්නෙ මොනවාට ද? නැඹුරු වෙලා තියෙන්නෙ මොනවාට ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට භික්ෂුවගේ සිත මානසික විවේකයටයි නැඹුරු වෙලා තියෙන්නෙ. මානසික විවේකයටයි යොමු වෙලා තියෙන්නෙ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, විඳීම් කීයක් තියෙනවා ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, විඳීම් තුනක් තියෙනවා. සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත වීඳීම කියලා.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප විඳීම කියන්නෙ මොකක් ද? දුක් විඳීම කියන්නෙ මොකක් ද? දුක් සැප රහිත විඳීම කියල කියන්නෙ මොකක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, කායිකව හෝ මානසිකව හෝ යම්කිසි සැපයක්, මිහිරක් විඳිනවා නම් ඒක තමයි සැප විඳීම. ආයුෂ්මත් විසාඛ, කායිකව හෝ මානසිකව හෝ යම්කිසි දුකක්, අමිහිරි බවක් විඳිනවා නම් ඒක තමයි දුක් විඳීම කියන්නෙ. ආයුෂ්මත් විසාඛ, කායිකව හෝ මානසිකව හෝ යම්කිසි මිහිරිත් නැති, අමිහිරිත් නැති, විඳීමක් විඳිනවා නම් ඒක තමයි දුක් සැප රහිත විඳීම.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප විඳීමේ තියෙන සැපය මොකක් ද? දුක මොකක් ද? දුක් විඳීමේ තියෙන දුක මොකක් ද? සැපය මොකක් ද? දුක් සැප රහිත විඳීමේ තියෙන සැපය මොකක් ද? දුක මොකක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සැප විඳීම පැවතීම ම යි සැපය. ඒ සැප විඳීම වෙනස් වීමයි දුක. දුක් විඳීමේ පැවතීම ම යි දුක. දුක් විඳීම වෙනස් වීමයි සැපය. දුක් සැප රහිත විඳීම අවබෝධ වීමයි සැපය. ඒක අවබෝධ නොවීමයි දුක.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප විඳීමේ දී, සිත තුළ බැසගන්නේ කොයි අනුසයක් ද? දුක් විඳීමේ දී සිත තුළ බැසගන්නේ කොයි අනුසයක් ද? දුක් සැප රහිත (උපේක්ෂා) විඳීමක් විඳීමේ දී සිත තුළ බැසගන්නේ කොයි අනුසයක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සැප විඳීමේ දී සිත තුළ බැසගන්නේ රාග අනුසයයි. දුක් විඳීමේ දී සිත තුළ බැසගන්නෙ පටිඝ අනුසයයි. දුක් සැප රහිත (උපේක්ෂා) විඳීමේ දී හිත තුළ බැසගන්නෙ අවිද්‍යා අනුසයයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, හැම සැප විඳීමක දී ම සිත තුළ රාගානුසය බැසගන්නවා ද? හැම දුක් විඳීමක දී ම සිත තුළ පටිඝ අනුසය බැසගන්නවා ද? දුක් සැප රහිත හැම විඳීමක දී ම සිත තුළ අවිද්‍යා අනුසය බැසගන්නවා ද?”
(පිළිතුර) “නෑ ආයුෂ්මත් විසාඛ, හැම සැප විඳීමක දී ම සිත තුළ රාගානුසය බැසගන්නෙ නෑ. හැම දුක් විඳීමක දී ම සිත තුළ පටිඝ අනුසය බැසගන්නෙ නෑ. හැම දුක් සැප රහිත විඳීමක දී ම සිත තුළ අවිද්‍යා අනුසය බැසගන්නෙ නෑ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප වේදනාවෙහි කුමක් ප්‍රහාණය කළ යුතු ද? දුක් වේදනාවෙහි කුමක් ප්‍රහාණය කළ යුතු ද? උපේක්ෂා වේදනාවෙහි කුමක් ප්‍රහාණය කළ යුතු ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ප්‍රහාණය කරන්න තියෙන්නෙ සැප විඳීම තුළින් ඇතිවෙන රාගානුසයයි. ප්‍රහාණය කරන්න තියෙන්නෙ දුක් විඳීම තුළින් ඇතිවෙන පටිඝානුසයයි. ප්‍රහාණය කරන්න තියෙන්නෙ උපේක්ෂා විඳීම තුළින් ඇතිවෙන අවිද්‍යානුසයයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, හැම සැප විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු රාගානුසයක් තියෙනවා ද? හැම දුක් විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු පටිඝානුසයක් තියෙනවා ද? හැම උපේක්ෂා විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු අවිද්‍යා අනුසයක් තියෙනවා ද?”
(පිළිතුර) “නෑ ආයුෂ්මත් විසාඛ, හැම සැප විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු රාගානුසයක් නෑ. හැම දුක් විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු පටිඝානුසයක් නෑ. හැම උපේක්ෂා විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු අවිද්‍යානුසයක් නෑ.
ආයුෂ්මත් විසාඛ, මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙනවා. අකුසල් වලින් වෙන් වෙනවා. විතර්ක සහිත විචාර සහිත මානසික විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛය තියෙන පළවෙනි ධ්‍යානය ලබාගෙන ඉන්නවා. ඒ තුළ ඉඳල රාගය අත්හරිනවා. එතකොට ඒ ධ්‍යානය තුළ ඇතිවෙන සැපයට රාගානුසය හටගන්නෙ නෑ.
ආයුෂ්මත් විසාඛ, මෙහි භික්ෂුව මේ විදිහට නුවණින් සිහිකරන්න පටන් ගන්නවා. ‘පින්වත් ආර්යයන් වහන්සේලා ඒ උතුම් අරහත්වයට පැමිණිල වැඩසිටිනවා නෙව. අනේ! මාත් කවරදාක නම් ඒ අමා නිවන් සුව සාක්ෂාත් කරන්න ද!’ මේ විදිහට අනුත්තර වූ විමුක්ති සැප ගැන නුවණින් විමසන කොට, ඒ කෙරෙහි කැමැත්තක් ඇතිවෙනවා. ඒ හේතුවෙන් සිතේ දුකකුත් ඇති වෙනවා. හැබැයි ඒ විමුක්තිය ලබන අදහසේ ඉඳල ම යි පටිඝය දුරු කරන්නෙ. ඒ නිසා අමා නිවන ලබන්න හිතන විට ඇති වන දුක තුළ පටිඝානුසය ඇති වෙන්නෙ නෑ.
ආයුෂ්මත් විසාඛ, භික්ෂුව සැපයත් නැතිකරනවා. දුකත් නැතිකරනවා. කලින් ම මානසික සැප දුක් දෙක දුරුකරනවා. දුක් නැති, සැප නැති, පිරිසිදු උපේක්ෂාවත් සිහියත් ඇති හතර වන ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ ධ්‍යානය මුල් කරගෙන ඔහු අවිද්‍යාව දුරු කරනවා. එතකොට ඒ ධ්‍යානය තුළ අවිද්‍යානුසය ඇතිවෙන්නෙ නෑ.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප විඳීමට විරුද්ධ දේ මොකක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සැප විඳීමට විරුද්ධ දේ දුක් විඳීමයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, දුක් විඳීමට විරුද්ධ දේ මොකක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, දුක් විඳීමට විරුද්ධ දේ සැප විඳීමයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, උපේක්ෂා විඳීමට පක්ෂ දේ මොකක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, උපේක්ෂා විඳීමට පක්ෂ දේ අවිද්‍යාවයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, අවිද්‍යාවට විරුද්ධ දේ මොකක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, අවිද්‍යාවට විරුද්ධ දේ විද්‍යාවයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, විද්‍යාවට පක්ෂ දේ මොකක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, විද්‍යාවට පක්ෂ දේ විමුක්තියයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, විමුක්තියට පක්ෂ දේ මොකක් ද?”
(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, විමුක්තියට පක්ෂ දේ ඒ අමා නිවනයි.”
(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ඒ අමා නිවනට පක්ෂ දේ මොකක් ද?”
“ආයුෂ්මත් විසාඛ, ප්‍රශ්නය ඉක්මවා ගියා. ප්‍රශ්නයේ සීමාව තේරුම් ගන්න ඔබට බැරි වුනා නෙව. ආයුෂ්මත් විසාඛ, මේ බඹසර ජීවිතය ඒ අමා නිවන පිහිට කරගෙනයි තියෙන්නෙ. මේ බඹසර ජීවිතය ඒ අමා නිවනින් ම සමාප්ත වෙනවා. ඉතින් ආයුෂ්මත් විසාඛ, ඔබ කැමති නම් භාග්‍යවතුන් වහන්සේ බැහැදැකලා ඔය කාරණේ අහන්න. භාග්‍යවතුන් වහන්සේ යම් විදිහකින් වදාරන සේක් ද, ඒ විදිහට මතක තබාගන්න.”
එතකොට විසාඛ උපාසකතුමා, ධම්මදින්නා භික්ෂුණියගේ ධර්ම කථාවට ගොඩක් සතුටු වුනා. සතුටින් අනුමෝදන් වුනා. අසුනින් නැගිටල ධම්මදින්නා භික්ෂුණියට වන්දනා කළා. පැදකුණු කළා. ඊට පස්සෙ එතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින්, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවෙලා, ධම්මදින්නා භික්ෂුණියත් සමග තමන් යම් ධර්ම කතාවක් කළා ද, ඒ මුළු ධර්ම කථාව ම භාග්‍යවතුන් වහන්සේට සැළ කළා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකතුමාට මෙහෙම වදාළා. “පින්වත් විසාඛ, ඔය ධම්මදින්නා භික්ෂුණිය හරිම බුද්ධිමත්. පින්වත් විසාඛ, ඔය ධම්මදින්නා භික්ෂුණිය මහා ප්‍රඥාවන්තයි. පින්වත් විසාඛ, ඔබ ඔය කාරණා මගෙන් ඇහුවොත්, මං පිළිතුරු දෙන්නෙත් ඔය විදිහට තමයි. ඔය ධර්ම සාකච්ඡාවේ දී කියවුණු කරුණු හරි. ඒ නිසා ඒක ඔය විදිහට ම මතක තබාගන්න ඕන.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. විසාඛ උපාසකතුමාත් ඒ ගැන ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණු සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වශයෙන් වදාළ කුඩා දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M