මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ වජ්ජි දේශයේ උක්කචේලා නගරය අසල ගංගා නම් ගං ඉවුරේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂුසංඝයා ඇමතුවා. ඒ භික්ෂූන් වහන්සේලාත් “පින්වතුන් වහන්ස” කියල භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
පින්වත් මහණෙනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. මගධ රටේ මෝඩපහේ ගොපල්ලෙක් හිටියා. මෙයා මොකද කළේ, වැස්ස කාලෙ අන්තිම මාසෙ, සීත කාලෙ පටන් ගන්න කොටම ගංගා නම් නදිය ගැන මෙයාට කිසිම අවබෝධයක් තිබුනෙ නෑ. ඉතින් මෙයා එගොඩ මෙගොඩ ගැන හොයල බැලුවෙ නෑ. ගවයන් බස්සන තොටුපොල ගැන සොයල බැලුවෙ නෑ. ඒ ගඟේ නුසුදුසු තොටුපොලකින් වේදේහයන්ගේ උතුරු ගං ඉවුරට ගවයන්ව පිටත් කෙරෙව්වා. පින්වත් මහණෙනි, එතකොට ගංගා නම් ගඟ මැද්දෙදි, මහා දිය රැල්ලකට මේ ගවයන් අහුවුනා. ඒකෙන්ම ඒ ගවයො ටික විපතට පත්වුනා. පින්වත් මහණෙනි, ඇයි එහෙම වුනේ? ඒ මගධ රටේ ගොපල්ලට නුවණ නැතිකම නිසයි. ඒ ගොපල්ලා වැස්ස කාලෙ අන්තිම මාසෙ, සීත කාලෙ පටන් ගන්න කොට ගංගා නම් ගඟේ හැටි ගැන කිසි ම අවබෝධයක් නැතුව, එගොඩ මෙගොඩ නොසළකා, වේදේහයින් සතු උතුරු ගං ඉවුරට නුසුදුසු තොටුපොලින් ගවයන් එගොඩට පිටත් කරවපු නිසා.
ඒ වගේ ම පින්වත් මහණෙනි, මේ ලෝකෙ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයො ඉන්නවා. ඔවුන් මේ ලෝකෙ සත්‍යය දකින්න අදක්ෂයි. ඔවුන් පරලොව සත්‍යය දකින්නත් අදක්ෂයි. ඔවුන් මාරයාට අයත් දේ තේරුම් ගන්නත් අදක්ෂයි. ඔවුන් මාරයාට අයත් නැති දේ තේරුම් ගන්නත් අදක්ෂයි. ඔවුන් මරණයට අයත් දේ තේරුම් ගන්නත් අදක්ෂයි. ඔවුන් මරණයට අයත් නැති දේ තේරුම් ගන්නත් අදක්ෂයි. එබඳු වූ ආගමික නායකයින් කියන දේවල් ඇසිය යුතුයි, විශ්වාස කළ යුතුයි කියලා කෙනෙකුට හැඟුනොත්, ඒ තුළින් ඔවුන්ට බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා.
පින්වත් මහණෙනි, ඉස්සර වෙච්ච තව දෙයක් තියෙනවා. මගධ රටේ ගොපල්ලෙක් හිටියා. උන්නැහේ හරි කල්පනාකාරයා. වැස්ස කාලෙ අන්තිම මාසෙ සීත කාලෙ, ගංගා නම් ගඟ ගැන හොඳට දන්නවා. එගොඩ මෙගොඩ ගැන හොඳට හොයල බැලුවා. වේදේහයන් සතු උතුරු ඉවුරට ඉතාම සුදුසු තොටුපොලෙන්ම ගවයන් එගොඩ කෙරෙව්වා. ඒක කළේ මෙහෙමයි. ඉස්සෙල්ලාම ඒ ගව පට්ටියේ නායක ගවයන්ව, ගවයන්ගේ පියවරු යැයි සැළකිය හැකි ලොකු ගවයන්ව එගොඩ කෙරෙව්වා. ඒ ගවයන් ගංගාවේ සැඩ පහර කපාගෙන සුවසේ එගොඩ වුනා. ඊට පස්සෙ බලවත්, කීකරු ගවයන්ව එගොඩ කෙරෙව්වා. ඒ ගවයනුත් සැඩ පහර කපාගෙන එගොඩ වුනා. ඊට පස්සෙ ගව නාම්බන්වත්, නෑම්බියන්වත් එගොඩ කෙරෙව්වා. උනුත් ගඟේ සැඩ පහර කපාගෙන, සුවසේ එගොඩ වුනා. ඊට පස්සෙ දුර්වල වස්සන්ව එගොඩ කෙරෙව්වා. උනුත් ගඟේ සැඩ පහර කපාගෙන සුවසේ එගොඩ වුනා. පින්වත් මහණෙනි, ඕක කලින් සිද්ධ වෙච්ච දෙයක්. එදාම ඉපදිච්ච ළදරු වහුපැටව් හිටියා. උනුත් මව් වැස්සිගෙ ගෙරවිලි හඬ අල්ලගෙන, ගඟ හරහට ගඟේ වතුර පාර කපාගෙන සුව සේ එතෙර වුනා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, මේ මගධ රටේ ගොපල්ලා බුද්ධිමත් කෙනෙක්. වැස්ස කාලෙ අවසන් වෙන කොට, සීත කාලෙ එන කොට, ගඟේ තත්වය ගැන උන්නැහේ දන්නවා. එගොඩ මෙගොඩ තත්වය ගැන සැළකිලිමත් වෙනවා. ඒ නිසයි වේදේහයන්ගේ උතුරු ගං ඉවුරට සුදුසු තොටුපොලින් ම ගවයන් එගොඩ කෙරෙව්වේ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා. ඔවුන් මේ ලෝකෙ යථාර්ථය දකින්න දක්ෂයි. පරලොව යථාර්ථය දකින්න දක්ෂයි. මාරයාට අයත් දේ දකින්න දක්ෂයි. මාරයාට අයත් නැති දේ දකින්න දක්ෂයි. මරණයට අයත් දේ දකින්න දක්ෂයි. මරණයට අයත් නැති දේ දකින්න දක්ෂයි. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් දහම් දෙසද්දි, ඒ ධර්මය ඇසිය යුතුයි, විශ්වාස කළ යුතුයි කියල යමෙකුට හිතෙනවා නම්, ඔවුන්ට එය බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා.
පින්වත් මහණෙනි, ගවපට්ටියේ ගවනායක වූ ගවයන්ගේ පියවරුන් වැනි වූ, ශ්‍රේෂ්ඨ ගවයන් ගංගාවේ සැඩ පහර කපාගෙන සුවසේ එගොඩ වුනා නෙ. අන්න ඒ විදිහමයි පින්වත් මහණෙනි, භික්ෂූන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා රහතන් වහන්සේලා. ආශ්‍රවයන් මොකුත්ම නෑ. බඹසර වාසය සම්පූර්ණ කරලයි ඉන්නෙ. කළ යුතු දේ කරලයි ඉන්නෙ. පිළිවෙලින් පැමිණි උතුම් අර්ථය ලබාගෙන ඉන්නෙ. භව බන්ධන නැති කරල ඉන්නෙ. අවබෝධයෙන්ම දුකෙන් නිදහස් වෙලා ඉන්නෙ. ඒ භික්ෂූන් මාරයාගේ තණ්හා සැඩ පහර කපාගෙන සුව සේ අමා නිවන් තෙරට වැඩියා.
ඒ වගේ ම මහණෙනි, බලවත් ගවයින්, දමනය වුණු ගවයින් ගංගා සැඩ පහර කපාගෙන සුවසේ එගොඩ වුනා නෙ. අන්න ඒ විදිහමයි මෙහි භික්ෂූන් වහන්සේලා ඉන්නවා, ඕරම්භාගීය සංයෝජන පහ ම නැති කරල. ඒ භික්ෂූන් ඕපපාතිකව බඹලොව උපන්නට පස්සේ, එහෙදිම පිරිනිවන් පානවා මිසක් ඒ ලෝකෙන් ආපහු එන්නෙ නෑ. අන්න ඒ භික්ෂූන් වහන්සේලාත් මාරයාගේ තණ්හා සැඩ පහර කපාගෙන සුවසේ අමා නිවන් තෙරට යනවා.
පින්වත් මහණෙනි, වසු නාම්බොත්, නෑම්බියොත් ගඟේ වතුර පාර කපාගෙන සුවසේ එගොඩ වෙලා ගියා නේද? අන්න ඒ වගේ ම යි පින්වත් මහණෙනි, භික්ෂූන් වහන්සේලා සංයෝජන තුනක් නැති කරල රාග, ද්වේෂ, මෝහ තුනී කරගෙන සකදාගාමී වෙලා, මේ ලෝකයට එක වතාවක් පමණක් ඇවිදින් සියලු දුක් අවසන් කරනවා. ඒ භික්ෂු පිරිසත් මාරයාගේ කෙලෙස් සැඩ පහර කපාගෙන සුව සේ අමා නිවන් තෙරට යනවා.
පින්වත් මහණෙනි, දුර්වල වස්සොත් ගංගා දියෙහි සැඩ පහර කපාගෙන එගොඩ වෙලා ගියා නේද? අන්න ඒ වගේ ම යි පින්වත් මහණෙනි, භික්ෂූන් වහන්සේලා සංයෝජන තුනක් නැති කරලා, සතර අපායට වැටෙන ස්වභාවය නැති කරලා, සෝතාපන්න වෙලා නියත වශයෙන් ම නිවන් දකින ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාත් මාරයාගේ කෙලෙස් සැඩ පහර කපාගෙන සුව සේ අමා නිවන් තෙරට යනවා.
පින්වත් මහණෙනි, ඒ වගේම එදා උපන් ඒ වසු පැටියත් මව් දෙනගේ ගෙරවිලි සද්දෙ ඉව කරගෙන ගඟේ සැඩ පහර කපාගෙන සුවසේ එතෙරට ගියා නේද? අන්න ඒ වගේමයි පින්වත් මහණෙනි, ධම්මානුසාරී, සද්ධානුසාරී භික්ෂූන් වහන්සේලාත් මාරයාගේ කෙලෙස් සැඩ පහර කපාගෙන සුවසේ ඒ අමා නිවන් තෙරට ම යනවා.
පින්වත් මහණෙනි, මම මේ ලෝකයේ යථාර්ථය දකින්න දක්ෂ කෙනෙක්. මම පරලොව යථාර්ථය දකින්නත් දක්ෂ කෙනෙක්. මම මාරයාට අයත් දේ හඳුනාගන්න දක්ෂ කෙනෙක්. මම මාරයාට අයත් නොවන දේ දකින්නත් දක්ෂ කෙනෙක්. මම මරණයට අයත් දේ දකින්නත් දක්ෂ කෙනෙක්. මම මරණයට අයත් නැති දේ දකින්නත් දක්ෂ කෙනෙක්. ඉතින් පින්වත් මහණෙනි, යම්කිසි කෙනෙක් මං කියා දෙන ධර්මය ඇසිය යුතුයි, විශ්වාස කළ යුතුයි කියල හිතනවා නම්, එය ඔවුන්ට බොහෝ කලක් හිත සුව පිණිස ම යි පවතින්නේ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ඊට පස්සේ ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මේ අනිත් ගාථාවන් ද වදාළා.
“පින්වත් මහණෙනි, සියලු දේ ගැන යථාර්ථය දන්නා වූ තථාගතයන් වහන්සේ විසින් මෙලොවත්, පරලොවත් ගැන පැහැදිලිව කියා දීලා තියෙනවා. මාරයාට හසුකරගන්න පුළුවන් යම් තැනක් ඇද්ද, මාරයාට හසුකරගන්න බැරි යම් තැනක් ඇද්ද, එයත් පැහැදිලිව කියා දීලා තියෙනවා.
විශිෂ්ට වූ ප්‍රඥාවෙන් සියලු ලොව අවබෝධ කළ සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධයෙන් ම යි නිවනට පමුණුවන, බිය රහිත වූ, අමා දොරටුව විවර කොට තිබෙන්නේ.
පාපී මාරයාගේ තෘෂ්ණාව නැමැති සැඩ පහර සිඳදැම්මා. විනාශ කළා. මානනළ දුරු කලා. ඒ නිසාම පින්වත් මහණෙනි, බොහෝ ප්‍රමුදිත බවින් යුතුව ඉන්න. බිය රහිත නිවනට පැමිණෙන්න.”
සාදු! සාදු!! සාදු!!!
ගොපල්ලා උපමා කොට වදාළ කුඩා දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M