මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂුසංඝයා ඇමතුවා. ඒ භික්ෂූන් වහන්සේලාත් “පින්වතුන් වහන්ස” කියල භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළේ.
පින්වත් මහණෙනි, ගොපල්ලෙක් මේ කරුණු එකොළහෙන් යුතු වුණොත්, ඔහු තමන්ගේ ගවපට්ටිය රැකගන්නට දියුණු කරගන්නට සුදුස්සෙක් වෙන්නෙ නෑ. ඒ කරුණු එකොළහ මොනවාද?
පින්වත් මහණෙනි, ගොපල්ලා,
(1). හැඩ රුව වශයෙන් ගවයන්ව හඳුනන්නෙ නෑ.
(2). ගවයන්ගේ ශරීරවල ලකුණු අඳුනගන්න දක්ෂ නෑ.
(3). ගවයන්ගේ සිරුරේ නිල මැස්සන් දමන බිත්තර ඉවත් කරන්න දන්නෙ නැහැ.
(4). ගව සිරුරේ තුවාල සනීප කරන්න දන්නෙ නෑ.
(5). මැසි මදුරුවන් වළකන්න දුම් ගස්සන්නෙ නෑ.
(6). ගවයන් වතුරට බස්සවන තොටුපොළ දන්නෙ නෑ.
(7). ගවයන් වතුර පානය කළ, නොකළ බව දන්නෙ නෑ.
(8). ගවයන් යන පාරවල් දන්නෙ නෑ.
(9). ගවයන්ගෙ තණබිම් සොයන්න දක්ෂ නෑ.
(10). ඉතුරු නොකර ම කිරි දොවනවා.
(11). ගවපට්ටියේ ශ්‍රේෂ්ඨ නායක වූ ලොකු ගවයන්ට විශේෂ සැළකිලි සම්මාන දක්වන්නෙ නෑ.
පින්වත් මහණෙනි, ගොපල්ලෙක් තුළ මේ දුර්වලතා එකොළහ තිබුනොත් ඔහු ගවපට්ටිය පාලනය කරන්න සුදුස්සෙක් වෙන්නෙ නෑ. ගවපට්ටිය දියුණු කරන්න සුදුස්සෙක් වෙන්නෙ නෑ.
ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුවක් දුර්වලතා එකොළහකින් සමන්විත වුනොත්, මේ බුද්ධ සාසනේ ඔහුගේ දියුණුවක්, විශේෂ දියුණුවක්, විපුල බවට පත්වීමක් ඇතිවෙන්නෙ නෑ.
මොනවාද ඒ එකොළහ?
පින්වත් මහණෙනි, භික්ෂුව ,
(1). රූප හඳුනන්නෙ නෑ.
(2). විශේෂ ලක්ෂණ තෝරගන්න දක්ෂ නෑ.
(3). නිලමැසි බිත්තර ඉවත් කරන්නෙ නෑ.
(4). තුවාල වහන්නෙ නෑ.
(5). දුම් අල්ලන්නෙ නෑ.
(6). තොටුපොළ දන්නෙ නෑ.
(7). පානය කිරීම දන්නෙ නෑ.
(8). ගමන් කරන මාවත දන්නෙ නෑ.
(9). ගොදුරු බිම තෝරගන්න දක්ෂ නෑ.
(10). ඉතුරු නොකර ම කිරි දොවනවා.
(11). පැවිදි වී බොහෝ කල් ගෙවිච්ච සංඝ පීතෘන් වන, සංඝ නායක වන ධර්මාවබෝධ කළ උතුම් ස්වාමීන් වහන්සේලාට විශේෂ සැළකිළි දක්වන්නෙ නෑ.
(1)
පින්වත් මහණෙනි, භික්ෂුව රූප අඳුනගන්නෙ නැත්තෙ කොහොමද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ‘යම්කිසි රූපයක් තියෙනවා නම්, ඒ හැම රූපයක් ම සතර මහා භූතත්, සතර මහා භූතයන් නිසාත් හටගත්තු රූපයන් ම තමයි’ කියල යථාර්ථය දන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි භික්ෂුව ‘රූප හඳුනන්නෙ නෑ’ කියල කියන්නෙ.
(2)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘ලකුණු හඳුනගන්න දක්ෂ නෑ’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ‘අඥානයාව හඳුනාගන්න ලකුණත් ක්‍රියාව තමයි. නුවණැත්තාව හඳුනාගන්න ලකුණත් ක්‍රියාව තමයි’ කියල යථාර්ථය දන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නෙ භික්ෂුව ‘ලකුණු හඳුනගන්න දක්ෂ නෑ’ කියලා.
(3)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘නිලමැසි බිත්තර ඉවත් කරන්නෙ නෑ’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, භික්ෂුව හටගත් කාම සිතුවිලි ඉවසනවා. දුරු කරන්නෙ නෑ. බැහැර කරන්නෙ නෑ. ඉවත් කරන්නෙ නෑ. අභාවයට පත් කරන්නෙ නෑ. හටගත් තරහ සිතුවිලි ….(පෙ)…. හටගත් හිංසා සිතුවිලි ….(පෙ)…. උපනුපන් පාපී අකුසල් සිතුවිලි ඉවසනවා. දුරු කරන්නෙ නෑ. බැහැර කරන්නෙ නෑ. අත්හරින්නෙ නෑ. අභාවයට පත්කරන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නෙ භික්ෂුව ‘නිලමැසි බිත්තර ඉවත් කරන්නෙ නෑ’ කියලා.
(4)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘තුවාලෙ වහගන්නෙ නෑ’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ඇහෙන් රූපයක් දකිනවා. ඒ ඇස නැමැති ඉන්ද්‍රිය අසංවර කරගෙන ඉන්න කොට ඒ රූපය දැකීමෙන් ආශාව, තරහ ආදී පාපී දේවල්වලින් හිතේ අවුල් හැදෙනවා නම්, එබඳු රූපවල නිමිති සටහන් ගන්නවා. කුඩා සටහන් සිතට ගන්නවා. ඒ ඇස සංවර කරගන්නෙ නෑ. ඇස රැකගන්නෙ නෑ. ඇස සංවර කරගන්න පෙළඹෙන්නෙ නෑ. කනෙන් ශබ්දයක් අහල ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ….(පෙ)…. දිවෙන් රස දැනගෙන ….(පෙ)…. කයෙන් පහස දැනගෙන ….(පෙ)…. මනසින් අරමුණු දැනගන්න කොට ඒ මනස අසංවර කරගෙන නම් ඉන්නෙ, ආශාව තරහ ආදී පාපී අකුසල් ඇතිවෙලා අවුල් හටගන්නවා නම්, ඒ අවුල් හැදෙන විදිහේ අරමුණුවල නිමිති සටහන් ගන්නවා. කුඩා සටහන් ගන්නවා. මනස සංවර කරගන්නෙ නෑ. මනස රැකගන්නෙ නෑ. මනස සංවර කරගන්න පෙළඹෙන්නෙත් නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නෙ භික්ෂුව ‘තුවාල වහගන්නෙ නෑ’ කියල.
(5)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘දුම් ගස්සන්නෙ නෑ’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, භික්ෂුව තමන් අසා දැනගත් පරිදි, පුරුදු පුහුණු කරගත් විදිහට සද්ධර්මය අනුන්ට විස්තර වශයෙන් දේශනා කරන්නෙ නෑ. පින්වත් මහණෙනි, අන්න ඒකට කියන්නෙ ‘දුම් ගස්සන්නෙ නෑ’ කියලයි.
(6)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘තොටුපොල දන්නෙ නෑ’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, මේ සාසනේ බහුශ්‍රැත වූ, ධර්මයට පැමිණි, ධර්මධර විනයධර, ධර්ම මාතෘකා දරාගත් භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ භික්ෂුව කලින් කලට උන්වහන්සේලාව බැහැදකින්න යන්නෙ නෑ. ‘ස්වාමීනී, මේකෙ තේරුම මොකක්ද? ස්වාමීනී, මේකෙ අර්ථය මොකක්ද?’ කියල විමසන්නෙ නෑ. ප්‍රශ්න කරන්නෙ නෑ. එතකොට ඒ ආයුෂ්මතුන් වහන්සේලාත් විවෘත නොවූ දේ විවෘත කරන්නෙ නෑ. මතු නොවුණු දේ මතු කරන්නෙ නෑ. නොයෙක් ආකාරයෙන් සැක ඇතිවෙන ධර්ම කරුණු ගැන සැක දුරු කරන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නෙ භික්ෂුව ‘තොටුපොල දන්නෙ නෑ’ කියල.
(7)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘පැන් වැළඳීම දන්නෙ නෑ’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දේශනා කරන කොට ඒ භික්ෂුවට ඒකෙ අර්ථ තේරෙන්නෙ නෑ. ධර්ම කරුණු වැටහෙන්නෙ නෑ. ඒ ධර්මය තුළින් ප්‍රීතියක් ඇතිවෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, අන්න ඒකටයි කියන්නෙ භික්ෂුව ‘පැන් වැළඳීම දන්නේ නෑ’ කියල.
(8)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘මාවත දන්නෙ නෑ’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ ආකාරයෙන් ම දන්නෙ නෑ. පින්වත් මහණෙනි, අන්න ඒකටයි කියන්නෙ භික්ෂුව ‘මාවත දන්නෙ නෑ’ කියල.
(9)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘ගොදුරු බිම තෝරගන්න දක්ෂ නෑ’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, භික්ෂුව සතර සතිපට්ඨානය ඒ ආකාරයෙන් ම දන්නෙ නෑ. පින්වත් මහණෙනි, අන්න ඒකටයි කියන්නෙ භික්ෂුව ‘ගොදුරු බිම තෝරගන්න දක්ෂ නෑ’ කියල.
(10)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘ඉතුරු නොකොට කිරි දොවනවා’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, භික්ෂුවට ශ්‍රද්ධාවන්ත ගිහි පිරිස් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ළඟට ගෙනිහින් දෙනවා. නමුත් ඒවා පිළිගැනීමේදී භික්ෂුව ප්‍රමාණය දන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නෙ භික්ෂුව ’ඉතුරු නැතිව කිරි දොවනවා’ කියල.
(11)
පින්වත් මහණෙනි, භික්ෂුව ‘සසුන් ගත වී බොහෝ කල් ගිය, පැවිදි වී බොහෝ කල් ගිය, සංඝ පීතෘ වූ සංඝ නායක වූ ඒ සසුන් මග වැඩූ තෙරුන් වහන්සේලාට විශේෂ සත්කාර, පුද පූජා කරන්නෙ නෑ’ කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, භික්ෂුව සසුන් ගත වී බොහෝ කල් ගිය, පැවිදි වී බොහෝ කල් ගිය සංඝපීතෘ වූ සංඝ නායක වූ ඒ මහතෙරුන් වහන්සේලා තමන් ඉදිරියේ හිටියත් නැතත් උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත කටයුතුවලින් යුක්ත වෙන්නෙ නෑ. උන්වහන්සේලා ඉදිරියේ හිටියත් නැතත් උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත වචන පවත්වන්නෙ නෑ. උන්වහන්සේලා ඉදිරියේ හිටියත් නැතත් උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත සිතින් ඉන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නෙ භික්ෂුව ‘සසුන් ගත වී බොහෝ කල් ගිය, පැවිදි වී බොහෝ කල් ගිය සංඝපීතෘ, සංඝනායක මහතෙරුන් වහන්සේලාට විශේෂ පුද-පූජාවල් කරන්නෙ නෑ’ කියල.
පින්වත් මහණෙනි, ඔන්න ඔය දුර්වලතා එකොළහෙන් සමන්විත භික්ෂුව මේ සාසනේ තුළ දියුණුවක් කරා යන්න, අභිවෘද්ධියක් කරා යන්න, විපුල බවක් කරා යන්න සුදුසු වෙන්නෙ නෑ.
පින්වත් මහණෙනි, කුසලතා එකොළහකින් සමන්විත ගොපල්ලා, ගව පට්ටියක් පාලනය කරන්න, දියුණු කරන්න සුදුස්සෙක් වෙනවා. ඒ කුසලතා එකොළහ මොනවා ද?
පින්වත් මහණෙනි, ගොපල්ලා,
(1). ගවයන්ගේ හැඩ රුව දන්නවා.
(2). ගවයන්ගේ විශේෂ ලකුණු දන්නවා.
(3). නිලමැසි බිත්තර ඉවත් කරනවා.
(4). තුවාල වහල දානවා.
(5). දුම් ගස්සනවා.
(6). ගවයන් බස්සවන තොටුපොල දන්නවා.
(7). ගවයන් පැන් බිව් නොබිව් බව දන්නවා.
(8). ගවයන් රැගෙන යා යුතු මාර්ගය දන්නවා.
(9). ගවයන්ගේ ගොදුරු බිම් දන්නවා.
(10). ඉතුරු කරල කිරි දොවනවා.
(11). ගවපට්ටියේ ශ්‍රේෂ්ඨ වූ වැඩිමහළු වූ නායක ගවයන්ට විශේෂ සැළකිලි දක්වනවා.
පින්වත් මහණෙනි, ඔය කුසලතා එකොළහෙන් සමන්විත ගොපල්ලා ගවපට්ටියක් පාලනය කරන්න, දියුණු කරන්න සුදුස්සෙක් වෙනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටම කුසලතා එකොළහකින් සමන්විත වන භික්ෂුවත් මේ සාසනේ තුළ දියුණු වෙනවා. අභිවෘද්ධියට පත්වෙනවා. විපුල බවට පත්වීමට සුදුස්සෙක් වෙනවා. ඒ කුසලතා එකොළහ මොනවාද?
පින්වත් මහණෙනි, භික්ෂුව,
(1). රූපය ගැන දන්නවා.
(2). විශේෂ ලකුණු ගැන දන්නවා.
(3). නිලමැසි බිත්තර ඉවත් කරනවා.
(4). තුවාලෙ වහගන්නවා.
(5). දුම් අල්ලනවා.
(6). තොටුපොළ දන්නවා.
(7). පැන් වැළඳීම දන්නවා.
(8). යා යුතු මාවත දන්නවා.
(9). ඇසුරු කළ යුතු ගොදුරු බිම දන්නවා.
(10). ඉතුරු කරල කිරි දොවනවා.
(11). සසුන් ගත වී බොහෝ කල් ගිය, පැවිදි වී බොහෝ කල් ගිය, සංඝපීතෘ වූ සංඝනායක වූ ඒ මහ තෙරුන් වහන්සේලාට විශේෂ පුද පූජාවන් දක්වනවා.
(1)
පින්වත් මහණෙනි, භික්ෂුව රූපය දැනගන්නෙ කොහොමද? පින්වත් මහණෙනි, භික්ෂුව ‘යම්කිසි රූපයක් තියෙනවා නම්, ඒ සියලු රූප සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හටගත්තු රූපත් ය’ කියල යථාර්ථය දැනගන්නවා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහටයි භික්ෂුව රූපය ගැන දැනගන්නෙ.
(2)
පින්වත් මහණෙනි, භික්ෂුව විශේෂ ලකුණු ගැන දැනගන්නෙ කොහොමද? පින්වත් මහණෙනි, භික්ෂුව ‘අඥාන පුද්ගලයා තමන්ගේ ලකුණ හැටියට පෙන්වන්නෙ ක්‍රියාවයි. නුවණැත්තාත් තමන්ගේ ලකුණ හැටියට පෙන්වන්නේ ක්‍රියාව ම යි’ කියල ඒ ආකාරයෙන් ම දැනගන්නවා. පින්වත් මහණෙනි, අන්න ඒකට තමයි භික්ෂුව ‘විශේෂ ලකුණු ගැන දන්නවා’ කියන්නෙ.
(3)
පින්වත් මහණෙනි, භික්ෂුව නිලමැසි බිත්තර ඉවත් කරන්නෙ කොහොමද? පින්වත් මහණෙනි, භික්ෂුව උපන් කාම සිතුවිලි ඉවසන්නෙ නෑ. දුරු කරනවා. අත්හරිනවා. බැහැර කරනවා. අභාවයට පත්කරනවා. උපන් තරහ සිතුවිලි ….(පෙ)…. උපන් හිංසා සිතුවිලි ….(පෙ)…. උපනුපන් පාපී අකුසල් සිතුවිලි ඉවසන්නෙ නෑ. අතහරිනවා. දුරු කරනවා. බැහැර කරනවා. අභාවයට පත්කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒකටයි කියන්නෙ භික්ෂුව ‘නිලමැසි බිත්තර ඉවත් කරනවා’ කියලා.
(4)
පින්වත් මහණෙනි, භික්ෂුව තුවාල වහගන්නවා කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, භික්ෂුව, ඇසින් රූපයක් දැක්කට පස්සෙ ඇස අසංවර නම්, ආශාව තරහ ආදී පාපී අකුසලයන් ඇතිවෙලා හිතේ අවුල් හැදෙනවා. අන්න ඒ අවුල් හැදෙන රූපවල නිමිති සටහන් ගන්නෙ නෑ, කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. ඇස සංවර කරගන්නවා. ඇස රැකගන්නවා. ඇස සංවර කරගැනීමට පැමිණෙනවා. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රස දැනගෙන ….(පෙ)…. කයෙන් පහස ලබලා ….(පෙ)…. මනසින් අරමුණු හිතල, මනස අසංවර නම් ඒ තුළින් ආශාව තරහ ආදී පාපී අකුසල් හටඅරගෙන හිතේ මහ අවුලක් හැදෙනවා. අන්න ඒ වගේ අවුල් හැදෙන අරමුණුවල නිමිති සටහන් ගන්නෙ නෑ. කුඩා සටහනක්වත් ගන්නෙ නෑ. මනස සංවර කරගන්නවා. මනස රැකගන්නවා. මනසේ සංවරයට පැමිණෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒකට තමයි කියන්නෙ භික්ෂුව ‘තුවාලෙ වහගන්නවා’ කියල.
(5)
පින්වත් මහණෙනි, භික්ෂුව දුම් ගස්සන්නෙ කොහොමද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තමන් අසා දැනගත් පිළිවෙලට පුරුදු පුහුණු කළ පිළිවෙලට ධර්මය විස්තර කරල අනුන්ට කියල දෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒකටයි කියන්නෙ භික්ෂුව ‘දුම් ගස්සනවා’ කියල.
(6)
පින්වත් මහණෙනි, භික්ෂුව තොටුපොල දැනගන්නෙ කොහොමද? පින්වත් මහණෙනි, මෙහි බහුශ්‍රැත ධර්ම විනය දන්න, ධර්මධර විනයධර මාතෘකා වශයෙන් දරාගෙන සිටින උතුම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. භික්ෂුව උන්වහන්සේලා ළඟට කලින් කලට යනවා. ‘ස්වාමීනී, මේක කොහොමද? ස්වාමීනී, මේකෙ අර්ථය මොකක්ද?’ කියල විමසනවා. ප්‍රශ්න කරනවා. එතකොට ඒ ආයුෂ්මතුන් වහන්සේලා වැහිල තියෙන දේ විවෘත කරනවා. මතු නොවුණු දේ මතු කරල පෙන්වනවා. සැක සහිත වූ නොයෙක් දේ ගැන සැක දුරුකරනවා. පින්වත් මහණෙනි, අන්න ඒකටයි කියන්නෙ භික්ෂුව ‘තොටුපොල දන්නවා’ කියලා.
(7)
පින්වත් මහණෙනි, භික්ෂුව පැන් වැළඳීම දැනගන්නෙ කොහොමද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය කියාදෙන කොට හොඳට අර්ථ තේරුම් ගන්නවා. ධර්මය තේරුම් ගන්නවා. එතකොට ඒ ධර්මය නිසා ඔහුට මහත් ප්‍රමෝදයක් ඇතිවෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒකට තමයි කියන්නෙ භික්ෂුව ‘පැන් වළඳනවා’ කියල.
(8)
පින්වත් මහණෙනි, භික්ෂුව යා යුතු මාවත දන්නවා කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ ආකාරයෙන් ම දන්නවා. පින්වත් මහණෙනි, අන්න ඒකට තමයි කියන්නෙ භික්ෂුව ‘යා යුතු මග දන්නවා’ කියලා.
(9)
පින්වත් මහණෙනි, භික්ෂුව ගොදුරු බිම දන්නවා කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, භික්ෂුව සතර සතිපට්ඨානය ඒ ආකාරයෙන් ම දන්නවා. පින්වත් මහණෙනි, අන්න ඒකටයි භික්ෂුව ‘ගොදුරු බිම දන්නවා’ කියල කියන්නෙ.
(10)
පින්වත් මහණෙනි, භික්ෂුව ඉතුරු කරල කිරි දොවනවා කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, භික්ෂුවට සැදැහැවත් ගිහි පින්වතුන් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ගෙනවිත් පූජා කරනවා. එහිදී ඒවා පිළිගත යුතු ප්‍රමාණය භික්ෂුව දන්නවා. පින්වත් මහණෙනි, අන්න ඒකටයි භික්ෂුව ‘ඉතුරු කරල කිරි දොවනවා’ කියල කියන්නෙ.
(11)
පින්වත් මහණෙනි, භික්ෂුව සසුන් ගත වී බොහෝ කල් ගිය, සංඝපීතෘ වූ සංඝනායක වූ ඒ මහතෙරුන් වහන්සේලාට ගෞරව සැළකිලි දක්වන්නෙ කොහොම ද? පින්වත් මහණෙනි, මේ සාසනේ පැවිදි වී බොහෝ කල් ගිය සංඝපීතෘ වූ සංඝනායක වූ මහතෙරුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා තමන් ඉදිරියේ හිටියත් නැතත් භික්ෂුව උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත ක්‍රියා වලින් යුක්ත වෙනවා. උන්වහන්සේලා තමන් ඉදිරියේ හිටියත් නැතත් උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත වචනවලින් යුක්ත වෙනවා. උන්වහන්සේලා තමන් ඉදිරියේ හිටියත් නැතත් උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත සිතින් යුක්ත වෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නෙ භික්ෂුව, සසුන් ගත වී බොහෝ කල් ගිය, පැවිදි වී බොහෝ කල් ගිය, සංඝපීතෘ වූ, සංඝනායක වූ, මහ තෙරුන් වහන්සේලාව අතිරේක පුද පූජාවලින් පුදනවා කියල.
පින්වත් මහණෙනි, මේ කුසලතා එකොළහෙන් සමන්විත භික්ෂුව මේ සාසනය තුළ දියුණුවක් ලබන්න, අභිවෘද්ධියක් ලබන්න, විපුල බවක් ලබන්න සුදුස්සෙක් වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා මේ දේශනාව ගැන ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනාව සාදු නාද දෙමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ගොපල්ලා උපමා කොට වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M