මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අංග ජනපදයේ, අංග ජනපදවාසීන්ගේ අස්සපුර කියන කුඩා නගරයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතෙදී තමයි මේ දේශනාව වදාළේ.
පින්වත් මහණෙනි, මහජනතාව ඔබව හඳුනන්නෙ ශ්‍රමණයන් හැටියටයි. ඔබත් කවුද කියල ඇහුවා ම උත්තර දෙන්නෙ ‘අපි ශ්‍රමණයො’ කියලයි. ඔය විදිහට ශ්‍රමණ නාමයෙන් හඳුන්වන, ශ්‍රමණ බව පවසන ඔබ මෙහෙම හිතන්න ඕන. ‘ශ්‍රමණ බවට පත්වෙන, බ්‍රාහ්මණ බවට පත්වෙන ගුණ ධර්ම තියෙනවා. අපි ඒ ගුණ ධර්ම ඇතුව ඉන්නවා. එතකොට අපට ‘ශ්‍රමණයන්’ කියල කීමත් ඇත්තක් වෙනවා. ශ්‍රමණයන් බවට අපි කරන ප්‍රකාශයත් ඇත්තක් වෙනවා. ඒ වගේම අපි යමෙකු ගේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් පිරිකර වළඳනවා නම්, අප කෙරෙහි ඒ කරන පුද පූජාවල් මහත්ඵල, මහානිසංස වෙනවා. අපේ මහණකමත් වඳ රහිත වෙනවා. ඵල සහිත වෙනවා. දියුණුවට පත්වෙනවා’ කියල, ඔන්න ඔය විදිහටයි පින්වත් මහණෙනි, හික්මිය යුත්තේ.
පින්වත් මහණෙනි, ශ්‍රමණ බව ඇතිකරන, බ්‍රාහ්මණ බව ඇතිකරන ගුණ ධර්ම මොනවාද?
පින්වත් මහණෙනි, ‘පවට ලැජ්ජාවත්, භයත් යන දෙකින් යුක්ත වෙනවා’ කියල ඔබ හික්මිය යුතුයි.
එතකොට පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘අපි දැන් පවට ලැජ්ජා භයෙන් යුතුව ඉන්නවා. අපට ඔය ඇති. ඔය ටික කර ගත්තහම මදෑ. මහණකමේ ඵලයත් ලබාගත්තා නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ නෙව’ කියල සෑහීමට පත්වෙනවාද?
පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැළකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී, ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා! පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? ‘අපි පිරිසිදු කායික හැසිරීම්වලින් යුක්ත වෙනවා. පැහැදිලි හැසිරීම්වලින් යුක්ත වෙනවා. විවෘත වෙනවා. අඩුපාඩු නැතුව ඉන්නවා. සංවරව ඉන්නවා. එහෙම පිරිසිදු කායික හැසිරීම් වලින් යුක්තව ඉඳීම නිසා, තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙත් නෑ’ කියල පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට හික්මිය යුතුයි.
පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘අපි දැන් පවට ලැජ්ජා භයෙන් යුතුව ඉන්නවා. අපගේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපට ඔය ඇති. ඔය ටික කරගත්තා ම මදෑ. මේකත් මහණකමෙන් ලබාගත්තු ඵලයක් නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ නෙව’ කියල සෑහීමකට පත්වෙනවාද?
පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැළකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී, ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා! පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? ‘අපි පිරිසිදු වචන කතා බහෙන් යුක්ත වෙනවා. යහපත් වචන කතා කරනවා. විවෘත වෙනවා. අඩුපාඩු නැතිව ඉන්නවා. සංවරව ඉන්නවා. පිරිසිදු වචන කතාබහ නිසා තමාව හුවා දක්වන්නෙත් නෑ. අනුන්ව හෙළා දකින්නෙත් නෑ’ කියල පින්වත් මහණෙනි ඔබ මේ විදිහට හික්මිය යුතුයි.
පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘අපි දැන් පවට ලැජ්ජා භයෙන් යුතුව ඉන්නවා. ඒ වගේම අපගේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතාබහත් පිරිසිදුයි. අපට ඔය ඇති. ඔය ටික කරගත්තා ම මදෑ. මේකත් මහණකමෙන් ලබාගත්තු ඵලයක් නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ නෙව’ කියල සෑහීමකට පත්වෙනවාද?
පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැළකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී, ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා! පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? ‘අපි පිරිසිදු සිතුවිලිවලින් යුක්ත වෙනවා. පැහැදිලි සිතුවිලිවලින් යුක්ත වෙනවා. විවෘත වෙනවා. අඩු පාඩු නැතුව ඉන්නවා. සංවරව ඉන්නවා. එහෙම පිරිසිදු සිතුවිලි වලින් යුක්ත වීම නිසා, තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙත් නෑ’ කියල පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට හික්මිය යුතුයි.
පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘අපි දැන් පවට ලැජ්ජා භයෙන් යුක්තව ඉන්නවා. අපගේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතාබහත් පිරිසිදුයි. අපේ අදහසුත් පිරිසිදුයි. අපට ඔය ඇති. ඔය ටික කරගත්තාම මදෑ. මේකත් මහණකමෙන් ලබාගත්තු ඵලයක් නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ නෙව’ කියල සෑහීමකට පත්වෙනවාද?
පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැළකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණුවෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී, ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා! පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? ‘අපි පිරිසිදු ජීවිත පැවැත්මෙන් යුක්ත වෙනවා. පැහැදිලි දිවි පැවැත්මෙන් යුක්ත වෙනවා. විවෘත වෙනවා. අඩු පාඩු නැතුව ඉන්නවා. සංවරව ඉන්නවා. ඒ පිරිසිදු ජීවිත පැවැත්ම නිසා තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙත් නෑ’ කියල පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට හික්මිය යුතුයි.
පින්වත් මහණෙනි, එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘අපි දැන් පවට ලැජ්ජා භය ඇතිව ඉන්නවා. අපේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතා බහත් පිරිසිදුයි. අපේ සිතුවිලිත් පිරිසිදුයි. අපේ ජීවිත පැවැත්මත් පිරිසිදුයි. අපට ඔය ඇති. ඔය ටික කරගත්තා ම මදෑ. මේකත් මහණකමෙන් ලබාගත්තු ඵලයක් නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ නෙව’ කියල සෑහීමකට පත්වෙනවාද?
පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැළකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී, ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා! පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? ‘අපි ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවා. ඇහෙන් රූප දැකල නිමිති සටහන් ගන්නෙ නෑ. කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. ඇස අසංවර කරගෙන ඉන්න කොට, ඇලීම් ගැටීම් ආදී අකුසල් හටඅරගෙන ප්‍රශ්න ඇතිවෙනවා නම්, ඒ ඇස සංවර කරගන්න පිළිපදිනවා. ඇස රැකගන්නවා. ඇසේ සංවර බවට පත්වෙනවා. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගඳ-සුවඳ ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රස දැනගෙන ….(පෙ)…. කයෙන් පහස ලබලා ….(පෙ)…. මනසින් අරමුණු දැනගෙන නිමිති සටහන් ගන්නෙ නෑ. කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. මනස අසංවර කරගෙන ඉන්නකොට ඇලීම්, ගැටීම් ආදී පාපී අකුසල් ඇතිවෙලා අවුල් හැදෙන නිසා, අන්න ඒ මනස සංවර කරන්ට පිළිපදිනවා. මනස රැකගන්නවා. මනසේ සංවරයට පත්වෙනවා’ කියල පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට හික්මිය යුතුයි.
එතකොට පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘අපි දැන් පවට ලැජ්ජා භයෙන් යුතුව ඉන්නවා. පිරිසිදු කායික හැසිරීම්වලින් යුක්තව ඉන්නවා. පිරිසිදු කතා බහෙන් යුක්තව ඉන්නවා. පිරිසිදු සිතුවිලි වලින් යුක්තව ඉන්නවා. පිරිසිදු ජීවිතයක් ගෙවනවා. ඉන්ද්‍රියයන් පවා සංවර කරගෙන ඉන්නවා. අපට ඔය ඇති. ඔය ටික කරගත්තා ම මදෑ. මහණකමේ ඵලයක් ලබාගත්තා නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ නෙව’ කියල සෑහීමකට පත්වෙනවාද?
පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැළකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී, ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා! පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? ‘අපි අවබෝධයෙන් යුතුව ම දානෙ වළඳනවා. නුවණින් සලකාගෙන ම ආහාර ගන්නවා. ඒ කියන්නෙ මේ ආහාර ගන්නෙ ශරීර ශක්තිය දියුණු කරගන්න නොවෙයි. සෙල්ලම් කරන්න නොවෙයි. ඇඟපත ලස්සන කරගන්න නොවෙයි. අඩු තැන් පුරෝගෙන සැරසෙන්න නොවෙයි. මේ කය පවත්වාගන්න විතරයි. ජීවත් වෙන්න විතරයි. වෙහෙස සංසිඳවාගන්න විතරයි. නිවන් මගට අනුග්‍රහ පිණිස විතරයි. ඔය විදිහට මං කලින් හටගත් බඩගිනි වේදනා නැතිකරල දානවා. අලුතින් බඩගිනි වේදනා උපදවන්නෙ නෑ. නිවැරදි ජීවිතයත්, පහසුවෙන් කල් ගතකිරීමත් ඇති කරගන්නවා’ කියල. පින්වත් මහණෙනි, ඔය විදිහට ඔබ හික්මිය යුතුයි.
පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘අපි දැන් පවට ලැජ්ජා භයෙන් යුතුව ඉන්නවා. අපේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතා බහත් පිරිසිදුයි. අපේ සිතුවිලිත් පිරිසිදුයි. අපේ ජීවිත පැවැත්මත් පිරිසිදුයි. ඉන්ද්‍රියයන් පවා සංවර කරගෙන ඉන්නෙ. අවබෝධයෙන් ම යි දානෙ ගන්නෙත්. ඉතින් අපට ඔය ඇති. ඔය ටික කරගත්තාම මදෑ. මේකත් මහණකමෙන් ලබාගත්තු ඵලයක් නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නෑ නෙව’ කියල සෑහීමකට පත්වෙනවා ද?
පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැළකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී, ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා! පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? ‘අපි නිදි වරාගෙන භාවනා කරන්න ඕන. දවල් කාලෙ සක්මන් භාවනාවෙනුත්, වාඩිවෙලා කරන භාවනාවෙනුත් නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරන්න ඕන. රාත්‍රි කාලෙ පළවෙනි යාමය ඉක්ම යන කල් සක්මන් භාවනාවෙනුත්, වාඩිවෙලා කරන භාවනාවෙනුත්, නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරගන්න ඕන. මධ්‍යම රාත්‍රියේදී දකුණු පැත්තට හැරිල දකුණු පය මත වම් පය ටිකක් පස්සට තබාගෙන සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙනවා. එතකොට සැතපෙන්නෙ පාන්දර නැගිටිනවා කියල හිතලා. ඉතින් පාන්දර ජාමෙට නැගිටලා සක්මන් භාවනාවෙනුත්, වාඩිවෙලා කරන භාවනාවෙනුත්, නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරගන්න ඕන’ කියල පින්වත් මහණෙනි, ඔබ ඔය විදිහට හික්මිය යුතුයි.
පින්වත් මහණෙනි, එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘අපි දැන් පවට ලැජ්ජා භය ඇතිව ඉන්නවා. අපේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතාබහත් පිරිසිදුයි. අපේ සිතුවිලිත් පිරිසිදුයි. අපේ ජීවිත පැවැත්මත් පිරිසිදුයි. ඉන්ද්‍රියයන් පවා සංවර කරගෙනයි ඉන්නෙ. අවබෝධයෙන් ම යි දානෙ වළඳන්නෙ. නිදි වරාගෙන බණ භාවනාත් කරනවා. ඉතින් අපට ඔය ඇති. ඔය ටික කරගත්තාම මදෑ. මේකත් මහණකමෙන් ලබාගත්තු ඵලයක් නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරගන්නත් නැහැ නෙව’ කියල සෑහීමකට පත් වෙනවාද?
පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැළකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී, ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා! පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? ‘අපි හොඳ සිහි නුවණින් යුක්ත වෙන්න ඕන. ඉස්සරහට යන කොට, ආපස්සට එන කොට හොඳ සිහි කල්පනාවෙන් ම යි කරන්න ඕන. ඉස්සරහ බලන කොට, වටපිට බලන කොට හොඳ කල්පනාවෙන් ම යි කරන්න ඕන. අත් පා හකුලන කොට, දිගහරින කොට හොඳ කල්පනාවෙන් ම යි කරන්න ඕන. දෙපොට සිවුරු, පාත්‍ර සිවුරු දරන කොට, හොඳ කල්පනාවෙන් ම යි කරන්න ඕන. දන්පැන් වළඳන කොට, සපා වළඳන කොට හොඳ කල්පනාවෙන් ම යි කරන්න ඕන. වැසිකිළි කැසිකිළි කිස කරන කොට, හොඳ කල්පනාවෙන් ම යි කරන්න ඕන. යනකොට, ඉන්නකොට, හිඳිනකොට, නිදනකොට, නිදිවරන කොට, කතා බස් කරන කොට, නිහඬව ඉන්න කොට හොඳ කල්පනාවෙන් ම යි කරන්න ඕන’ කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.
පින්වත් මහණෙනි, එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. ‘අපි දැන් පවට ලැජ්ජා, භය ඇතිව ඉන්නවා. අපේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතා බහත් පිරිසිදුයි. අපේ අදහසුත් පිරිසිදුයි. අපේ ජීවිත පැවැත්මත් පිරිසිදුයි. ඉන්ද්‍රියයන් පවා සංවර කරගෙනයි ඉන්නෙ. අවබෝධයෙන් ම යි දානෙ වළඳන්නෙ. නිදිවරාගෙන භාවනාත් කරනවා. සිහි නුවණිනුත් යුක්ත වුණා නෙව. ඉතින් අපට ඔය ඇති. ඔය ටික කරගත්තා ම මදෑ. මේකත් මහණකමෙන් ලබාගත්ත ඵලයක් නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරගන්න නැහැ නෙව’ කියල සෑහීමකට පත්වෙනවාද?
පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැළකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී, ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා! පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? පින්වත් මහණෙනි, භික්ෂුව හුදෙකලා වන සෙනසුන් ඇසුරු කරනවා. ඒ කියන්නෙ අරණ්‍ය, රුක් සෙවණ, කඳු, දිය ඇලි, ගල් ලෙන්, සොහොන් පිටි, වනගැබ, එළිමහන, පිදුරු ගෙවල් ආදියයි. ඒ භික්ෂුව පිණ්ඩපාතෙ කරගෙන දානෙ ටික වළඳලා පළඟක් බැඳගෙන වාඩි වෙනවා. කය සෘජු කරගන්නවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා. ඔහු මේ ජීවිතේ නම් වූ ලෝකය ගැන ඇති ඇල්ම දුරු කරලා, ඇලීම් රහිත සිතින් වාසය කරනවා. ආශාව බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. තරහ අත්හරිනවා. තරහ රහිත සිතින් වාසය කරනවා. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. තරහෙන් සිත වළක්වා පිරිසිදු කරනවා. ථීනමිද්ධය අත්හරිනවා. ථීනමිද්ධයෙන් තොරව ඉන්නවා. හොඳ සිහි නුවණින් යුක්තව ආලෝක සඤ්ඤාවෙන් ඉන්නවා. ථීනමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කරනවා. උද්ධච්ච කුක්කුච්චය අත්හරිනවා. කැළඹීම් රහිතව ඉන්නවා. තමා තුළ සිත සංසිඳවා ගන්නවා. උද්ධච්ච කුක්කුච්චය කෙරෙන් සිත නිදහස් කරගන්නවා. විචිකිච්ඡාව අත්හරිනවා. විචිකිච්ඡාවෙන් එතෙර වෙනවා. කුසල් දහම් ගැන සැක රහිත වෙනවා. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා’.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඔන්න කවුරු හරි ණයක් ගන්නවා. ඒ ණය මුදලින් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඉතින් ඔහු ඒ ආදායමෙන් කලින් ගත්තු ණය මුදල ගෙවල දානවා. ඔහුට අඹුදරුවන් පෝෂණය කිරීම සඳහා තව මුදලුත් ඉතුරු වෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං ඉස්සර ණය ගත්තා. ව්‍යාපාරවල යෙදෙව්වා. ඒ ව්‍යාපාර සාර්ථක වුනා. ඒ ආදායමෙන් කලින් ගත්තු ණය මුදල ගෙව්වා. දැන් මට අඹුදරුවන්ට සලකන්නත් ආදායම් තියෙනවා’ කියලා. එතකොට ඒ කාරණේ මුල් කරගෙන ඔහුගේ සිත පිනා යනවා. මහා සතුටක් ඇතිවෙනවා.
පින්වත් මහණෙනි, ඕක මේ වගේ දෙයක්. ඔන්න ලෙඩ වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. එයා ලෙඩ වෙලා අසාධ්‍ය වෙලා ඉන්නෙ. මොකවත් කන්න බොන්නත් බෑ. ඇඟේ පතේ කිසි හයියකුත් නෑ. ඔහොම ඉඳල පස්සෙ කාලෙක, ඒ ලෙඩේ සනීප වෙනවා. කන්න බොන්න පුළුවන් වෙනවා. ඇඟේ පතේ හයි හත්තිය ඇතිවෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං ඉස්සර ලෙඩ වෙලා, දුකට පත්වෙලා, අසාධ්‍ය වෙලා හිටියා. ඒ කාලෙ මට කෑම බීම අප්පිරියයි. ඇඟේ පතේ කිසි හයියක් තිබුනෙ නෑ. නමුත් දැන් මට ඒ ලෙඩේ සනීපයි. හොඳට බත් කන්නත් පුළුවනි. ඇඟේ පතේ දැන් හයිය තියෙනවා’ කියල. එතකොට ඔහුට ඒ ගැන හිතන කොට හිත පිනා යනවා. මහත් සතුටක් ඇතිවෙනවා.
පින්වත් මහණෙනි, ඕක මේ වගේ දෙයක්. ඔන්න එක පුද්ගලයෙක් හිරේ විලංගුවෙ වැටෙනවා. එයා පස්සෙ කාලෙ සුවසේ ම ඒ හිරෙන් නිදහස් වෙනවා. ඔහුගේ සැප සම්පත් නැති වුනෙත් නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං හිරේ විලංගුවෙ වැටිල හිටියේ. නමුත් දැන් මං සුවසේ ඒකෙන් නිදහස් වුනා. මගේ සම්පත් මොකුත් නැතිවෙලත් නෑ’ කියල. ඔහු ඒ ගැන හිතන කොට සිත පිනා යනවා. මහත් සතුටක් ඇතිවෙනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අනුන්ට යටත් වෙච්ච, පරාදීන වෙච්ච දාසයෙක්. ඔහුට කැමති තැනක යන්න පුළුවන්කමක් නෑ. ඒත් පස්සෙ කාලෙකදී ඔහු ඒ දාස භාවයෙන් නිදහස් වෙනවා. ස්වාධීන වෙනවා. හිතු මනාපෙට යන කෙනෙක් වෙනවා. ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං ඉස්සර දාසයෙක් වෙලා හිටියා. කිසි ම නිදහසක් තිබුනෙ නෑ. පරාදීන වෙලා හිටියා. නිදහසේ යන්න බැරුව ගියා. නමුත් දැන් මං ඒ වහල් බවෙන් නිදහස් වෙලා ඉන්නවා. නිදහසේ යන්න පුළුවන් වුනා. දැන් හිතුමනාපෙට ඕන තැනක යන්න පුළුවනි’ කියල. එතකොට ඒ පුද්ගලයාට ඒ ගැන හිතන කොට සිත පිනා යනවා. ලොකු සතුටක් ඇතිවෙනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඔන්න එක පුද්ගලයෙක් අතේ සල්ලි බාගෙ ඇතිව, කෑම් බීම් ඇතුව කාන්තාර ගමනක යෙදෙනවා. ඔහු ඒ කාන්තාරයෙන් සුවසේ එතෙර වෙනවා. ඔහුගේ කිසි සම්පතක් ඉවර වුනේ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං අතේ මිටේ සල්ලි තියාගෙනයි, කෑම් බීම් ඇතුවයි කාන්තාර ගමනට බැස්සේ. දැන් මං ඒ කාන්තාර ගමනෙන් සුවසේ එතෙර වුනා. මගේ කිසිම සම්පතක් වියදම් වුනෙත් නෑ’ කියලා. ඔහු එහෙම හිතන කොට සිත පිනා යනවා. ලොකු සතුටක් ඇතිවෙනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි භික්ෂුවක් සිතින් නැති නො වුන පංච නීවරණ දකින්නෙ ණයක් හැටියටයි, අසනීපයක් හැටියටයි, හිර ගෙයක් හැටියටයි, වහල් බවක් හැටියටයි, කාන්තාර මාර්ගයක් හැටියටයි. ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුව මේ පංච නීවරණ තම සිතින් නැති වූ විට දකින්නේ ණය නැති බවක් හැටියටයි, ආරෝග්‍ය හැටියටයි, හිරෙන් නිදහස් වීමක් හැටියටයි, දාස බවෙන් නිදහස් වීමක් හැටියටයි, ක්ෂේම භූමියක් හැටියටයි.
ඉතින් ඒ භික්ෂුව සිත කිලුටු කරන, ප්‍රඥාව දුර්වල කරන, ඒ පංච නීවරණ අත්හරිනවා. කාමයෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක, විචාර සහිත, මානසික විවේකයෙන් හටගත්, ප්‍රීති සුඛ ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. ඔහු මේ කය ම මානසික විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් සැපයෙන් තෙත් කරනවා. කය පුරා ම ප්‍රීති සැපයෙන් තෙත් කරනවා. ප්‍රීති සැපයෙන් කය පුරෝගන්නවා. කය පුරා පතුරෝනවා. ඔහුගේ කයේ විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය නොපැතිරුන තැනක් නෑ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. නැහැවීම පිණිස සුවඳ සබන් හදන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම්, එයාගේ ගෝලයෙක් ඉන්නවා. ඉතින් මෙයා නෑමට ගන්නා සුවඳ කුඩු අරගෙන භාජනේකට දානවා. ඊට පස්සෙ වතුර ඉහ, ඉහ ඒ සුවඳ කුඩු පිඬු කරනවා. එතකොට ඒ සුවඳ කුඩු පිණ්ඩය වතුරෙන් හොඳට තෙත් වුනත් දිය වෙලා වැක්කෙරෙන්නෙත් නැතුව ලොකු ගුලි හැටියට ම තියෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි, භික්ෂුව මේ කයත් මානසික විවේකයෙන් හටගත් ප්‍රීතියෙනුයි, සැපයෙනුයි තෙත් කරනවා. පුරෝනවා. ඇඟ පුරා ම පතුරෝනවා. එතකොට ඒ භික්ෂුවගේ ශරීරයේ මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය නොපැතිරුණු තැනක් නෑ.
පින්වත් මහණෙනි, තවදුරටත් කියනවා නම් භික්ෂුව විතර්ක විචාර සංසිඳවලා, තමන් තුළ චිත්ත ප්‍රසාදය ඇතිකරගෙන, සිත වඩාත් එකඟ කරගෙන, විතර්ක විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය තියෙන දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඔහු මේ කය ඒ සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙත් කරනවා. හැම තැන ම තෙමනවා. පුරෝනවා. ඇඟ පුරා ම පතුරෝනවා. ඔහුගේ ශරීරයේ ඒ සමාධියෙන් හටගත්තු ප්‍රීති සැපය නොපැතිරුණු තැනක් නෑ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සීතල දිය රැල්ලෙන් සිසිල් වන ජලාශයක් තියෙනවා. මේ ජලාශයේ නැගෙනහිර පැත්තෙනුත් ජලය එන මගක් නෑ. දකුණු පැත්තෙනුත් වතුර එන මගක් නෑ. බටහිර පැත්තෙනුත් වතුර එන මගක් නෑ. උතුරු පැත්තෙනුත් වතුර එන මගක් නෑ. ඒ වගේම වැස්සත් නෑ. නමුත් ඒ ජලාශය තුළින් ම මතුවන උල්පත් වලින් ඒ ජලාශය තව තවත් සීතලෙන් තෙමෙනවා. හැම තැන ම තෙමෙනවා. සීතලෙන් පිරෙනවා. හැම තැන ම පිරෙනවා. ඒ ජලාශය තුළ සීතලෙන් තෙත් නොවුණු කිසි තැනක් නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි, භික්ෂුව මේ කය ම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් තෙත් කරනවා. හැම තැනම තෙත් කරනවා. පුරෝනවා. හැම තැනම පතුරෝනවා. ඔහුගේ ශරීරයේ ඒ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය නො පැතිරුණු තැනක් නෑ.
පින්වත් මහණෙනි, තවදුරටත් කියනවා නම් භික්ෂුව ප්‍රීතියටත් ඇලෙන්නෙ නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා. සිහියෙන්, නුවණින් යුතුව, කයෙනුත් සැපයක් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒකට කියන්නෙ උපේක්ෂාවෙන්, සිහියෙන් යුතුව සැපසේ ඉන්නවා කියලයි. ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. ඔහු මේ කය ඒ ප්‍රීති රහිත සුඛයෙන් තෙත් කරනවා. හැම තැන ම තෙමනවා. පුරෝනවා. ඇඟ පුරා ම පතුරෝනවා. ඔහුගේ ශරීරයේ ඒ ප්‍රීති රහිත සුඛය නොපැතිරුණු තැනක් නෑ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්, මහනෙල් විලක හරි, නෙළුම් විලක හරි, සුදුනෙළුම් විලක හරි මහනෙල් පිපෙනවා. නෙළුම් පිපෙනවා. සුදුනෙළුම් පිපෙනවා. ඒවායින් සමහර මල් වතුරෙ ම ඉපදිල, වතුරෙ ම වැඩෙනවා. නමුත් වතුරෙන් උඩට ඇවිල්ලා නෑ. එතකොට මුල පටන් අග දක්වා ම සීතල වතුරෙන් ඒ මහනෙල්, නෙළුම්, සුදුනෙළුම් තෙමිල තියෙන්නෙ. හැම තැන ම තෙමිල තියෙන්නෙ. සීතල වතුර පැතිරිලා තියෙන්නෙ. හැම තැන ම පැතිරිලා තියෙන්නෙ. ඒ මහනෙල් මල හෝ නෙළුම හෝ සුදුනෙළුම හෝ සීතල වතුරෙන් තෙත් නොවුණු කිසි තැනක් නෑ. ඒ වගේ ම යි මෙහි භික්ෂුව ප්‍රීති රහිත සුඛයෙන් මේ ශරීරය තෙත් කරනවා. හැම තැන ම තෙත් කරනවා. පුරෝනවා. හැම තැන ම පුරෝනවා. හැම තැන ම පතුරෝනවා. ඔහුගේ ශරීරයේ ඒ ප්‍රීති රහිත සුඛයෙන් නොතෙමුන තැනක් නෑ.
පින්වත් මහණෙනි, තවදුරටත් කියනවා නම් භික්ෂුව සැපයත් දුරු කරලා, දුකත් දුරු කරලා, කලින් ම මානසික සැප දුක නැති කරලා, දුක් සැප රහිත පිරිසිදු සිහියත්, උපේක්ෂාවත් තියෙන හතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඔහුගේ ශරීරයේ ඒ පිරිසිදු සිත නොපැතිරුණු තැනක් නෑ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. යම්කිසි කෙනෙක් සුදු වස්ත්‍රයකින් හිසේ ඉඳන් පොරෝගෙන වාඩිවෙලා ඉන්නවා. එතකොට ඔහුගේ ශරීරයේ ඒ සුදු වස්ත්‍රයෙන් නොවැසුණු කිසි තැනක් නෑ. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහම යි භික්ෂුව මේ කය ම පිරිසිදු සිතින් පතුරුවාගෙන ඉන්නෙ. ඔහු ගේ කයේ ඒ පිරිසිදු සිත නොපැතිරුණු තැනක් නෑ.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සිත සමාධිගත වුනා ම, පිරිසිදු වුනා ම, බබලන කොට, ළාමක ආශාවන්ට වැටෙන මානසිකත්වය දුරුවුනාට පස්සෙ, උපක්ලේශ නැතිවුනා ම, මෘදු වුනා ම, අවබෝධයට සකස් වුනා ම, ස්ථීරව පිහිටියා ම, අකම්පිතව පිහිටියා ම, පෙර ගත කළ ජීවිත දැකීමේ ඥානය ලැබීමට සිත මෙහෙයවනවා. ඊට පස්සෙ ඔහු නොයෙක් ආකාරයෙන් තමන් පෙර ගත කළ ජීවිත ගැන සිහිකරනවා. එක ජීවිතයක්, ජීවිත දෙකක්. ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතලිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප සිහිකරනවා. නොයෙක් සංවට්ට විවට්ට කල්ප සිහිකරනවා. ‘මට එහෙදි මෙන්න මේ නම තමයි තිබුනෙ. මේ ගෝත්‍ර නම තමයි තිබුනෙ. මෙහෙමයි හැඩරුව. මේවයි කෑවෙ බිව්වෙ. මෙහෙමයි දුක් සැප වින්දේ. මෙහෙමයි මැරිල ගියේ. මං එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා. එහෙදි මගේ නම මේකයි. මගේ ගෝත්‍ර නම මේකයි. හැඩරුව මෙහෙමයි. කෑවෙ බීවෙ මෙහෙමයි. සැප දුක් වින්දෙ මෙහෙමයි. මැරිල ගියේ මෙහෙමයි. මං එතනින් චුතවෙලා මෙතන උපන්නා” කියල කරුණු සහිතව විස්තර සහිතව නොයෙක් ආකාරයෙන් පෙර ගත කළ ජීවිත සිහිකරනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කෙනෙක් තමන්ගේ ගමෙන් වෙන ගමකට යනවා. ඒ ගමෙන් තව ගමකට යනවා. ඒ ගමෙන් ආපහු හැරිල, තමන්ගේ ගමට එනවා. ඇවිදින් මේ විදිහට හිතනවා. ‘මං මේ ගමෙන් අසවල් ගමට ගියා. ගිහින් මේ විදිහටයි එහේ හිටියේ. මේ විදිහටයි ඉඳගත්තේ. මේ විදිහටයි කතා බස් කළේ. මේ විදිහටයි නිහඬව හිටියේ. ඒ ගමෙන් අසවල් ගමටත් ගියා. එහෙදි මේ විදිහටයි හිටියේ. මේ විදිහටයි ඉඳගත්තේ. මේ විදිහටයි කතා බස් කළේ. මේ විදිහටයි නිහඬව හිටියේ. ඊට පස්සෙ මං ඒ ගමෙන් ආපහු මගේ ගමට ආවා’ කියලා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට භික්ෂුව නොයෙක් ආකාරයෙන් පෙර ගත කළ ජීවිත සිහි කරනවා. එක ජීවිතයක්, ජීවිත දෙකක් ….(පෙ)…. මේ විදිහට කරුණු සහිතව විස්තර සහිතව නොයෙක් ආකාරයෙන් පෙර ගත කළ ජීවිත සිහි කරනවා.
ඔය විදිහට භික්ෂුව සිත සමාධිගත වුනා ම, පිරිසිදු වුනා ම, බබලන කොට, ළාමක ආශාවන්ට වැටෙන මානසිකත්වය දුරුවුනා ම, උපක්ලේශ නැතිවුනා ම, මෘදුවුනා ම, අවබෝධයට සුදුසු විදිහට සකස් වුනා ම, ස්ථීරව පිහිටියා ම, අකම්පිතව පිහිටියා ම, සත්වයන් චුත වෙන උපදින ආකාරය දැකීමේ නුවණ ලබන්න සිත මෙහෙයවනවා. ඉතින් ඔහු මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් සත්වයන්ව දකිනවා. උසස්, පහත්, ලස්සන, කැත, සුගති, දුගතිවල කර්මානුරූපව චුත වෙන, උපදින සත්වයින් දකිනවා. ‘අනේ මේ භවත් සත්වයන් කයින් දුසිරිත් කරලා, වචනයෙන් දුසිරිත් කරලා, සිතින් දුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට ගරහලා, මිථ්‍යා දෘෂ්ටික වෙලා, මිථ්‍යා දෘෂ්ටික ක්‍රියාවල යෙදිලා, අන්තිමේදී මැරිල ගිහින් අපාය කියන, දුගතිය කියන නිරයෙ වැටිලා නෙව. නමුත් මේ භවත් සත්වයන් කයින් සුසිරිත් කරලා, වචනයෙන් සුසිරිත් කරලා, මනසින් සුසිරිත් කරලා, ආර්ය උපවාද නොකර, සම්මා දිට්ඨිය ඇතුව, සම්මා දිට්ඨියෙන් යුතුව වැඩ කරලා, මැරුණට පස්සෙ සුගතියේ ඉපදිලා ඉන්නවා’ කියල මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් සත්වයන් දකිනවා. උසස්, පහත්, ලස්සන, කැත, සුගති, දුගතිවල කර්මානුරූපව චුත වන, උපදින සත්වයන් දකිනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. ඒ මැද මනුස්සයෙක් හිටගෙන ඉන්නවා. ඔහුට පේනවා ඒ ගෙදරට යන උදවිය. පිටවෙන උදවිය. එහෙ මෙහෙ හැසිරෙන උදවිය. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහම යි භික්ෂුව සාමාන්‍ය මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් සත්වයන්ව දකිනවා …..(පෙ)…. උසස්, පහත්, ලස්සන, කැත, සුගති, දුගතිවල කර්මානුරූපව, චුත වෙන, උපදින සත්වයන් දකිනවා.
භික්ෂුව ඔය විදිහට සිත සමාධිගත වුනා ම, පිරිසිදු වුනා ම, බබලන කොට, ලාමක ආශාවන්ට වැටෙන මානසිකත්වය නැති වුනා ම, මෘදු වුනා ම, අවබෝධයට සුදුසු විදිහට සකස් වුනා ම, ස්ථීරව පිහිටියා ම, අකම්පිත වුනා ම, ආශ්‍රවයන් ක්ෂය කිරීමේ නුවණ ලැබීමට සිත මෙහෙයවනවා. ඉතින් ඔහු ‘මේක තමයි දුක’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේක තමයි දුකේ නැතිවීම’ කියල යථාර්ථය දැන ගන්නවා. ‘මේක තමයි දුක නැතිවීමේ මාර්ගය’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේ තමයි ආශ්‍රවයන්ගේ හටගැනීම’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීම’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීමේ මාර්ගය’ කියල යථාර්ථය දැනගන්නවා. මේ විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැනගන්න කොට, යථාර්ථය දැකගන්න කොට, කාමාශ්‍රවයෙනුත් හිත නිදහස් වෙනවා. භවආශ්‍රවයෙනුත් හිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයෙනුත් හිත නිදහස් වෙනවා. හිත කෙලෙසුන් ගෙන් නිදහස් වුනා ම නිදහස් වුණු බවට ඤාණය ඇතිවෙනවා. ‘ඉපදීම නැති වුනා. නිවන් මග සම්පූර්ණ කරගත්තා. කළ යුතු දේ කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැ’යි අවබෝධයෙන් ම දැනගන්නවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කඳු මුදුනක ජලාශයක් තියෙනවා. ඒකෙ තියෙන්නෙ හොඳට පෑදුණු, කැළඹීම් නැති පිරිසිදු වතුරයි. ඒ විල්තෙරට ඇස් ඇති කෙනෙක් එනවා. ඇවිදින් ඒ විල්තෙර ඉඳගෙන, විල දිහා බලනවා. එතකොට විලේ ඉන්න සිප්පි බෙල්ලන්, හක් බෙල්ලන්, මාළු රංචු පීන පීන යනවා දකින්න ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මේ ජලාශයේ සිප්පි බෙල්ලන්, හක් බෙල්ලන්, මාළු රංචු පීනනවා දකින්න ලැබෙනවා. වතුර ඇතුලෙ තියෙන ගල් බොරළු පවා දකින්න ලැබෙනවා’ කියල.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි, භික්ෂුවත්, ‘මේක තමයි දුක’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේක තමයි දුකේ නැතිවීම’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේක තමයි දුක නැතිවීමේ මාර්ගය’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේ තමයි ආශ්‍රවයන්ගේ හටගැනීම’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීම’ කියල යථාර්ථය දැනගන්නවා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීමේ මාර්ගය’ කියල යථාර්ථය දැන ගන්නවා. මේ විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැනගන්න කොට, යථාර්ථය දැක ගන්න කොට, කාමාශ්‍රවයෙනුත් හිත නිදහස් වෙනවා. භවආශ්‍රවයෙනුත් හිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයෙනුත් හිත නිදහස් වෙනවා. හිත කෙලෙසුන් ගෙන් නිදහස් වුනා ම නිදහස් වුණු බවට ඤාණය ඇතිවෙනවා. ‘ඉපදීම නැති වුනා. නිවන් මග සම්පූර්ණ කරගත්තා. කළ යුතු දේ කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැ’යි අවබෝධයෙන් ම දැනගන්නවා.
පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි ‘ශ්‍රමණයා’ කියන්නෙ. මේ භික්ෂුවටයි ‘බ්‍රාහ්මණයා’ කියන්නෙ. මේ භික්ෂුවටයි ‘කෙලෙස් සේදූ කෙනා’ කියන්නෙ. මේ භික්ෂුවටයි ‘දහමේ පරතෙර පත් කෙනා’ කියන්නෙ. මේ භික්ෂුවටයි ‘කෙලෙස් අත්හළ කෙනා’ කියන්නෙ. මේ භික්ෂුවටයි ‘ආර්ය’ කියන්නෙ. මේ භික්ෂුවටයි ‘රහතන් වහන්සේ’ කියන්නෙ.
පින්වත් මහණෙනි, භික්ෂුව ශ්‍රමණයෙක් වන්නේ කොහොමද? ඔහු සිත කෙලෙසන, පුනර්භවය ඇති කරන, පීඩා සහිත, දුක් විපාක ඇති, යළි යළිත් ඉපදීම්, ජරා මරණ ලබාදෙන පාපී අකුසල් සමනය කළ නිසයි පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘ශ්‍රමණයා’ කියල කියන්නෙ.
පින්වත් මහණෙනි, භික්ෂුව බ්‍රාහ්මණයෙක් වන්නෙ කොහොමද? සිත කිළුටු කරන, පුනර්භවය ඇති කරන, පීඩා සහිත, දුක් විපාක ඇති, යළි යළිත් ඉපදීම්, ජරා මරණ ලබා දෙන පාපී අකුසල් බැහැර කළ නිසා පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘බ්‍රාහ්මණයා’ කියල කියනවා.
පින්වත් මහණෙනි, භික්ෂුව කොහොම ද කෙලෙස් සේදූ තැනැත්තෙක් වන්නෙ? සිත කෙලෙසන, පුනර්භවය ඇති කරවන, පීඩා සහිත, දුක් විපාක ඇති, යළි යළිත් ඉපදීම්, ජරා මරණ ලබාදෙන පාපී අකුසල් සෝදා හළ නිසා පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘කෙලෙස් සේදූ තැනැත්තා’ කියල කියනවා.
පින්වත් මහණෙනි, භික්ෂුව දහමේ පරතෙර පත් කෙනෙක් වෙන්නෙ කොහොමද? සිත කෙලෙසන, පුනර්භවය ඇති කරන, පීඩා සහිත, දුක් විපාක ඇති, යළි යළිත් ඉපදීම්, ජරා මරණ ලබාදෙන පාපී අකුසල් මුළුමනින් ම අවබෝධ කළ නිසා, පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘දහමේ පරතෙර පත් කෙනා’ කියල කියනවා.
පින්වත් මහණෙනි, භික්ෂුව කෙලෙස් අත්හළ කෙනෙක් වෙන්නෙ කොහොමද? සිත කෙලෙසන, පුනර්භවය ඇති කරන, පීඩා සහිත, දුක් විපාක ඇති, යළි යළිත් ඉපදීම් ජරා මරණ ලබාදෙන පාපී අකුසල් අත්හැර දැමූ නිසා, පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘කෙලෙස් අත්හළ කෙනා’ කියල කියනවා.
පින්වත් මහණෙනි, භික්ෂුව ‘ආර්ය’ වන්නෙ කොහොමද? සිත කෙලෙසන, පුනර්භවය ඇති කරන, පීඩා සහිත, දුක් විපාක ඇති, යළි යළිත් ඉපදීම්, ජරා මරණ ලබා දෙන පාපී අකුසල් දුරු කළ නිසා, පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘ආර්ය’ කියල කියනවා.
පින්වත් මහණෙනි, භික්ෂුව ‘රහතන් වහන්සේ’ වන්නෙ කොහොමද? පින්වත් මහණෙනි, සිත කිළුටු කරන, පුනර්භවය ඇති කරන, පීඩා සහිත, දුක් විපාක ලබාදෙන, යළි යළිත් ඉපදීම්, ජරා මරණ ලබාදෙන පාපී අකුසල් දුරු කළ නිසා, ඒ භික්ෂුවට ‘රහතන් වහන්සේ’ කියල කියනවා.
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළා. එයට සවන්දුන් භික්ෂූන් වහන්සේලා ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
අස්සපුර නම් කුඩා නගරයේ දී වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M