මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ පිළිසඳර කතා බහේ යෙදිලා, පැත්තකින් වාඩිවුනා. වාඩිවෙලා ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘ප්‍රඥා රහිත කෙනා, ප්‍රඥා රහිත කෙනා’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රඥා රහිත කෙනා කියල කියන්නෙ කොච්චරකින් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘අවබෝධයක් නෑ. අවබෝධයක් නෑ’ කියන අර්ථයෙනුයි ප්‍රඥා රහිත කෙනා කියල කියන්නෙ. අවබෝධයක් නැත්තෙ මොකක් ගැනද? ‘දුක කියන්නෙ මේකයි’ කියල අවබෝධයක් නෑ. ‘දුකේ හටගැනීම කියන්නෙ මේකයි’ කියල අවබෝධයක් නෑ. ‘දුකේ නැතිවීම කියන්නෙ මේකයි’ කියල අවබෝධයක් නෑ. ‘දුක් නැතිවන්නා වූ මාර්ගය මේකයි’ කියල අවබෝධයක් නෑ. ප්‍රිය අයුෂ්මතුන් වහන්ස, ‘අවබෝධයක් නෑ, අවබෝධයක් නෑ’ කියන අර්ථයෙනුයි ප්‍රඥා රහිත කෙනා කියල කියන්නෙ.”
“සාදු !සාදු ! ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියල ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ කරුණු සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුනා. ඊට පස්සෙ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් ආයෙමත් ප්‍රශ්නයක් ඇහුවා.
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘ප්‍රඥාවන්තයා, ප්‍රඥාවන්තයා’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රඥාවන්තයා කියල කියන්නෙ කොච්චරකින් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘අවබෝධ කරනවා, අවබෝධ කරනවා’ කියන අර්ථයෙනුයි ප්‍රඥාවන්තයා කියන්නෙ. අවබෝධ කරන්නෙ මොකක්ද? ‘දුක කියන්නෙ මේකයි’ කියල අවබෝධ කරනවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල අවබෝධ කරනවා. ‘මේක තමයි දුකේ නැතිවීම’ කියල අවබෝධ කරනවා. ‘මේක තමයි දුක් නැති වන්නා වූ මාර්ගය’ කියල අවබෝධ කරනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘අවබෝධ කරනවා, අවබෝධ කරනවා’ කියන අර්ථයෙනුයි ප්‍රඥාවන්තයා කියන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘විඤ්ඤාණය, විඤ්ඤාණය’ කියල කියනවා. ප්‍රිිය ආයුෂ්මතුන් වහන්ස, විඤ්ඤාණය කියන්නෙ කොච්චරකින් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘දැනගන්නවා, දැනගන්නවා’ කියන අර්ථයෙනුයි විඤ්ඤාණය කියන්නෙ. දැනගන්නෙ මොනවාද? සැපයත් දැනගන්නවා. දුකත් දැනගන්නවා. දුක් සැප රහිත බවත් දැනගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘දැනගන්නවා, දැනගන්නවා’ කියන අර්ථයෙනුයි විඤ්ඤාණය කියන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විඤ්ඤාණයකුත් ඇද්ද, මේ දේවල් එකට ද පවතින්නෙ? නැත්නම් වෙන් වෙලාද පවතින්නෙ? මේ දේවල් වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න පුළුවන්ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විඤ්ඤාණයකුත් ඇද්ද, මේ දේවල් තිබෙන්නෙ එකටයි. වෙන් වෙලා නොවෙයි. මේ දේවල් වෙන් වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන්කමක් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යමක් අවබෝධ කරයි නම්, ඒක තමයි දැනගන්නෙ. යමක් දැනගනී නම්, ඒක තමයි අවබෝධ කරන්නෙ. ඒ නිසා මේ දේවල් එකටයි පවතින්නෙ. වෙන් වෙලා නොවේ. මේ දේවල් වෙන් වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන්කමක් නෑ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විඤ්ඤාණයකුත් ඇද්ද, මේවා තියෙන්නෙ එකට නම්, මේවා තියෙන්නෙ වෙන් නොවී නම්, මේ දෙකේ තියෙන වෙනස්කම මොකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විඤ්ඤාණයකුත් ඇද්ද, මේවා තියෙන්නෙ එකට තමයි. මේවා තියෙන්නෙ වෙන් නොවී තමයි. නමුත් ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළ යුතු (භාවේතබ්බා) දෙයක්. විඤ්ඤාණය කියන්නෙ මුළුමනින් ම අවබෝධ කළ යුතු (පරිඤ්ඤෙය්‍යං) දෙයක්. ඕක තමයි මේ දෙකේ වෙනස.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘විඳීම, විඳීම’ කියල කියනවා. විඳීම කියල කියන්නෙ කොච්චරකින් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘විඳිනවා, විඳිනවා’ කියන අර්ථයෙනුයි විඳීම කියන්නෙ. මොකක් ද විඳින්නෙ? සැපත් විඳිනවා. දුකත් විඳිනවා. දුක් සැප රහිත බවත් විඳිනවා. ප්‍රිය ආයුෂ්මතුනි ‘විඳිනවා, විඳිනවා’ කියන අර්ථයෙනුයි විඳීම කියන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘සඤ්ඤාව සඤ්ඤාව’ කියල කියනවා. සඤ්ඤාව කියල කියන්නෙ කොච්චරකින් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘හඳුනාගන්නවා, හඳුනාගන්නවා’ කියන අර්ථයෙනුයි සඤ්ඤාව කියල කියන්නෙ. මොනවා ද හඳුනාගන්නෙ? නිල් පාටත් හඳුනාගන්නවා. කහ පාටත් හඳුනාගන්නවා. රතු පාටත් හඳුනා ගන්නවා. සුදු පාටත් හඳුනාගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘හඳුනාගන්නවා හඳුනාගන්නවා’ කියන අර්ථයෙනුයි සඤ්ඤාව කියන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් විඳීමක් ඇද්ද, යම් සඤ්ඤාවක් ඇද්ද, යම් විඤ්ඤාණයක් ඇද්ද, මේවා එකට ද තියෙන්නෙ? නැත්නම් වෙන් වෙලා ද? මේවා වෙන් වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් විඳීමක් ඇද්ද, යම් සඤ්ඤාවක් ඇද්ද, යම් විඤ්ඤාණයක් ඇද්ද, මේවා තියෙන්නෙ එකටයි. වෙන් වෙලා නොවෙයි. මේවා වෙන් වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන්කමක් නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යමක් විඳිනවා නම්, හඳුනගන්නෙ එයයි. යමක් හඳුන ගන්නවා නම්, දැනගන්නෙ එයයි. එම නිසා ඔය දේවල් තියෙන්නෙ එකට මිසක්, වෙන් වෙලා නොවෙයි. අනික, ඔය දේවල් වෙන් වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන්කමක් නෑ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පංච ඉන්ද්‍රියයන්ගෙන් වෙන්වුණු, පිරිසිදු මනෝ විඤ්ඤාණයෙන් දැනගන්න පුළුවන් වෙන්නෙ මොකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පංච ඉන්ද්‍රියයන්ගෙන් වෙන්වුණු පිරිසිදු මනෝ විඤ්ඤාණයෙන් ‘ආකාසය අනන්තයි’ කියල ආකාසානඤ්චායතනය දැනගන්න පුළුවනි. ‘විඤ්ඤාණය අනන්තයි’ කියල විඤ්ඤාණඤ්චායතනය දැනගන්න පුළුවනි. ‘මොකවත් නෑ’ කියල ආකිඤ්චඤ්ඤායතනය දැනගන්න පුළුවනි.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඒ දැනගන්න දේ අවබෝධ කරන්නෙ මොකෙන් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඒ දැනගන්න දේ අවබෝධ කරන්නෙ ප්‍රඥා ඇසින්.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රඥාවේ ඇති ප්‍රයෝජනය මොකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රඥාව විශේෂ ඥානය ලබාගැනීම (අභිඤ්ඤත්ථා) ප්‍රයෝජන කරගෙනයි තියෙන්නෙ. පූර්ණ අවබෝධය ලබාගැනීම (පරිඤ්ඤත්ථා) ප්‍රයෝජන කරගෙනයි තියෙන්නෙ. අකුසල් ප්‍රහාණය කිරීම (පහානත්ථා) ප්‍රයෝජන කරගෙනයි තියෙන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා දිට්ඨිය ඇතිවෙන්න උපකාර වෙන්නෙ මොනවා ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා දිට්ඨිය ඇතිවෙන්න උපකාර වෙන කරුණු දෙකකි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය අසන්න ලැබීමත්, (පරතෝ ඝෝෂය) ඊට අනුකූලව නුවණින් විමසීමත් (යෝනිසෝ මනසිකාරය) ය. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා දිට්ඨිය ඇතිවෙන්න උපකාර වෙන්නෙ ඔය කරුණු දෙකයි.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අංග කීයකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨිය ද, චිත්ත විමුක්ති ඵලය ඇතිකරන්නෙ? චිත්ත විමුක්ති ඵලය ආනිශංස කරගන්නෙ? ප්‍රඥා විමුක්ති ඵලය ඇති කරගන්නෙ? ප්‍රඥා විමුක්ති ඵලය ආනිශංස කරගන්නෙ?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කරුණු පහකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨිය නිසයි චිත්ත විමුක්ති ඵලය ඇතිවෙන්නෙ. චිත්ත විමුක්ති ඵලය ආනිශංස කරගන්නෙ. ප්‍රඥා විමුක්ති ඵලය ඇතිවෙන්නෙ. ප්‍රඥා විමුක්ති ඵලය ආනිශංස කරගන්නෙ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා දිට්ඨියට සීලයෙනුත් අනුග්‍රහ ලැබෙනවා. ධර්ම ඥානයෙනුත් අනුග්‍රහ ලැබෙනවා. සාකච්ඡාවෙනුත් අනුග්‍රහ ලැබෙනවා. සමථයෙනුත් අනුග්‍රහ ලැබෙනවා. විදර්ශනාවෙනුත් අනුග්‍රහ ලැබෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය කරුණු පහෙන් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨියෙනුයි චිත්ත විමුක්ති ඵලය ඇතිවෙන්නෙ. චිත්ත විමුක්ති ඵලය ආනිසංස කරගන්නෙ. ප්‍රඥා විමුක්ති ඵලය ඇතිවෙන්නෙ. ප්‍රඥා විමුක්ති ඵලය ආනිශංස කරගන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, භව කීයක් තියෙනවා ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, භව තුනයි තියෙන්නෙ. කාම භවය, රූප භවය හා අරූප භවයයි.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අනාගතේ ආයෙමත් භවයක් හැදිල උපදින්නෙ කොහොම ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයන්ගේ ඒ ඒ තැන, ඒ ඒ දෙය සතුටින් පිළිගැනීමක් ඇද්ද, අන්න ඒ නිසයි අනාගතේ ආයෙමත් භවයක් ඇතිවෙලා ඉපදීම සිද්ධ වෙන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අනාගතේ ආයෙමත් භවයක් හැදිල, උපදින ස්වභාවය නැතිවෙන්නෙ කොහොමද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අවිද්‍යාව කෙරෙහි තියෙන ඇලීම නැතිකිරීමෙන්, විද්‍යාව උපදවා ගැනීමෙන්, තණ්හාව නිරුද්ධ වීමෙන් තමයි අනාගතේ ආයෙමත් භවයක් හැදිල, ඉපදෙන ස්වභාවය නැතිවෙන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රථම ධ්‍යානය කියන්නෙ මොකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහි භික්ෂුව කාමයෙන් වෙන්ව. අකුසලයෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, චිත්ත විවේකයෙන් හටගත්, ප්‍රීතිය, සුඛය ඇති ප්‍රථම ධ්‍යානය ඇති කරගෙන ඉන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේක තමයි ප්‍රථම ධ්‍යානය කියල කියන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රථම ධ්‍යානය අංග කීයකින් යුක්තයි ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රථම ධ්‍යානය අංග පහකින් යුක්තයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රථම ධ්‍යානයට සමවැදිල ඉන්න භික්ෂුව තුළ විතර්කය තියෙනවා. විචාරය තියෙනවා. ප්‍රීතිය තියෙනවා. සුඛය තියෙනවා. සිතේ එකඟ බව තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රථම ධ්‍යානයේ තියෙන්නෙ ඔය අංග පහ තමයි.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රථම ධ්‍යානය තුළ අංග කීයක් නැද්ද? අංග කීයක් තියෙනවා ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ප්‍රථම ධ්‍යානය අංග පහකින් තොරයි. අංග පහකින් යුක්තයි. ප්‍රථම ධ්‍යානයට සමවැදෙන භික්ෂුව තුළ කාම අරමුණු ගැන ආශාවක් නෑ. තරහක් නෑ. නිදිමත අලස බව නෑ. හිතේ විසිරීමක් පසුතැවිල්ලක් නෑ, සැකයක් නෑ. නමුත් විතර්කය තියෙනවා. විචාරය තියෙනවා. ප්‍රීතිය තියෙනවා. සුඛය තියෙනවා. හිතේ එකඟ බව තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය විදියට පළවෙනි ධ්‍යානය අංග පහකින් තොරයි. අංග පහකින් යුක්තයි.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, විවිධ අරමුණු ඇති, විවිධ ගොදුරු ඇති, මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේ ඉන්ද්‍රියයන් පහ ඔවුනොවුන්ගේ අරමුණු ගැනීම් කළවම් කරගන්නෙ නෑ. එනම්; ඇස නැමැති ඉන්ද්‍රිය, කන නැමැති ඉන්ද්‍රිය, නාසය නැමැති ඉන්ද්‍රිය, දිව නැමති ඉන්ද්‍රිය, කය නැමැති ඉන්ද්‍රිය. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, නොයෙක් අරමුණු ඇති, නොයෙක් ගොදුරු ඇති, එකිනෙකට අදාළ අරමුණු කළවම් නොවෙන, ඔය ඉන්ද්‍රිය පහට පිළිසරණ මොකක් ද? ඔය ඉන්ද්‍රිය පහට ලැබෙන ඒ අරමුණු අත්දකින්නෙ කවුද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, විවිධ අරමුණු ඇති, විවිධ ගොදුරු ඇති, මේ ඉන්ද්‍රියයන් පහක් තියෙනවා. මේ ඉන්ද්‍රියයන් පහ ඔවුනොවුන්ගේ අරමුණු ගැනීම් කළවම් කරගන්නෙ නෑ. එනම්; ඇස නැමැති ඉන්ද්‍රිය, කන නැමැති ඉන්ද්‍රිය, නාසය නැමැති ඉන්ද්‍රිය, දිව නැමති ඉන්ද්‍රිය, කය නැමැති ඉන්ද්‍රිය ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, නොයෙක් අරමුණු ඇති, නොයෙක් ගොදුරු ඇති, එකිනෙකට අදාළ අරමුණු කළවම් නො වෙන, ඔය ඉන්ද්‍රිය පහට පිළිසරණ වෙන්නේ මනසයි. ඔවුනොවුන් ගේ ඒ අරමුණු විෂය අත්දකින්නේ ද මනස යි.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පංච ඉන්ද්‍රියයන් කියන්නෙ මේවාටයි. එනම්; ඇස නම් වූ ඉන්ද්‍රිය, කන නම් වූ ඉන්ද්‍රිය, නාසය නම් වූ ඉන්ද්‍රිය, දිව නම් වූ ඉන්ද්‍රිය, කය නම් වූ ඉන්ද්‍රියයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේ පංච ඉන්ද්‍රියයන් පවතින්නෙ කුමක උපකාරයෙන් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පංච ඉන්ද්‍රියයන් කියන්නෙ මේවාට යි. එනම්; ඇස නම් වූ ඉන්ද්‍රිය, කන නම් වූ ඉන්ද්‍රිය, නාසය නම් වූ ඉන්ද්‍රිය, දිව නම් වූ ඉන්ද්‍රිය, කය නම් වූ ඉන්ද්‍රියයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේ පංච ඉන්ද්‍රියයන් පවතින්නේ ආයුෂ උපකාරයෙන්.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආයුෂ පවතින්නේ කුමක උපකාරයෙන් ද?”
(පිළිතුර) “ආයුෂ පවතින්නෙ උණුසුම උපකාරයෙන්.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, උණුසුම පවතින්නේ කුමක උපකාරයෙන් ද?”
(පිළිතුර) “උණුසුම පවතින්නෙ ආයුෂ උපකාරයෙන්.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අපි දැන් ආයුෂ්මත් සාරිපුත්තයන් පැවසූ දෙය මේ විදිහට දන්නවා. ‘ආයුෂ පවතින්නෙ උණුසුම උපකාරයෙන්’ කියලා. ඒ වගේ ම ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අපි දැන් ආයුෂ්මත් සාරිපුත්තයන් පැවසූ කරුණ මේ විදිහටත් දන්නවා. ‘උණුසුම පවතින්නෙ ආයුෂ උපකාරයෙන්’ කියල.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය පැවසූ කරුණ අපි තේරුම් ගත යුත්තේ කොහොම ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මං ඕකට උපමාවක් කියන්නම්. උපමාවෙනුත් බුද්ධිමත් කෙනෙක් කරුණු අවබෝධ කරගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, තෙල් පහනක් දැල්වෙනවා කියල හිතන්න. ඒකෙ පහන් දැල්ල නිසා එළිය පේනවා. එළිය නිසා පහන් දැල්ල පේනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔන්න ඔය විදිහම යි, ආයුෂ තියෙන්නෙ උණුසුම උපකාරයෙනුයි. උණුසුම තියෙන්නෙ ආයුෂ උපකාරයෙනුයි.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය ආයු සංස්කාරයත්, විඳින දේවලුත් දෙක ම එකයි ද? එහෙම නැත්නම් ආයු සංස්කාරය වෙන එකක් ද? විඳින දේවල් වෙන එකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය ආයු සංස්කාරයත්, විඳින දේවලුත් එකක් ම නොවෙයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, බැරිවෙලාවත් ඔය ආයු සංස්කාරත්, විඳින දේවලුත් එකක් වුනා නම් සඤ්ඤා, විඳීම් නිරුද්ධ වූ නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුවගේ නැගිටීමක් නම් සිද්ධ වෙන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආයු සංස්කාර වෙන දෙයක් නිසා, විඳින දේවලුත් වෙන දෙයක් නිසා තමයි සඤ්ඤා විඳීම් නිරුද්ධ වූ සමාපත්තියට (නිරෝධ සමාපත්තියට) සමවදින භික්ෂුවට නැඟිටින්න පුළුවන් වෙන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් දවසක කරුණු කීයක් මේ කයෙන් නැති වුනොත් ද පැත්තකට දාපු හිත් පිත් නැති දරකඩක් වගේ දෙයක් බවට මේ කය පත්වෙන්නෙ?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේ ශරීරය යම් දවසක කරුණු තුනක් අත්හරිනවා. ඒ ආයුෂත්, උණුසුමත්, විඤ්ඤාණයත් කියන කරුණු තුනයි. එතකොට මේ ශරීරය බැහැර කරල දානවා, හිත් පිත් නැති දරකඩක් වගේ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මරණයට පත් වූ, කළුරිය කළ මළ කඳක් තියෙනවා. සඤ්ඤා, විඳීම්, නිරුද්ධ වුන සමාපත්තියට සමවැදුණු භික්ෂුවක් ඉන්නවා. මේ දෙකේ තියෙන වෙනස මොකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කළුරිය කළ, මැරුණ, මළකඳේ වෙනස මේකයි. ඒකෙ ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර නිරුද්ධ වෙලා නැතිවෙලා තියෙන්නෙ. විතක්ක, විචාර නම් වූ වචී සංස්කාරත් නිරුද්ධ වෙලා නැතිවෙලා තියෙන්නෙ. සඤ්ඤා විඳීම් නම් වූ චිත්ත සංස්කාරත් නිරුද්ධ වෙලා, නැතිවෙලා තියෙන්නෙ. ඒ වගේ ම ආයුෂත් ගෙවිල ඉවරයි. උණුසුමත් සංසිඳිල ඉවරයි. ඉන්ද්‍රියයනුත් බිඳිලා ඉවරයි.
යම් භික්ෂුවක් සඤ්ඤා, විඳීම් නිරුද්ධ වූ නිරෝධ සමාපත්තියට සමවදිනවා. එතකොට ඔහු තුළත් කාය සංස්කාර නිරුද්ධ වෙලා යනවා. නැතිවෙලා යනවා. වචී සංස්කාර නිරුද්ධ වෙලා යනවා. නැතිවෙලා යනවා. චිත්ත සංස්කාර නිරුද්ධ වෙලා යනවා. නැතිවෙලා යනවා. නමුත් ආයුෂ ගෙවිල නෑ. උණුසුම සංසිඳිල නෑ. ඉන්ද්‍රියයන් හරිම ප්‍රසන්නයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කළුරිය කළ, මරණයට පත් වූ, මළ කඳකත් සඤ්ඤා, වේදනා නිරුද්ධ වන සමාපත්තියට සමවදින භික්ෂුවගේත් ඔන්න ඔය වෙනස දකින්න තියෙනවා.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවදින්න කරුණු කීයක් උපකාර වෙනවා ද?”
(පිළිතුර) ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවදින්න කරුණු හතරක් උපකාර වෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, භික්ෂුව (1) සැප නැතිකරල දානවා. (2) දුකත් නැතිකරල දානවා. (3) කලින් ම සොම්නස් දොම්නස් දෙක අත්හැරලා දානවා. (4) දුක් සැප රහිත පිරිසිදු සිහියත්, උපේක්ෂාවත් තියෙන හතරවෙනි ධ්‍යානය ඇති කරගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවදින්න උපකාර වෙන්නෙ ඔය කරුණුයි.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, නිමිති රහිත චිත්ත විමුක්තියට සමවදින්න කරුණු කීයක් උපකාර වෙනවා ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අනිමිත්ත චේතෝවිමුක්තියට සමවදින්න කරුණු දෙකක් උපකාර වෙනවා. (1) කිසි නිමිත්තක් සිහිකරන්නෙ නැතුව ඉන්න ඕන. (2) අනිමිත්ත ධාතුව සිහිකරන්න ඕන. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔන්න ඔය කරුණු දෙක තමයි අනිමිත්ත චේතෝවිමුක්තියට සමවදින්න උපකාර වෙන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වන්න කරුණු කීයක් උපකාර වෙනවා ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අනිමිත්ත චේතෝවිමුක්තිය පවත්වන්න කරුණු තුනක් උපකාර වෙනවා. (1) සියලු නිමිති සිහි නොකර ඉන්න ඕන. (2) අනිමිත්ත ධාතුව පමණක් සිහිකරන්න ඕන. (3) කලින් ම සමවැදී සිටින කාලය අධිෂ්ඨාන කරගන්න ඕන. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔන්න ඔය කරුණු තුන තමයි අනිමිත්ත චේතෝවිමුක්තිය පවත්වන්න උපකාර වෙන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අනිමිත්ත චේතෝවිමුක්තියෙන් නැගිටින්න කරුණු කීයක් උපකාර වෙනවා ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අනිමිත්ත චේතෝවිමුක්තියෙන් නැගීසිටින්න කරුණු දෙකක් උපකාරී වෙනවා. (1) සියලු නිමිති සිහිකරන්න ඕන. (2) අනිමිත්ත ධාතුව සිහි නොකරන්න ඕන. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔන්න ඔය කරුණු දෙක තමයි අනිමිත්ත චේතෝවිමුක්තියෙන් නැගිටින්න උපකාර වෙන්නෙ.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් අප්‍රමාණ චේතෝවිමුක්තියක් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤා චේතෝවිමුක්තියක් ඇද්ද, යම් සුඤ්ඤත චේතෝවිමුක්තියක් ඇද්ද, යම් අනිමිත්ත චේතෝවිමුක්තියක් ඇද්ද, මේවා අර්ථ වශයෙනුත් වෙනස් ද? පැහැදිලි කිරීමෙනුත් වෙනස් ද? නැත්නම් අර්ථ වශයෙන් එකක් ද? පැහැදිලි කිරීම්වලින් විතරක් වෙනස් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් අප්‍රමාණ චේතෝවිමුක්තියක් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤා චේතෝවිමුක්තියක් ඇද්ද, යම් සුඤ්ඤත චේතෝවිමුක්තියක් ඇද්ද, යම් අනිමිත්ත චේතෝවිමුක්තියක් ඇද්ද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය දේවල් අර්ථ වශයෙනුත් වෙනස් වන, ප්‍රකාශ කිරීම් වශයෙනුත් වෙනස් වෙන, හැටියට කියන්න පුළුවන් ක්‍රමේකුත් තියෙනවා. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය දේවල් අර්ථ වශයෙන් එකක් ම වෙන, ප්‍රකාශ කිරීම් වශයෙන් විවිධාකාර වන විදිහට විස්තර කරන්න පුළුවන් ක්‍රමේකුත් තියෙනවා.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය දේවල් අර්ථ වශයෙනුත් වෙනස් වන, ප්‍රකාශ කිරීම් වශයෙනුත් වෙනස් වන විදිහට විස්තර කරන්න පුළුවන් ක්‍රමය මොකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහි භික්ෂුව මෙත් සිතින් යුතු ව එක් දිශාවකට පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි, තුන්වෙනි, හතර වෙනි දිශාවන්ට ත් පතුරුවා වාසය කරනවා. ඒ විදිහට ම උඩ, යට, හරහට, හැම තැන ම, හැම ලෙස ම, හැම ලොවට විපුල ලෙස සමාධිමත් සිතින් ප්‍රමාණ රහිත කොට වෛර නැති, තරහ නැති මෙත් සිත පතුරුවාගෙන ඉන්නවා. ඒ වගේම කරුණා සහගත සිත ….(පෙ)…. මුදිතා සහගත සිත ….(පෙ)…. උපේක්ෂා සහගත සිත එක් දිශාවකට පතුරුවාගෙන ඉන්නවා. ඒ වගේම දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි දිශාවන්ට ත් පතුරුවා ගෙන ඉන්නවා. ඒ වගේම උඩ, යට, හරහට, හැම තැන ම, හැම ලෙස ම, හැම ලොවට විපුල වූ සමාධිමත් සිතින් ප්‍රමාණ රහිත කොට වෛර නැති, තරහ නැති උපේක්ෂා සිත පතුරුවාගෙන ඉන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඒකට කියන්නෙ ‘අප්පමාණ චේතෝවිමුක්තිය’ කියලයි.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආකිඤ්චඤ්ඤා චේතෝවිමුක්තිය කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහි භික්ෂුව සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘මොකවත් නෑ’ කියල ආකිඤ්චඤ්ඤායතන සමාධිය ඇති කරගෙන ඉන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේකට තමයි ‘ආකිඤ්චඤ්ඤා චේතෝවිමුක්තිය’ කියල කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සුඤ්ඤත චේතෝවිමුක්තිය කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, භික්ෂුවක් අරණ්‍යකට ගිහිල්ල හරි, රුක් සෙවනකට ගිහිල්ල හරි, නිදහස් තැනකට ගිහිල්ල හරි, මේ විදිහට නුවණින් විමසනවා. ‘මේ ජීවිතය ආත්මය කියන දෙයිනුත් හිස් එකක්. ආත්මයකට අයිතියි කියන දේ වලිනුත් හිස් එකක්’ කියලා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔන්න ඕකටයි ‘සුඤ්ඤත චේතෝවිමුක්තිය’ කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අනිමිත්ත චේතෝවිමුක්තිය කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහි භික්ෂුව සියලු නිමිති සිහි නොකර අනිමිත්ත චිත්ත සමාධිය ඇති කරගෙන ඉන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේකට කියන්නෙ ‘අනිමිත්ත චේතෝවිමුක්තිය’ කියල.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය දේවල් අර්ථ වශයෙන් වෙනස් වෙන, ප්‍රකාශ කිරීම් වශයෙනුත් වෙනස් වෙන ක්‍රමය ඔන්න ඕක තමයි.”
(ප්‍රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අර්ථ වශයෙන් එකක් ම වෙන, ප්‍රකාශ කිරීම් වශයෙන් පමණක් වෙනස් වන ක්‍රමයක් තියෙනවා නම්, ඒ ක්‍රමේ මොකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, රාගය කියන්නෙ සසර දුකට ජීවිතය සීමා කරන දෙයක්. ද්වේෂය කියන්නෙ සසර දුකට ජීවිතය සීමා කරන දෙයක්. මෝහය කියන්නෙ සසර දුකට ජීවිතය සීමා කරන දෙයක්. ඒ රාග, ද්වේෂ, මෝහ රහතන් වහන්සේට ප්‍රහාණය වෙලා තියෙන්නෙ. මුලින් ම සිඳිල තියෙන්නෙ. කරටිය කැඩිච්ච තල් ගසක් වගේ වෙලා තියෙන්නෙ. අභාවයට පත්වෙලා තියෙන්නෙ. ආයෙමත් නූපදින ස්වභාවයට පත්වෙලයි තියෙන්නෙ. ඒ නිසා ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම්තාක් අප්‍රමාණ චේතෝ විමුක්තීන් ඇද්ද, ඒ සියල්ලෙන් අග්‍රවෙන්නෙ මේ අරහත් ඵල විමුක්තියයි. ඒ චිත්ත විමුක්තිය කිසිසේත් වෙනස් වෙන්නෙ නෑ. ඒ චිත්ත විමුක්තිය රාගයෙන් හිස් වෙලා තියෙන්නෙ. ද්වේෂයෙන් හිස් වෙලා තියෙන්නෙ. මෝහයෙන් හිස් වෙලා තියෙන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, රාගය කියන්නෙ සසර දුක හැදෙන දෙයක්. ද්වේෂය කියන්නෙ සසර දුක හැදෙන දෙයක්. මෝහය කියන්නෙ සසර දුක හැදෙන දෙයක්. රහත් භික්ෂුවට ඒ රාග, ද්වේෂ, මෝහ නැතිවෙලා තියෙන්නෙ. මුලින් ම සිඳිලයි තියෙන්නෙ. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා තියෙන්නෙ. අභාවයට පත්වෙලයි තියෙන්නෙ. ආයෙමත් නූපදින ස්වභාවයට පත්වෙලා තියෙන්නෙ. ඒ නිසා ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම්තාක් ආකිඤ්චඤ්ඤා චේතෝ විමුක්තීන් ඇද්ද, ඒ සියල්ලෙන් අග්‍රවෙන්නෙ, මේ අරහත් ඵල විමුක්තියයි. ඒ චිත්ත විමුක්තිය කිසිසේත් වෙනස් වෙන්නෙ නෑ. ඒ චිත්ත විමුක්තිය රාගයෙන් හිස් වෙලා තියෙන්නෙ. ද්වේෂයෙන් හිස් වෙලා තියෙන්නෙ. මෝහයෙන් හිස් වෙලා තියෙන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, රාගය කියන්නෙ සසර දුකට නිමිති හදන දෙයක්. ද්වේෂය කියන්නෙ සසර දුකට නිමිති හදන දෙයක්. මෝහය කියන්නෙ සසර දුකට නිමිති හදන දෙයක්. රහත් භික්ෂුවට ඒ රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය වෙලා තියෙන්නෙ. මුලින් ම සිඳිල තියෙන්නෙ. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා තියෙන්නෙ. අභාවයට පත්වෙලයි තියෙන්නෙ. ආයෙමත් නූපදින ස්වභාවයට පත්වෙලා තියෙන්නෙ. ඒ නිසා ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම්තාක් අනිමිත්ත චේතෝ විමුක්තීන් ඇද්ද ඒ සියල්ලෙන් අග්‍රවෙන්නෙ මේ අරහත් ඵල විමුක්තියයි. ඒ චිත්ත විමුක්තිය කිසිසේත් වෙනස් වෙන්නෙ නෑ. ඒ චිත්ත විමුක්තිය රාගයෙන් හිස් වෙලා තියෙන්නෙ. ද්වේෂයෙන් හිස් වෙලා තියෙන්නෙ. මෝහයෙන් හිස් වෙලා තියෙන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය දේවල් අර්ථ වශයෙන් එකක් ම වෙන, ප්‍රකාශ කිරීම් වශයෙන් විතරක් වෙනස් වන ක්‍රමයක් තියෙනවා කියල කිව්වෙ මේකට තමයි.”
ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළා. ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ මේ ගැන ගොඩාක් සතුටු වුනා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ දේශනාව සාදු නාද නංවමින් ඉතා සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වශයෙන් වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M