මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයේ. දේවදත්ත බුදු සසුන අතහැරලා ගිහින් ඒ වෙන කොට වැඩි කලක් ගතවෙලා නෑ. එදා භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත මුල් කරගෙන භික්ෂූන් වහන්සේලා ඇමතුවා.
පින්වත් මහණෙනි, සමහර පින්වත් කුලදරුවන් ඉන්නවා ගිහි ජීවිතේ අතහැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘මම මේ ඉපදෙන, ජරා වෙන, මැරෙන, ශෝක වැළපීම් ලැබෙන, කායික මානසික දුක් ලැබෙන දුකට වැටුනා නෙව. දුකට බැසගත්තා නෙව. දුකින් පෙළෙනවා නෙව. මේ හැම දුකක් ම අවසන් කරල දාන්න ලැබුනොත් කොයිතරම් දෙයක්ද?’ කියලා.
ඔය විදියට මහණ වෙච්ච කෙනා ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ඇති කරගන්නවා. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් සතුටු වෙලා සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙනවා. ඊට පස්සෙ ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ලැබෙන්නෙ මට විතරයි. මේ අනිත් භික්ෂූන් වහන්සේලා ප්‍රසිද්ධ නැහැ නෙව. ආනුභාව සම්පන්න නැහැ නෙව’ කියල. ඒ භික්ෂුව ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවෙන් මත්වෙනවා. ප්‍රමාද වෙනවා. ප්‍රමාදයට පත්වෙනවා. ඒ ප්‍රමාදය නිසා දුක සේ වාසය කරනවා.
පින්වත් මහණෙනි, අරටුවකින් ප්‍රයෝජන තියෙන, අරටුවක් සොයමින් ඉන්න, අරටුවක් සොයමින් ඇවිදින කෙනෙකුට හොඳ අරටුව තියෙන විශාල ගහක් හම්බ වෙනවා. ඉතින් ඒ පුද්ගලයා අරටුව කියල හිතාගෙන, අරටුව අත්හැරලා, එලය අත්හැරලා, සිවිය අත්හැරලා, පොත්ත අත්හැරලා, කොළ අතු ටික සිඳල අරගෙන යනවා. එතකොට ඇස් ඇති කෙනෙක් මොහුව දැකල මෙහෙම කියනවා. “අයියෝ! මේ පුද්ගලයා අරටුව දන්නෙත් නෑ. එලේ දන්නෙත් නෑ. සිවිය දන්නෙත් නෑ. පොත්ත දන්නෙත් නෑ. ඔය තැනැත්තාට අරටුවක ඕනකම තිබුනා. අරටුවක් හොය හොයා නෙව හිටියෙ. හොඳ සාරවත් අරටුව තියෙන මහ ගහකුත් හම්බ වුනා. බැලින්නම් අරටුව කියල හිතාගෙන අරටුව අත්හැරලා, එලයත් අත්හැරලා, සිවියත් අත්හැරලා, පොතුත් අත්හැරලා, කොළ අතු ටික කඩාගෙන ගියා නෙව. අරටුවකින් කරන්න ඕන වැඩේ කරගන්න ඔය තැනැත්තාට නම් ලැබෙන්නෙ නෑ” කියල.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. ඇතැම් කුලදරුවන් ඉන්නවා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. “අනේ, මං මේ ඉපදෙන, ජරා මරණ තියෙන, ශෝක වැළපීම්, දුක් දොම්නස් උපායාස තියෙන සසර දුකට වැටුනා නෙව. දුකට පත්වුනා නෙව. දුකින් පෙළෙනවා නෙව. මටත් මේ හැම දුකක් ම අවසන් කරල දාන්න ඇත්නම් කොයිතරම් දෙයක්ද?’ කියල හිතලයි මහණ වෙන්නෙ. මහණ වුනාට පස්සෙ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවා ගන්නවා. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වලින් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ලැබෙන කෙනෙක් මම. මේ අනිත් භික්ෂූන් වහන්සේලා ප්‍රසිද්ධ නෑ. ආනුභාව නෑ’ කියලා. ඔහු ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවෙන් මත්වෙනවා. ප්‍රමාද වෙනවා. ප්‍රමාදයට පත්වෙනවා. ඒ ප්‍රමාදය නිසා දුක සේ ඉන්නවා. ඒ භික්ෂුවට කියන්නෙ ‘නිවන් මගේ කොළ අතු ටික ගත්තු කෙනා’ කියලයි. එයා ගේ ගමන එතනින් ම අවසන් වෙනවා.
පින්වත් මහණෙනි, ඇතැම් කුලදරුවන් ඉන්නවා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදෙන, ජරාවෙන, මැරෙන, ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාස තියෙන සසර දුකටයි මං වැටුනෙ. මං දුකට පත්වෙලයි ඉන්නෙ. මං දුකින් පෙළෙනවා. අනේ මේ හැම දුකක් ම අවසන් කරල දාන්න ලැබුණොත් කොයිතරම් දෙයක්ද?’ කියල. ඔය විදිහට මහණ වුනාට පස්සේ එයාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්න පටන් ගන්නවා. නමුත් එයා ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් සතුටු වෙන්නෙ නෑ. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සිල්වත්ව ඉන්නවා. ඔහු ඒ සීලයෙන් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඔහු ඒ සීලය මුල් කරගෙන තමන්ව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘මම තමයි යහපත් ධර්ම තියෙන සිල්වත් කෙනා. මේ අනිත් භික්ෂූන් වහන්සේලා පාප ධර්ම තියෙන දුස්සීලයෝ නෙව’ කියලා. ඔහු ඒ සීල සම්පත්තියෙන් මත්වෙනවා. පමාවෙනවා. ප්‍රමාදයට පත්වෙනවා. ඒ ප්‍රමාදය නිසා දුක සේ වාසය කරනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා මනුස්සයෙකුට අරටුවක ඕනකමක් ඇති වුනා. අරටුවක් හොය හොයා යන්න පටන් ගත්තා. ඔහුට හොඳ අරටුව තියෙන විශාල ගහක් හම්බ වුනා. නමුත් ඔහු අරටුව කියල හිතාගෙන, අරටුව අත්හැරලා, එලය අත්හැරලා, සිවිය අත්හැරලා, පොතු අරගෙන ගියා. ඇස් ඇති පුද්ගලයෙක් මොහුව දැකල මෙහෙම කියනවා. ’අයියෝ! ඔය තැනැත්තා අරටුව අඳුනන්නෙත් නෑ. එලය අඳුනන්නෙත් නෑ. සිවිය අඳුනන්නෙත් නෑ. පොතු අඳුනන්නෙත් නෑ. කොළ අතු අඳුනන්නෙත් නෑ. ඇත්තෙන් ම ඔය පුද්ගලයාට අරටුවක ඕනකම තිබුනා. අරටුවක් හොය හොයා තමයි හිටියේ. අරටුවක් තියෙන හොඳ ගහකුත් හම්බ වුනා. අන්තිමේ දි බැලින්නම් අරටුව කියල හිතාගෙන ඒ අරටුව ම අත්හැරලා, එලයත් අත්හැරල, සිවියත් අත්හැරලා, පොතු නෙව අරගෙන ගියේ. අරටුවකින් ගන්න ඕන වැඩේ නම් මොහුට ගන්න ලැබෙන්නෙ නෑ’ කියලා.
පින්වත් මහණෙනි, ඔය විදිහම යි ඇතැම් කුලදරුවන් ඉන්නවා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදෙන, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාසවලින් යුතු සංසාරෙටයි මං වැටිල ඉන්නෙ. මං දුකට වැටිලයි ඉන්නෙ. මං දුකින් පෙළිලයි ඉන්නෙ. මේ හැම දුකක් ම අවසන් කරල දාන්න තියෙනවා නම් කොයිතරම් හොඳ ද?’ කියල හිතාගෙනයි ඔහු මහණ වෙන්නෙ. ඊට පස්සෙ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවාගන්නවා. නමුත් ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවෙන් මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාද බවට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සිල්වත් වෙනවා. ඔහු ඒ සීලයෙන් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඔහු ඒ සීලයෙන් තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. ‘මම තමයි යහපත් ධර්ම ඇති සිල්වත් කෙනා. මේ අනිත් භික්ෂූන් වහන්සේලා පාප ධර්ම ඇති දුස්සීල අය නෙව’ කියලා. ඔහු ඒ සීලයෙන් මත්වෙනවා. ප්‍රමාද වෙනවා. ප්‍රමාදයට පත්වෙනවා. ඒ ප්‍රමාදය නිසා දුක සේ වාසය කරනවා. පින්වත් මහණෙනි, ඒ භික්ෂුවටයි කියන්නෙ ‘නිවන් මගේ පොත්ත ගත්තු කෙනා’ කියලා. ඔහුගේ ගමන එතනින් ම අවසන් වෙනවා.
පින්වත් මහණෙනි, ඇතැම් කුලදරුවන් ඉන්නවා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘මං ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලින් දුකට පැමිණුනා. මං දුකේ වැටිල ඉන්නෙ. මං දුකින් පෙළෙමින් ඉන්නෙ. මේ හැම දුක්වල ම අවසානයක් දැකගන්න තියෙනවා නම් කොයිතරම් දෙයක්ද?’ කියලයි මහණ වෙන්නේ. ඊට පස්සෙ එයා ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවා ගන්නවා. නමුත් ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් සතුටු වෙන්නෙ නෑ. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සිල්වත් වෙනවා. ඔහු සීල සම්පත්තියෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නේ නෑ. ඒ සීල සම්පත්තියෙන් මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සමාධි සම්පත්තිය ඇති කරගන්නවා. අන්න එතනදී ඔහු සමාධියෙන් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඒ සමාධිය මුල් කරගෙන තමන්ව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘මම තමයි සමාහිත සිතින් ඉන්න කෙනා. අනිත් භික්ෂූන් වහන්සේලාට සමාධියක් නෑ. බිරාන්ත වෙලා ඉන්නවා’ කියල. ඒ භික්ෂුව ඒ සමාධි සම්පත්තියෙන් මත්වෙනවා. ප්‍රමාද වෙනවා. ප්‍රමාදයට පත්වෙනවා. ප්‍රමාදයට පත්වෙලා දුක සේ වාසය කරනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඔන්න කෙනෙකුට අරටුවක වැඩක් ගන්න ඕන වුනා. අරටුවක් හොය හොයා ඇවිදින්න පටන් ගත්තා. ඔහොම යද්දි හොඳ අරටුවක් තියෙන විශාල ගහක් හම්බ වුනා. ඉතින් මෙයා අරටුව කියල හිතාගෙන, අරටුව අත්හැරලා, එලය අත්හැරලා, සිවිය ගලෝගෙන ගියා. ඇස් ඇති කෙනෙකුට මොහුව දකින්න ලැබෙනවා. දැකල මෙහෙම කියනවා. ‘අයියෝ! මේ තැනැත්තා අරටුව දන්නෙත් නෑ. එලය දන්නෙත් නෑ. සිවිය දන්නෙත් නෑ. පොත්ත දන්නෙත් නෑ. කොළ අතු දන්නෙත් නෑ. මේ පුද්ගලයාට ඕන වුනේ අරටුවයි. අරටුව ම යි හොය හොයා ගියෙත්. අරටුව තියෙන විශාල ගහකුත් හම්බ වුනා. අන්තිමේදී බැලින්නම් මෙයා අරටුව අත්හැරලා, එලය අත්හැරලා, අරටුව කියල හිතාගෙන සිවිය ගලෝගෙන ගියා නෙව. මෙයාට නම් අරටුවෙන් වැඩක් ගන්න ලැබෙන්නෙ නෑ’ කියලා.
පින්වත් මහණෙනි, ඇතැම් කුලදරුවන් ඉන්නවා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘මං ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලින් දුකට පැමිණුනා. මං දුකේ වැටිල ඉන්නෙ. මං දුකින් පෙළෙමින් ඉන්නෙ. මේ හැම දුක්වල ම අවසානයක් දැකගන්න තියෙනවා නම් කොයිතරම් දෙයක්ද?’ කියලයි මහණ වෙන්නේ. ඊට පස්සෙ එයා ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවා ගන්නවා. නමුත් ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් සතුටු වෙන්නෙ නෑ. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සිල්වත් වෙනවා. ඔහු සීල සම්පත්තියෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නේ නෑ. ඒ සීල සම්පත්තියෙන් මත් වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සමාධි සම්පත්තිය ඇති කරගන්නවා. අන්න එතනදී ඔහු සමාධියෙන් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඒ සමාධිය මුල් කරගෙන තමන්ව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘මම තමයි සමාහිත සිතින් ඉන්න කෙනා. අනිත් භික්ෂූන් වහන්සේලාට සමාධියක් නෑ. බිරාන්ත වෙලා ඉන්නවා’ කියල. ඒ භික්ෂුව ඒ සමාධි සම්පත්තියෙන් මත්වෙනවා. ප්‍රමාද වෙනවා. ප්‍රමාදයට පත්වෙනවා. ප්‍රමාදයට පත්වෙලා දුක සේ වාසය කරනවා. පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට කියන්නෙ ‘නිවන් මගේ සිවිය ගලෝගත්තු කෙනා’ කියලා. එතැනින්ම ඔහුගේ ගමන අවසන් වෙනවා.
පින්වත් මහණෙනි, ඇතැම් කුලදරුවන් ඉන්නවා ගිහි ගේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාසවලින් යුතු සසර දුකටයි මං වැටිල ඉන්නේ. දුක තුළටයි මං වැටුණේ. දුකෙන් පෙළෙමින් ඉන්නේ. ඉතින් මේ හැම දුකක් ම අවසන් කරල දාන්න ඇත්නම් කොයිතරම් දෙයක්ද?’ කියලයි මහණ වෙන්නේ. මහණ වුනාට පස්සේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදිනවා. හැබැයි ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් සතුටු වෙන්නෙ නෑ. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සිල්වත් වෙනවා. ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නේ නෑ. ඒ සීල සම්පත්තියෙන් මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සමාධි සම්පත්තිය ඇති කරගන්නවා. ඔහු ඒ සමාධියෙන් සතුටු වුනත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ සමාධි සම්පත්තිය මුල් කරගෙන තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ සමාධිය නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව ඤාණදර්ශනය ඇති කරගන්නවා. ඔහු ඒ ඤාණදර්ශනයෙන් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඒ ඤාණදර්ශනය මුල්කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘මං යථාර්ථය දැනගෙන, දැක ගෙනයි ඉන්නෙ, ඒ වුනාට මේ අනිත් භික්ෂූන් වහන්සේලා යථාර්ථය නොදැන, නොදැක නෙව ඉන්නෙ’ කියල ඔහු ඤාණදර්ශනයෙන් මත්වෙනවා. ප්‍රමාද වෙනවා. ප්‍රමාදයට පත්වෙනවා. ප්‍රමාදයට පත්වීම නිසා දුක සේ වාසය කරනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා මිනිහෙක් ඉන්නවා. මේ පුද්ගලයාට අරටුවකින් වැඩක් ගන්න ඕන වෙනවා. ඉතින් අරටුවක් සොයන්න පටන් ගන්නවා. ඔහොම යනකොට අරටුව තියෙන හොඳ ගහක් හම්බ වෙනවා. නමුත් මෙයා අරටුව කියල හිතාගෙන අරටුව අත්හැරලා, එලය අරගෙන යනවා. එතකොට ඇස් ඇති කෙනෙක් මොහුව දැකලා මෙහෙම කියනවා. ‘අයියෝ! මේ තැනැත්තා අරටුව දන්නෙත් නෑ. එලය දන්නෙත් නෑ. සිවිය දන්නෙත් නෑ. පොතු දන්නෙත් නෑ. කොළ අතු දන්නෙත් නෑ. ඔය තැනැත්තාට අරටුවක් ඕන වෙලා තිබුනා. අරටුවක් හොය හොයා ගියා. අන්තිමේදී හොඳ අරටුවක් තියෙන විශාල ගහකුත් හම්බ වුනා. පස්සෙ බැලින්නම් මෙයා අරටුව කියල හිතාගෙන ඒ අරටුව අත්හැරලා, එලය නෙව අරගෙන ගියේ. මේ තැනැත්තාට නම් අරටුවකින් ලබාගන්න ප්‍රයෝජනේ ලබා ගන්න බැරි වෙලා යනවා’ කියල.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. ඇතැම් කුලදරුවන් ඉන්නවා ගිහි ගේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාසවලින් යුතු සසර දුකටයි මං වැටුනේ. දුක තුළටයි මං වැටුනේ. දුකෙන් පෙළෙමින් ඉන්නෙ. ඉතින් මේ හැම දුකක් ම අවසන් කරල දාන්න ඇත්නම් කොයිතරම් දෙයක්ද?’ කියලයි මහණ වෙන්නේ. මහණ වුනාට පස්සෙ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවනවා. හැබැයි ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් සතුටු වෙන්නෙ නෑ. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සිල්වත් වෙනවා. ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි’ කියල හිතන්නේ නෑ. ඒ සීල සම්පත්තියෙන් මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සමාධි සම්පත්තිය ඇති කරගන්නවා. ඔහු ඒ සමාධියෙන් සතුටු වුනත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ සමාධි සම්පත්තිය මුල් කරගෙන තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ සමාධිය නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව ඤාණදර්ශනය ඇති කරගන්නවා. ඔහු ඒ ඤාණදර්ශනයෙන් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඒ ඤාණදර්ශනය මුල්කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘මං යථාර්ථය දැනගෙන, දැකගෙනයි ඉන්නෙ, ඒ වුනාට මේ අනිත් භික්ෂූන් වහන්සේලා යථාර්ථය නොදැන, නොදැක නෙව ඉන්නෙ’ කියල ඔහු ඤාණදර්ශනයෙන් මත්වෙනවා. ප්‍රමාද වෙනවා. ප්‍රමාදයට පත්වෙනවා. ප්‍රමාදයට පත්වීම නිසා දුක සේ වාසය කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුවට කියන්නෙ ‘නිවන් මගේ එලය ගත්තු කෙනා’ කියලා. එයාගේ ගමන එතනින් ම අවසන් වෙනවා.
පින්වත් මහණෙනි, ඇතැම් කුලදරුවන් ඉන්නවා ගිහි ගේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාසවලින් යුතු සසර දුකටයි මං වැටිලා ඉන්නෙ. දුක තුළටයි මං වැටුනේ. දුකෙන් පෙළෙමින් ඉන්නේ. ඉතින් මේ හැම දුකක් ම අවසන් කරල දාන්න ඇත්නම් කොයිතරම් දෙයක්ද?’ කියලයි මහණ වෙන්නේ. මහණ වුනාට පස්සේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදිනවා. හැබැයි ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් සතුටු වෙන්නෙ නෑ. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සිල්වත් වෙනවා. ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නේ නෑ. ඒ සීල සම්පත්තියෙන් මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සමාධි සම්පත්තිය ඇති කරගන්නවා. ඔහු ඒ සමාධියෙන් සතුටු වුනත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ සමාධි සම්පත්තිය මුල් කරගෙන තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ සමාධිය නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව ඤාණදර්ශනය ඇති කරගන්නවා. ඔහු ඒ ඤාණදර්ශනයෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ඤාණදර්ශනය මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ඤාණදර්ශනයෙන් මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාද බවට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වෙනවා. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව අරහත්වයෙන් පිරිහෙනවා කියන දෙය සිද්ධ වෙන දෙයක් නොවෙයි. එබඳු දේකට ඉඩක් ඇත්තෙම නෑ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුද්ගලයෙක් ඉන්නවා. එයාටත් අරටුවක අවශ්‍යතාවය තියෙනවා. එයත් අරටුවක් හොය හොයා ඇවිදිනවා. එයාටත් අරටුව තියෙන විශාල ගහක් හම්බ වෙනවා. එයා ඒකෙ අරටුව හඳුනාගෙන, අරටුව ම කපාගෙන යනවා. ඇස් ඇති කෙනෙක් එයාව දැකල මෙහෙම කියනවා. “හරියට හරි! මේ ඇත්තා විතරක් අරටුව හඳුනගත්තා. එලය හඳුනගත්තා. සිවිය හඳුනගත්තා. පොත්ත හඳුනගත්තා. කොළ අතු හඳුනගත්තා. ඔය තැනැත්තටත් අරටුවක අවශ්‍යතාවයක් තිබුනා. අරටුවක් හොය හොයාත් ගියා. අරටුව තියෙන ගහකුත් හම්බ වුනා. අරටුව හඳුනගෙන, අරටුව ම කපාගෙන ගියා. අන්න එයාට විතරක් අරටුවකින් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්ට පුළුවනි” කියල.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. ඇතැම් කුලදරුවන් ඉන්නවා ගිහි ගේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාසවලින් යුතු සසර දුකටයි මං වැටිලා ඉන්නෙ. දුකට වැටිලයි මං ඉන්නේ. දුකෙන් පෙළෙමින් ඉන්නේ. ඉතින් මේ හැම දුකක් ම අවසන් කරල දාන්න ඇත්නම් කොයිතරම් දෙයක්ද?’ කියලයි මහණ වෙන්නේ. මහණ වුනාට පස්සේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදිනවා. හැබැයි ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් සතුටු වෙන්නෙ නෑ. ’දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සිල්වත් වෙනවා. ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නේ නෑ. ඒ සීල සම්පත්තියෙන් මත් වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සමාධි සම්පත්තිය ඇති කරගන්නවා. ඔහු ඒ සමාධියෙන් සතුටු වුනත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ සමාධි සම්පත්තිය මුල් කරගෙන තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ සමාධිය නිසා මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව ඤාණදර්ශනය ඇති කරගන්නවා. ඔහු ඒ ඤාණදර්ශනයෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ඤාණදර්ශනය මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ඤාණදර්ශනයෙන් මත්වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. ප්‍රමාද බවට පත්වෙන්නෙ නෑ. අප්‍රමාදීව සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වෙනවා. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව අරහත්වයෙන් පිරිහෙනවා කියන දෙය සිද්ධ වෙන දෙයක් නොවෙයි. එබඳු දේකට ඉඩක් ඇත්තෙම නෑ.
පින්වත් මහණෙනි, මේ පැවිදි ජීවිතය ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආනිසංස කරගෙන තියෙන දෙයක් නොවෙයි. සීල සම්පත් ආනිශංස කරගෙන තියෙන දෙයක් නොවෙයි. සමාධි සම්පත් ආනිශංස කරගෙන තියෙන දෙයක් නොවෙයි. ඤාණදර්ශනය ආනිශංස කරගෙන තියෙන දෙයක් නොවෙයි. පින්වත් මහණෙනි, කිසිම දේකින් වෙනස් කරන්න බැරි යම් අරහත් ඵල චිත්ත විමුක්තියක් තියෙනවා නම්, අන්න ඒක පිණිස ම යි මේ පැවිදි ජීවිතය තියෙන්නෙ. ඒක ම යි මේ පැවිදි ජීවිතයේ අරටුව. ඒක ම යි මේ පැවිදි ජීවිතයේ සම්පූර්ණත්වයට පත්වීම.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය අසා ඒ භික්ෂූන් වහන්සේලා ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සාදු නාද දෙමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
සාරවත් අරටුව උපමා කොට වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M