මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දවස්වල ම කේවට්ටපුත්‍ර සාති කියන භික්ෂුවට මේ විදිහේ පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවෙලා තිබුනා. ‘භවයෙන් භවයට සැරිසරා යන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට වදාළ ධර්මය මම දන්නවා’ කියලා.
ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලාට මේ කතාව ආරංචි වුනා. කේවට්ට පුත්‍ර සාති කියන භික්ෂුවට මේ විදිහේ පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියල. ‘භවයෙන් භවයට සැරිසරා යන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට දේශනා කරපු ධර්මය මම දන්නවා’ කියලා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා කේවට්ටපුත්‍ර සාති භික්ෂුව ලඟට ගියා. ගිහින් කේවට්ටපුත්‍ර සාති භික්ෂුවගෙන් මෙහෙම ඇහුවා.
“ප්‍රිය ආයුෂ්මත් සාති, ඔබ තුළ මෙවැනි පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියන්නෙ ඇත්තක් ද? ‘භවයෙන් භවයට සැරිසරා යන්නෙ එකම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට වදාළ ධර්මය මම දන්නවා’ කියල?”
“ඔව්. ප්‍රිය ආයුෂ්මතුනි, භවයෙන් භවයට සැරිසරා යන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි කියල භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට වදාළ ධර්මය මම දන්නවා.”
ඊට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා කේවට්ටපුත්‍ර සාති භික්ෂුවව ඒ පාපී මිථ්‍යා දෘෂ්ටියෙන් නිදහස් කරන්න හිතාගෙන ප්‍රශ්න කළා. ප්‍රශ්න කර කර දහම් කරුණු කියා දුන්නා. මෙහෙමත් කිව්වා.
“ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට කියන්න එපා! ඔය විදිහට කියල භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් ඔහොම වදාරන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මත් සාති, (ඇයි මතක නැද්ද?) භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විඤ්ඤාණය ගැන වදාළේ ‘විඤ්ඤාණය පටිච්චසමුප්පන්නයි (පටිච්චසමුප්පාදය තුළ හටගත්ත එකක්.) කියල නෙ. හේතූන්ගෙන් තොරව විඤ්ඤාණයේ හටගැනීමක් නෑ කියල නෙ’”
ඔය විදිහට කේවට්ටපුත්‍ර සාති භික්ෂුවට ඒ භික්ෂූන් වහන්සේලා කරුණු විමස විමසා පැහැදිලි කරල කියද්දිත්, ඔහු ඒ පාපී මිථ්‍යා දෘෂ්ටිය ම තදින් අල්ලගෙන, ඒකට ම බැඳිල ආයෙත් ඒක ම කියනවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එහෙම කිව්වට, භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට වදාළ ධර්මය මම නෙව දන්නෙ. භවයෙන් භවයට ගමන් කරන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන මොකවත් නෑ.”
ඉතින් කේවට්ටපුත්‍ර සාති භික්ෂුව ඒ පාපී මිථ්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න ඒ භික්ෂූන් වහන්සේලාට බැරිවුනා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. වාඩිවෙලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, කේවට්ටපුත්‍ර සාති කියන භික්ෂුවට මේ විදිහේ පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ‘භවයෙන් භවයට සැරිසරා යන්නෙ එකම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට දේශනා කරපු ධර්මයක් තමයි මම දන්නෙ’ කියල. ඉතින් ස්වාමීනී, අපටත් ඕක ආරංචි වුනා. කේවට්ටපුත්‍ර සාති භික්ෂුවට ඔය විදිහේ මිථ්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියල. ඒ තමයි ‘භවයෙන් භවයට ගමන් කරන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන මොනව වත් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට දේශනා කරපු ධර්මයක් තමයි මම දන්නෙ’ කියල.
ඉතින් ස්වාමීනී, අපි කේවට්ටපුත්‍ර සාති භික්ෂුව ළඟට ගිහින් කේවට්ටපුත්‍ර සාති භික්ෂුවගෙන් මෙහෙම ඇහුවා. ‘ප්‍රිය ආයුෂ්මත් සාති, ඔබ තුළ මෙවැනි පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවෙලා තියෙනවා කියන්නෙ ඇත්තක් ද? ‘භවයෙන් භවයට සැරිසරා යන්නෙ එකම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට වදාළ ධර්මයක් තමයි මම දන්නෙ’ කියල.
ස්වාමීනී, අපි එහෙම ඇහුවා ම, කේවට්ට පුත්‍ර සාති භික්ෂුව අපට මෙහෙම කිව්වා නෙව. ‘ඔව්. ප්‍රිිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට වදාළ ධර්මයක් තමයි මම දන්නෙ. මේ භවයෙන් භවයට ගමන් කරන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි’ කියලා.
එතකොට ස්වාමීනී අපි කේවට්ට පුත්‍ර සාති භික්ෂුවව ඔය පාපී මිථ්‍යා දෘෂ්ටියෙන් ගලවගන්න හිතාගෙන නොයෙක් ආකාරයෙන් කරුණු කිව්වා. පැහැදිලි කළා. ‘හා…… හා…… ප්‍රිය ආයුෂ්මත් සාති, ඔහොම කියන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් ඔහොම වදාරන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මත් සාති, (ඇයි මතක නැද්ද?) භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විඤ්ඤාණය ගැන වදාළේ ‘විඤ්ඤාණය පටිච්චසමුප්පන්නයි කියල නෙ. හේතූන්ගෙන් තොරව විඤ්ඤාණය හටගන්නෙ නැහැ කියල නෙ’ ඉතින් ස්වාමීනී, ඔය විදිහට අපි නොයෙක් ආකාරයෙන් කරුණු කියද්දිත්, කරුණු පැහැදිලි කරද්දිත්, කේවට්ට පුත්‍ර සාති භික්ෂුව ඒ පාපී මිථ්‍යා දෘෂ්ටිය ම අල්ලගෙන, ඒකට ම කැරකි කැරකි එනවා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, ඔහොම කිව්වට, ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මං නෙව දන්නෙ. භවයෙන් භවයට ගමන් කරන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන මොකවත් නොවෙයි.’ ඉතින් ස්වාමීනි, කේවට්ටපුත්‍ර සාති භික්ෂුවව ඒ පාපී මිථ්‍යා දෘෂ්ටියෙන් ගලවගන්න අපට බැරි වුනා. ඉතින් අපි හිතුවා මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේට දැනුම් දෙන්න ඕන කියලා.”
ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතුවා. “පින්වත් භික්ෂුව, මෙහෙ එන්න. මගේ වචනයෙන් කේවට්ටපුත්‍ර සාති භික්ෂුව අමතන්න. ‘ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබට කතා කරනවා’ කියල” “එහෙමයි, ස්වාමීනී” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීල කේවට්ටපුත්‍ර සාති භික්ෂුව වෙත ගියා. ගිහින් කේවට්ටපුත්‍ර සාති භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබට කතා කරනවා” “හොඳයි ආයුෂ්මතුනි” කියල කේවට්ටපුත්‍ර සාති භික්ෂුව ඒ භික්ෂුවට පිළිතුරු දීල භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කේවට්ට පුත්‍ර සාති භික්ෂුවගෙන් මෙහෙම ඇහුවා.
“ඈ! සාති, ඔබ තුළ මෙන්න මේ වගේ පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවුනා කියන්නෙ ඇත්තක් ද? ‘මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය මම දන්නවා. භවයෙන් භවයට සැරිසරා යන්නෙ එකම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි’ කියල?”
“ඒක ඇත්ත ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට වදාළ ධර්මයක් තමයි මම දන්නෙ. භවයෙන් භවයට සැරිසරා යන්නෙ එකම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි’ කියල.”
“ඈ…. ! සාති මොකක්ද ඒ විඤ්ඤාණය?”
“ඉතින් ස්වාමීනී, මේ අපි කතා බස් කරන්නෙ. සැප දුක් විඳින්නෙ. ඒ ඒ ජීවිතවල පින් පව් විපාක විඳින්නෙ. අන්න ඒක තමයි විඤ්ඤාණය.”
“හිස් මනුස්සයො, ඔය විදිහේ ධර්මයක් මං කාට නම් කියා දුන්නා කියල ද දන්නෙ? හිස් මනුස්සයො, මං නොයෙක් ආකාරයෙන් කියා දීල තියෙන්නෙ විඤ්ඤාණය පටිච්චසමුප්පන්නයි කියල නේද? හේතූන්ගෙන් තොරව විඤ්ඤාණය හටගන්නෙ නෑ කියල නේ ද? හිස් මනුස්සයො, ඉස්සෙල්ල ම තමන් වැරදි දෘෂ්ටියක් අරගන්නවා. ඊට පස්සෙ අපටත් අභූතයෙන් චෝදනා කරනවා. තමන්ගේ ගුණත් හාරල දානවා. ගොඩාක් පව්ත් රැස් කරගන්නවා. හිස් මනුස්සයො, ඔය වැඩේ නම් ඔබට බොහෝ කලක් දුක් පීඩා පිණිස ම පවතීවි.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වත් මහණෙනි, ඔබලා මොකක්ද මේ ගැන හිතන්නෙ? මේ කේවට්ට පුත්‍ර සාති භික්ෂුව බුද්ධ සාසනේ උණුසුමවත් වැදිල තියෙන කෙනෙක් ද?”
“අනේ ස්වාමීනී, කොහොම ලබන්න ද? ස්වාමීනී, එහෙම නෑ ම යි.” එතකොට කේවට්ටපුත්‍ර සාති භික්ෂුව නිහඬ වුනා. හැකිලුනා. කඳ පාත් කරගත්තා. මූණ යටට හරෝගත්තා. මොකවත් හිතාගන්න බැරුව, වැටහීම් රහිතව වාඩිවෙලා හිටියා. නිහඬ වෙලා, ඇකිලිලා, කඳ පාත්කරගෙන, මූණ යටට හරෝගෙන, මොකවත් හිතාගන්න බැරුව, වැටහීම් රහිතව ඉන්න කේවට්ටපුත්‍ර සාති භික්ෂුව දිහා බලල, භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.
“හිස් මනුස්සයො, ඔය විදිහේ පාපී මිථ්‍යා දෘෂ්ටියක් අල්ලගත්තෙ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන නේද? හොඳයි, මම මේ ගැන භික්ෂූන් ගෙන් අහන්නම්” කියල භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා ඇමතුවා.
“පින්වත් මහණෙනි, දැන් මේ කේවට්ටපුත්‍ර සාති භික්ෂුව වැරදි දෘෂ්ටියක් අල්ලගෙන අපටත් අභූතයෙන් චෝදනා කරනවා. තමන්ගේ ගුණත් හාරල දානවා. බොහෝ පව්ත් රැස් කරගන්නවා. ඔය විදිහේ ධර්මයක් මං ඔබට දේශනා කරල තියෙන බව දන්නවාද?”
“නෑ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අපට නොයෙක් ආකාරයෙන් වදාළේ ‘විඤ්ඤාණය පටිච්ච සමුප්පන්නයි කියලා. හේතූන්ගෙන් තොරව විඤ්ඤාණය හටගන්නෙ නෑ’ කියලා.”
“සාදු! සාදු! පින්වත් මහණෙනි. පින්වත් මහණෙනි, ඔබ මා විසින් දේශනා කළ ධර්මය ඔය විදිහට දැනගෙන ඉන්න එක හොඳයි. මං නොයෙක් ආකාරයෙන් ඔබට කියල තියෙන්නෙ ‘විඤ්ඤාණය පටිච්ච සමුප්පන්නයි කියලා. හේතුවකින් තොරව විඤ්ඤාණය හටගන්නෙ නෑ’ කියලා. මං එහෙම කියලා තියෙද්දි මේ කේවට්ට පුත්‍ර සාති භික්ෂුව වැරදි දෘෂ්ටියක් අල්ලගෙන අපටත් චෝදනා කරනවා. තමන්ගේ ගුණත් නසා ගන්නවා. බොහෝ පව්ත් රැස් කරගන්නවා. ඔය හිස් මනුස්සයාට ඔය වැඩේ බොහෝ කාලයක් දුක් පීඩා විඳින්න සිද්ධ වෙන එකක්.
පින්වත් මහණෙනි, යම් දෙයක උපකාරයෙන් විඤ්ඤාණයක් ඇති වෙනවා නම්, ඒ නමින් ම යි විඤ්ඤාණය හඳුන්වන්නෙ. ඇසත් රූපත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ චක්ඛු විඤ්ඤාණය කියලයි. කනත් ශබ්දත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ සෝත විඤ්ඤාණය කියලයි. නාසයත් ගඳ සුවඳත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ ඝාන විඤ්ඤාණය කියලයි. දිවත් රසයත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නේ ජිව්හා විඤ්ඤාණය කියලයි. කයත් පහසත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නේ කාය විඤ්ඤාණය කියලයි. මනසත් අරමුණුත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ මනෝ විඤ්ඤාණය කියලයි.
පින්වත් මහණෙනි, ඕක මෙන්න මේ වගේ දෙයක්. ගින්නක් ඇවිලෙන්නෙ යම් දෙයක් උපකාරයෙන් නම්, ඇවිලෙන්න උපකාර වෙච්ච දේ නමින් ඒ ගින්න හඳුන්වනවා. දර නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට දර ගින්න කියනවා. ලී කෑලි නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට ලී ගින්න කියනවා. තණකොළ නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට තණ ගින්න කියනවා. ගොම නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට ගොම ගින්න කියනවා. දහයියා නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට දහයියා ගින්න කියනවා. රොඩු නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට රොඩු ගින්න කියනවා.
පින්වත් මහණෙනි, විඤ්ඤාණය ගැන කියන්න තියෙන්නෙත් ඔච්චර තමයි. විඤ්ඤාණය හටගන්න යම් දෙයක් උපකාර වෙනවා නම්, ඒ නමින් තමයි විඤ්ඤාණය හඳුන්වන්නෙ. ඇසත් රූපත් නිසා විඤ්ඤාණයක් හටගන්නව. ඒක හඳුන්වන්නෙ ඇසේ (චක්ඛු) විඤ්ඤාණය කියලයි. කනත් ශබ්දත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ කනේ (සෝත) විඤ්ඤාණය කියලයි. නාසයත් ගඳ සුවඳත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ නාසයේ (ඝාන) විඤ්ඤාණය කියලයි. දිවත් රසයත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ දිවේ (ජිව්හා) විඤ්ඤාණය කියලයි. කයත් පහසත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නේ කයේ (කාය) විඤ්ඤාණය කියලයි. මනසත් අරමුණුත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ මනසේ (මනෝ) විඤ්ඤාණය කියලයි.
“පින්වත් මහණෙනි, මේ ජීවිතය යනු සකස් වෙච්ච දෙයක් බව දකිනවාද?” “එහෙම යි, ස්වාමීනි”
“පින්වත් මහණෙනි, මේ ජීවිතය හටගන්නෙ ආහාරවලින් බව දකිනවාද?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, ආහාර නිරුද්ධ වීමෙන් ඒ සකස් වෙච්ච ජීවිතය නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත බව දකිනවාද?” “එහෙම යි, ස්වාමීනි”
“පින්වත් මහණෙනි, මේ ජීවිතය සකස් වෙච්ච දෙයක් ද? නැද්ද? කියල සැක කරන කොට උපදින්නෙ විචිකිච්ඡාව නේද?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, මේ ජීවිතය හටගන්නෙ ආහාර වලින්ද? නැද්ද? කියල සැක කරන කොට උපදින්නෙ විචිකිච්ඡාව නේද?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, ආහාර නිරුද්ධ වීමෙන් ඒ සකස් වෙච්ච ජීවිතය නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයිද? නැද්ද? කියල සැක කරන කොට උපදින්නෙ විචිකිච්ඡාව නේද?” “එහෙම යි, ස්වාමීනී.”
“පින්වත් මහණෙනි, මේ ජීවිතය සකස් වෙච්ච දෙයක් කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින කොට, ඒ ගැන තියෙන විචිකිච්ඡාවත් නැති වෙලා යනවා නේද?” “එහෙම යි, ස්වාමීනි”
“පින්වත් මහණෙනි, මේ ජීවිතය සකස් වෙන්නෙ ආහාර වලින් ය කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින කොට, ඒ ගැන තියෙන විචිකිච්ඡාවත් නැති වෙලා යනවා නේද?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, ඒ ආහාර නිරුද්ධ වීමෙන් ඒ සකස් වෙච්ච ජීවිතය නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියල, දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින කොට ඒ ගැන තිබුණු විචිකිච්ඡාවත් නැති වෙලා යනවා නේද?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, මේ ජීවිතය සකස් වෙච්ච දෙයක් කියල, ඒ ගැන ඔබ ඉන්නෙ විචිකිච්ඡාවක් නැතුවද?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, ඒ ජීවිතය සකස් වෙන්නෙ ආහාර වලින් ය කියල, ඔය විදිහට ඔබ ඒ ගැන විචිකිච්ඡාවක් නැතුවද ඉන්නෙ?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, ඒ ආහාර නිරුද්ධ වීමෙන්, ඒ සකස් වෙච්ච ජීවිතය නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියල, ඒ ගැන ඔබ ඉන්නෙ විචිකිච්ඡාවක් නැතුවද?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, මේ ජීවිතය සකස් වෙච්ච දෙයක් බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය මනාකොට දැක්ක ද?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, මේ ජීවිතය හටගන්නෙ ආහාර වලින් බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය මනාකොට දැක්ක ද?” “එහෙම යි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, ආහාර නිරුද්ධ වීමෙන් ඒ සකස් වෙච්ච ජීවිතය නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය මනාකොට දැක්ක ද?” “එහෙම යි, ස්වාමීනී”
“ඉතින් පින්වත් මහණෙනි, ඔච්චර පැහැදිලි, ඔච්චර පිරිසිදු ඔබේ ඔය සම්මා දිට්ඨියට පවා ඔබ ඇලුනොත්, සෙල්ලමට ගත්තොත්, ධනයක් කරගත්තොත්, මගේ ය කියල අල්ලගත්තොත්, පින්වත් මහණෙනි, මං ඔබට පහුරක් උපමා කොට කියා දුන්න මේ ධර්මය ඔබ අවබෝධ කරගනීවි ද? ග්‍රහණය කරගන්නෙ නැතුව, එතෙර වෙන්න කියා දීපු මේ ධර්මය ඔබ අවබෝධ කර ගනීවි ද?” “නෑ. ස්වාමීනි. අවබෝධ කරගන්නෙ නෑ.”
“එහෙනම් පින්වත් මහණෙනි, ඔච්චර පැහැදිලි, ඔච්චර පිරිසිදු සම්මා දිට්ඨියට පවා ඇලෙන්නෙ නැත්නම්, ඔබ ඒක සෙල්ලමට ගන්නෙ නැත්නම්, ඔබ ඒක ධනයක් කරගන්නෙ නැත්නම්, මගේ ය කියල ගන්නෙ නැත්නම්, පින්වත් මහණෙනි, අන්න එතකොට නේද මං ඔබට පහුරක් උපමා කොට කියා දීපු ධර්මය අවබෝධ වෙන්නෙ? අන්න එතකොට නේද ග්‍රහණය කරගන්නෙ නැතුව, එතෙර වෙන්න කියා දීපු ධර්මය අවබෝධ වෙන්නෙ?” “එහෙම යි ස්වාමීනි.”
“පින්වත් මහණෙනි, ආහාර වර්ග හතරක් තියෙනවා. ඒ ආහාර වර්ග හතර ම සකස් වෙච්ච සත්වයන් ගේ පැවැත්මට ත්, සකස් වෙන සත්වයන්ට අනුග්‍රහ පිණිසත් උපකාරී වෙනවා. මොනවද ඒ ආහාර වර්ග හතර? ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාරය පළමුවැන්නයි. දෙවෙනි ආහාරය ස්පර්ශයයි. තුන්වෙනි ආහාරය මනෝ සංචේතනාවයි. හතරවෙනි ආහාරය විඤ්ඤාණයයි.
පින්වත් මහණෙනි, මේ ආහාර හතර පවතින්නේ කුමක් මුල් කර ගෙනද? කුමක් හේතු කරගෙනද? කුමක් උපත කරගෙනද? කුමක් ප්‍රභව කරගෙනද?
මේ ආහාර හතර පවතින්නේ තණ්හාව මුල් කරගෙනයි. තණ්හාව හේතු කරගෙනයි. තණ්හාව උපත කරගෙනයි. තණ්හාව ප්‍රභව කරගෙනයි.
පින්වත් මහණෙනි, මේ තණ්හාව පවතින්නේ කුමක් මුල් කරගෙනද? කුමක් හේතු කරගෙනද? කුමක් උපත කරගෙනද? කුමක් ප්‍රභව කරගෙනද? මේ තණ්හාව පවතින්නේ විඳීම මුල් කරගෙනයි. විඳීම හේතු කරගෙනයි. විඳීම උපත කරගෙනයි. විඳීම ප්‍රභව කරගෙනයි.
පින්වත් මහණෙනි, මේ විඳීම පවතින්නේ කුමක් මුල් කරගෙනද? කුමක් හේතු කරගෙනද? කුමක් උපත කරගෙනද? කුමක් ප්‍රභව කරගෙනද? මේ විඳීම පවතින්නේ ස්පර්ශය මුල් කරගෙනයි. ස්පර්ශය හේතු කරගෙනයි. ස්පර්ශය උපත කරගෙනයි. ස්පර්ශය ප්‍රභව කරගෙනයි.
පින්වත් මහණෙනි, මේ ස්පර්ශය පවතින්නේ කුමක් මුල් කරගෙනද? කුමක් හේතු කරගෙනද? කුමක් උපත කරගෙනද? කුමක් ප්‍රභව කරගෙනද? මේ ස්පර්ශය පවතින්නේ ආයතන හය මුල් කරගෙනයි. ආයතන හය හේතු කරගෙනයි. ආයතන හය උපත කරගෙනයි. ආයතන හය ප්‍රභව කරගෙනයි.
පින්වත් මහණෙනි, මේ ආයතන හය පවතින්නේ කුමක් මුල් කරගෙන ද? කුමක් හේතු කරගෙන ද? කුමක් උපත කරගෙන ද? කුමක් ප්‍රභව කරගෙන ද? මේ ආයතන හය පවතින්නේ නාමරූප මුල් කරගෙනයි. නාමරූප හේතු කරගෙනයි. නාමරූප උපත කරගෙනයි. නාමරූප ප්‍රභව කරගෙනයි.
පින්වත් මහණෙනි, මේ නාමරූප පවතින්නේ කුමක් මුල් කරගෙන ද? කුමක් හේතු කරගෙන ද? කුමක් උපත කරගෙන ද? කුමක් ප්‍රභව කරගෙන ද? මේ නාමරූප පවතින්නේ විඤ්ඤාණය මුල් කරගෙනයි. විඤ්ඤාණය හේතු කරගෙනයි. විඤ්ඤාණය උපත කරගෙනයි. විඤ්ඤාණය ප්‍රභව කරගෙනයි.
පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය පවතින්නේ කුමක් මුල් කරගෙන ද? කුමක් හේතු කරගෙන ද? කුමක් උපත කරගෙන ද? කුමක් ප්‍රභව කරගෙන ද? මේ විඤ්ඤාණය පවතින්නේ සංස්කාර මුල් කරගෙනයි. සංස්කාර හේතු කරගෙනයි. සංස්කාර උපත කරගෙනයි. සංස්කාර ප්‍රභව කරගෙනයි.
පින්වත් මහණෙනි, මේ සංස්කාර පවතින්නේ කුමක් මුල් කරගෙන ද? කුමක් හේතු කරගෙන ද? කුමක් උපත කරගෙන ද? කුමක් ප්‍රභව කරගෙන ද? මේ සංස්කාර පවතින්නේ අවිද්‍යාව මුල් කරගෙනයි. අවිද්‍යාව හේතු කර ගෙනයි. අවිද්‍යාව උපත කරගෙනයි. අවිද්‍යාව ප්‍රභව කරගෙනයි.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා. නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා. ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා. විඳීම නිසා තණ්හාව ඇතිවෙනවා. තණ්හාව නිසා බැඳීම ඇතිවෙනවා. බැඳීම නිසා භවය ඇතිවෙනවා. භවය නිසා ඉපදීම ඇතිවෙනවා. උපත නිසා ජරා මරණ, සෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් හටගන්නවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක ම හටගන්නෙ.
(1)
‘ඉපදීම නිසා ජරා මරණ ඇතිවෙනවා’ කියල ඔන්න මං දැන් ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, ඉපදීම නිසා ද ජරා මරණ හටගන්නෙ? වෙන විදිහකින් ද? ඔබ ඒ ගැන කොහොම ද හිතන්නෙ?” “ස්වාමීනී, ඉපදීම නිසයි ජරා මරණ ඇතිවෙන්නේ. අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. ඉපදීම නිසා ජරා මරණ ඇතිවෙනවා කියලා.”
(2)
‘භවය නිසා ඉපදීම ඇතිවෙනවා’ කියල මං දැන් ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, භවය නිසා ද ඉපදීම ඇති වෙන්නෙ? වෙන විදිහකින් ද? ඔබට ඒ ගැන කොහොම ද හිතන්නෙ?” “ස්වාමීනී, භවය නිසයි ඉපදීම ඇතිවෙන්නේ. අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. භවය නිසා ඉපදීම ඇතිවෙනවා කියලා.
(3)
‘බැඳීම (උපාදාන) නිසා භවය ඇතිවෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, උපාදාන නිසා ද භවය හටගන්නෙ? වෙන විදිහකින් ද? ඒ ගැන ඔබට හිතෙන්නෙ කොහොම ද?” “ස්වාමීනි, උපාදාන නිසයි භවය ඇතිවෙන්නේ. අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. උපාදාන නිසා භවය ඇති වෙනවා කියල.
(4)
“‘තණ්හාව නිසා උපාදාන ඇතිවෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, තණ්හාව නිසා ද උපාදාන ඇතිවෙන්නෙ? වෙන විදිහකින් ද? ඒ ගැන ඔබ කොහොම ද හිතන්නෙ?” “ස්වාමීනි, තණ්හාව නිසයි උපාදාන ඇතිවෙන්නේ. අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. තණ්හාව නිසා උපාදාන ඇතිවෙනවා කියල.”
(5)
‘විඳීම නිසා තණ්හාව ඇති වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, වේදනාව නිසා ද තණ්හාව ඇතිවෙන්නෙ? නැත්නම් වෙන විදිහකින් ද? ඔබට ඒ ගැන කොහොම ද හිතන්නෙ?” “ස්වාමීනි, විඳීම නිසයි තණ්හාව ඇතිවෙන්නේ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. විඳීම නිසා තණ්හාව ඇතිවෙනවා කියල.”
(6)
‘ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, ස්පර්ශය නිසා ද විඳීම ඇතිවෙන්නෙ? නැත්නම් වෙන විදිහකින් ද? ඒ ගැන ඔබට කොහොම ද හිතෙන්නෙ?” “ස්වාමීනී, ස්පර්ශය නිසයි විඳීම ඇතිවෙන්නේ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා කියල.”
(7)
‘ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා’ කියල මං දැන් ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, ආයතන හය නිසා ද ස්පර්ශය හටගන්නෙ? නැත්නම් වෙන විදිහකින් ද? ඒ ගැන ඔබට කොහොම ද හිතෙන්නෙ?” “ස්වාමීනි, ආයතන හය නිසයි ස්පර්ශය ඇතිවෙන්නේ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා කියල.”
(8)
‘නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, නාමරූප නිසා ද ආයතන හය හටගන්නෙ? නැත්නම් වෙන විදිහකින් ද? ඒ ගැන ඔබට කොහොම ද හිතෙන්නෙ?” “ස්වාමීනි, නාමරූප නිසයි ආයතන හය ඇතිවෙන්නේ. අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා කියල.”
(9)
‘විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, විඤ්ඤාණය නිසා ද නාමරූප හැදෙන්නෙ? නැත්නම් වෙන විදිහකින් ද? ඔබට ඒ ගැන කොහොම ද හිතන්නෙ?” “ස්වාමීනි, විඤ්ඤාණය නිසයි නාමරූප ඇතිවෙන්නේ. අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා කියල.”
(10)
‘සංස්කාර නිසා විඤ්ඤාණය හැදෙනවා කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, සංස්කාර නිසා ද විඤ්ඤාණය හැදෙන්නෙ? වෙන විදිහකින් ද? ඔබට ඒ ගැන කොහොම ද හිතන්නෙ?” “ස්වාමීනි, සංස්කාර නිසයි විඤ්ඤාණය ඇතිවෙන්නේ. අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙනවා කියල.”
(11)
‘අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, අවිද්‍යාව නිසා ද සංස්කාර හැදෙන්නෙ? නැත්නම් වෙන විදිහකින් ද? ඒ ගැන ඔබ කොහොම ද හිතන්නෙ?” “ස්වාමීනි, අවිද්‍යාව නිසයි සංස්කාර ඇතිවෙන්නේ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවා කියල.”
“සාදු! සාදු! පින්වත් මහණෙනි. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කියන්නෙත් ඔය විදිහටයි. මමත් කියන්නෙ ඔය විදිහට ම යි. ‘මෙය තිබුනොත් තමයි මෙය තියෙන්නෙ. මෙය ඉපදුනොත් තමයි මෙය උපදින්නෙ’ කියල. ඒ කියන්නෙ, අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවා. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා. නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා. ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා. විඳීම නිසා ඇලීම ඇතිවෙනවා. ඇලීම නිසා බැඳීම ඇතිවෙනවා. බැඳීම නිසා භවය ඇතිවෙනවා. භවය නිසා උපදිනවා. ඉපදීම හේතුවෙන් ජරා මරණ, සෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිවෙනවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක ම හටගන්නේ.
ඒ අවිද්‍යාව ම ඉතිරි නැතුව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් ඇලීම නිරුද්ධ වෙනවා. ඇලීම නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙනවා. බැඳීම නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් නිරුද්ධ වෙනවා. ඔන්න ඔය විදිහටයි මුළු මහත් දුක ම නිරුද්ධ වෙන්නෙ.
‘ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, ඉපදීම නිරුද්ධ වීමෙන් ද ජරා මරණ නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, ඉපදීම නිරුද්ධ වීමෙන් ම යි ජරා මරණ නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියල.”
‘භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, භවය නිරුද්ධ වීමෙන් ද ඉපදීම නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, භවය නිරුද්ධ වීමෙන් ම යි ඉපදීම නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා කියල.”
“උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, උපාදාන නිරුද්ධ වීමෙන් ද භවය නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, උපාදාන නිරුද්ධ වීමෙන් ම යි භවය නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා කියල.”
“තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, තණ්හාව නිරුද්ධ වීමෙන් ද උපාදාන නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, තණ්හාව නිරුද්ධ වීමෙන් ම යි උපාදාන නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා කියල.”
“වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, වේදනාව නිරුද්ධ වීමෙන් ද තණ්හාව නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, වේදනාව නිරුද්ධ වීමෙන් ම යි තණ්හාව නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා කියල.”
“ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, ස්පර්ශය නිරුද්ධ වීමෙන් ද වේදනාව නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, ස්පර්ශය නිරුද්ධ වීමෙන් ම යි වේදනාව නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියල.”
“ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, ආයතන හය නිරුද්ධ වීමෙන් ද ස්පර්ශය නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, ආයතන හය නිරුද්ධ වීමෙන් ම යි ස්පර්ශය නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා කියල.”
“නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, නාමරූප නිරුද්ධ වීමෙන් ද ආයතන හය නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, නාමරූප නිරුද්ධ වීමෙන් ම යි ආයතන හය නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා කියල.”
“විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් ද නාමරූප නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් ම යි නාමරූප නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා කියල.”
“සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, සංස්කාර නිරුද්ධ වීමෙන් ද විඤ්ඤාණය නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, සංස්කාර නිරුද්ධ වීමෙන් ම යි විඤ්ඤාණය නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනව කියල.”
“අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා’ කියල මං ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ද සංස්කාර නිරුද්ධ වෙන්නෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නෙ?” “ස්වාමීනී, අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ම යි සංස්කාර නිරුද්ධ වන්නෙ. ඒ ගැන අපට හිතෙන්නෙත් ඒ විදිහට ම යි. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා කියල.”
“සාදු! සාදු! පින්වත් මහණෙනි, මේ ගැන පින්වත් මහණෙනි, ඔබත් කියන්නෙ ඔය විදිහට ම යි. මමත් කියන්නෙ ඔය විදිහට ම යි. ඔය විදිහට ‘මෙය නැත්නම් මෙය නෑ. මෙය නිරුද්ධ වුනොත් මෙය නිරුද්ධ වෙනවා.’ ඒ අවිද්‍යාව ම ඉතිරි නැතුව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් ඇලීම නිරුද්ධ වෙනවා. ඇලීම නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙනවා. බැඳීම නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් නිරුද්ධ වෙනවා. ඔන්න ඔය විදිහටයි මුළු මහත් දුක ම නිරුද්ධ වෙන්නෙ.
පින්වත් මහණෙනි, ඔබ ඔය විදිහට යථාර්ථය දන්නවා නම්, යථාර්ථය දකිනවා නම්, ජීවිතේ ආරම්භක කෙළවරක් හොයාගෙන පැටලි පැටලි යාවි ද? ‘ඇත්තෙන් ම අපි අතීතෙ හිටිය ද? අපි අතීතෙ හිටියෙ නැද්ද? අපි අතීතේ කවුරු වෙලා සිටින්න ඇද්ද? අපි අතීතේ කොයි විදිහට සිටින්න ඇද්ද? අපි අතීතේ කවුරු වෙලා ඉඳලා කවුරු වෙලා සිටින්න ඇද්ද?’ කියල.” “ස්වාමීනී, එහෙම වෙන්නෙ නෑ.”
“පින්වත් මහණෙනි, ඔබ ඔය විදිහට යථාර්ථය දන්නවා නම්, යථාර්ථය දකිනවා නම්, අනාගත කෙළවරක් හොයාගෙන පැටලි පැටලි යාවි ද? ‘ඇත්තට ම අපි අනාගතේ ඉඳීවි ද? අපි අනාගතේ ඉන්න එකක් නැද්ද? අපි අනාගතේ කවුරු වෙලා ඉඳීවි ද? අපි අනාගතේ කොයි විදිහට ඉඳීවි ද? අපි අනාගතේ කවුරු වෙලා ඉඳලා කවුරු වේවි ද?’ කියල.” “ස්වාමීනී, එහෙම වෙන්නෙ නෑ.”
“පින්වත් මහණෙනි, ඔබ ඔය විදිහට යථාර්ථය දන්නවා නම්, යථාර්ථය දකිනවා නම්, දැන් මේ වර්තමාන කාලයේ තමා ගැන ‘කොහොමද කොහොමද කියල සැක ඇතිවේවි ද? මං ඉන්නවා ද? මං නැද්ද? මං කවුද? මං කොහොම කෙනෙක් ද? මේ සත්වයා ආවෙ කොහෙන් ද? මේ සත්වයා කොහේ යාවි ද?’ කියල.” “ස්වාමීනී, එහෙම වෙන්නෙ නෑ.”
“පින්වත් මහණෙනි, ඔය විදිහට යථාර්ථය දන්න කොට, යථාර්ථය දකින කොට, ඔබ මෙහෙමත් කියනවා ද? ‘ශාස්තෘන් වහන්සේ තමයි අපේ ගුරුවරයා. ඉතින් ශාස්තෘ ගෞරවය තියාගන්න ඕන නිසයි අපි මේ විදිහට කියන්නෙ’ කියල?” “නෑ. ස්වාමීනී, එහෙම නෑ.”
“එහෙම නම් පින්වත් මහණෙනි, ඔය විදිහට යථාර්ථය දන්න කොට, ඔය විදිහට යථාර්ථය දකින කොට ඔබ මෙහෙමත් කියාවි ද? ‘ශ්‍රමණයන් වහන්සේ තමයි අපිට ඔහොම කිව්වෙ. ඉතින් අපි ශ්‍රමණයන් වහන්සේ එහෙම කියන නිසයි මෙහෙම කියන්නෙ’ කියල?” “ස්වාමීනී, එහෙම නෑ.”
“පින්වත් මහණෙනි, ඔබ ඔය විදිහට යථාර්ථය දන්නවා නම්, යථාර්ථය දකිනවා නම්, වෙන ආගමක් ගැන හිතාවි ද?” “ස්වාමීනී, එහෙම වෙන්නෙ නෑ.”
“පින්වත් මහණෙනි, ඔබ ඔය විදිහට යථාර්ථය දන්නවා නම්, යථාර්ථය දකිනවා නම්, ඔය බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ආගම්වල තියෙන කුතුහලය ඇති කරවන මංගල සම්මත හිස් දේවල් සාරවත් දේවල් කියල හිතාගෙන ඒ පස්සෙ දුවාවි ද?” “ස්වාමීනී, එහෙම කරන්නෙ නෑ.”
“පින්වත් මහණෙනි, ඔබ විසින් ම දැනගත්තු, ඔබේ ම නුවණින් දැකගත්තු, ඔබේ ම නුවණින් අවබෝධ කරගත්තු දෙයක් නේ ද ඔය කියන්නෙ?” “එහෙමයි ස්වාමීනී.”
“සාදු! සාදු! පින්වත් මහණෙනි, මා විසින් දේශනා කළ මේ ජීවිතයේ දී ම දකින ධර්මයටයි ඔබ ඔය ඇවිල්ලා තියෙන්නෙ. ඕන ම කාලෙක දකින්න පුළුවන්, ඇවිත් බලන්න කියල කියන්න පුළුවන්, තමන් තුළින් දකින්න කියල කියන්න පුළුවන්, බුද්ධිමත් කෙනෙකුට මේ ජීවිතයේ දී ම දකින්න පුළුවන් ධර්මයකටයි ඔබ ඔය ඇවිල්ල තියෙන්නෙ. පින්වත් මහණෙනි, ‘මේ ධර්මය සන්දිට්ඨිකයි. මේ ධර්මය අකාලිකයි. මේ ධර්මය ඒහි පස්සිකයි. මේ ධර්මය ඕපනයිකයි. මේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී කියන ගුණයෙන් යුක්තයි’ කියල මං යම් ප්‍රකාශයක් කළා ද, මේ කාරණය උදෙසා තමයි ඒක කිව්වෙ.
පින්වත් මහණෙනි, කරුණු තුනක් එකට සම්බන්ධ වීමෙන් ගැබ් ගැනීමක් ඇතිවෙනවා. මව් පිය දෙදෙනා කායිකව එකතු වෙන්න ඕන. නමුත් මව ඔසප් නොවෙයි නම්, ගන්ධබ්බයෙක් ඇවිල්ලත් නැත්නම්, ඒ තාක් ම ගැබ් ගන්නෙ නෑ. මව් පිය දෙදෙනා කායිකව එකතු වෙන්න ඕන. මව ඔසප් වෙන කෙනෙක් වෙන්නත් ඕන. නමුත් ගන්ධබ්බයා ඇවිල්ලත් නැත්නම්, ඒ තාක් ම ගැබ් ගන්නෙ නෑ. පින්වත් මහණෙනි, යම් දවසක මව් පිය දෙදෙනා කායිකව එකතු වුනොත්, මව ඔසප් වෙන කෙනෙක් වුණොත්, ගන්ධබ්බයෙකුත් ආවොත්, ඔන්න ඔය කරුණු තුනේ එකතු වීමෙන් තමයි ගැබ් ගැනීමක් වෙන්නෙ.
පින්වත් මහණෙනි, ඒ අම්මා තම දරු ගැබ මාස නවයක් හෝ දහයක් හෝ මහත් පරිස්සමෙන් ගරු සරු ඇතුව රැකගන්නවා. පින්වත් මහණෙනි, ඊට පස්සෙ ඒ අම්මා ඒ මාස නවය හරි දහය හරි ගෙවුනට පස්සේ මහත් පරිස්සමෙන්, ගරු සරු ඇතිව දරුවා බිහි කරනවා. ඒ තම කුසින් උපන් දරුවාව ඒ අම්මා තමන්ගේ රුධිරයෙන් පෝෂණය කරනවා. පින්වත් මහණෙනි, මේ බුදු සසුනට අනුව රුධිරය කියල කියන්නෙ මව්කිරිවලටයි.
ඊට පස්සෙ පින්වත් මහණෙනි, ඒ පොඩි දරුවා හැදෙන වැඩෙන කොට, ඉඳුරන් මෝරන කොට, නොයෙක් සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරනවා. පුංචි නගුල්, පොඩි කළගෙඩි, පොඩි බඹර, හුළං පෙති, පුංචි කරත්ත, පුංචි දුනු ඊතල, අරගෙන සෙල්ලම් කරනවා.
පින්වත් මහණෙනි, ඉතින් ඒ දරුවා තරුණ වෙනවා. ඉඳුරන් මෝරනවා. ඊට පස්සේ පංච කාම ගුණයෙන් සතුටු වෙවී, ඒවා පිරිවරාගෙන ඉන්නවා. ඇසින් දකින රූප තියෙනවා යහපත්, සුන්දර, සිත් ඇදගන්න, ප්‍රිය මනාප, ආශාව ඇති වෙන, කෙලෙස් හටගන්න. ඒ රූපවලින් තමන්ව පිනවනවා. කනෙන් අහන ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයට දැනෙන ගඳ සුවඳ තියෙනවා ….(පෙ)…. දිවට දැනෙන රස තියෙනවා ….(පෙ)…. කයට දැනෙන පහස තියෙනවා යහපත්, සුන්දර, සිත් ඇදගන්න, ප්‍රිය මනාප, ආසාව ඇති වෙන, කෙලෙස් හටගන්න. ඒ පහසින් තමන්ව පිනවනවා.
එතකොට ඔහු ප්‍රිය මනාප රූපයක් දැක්කා ම ඒ රූපයට ඇලෙනවා. අප්‍රිය රූපයක් දැක්කා ම ඒ රූපයට ගැටෙනවා. කය ගැන සිහියෙන් තොරවයි ඉන්නෙ. පටු සිතිනුයි ඉන්නෙ. පාපී අකුසල් ඉතුරු නැතුව නිරුද්ධ වෙන යම් චිත්ත විමුක්තියක්, ප්‍රඥා විමුක්තියක් ඇද්ද, ඒ ගැන කිසි ම අවබෝධයක් නෑ. මේ විදිහට ඇලීමටත්, ගැටීමත් මැදි වෙලා ඉන්න කොට, එයා මොකක් හරි විඳීමක් විඳිනවා. එක්කො සැපක් විඳිනවා. එක්කො දුකක් විඳිනවා. එක්කො මධ්‍යස්ථ විඳීමක් විඳිනවා. ඔහු ඒ විඳීම සතුටින් පිළිගන්නවා. ඒක අගය කරනවා. ඒකෙ හිත බැසගන්නවා. ඔහු ඒ විඳීම සතුටින් පිළිගන්න කොට, අගය කරන කොට, ඒකෙ බැසගන්න කොට, ආශාව උපදිනවා. විඳීම් ගැන යම් ආශාවක් තිබුණොත්, ඒක තමයි එතන තියෙන උපාදානය. එතකොට ඔහුට ඒ උපාදානය නිසා භවය ඇතිවෙනවා. භවය නිසා ඉපදෙනවා. ඉපදෙන නිසා ජරා මරණ, සෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් ඇතිවෙනවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැස ම හටගන්නෙ.
කනෙන් ශබ්ද අහලා ….(පෙ)…. නාසයෙන් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රස විඳලා ….(පෙ)…. කයෙන් පහස ලබලා ….(පෙ)…. මනසින් අරමුණු සිතලා, ප්‍රිය මනාප අරමුණේ ඇලෙනවා. අප්‍රිය අරමුණුවල ගැටෙනවා. කය ගැන සිහියෙන් තොරවයි ඉන්නෙ. පටු සිතිනුයි ඉන්නෙ. පාපී අකුසල් ඉතුරු නැතුව නිරුද්ධ වෙන යම් චිත්ත විමුක්තියක්, ප්‍රඥා විමුක්තියක් ඇද්ද, ඒ ගැන කිසිම අවබෝධයක් නෑ. මේ විදිහට ඇලීමටත්, ගැටීමත් මැදි වෙලා ඉන්න කොට, එයා මොකක් හරි විඳීමක් විඳිනවා. එක්කො සැපක් විඳිනවා. එක්කො දුකක් විඳිනවා. එක්කො මධ්‍යස්ථ විඳීමක් විඳිනවා. ඔහු ඒ විඳීම සතුටින් පිළිගන්නවා. ඒක අගය කරනවා. ඒකෙ හිත බැසගන්නවා. ඔහු ඒ විඳීම සතුටින් පිළිගන්න කොට, අගය කරන කොට, ඒකෙ බැසගන්න කොට, ආශාව උපදිනවා. විඳීම් ගැන යම් ආශාවක් තිබුනොත්, ඒක තමයි එතන තියෙන උපාදානය. එතකොට ඔහුට ඒ උපාදානය නිසා භවය ඇතිවෙනවා. භවය නිසා ඉපදෙනවා. ඉපදෙන නිසා ජරා මරණ, සෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් ඇතිවෙනවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැස ම හටගන්නෙ.
පින්වත් මහණෙනි, ඔය අතරෙ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙනවා. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමන්ගේ ම නුවණින් අවබෝධ කරල, ලෝකෙට හෙළිදරව් කරනවා. ඒ තථාගතයන් වහන්සේ දහම් දෙසනවා. ඒ ධර්මයේ පටන් ගැනීමත් සුන්දරයි. මැදත් සුන්දරයි. අවසානයත් සුන්දරයි. ඒ ධර්මය අර්ථවත්. පැහැදිලි වචන වලින් යුක්තයි. මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මගයි කියවෙන්නෙ.
එතකොට ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ කුමක් හෝ කුලයක ඉපදුණු කෙනෙකුට ඒ ධර්මය අහන්න ලැබෙනවා. ඔහු ඒ ධර්මය ඇහුවට පස්සේ තථාගතයන් වහන්සේ ගැන පැහැදීමක් ඇතිවෙනවා. ඔහු ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්ත වෙලා මේ විදිහට හිතන්න පටන් ගන්නවා. ‘මේ ගිහි ජීවිතේ හරිම කරදරයි. කෙලෙස් උපදින මගක්. නමුත් මේ පැවිද්ද නම් අහස වගේ තැනක්. මෙච්චර පරිපූර්ණ, මුළුමනින් ම පිරිසිදු, සුදෝ සුදු නිවන් මග, ගිහියෙක් වශයෙන් හැසිරෙන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මං කෙස් රැවුල් බාල, කසාවත් පොරෝගෙන, ගිහි ජීවිතේ අත්හැරලා, මහණ වෙන එක තමයි හොඳ’ කියල. ඉතින් ඔහු පස්සෙ කාලෙක, තියෙන සම්පත් ටික හරි අත්හැරලා, ඉන්න ඥාතීන් ටික හරි අත්හැරලා, තියෙන සම්පත් ගොඩ හරි අතහැරලා, කෙස් රැවුල් බාලා, කසාවත් පොරෝගෙන ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙනවා.
ඔය විදිහට උතුම් පැවිදි ජීවිතේ ලැබුවට පස්සේ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන ශික්ෂා පද තමනුත් රකිනවා. ප්‍රාණඝාතය දුරු කරනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. දඬු මුගුරු අත්හරිනවා. අවි ආයුධ අත්හරිනවා. ප්‍රාණඝාතය ගැන ලැජ්ජා වෙනවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා.
හොරකම අත්හරිනවා. හොරකමින් වළකිනවා. දුන් දේ විතරක් ගන්නවා. දුන් දේ ගැනීම විතරක් කැමති වෙනවා. සොරකමින් තොර වෙලා පිරිසිදු සිතින් වාසය කරනවා. අබ්‍රහ්මචාරී බව අත්හරිනවා. බ්‍රහ්මචාරී වෙනවා. අයහපත් හැසිරීමෙන් දුරුවෙනවා. ලාමක දෙයක් වන මෛථූනයෙන් වළකිනවා.
බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සත්‍යවාදී වෙනවා. ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරනවා. ස්ථිර වචන කියනවා. ඇදහිය යුතු දේ කියනවා. ලෝකයා අවුල් වෙන දේ කියන්නෙ නෑ. කේළම අත්හරිනවා. කේළමින් වළකිනවා. මෙතනින් අහල මේ අය බිඳවන්න එතන කියන්නෙ නෑ. එතනින් අහල ඒ අය බිඳවන්න මෙතන කියන්නෙ නෑ. බිඳිච්ච අය සමගි කරනවා. සමගි බව ඇති කරවනවා. සමගියට කැමති වෙනවා. සමගියේ ඇලෙනවා. සමගි බවේ සතුටු වෙනවා. සමගිය ඇති වෙන දේ ම කියනවා. පරුෂ වචනය අත්හරිනවා. පරුෂ වචනයෙන් වළකිනවා. දොස් රහිත දේ කියනවා. කනට මිහිරි දේ කියනවා. සෙනෙහෙබර වචන කියනවා. හෘදයාංගම වචන කියනවා. දැන උගත් වචන කියනවා. බොහෝ ජනයා කැමති වන ප්‍රියමනාප වන වචන කියනවා. හිස් දෙඩවිලි අත්හරිනවා. හිස් දෙඩවිල්ලෙන් වළකිනවා. සුදුසු කාලයට කතා කරනවා. ඇත්ත දෙය කතා කරනවා. අර්ථවත් දේ කතා කරනවා. ධර්මය කතා කරනවා. විනය කතා කරනවා. මතක තබා ගන්න වටින දේ කතා කරනවා.
ඒ භික්ෂුව ගස් කොළන් වැනසීමෙන් වළකිනවා. උදේ කාලෙ විතරක් වළඳනවා. රාත්‍රී ආහාරය වූ විකාල භෝජනයෙන් වළකිනවා. නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දර්ශනවලින් වළකිනවා. මල්, සුවඳ විලවුන්වලින් සැරසීමෙන්, හැඩ වැඩවීමෙන් වළකිනවා. සුඛෝපභෝගී වටිනා ආසන පරිහරණයෙන් වළකිනවා. රන්, රිදී, කහවනු ආදිය පිළිගැනීමෙන් වළකිනවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වළකිනවා. එළු බැටළුවන් පිළිගැනීමෙන් වළකිනවා. ඌරො කුකුල්ලු පිළිගැනීමෙන් වළකිනවා. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වළකිනවා. කුඹුරු, වතුපිටි පිළිගැනීමෙන් වළකිනවා. ගිහියන්ගේ පණිවිඩ ගෙන යාමෙන් වළකිනවා. වෙළඳ ගණුදෙනු වලින් වළකිනවා. හොරට තරාදියෙන් කිරන එක, හොරට මනින එක, ආදියෙන් වළකිනවා. අල්ලස් ගැනීම, වංචා කිරීම, එක වගේ දේ පෙන්නල රැවටීමෙන් වළකිනවා. කට්ටකම්වලින් වළකිනවා. අත් පා කැපීම්, මැරීම්, විලංගු දැමීම්, මං පැහැරීම්, ගම් පැහැරීම්, සාහසිකකම් යන මේවායින් වළකිනවා.
ඒ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. කය පොරවන සිවුරෙනුත්, කුස පිරෙන ප්‍රමාණයේ පිණ්ඩපාතයෙනුත් සතුටු වෙනවා. ඔහු යන තැන පාත්තරෙයි, සිවුරුයි විතරක් ගෙනියනවා. ළිහිණි කුරුල්ලෙක් යන යන තැන පියාපත් බර විතරක් අරගෙන යනවා වගේ. ඔන්න ඔය විදිහටයි භික්ෂුව ලද දෙයින් සතුටු වෙන්නෙ. කය පොරවන සිවුරෙනුත් කුස පිරෙන පිණ්ඩපාතෙනුත් සතුටු වෙනවා. ඔහු යම් තැනක යනවා නම්, පාත්‍ර සිවුරු විතරක් අරගෙන යනවා.
ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් සමන්විත වෙලා නිවැරදි ජීවිතය ගැන තමන් තුළ මහත් සතුටක් ලබනවා.
ඒ භික්ෂුව ඇහෙන් රූප දැකලා, නිමිති ගන්නෙ නෑ. කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. ඇහැ අසංවරව ඉන්න කොට, ආශාව, තරහ වගේ පාපී අකුසල් ඇතිවෙලා ප්‍රශ්න හටගන්න දේකට පත්වෙන්නෙ නෑ. තමන්ගේ ඇස සංවර කරගන්නවා. ඇස රකිනවා. ඇසේ සංවරකමට පැමිණෙනවා. කනෙන් ශබ්දයක් අහල ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ….(පෙ)…. දිවෙන් රස දැනගෙන ….(පෙ)…. කයෙන් පහස දැනගෙන ….(පෙ)…. මනසින් අරමුණු දැනගෙන ඒ මනස අසංවරව හිටියොත්, ආශාව, තරහ වගේ පාපී අකුසල් හට අරගෙන ප්‍රශ්න ඇති වෙනවා නම් එබඳු නිමිති ගන්නෙ නෑ. එබඳු නිමිතිවල කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. මනසේ සංවරයට පැමිණෙනවා. මනස රකිනවා. මනස සංවර කරගන්නවා. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකින් යුතුව තමන් තුළ පීඩා රහිත වූ මහත් සැපයක් විඳිනවා.
ඔහු ඉදිරියට යන කොට, ආපසු එන කොට හරි කල්පනාවෙන් ම ඉන්නවා. ඉදිරිය බලන කොට, වටපිට බලන කොට ඒ ගැන හරි කල්පනාවකින් ඉන්නවා. අත පය හකුළන කොට, දිගහරින කොට ඒ ගැන කල්පනාවකින් ඉන්නවා. දෙපොට සිවුරු තනිපොට සිවුරු, පාත්තර පරිහරණය කරන කොට ඒ ගැන කල්පනාවෙන් ම ඉන්නවා. යමක් වළඳන කොට, පානය කරන කොට, සපා කන කොට, රස විඳින කොට, ඒ ගැන කල්පනාවෙන් ඉන්නවා. වැසිකිළි කැසිකිළි යන කොටත් ඒ ගැන කල්පනාවෙන් ම ඉන්නවා. යන කොට, ඉන්න කොට, වාඩිවෙන කොට, නිදන කොට, නිදිවරන කොට, කතා කරන කොට, නිශ්ශබ්දව ඉන්න කොට ඒ ගැන කල්පනාවෙන් ම ඉන්නවා.
ඉතින් ඔහු ඔය විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකිනුත් යුක්ත වෙලා ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකිනුත් යුක්ත වෙලා ශ්‍රේෂ්ඨ වූ සිහිකල්පනාවකිනුත් යුක්ත වෙලා දුර ඈත වන සෙනසුන්වල ඉන්නවා. ආරණ්‍යවල ඉන්නවා. රුක් සෙවණේ, පර්වතයෙ, දිය ඇලි අසල, ගිරි ගුහා, සොහොන්, වනගොමු, නිදහස් තැන්, පිදුරු ගෙවල් සෙනසුන් හැටියට පාවිච්චි කරනවා.
ඉතින් ඔහු පිණ්ඩපාතය වැළඳුවට පස්සේ පළඟක් බැඳගෙන වාඩිවෙනවා. කය ඍජු කරගන්නවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා.
ඔහු ජීවිතේ නම් වූ ලෝකය ගැන තියෙන ඇල්ම දුරු කරනවා. ආශාවෙන් තොර වූ සිතින් වාසය කරනවා. ආශාව බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. තරහ අත්හරිනවා. තරහ රහිත සිතින් වාසය කරනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. තරහ බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. ථීනමිද්ධය අත්හරිනවා. ථීනමිද්ධයෙන් තොරව ඉන්නවා. හොඳ සිහි කල්පනාවෙන් යුතු ආලෝක සඤ්ඤාව ඇති කරගන්නවා. ථීනමිද්ධය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. උද්ධච්ච කුක්කුච්ච අත්හරිනවා. හිතේ ඇවිස්සීමකින් තොරව වාසය කරනවා. තමා තුළ ශාන්ත සිතක් ඇති කරගන්නවා. උද්ධච්ච කුක්කුච්ච බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. විචිකිච්ඡාව අත්හරිනවා. විචිකිච්ඡාවෙන් තොරව ඉන්නවා. කුසල් දහම් ගැන ‘කෙසේ ද, කෙසේ ද’ කියන සැකය අත්හරිනවා. සැකය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා.
ඒ භික්ෂුව මේ පංච නීවරණ අත්හැරලා, ප්‍රඥාව දුර්වල කරන සිතේ උපක්ලේශවලින් මිදිල, කාමයෙන් වෙන්ව, අකුසල් වලින් වෙන්ව, විතර්ක, විචාර සහිත වූ මානසික විවේකයෙන් හටගත්, ප්‍රීතිසුඛය ඇති පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, ඒ වගේම භික්ෂුව විතර්ක, විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන ඉන්නවා. ප්‍රීතියට ඇලෙන්නෙ නැතුව උපේක්ෂාවෙන් ….(පෙ)…. තුන් වෙනි ධ්‍යානයත් ලබාගෙන ඉන්නවා. සැප දුක් නැති කරලා ….(පෙ)…. හතර වෙනි ධ්‍යානයත් ලබාගෙන ඉන්නවා.
ඒ භික්ෂුව ඇහින් රූපයක් දැකල ප්‍රිය මනාප රූපය ගැන ඇලෙන්නෙ නෑ. අප්‍රිය රූපය ගැන ගැටෙන්නෙ නෑ. කය පිළිබඳව සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා. පාපී අකුසල් ඉතිරි නැතිව නැති වෙන්නෙ යම් තැනක ද, අන්න ඒ ප්‍රඥා විමුක්තියත්, චිත්ත විමුක්තියත් ගැන අවබෝධයෙන් ම දන්නවා. මේ විදිහට ඒ භික්ෂුව ඇලීමෙන්, ගැටීමෙන් දුරු වෙලා ඉන්න කොට, යම්කිසි විඳීමක් විඳිනවා නම්, සැපක් හෝ වේවා, දුකක් හෝ වේවා, මධ්‍යස්ථ විඳීමක් හෝ වේවා, ඔහු ඒ විඳීම සතුටින් පිළිගන්නෙ නෑ. අගය කරන්නෙ නෑ. එහි බැසගන්නෙ නෑ. ඔහු ඒ විඳීම සතුටින් නොපිළිගන්න කොට, අගය නොකරන කොට, ඒකෙ නොබැසගන්න කොට, විඳීම් කෙරෙහි යම් ආශාවක් තිබුණා නම්, ඒක නිරුද්ධ වෙලා යනවා. ඔහුට ආශාව නිරුද්ධ වීමෙන්, උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයෙන් මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යනවා.
කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රස විඳලා ….(පෙ)…. කයෙන් පහස ලබලා ….(පෙ)…. මනසින් අරමුණු දැනගෙන ප්‍රිය මනාප අරමුණු ගැන ඇලෙන්නෙ නෑ. අප්‍රිය අරමුණු ගැන ගැටෙන්නෙත් නෑ. කය පිළිබඳව සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා. පාපී අකුසල් ඉතිරි නැතිව නැති වෙන්නෙ යම් තැනක ද, අන්න ඒ ප්‍රඥා විමුක්තියත්, චිත්ත විමුක්තියත් ගැන අවබෝධයෙන් ම දන්නවා. මේ විදිහට ඒ භික්ෂුව ඇලීමෙන්, ගැටීමෙන් දුරු වෙලා ඉන්න කොට, යම්කිසි විඳීමක් විඳිනවා නම්, සැපක් හෝ වේවා, දුකක් හෝ වේවා, මධ්‍යස්ථ විඳීමක් හෝ වේවා, ඔහු ඒ විඳීම සතුටින් පිළිගන්නෙ නෑ. අගය කරන්නෙ නෑ. එහි බැසගන්නෙ නෑ. ඔහු ඒ විඳීම සතුටින් නොපිළිගන්න කොට, අගය නොකරන කොට, ඒකෙ නොබැසගන්න කොට, විඳීම් කෙරෙහි යම් ආශාවක් තිබුනා නම්, ඒක නිරුද්ධ වෙලා යනවා. ඔහුට ආශාව නිරුද්ධ වීමෙන්, උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයෙන් මුළු මහත් දුක් රැස ම නිරුද්ධ වෙලා යනවා.
පින්වත් මහණෙනි, දැන් මේ කියා දීපු ධර්මය, ‘තණ්හාව ගෙවා දමල විමුක්තියට පත්වීම’ ගැන සාරාංශ වශයෙන් කියා දීපු දෙසුමක් හැටියට මතක තබාගන්න. කේවට්ටපුත්‍ර සාති භික්ෂුව නම්, මේ මහා තණ්හා ජාලයට, තණ්හා බන්ධනයට පැටලි පැටලි යනවා.
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ ස්වාමීන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
තණ්හාව ගෙවා දැමීම ගැන වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M