මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. එදා උදේ වරුවේ භාග්‍යවතුන් වහන්සේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන විශාලා මහනුවර පිණ්ඩපාතෙ වඩින්න සූදානම් වුනා. එතකොට ම වගේ නිගණ්ඨපුත්‍ර සච්චක ව්‍යායාම පිණිස ඇවිද ඇවිද යද්දි මහ වනයේ කූටාගාර ශාලාවටත් ආවා. දුරින් ම එන නිගණ්ඨපුත්‍ර සච්චකව ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දැක්කා. දැකලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, ඔන්න නිගණ්ඨපුත්‍ර සච්චක එනවා. හොඳ කතාකාරයා. මහා පණ්ඩිතයා. බොහෝ ජනයා හොඳයි කියල හිතාගෙන ඉන්නෙ. ස්වාමීනි, ඒ වුනාට ඔය පුද්ගලයා බුදු රජුන්ගේ දොස් කියන්න කැමති කෙනෙක්. සද්ධර්මයේ දොස් කියන්න කැමති කෙනෙක්. සඟරුවනේ දොස් කියන්න කැමති කෙනෙක්. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔය පුද්ගලයා කෙරෙහි අනුකම්පාවෙන් මොහොතක් වැඩසිටිනවා නම් කොයිතරම් හොඳ ද?”
ඉතින්, භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනයේ වැඩසිටියා. එතකොට නිගණ්ඨපුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා කළා. පිළිසඳර කතාකරල පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩිවෙච්ච නිගණ්ඨපුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“භවත් ගෞතමයන් වහන්ස, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ අය කාය භාවනාවෙන් යුක්තයි. නමුත් චිත්ත භාවනාවෙන් යුක්ත නෑ. ස්වාමීනි, ඒගොල්ලන්ටත් ශාරීරික දුක් වේදනා ලැබෙනවා. භවත් ගෞතමයන් වහන්ස, මේක සිද්ධ වෙච්ච දෙයක්. ශාරීරික දුක් වේදනාවෙන් පීඩා විඳින කොට කලවා තද වෙනවා. පපුව පැළෙනවා. කටින් උණු ලේ එනවා. පිස්සු හැදෙනවා. සිහිවිකල් වෙනවා. භවත් ගෞතමයන් වහන්ස, ඒ වෙලාවෙ ඔහුගේ සිත තියෙන්නෙ කයට අනුවයි. කයේ වසඟයට පත්වෙලා. ඇයි එහෙම වෙන්නෙ? සිත දියුණු නොකළ නිසයි.
භවත් ගෞතමයන් වහන්ස, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ අය චිත්ත භාවනාවේ යෙදී වාසය කරනවා. කාය භාවනාවේ යෙදී වාසය කරන්නෙ නෑ. එතකොට ඔවුන්ට මානසික දුක් පීඩා ලැබෙනවා. භවත් ගෞතමයන් වහන්ස, මේකත් වෙච්ච දෙයක්. මානසික දුක් පීඩා ලැබෙන කොටත් කලවා තද වෙනවා. හදවත පැලෙනවා. කටින් උණු ලේ එනවා. පිස්සු හැදෙනවා. සිහි විකල් වෙනවා. ඒ වෙලාවෙදී භවත් ගෞතමයන් වහන්ස, ඔහුගේ කය පවතින්නෙ සිතට අනුවයි. සිතට වසඟ වෙලයි තියෙන්නෙ. ඒකට හේතුව මොකක්ද? කාය භාවනාව නොකිරීමයි. භවත් ගෞතමයන් වහන්ස, මට මෙන්න මෙහෙම හිතෙනවා. ඇත්තෙන් ම භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ චිත්ත භාවනාවෙන් වාසය කරනවා. නමුත් කාය භාවනාවෙන් වාසය කරන්නෙ නෑ කියලා.”
“පින්වත් අග්ගිවෙස්සන, ඔබ කාය භාවනාව හැටියට ඇසුවෙ මොන වගේ දෙයක්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, නන්ද වච්ඡ, කිස සංකිච්ච, මක්ඛලී ගෝසාල කියන මේගොල්ලො නිරුවත් තාපසවරු නෙව. ආචාර ධර්ම අත්හැරපු අය නෙව. දන් වළඳල අත ලෙවකන අය නෙව. ‘ස්වාමීනී, එන්න’ කිව්වා ම නොඑන සිල් ඇති අය. ‘ස්වාමීනී, සිටින්න’ කිව්වා ම නොසිටින සිල් ඇති අය. තමන් උදෙසා කළ දානය නොපිළිගන්න අය. බත් මුට්ටියේ කට ළඟින් දෙන දානය නොපිළිගන්නා අය. හැළි මුවින් දෙන දානය නොපිළිගන්නා අය. එළිපත්ත අතරෙ ඉඳගෙන දෙන දානය නොපිළිගන්නා අය. දඬු වැට අතරින් දෙන දානය නොපිළිගන්නා අය. මෝල් ගස් අතරේ ඉඳගෙන දෙන දානය නොපිළිගන්නා අය. දෙන්නෙක් අනුභව කරද්දි දෙන දානය පිළිගන්නෙ නෑ. ගැබිනි මාතාවක් දෙන දානය පිළිගන්නෙ නෑ. කිරි දෙන මවක් දෙන දානය පිළිගන්නෙ නෑ. පුරුෂයන් අතරට ගිය ස්ත්‍රිය දෙන දානය පිළිගන්නෙ නෑ. සම්මාදන් කොට පිසූ දානය පිළිගන්නෙ නෑ. බල්ලෙක් ඉන්න තැන දී දෙන දානය, ඌට නොදී පිළිගන්නෙ නෑ. මැස්සො කැටි ගැහිල ඉන්න තැන්වල සිට දෙන දානය පිළිගන්නෙ නෑ. මාළු වළඳන්නෙ නෑ. මස් වළඳන්නෙ නෑ. සුරා බොන්නෙ නෑ. රා බොන්නෙ නෑ. ථුසෝදක බොන්නෙ නෑ. එක ගෙදරකින් ලැබෙන එක බත් පිඬෙනුත් යැපෙනවා. ගෙවල් දෙකකින් ලැබෙන බත් පිඬු දෙකකිනුත් යැපෙනවා. ගෙවල් හතකින් ලැබෙන බත් පිඬු හතකිනුත් යැපෙනවා. එක බත් හැන්දකිනුත් යැපෙනවා. බත් හැඳි දෙකකිනුත් යැපෙනවා. බත් හැඳි හතකිනුත් යැපෙනවා. එක දවසක් ඇරල දානෙ ගන්නවා. දවස් දෙකක් ඇරල දානෙ ගන්නවා. දවස් හතක් ඇරල දානෙ ගන්නවා. ඔය ආකාරයට සති දෙකක් ඇරල දානෙ ගන්නවා. මේ විදිහට බත් වාර වැළඳීමේ යෙදී ඉන්නවා.”
“පින්වත් අග්ගිවෙස්සන, එතකොට ඔවුන් යැපෙන්නෙ එච්චරකින් ම ද?”
“නෑ. භවත් ගෞතමයන් වහන්ස, සමහර දවස්වලට භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් හොඳ හොඳ කෑම ජාති කනවා. හොඳ හොඳ දේවල් අනුභව කරනවා. හොඳ හොඳ දේවල් රස විඳිනවා. හොඳ හොඳ බීම ජාති බොනවා. ඔවුන් මේ කය ශක්තිමත් කරගන්නවා. පුෂ්ටිමත් කරගන්නවා. තෙල් ගතිය වැඩි කරගන්නවා.”
“එහෙම නම් පින්වත් අග්ගිවෙස්සන, කලින් තිබුණු දුෂ්කර ක්‍රියාව අත්හැරල, පස්සෙ කන බොන දේවල් දිහා බැලුවා ම ඔවුන්ගේ තියෙන්නේ මේ කයේ, මහත් වීමත්, කෙට්ටු වීමත් විතරයි නෙව.
පින්වත් අග්ගිවෙස්සන, ඔබ චිත්ත භාවනාව ගැන අහල තියෙන්නෙ කොහොමද?”
නිගණ්ඨපුත්‍ර සච්චකට චිත්ත භාවනාව ගැන භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුනා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ, නිගණ්ඨපුත්‍ර සච්චකට මෙහෙම කිව්වා. “පින්වත් අග්ගිවෙස්සන, ඔබ දැන් කාය භාවනාව වශයෙන් යමක් කිව්ව නේ ද? ඒක මේ ආර්ය විනය තුළ ධාර්මික කාය භාවනාවක් නම් නොවෙයි. අනික පින්වත් අග්ගිවෙස්සන, ඔබ කාය භාවනාව දන්නෙ නෑ. චිත්ත භාවනාව ගැන කොහොම දැනගන්න ද? පින්වත් අග්ගිවෙස්සන, නොදියුණු කය ගැනත්, නොදියුණු සිත ගැනත්, දියුණු කය ගැනත්, දියුණු සිත ගැනත් මං කියා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න. හොඳින් තේරුම් ගන්න. මං කියා දෙන්නම්.”
“එසේ ය, භවත” කියල නිගණ්ඨපුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.
“පින්වත් අග්ගිවෙස්සන, නොදියුණු කයකුයි, නොදියුණු සිතකුයි ඇති වෙන්නෙ කොහොමද?
පින්වත් අග්ගිවෙස්සන, අශ්‍රැතවත් පෘථග්ජනයාට සැප වේදනාව උපදිනවා. එතකොට ඔහු ඒ සැප වේදනාවෙන් ලැබෙන ස්පර්ශය නිසා සැපයට සරාගී වෙනවා. සැප සරාගී බවට පත්වෙනවා. ඔහු ගේ ඒ සැප වේදනාව නැති වෙලා යනවා. සැප වේදනාව නැති වෙලා, දුක් වේදනාව එනවා. දුක් වේදනාවෙන් යුතු ස්පර්ශයක් ලැබෙන කොට, ඔහු ශෝක කරනවා. කලන්තෙ හදාගන්නවා. වැළපෙනවා. පපුවෙ අත්ගහගන්නවා. සිහිවිකල් වෙනවා.
පින්වත් අග්ගිවෙස්සන, ඔහුට ලැබුනු ඒ සැප වේදනාව ඔහුගේ සිත යට කරගෙන ගියේ නොදියුණු කයක් තිබිච්ච නිසයි. දුක් වේදනාව විසින් ඔහුගේ සිත යට කරගෙන ගියේ නොදියුණු සිතක් තිබිච්ච නිසයි. පින්වත් අග්ගිවෙස්සන, යම් කෙනෙකුට ඔය දෙපැත්තෙන් ම වේදනා ලැබෙද්දී, ඒ කියන්නේ, නොවැඩුණු කය ඇති නිසා සැප වේදනාව සිත යටපත් කර ගැනීමත්, නොවැඩුණු සිත ඇති නිසා දුක් වේදනාව සිත යටපත් කර ගැනීමත් ඇද්ද, පින්වත් අග්ගිවෙස්සන, අභාවිත කයක් තියෙනවා ය. අභාවිත සිතක් තියෙනවා ය කියන්නේ ඕකටයි.
පින්වත් අග්ගිවෙස්සන, දියුණු කයකුයි, දියුණු සිතකුයි තියෙන්නෙ කොහොමද?
පින්වත් අග්ගිවෙස්සන, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාටත් සැප වේදනාව හටගන්නවා. නමුත් ඔහු සැප වේදනාව විඳින කොට ඒ සැපයට සරාගී වෙන්නෙ නෑ. ඒ සැප ගැන සරාගී බවට පත්වෙන්නෙ නෑ. ඔහුගේ ඒ සැප වේදනාව නිරුද්ධ වෙලා යනවා. සැප වේදනාව නැතිවෙලා දුක් වේදනාව උපදිනවා. ඔහු ඒ දුක් වේදනාව විඳින කොට ශෝක වෙන්නෙ නෑ. කලන්තෙ හදාගන්නෙ නෑ. වැළපෙන්නෙ නෑ. පපුවට අත් ගහගන්නෙ නෑ. සිහිවිකල් කරගන්නෙ නෑ.
පින්වත් අග්ගිවෙස්සන, ඒ විදිහට උපන් සැප වේදනාව විසින් ඔහුගේ සිත යට කරන්නෙ නැත්තෙ දියුණු කරපු කයක් තිබෙන නිසයි. උපන් දුක් වේදනාව විසින් ඔහුගේ සිත යට කරන්නෙ නැත්තෙ දියුණු කරපු සිතක් තියෙන නිසයි. පින්වත් අග්ගිවෙස්සන, යම් කෙනෙකුට ඔය විදිහට දෙපැත්තෙන් ම උපදින වේදනාව, ඒ කියන්නේ උපන් සැප වේදනාව විසින් සිත යට කරන්නෙ නැත්නම් ඔහුට දියුණු කරපු කයක් තියෙනවා. උපන් දුක් වේදනාව විසින් සිත යට කරන්නෙ නැත්නම් දියුණු කරපු සිතක් තියෙනවා. පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහටයි දියුණු කරපු කයක් ඇති වෙන්නෙත්, දියුණු කරපු සිතක් ඇති වෙන්නෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, මං බොහෝ ම පැහැදුනා. භවත් ගෞතමයන් වහන්සේට දියුණු කරපු කයකුත් තියෙනවා. දියුණු කරපු සිතකුත් තියෙනවා.”
“ඒකාන්තයෙන් ම පින්වත් අග්ගිවෙස්සන, ඔබ විසින් කරුණු බලවත්ව ගෙන ඔය වචනය කිව්වේ. නමුත් මං මේ ගැන ඔබට කියන්න කැමතියි. පින්වත් අග්ගිවෙස්සන, මං යම් දවසක කෙස් රැවුල් කපා, කසාවත් හැඳගෙන ගිහි ගෙයින් නික්මිලා මේ පැවිදි ජීවිතේට පත්වුනා ද, එදා ඉඳල සැප වේදනාව විසින් මගේ සිත යටපත් කිරීමක් හෝ, දුක් වේදනාව විසින් මගේ සිත යටපත් කිරීමක් හෝ සිද්ධ වුනේ නෑ.”
“හා! එහෙනම් භවත් ගෞතමයන් වහන්සේට යම් සැප වේදනාවක් විසින් සිත යට කරනවා නම් ඒ වගේ සැප වේදනා ඇතිවුනේ නැතුවාවත් ද? යම් දුක් වේදනාවක් විසින් සිත යට කරගෙන යනවා නම් එවැනි දුක් වේදනාවක් ඇතිවුණේ නැතුවාවත්ද?”
“පින්වත් අග්ගිවෙස්සන, මොකද නැත්තෙ? පින්වත් අග්ගිවෙස්සන, මං සම්බුද්ධත්වයට පත්වෙන්න ඉස්සර, සම්මා සම්බුදු නොවූ, බෝසත් වශයෙන් සිටිද්දි ම යි මේ අදහස ඇති වුණේ. ‘ගිහි ජීවිතේ ගතකිරීම නම් හරි කරදරයි. කෙලෙස් දූවිලි පිරුණු මාවතක්. නමුත් මේ පැවිද්ද නම් අහස වගේ තැනක්. ගිහි ගෙදර ජීවත් වෙමින් ඒකාන්ත පිරිපුන්, ඒකාන්ත පිරිසිදු, සුදෝසුදු බඹසර සුරකින එක පහසු දෙයක් නොවෙයි. එහෙම නම් මම කෙස් රැවුල් බාලා, කසාවත් පොරවලා, ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙන එක තමයි හොඳ’ කියලා. ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං පස්සෙ කාලෙක තරුණ වයසෙ සිටිද්දි, කළු කෙස් තියෙන සොඳුරු යොවුන් වයසේ සිටිද්දි, ජීවිතේ ප්‍රථම වයසේ සිටිද්දි, මව්පියන් අකැමැත්තෙන් කඳුළු සලමින් හඬද්දි, මං කෙස් රැවුල් බාලා, කසාවත් පොරවාගෙන, උතුම් පැවිදි බවට පත්වුනා.
පැවිදි වුණාට පස්සෙ මං ‘කුසල් මොනවා ද?’ කියල හොයන කෙනෙක් වුණා. අනුත්තර වූ අමා නිවන සොයන කෙනෙක් වුනා. මං ආළාර කාලාම ළඟටත් ගියා. ගිහින් ආළාර කාලාමට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් කාලාම, මං කැමතියි මේ ධර්ම විනයෙ බඹසර හැසිරෙන්න” කියලා.
එතකොට පින්වත් අග්ගිවෙස්සන, ආළාර කාලම මට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, එහෙම නම් මේ ධර්මයේ බඹසර හැසිරෙන්න. බුද්ධිමත් කෙනෙකුට සුළු කලක දී මේ ධර්මය තමා තුළින් ම තේරුම් අරගෙන සාක්ෂාත් කරල ඉන්න පුළුවනි” කියලා. පින්වත් අග්ගිවෙස්සන, මං ඉතා සුළු කලකින් වහා ම ඒ ධර්මය ඉගෙන ගත්තා. පින්වත් අග්ගිවෙස්සන, මං ඔවුන් තොල් සොලවා යමක් කියන පමණින් ම ඒක තේරුම් ගත්තා. ඔවුන්ගේ ධර්ම ක්‍රමය තේරුම් ගත්තා. ඒ දේ දන්න කෙනෙක්, දකින කෙනෙක් බවට පත්වුනා. අනිත් උදවියත් මං ගැන එහෙම කිව්වා.
එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුනා. ‘ඔය ආළාර කාලාම මේ ධර්මය කියන්නෙ හුදෙක් ශ්‍රද්ධාවකින් පමණක් ම නොවෙයි. තමන් ම අවබෝධ කරල, සාක්ෂාත් කරල ඉඳගෙනයි ඔය කියන්නෙ. ඇත්තෙන් ම ආළාර කාලාම මේ ධර්මය දැනගෙන, දැකගෙන ඉන්න කෙනෙක්.’ ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං ආළාර කාලාම ළඟට ගියා. ගිහින් ආළාර කාලාමගෙන් මෙහෙම ඇහුවා. “ආයුෂ්මත් කාලාම, ඔබේ අවබෝධය තුළින් ම සාක්ෂාත් කරගෙන තියෙන මේ ධර්මය කොච්චර දුරට කියන්න පුළුවන්ද?” කියලා. පින්වත් අග්ගිවෙස්සන, ආළාර කාලාම මට ‘ආකිඤ්චඤ්ඤායතන සමාධිය’ ගැන කිව්වා.
එතකොට මට මෙහෙම හිතුණා. ‘ඉතින් ආළාර කාලාමට විතරක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙන්නෙ. මටත් ශ්‍රද්ධාව තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි වීරිය තියෙන්නෙ. මටත් වීරිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි සිහිය තියෙන්නෙ. මටත් සිහිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි සමාධිය තියෙන්නෙ. මටත් සමාධිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි ප්‍රඥාව තියෙන්නෙ. මටත් ප්‍රඥාව තියෙනවා නෙව. ඉතින් එහෙනම් මමත් ආළාර කාලාම තමන්ගේ නුවණින් සාක්ෂාත් කරල ඉඳගෙන කියන දේ සාක්ෂාත් කරන්න වීරිය ගන්න ඕන’ කියල. පින්වත් අග්ගිවෙස්සන, ටික දවසකින් ම ඉතා ඉක්මනින් ම මමත් ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට පැමිණ වාසය කළා.
එතකොට පින්වත් අග්ගිවෙස්සන, මං ආළාර කාලාම ළඟට ගියා. ගිහින් මං මෙහෙම කිව්වා. “ආයුෂ්මත් කාලාම, අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන ඔබ ඔය කියන ධර්මය ඔච්චරයිද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, මං අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන කියන ධර්මය ඔච්චර තමයි.”
“ඉතින් ආයුෂ්මතුනි, දැන් ඔය ධර්මය මමත් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන ඉන්නවා නෙව.”
“අනේ ඇත්තට ම ආයුෂ්මතුනි, ඕක ලාභයක්. ආයුෂ්මතුනි, ඕක අපිට හරි ලාභයක්. ආයුෂ්මතුන් වගේ සබ්‍රහ්මචාරීන් කෙනෙක් අපටත් දැකගන්න ලැබුණා. යම් දෙයක් මං අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන ඉන්නවා නම්, ඒ දේ ඔබත් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙනයි ඉන්නෙ. යම් ධර්මයක් ඔබ අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ඉන්නවා නම්, ඒ ධර්මය මමත් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙනයි ඉන්නෙ. එහෙම නම් ඉතින් යම් ධර්මයක් මම දන්නවා නම් ඒ ධර්මය ඔබත් දන්නවා. යම් ධර්මයක් ඔබ දන්නවා නම්, ඒ ධර්මය මමත් දන්නවා. මම යම් විදිහක නම් ඔබත් ඒ විදිහයි. ඔබ යම් විදිහක නම් මමත් ඒ විදිහයි. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, දැන් එන්න. අපි දෙන්න එකතු වෙලා මේ පිරිස බලා හදාගෙන ඉම්මු.”
ඔය විදිහට පින්වත් අග්ගිවෙස්සන, මගේ ගුරුවරයාව සිටි ආළාර කාලාම, ගෝලයා වෙලා හිටි මාව තමන් හා සමාන තැනක තිබ්බා. උතුම් පුද පූජාවල් කළා. ඒත් පින්වත් අග්ගිවෙස්සන, මං හිතන්න පටන් ගත්තා. ‘මේ ධර්මය නම් අවබෝධයෙන් ම කළකිරීමට හේතුවෙන්නෙ නෑ. නොඇල්ම පිණිස හේතුවෙන්නෙ නෑ. දුක් නැතිවෙන්න හේතුවෙන්නෙ නෑ. කෙලෙස් සංසිඳීම පිණිස හේතුවෙන්නෙ නෑ. විශේෂ ඥානයට හේතුවෙන්නෙ නෑ. ආර්ය සත්‍යය අවබෝධයට හේතුවෙන්නෙ නෑ. නිවනට හේතුවෙන්නෙ නෑ. මේ ධර්මය හේතු වෙන්නෙ ආකිඤ්චඤ්ඤායතන ලෝකෙ උපදින්න විතරයි’ කියලා. පින්වත් අග්ගිවෙස්සන, ඉතින් ඒ ධර්මයේ මා සොයන දේ නැති බව දැන ඒ ධර්මය ගැන කළකිරුණා. එතන දාල ගියා.
පින්වත් අග්ගිවෙස්සන, මං ආයෙමත් ‘කුසල් කියන්නෙ මොනවද?’ කියල හොයන්න පටන් ගත්තා. අනුත්තර වූ අමා නිවන හොයන්න පටන් ගත්තා. රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් රාමපුත්‍ර උද්දකට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, මං කැමතියි මේ ධර්ම විනයේ බඹසර හැසිරෙන්න” කියලා. එතකොට පින්වත් අග්ගිවෙස්සන, රාමපුත්‍ර උද්දක මට මෙහෙම කිව්වා. “හොඳයි ආයුෂ්මතුනි, බඹසර හැසිරෙන්න. බුද්ධිමත් කෙනෙකුට ඉතා කෙටි කලකින් මේ ධර්මය තමන්ගේම නුවණින් අවබෝධ කරගෙන, සාක්ෂාත් කරල වාසය කරන්න පුළුවනි” කියලා. පින්වත් අග්ගිවෙස්සන, මං ඉතා සුළු කලකින්, ඉතා ඉක්මනින් ඒ ධර්මය ඉගෙන ගත්තා. පින්වත් අග්ගිවෙස්සන, ඒ ධර්මය තොල් සොලවා කියූ පමණින් ම මං අවබෝධ කරගත්තා. එහි වැඩිහිටියෙක් බවට පත්වුනා. ඒ ධර්මය දන්න කෙනෙක් දකින කෙනෙක් වුනා. අනිත් උදවියත් මං ගැන එහෙම කිව්වා.
එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුනා. ‘පින්වත් රාමයන් මේ ධර්මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් පවසන ලද්දක් නොවෙයි. තමන්ගේ ම ඤාණයෙන් සාක්ෂාත් කරල ඉඳගෙනයි පවසල තියෙන්නේ. ඇත්තෙන් ම පින්වත් රාමයන් මේ ධර්මය දැනගෙන, දැකගෙන හිටපු කෙනෙක්.’ ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් මෙහෙම ඇහුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, පින්වත් රාමයන් මේ ධර්මය තමන්ගේ නුවණින් සාක්ෂාත් කරල කියල දුන්නෙ කොච්චර දුරකටද?” එතකොට පින්වත් අග්ගිවෙස්සන, රාමපුත්‍ර උද්දක මට ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන’ සමාධිය ගැන පැවසුවා.
පින්වත් අග්ගිවෙස්සන, මං ඒ ගැන මෙහෙමයි හිතුවේ. ‘ශ්‍රද්ධාව තිබුනේ රාමට විතරක් නොවෙයි. මටත් ශ්‍රද්ධාව තියෙනවා. වීරිය තිබුනේ රාමට විතරක් නොවෙයි. මටත් වීරිය තියෙනවා. සිහිය තිබුනේ රාමට විතරක් නොවෙයි. මටත් සිහිය තියෙනවා. සමාධිය තිබුනේ රාමට විතරක් නොවෙයි. මටත් සමාධිය තියෙනවා. ප්‍රඥාව තිබුනේ රාමට විතරක් නොවෙයි. මටත් ප්‍රඥාව තියෙනවා. එහෙනම් මමත්, පින්වත් රාමයන් යම් දෙයක් අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන වාසය කළා නම් ඒ දේ අවබෝධ කරගන්න වීරිය කරනවා. ඒ දේ සාක්ෂාත් කරන්න වීරිය ගන්නවා’ කියල. ඉතින් පින්වත් අග්ගිවෙස්සන, ඉතා සුළු කලකින්, ඉතා ඉක්මනින් මමත් ඒ ධර්මය අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ඒ ධර්මයට පැමිණ වාසය කළා.
පින්වත් අග්ගිවෙස්සන, මං දවසක් රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් රාමපුත්‍ර උද්දකට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, ඔබේ පියා වන පින්වත් රාමයන් තමන්ගේ ම නුවණින් මේ ධර්මය සාක්ෂාත් කරගෙන වාසය කළේ ඔච්චරකින් ද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, ඔව්! අපේ පියා වන පින්වත් රාමයන් තමන්ගේ නුවණින් සාක්ෂාත් කරගෙන වාසය කරපු ධර්මය ඔච්චර තමයි.”
“ප්‍රිය ආයුෂ්මතුනි, ඒ (ඔබේ පියා වන පින්වත් රාමයන් සාක්ෂාත් කළ) ඔය ධර්මය මමත් ඔච්චරකින් අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙනයි ඉන්නෙ.”
“ප්‍රිය ආයුෂ්මතුනි, අපිට මහ ලාභයක් නෙව. අපට උතුම් ලාභයක් නෙව. අපිටත් ආයුෂ්මතුන් වගේ සබ්‍රහ්මචාරීන් කෙනෙක් දැකගන්න ලැබුනා නෙව. ඉතින් යම් ධර්මයක් අපේ පියා වන පින්වත් රාමයන් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කළා නම් ඒ ධර්මය ඔබත් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරනවා නෙව. ඔබ යම් ධර්මයක් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරනවා නම් ඒ ධර්මය පින්වත් රාමයන් ද අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කළා. යම් ධර්මයක් රාම දැනගෙන හිටියා නම්, ඒ ධර්මය ඔබත් දන්නවා. යම් ධර්මයක් ඔබ දැනගෙන ඉන්නවා නම්, ඒ ධර්මය රාමයන් ද දැනගත්තා. ඒ නිසා රාම යම් බඳු නම් ඔබත් එබඳුම යි. ඔබ යම් බඳු නම් රාමත් එබඳුම යි. ඒ නිසා පින්වත් ආයුෂ්මතුනි, දැන් එන්න. ඔබ මේ පිරිස බලා හදාගන්න.” මේ විදිහට පින්වත් අග්ගිවෙස්සන, රාමපුත්‍ර උද්දක මා හා සමානව සබ්‍රහ්මචාරීව සිටියදී මාව ආචාර්ය තනතුරේ තැබුවා. මට උතුම් පුද පූජාවල් කළා. නමුත් පින්වත් අග්ගිවෙස්සන, මං හිතන්න පටන් ගත්තා. ‘මේ ධර්මය නම් අවබෝධයෙන් කළකිරීමට හේතුවෙන්නෙ නෑ. නොඇල්ම පිණිස හේතුවෙන්නෙ නෑ. ඇල්ම නිරුද්ධ වීම පිණිස හේතුවෙන්නේ නෑ. සංසිඳීම පිණිස හේතුවෙන්නේ නෑ. විශේෂ ඥානය පිණිස හේතුවෙන්නේ නෑ. ආර්ය සත්‍යය අවබෝධය පිණිස හේතුවෙන්නෙ නෑ. නිවන පිණිස හේතුවෙන්නේ නෑ. මේ ධර්මය හේතුවෙන්නේ නේවසඤ්ඤානාසඤ්ඤායතන ලෝකයේ උපදින්න විතරයි’ කියල පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහට ඒ ධර්මයේ මා සොයන දෙය නැතිබව තේරුම් අරගෙන, ඒ ධර්මය ගැන කළකිරිලා එතනින් නික්මිල ගියා.
ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං ආයෙමත් ‘කුසල් කියන්නෙ මොනවද?’ කියල හොයන කෙනෙක් වුනා. ඒ අමා නිවන සොයා ගෙන යන කෙනෙක් වුනා. මං මගධ ජනපදයෙ ඇවිදගෙන ඇවිදගෙන ගියා. එහෙම යද්දි තමයි උරුවේලාවේ සේනානිගම නම් නියම්ගම හම්බ වුනේ. මං එහේ නැවතුනා. ඒ භූමිය මං දැකපු රමණීය තැනක්. ඒ වන ගැබ ඇත්තෙන් ම ලස්සනයි. සුදු වැලි තලාව තියෙන රමණීය ගං ඉවුරු මැදින් නදිය ගලා බසිනවා. පිණ්ඩපාතෙ කරගන්න ගමත් ළඟින් ම තිබුනා. පින්වත් අග්ගිවෙස්සන, මට එතකොට මේ විදිහටයි හිතුනේ ‘ඇත්තෙන් ම මේ පළාත රමණීයයි. මේ වන ගැබත් ලස්සනයි. සුදු වැලිතලා තියෙන ගං ඉවුරෙන් යුතු නදියත් ලස්සනට ගලනවා. පිණ්ඩපාතෙ කරගන්න ගමත් මේ ළඟමයි. ඇත්තෙන් ම වීරියෙන් භාවනා කරන පින්වතෙකුට මෙතන සුදුසු ම තැනක්’ කියලා. ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං එහේ නැවතුනා. භාවනා කරන්න මෙතන තමයි සුදුසු කියල හිතුනා. එතනම වාඩි වුනා.
එතකොට පින්වත් අග්ගිවෙස්සන, මං කවදාවත් අහල නැති මේ ආශ්චර්යවත් උපමා තුන වැටහුනා.
පින්වත් අග්ගිවෙස්සන, වතුරෙ වැටිල තිබුණු, වතුරෙන් තෙත් වෙච්ච දර කෑල්ලක් තියෙනවා. එතකොට කෙනෙක් ඇවිදින්, ‘උත්තරාරණී’ නම් වූ ගිනි උපදවන උපකරණය අරගෙන ‘මං ගිනි උපදවන්න ඕන, රස්නෙ ගතියක් ඇති කරන්න ඕන’ කියල හිතනවා. පින්වත් අග්ගිවෙස්සන, ඔබ මොකක්ද ඒ ගැන හිතන්නෙ? අර පුද්ගලයාට, වතුරෙ දාපු, වතුර උරපු තෙත දර කෑල්ලක් අරගෙන උත්තරාරණියත් අරගෙන එක දිගට ඇතිල්ලුවොත්, ‘මං ගිනි උපද්දවනවා, රස්නෙ ගතිය හදනවා’ කියන එක කරන්න පුළුවන් දෙයක් වේවිද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඒක කරන්න බෑ.”
“ඒකට හේතුව මොකක් ද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඒ දර කෑල්ල වතුර උරපු තෙත එකක්. ඒ වගේ ම ඒක වතුරෙ දාල තිබිච්ච එකක්. ඒකෙන් ගිනි දල්වන්න ගියොත් ඒ පුද්ගලයා අධික වෙහෙසකට, පීඩාවකට පත්වෙනවා.”
“පින්වත් අග්ගිවෙස්සන, අන්න ඒ වගේ ම යි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු කයෙනුත් කාමයෙන් වෙන් වෙලා නොවෙයි ඉන්නෙ. කාමයන් කෙරෙහි ඔවුන් තුළ ලොකු ආශාවක් තියෙනවා. ලොකු ස්නේහයක් තියෙනවා. කාමයන් ගෙන් මුසපත් වෙලා කාම පිපාසයෙන් කාම දැවිල්ලෙන් ඉන්න ගතිය තමන් තුළ නැති වෙලත් නෑ. සංසිඳිලත් නෑ. ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතාමතා තියුණු දුක් කම්කටොළු වේදනා වින්දත් අනුත්තර වූ සම්බෝධි ඥානදර්ශනයක් ලබන්න නම් සුදුස්සන් වෙන්නෙ නෑ. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා තියුණු දුක් කම්කටොළු, දුක් වේදනා නොවින්දත් අනුත්තර වූ සම්බෝධි ඥානදර්ශනයක් ලබන්න නම් සුදුස්සන් වෙන්නෙ නෑ. පින්වත් අග්ගිවෙස්සන, කවදාවත් මං අහල නැති ආශ්චර්ය වූ ඔය පළවෙනි උපමාව මට වැටහුනා.
පින්වත් අග්ගිවෙස්සන, කලින් අහල නැති ආශ්චර්යවත් දෙවෙනි උපමාවකුත් මට වැටහුනා. පින්වත් අග්ගිවෙස්සන, ඒක මෙන්න මේකයි. ඔන්න වතුරෙන් උඩට ගත්තු ගොඩ බිම දාල තිබුණු, තෙත උරාගත්තු ලීයක් තියෙනවා. එතකොට ඔන්න මිනිහෙක් උත්තරාරණි කියන ගිනි උපදවන උපකරණය අරගෙන එනවා. ‘මං මේකෙන් ගිනි මොලවන්න ඕන. රස්නෙ හදා ගන්න ඕන’ කියල. පින්වත් අග්ගිවෙස්සන, ඔබ මේ ගැන මොකද හිතන්නෙ? ඉතින් ඒ පුද්ගලයාට අර වතුරෙන් උඩට අරන් ගොඩබිම දාලා තිබ්බ තෙත උරාගත්තු ලී කැබැල්ල උත්තරාරණීය අරගෙන ඒකෙ ඇතිල්ලුවා කියල ගිනි මෙලවෙනවාද? රස්නෙ උපදිනවාද?
“භවත් ගෞතමයන් වහන්ස, එහෙම ගිනි උපදවන්න බෑ.”
“ඇයි එහෙම ගිනි උපදවන්න බැරි?”
“භවත් ගෞතමයන් වහන්ස, අර ලී කැබැල්ල වතුරෙන් ගොඩට අරගෙන බිම දාලා තිබුනට ඒක වතුර උරාගත්තු තෙත එකක් නෙව. ඉතින් ඒ පුද්ගලයා කොච්චර මහන්සි වුනත් වෙන්නෙ වෙහෙසක් පීඩාවක් විතරයි.”
“පින්වත් අග්ගිවෙස්සන, ඔන්න ඔය විදිහමයි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා, කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නෙ ශරීරයෙන් විතරයි. ඒත් ඔවුන් තුළ කාමාශාවේ අඩුවක් නෑ. කාම ස්නේහයේ අඩුවක් නෑ. කාම මුසපත් වීම, කාම පිපාසය, කාම දැවිල්ල සිතෙන් නැති වෙලා නෑ. හිත ඇතුළෙ ඒක සංසිඳිලා නෑ. ඉතින් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කොයිතරම් හිතාමතා තියුණු වූ දුක් වේදනා වින්දත්, අනුත්තර වූ සම්බෝධි ඥානදර්ශනය ලබාගන්න ඔවුන් සුදුස්සන් වෙන්නෙ නෑ. ඒ වගේ ම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් හිතාමතා තියුණු වූ, කටුක වූ දුක් වේදනා නොවින්දත්, අනුත්තර වූ සම්බෝධි ඥානදර්ශනය ලබාගන්න ඔවුන් සුදුස්සන් වෙන්නෙ නෑ. පින්වත් අග්ගිවෙස්සන, මං කවදාවත් අහල නැති ආශ්චර්යවත් වූ මේ දෙවෙනි උපමාව මට වැටහුනා.
පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහටම මං කවදාවත් අහල නැති ආශ්චර්යවත් වූ තුන්වෙනි උපමාවකුත් මට වැටහුනා. ඒක මේ වගේ එකක්. පින්වත් අග්ගිවෙස්සන, වතුරෙන් ගොඩට ගත්තු තෙත නැති හොඳට වේලිච්ච ලී කැබැල්ලක් තියෙනවා. ඉතින් ගිනි උපදවන උත්තරාරණිය කියන උපකරණය අරගෙන මිනිහෙකුත් එනවා. ‘මං ගිනි මොලවන්න ඕන. රස්නෙ ඇති කරගන්න ඕන’ කියලා. පින්වත් අග්ගිවෙස්සන, ඔබ මේ ගැන මොකද හිතන්නෙ? ඉතින් අර පුද්ගලයා වතුරෙන් ගොඩට දාපු, හොඳට වේලිච්ච, තෙත හිඳිච්ච අර ලී කැබැල්ල අර උත්තරාරණිය අරගෙන ඒකෙ අතුල්ලන කොට ගිනි මොලවන්න පුළුවන්ද? රස්නෙ ඇති කරගන්න පුළුවන්ද?
“එසේය, භවත් ගෞතමයන් වහන්ස.”
“එහෙම ගිනි උපදවන්න එයාට පුළුවන් වුනේ ඇයි?”
“භවත් ගෞතමයන් වහන්ස, ඒ ලී කැබැල්ල තෙත හිඳුන වේලිච්ච එකක්. අනික, ඒක වතුරෙන් ගොඩ අරන් නෙව තිබුනේ.”
“පින්වත් අග්ගිවෙස්සන, ඔන්න ඔය විදිහමයි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ශරීරයෙනුත් කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නවා. ඒ වගේ ම ඔවුන් තුළ මේ කාමයන් ගැන යම් කිසි කාමාශාවක්, කාම සෙනෙහසක්, කාම මුසපත් වීමක්, කාම පිපාසයක්, කාම දැවිල්ලක් තිබුනා නම් ඒක සිතේ නැතිවෙලා තියෙන්නෙ. ඒක සංසිඳිල තියෙන්නෙ. ඉතින් ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු කොයිතරම් හිතාමතා, තියුණු වූ කටුක වූ දුක් වේදනා වින්දත්, ඔවුන්ට අනුත්තර වූ සම්බෝධි ඥානදර්ශනය ලබාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ම ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් හිතාමතා තියුණු වූ, කටුක වූ දුක් වේදනා නො වින්දත්, අනුත්තර වූ සම්බෝධි ඥානදර්ශනය ලබාගන්න ඔවුන්ට පුළුවන්කම තියෙනවා. පින්වත් අග්ගිවෙස්සන, මං කවදාවත් අහල නැති, ආශ්චර්යවත් ඔය තුන්වෙනි උපමාවත් මට වැටහුනා.
පින්වත් අග්ගිවෙස්සන, මං කවදාවත් අහල නැති ආශ්චර්යවත් වූ ඔන්න ඔය උපමා තුන මට වැටහුනා.
පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. යටිදතෙන් උඩුදත තද කරල හිට, දිවෙන් තල්ල තද කරගෙන, මං කුසල් සිතින් අකුසල් සිත පෙළන්න ඕන, බලවත්ව පෙළන්න ඕන, බලවත්ව තවන්න ඕන කියලා. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මං යටිදතෙන් උඩුදත තද කරගෙන හිට, දිවෙන් තල්ල තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත පෙළනවා. බලවත්ව පෙළනවා. තදින් තවනවා. පින්වත් අග්ගිවෙස්සන, මං ඒ විදිහට යටිදතෙන් උඩුදත තද කරගෙන, දිවෙන් තල්ල තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත පෙළන කොට, තදින් ම පෙළන කොට, තදින් ම තවන කොට මගේ කිහිලිවලින් දාඩිය වැගිරෙන්න පටන් ගත්තා.
පින්වත් අග්ගිවෙස්සන, ඒක හරියට මේ වගේ දෙයක්. බලවත් කෙනෙක් ගොඩාක් දුර්වල මිනිහෙකුගේ හිසෙන් හරි, කඳෙන් හරි අල්ලගෙන පෙළනවා නම්, බලවත්ව පෙළනවා නම්, බලවත්ව තවනවා නම්, පින්වත් අග්ගිවෙස්සන, ඔන්න ඔය විදිහට ම මමත්, යටිදතෙන් උඩුදත තද කරල හිට, දිවෙන් තල්ල තද කරලා කුසල් සිතින් අකුසල් සිත පෙළන කොට, බලවත්ව පෙළන කොට, බලවත්ව තවන කොට කිහිලිවලින් දාඩිය ගලන්න පටන් ගත්තා. පින්වත් අග්ගිවෙස්සන, මං පටන් ගත්තු ඒ වීරිය එහෙම්ම ම තිබුනා. සිත හැකිලුනේ නෑ. සිහිය පිහිටල මුළාවක් නැතුව තිබුනා. නමුත් ඒ වගේ දුක් විඳගෙන බලවත්ව වඩන වීරියෙන් කයට පහර වදින කොට මගේ කය වෙහෙසට පත්වෙනවා. කය නොසන්සුන් වෙනවා. පින්වත් අග්ගිවෙස්සන, මට ඔය විදිහේ බරපතල දුක් වේදනා විඳලත්, ඒ වේදනාව විසින් සිත යට කළේ නෑ.
පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. එහෙම නම් දැන් මම ‘අප්‍රාණක ධ්‍යානය’ වඩන්න ඕන කියල. පින්වත් අග්ගිවෙස්සන, ඒ කියන්නෙ, මං කටින්වත්, නහයෙන්වත්, ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙ නැතුව හිටියා. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මගේ කටිනුත්, නාසයෙනුත් ආශ්වාස ප්‍රශ්වාස නොකර ඉන්න කොට කන්වලින් හුළං පිටවෙනවා වගේ මහා සද්දයක් ඇහුණා. ඒක හරියට කම්මල්කරුවෙක්, මයිනහමකින් පිඹින කොට එන සද්දෙ වගේ මහා ලොකු සද්දයක්. පින්වත් අග්ගිවෙස්සන, අන්න ඒ විදියමයි මං කටිනුත්, නාසයෙනුත් හුස්ම ගැනීම හෙළීම නවත්වල දැම්මා ම, කන්වලින් මහා සද්දෙකින් හුළං පිටවුනා. පින්වත් අග්ගිවෙස්සන, ඒත් මගේ පටන් ගත්තු වීරිය එහෙම්ම ම තිබුනා. සිත හැකිලුනේ නෑ. සිහිය පිහිටියා. මුළා වුනේ නෑ. ඒත් ඒ විදිහට දුක් විඳගෙන කරන වීරියෙන් කයට පහර වදින කොට මගේ කයට නම් ලොකු මහන්සියක් දැනුනා. සංසිඳුනේ නෑ. පින්වත් අග්ගිවෙස්සන, ඒ විදිහේ දුක් වේදනාවකින්වත් මේ හිත යටපත් කරන්න බැරි වුනා.
පින්වත් අග්ගිවෙස්සන, එතකොට මං මෙහෙම හිතුවා. ‘එහෙනම් මං තව දුරටත් අප්‍රාණක ධ්‍යානය ම වඩනවා’ කියලා. පින්වත් අග්ගිවෙස්සන, ඊට පස්සෙ මං තවදුරටත් කටිනුත්, නාසයෙනුත්, කනෙනුත් ආශ්වාස, ප්‍රශ්වාස වැළැක්කුවා. එතකොට පින්වත් අග්ගිවෙස්සන, කටිනුත්, නාසයෙනුත්, කනෙනුත් ආශ්වාස ප්‍රශ්වාස වළක්වපු නිසා වාතය කිපිලා මගේ හිස් මුදුන පෙළන්න පටන් ගත්තා. පින්වත් අග්ගිවෙස්සන, ඒක මේ වගේ එකක්. ශක්තිමත් මිනිසෙක් තියුණු උලක් අරගෙන ඔළුවට ගහනවා වගේ. පින්වත් අග්ගිවෙස්සන, ඔන්න ඔය විදිහමයි මං කටිනුත්, නාසයෙනුත්, කනෙනුත්, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්කුවා ම වාතය කිපිලා මගේ හිස් මුදුන පෙළන්න පටන් ගත්තා. පින්වත් අග්ගිවෙස්සන, ඒ වුනත්, මගේ පටන් ගත්තු වීරිය එහෙම්ම ම තිබුනා. සිත හැකිලුනේ නෑ. සිහිය පිහිටලා මුළා නොවී තිබුනා. නමුත් ඒ විදිහට දුක් වේදනා දෙන වීරියෙන් කයට පහර වදිද්දි මගේ කයට ලොකු වෙහෙසක් දැනුනා. සංසිඳීමක් ඇති වුනේ නෑ. පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහේ උපන් දුක් වේදනාවකින්වත් මේ සිත පෙළන්න බැරුව ගියා.
පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය ම වඩන්න ඕන කියල. ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං තවදුරටත් කටිනුත්, නාසයෙනුත්, කනෙනුත් ආශ්වාස ප්‍රශ්වාස වළක්වාගෙන හිටියා. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මං ඒ විදිහට කටිනුත්, නාසයෙනුත්, කනෙනුත්, ආශ්වාස ප්‍රශ්වාස වළක්වාගෙන ඉන්න කොට පුදුමාකාර විදිහට මට ඔළුවෙ කැක්කුම හටගත්තා. පින්වත් අග්ගිවෙස්සන, ඒක මේ වගේ දෙයක්. ශක්තිමත් මිනිසෙක් ලොකු ලණුවක් අරගෙන ඔළුව තදට හිරවෙන්න ඔතල ඔතල තද කරනවා වගේ. පින්වත් අග්ගිවෙස්සන, ඔන්න ඔය විදිහට ම යි මං කටිනුත්, නාසයෙනුත්, කනෙනුත්, ආශ්වාස ප්‍රශ්වාස වළක්වන කොට පුදුමාකාර විදිහටයි මට හිසේ කැක්කුම ඇතිවුනේ. ඉතින් පින්වත් අග්ගිවෙස්සන, ඒ වුනත් මගේ පටන් ගත්තු වීරිය ඒ විදිහට ම තිබුනා. හැකිලුනේ නෑ. සිහිය පිහිටියා. මුළා වුනේ නෑ. නමුත් ශරීරයට දුක් දෙන වීරියෙන් පහර වැදිච්ච කය වෙහෙසට පත්වුනා. සංසිඳුනේ නෑ. පින්වත් අග්ගිවෙස්සන, ඒ විදිහට ඇතිවුන දුක් වේදනාවලින්වත් මේ සිත යටවුනේ නෑ.
පින්වත් අග්ගිවෙස්සන, මට මේ විදිහට හිතුනා. ‘තවදුරටත් අප්‍රාණක ධ්‍යානයම වඩන්න ඕන’ කියලා. පින්වත් අග්ගිවෙස්සන, මං තවදුරටත් කටිනුත්, නාසයෙනුත්, කනෙනුත්, ආශ්වාස ප්‍රශ්වාස වළැක්වුවා. පින්වත් අග්ගිවෙස්සන, මං ඒ විදිහට කටිනුත්, නාසයෙනුත්, කනෙනුත්, ආශ්වාස ප්‍රශ්වාස වළක්වන කොට බඩ ඇතුළේ වාතය ඉතා බලවත් විදිහට කැළඹුනා. පින්වත් අග්ගිවෙස්සන, හරක් මරන්න දක්ෂ මිනිහෙක් හරි, ඒ මිනිහගෙ ගෝලයෙක් හරි, තියුණු ආයුධයක් අරගෙන බඩ කපද්දි, යම් වේදනාවක් දැනෙනවා ද, අන්න ඒ වගෙයි පින්වත් අග්ගිවෙස්සන, මම කටිනුත්, නාසයෙනුත්, කනෙනුත්, ආශ්වාස ප්‍රශ්වාස වළක්වන කොට බඩ ඇතුළෙ තියෙන වාතය පුදුමාකාර විදිහට කැළඹිලා ගියේ. ඒ වුනත් පින්වත් අග්ගිවෙස්සන, මගේ පටන් ගත්තු වීරිය එහෙම්ම ම තිබුනා. හැකිලුනේ නෑ. සිහිය පිහිටියා. මුළා වුනේ නෑ. ඒ විදිහට දුෂ්කර ක්‍රියා කරලා වෙහෙස වෙන කොට, වීරියෙන් පහරකද්දි ශරීරයට ලොකු පීඩාවක් දැනුනා. කය සංසිඳුනෙ නෑ. නමුත්, පින්වත් අග්ගිවෙස්සන, එබඳු වූ දුක් වේදනාවකටවත් මේ සිත යටකරන්න බැරි වුනා.
පින්වත් අග්ගිවෙස්සන, මට මේ විදිහටත් හිතුනා. ‘මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය ම වඩන්න ඕන’ කියල. ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං කටිනුත්, නාසයෙනුත්, කනෙනුත්, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්කුවා. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මං කටිනුත්, නාසයෙනුත්, කනෙනුත්, ආශ්වාස ප්‍රශ්වාස වළක්වලා ඉන්න කොට, මගේ කයේ පුදුමාකාර දාහයක් ඇතිවුනා. පින්වත් අග්ගිවෙස්සන, ඒ දාහෙ මෙන්න මේ වගේ එකක්. ශක්තිමත් මිනිස්සු දෙන්නෙක් ගොඩක් දුර්වල මිනිහෙක්ව අත් පාවලින් අල්ලගෙන, ගිනි අඟුරු වළක දාලා රත් කරනවා වගේ. බලවත්ව රත් කරනවා වගේ. පින්වත් අග්ගිවෙස්සන, ඔන්න ඔය විදිහටම මං කටිනුත්, නාසයෙනුත්, කනෙනුත්, ආශ්වාස ප්‍රශ්වාස වළක්වන කොට මේ කයේ පුදුමාකාර දාහයක් හටගත්තා. නමුත් පින්වත් අග්ගිවෙස්සන, මගේ පටන් ගත්තු වීරිය එහෙම්ම ම තිබුනා. සැඟවුනේ නෑ. සිහිය පිහිටියා. මුළා වුනේ නෑ. අධික දුෂ්කර ක්‍රියාවෙන් ඇති වුණු වීරියෙන් කයට පහර වදිද්දි, කයට ගොඩාක් වෙහෙස දැනුනා. සංසිඳුනේ නෑ. පින්වත් අග්ගිවෙස්සන, එබඳු බලවත් දුක් වේදනාවකින්වත් බැරි වුනා මේ හිත යට කරල දාන්න.
පින්වත් අග්ගිවෙස්සන, එතකොට දෙවිවරු මාව දැකල මෙහෙම කිව්වා. “අයියෝ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙලා.” සමහර දෙවිවරු මෙහෙම කිව්වා. “නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙලා නෑ. දැන් අපවත් වෙලා යාවි.” සමහර දෙවිවරු මෙහෙම කිව්වා. “නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙලා නෑ. දැන් අපවත් වෙන්නෙත් නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රහත්. ඔය රහතන් වහන්සේලා වැඩඉන්න එක්තරා සමාධියක් වෙන්න ඇති” කියලා.
පින්වත් අග්ගිවෙස්සන, ඊටපස්සෙ මට මෙහෙම හිතුනා. “මං සම්පූර්ණයෙන් ම ආහාර වැළඳීම නවත්වල දාන්න ඕන” කියලා. පින්වත් අග්ගිවෙස්සන, එතකොට දෙවිවරු මං ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා.
“අනේ! පින්වත් නිදුකාණන් වහන්ස, ආහාර ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්වලා දාන්න එපා. නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ ආහාර ගන්න එක සම්පූර්ණයෙන් ම නවත්වලා දැම්මොත්, අපට සිද්ධ වෙනවා ඔබවහන්සේගේ රෝම කූපවලින් දිව්‍ය ඕජස් ශරීරයට ඇතුළු කරන්න. ඔබවහන්සේව ජීවත් කරන්න ම යි අපි ඒක කරන්නෙ” කියලා.
පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. ‘මමත් හැම ආකාරයකින් ම ආහාර නොගන්න බවට ප්‍රතිඥා දුන්නොත්, ඔය අතරෙ ම මේ දෙවිවරු මේ ශරීරයේ රෝමකූපවලින් දිව්‍ය ඕජස් ඇතුල් කළොත්, මට ඒකෙන් ජීවත් වෙන්න සිද්ධ වුනොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා.’ පින්වත් අග්ගිවෙස්සන, ඔය අදහස අත්හරින්න කියල මං ඒ දෙවිවරුන්ව වැළැක්කුවා.
පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං ආහාර ටික ටික, මිට ගානෙ වගේ දානෙ ගන්න ඕන. මුං ඇට වතුර, කොල්ලු වතුර, කඩල වතුර, මෑ ඇට වතුර වගේ දේවල් ටික ටික ගන්න ඕන’ කියලා. පින්වත් අග්ගිවෙස්සන, ඉතින් මම මුං ඇට වතුර ටිකක් හරි, කොල්ලු වතුර ටිකක් හරි, කඩල වතුර ටිකක් හරි, මෑ ඇට වතුර ටිකක් වගේ ආහාර ඩිංගිත්තක් ගන්න පටන් ගත්තා. පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහට මුං ඇට වතුර ටිකක්, කොල්ලු වතුර ටිකක්, කඩල වතුර ටිකක්, මෑ ඇට වතුර ටිකක් වගේ ආහාර ඩිංගිත්තක් ගන්න පටන් ගත්තා ම මගේ ඇඟ පත හොඳට ම කෙට්ටු වෙන්න පටන් ගත්තා. මගේ අතපය ආසීතික කියන වැල් පුරුක් වගේ වුනා. කළු වැල් පුරුක් වගේ වුනා. ආහාර අඩුකමින් ම යි එහෙම වුනේ. මගේ තට්ටම ඔටුවෙකුගේ පා සටහනක් වගේ වුනා. ආහාර අඩුකම නිසා ම යි එහෙම වුනේ. ඒ වගේ ම මගේ කොඳු ඇට පේළිය වට්ටනාවලී කියන වැල වගේ උස් පහත් වුනා. ආහාර අඩුකමින් ම යි එහෙම වුනේ. ඒ වගේ ම හොඳට ම දිරපු ශාලාවක වහලෙ පරාල තියෙන්නෙත් එහාට මෙහාට උස් පහත් වෙලා. ආහාර අඩුවෙන් ගැනීම කොච්චර ද කිව්වොත් මගේ පපුවෙ ඇට ටික පෙනුනෙත් ඒ වගේ ම යි. ඒ වගේ ම ගැඹුරු ළිඳක් තියෙනවා කියල හිතන්න. ඒ ළිඳ කොච්චර ගැඹුරු ද කිව්වොත් වතුර ටික යාන්තමට දිලිසෙනවා පේනවා. ඔය විදිහට මගේ ඇස් දෙක ඇස්වලේ යටට ම ගිලිල යාන්තමට දිළිසුනා. ආහාරපාන අඩුවෙන් ගත්තු නිසා ම යි ඒ විදිහට වුනේ. මගේ හිසේ හම මැලවිල, රැලි වැටිල ගියේ හරියට අමුවෙන් කඩලා, අව්වට වේලිල, මැලවිලා ගිය ලබු ගෙඩියක් වගෙයි. ආහාර අඩුවෙන් ගත්තු නිසා ම යි එහෙම වුනේ.
ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං බඩේ හම අතින් පිරිමදින කොට, කොඳු ඇට පේළිය අතට අහුවෙනවා. කොඳු ඇට පේළිය පිරිමදින කොට බඩේ හම තමයි අතට අහුවුනේ. පින්වත් අග්ගිවෙස්සන, ආහාර පාන අඩුවෙන් ගත්තු නිසා ම යි එහෙම වුනේ. බඩේ හමයි, කොඳු ඇට පේළියයි එකට ඇලිලා ගියා. මං වැසිකිළි, කැසිකිළි යන්න හදන කොට එතන ම යටිකුරුව වැටුනා. ආහාර අඩුවෙන් ගත්තු නිසාමයි එහෙම වුනේ. පින්වත් අග්ගිවෙස්සන, මේ ශරීරයේ අත පය මං පිරිමදින කොට, ඇඟේ මවිල්වල මුල් දිරලා, ඒ මවිල් ගැලවිලා වැටෙනවා. ආහාර අඩු නිසා ම යි එහෙම වුනේ.
පින්වත් අග්ගිවෙස්සන, මිනිස්සු මාව දැකල මෙහෙම කිව්වා. “ආ! දැන් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හරි කළුයි.” එතකොට තවත් මිනිස්සු මෙහෙම කිව්වා. “නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කළු නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රත්තරන් පාටයි.” එතකොට තවත් මිනිස්සු මෙහෙම කිව්වා. “නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තළෙලු පාටයි.” පින්වත් අග්ගිවෙස්සන, ඒ සා පිරිසිදුවට බැබලුන මගේ හමේ පාට පවා ආහාර අඩුකමින් පිච්චිලා ගියා.
අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. ‘අතීතයේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හිතාමතා ම යම් තියුණු වූ දුක් කම්කටොළු වේදනා වින්දා ද, ඒ විඳින්න තියෙන්නෙත් මෙච්චර තමයි. මීට වඩා වැඩි දෙයක් නෑ. ඒ වගේ ම අනාගතයේ පහළ වන යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් හිටියොත් ඒ උදවියත් හිතාමතා ම තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳිනවා නම්, ඒ විඳින්න තියෙන්නෙත් මෙච්චර තමයි. මීට වැඩි දෙයක් නෑ. වර්තමානයේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණවරු තියුණු වූ, කටුක වූ දුක් හිතා මතා ම විඳිනවා නම්, ඒ විඳින්න තියෙන්නෙත් මෙච්චර තමයි. මීට වැඩි දෙයක් නෑ. නමුත් මේ සා පීඩාකාරී දුෂ්කර ක්‍රියාවක යෙදිලත් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ වූ ඥානදර්ශන කිසිවක් මට අවබෝධ කරගන්න බැරුව ගියා. සත්‍යාවබෝධයට වෙනත් මාර්ගයක් තියෙනවා වත් ද?’ කියලා.
එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුනා. ‘හරි! මට මතකයි. අපේ පිය රජතුමා කමතේ වැඩකරද්දි, මං සීතල දඹරුක් සෙවණෙ සිටියා මතකයි. මං එදා කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කළා මතකයි. සත්‍යාවබෝධයට මාර්ගය මේකවත් ද? කියලා. පින්වත් අග්ගිවෙස්සන, මං ඔය විදිහට සිහිකරද්දි මෙන්න මේ දැනීම ඇති වුණා ‘හරි! මේක ම තමයි මාර්ගය’ කියලා
එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුනා. ‘ඇත්තෙන් ම මං මොකට ද ඒ සැපයට භය වෙන්නෙ. අනික ඒ සැපය කාමයන්ගෙන් වෙන් වූ අකුසලයන්ගෙන් වෙන් වූ සැපයක් නෙව’ කියලා.
එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුනා. ‘ඔව්! මං මේ සැපයට භය වෙන්නෙ නෑ. මේ සැපය කාමයන්ගෙන් වෙන් වූ, අකුසලයන් ගෙන් වෙන් වෙච්ච එකක්. ඊළඟට පින්වත් අග්ගිවෙස්සන, මට මේ විදිහට හිතුනා. මෙහෙම දුර්වල වෙච්ච කයක් තියාගෙන මං ඒ සැපය ලබන එක ලේසි දෙයක් නම් නොවෙයි. මං ටිකෙන් ටික, බත් වෑංජන තියෙන ආහාර ගන්න ඕන. ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං බත් වෑංජන වලින් යුතු ආහාර වළඳන්න පටන් ගත්තා. ඒ වෙන කොට පින්වත් අග්ගිවෙස්සන, මට භික්ෂූන් පස් නමක් උපස්ථාන කර කර හිටියා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරයි නම් ඒ ධර්මය අපටත් කියා දේවි’ කියලා. නමුත් පින්වත් අග්ගිවෙස්සන, මං බත් වෑංජන තියෙන ආහාර වළඳන්න පටන් ගත්තා ම ඒ භික්ෂූන් පස් නම මං ගැන කළකිරුණා. ‘වැඩක් නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සැප බහුල කරගත්තා. වීරිය කණපිට හැරුනා. සැප බහුල පැත්තට ම කැරකිලා ගියා’ කියල මාව අත්හැරලා ගියා.
ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං ඒ විදිහට බත් වෑංජන ආහාරයට අරගෙන ශරීර ශක්තිය ඇතිවුනා ම කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීතිසැපය ඇති පළවෙනි ධ්‍යානය ඇතිකරගෙන වාසය කළා. පින්වත් අග්ගිවෙස්සන, ඒ විදිහේ සැප වේදනාවක් ලබාගෙනත් ඒ සැප වේදනාවටවත් මේ සිත යටකරන්න බැරිවුනා.
විතර්ක, විචාර සංසිඳුවලා, හිතේ ප්‍රසන්නභාවය ඇතුව, සිතේ එකඟ බවත් ඇතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවන ධ්‍යානය ලබාගෙන වාසය කළා. පින්වත් අග්ගිවෙස්සන, ඒ සා සැප වේදනාවකට වත් මේ සිත යටකරන්න බැරුව ගියා.
ප්‍රීතියටත් ඇලෙන්නෙ නැතුව උපේක්ෂාවෙන් හිටියා. සිහියෙන්, නුවණින් යුතුව, කයෙනුත් සැපයක් වින්දා. ආර්යයන් වහන්සේලා ඒකට කියන්නෙ උපේක්ෂාවෙන්, සිහියෙන් යුතුව සැපසේ ඉන්නවා කියලයි. ඒ තුන් වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කළා. මේ සා සැප වේදනාවකටවත් මේ සිත යට කරගන්න බැරුව ගියා.
සැපයත් ප්‍රහාණය කරලා, දුකත් ප්‍රහාණය කරලා, කලින් ම මානසික සැප දුක් අත්හැරලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවත්, සිහියත් ඇති හතර වන ධ්‍යානය ලබාගෙන වාසය කළා. පින්වත් අග්ගිවෙස්සන, මේ සා සැප වේදනාවකටවත් බැරුව ගියා මගේ සිත යට කරන්න.
ඔය විදිහට මේ සිත සමාධිගත වුනාට පස්සෙ පිරිසිදුව බබලන්න වුනාට පස්සෙ, උපක්ලේශ රහිත වුනාට පස්සෙ, මෘදු වුනාට පස්සෙ, අවබෝධයට සුදුසු වුනාට පස්සෙ, ස්ථීරව පිහිටියාට පස්සෙ, අකම්පිත වුනාට පස්සෙ, පෙර විසූ ජීවිත ගැන අවබෝධ කරන්න හිතල, ඒකට සිත යොමු කළා. මං නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත ගැන දැනගත්තා. ජීවිත එකක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පහනක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප සිහි කරන්න පුළුවන් වුනා. ‘ඒ කාලෙ මගේ නම මේකයි. මගේ ගෝත්‍රය මේකයි. මෙහෙමයි මගේ හැඩරුව. මම කෑවෙ බීවෙ මේවා. මෙහෙමයි මං සැප වින්දෙ. මෙහෙමයි මැරිල ගියේ. මං එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා. එහෙදි මගෙ නම මේකයි. මගේ ගෝත්‍රය මේකයි. මගේ හැඩරුව මෙහෙමයි. මම කෑවෙ බීවෙ මේවා. මෙහෙමයි මං සැප දුක් වින්දෙ. මං මෙහෙමයි මැරිල ගියේ. මං එතනින් චුත වෙලා, මෙතන උපන්නා’ කියල, ඔය විදිහට කරුණු සහිතව, විස්තර සහිතව නොයෙක් ආකාරයෙන් පෙර ගත කළ ජීවිත ගැන සිහි කළා. පින්වත් අග්ගිවෙස්සන, එදා රෑ පළවෙනි යාමයේ දී මට ඔය පළවෙනි විද්‍යාව වන පුබ්බේනිවාසානුස්සති ඤාණය අවබෝධ වුනා. (පෙර ජීවිත ගැන තිබුණු) අවිද්‍යාව දුරු වුනා. විද්‍යාව පහළ වුනා. අඳුර දුරු වුනා. ආලෝකය උදා වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට ලැබිය යුතු දේ තමයි ඒ ලැබුනේ. පින්වත් අග්ගිවෙස්සන, මේ සා සැපයකට පවා බැරි වුනා මගේ සිත යට කරන්න.
ඉතින් මම ඒ එකඟ වූ සිතින්, පිරිසිදු බබලන සිතින්, උපක්ලේශ රහිත වූ, මෘදු වූ, අවබෝධයට සුදුසු වූ සිතින්, ස්ථීරව පිහිටි අකම්පිත වූ සිතින් යුක්තව සිටිය නිසා සත්වයන්ගේ චුත වීම ඉපදීම ගැන අවබෝධ කරන්න සිත යොමු කළා. එතකොට මට මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් සත්වයන් දකින්න පුළුවන් වුනා. හීන, ප්‍රණීත, ලස්සන, කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් චුත වන හැටිත්, උපදින හැටිත් දකින්න පුළුවන් වුනා. “අයියෝ! මේ භවත් සත්වයන් කයින් දුසිරිත් කරලා, වචනයෙන් දුසිරිත් කරලා, මනසින් දුසිරිත් කරලා ආර්යයන් වහන්සේලාට උපවාද කරලා, මිථ්‍යා දෘෂ්ටික වෙලා, මිථ්‍යා දෘෂ්ටික ආගම් අදහලා, මිථ්‍යා දෘෂ්ටිකව ජීවත් වෙලා, කය බිඳිල මැරුණට පස්සෙ අපාය, දුගතිය කියන නරකාදියෙ වැටිල දුක් විඳිනවා’ කියල. ඒ වගේ ම ‘මේ භවත් සත්වයෝ කයින් සුසිරිත් කරලා, වචනයෙන් සුසිරිත් කරලා, මනසින් සුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට උපවාද නොකොට, සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා, සම්මා දිට්ඨියෙන් යුතු දේවල් කරලා, මරණින් පස්සෙ සුගතිය කියන යහපත් ලෝකවල ඉපදිලා ඉන්නවා’ කියල. ඒ විදිහට මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් මං සත්වයන්ව දැක්කා. හීන ප්‍රණීත, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව, සත්වයන් චුත වන හැටිත්, ඉපදෙන හැටිත් මං දැනගත්තා. පින්වත් අග්ගිවෙස්සන, එදා රෑ මධ්‍යම යාමයෙහි මං ඔය දෙවෙනි විද්‍යාව වන චුතූපපාත ඤාණය ලබාගත්තා. (සත්වයන් චුතවෙන උපදින ආකාරය ගැන තිබුණ) අවිද්‍යාව දුරුවුනා. විද්‍යාව පහළ වුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට ලැබිය යුතු අවබෝධය තමයි ඒ ලැබුනේ. පින්වත් අග්ගිවෙස්සන, මේ සා මහත් සැප වේදනාවට වත් බැරිවෙලා ගියා මගේ සිත යටකරල දාන්න.
ඉතින් මම සමාහිත සිතින්, පිරිසිදු සිතින්, බබලන සිතින්, උපක්ලේශ රහිත සිතින්, මෘදු සිතින්, අවබෝධයට යෝග්‍ය වූ සිතින්, ස්ථිරව පිහිටි සිතින්, අකම්පිත වූ සිතින් ඉඳල ආශ්‍රව නැති කරන්න සිත යොමු කළා. ඉතින් මම ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කළා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කළා. ‘මේක තමයි දුකේ නිරුද්ධ වීම’ කියල යථාර්ථය අවබෝධ කළා. ‘මේක තමයි දුක් නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙල’ කියල යථාර්ථය අවබෝධ කළා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කළා. ‘මේක තමයි ආශ්‍රවයන්ගේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කළා. ‘මේක තමයි ආශ්‍රවයන්ගේ නිරෝධය’ කියල යථාර්ථය අවබෝධ කළා. ‘මේක තමයි ආශ්‍රව නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙල’ කියල යථාර්ථය අවබෝධ කළා. ඔය විදිහට යථාර්ථය දැනගන්න කොට, දැකගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. අවිද්‍යා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. එහෙම නිදහස් වුනා ම ‘කෙලෙසුන්ගෙන් නිදහස් වුනා’ කියල ඤාණය ඇතිවුනා. ‘ඉපදීම නැතිවුනා. නිවන් මග සම්පූර්ණ කරගත්තා. කළ යුතු දේ කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතෙයි’ කියල අවබෝධ වුනා. පින්වත් අග්ගිවෙස්සන, එදා රෑ අවසන් යාමෙ ඔය තුන්වෙනි විද්‍යාව වන ආසවක්ඛය ඤාණය ලැබුවා. (සත්‍යාවබෝධය ගැන තිබුණු) අවිද්‍යාව දුරු වුනා. විද්‍යාව පහළ වුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දිවි දෙවෙනි කොට දහමේ හැසිරෙන කෙනෙකුට ලැබිය යුතු අවබෝධයයි මට ලැබුනේ. පින්වත් අග්ගිවෙස්සන, මේ සා මහත් සැප වේදනාවකටවත් පුළුවන් වුනේ නෑ මගේ සිත යට කරල දාන්න.
පින්වත් අග්ගිවෙස්සන, නොයෙක් සිය ගණන් පිරිසට මං බණ කියල තියෙනවා මට මතකයි. ඒත්, එක එක්කෙනාට මං ගැන හිතෙන්නෙ මෙහෙමයි. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔය බණ ටික වදාළේ මං වෙනුවෙන් ම යි’ කියලා. පින්වත් අග්ගිවෙස්සන, ඒ ගැන ඔබ දැනගන්න ඕන මේ විදිහට නම් නොවෙයි. ඒ කියන්නේ ‘තථාගතයන් වහන්සේ අනුන්ට තමාව අඳුන්නල දෙන්න දහම් දෙසනවා නොවෙයි.’ පින්වත් අග්ගිවෙස්සන, ඒ ධර්මය දේශනා කරල අවසන් වෙනවත් එක්ක ම මං කලින් හිටපු සමාධි නිමිත්තට ම සිත ගන්නවා. ඒකෙම හිත පිහිටවනවා. එකඟ කරනවා. සමාහිත කරනවා. මං ඔය විදිහට තමයි හැම තිස්සෙ ම ඉන්නෙ.”
“භවත් ගෞතමයන් වහන්සේගේ ඔය කටයුතු නම්, අරහත් සම්මා සම්බුදුවරයෙකුගේ කටයුතු වගේ තමයි. පින්වත් ගෞතමයන් වහන්සේ සාමාන්‍යයෙන් දවල් කාලෙ සැතපුන බව මතකද?”
“ඔව්, පින්වත් අග්ගිවෙස්සන, මට මතකයි. පායන කාලෙ අන්තිම මාසෙ දි, පිණ්ඩපාතෙ කරගෙන, දානෙ වැළඳුවට පස්සෙ, දෙපොට සිවුර හතරට නමලා සකස් කරගත්ත ආසනේ මත, දකුණු ඇළයට හැරිල, සිහියෙන් නුවණින් ටිකක් සැතපෙනවා මතකයි.”
“භවත් ගෞතමයන් වහන්ස, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඔය නින්ද ගැන කියන්නෙ මුළාවෙන් ඉන්නවා කියල නේද?”
“නෑ. පින්වත් අග්ගිවෙස්සන, ඔච්චරකින් මුළා වුනා කියල හෝ, මුළා වුනේ නෑ කියල හෝ කියන්නෙ නෑ. මුළා වීමත්, මුළා නොවීමත් ගැන පින්වත් අග්ගිවෙස්සන, මං ඔබට කියා දෙන්නම්. හොඳට අහගන්න. හොඳින් තේරුම් ගන්න. මං කියා දෙන්නම්.”
“එහෙමයි භවත් ගෞතමයන් වහන්ස” කියලා නිගණ්ඨ පුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් අග්ගිවෙස්සන, යම්කිසි කෙනෙකුට සිත කිළුටු කරන ආශ්‍රවයන් තියෙනවා නම්, දුක් විපාක ඇති, පීඩා ඇති පුනර්භවය හදන, නැවත නැවත ඉපදීමත්, ජරා මරණත් හදන ඒ ආශ්‍රවයන් ප්‍රහීණ වෙලා නැත්නම්, අන්න ඒකටයි මුළාවෙනවා කියල කියන්නෙ. පින්වත් අග්ගිවෙස්සන, ආශ්‍රවයන් ප්‍රහීණ නොවීම ම යි ‘මුළා වීම’ කියන්නෙ.
ඒ වගේ ම පින්වත් අග්ගිවෙස්සන, යමෙක් තුළ සිත කිළුටු කරන ආශ්‍රව ඇද්ද, දුක් විපාක ඇති, පීඩා ඇති, පුනර්භවය ලබාදෙන, යළි යළිත් ඉපදීම, ජරා මරණ ලබාදෙන ඒ ආශ්‍රව කෙනෙක් තුළින් ප්‍රහාණය වෙලා ගියොත්, මං අන්න ඒකටයි ‘මුළා නොවීම’ කියල කියන්නෙ. පින්වත් අග්ගිවෙස්සන, ආශ්‍රවයන්ගේ ප්‍රහාණය ම යි මුළා නොවීම කියල කියන්නෙ.
පින්වත් අග්ගිවෙස්සන, සිත කිළුටු වෙන යම් ආශ්‍රව ඇත්නම්, දුක් විපාක ඇති, පීඩා ලබාදෙන, පුනර්භවයක් ලබාදෙන, යළි යළිත් ඉපදීම, ජරා මරණ ලබාදෙන ඒ ආශ්‍රව තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින් ම සිඳිල තියෙන්නේ. තල් ගසක කරටිය කැඩුනා වගේ වෙලා තියෙන්නේ. අභාවයට පත්වෙලා තියෙන්නේ. ආයෙ කවදාවත් හටගන්නෙ නෑ.
පින්වත් අග්ගිවෙස්සන, ඒක මේ වගේ දෙයක්. තල් ගසක කරටිය කැඩුනාට පස්සෙ ඒක ආයෙත් ‘පැල වෙනවා’ කියන එක සිද්ධ වෙන දෙයක් නොවෙයි. අන්න ඒ වගේ ම යි පින්වත් අග්ගිවෙස්සන, යම්කිසි සිත කිළුටු කරන ආශ්‍රව ඇත්නම් දුක් විපාක ලබාදෙන, පීඩා ලබාදෙන, පුනර්භවය ලබා දෙන, යළි යළිත් ඉපදීම, ජරා මරණ ලබාදෙන ඒ ආශ්‍රව තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින් ම සිඳිල තියෙන්නේ. තල් ගසක කරටිය කැඩුණ වගේ වෙලා තියෙන්නේ. අභාවයට පත්වෙලා තියෙන්නේ. ආයෙ කවදාවත් හටගන්නෙ නෑ.”
එතකොට නිගණ්ඨපුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි! භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයි! භවත් ගෞතමයන් වහන්සේත් සමඟ කරුණු මතු කර කර කතා කරද්දි, භවත් ගෞතමයන් වහන්සේ ඒවා විවිධ ආකාරයෙන් විස්තර කරද්දි, ගෞතමයන් වහන්සේගේ රත්තරන් පාට සම තව තවත් බබලනවා. මුව මඩල තව තවත් ලස්සන වෙනවා. අරහත් සම්මා සම්බුදුවරයෙකුගේ වගේ ම යි.
භවත් ගෞතමයන් වහන්ස, මට මතකයි දවසක් මං පූරණකස්සපත් එක්ක වාදෙට ගියා. වාදෙ පටන් ගත්ත විතරයි ඒක වෙන කරුණකින් වැහුවා නෙව. අදාළ නැති කතාවල් ඇදල ගත්තා. කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කළා. නමුත් භවත් ගෞතමයන් වහන්සේගෙන් ඒ විදිහට කරුණු අවුස්ස, අවුස්සා ප්‍රශ්න කරද්දි භවත් ගෞතමයන් වහන්සේ හරි හොඳට ඒවා විස්තර කරල දෙන කොට ඔය රත්තරන් පාට සම තව තවත් බබලනවා. මුව මඩල තව තවත් ලස්සන වෙනවා. අරහත් සම්මා සම්බුදුවරයෙකුගේ වගේ ම යි.
භවත් ගෞතමයන් වහන්ස, මම මක්ඛලී ගෝසාල ළඟටත් ගියා ….(පෙ)…. අජිත කේසකම්බලී ළඟටත් ගියා ….(පෙ)…. පකුධ කච්චායන ළඟටත් ගියා ….(පෙ)…. සංජය බේලට්ඨිපුත්ත ළඟටත් ගියා ….(පෙ)…. නිගණ්ඨ නාතපුත්ත ළඟටත් ගිහින් වාද කරන්න පටන් ගත්ත විතර යි කොහොම වාද කරන්න ද? වෙන කරුණකින් වහල දැම්මා නෙව. අදාළ නැති කතාවල් ඇදල ගත්තා. කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කළා. නමුත් භවත් ගෞතමයන් වහන්සේගෙන් ඒ විදිහට කරුණු අවුස්ස, අවුස්සා ප්‍රශ්න කරද්දි භවත් ගෞතමයන් වහන්සේ හරි හොඳට ඒවා විස්තර කරල දෙන කොට ඔය රත්තරන් පාට සම තව තවත් බබලනවා. මුව මඩල තව තවත් ලස්සන වෙනවා. අරහත් සම්මා සම්බුදුවරයෙකුගේ වගේ ම යි.
භවත් ගෞතමයන් වහන්ස, අපි එහෙනම් දැන් යන්නම්. අපිට කළ යුතු බොහෝ වැඩ තියෙනවා නෙව.”
“පින්වත් අග්ගිවෙස්සන, දැන් යමකට කාලය නම්, ඔබ එය දැනගන්න.”
ඊටපස්සෙ නිගණ්ඨපුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුම සතුටින් පිළිඅරගෙන අනුමෝදන් වෙලා ආසනයෙන් නැගිටලා පිටත්ව ගියා.
සාදු! සාදු!! සාදු!!!
සච්චක නිසා වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M