මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ. එදා සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේව මුණගැසීමට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, භික්ෂුවක් තණ්හාව ගෙවල දාල, විමුක්තියට පත්වෙලා ස්ථීර වශයෙන් ම දුක් නිමා කළ, ස්ථීර වශයෙන් ම නිවනට පත් වූ, ස්ථීර වශයෙන් ම බ්‍රහ්මචාරී වූ, ස්ථීර වශයෙන් ම නිවන් මග සම්පූර්ණ කළ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ කෙනෙක් වෙනවා කියල සාරාංශ කරල කිව්වොත් කියන්නෙ කොහොම ද?”
“පින්වත් දෙවිඳ, භික්ෂුවට මේ විදිහට අහන්න ලැබෙනවා. ‘කිසිම දෙයක් ගැන තණ්හාවෙන් බැසගන්න සුදුසු නෑ’ කියලා. ඉතින් පින්වත් දෙවිඳ, භික්ෂුව ඔය විදිහට ඇහුවට පස්සේ කිසි ම දෙයක් ගැන තණ්හාවෙන් බැසගන්න සුදුසු නෑ කියල, ඔහු ඒ හැම දෙයක් ම අවබෝධ කරනවා. ඔහු ඒ හැම දෙයක් ම අවබෝධ කරලා, ඒ හැම දෙයක් ම විනිවිද යථාර්ථය දකිනවා. ඒ හැම දෙයක් ම විනිවිද යථාර්ථය දැක්කට පස්සේ, ඔහු යම්කිසි වේදනාවක් විඳිනවා නම්, ඒ වේදනාව සැපක් වෙන්න පුළුවනි, දුකක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් මධ්‍යස්ථ වෙන්නත් පුළුවනි. ඒ හැම වේදනාවක් ගැන ම අනිත්‍ය දකිමින් ඉන්නවා. නොඇල්ම දකිමින් ඉන්නවා. ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්නවා. ඇල්ම දුරුවීම දකිමින් ඉන්නවා. ඔහු ඒ විදිහට හැම වේදනාවක් ගැන ම අනිත්‍ය දකිමින් ඉන්න කොට, නොඇල්ම දකිමින් ඉන්න කොට, ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්න කොට, ඇල්ම දුරු වීම දකිමින් ඉන්න කොට, ලෝකෙ කිසිවකට බැඳෙන්නෙ නෑ. නොබැඳී ඉන්න කොට, ඇලෙන්නෙ නෑ. නො ඇලී ඉන්න කොට තමන් තුළ ම පිරිනිවන් පෑම ඇතිවෙනවා. ‘ඉපදීම නැතිවුනා. බඹසර ජීවිතේ සම්පූර්ණ කළා. කළයුත්ත කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතෙයි’ කියල අවබෝධ කරගන්නවා. පින්වත් දෙවිඳ, භික්ෂුවක් තණ්හාව ගෙවා දාල, විමුක්තියට පත්වුනොත්, ස්ථීරව ම දුක් නිමා කළොත්, ස්ථීරව ම නිවනට පත්වුනොත්, ස්ථීරව ම බ්‍රහ්මචාරී වුනොත්, ස්ථීරව ම නිවන් මග අවසන් කළොත්, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වුනොත් අන්න ඒ ගැන සාරාංශ වශයෙන් කියන්න තියෙන්නෙ ඔන්න ඔය විදිහට තමයි.”
එතකොට සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ ගැන සතුටු වුනා. අනුමෝදන් වුනා. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. එතන ම නොපෙනී ගියා.
ඒ මොහොතේ දී ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වාඩිවෙලයි හිටියේ. ඉතින් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට මෙහෙම හිතුනා. ‘ඇත්තෙන් ම ඒ දිව්‍ය රාජයා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය තේරුම් අරගෙන අනුමෝදන් වුනා ද? නොතේරිලා අනුමෝදන් වුනාද? එහෙම නම් මම ඒ කාරණය ඒ දිව්‍ය රාජයාගෙන් ම දැන ගන්න ඕන. ඒ දිව්‍ය රාජයා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය තේරුම් අරගෙන අනුමෝදන් වුනා ද, තේරුම් නොගෙන අනුමෝදන් වුනා ද’ කියලා. ඉතින් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ, දික්කල අතක් හකුල ගන්නවා වගේ, ඒ විදිහට ම මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයෙන් අතුරුදහන් වෙලා තව්තිසා දෙවියන් අතර පහළ වුණා.
එතකොට ඒ වෙලාවෙ ශක්‍ර දෙවියන් ‘තනි සුදු නෙළුම’ (ඒක පුණ්ඩරීක) කියන උයනේ දිව්‍ය වූ පන්සීයක් තූර්ය වාදනයන්ගෙන් සතුටු වෙවී හිටියා. දුරින් ම වඩින ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේව ශක්‍ර දෙවියො දැක්කා. දැකලා හනිකට ඒ පන්සීයක් තූර්ය වාදන නවත්වලා දැම්මා. ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට මෙහෙම කිව්වා, “හා! පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, වඩින සේක්වා! පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්සේට සුභ පැමිණීමක් වේවා! පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්සේ, මේ පැත්තෙ වැඩියෙ කාලෙකින් නෙව. පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්සේ මේ පැණවූ අසුනෙ වැඩඉන්න සේක්වා!”
ඉන්පසු ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ඒ පැණවූ අසුනේ වැඩසිටියා. එතකොට ශක්‍ර දෙවියනුත් එක්තරා කුඩා ආසනයක් අරගෙන මොග්ගල්ලාන තෙරුන් අසලින් ම වාඩිවුනා. එහෙම පැත්තකින් වාඩිවුන සක් දෙවිඳුන් ගෙන් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ මෙහෙම ඇහුවා. “පින්වත් දිව්‍ය රාජය, අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවක් තණ්හාව ගෙවල දාලා, විමුක්තියට පත්වන ආකාරය ගැන සාරාංශ වශයෙන් ඔබට වදාළා නේද? අනේ අපිත් ඉතින් හරි කැමතියි ඒ බණ ටික අහගන්න.”
“පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, අපට ඉතින් බොහොම වැඩ නෙව. අපට මේ වැඩවල ඉවරයක් නෑ. අනික එහෙන් අපේ වැඩ. එහෙන් තව්තිසා දෙවියන්ගේ වැඩ. ඉතින් පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, අපි කොයිතරම් හොඳට ඇහුවත්, කොයිතරම් හොඳට ඉගෙන ගත්තත්, කොයිතරම් හොඳට නුවණින් මෙනෙහි කළත්, කොයිතරම් හොඳට මතක තියාගත්තත්, කොහෙද මේ වැඩ නිසා හනික අමතක වෙනවා නෙව.
පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, මං පරණ සිද්ධියක් කියන්නම්. ඔන්න සුර අසුර යුද්ධයක් ඇතිවුනා. පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, ඒ යුද්ධයෙන් දෙවියෝ දිනුවා. අසුරයෝ පැරදුනා. ඉතින් පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, මං ඒ යුද්ධෙ දිනල, ජය අරගෙන, ඊට පස්සෙ තමයි ‘වෛජයන්ත’ කියන ප්‍රාසාදෙ මැව්වේ. පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, හප්පා! ඒක නෙව බලන්න ඕන. තට්ටු සීයක් උසයි. හැම තට්ටුවේ ම මුදුන් වහළ තියෙන ශාලා හත්සීය ගානෙ තියෙනවා. ඒ එක එක ශාලාවට දිව්‍ය අප්සරාවන් හත් දෙනා ගානෙ ඉන්නවා. ඒ දිව්‍ය අප්සරාවන්ට උපස්ථාන කරන දිව්‍ය සේවිකාවන්, එක අප්සරාවකට හත් දෙනා ගානෙ ඉන්නවා. ඉතින් පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, අපේ ඒ ලස්සන වෛජයන්ත ප්‍රාසාදෙ බලන්න යමු ද? ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ නිහඬව වැඩසිටිමින් ඒ ආරාධනාව පිළිගත්තා.
ඉතින් ශක්‍ර දෙවියොත්, වෙසමුණි දෙව් රජුත් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ පෙරටු කරගෙන වෛජයන්ත ප්‍රාසාදෙට ගියා. එතකොට ශක්‍ර දෙවියන්ට උපස්ථාන කරන දිව්‍ය අප්සරාවන් මහා මොග්ගල්ලානයන් වහන්සේ වඩිනවා දුර දී ම දැක්කා. දැකලා බියට පත්වුනා. ලැජ්ජාවට පත්වුනා. තම තමන්ගේ කාමරවලට හනි හනිකට රිංග ගත්තා. මාමණ්ඩිය දැකපු ලේලි ලැජ්ජා භය ඇති කරගත්තා වගෙයි. අන්න ඒ විදිහට ම ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේව දුරින් ම දැක්කට පස්සේ සක් දෙවිඳුගේ උපස්ථායක දිව්‍ය අප්සරාවන් බිය වුනා. ලැජ්ජාවට පත්වුනා. හනි හනිකට තම තමන්ගේ කාමරවලට රිංගගත්තා. ඔය අතරෙ ශක්‍ර දෙවියොත්, වෙසමුණි දෙව් රජුත් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට වෛජයන්ත ප්‍රාසාදයේ විසිතුරු පෙන්න පෙන්න ගියා.
“පින්වත් නිදුකාණන් වූ මහාමොග්ගල්ලානයන් වහන්ස, වෛජයන්ත ප්‍රාසාදයේ මේ පැත්ත ලස්සන බලන්නකො. පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, බලන්නකො වෛජයන්ත ප්‍රාසාදයෙ මේ පැත්තෙ ලස්සන. ‘ආයුෂ්මත් සක්දෙව් රජුන්ට පෙර පින් කළ නිසා ම යි මෙවැනි දේවල් ලැබෙන්නෙ’ කියල දෙවිවරු කියනවා. මනුෂ්‍යයින්ටත් මේ විදිහේ ලස්සන දෙයක් ලැබුනා ම ‘ඕක නම් තව්තිසාවෙ දෙවියන්ටත් හොඳයි’ කියල කියනවා. ඒ වගේම ඔය පින්වත් දිව්‍ය රාජයාටත් පෙර පිනට ම යි ඔය වගේ දේවල් ලැබෙන්නෙ කියල දෙවිවරු කියනවා.”
එතකොට ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට මෙහෙම හිතුණා. ‘මේ දිව්‍ය රාජයා හරිම මෝඩයි. ප්‍රමාදයෙන් ම යි කල් යවන්නෙ. මං මේ දිව්‍ය රාජයාව සංවේගයට පත්කරන්න ඕන’ කියලා. ඉතින් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඉර්ධි බලයෙන් තමන්ගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් වෛජයන්ත ප්‍රාසාදෙ කරකෝල දැම්මා. කම්පා කෙරෙව්වා. බලවත්ව කම්පා කෙරෙව්වා. එතකොට ශක්‍ර දෙවියනුත්, වෙසමුණි දිව්‍ය රජුත්, තව්තිසා දෙවියොත් විස්මයට පත්වුණා. “පින්වත්නි, ආශ්චර්යයි! පින්වත්නි, අද්භූතයි! මේ ශ්‍රමණයන් වහන්සේ එතරම් ම මහා ඉර්ධිමත්. මහානුභාව සම්පන්නයි. මෙවැනි වූ දිව්‍ය භවනක් පවා පාදයේ මහපට ඇඟිල්ලෙන් කරකෝනව නෙව. කම්පා කරනව නෙව. බලවත්ව කම්පා කරනවා නෙව” කියලා.
සංවේගයට පත්වෙලා, තැති අරගෙන, ඇඟේ මවිල් කෙලින් කරගෙන ඉන්න සක් දෙවිඳුව දැකලා ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ඒ සක් දෙවිඳුගෙන් මෙහෙම ඇහුවා. “ඉතින් පින්වත් දිව්‍ය රාජය, අපගේ භාග්‍යවතුන් වහන්සේ තණ්හාව ගෙවා දාල, විමුක්තියට පත්වෙන හැටි සාරාංශ කරල වදාළ නේද? ඇත්තෙන් ම ඉතින් ඒ බණ ටික අහන්න අපිත් කැමතියි.”
“පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, එදා මං භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල පැත්තකින් හිටගත්තා. ඉතින් පින්වත් මොග්ගල්ලානයන් වහන්ස, පැත්තකින් හිටගත්තු මං භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
‘ස්වාමීනි, භික්ෂුවක් තණ්හාව ගෙවා දාල විමුක්තියට පත්වෙච්ච බව, සථිර වශයෙන්ම දුක් නිමා කළ බව, ස්ථිර වශයෙන්ම නිවනට පත් වූ බව, ස්ථීරව ම බ්‍රහ්මචාරී වුන බව, ස්ථීර ව ම නිවන් මග සම්පූර්ණ කළ බව, දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ බව සාරාංශ වශයෙන් දැනගන්නෙ කොහොම ද?’ කියල. පින්වත් නිදුක් වූ මොග්ගල්ලානයන් වහන්ස, එතකොට භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම වදාළා.
‘පින්වත් දෙවිඳ, භික්ෂුවට මේ විදිහට අහන්න ලැබෙනවා. ‘කිසිම දෙයක් ගැන තණ්හාවෙන් බැසගන්න සුදුසු නෑ’ කියලා. ඉතින් පින්වත් දෙවිඳ, භික්ෂුව ඔය විදිහට ඇහුවට පස්සේ කිසි ම දෙයක් ගැන තණ්හාවෙන් බැසගන්න සුදුසු නෑ කියල, ඔහු ඒ හැම දෙයක් ම අවබෝධ කරනවා. ඔහු ඒ හැම දෙයක් ම අවබෝධ කරලා, ඒ හැම දෙයක් ම විනිවිද යථාර්ථය දකිනවා. ඒ හැම දෙයක් ම විනිවිද යථාර්ථය දැක්කට පස්සේ, ඔහු යම්කිසි වේදනාවක් විඳිනවා නම්, ඒ වේදනාව සැපක් වෙන්න පුළුවනි, දුකක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් මධ්‍යස්ථ වෙන්නත් පුළුවනි. ඒ හැම වේදනාවක් ගැන ම අනිත්‍ය දකිමින් ඉන්නවා. නොඇල්ම දකිමින් ඉන්නවා. ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්නවා. ඇල්ම දුරුවීම දකිමින් ඉන්නවා. ඔහු ඒ විදිහට හැම වේදනාවක් ගැන ම අනිත්‍ය දකිමින් ඉන්න කොට, නොඇල්ම දකිමින් ඉන්න කොට, ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්න කොට, ඇල්ම දුරු වීම දකිමින් ඉන්න කොට, ලෝකෙ කිසිවකට බැඳෙන්නෙ නෑ. නොබැඳී ඉන්න කොට, ඇලෙන්නෙ නෑ. නොඇලී ඉන්න කොට තමන් තුළ ම පිරිනිවන් පෑම ඇතිවෙනවා. ‘ඉපදීම නැතිවුනා. බඹසර ජීවිතේ සම්පූර්ණ කළා. කළයුත්ත කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතෙයි’ කියල අවබෝධ කරගන්නවා. පින්වත් දෙවිඳ, භික්ෂුවක් තණ්හාව ගෙවා දාල, විමුක්තියට පත්වුනොත්, ස්ථීරව ම දුක් නිමා කළොත්, ස්ථීරව ම නිවනට පත්වුනොත්, ස්ථීරව ම බ්‍රහ්මචාරී වුනොත්, ස්ථීරව ම නිවන් මග අවසන් කළොත්, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වුනොත් අන්න ඒ ගැන සාරාංශ වශයෙන් කියන්න තියෙන්නෙ ඔන්න ඔය විදිහට තමයි’ කියලා.
පින්වත් නිදුකාණන් වූ මොග්ගල්ලානයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ තණ්හාව ගෙවා දැමීමෙන් විමුක්තිය ලබන ආකාරය ගැන සාරාංශ වශයෙන් වදාළේ ඔය විදිහට යි.”
ඉතින් එතකොට ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ සක් දෙවිඳු ගේ ඒ කියමන සතුටින් පිළිගත්තා. සතුටින් අනුමෝදන් වුනා. ඊට පස්සෙ ශක්තිමත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ, දිගඇරපු අතක් හකුලනවා වගේ තව්තිසා දෙව් ලොවින් නොපෙනී ගිහින් මිගාරමාතු ප්‍රාසාදය කියන පූර්වාරාමයේ පහළ වුනා.
ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ දෙව්ලොවින් වැඩියට පස්සෙ සක් දෙවිඳු ගේ දිව්‍ය අප්සරාවෝ සක් දෙවිඳුන් වට කරගෙන මෙහෙම අහන්න පටන් ගත්තා. “නිදුකාණෙනි, අනේ ඒ වැඩියේ ඔබගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ නේද?”
“නෑ. ප්‍රියම්බිකාවනි, ඒ භාග්‍යවත් වූ ශාස්තෘන් වහන්සේ නොවෙයි ඒ වැඩියේ. ඒ අපගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් වන ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ.”
“නිදුකාණෙනි, ඇත්තෙන් ම ඔබට ලාභයක්. ඔබේ ඒ යහළු සබ්‍රහ්මචාරීන් වහන්සේ ඔය තරම් මහා ඉර්ධිමත් නම්, මහානුභාව සම්පන්න නම්, ඒ භාග්‍යවත් ශාස්තෘන් වහන්සේ කොයිතරම් අසිරිමත් ඇද්ද?”
ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. වාඩිවෙලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කවුරු හරි ඉතා ප්‍රසිද්ධ මහේශාක්‍ය දිව්‍ය රාජයෙකුට තණ්හාව ගෙවල දාල, විමුක්තියට පත්වන හැටි සාරාංශ කොට වදාළ බව භාග්‍යවතුන් වහන්සේට මතකද?”
“ඔව්. පින්වත් මොග්ගල්ලාන, මට මතකයි. සක් දෙවිඳු මගේ ළඟට ආවා. ඇවිදින් මට වැඳල පැත්තකින් හිටගත්තා. පින්වත් මොග්ගල්ලාන, ඊට පස්සෙ ඒ සක් දෙවිඳු මගෙන් මෙහෙම ඇහුවා. ‘ස්වාමීනි, භික්ෂුවක් තණ්හාව ගෙවල දාල, විමුක්තියට පත්වුන එක ගැන, ස්ථීර ව ම දුක් කෙළවර කළ බව, ස්ථිර ව ම නිවනට පත්වුන බව, ස්ථීරව ම බ්‍රහ්මචාරී වුන බව, ස්ථීරව ම නිවන් මග අවසන් කළ බව, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ බව, සාරාංශ වශයෙන් පවසන්නෙ කොහොමද?’ කියලා.
එතකොට පින්වත් මොග්ගල්ලාන, මං ඒ සක් දෙවිඳු ට මෙහෙම කිව්වා. ‘පින්වත් දෙවිඳ, භික්ෂුවට මේ විදිහට අහන්න ලැබෙනවා. ‘කිසිම දෙයක් ගැන තණ්හාවෙන් බැසගන්න සුදුසු නෑ’ කියලා. ඉතින් පින්වත් දෙවිඳ, භික්ෂුව ඔය විදිහට ඇහුවට පස්සේ කිසිම දෙයක් ගැන තණ්හාවෙන් බැසගන්න සුදුසු නෑ කියල, ඔහු ඒ හැම දෙයක් ම අවබෝධ කරනවා. ඔහු ඒ හැම දෙයක් ම අවබෝධ කරලා, ඒ හැම දෙයක් ම විනිවිද යථාර්ථය දකිනවා. ඒ හැම දෙයක් ම විනිවිද යථාර්ථය දැක්කට පස්සේ, ඔහු යම්කිසි වේදනාවක් විඳිනවා නම්, ඒ වේදනාව සැපක් වෙන්න පුළුවනි, දුකක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් මධ්‍යස්ථ වෙන්නත් පුළුවනි. ඒ හැම වේදනාවක් ගැන ම අනිත්‍ය දකිමින් ඉන්නවා. නොඇල්ම දකිමින් ඉන්නවා. ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්නවා. ඇල්ම දුරුවීම දකිමින් ඉන්නවා. ඔහු ඒ විදිහට හැම වේදනාවක් ගැන ම අනිත්‍ය දකිමින් ඉන්න කොට, නොඇල්ම දකිමින් ඉන්න කොට, ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්න කොට, ඇල්ම දුරු වීම දකිමින් ඉන්න කොට, ලෝකෙ කිසිවකට බැඳෙන්නෙ නෑ. නොබැඳී ඉන්න කොට, ඇලෙන්නෙ නෑ. නොඇලී ඉන්න කොට තමන් තුළ ම පිරිනිවන් පෑම ඇතිවෙනවා. ‘ඉපදීම නැතිවුනා. බඹසර ජීවිතේ සම්පූර්ණ කළා. කළයුත්ත කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතෙයි’ කියල අවබෝධ කරගන්නවා. පින්වත් දෙවිඳ, භික්ෂුවක් තණ්හාව ගෙවා දාල, විමුක්තියට පත්වුනොත්, ස්ථීරව ම දුක් නිමා කළොත්, ස්ථීරව ම නිවනට පත්වුනොත්, ස්ථීරව ම බ්‍රහ්මචාරී වුනොත්, ස්ථීරව ම නිවන් මග අවසන් කළොත්, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වුනොත් අන්න ඒ ගැන සාරාංශ වශයෙන් කියන්න තියෙන්නෙ ඔන්න ඔය විදිහට තමයි’ කියලා.
පින්වත් මොග්ගල්ලාන, මං ඔන්න ඔය විදිහට සක් දෙවිඳුට තණ්හාව ගෙවා දාල, විමුක්තියට පත්වන හැටි කිව්වා මතකයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට හරිම සතුටුයි. ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනාව සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
තණ්හාව ගෙවා දැමීම ගැන වදාළ කුඩා දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M